නූතන ධනවාදය තුළ පවතින සමපේක්ෂණය සම්බන්ධයෙන් නව අධ්‍යනයකට යොමු වන්නේ නම්, ඒ සඳහා තෝමස් ලැකුවා  නම් චින්තකයා විසින් ලියන ලද  Solitary sex cultural history of masturbation  නම් ග්‍රන්ථය තුළ සාකච්ඡා කරන කරුණු  මඟින් සමාජය තුළ පවතින ‘ණය’ වල මූලික ලක්ෂණ පැහැදිලි කරගත හැකියි.

මෙම සාකච්ඡාවට ‘ස්වයං වින්දනය’ නිර්වචනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැඟුනද එහි තිබෙන අවලෝකනය අපට මෙම සංකල්පය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී වැදගත්වේ. ඒ අනුව පළමුව ස්වයං වින්දනය සම්බන්ධයෙන් වූ මනෝ විශ්ලේෂණයේ තිබෙන නිර්වචනය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු .එම නිර්වචනය සකස්වී තිබෙන්නේ උල්ලංඝනය (Transgression) සහ සුපිරි අහම (Super ego) යන සංකල්ප පදනම් කරගනිමිනි. ඒ අනුව ස්වයං වින්දනය යනු යම්  කිසි ගනු දෙනුවක් සඳහා ප්‍රෝඩාකාරී උල්ලඝනයක් සිදු කිරීමයි. තව දුරටත් පැහැදිලි කළහොත් සමාජයීය තහංචියක් මම විසින් පුද්ගලිකව උල්ලංඝනය කිරීමෙන්  විනෝද වීමයි. මෙම සමාජයීයව තිබෙන තහංචිය කෙනෙකු විසින් තනිව උල්ලංඝනය කිරීමේදී තෝමස් ලැකුවා විසින් මූලික ලක්ෂණ 03 ක් හදුනා ගන්නා ලදී.  එනම්,

  1. Individual – පුද්ගලිකභාවය
  2. Imagination – පරිකල්පනය
  3. Addiction – ඇබ්බැහිය යන ත්‍රිත්වය

මේ අනුව තෝමස් ලැකුවා විසින් ඔහුගේ ග්‍රන්ථයෙන් පෙන්නුම් කරනු ලබන්නේ ස්වයං වින්දනය යන්න සමාජයට ගැටළුවක් හෝ ප්‍රශ්නයක් බවට පත්වන්නේ 17 වන ශතවර්ශයේ සිට යන්නයි. 17 වන ශතවර්ෂයට පෙර ස්වයං වින්දනය සමාජයට ගැටළුවක් බවට පත්ව නොතිබුණි.  සාමාන්‍යෙයන් ස්වයංවින්දන ක්‍රියාව අවසන් වන්නේ වරදකාරී හැඟීමෙනි. තෝමස් ලැකුවා විසින් පවසන්නේ මෙම වරදකාරී හැඟීම පුද්ගලයෙකු වෙත පැමිණෙන්නේ ඓතිහාසික සංවර්ධනයක් හෝ ඔහු හෝ ඇය තුළ ස්භාවිකව පැවතියාවූ දෙයක් තුළින් නොව, 17 වන ශතවර්ෂයෙන් පසුව ස්වයංවින්දනය සාදාචාර ප්‍රශ්නයක් බවට පත්වීම නිසා එසේ සිදු වුණු බවයි.  17 වන ශතවර්ෂයෙන් පසුව ස්වයං වින්දනය සැලකුවේ පුද්ගලයෙකුගේ පුද්ගලික පරිහාණියක් ලෙස සදාචාර ගැටළුවකට එය උනනය කිරීමෙනි.  එනම් ප්‍රබුද්ධත්වය  පැමිණිමෙන් පසුව අදහස් පද්ධතියක් වශයෙන්, ‘ස්වයං වින්දනය’ ගැටළුවක් නැතිනම්  මනුෂ්‍යමය අභ්‍යන්තරය පළුදු කරවන්නක් ලෙස සදාචාර ගැටළුවක් බවට පත්වුණි.

