මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ:  විඥානවාදි කළු කුහරය තුළට ගමන් කිරීම වළක්වාගත යුත්තේ අපි ‘මගේ ලෝකය’ නැවත ප්‍රතිව්‍යුහගත (re-structure) හෝ විසංයෝජනය (deconstruct) කිරීමෙන් සහ. එය සැබැවින් ම විප්ලවීය කර්තවයක් මෙන්ම එය මේ මොහොතේ අප විසින් සිදු කරනු ලැබිය යුතු ම කර්තවයක් යන්න සිහිපත් කරමිනි. එසේ කරන අතරතුර ප්‍රතික්‍රියා දේශපාලනයට ද නොවැටිය යුතු ය යන්න ද සිහිපත් කළෙමු. අද සිට එය තවත් නැවුම් මාවතක් කරා ගමන් කරවන්නට වෙහෙසෙමු.

පළමුවෙන් ම යම් කාරණයක් වටහා දිය යුතුව ඇත. එනම්, වාමාංශික ව්‍යාපාරයකට කැමති මිනිසුන් ලෙස අපි: දෙවියන්, විඥානවාදය, ගැහැනිය සහ ඉස්ලාම් ආගමික රුපක ඉදිරිපත් කරන්නේ මන්ද යන්න ඇතැමකුට ගැටලුවක් මතු විය හැකි ය. මන්ද මා සමග අදහස් හුවමාරු කරගත් ඇතැම් අය මෙම පැනය විමසූහ. අපි එක් පසෙකින් හයිඩගර් උපුටා දක්වන්නෙමු, තවත් පසෙකින් ෂෙලින් උපුටා දක්වන්නෙමු, තවත් පසෙකින් හෙගල් උපුටා දක්වන්නෙමු. වාස්තවිකත්වය, දයලෙක්තික ලෙස ද්‍රව්‍යමය තත්වයන් විග්‍රහ කිරීම ඇතැම් විට ඉක්මවා අදහස් දැක්වූ හෙයින් පමණක් නොව ආගමික මූල පිළිබඳ පවා කරුණු පැහැදිලි කළ හෙයින් ඇතැම් සහෝදරවරු අපෙන් මෙසේ විමසති. එනම්, ෆොයාබාහ් තිසීසයේ සඳහන් වන්නේ හෙගල් ඔළුවෙන් සිටුවා තිබු දෙය මාක්ස් දෙපයෙන් සිට වු බවයි. ප්‍රතිචාර දක්වන සහෝදර සහෝදරියන් තුළ දැන් කුකුසක් පවතින බව පැහැදිලි ය. ඒ, මාක්ස් දෙපයෙන් සිටවු දෙය යළි අපි ඔළුවෙන් සිටවන්නට සුදානම් වන්නේ ද යන්න ය. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ එය එසේ වන්නේ නම් සාම්ප්‍රදායික වාමාංශික වාස්තවිකවාදින්ගේ කාර්යය කෙබඳු විය යුතු ද යන්නය. එසේනම් අප හුදු මනෝරාජක විඥානවාදී ප්‍රතිසංස්කරණවාදීන්ද?  නමුත් අපි ඒ පිළිබඳ මෙසේ කියන්නෙමු.

