වෛද්‍ය ශ්‍රමය විකුණුම් භාණ්ඩයක් වීමට විරුද්ධ කවුද?

ලංකාවේ ධනවාදයට විරුද්ධ මිනිස්සු තවමත් විරල නැත. ඔවුන් ධනවාදයට විරුද්ධව නිදහසින් පසු දශක හතක් පමණ උද්ඝෝෂණය කර ඇත. ධනවාදයට හර්තාලයක් පවා කර ඇති සිංහල සමාජය 71 සහ 87 -89 යුගයේදී කැරලි දෙකක් ද නිර්මාණය කළේය. පසුගිය දිනක ව්‍යවස්ථාවට විරුද්ධව අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අලුත් ව්‍යවස්ථාව ධනපති එකක් බව ප්‍රකාශ කළේය. සෑම පැත්තකින්ම අපට ඇසෙන්නේ ධනපති විරෝධී සටන් පාඨය. පෙනෙන්නේ ධනපති විරෝධී අරගලකරුවන්ය. නමුත් වර නැගිය යුතු නිශ්චිත ප්‍රශ්නය කිසිවකු අසන්නේ නැත. සමාජයක් ධනේශ්වර වනවා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? වෙළෙඳපොළ සමාජය හෝ වෙළෙඳපොළ ආර්ථිකයක් (Market Economy) යනු ධනේශ්වර සමාජයට වඩා පැරණි එකකි. මේ අර්ථයෙන් ගත් කළ 77 ආර්ථික පෙරළිය යනු ලංකාවට ‘ධනවාදය’ පූර්ණ ලෙස පැමිණීමක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා හෝ UNP ය යනු ලංකාවට ‘ධනේශ්වර සමාජය’ හඳුන්වා දුන් පක්ෂය හෝ එහි පුරෝගාමියකු නොවේ. ඔවුන් ලංකාවට හදුන්වා දුන්නේ නිදහස් වෙළෙඳපොළයි. ‘නිදහස් වෙළෙඳපොළ’ යන අදහස සහ ‘ධනේශ්වර සමාජය’ යනු අහසට පොළව මෙන් දුරස් සම්බන්ධයක් ඇති ප්‍රපංච දෙකකි. ලංකාවේ සිදු වී ඇත්තේ මේ දෙක අතර වෙනස මැකී යාමයි. මේ නිසා රටේ ආර්ථිකය ගැන සාමාන්‍ය මිනිසාට තිබෙන්නේ අතිශය ව්‍යාකූල චිත්‍රයකි. ලංකාවේ ධනපති විරෝධීන් මේ තරම් වැසි වසින්නාක් මෙන් බිහි වී ඇත්තෙත් ද මෙම වෙනස නොකියවන නිසාය.

යම්කිසි සමාජයක් ධනවාදී යැයි අපට කිවිය හැක්කේ කුමන මොහොතක් උදා වුවාට පසුවද? මාක්ස්ගේ නිර්වචනය මෙසේය.

“යම්කිසි ජන සමාජයක ‘ශ්‍රමය’ විකුණුම් භාණ්ඩයක් බවට පරිවර්තනය වන්නේ කුමන මොහොතකද? අන්න ඒ මොහොතේ සිට එම සමාජය ධනවාදී බවට පරිවර්තනය වෙයි.”

ඉහත තත්ත්වය වඩා හොඳින් වටහා ගැනීමට ඉහත අදහස වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කරමු. ඔබ දැනටමත් දන්නා පරිදි ලංකාවේ පුද්ගලික රෝහල් විශාල සංඛ්‍යාවක් ඇත. ඒවා අතරින් ආසිරි, නවලෝක, ඩර්ඩන්ස් ප්‍රධාන ඒවාය. මෙම රෝහල් පුද්ගලික ඒවා වුවත් ඒවා ධනවාදී (Capitalist) නැත. ඔබ මේ අදහස නිසා වික්ෂිප්ත වන බව මම දනිමි. මෙම රෝහල් ධනාවදී වීමට නම් ඒවා එක කොන්දේසියක් සැපිරිය යුතුය. එම කොන්දේසිය මෙසේය. මෙම රෝහල් ධනවාදී වීමට නම් මෙම රෝහල් විසින් “වෛද්‍ය ශ්‍රමය” (Medical Labour) මිලට ගත යුතුය. එවැන්නක් තවම ලංකාවේ සිදු වන්නේ නැත.