ඒ අනුව තෝමස් ලැකුවා ගේ අදහස වූයේ මෙය සදාචාරමය ගැටළුවක් බවට පත්වීමට හේතුව, ඒ වන විට සමාජයේ දේශපාලනික සහ ආර්ථික ලෝකයේ ඇතිවුණු විපර්යාසයන්  සහ සුවිශේෂ වෙනස්කම් මීට සමාන්තරව හේතු වූ බවයි.  

එම සමාන්තර හේතුව වශයෙන් ඔහු විසින් පෙන්වා දෙනු ලබන්නේ ආර්ථිකය තුළට ‘ණය’ක්‍රියාවලියක් වශයෙන්  ආයතනගතවීම ආරම්භ වන්නේ මෙම සමාන්තර කාලයේදී බවයි. එනම් ආර්ථිකය ආරම්භයේදී ‘ණය ක්‍රමයක් නොපැවතුනු අතර, බැංකු ක්‍රමය මත පරායත්ත වීමේදී ‘ණය මැවීමක්’  (Credit creation) නොමැතිනම්, ණය යනුවෙන්  ද දෙයක් නොමති බවයි. ඒ අර්ථයෙන් බැලුවාම ණය නැතිනම්,  මුදල් මැවීම නැමැති ක්‍රියාවලිය තුළ තිබෙන්නේද ඉහත දක්වා ඇති ස්වයං වින්දනයට අදාළ මූලික ලක්ෂණ තුන බවය.  එනම්, 

  1. Individual – පුද්ගලිකභාවය
  2. Imagination – පරිකල්පනය
  3. Addiction – ඇබ්බැහිය යන ත්‍රිත්වයයි. මේ අනුව නිෂ්පාදනයේ පදනම වන ආර්ථිකයකට ප්‍රතිපක්ෂව  ණය කියන්නේ අදාළ පුද්ගලයාගේ පරිකල්පනය මත තිබෙන දෙයකි.

 මුදල් වලින් නිෂ්පාදනය නොකර මුදල් වලින් මුදල් මැවීම සමපෙක්ෂණයයි  (Speculation). ඒ සඳහා මැදිහත් වන්නේ රාජ්‍ය වන අතර, ලංකාවේදී නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකු සහ මූල්‍ය සමාගම් වෙත මෙම ‘ද්‍රවශීලතාවය’ පවත්වා  ගැනීම අවශ්‍ය මැදිහත්වීම සිදුකරයි.

මෙතැනදී ද්‍රවශීලතාවය යනු කුමක්දැයි අප වටහා ගැනීම වැදගත් වේ. ද්‍රවශීලතාවයෙන් පෙන්නුම් කරන්නේ මුදල් ලග තබා ගැනීමේ ඇති පහසුවයි. එනම්, X නම් බැංකුවක් තම බැංකුවෙහි ගනු දෙනු කරුවන් වෙනුවෙන් ද්‍රවශීලතාවය පවත්වාගන්නට මහ බැංකුව නියාමනය කර ඇති මුදල තම තැන්පතුවෙන් 10%  ක් යැයි සිතුවොත්, එම බැංකුවෙහි ඒ වනවිට තැන්පතු ප්‍රමාණය රුපියල් 1000 ක් යයි සිතිවොත්, එවිට මුදල් වශයෙන් ඕනෑම අවස්ථාවකදී බැංකුවට තබා ගත හැකි වන්නේ රුපියල් 100 කි. එනම් එම බැංකුවෙහි ද්‍රවශීලතාවය රුපියල් 100 කි. තමන්ගේ ගනුදෙනු කරුවන් කිසි විටෙක එකම දිනකදී සියලුම මුදල් ගිණුමෙන් ඉවත් කර නොගනීවි යන උප කල්පනය මත මහ බැංකුව විසින් ද්‍රවශීලතා ඉල්ලුම සහ සැපයුම අනුව ඉතිරි රුපියල් 900 ණය වශයෙන් ලබාදීමට අවසර ලබාදී තිබෙන අතර,  බැංකු විසින් අඛන්ඩව ණය ලබාදීම සිදු කරනු ඇත. නැවත උදාහරණයක් ගෙන බැලුවහොත් තවත් බැංකුවක් තමන් සතු ගිණුමෙහි වූ රුපියල් 1000 පදනම් කරගෙන එම රුපියල් 1000 ද ඇතුත්ව රුපියල් 10, 000 ක ණයක් ලබාගැනීමටද හැකියි. 