මේ මොහොතේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ සමස්ත ලෝකයේ ම වාමවාදී දේශපාලනය  සම්පූර්ණයෙන් ම නිශේධනය වූ වටපිටාවක සිට ය; මාක්ස් හරියටම පැවසු පරිදි සියල්ල ද්‍රවශීල වූ යුගයක ය;  ධනවාදය විසින් මිනිස් අධ්‍යාත්මය පුර්ණ වශයෙන් විනාශ කළ යුගයක ය; ගෝලීයකරණය වූ ධනවාදය විසින් සියලු පැරණි සම්බන්දතා මුලිනුපුටා දමන යුගයක ය. සියලු පිතෘමූලික වටිනාකම් ලාභය නම් සීතල වතුරේ ගිලාබැස ඇති යුගයක ය; ‘කොකා කෝලා’ නම් ‘ශුන්‍යතාවය සඟවා නොමැති ශුන්‍යතාවය’ (nothingness itself) පමණක් ගුඩු ගුඩු ගා පානය කරමින් එයම ඉල්ලා සිටින යුගයක ය. මාක්ස් ගේ ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ අන් කවරදාටත් වඩා අදාළ වූ යුගයක අප ජිවත් වන බව ජිජැක් පවසන්නේ ඒ නිසාය (බලන්න මීට පෙර උපුටා දැක්වූ The Fragile Absolute ග්‍රන්ථයේ පිටු 9-11) එමෙන් ම අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නේ එම වම නැවත ගොඩනැගීමේ යුතෝපියාව සහිත පිරිසක් ලෙසිනි. මිනිස් අධ්‍යාත්මය නැවත පණ ගැන්විය යුතු යුගයක අපට මානව ශිෂ්ටාචාරයේ දාර්ශනික මූල කරා නැවත යාමට බලකෙරී ඇති යුගයක අප ජීවත් වෙමු. එහෙයින් අපිට නැවත විඥානවාදය, අධ්‍යාත්මය, ආගම යන්නෙහි ක්‍රිස්තියානිය සහ යුදෙවු ආගම දක්වා වු දාර්ශනික මූල වෙත යාමට සිදුව ඇත. ඒ, වමෙහි පැවති කුමන හෝ නොහැකියාවක් හේතුවෙන් සිදු වූ අහෝසි වීමක් ඉතිහාසයේ පැවති හෙයිනි. එසේ අහෝසි වූ ස්ථානය නැවත පිහිටුවාගන්නේ කෙසේ ද යන්න පළමුවෙන් අවධාරණය කළ යුතු ය. එම මැදිහත්වීම අනාගතය සඳහා අප කළයුතු ප්‍රධාන ආයෝජනයක් වේ.

ඉහත මනෝරාජකය නැත්නම් යුතෝපියාව හඹා යෑම සඳහා නව චින්තන ව්‍යායාමයක් අවශ්‍ය වන බව පැවසු විසිවන සියවසේ ප්‍රධාන චින්තකයෙක් වන්නේ හර්බට් මර්කුසේ ය (Herbert Marcuse). මාක්ස් වාදී දේශපාලනික දෘෂ්ටිය නැවත විභාග කළ යුතු බව පවසන මාකුසේ සදාකාලික ශ්‍රම විගලිතභාවයක කිසිදු ගැහැණියක හෝ පිරිමියකු ජීවත් නොවිය යුතු බව පෙන්වා දේ. නමුත් දියුණු ධනවාදය තුළ පමණක් නොව සමාජවාදී මොඩලය තුළ ද සිදුවුවේ වෙනත් දෙයකි. මෙම සාන්දෘෂ්ටික පැවැත්මේ ප්‍රශ්නය මත පුද්ගල අවිඥානය පහසුවෙන් ධනවාදය වෙත නම්මවා ගෙන ඇති බව ඔහු පවසයි. එසේ වුවද ‘විසි වන සියවසේ අපේක්ෂා භංගත්වය සඳහා කිසිවිටක වැඩකරන පන්තියට දොස් නොකිව  යුතු බව’ ඉතා තදින් පවසන මාකුසේ පැහැදිලි කරන්නේ ධනවාදය සමාජ ගොඩනංවනවා වෙනුවට ඒවා සහමුලින් විනාශ කරමින් ඇති බවකි (සිහිපත් කරන්න අද දවසේ සිරියාවට සිදු වෙමින් පවතින දෙය) වැඩ කරන පන්තිය කරන්නේ කුමක්ද නොකරන්නේ කුමක්ද යන්න පිළිබඳව විවේචනය කිරීමට අපට කිසිඳු අයිතියක් නැති බව ඔහු පෙන්වා දෙයි; කඳු තරම් ධනය එක්රැස් කරගත් බටහිර ජාතීන් සාධාරණ විනීත (decent) සාර්වත්‍රිකයක් ගොඩ නගනවා වෙනුවට පුනරුදයේ ‘හේතුව’ (reason) කණපිට ගසමින්  කුමන හෝ උප්පර වැට්ටියක් යොදා දුප්පත් ජාතීන් තව තවත් කොල්ලකමින් සිටියි; ඔවුන්ගේ විමුක්ති හඬ නිහඩ කරයි; ත්‍රස්තවාදී ලේබලය වහාම අලවයි; එම ත්‍රස්තවාදීන් සොයා ඩ්‍රෝන තාක්ෂනය ඔස්සේ අභ්‍යවකාශයේ සිට මිසයිල එවයි.