අප ඉහත සාකච්ඡා කළ පුද්ගලික රෝහල්වල ආදායම එකතු වන්නේ කෙසේද? බොහෝ විට මෙම රෝහල්වල අදායම එකතු වන්නේ පුද්ගලික සමාගම්වල රක්ෂණ ආවාරණ අරමුදල්වලිනි. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය වාර්තාවලට නිල අත්සන් තැබීමෙන් වාර්තාගත ආදායමක් පුද්ගලික රෝහල් උපයා ගන්නා මුත් එතැනදීත් “වෛද්‍ය ශ්‍රමය” මිලට ගැනීමක් හෝ සූරා කෑමක් සිදු වන්නේ නැත.

දැන් සිදුවන ක්‍රියාවලිය සැබැවින් මෙලෙස විස්තර කළ හැකිය. වෛද්‍යවරුන් පුද්ගලික රෝහල්වලට යාම හරහා ඔවුන් කරන්නේ බදු කුලියක් ගෙවීමයි. වෛද්‍ය සේවය සඳහා අය කරන රිසිට් පතෙහි Doctor Chargers යනුවෙන් හැඳින්වෙන්නේ එම වෛද්‍යවරයාගේ ආදායම මිස “ප්‍රාග්ධනය” Capital නොවේ. ඔහු ගෙවන බදු කුලිය වන්නේ එක රෝගයෙක් සඳහා රුපියල් 500ක් පමණ වෙයි. මේ හේතුව නිසා ලංකාවේ පුද්ගලික රෝහල් යන බෝඞ් ලෑල්ල අර්ථයක් නැති එකකි. එය හැඳින් විය යුත්තේ ඉඳුම් හිටුම් ලබා දෙන තැනක් හැටියටය. රෝහලක් වූවාට එමඟින් සැපයෙන වෛද්‍ය සේවාවක් නැත. එය වෛද්‍යවරයාගේ පුද්ගලික වැඩකි. වෛද්‍යවරයාත්, රෝගියාත් තම අභිමතය පරිදි ස්ථානයක් කුලියට ගැනීම හැර අන්දෙයක් මෙතැන සිදු වන්නේ නැත. මෙම තත්ත්වය ‘නිදහස් වෙළෙඳපොළ’ වෛද්‍ය සේවයට ඇතුළු වීමක් පමණි. එමඟින් සෞඛ්‍යය හෝ වෛද්‍ය සේවය ධනවාදී වීමක් නොවේ. ප්‍රාග්ධනය සමුච්චනය වීමක් ද මෙමඟින් සිදු නොවෙයි.

වෛද්‍යවරුන් (විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුන්) රජයේ සේවයෙන් ඉවත් නොවී අර්ධ වශයෙන් පුද්ගලික වෛද්‍ය සේවයට ඇතුළු වන්නේ මන්ද? වෛද්‍ය සේවය සහ සෞඛ්‍ය සේවය ධනවාදී වෙනවා යනු රජයේ සේවයට නොයා වෛද්‍යවරයා පුද්ගලික අංශයේ වැටුපට සේවය කිරීමයි. ඒ අනුව වෛද්‍යවරුන් ‘රජය’ යනු සමාජවාදී ලෙසත් පුද්ගලික වෛද්‍ය සේවය ‘ධනවාදී’ ලෙසත් වටහා ගෙන ඇත. ඇත්තටම න්‍යායික අර්ථයෙන් සිදු වන්නේ නිදහස් වෙළෙඳපොළ යාන්ත්‍රණය සෞඛ්‍ය සහ වෛද්‍ය සේවයට ඇතුළු වීම මිස ඒවා ධනවාදී වීම නොවේ. මන්ද වෛද්‍යවරයා නිර්ධනකාරණයක් වීමට අවශ්‍ය සමාජ වටපිටාව ලංකාවේ නිර්මාණය නොවී තිබීමයි. වෛද්‍යවරයා අත්‍යන්ත පුද්ගලයකු ලෙස රජයෙන් වැටුප් ලබාගෙන පුද්ගලික අංශයේ ගොඩනැගිල්ලක ස්ථානයක් Place බද්දට ගැනීම හැර අන් කිසිවක් මෙතැන සිදු වී නැත. (මුදලට සේවා සැපයීමට)