ඒ අනුව තම ආයතනය සතු සියලුම ගනු දෙනු කරුවන් එක වර තම තැන්පතු ඉවත් කර නොගනීවී යන විශ්වාසයකින් යුක්තව තමන්ගේ අනුමානය සත්‍ය වේ යයි බලාපොරොත්තුවෙන් මෙම ක්‍රියාවලිය තුළ ‘උපකල්පනයක්’ සිදුවන බැවින් මෙම ක්‍රමය අඛන්ඩව පැවැත්මක් තුළට ගොස් තිබේ. ඒ නිසා ඕනෑම ශක්තිමත් බැංකු ක්‍රමයකට වුවත් එකවර එක් දිනක සියලු ගනු දෙනුකරුවන්ට මුදල් දීමට ද්‍රවශිලතාවක් නොමැත. ඒ අර්ථයෙන් ඉහත තිබෙන ‘මුදල් මැවීම’ යන සංකල්පය බැංකු විසින් පවත්වාගෙන යනු ලබයි.

මෙහි එන වැදගත්ම කාරණය වන්නේ ‘මුදල් මැවීම’ කියන කාරණයේදී බැංකුව විසින් ‘ණය’ ලබා දෙන්නේ තමා සතු ‘සැබෑ මූල්‍ය ප්‍රාග්ධනයක්’ මත නොවීමයි. ඒ අනුව මුදල් මැවීම යන ක්‍රියාවලි බැංකුවට පරිකල්පනීයයි. එහි සැබෑ වූ පදනමක් නැහැ. ඔවුන් සතුව තිබෙන්නේ රුපියල් 1000 යි. නමුත් එම 1000 වෙනුවෙන් 100000 ක ණය මුදලක් ලබාගත හැකිය. ඉන් අනතුරුව මෙම ණය එම බැංකුවේ ආයෝජනය බවට පත් වේ. පසුව මෙම ණය දීමේ ක්‍රියාවලිය ඇබ්බැහියක ස්වරූපයෙන් බැංකු වල ආර්ථික ප්‍රගතිය සදහා අඛන්ඩතාවයෙන් පවත්වාගෙන යයි. මෙම පරිකල්පන ක්‍රියාවලිය තුළ සිදු වන ඊලඟ වැදගත් දේ වන්නේ නිකුත් කරන ලද ණය තුළින් සැබැවින්ම නිෂ්පාදන පද්ධතියක් තුළ භාණ්ඩ හා සේවා නිපදවනවාද යන්න විමසා බැලීම අදාල කර නොගැනීමයි. ඒ අනුව ඉහත විස්තරය තුළින ණය සහ ස්වයංවින්දනය අතර තිබෙන මූලික සමපාතය පැහැදිලි වන්නට ඇත.

ඒ අනුව 17 වන ශතවර්ෂයෙන් පසුව ආර්ථික ක්‍රියාවලියට ණය නැමැති කාරණය පැමිණි පසුව එය නව දේශපාලන ආර්ථිකයක් බවට පත්වීමත්, ආර්ථිකය විප්ලවීය ගති ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ වීම දැකගත හැකියි. ඉන් පසුව ඇත්ත පදනමක් නොමැතිව මුදල් අසීමාන්තිකව මවන්නට ඉන් හැකියාව ඉන් උදා වි තිබේ.