එසේ නම් අපට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පොරොත්තු විය නොහැක. මන්ද ඉහත මොඩලයේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වන්නන් ත්‍රස්තවාදීන් ලෙස වෙස්ගන්වා බහිෂ්කරණය කරන බැවිණි. මින් අදහස් වන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයම මුලධාර්මික වෙමින් ඇති බව යැයි ජිජැක් පවසයි. එසේ නම් අප නව නිදහසක් සොයා ගත යුතු වෙමු. අපට ‘රැඩිකල් ජිජැක්’ (මෑත ජිජැක්) මුණගැසෙන්නේ මෙම අතිමූලික ව්‍යුහාත්මක සිරවීම (structural deadlock) අසල දී ය. ඔහු එහිදී යෝජනා කරන්නේ මෙම විපරිත සිරවීමෙන් ගොඩ ඒම සඳහා රැඩිකල් ක්‍රියාවක් (radical act) වෙත අප යොමුවිය යුතු බවයි. අප දෙස බලාසිටින කිසිවෙක් නොමැති බැවින් අප පුර්ණ ලෙස නිදහස් යන හෛඩගරියානු ස්ථාවරය ජිජැක් පුනර්ජීවනය කරමින් නව ‘ලෙනිනියානු නිදහසක්’ (Leninian Freedom) ඉල්ලා සිටී. මෙම නව ජිජැකියානු රැඩිකල් ස්ථාවරය නිසා ජිජැක් බරපතළ ලෙස විවේචනයට ලක්වේ.  එනිසා ‘මගේ ලෝකයෙන් පසු ලෝකය’ ව්‍යාපෘතියේ දී අපගේ ඒ පිළිබදව මීළඟ අදියර වෙත පියනගමු.   

ඒ සමගම ජිජැක් ෂෙලින් හරහා තවත් කරුණක් වෙත අප අවධානය යොමු කරයි. එනම් ද්‍රව්‍යය සහ ආත්මය අතර පරතරයයි. අපේ ජීවිතයේ දාර්ශනික ජීවිතය සහ සාමාන්‍ය ජීවිතය යනුවෙන් ජීවිත දෙකක් පවතී. එයින් එකක් නම් අපි එදිනෙදා ගතකරන පවුකාරි ජීවිතය යි; එදිනෙදා ගතකරන කැත, (Ugly) කුණු වුණු ජිවිතය යි. උදාහරණයක් ලෙස ගතහොත් පොළට ගොස් රුපියලක් දෙකක් අඩුවෙන් ඇති තැනකින් භාණ්ඩ මිල දි ගැනීම, බස් කොන්දස්තරට මුදල් නොදී බසයේ ගමන් කිරීම සහ ලොතරැයි සොරකම් කිරීම බඳු කුණු වූ වාස්තවිකත්වයක් එක් පසෙක පවතී. උදැසන සිට සවස් වනතුරු මෙසේ සිදුවන පැවැත්මේ ක්‍රීඩාව සවස් වනවිට තවත් අශ්ලීල වේ. දවල් හොරකම් කළ සල්ලිත් රැගෙන සවසට නයිට් ක්ලබ් යන්නෙමු; ගැහැනු වෙනුවෙන් මරා ගන්නෙමු; බෝතල් කඩන්නෙමු; ඒ බෝතල්වල තිබෙන මත් පැන් පාරවල් අද්දර සිට බොන්නෙමු; රණ්ඩු කරන්නෙමු; මරාගෙන යන්තම් බේරාගත් ගැහැනුන් සමග කාමරවලට යන්නෙමු. මේ අප දැන් අත්විඳින සත්ව නිදහසයි. ධනවාදය ඒ සඳහා ඉඩ දී ඇත. මේ අකාරයට අපේ කැත කුණු ජීවිතයක එක් තලයක පවතී. සාකච්ඡාව ආරම්භයේ දී පැවසුව පරිදි ම තත්ත්වය මෙසේ තිබිය දී ම අපි අපේ අධ්‍යාත්මය දෙස බලන්නෙමු.