එසේ නම් ලංකාවේ වාමාංශික පක්ෂ වෛද්‍ය සහ සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කරන්න එපා යැයි බෙරිහන් දෙන්නේ ඇයි? එය ඔවුන්ගේ ධනවාදය පිළිබඳ ආකල්ප ප්‍රශ්නයකි. ‘ධනවාදය’ ලෙස ලංකාවේ වාමාංශික චින්තනය වටහා ගෙන ඇත්තේ පූර්ව – ධනේශ්වර නිදහස් – වෙළෙඳපොළවාදී අදහසකි. ලංකාවේ වෛද්‍ය සභාව විසින් අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ට හැර ලංකාවේ පුද්ගලික රෝහල්වල නිල වශයෙන් සේවය කළ නොහැකිය. මේ හේතුව නිසා එවැනි රෝහල්වලට විදේශවලින් අඩු මිලට වෛද්‍ය ශ්‍රමය ආනයනය කිරීමේ හැකියාවක් ද නැත. මේ හේතුව මඟින් ද තහවුරු වන්නේ ලංකාවේ ‘වෛද්‍ය ශ්‍රමයට’ හුවමාරු වටිනාකමක් ලැබීමට ඇති ඉඩකඩ ජාතික තලයේ වෘත්තීය පදනම් මඟින් සීමා වන බවයි. ධනවාදය සහ ධනවාදය පිළිබඳ ආකල්ප අතර පුළුල් සමාජ – ආර්ථික වෙනසක් ඇත. ධනවාදය යනු වැඩවසම් සමාජයට එරෙහිව ‘සමානාත්මතාවය’ හඬ ගෑ පළමු සමාජක්‍රමයයි. ලංකාව තුළ ‘වෛද්‍ය ශ්‍රමය’ නිර්ධන වීමට ඉඩ නොදීම නිසා වාමාංශික සංවිධාන, වාමාංශික සිතන්තන් පුළුල් අර්ථයෙන් පැරණි දෘෂ්ටිවාදයක එල්බගෙන සිටිති.

ඉහත සමාජ – ආර්ථික පසුබිම ඔබට තාර්තිකක ලෙස අවබෝධ වන්නේ නම් රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක අතර ගැටුමක් පැවැතිය නොහැකිය. මන්ද ඔවුන් දෙදෙනාම පෙනී සිටින්නේ නිදහස් වෙළෙඳපොළ රටාව තුළින් උද්ගමනය වන අයහපත් ප්‍රවණතාවයන්ට මිස ‘වෛද්‍ය ශ්‍රමය’ විකුණුම් භාණ්ඩයක් වීමට එරෙහිව නොවේ. ගැටලුව වන්නේ ලංකාවේ කවුද ‘වෛද්‍ය ශ්‍රමය’ යටත් කරන ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටීමට නියමිත කරුණයි. පෙනෙන විදිහට එවැනි දෙයකට බිය නැති ප්‍රාග්ධනයක් පෙනෙන තෙක් මානයක නැත. සිදු වීමට නියමිත වන්නේ බදු මුදල් සූරා කන සමාජ පන්තියක් තම අධිකාරිය සමාජය මත සුජාතකරණය කිරීමයි. ඡන්දය යනු එම ක්‍රියාවලියේ වත්පිළිවෙතයි .

විවාදයට විවෘනය.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. රුපියල් ලක්ෂයක පැදියක් දීලා ඉඳුම් හිටුම් කෑම බිම දුන්නනම් දොස්තරලා ඕනි තරම් ගේන්න පුළුවන් රටවල් තියෙනවා…ඉන්දියාව..සුඩානය ..ඉතියෝපියාව..ලංකාවේ දොස්තරලා නින්දෙන් ඇහැරිලා වගේ සයිටම් අල්ලාගෙන කෑ ගහන්නේ තමන්ගේ ඒකාධිකාරිය ,ප්‍රභූ භාවය බිඳ වැටෙන නිසා දොස්තරලා දෙන පණිවිඩය තමයි අපි දෙවිවරු අපිව ප්‍රශ්න කරන්න එපා අපේ දේව කටයුතු පාලනය කරන්නේ අපි ..අපිව සාමාන්‍ය දේශපාලනයට ,ආර්ථිකට හෝ කිසිම දේකට යටත් නෑ වගේ පණිවිඩයක් …

Comments are closed.