මෙම තත්වය තව දුරටත් අවබෝධ කරගැනීම සඳහා ජාක් ලැකාන් විසින් මනුෂ්‍ය ලිංගිකත්වයේ මූලික ව්‍යුහය සම්බන්ධයෙන් පැවසූ කරුණු අදාල කර ගත හොත්, ඔහු පවසා ඇත්තේ මනුෂ්‍යාගේ ලිංගිකත්වයේ මූලික ව්‍යුහය සෑම විටම ස්වයංවින්දනාත්මක බවයි. මන්ද ස්වයංවින්දනය යනු ”කිසිදු හවුල්කාරයෙක් හෝ හවුල් කාරියක් නොමැතිව” තමාගේ වූ ෆැන්ටසිය මත විනෝදයක් ලැබීමයි.  ලැකාන්ට අනුව හවුල් කාරියෙක් හෝ හවුල් කාරයෙන් නොමැතිව ස්වයංවින්දනය තුළ නියැලීමත්, සැබෑ ලෙස ශරීර වශයෙන් ලිංගික සබඳතා සඳහා හවුල් කාරයෙකු හෝ හවුල් කාරියක ලැබී ලිංගික ක්‍රියාවේ යෙදීම ත්, ස්වයං වින්දනයේ යෙදීමකට සමාන බවයි. ඒ අනුව මෙම ක්‍රියාවලීන් දෙකෙදීම පොදුවේ පරිකල්පනය නැතිනම් ෆැන්ටසිය අදාල කර ගන්නා බවයි.  

 සාමාන්‍යයෙන් මාක්ස්වාදීන් බොහෝ පිරිසක් ඇත්ත නිෂ්පාදන  ආර්ථිකය සම්බන්ධයෙන් එහි නිර්ව්‍යාජ බවට පැහැදීමෙන් සිටියද, සේවා ආර්ථිකය සම්බන්ධයෙන් එවැනි පැහැදීමක් නොමැත. ඔවුන් විසින් සේවා ආර්ථිකය  මෙම අව්‍යාජත්වයෙන් ඉවත් කිරීමක් සිදු කර ඇත. ඔවුන්ගේ අදහස වන්නේ ඇත්ත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ වටිනාකම් නිපදවීම සත්‍යක් වන නමුත්, සමපේක්ෂණය මත මුදල් මැවීම ආර්ථික ක්‍රියාවලිය මත ව්‍යාජ, සහ බොරුවක් ලෙස අර්ථ දැක්වීමයි. ඒ නිසාම ‍සමපේක්ෂණය මත තිබෙන ආර්ථික ක්‍රියාවලිය බොහෝ රටවල් අගාධයට, පරිහානියට ගොස් ඇති බවට මතයක් ඇති කිරීම බහුතරයක් මාක්ස්වාදීන් අතින් සිදු වේ. එම නිසාම ඔවුන් විසින් යෝජනා කරනු ලබන්නේ සමපේක්ෂණය සහ ණය මත පදනම්ව ආර්ථිකයෙන්, නැවතත් ඇත්ත භාණ්ඩ හා සේවා මත පදනම් වන ආර්ථිකයකට යා යුතුයි යන අදහසයි.

නමුත් ඇත්ත නිෂ්පාදනය මත පදනම් වුණු නිෂ්පාදන සබඳකමත් , වටිනාකම් නිෂ්පාදනය-surplus value- කිරීමේ සමපෙක්ෂණය නැමැති ෆැන්ටාස්මතික සබඳතාවය-surplus enjoyment- යන දෙකටම ණය නැමැති සිතිජය පසු කර යා නොහැකි ය. ආර්ථික ක්‍රියාවලීය තුළ මේ දෙකම එකම වෘත්තයක මුහුණට මුහුණ හමු  වීම ද සිදුවන එකම ව්‍යුහයක අවස්ථා දෙකක් ලෙස අප වටහාගත යුතු වේ.

Dilshan and Deepthi

ඔබේ අදහස කියන්න...