දෙවැන්න වන්නේ: අපි සැවොම පොරොත්තුවෙන් සිටින අධ්‍යාත්මය හෙවත් උසස් ජීවිතය යි. නමුත් මේ දෙක අතර පාලමක් නොපවතී. ඇත්ත ජීවිතය තුළ අපිට සිදුව ඇත්තේ පවු යැයි කියාගන්නා සහ කුණු කැත වැඩ කරමින් සිටින්නට ය. දෙවැන්න ලෙස ඉහත සඳහන් කළ ආකාරයේ යුතෝපියාවක් සමග ද වැඩ කරන්නට සිදු වී ඇත. අපේ සාකච්ඡාව ඇරඹියේ එතැනනි. එනම්, භූමිය (ground) සහ අධ්‍යාත්මය (spirit) අතර පරතරය සහ නපුර සහ යහපත අතර පරතරය නමිනි. මෙම පරතරය මකා දැමීමේ පාලම ගොඩනැගිය යුත්තේ දාර්ශනිකව ය. එය සාම්ප්‍රදායික වාමාංශිකයන්ට පවතින නොහැකියාවකි.

මර්කුසේ සඳහන් කරන්නේ සෞන්දර්යයට මිනිස් චින්තනය සහ අධ්‍යාත්මය වෙනස් කිරීමේ විශාල විභවයක් ඇති බවයි. සත්ව නිදහස වෙනුවට මනුෂ්‍ය පැවැත්ම සහ ස්වභාවධර්මය කෙරෙහි නව ආකාරයකින් බැලීමට එය අප හුරු කරන බවයි (සම්මාන වෙනුවෙන් මරා ගන්නා  සාහිත්‍යකරුවන් දෙස බලන්න).  සමාජවාදය හෝ දියුණු ධනවාදය තුළ සත්‍යය වශයෙන් නිෂ්පාදනය නොවුණු මෙම පුද්ගල විඥානය (consciousness)  සංවර්ධනය කිරීම සඳහා මකුසේ ගැඹුරු සාහිත්‍යය වෙත පමණක් නොව මනෝ විශ්ලේෂණය දෙසට ද යොමුවෙයි.    

එම සාන්දෘෂ්ටික නොහැකියාව සම්බන්ධයෙන් ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් පවසන්නේ මෙවැන්නකි. හොලිවුඩ් විසින් ගෝලීය ජනතා දෘෂ්ටිවාදය  සකස් කරන අවස්ථාවක අර්ථය (meaning) සහ අර්ථ විරහිත බව (meaninglessness) අප වෙන්කර ගන්නේ කෙසේද? ඒ සඳහා ගැඹුරු අධ්‍යාත්මයක් සහ විඥානයක් ලබා ගැනීම සඳහා අපි දවසේ වැඩි ප්‍රමාණයක් ගත කරන ජනප්‍රිය සාහිත්‍යයෙන් වෙන්විය යුතු නොවේද? එනයින් ‘නව සංස්කෘතික ආරම්භයක්’ (new cultural beginning) අපි ලබා ගත යුතු බව ජෙම්සන් කියා සිටී. මෙය තුන්වන ලෝකයට වඩාත් සුවිශේෂ බව ඔහු අවධාරණය කරයි (කියවන්න Third World Literature in the Era of Multinational Capitalism ලිපියේ 67 පිටුව). තුන්වන ලෝකයේ පරිහානිය කොතෙක්ද යත් මේ වනවිට ගැඹුරු සාහිත්‍යය  පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් නොඑන තරම්ය.

මෙවන් ඉරණමක් තුළ එදිනෙදා ජීවිතය සම්බන්ධයෙන් අපට වෙත පැවරෙන වගවීම කුමක් ද? එසේත් නොවේ නම් කිසියම් ආදර්ශයක්? සැබැවින් ම එවැන්නක් නොපවතී. රුසියාවේ ද නොතිබුණි. චීනයේ ද නොතිබුණි. සමාජවාදී ජීවිතය යනු වාස්තවිකත්වය සමග ගැටී නිවෙස වෙත යන හෝ කම්කරුවා ඇණ මුරිච්චි තද කරන ජීවිතයක් නොවේ. නිහාල් පීරිස් මහතා ඉදිරිපත් කළ ප්‍රබුද්ධ පීචං මතවාදය අර්බුදයට ගමන් කරන්නේ මෙහි දී ය. උත්කෘෂ්ට සහ පහත් යැයි පැවසෙන මේ ජීවිතය බැලු බැල්මට දකිත හැකි ය. ඒ, දොස්තොවුස්කිලා ප්‍රමුඛ රුසියානු ලේඛකයන් සාකච්ඡා කළ සාහිත්‍යය යි; ඒ ඇසුරින් නිර්මිත සිනමාව සහ වේදිකා නිර්මාණ ය; අනෙක් පසින් මේ වන විට ප්‍රදර්ශනය වෙමින් පවතින ‘මායා’ බඳු සිනමාව ය. නිහාල් පවසන්නේ මේ දෙක අතර පරතරයක් නොමැති බවයි. එය එසේ නොවේ. මෙම ප්‍රපංච දෙක අතර පරතරයක් නැතැයි පිළිගන්නා මොහොතේ ම සිදුවන අනෙක් දෙය නම් ‘ඔබ ඔබේ විදියට ඉන්න. මම මගේ විදියට ඉන්නම්’ යැයි පැවසෙන බහු-සංස්කෘතික (multicultural)මතය යි. එනම් අපි පැවසු පරිදි ම අවරගණයේ, කුණු රසිකත්වය පවතින; එයට රුචිකත්වය දක්වන පුද්ගලයා හැමදාම එම රසිකත්වය තුළ ම රඳවා තබාගැනීමේ තර්කය ගොඩනැගෙන ස්ථානය යි. එය මෙලෙස ද විග්‍රහ කළ හැකිය. අපි කිසිවකු දිනපතා බිත්තර ආප්ප කන්නේ යැයි සිතමු. සැබැවින් ම එය සෞඛ්‍යයට අහිතකර ය. එමෙන් ම දිනපතාම අරක්කු පානය කරන්නේ නම් එය ද ශරීරයට අහිතකර ය.

තත්ත්වය මෙසේ වුවද පෙර සාකච්ඡාවල සඳහන් කළ පරිදි ම දිව්‍යමය ප්‍රචණ්ඩත්වය (divine violence) හරහා කිසිවකු ඔබට ‘මනුස්සයෝ ඔච්චර බොන්න එපා. උඹ ඉක්මනට මැරිල යාවි.’ යනුවෙන් පැවසිය හැකි ය. එම පුද්ගලයා අදාළ විරෝධය රැගෙන එන්නේ ඔබ එම තත්ත්වයේම පසුවනවාට පවතින අකමැත්ත හේතුවෙනි. එසේ නම් අපි මේ මොහොතේ පවසන රුචිකත්වය ද එවැන්නකි. ‘ඔබේ රුචිකත්වය තුළ ම ඔබ ඉන්න’ යැයි පැවසීම තුළ එම පුද්ගලයාට කිසිඳු දිනක ඉහළ රුචිකත්වය: එනම්, වොග්නර්, මොසාට්, බිතොවන් යනාදින්ගේ සංගීත සංධවනියක රසයක් විඳිය නොහැකි ය. පිකාසෝ, වැන්ගෝ යනාදින්ගේ සිතුවමක් කවදාවත් රසවිඳිය නොහැකි ය. ඩොස්ටවුස්කි, ජේම්ස් ජොයිස්, කොන්රඩ් ගේ දීර්ග නවකතාවක්  රෝමන් පොලේන්ස්කි, හිච්කොක්, බර්නාදෝ බ්‍රතොලුසි යනාදින්ගේ සිනමාපටයක් කිසිඳු දිනක රසවිඳිය නොහැකි ය. මන්ද එම වර්ග දෙක අතර පාලම ගොඩනගාගත නොහැකි බැවිනි. නිහාල්ගේ තර්කය තුළ මෙය අහෝසි වන්නේ ය.

එහි දී යමෙකුට මෙවැනි ප්‍රශ්නයක් නැගෙන්නට පිළිවන. එනම්, මායා බඳු සිනමා නිර්මාණයක් පිචං ද යන්නය. එම ප්‍රශ්ණය දෙස අප මේ විදියට බලමු. දේශපාලකයන්ට එරෙහිව රන්ජන් රාමනායක කැති පොලු අරගෙන, රෙදි ඔසවාගෙන එළවීම තුළ එය ඇති ද නැති ද යන්න මෙහි දී වලංගු නොවේ. මෙහි දී කිසිවකු නොනගන ප්‍රහ්නයක් තිබේ. එනම්, දූෂිත දේශපාලනඥයන් කපා පෙති ගසා දැමීම සඳහා රන්ජන්ට කැත්තක් අරගෙන යාමට අමතරව සාරියක් අඳින්නට සිදුවන්නේ ඇයි ද? යන්නය. මෙය මනෝ විශ්ලේෂණය ඇතුළතින් කිසිවකු ප්‍රශ්න නොකරන්නේ ඇයි? රන්ජන් ගැහැනියක් ලෙස රුපාන්තරණය වන්නේ ඇයි? පිරිමියකු ලෙස මෙය ඔහුට කළ හැකි ය; ඔහු එය පිරිමියකු ලෙස කර ඇත. කරමින් සිටින්නේ ය. හිටි අඩියේ චණ්ඩි කතාවක් දෙකක් ද කියයි. එහි දී අදාළ මාධ්‍යෙව්දියාද විපරිතයකු බව පැහැදිලි වන අතර ම ‘මට රෙස්ක්පට් එකක් ඕනමයි’ යනුවෙන් රන්ජන් ද පවසයි. එසේ නම් ඒ පිරිමියා ‘මායා’ සිනමා පටයේදී  ගැහැනියක ලෙස රූපාන්තරණය වන්නේ ඇයි යන්න ඉතා වැදගත් ය.

ඔහුගේ යෝජනාව (සිනමාපටයේ) වන්නේ දූෂිත දේශපාලනඥයන් ශාරීරිකව ම අවසන් කර දැමිය යුතු ය යන්නය. එය ශරීර (body politics) දේශපාලනයකි; වහ වහා ප්‍රතිචාරාත්මක ය; එ’නිසාම ජනප්‍රියවාදී ය.  නමුත් එසේ දුෂණය ඉවර කිරිමට ගැහිනියක බවට පත්වන්නේ ඇයි? පසුගිය සාකච්ඡාවක දී එක් තැනක අපි මෙසේ පැවසුවෙමු. එනම්, පුරුෂයාගේ සත්‍යයට පූර්වයෙන් වී දැනුමක් ස්ත්‍රිය සතු ය යන්නය. පුරුෂයා සත්‍යය සොයාගැනීමට පෙර තත්ත්වය පිළිබඳ අවබෝධයක් කාන්තාව සතුව පවතී. නබි තුමාගේ කතාවේ දි ‘මගේ වම් කලවය මත වාඩි වන්න. මා නිරාවරණය වෙද්දි ඔබ දෙස බලා සිටින්නේ දේවදුතයන් නම් ඔවුන් ලැජ්ජාවෙන් ඉවත බලාගන්නවා ඇත. යක්ෂයා නම් අප දෙදෙනා දෙස ආශාවෙන් බලා සිටීවි’ කියා පවසනවා. එසේ නම් පුරුෂ සත්‍යයට පුර්වයෙන් ගැහැනිය සතුව පවත්නා මේ දැනුම කුමක් ද? රන්ජන්ට පෙර කී ලෙස රූපාන්තරණය වන්නට සිදුවන්නේ ද මෙම කාරණය හේතුවෙනි. එනම් පුරුෂ ලෝකයේ ද්‍රව්‍යමය නිෂ්ක්‍රීය බව සහ අශ්ලීල බව ත්‍රාසයට පත්කරනු පිණිස ය.

අපි එය මෙසේ විග්‍රහ කරගමු. මේ වන විට කුණු වි ඕජස් ගලනා එදිනෙදා පිරිමි සමාජයක් පවතී. මෙස් කුණු වූ පිරිමි සමාජය පිළිබඳ දැනුම රුපකයක් ලෙස ඉස්මතු කිරීම සඳහා ගැහැනියක ලෙස රූපාන්තරණය වන්නට රන්ජන් රාමනායකට සිදුවේ. එසේ නම් මෙම දැනුම යනු කුමක් ද? ඒ දැනුම යනු පිරිමියා තුළ පවත්නා අශ්ලීලත්වය යි. පාපී ජීවිතයට එහි වේදනාවට ආශා කිරීමයි. අශ්ලීල බව වෙතට වැටෙන පිරිමියා ම නැවත තමන්ගේ ආත්මයේ සත්‍යය සොයා යයි. එක් වරෙක පිරිමියාගේ අධ්‍යාත්මය වසඟකාරී ලෙස සොරකම් කරන්නා වූ ස්ත්‍රිය ම අනෙක් වර ඔහුගේ මියගිය අධ්‍යාත්මය වෙනුවෙන් සටන් වදී. ඒ අයුරින්ම අධ්‍යාත්මය මියගිය පිරිමියාගේ මියගිය ආත්මය අවදි කිරීමට ගැහැණියට ප්‍රචණ්ඩ වීමට සිදුවේ. ඒ අර්ථයෙන් රන්ජන් කර ඇත්තේ ‘රැඩිකල් ජීව දේශපාලනයකි’ (radical bio-politics). මෙය ධනේශ්වර රාජ්‍යයේ නොහැකියාව සහ ලිබරල් මර උගුලෙන් ගැලවීමේ ‘කෙටි පරිපථය යි’.  නමුත් පවත්නා තත්ත්වය ශත පහකින් වත් වෙනස් නොවී එසේම පවතී. එය නරඹන අයගේ විඥානය ද වෙනස් වන්නේ නැත. ඔවුන් ඊළගට ඡන්දය දෙන්නේ ද හොඳම හොරාටය. පවත්නා ක්‍රමයට එය හොඳින් සමපාත වේ. මන්ද ධනවාදය එවන් කුළු ගන්වනසුලු හිස්ටෙරික ප්‍රතික්‍රියා වඩ වඩාත් ඉල්ලා සිටින බැවිනි.

ඉහත ඉස්ලාමිය රූපකයට අනුව දෙවියන්ට වුවමනා වෙනවා දෙවියන්ගේ පණිවිඩකරු ලෙස කිසිවකු (නබිතුමා) තෝරාගන්න. ලෝකය වෙනස් කළ යුතු, වඩාත් ආගමික කළ යුතු වඩාත් අධ්‍යාත්මික කළ යුතු ක්‍රියාව වන්නේ පිරිමි දැනුම යි; පිරිමි සත්‍යය යි. නමුඳු පිරිමියා පිළිබඳ නිවැරැදි සත්‍යය දන්නේ ගැහැනිය යි. ඒ සඳහා අපි ඉහත මතු කළ රුපකය පමණක් නොව ජිජැක් ගෙනෙන  එහි අනෙක් රූපකය ද විමසා බලමු.

ඔබේ අදහස කියන්න...