දීන පරිසරයක අදීනත්වය ආරක්ෂා කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා විශාල ආත්ම ශක්තියක්, චරිත ශක්තියක් තිබිය යුතුය. තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කතා කිරීමට නොහැකි නම් ඔහුට හෝ ඇයට සැබෑ සාහිත්‍යකරුවකු වන්නට හැකියාවක් නැත. සැබැවින්ම සාහිත්‍ය නිර්මාණ යනු බලය, යසස, කීර්තිය සඳහා කරන්නක් නොව බ්‍රහ්මාස්වාදය ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් කරන්නකි.

එනම් ලෝක නිර්මාතෘවරයා සමඟ හෙවත් ලෝකය හසුරුවන පරම සත්‍ය ධර්මය සමඟ එක්වීමයි. ඒ දහම වටහා ගැනීමෙන් සහ එය සෙසු ලෝකයාට පැවසීමෙන් ලැබෙන ආස්වාදයට වැඩි යමක් සාහිත්‍යකරුවා නොපැතිය යුතුයි.

එවන් සාහිත්‍යයේ තවත් ලක්ෂණයක් වන්නේ මිනිසාට තමා මෙන්ම තමන් වසන සමාජයේත්, යුගයේත් හැඩරුව හා ස්වභාවය මනසින් මෙන්ම හදවතින් දැක ගැනීමට නිර්මාණය කර ගන්නා ලද කැඩපතක් බවට පත් වීම ය. එහිදී නවකතාව අනෙකුත් සාහිත්‍යාංගවලට වඩා ප්‍රධාන ස්ථානයක් උසුලයි.

නවකතාව යනු කුමක් ද? යන පැනයට පිළිතුරු සෙවීමට නම් අප නව කතාවට නිර්වචනයක් දිය යුතු ය. සැබැවින් ම එය සරල ව නිර්වචනය කළ නොහැකි වුවත්, ලෝකයේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨ නවකතා දෙස බැලූ විට අපට අවබෝධ වන්නේ මූලික වශයෙන් ම නවකතාවක කොටස් දෙකක් ඇති බවයි. එනම්,

1) සමාජ ඓතිහාසික කතාන්දරය

2) ඒ නව කතාවේ පාත්‍ර චරිතවල හද – මනස විග්‍රහ කෙරෙන මානුෂික කතාන්දරය වශයෙනි.

විශේෂත්වය වන්නේ නව කතාවක මේ කතාන්දර දෙක එකිනෙක හා සංකීර්ණව බද්ධ වූවක් ලෙස පැවතීමයි.

කෙටියෙන් එසේ කියු දෙය තවදුරටත් පැහැදිලි ව වටහා ගන්නේ නම් නිදසුනක් ලෙස වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ පැවැත්ම අපට අවබෝධ කර ගත හැකිය. කෙනෙකුට එකවර ම නොපෙණුන ද ගම්පෙරළිය නවකතාව ලියැවී ඇත්තේ ඓතිහාසික යුගයක් මුල් කොට ගෙන ය. එය අනුරාධපුර හෝ පොළොන්නරුව යුග නොව 19 වැනි සිය වසේ අග භාගය වූ සිදුවීමක් බව පැහැදිලි ය.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතේ පැමිණ ගමේ අයිතිය, බලය තහවුරු කරගන්නා කයිසාරුවත්තේ මුහන්දිරම් ගෙන් විශාල සමාජ බලවේගවල උත්පත්තිය මෙන්ම පියල්ගෙන් නගරාශි‍්‍රත ව බිහිවන ධනවාදය අලුතින් ගමට ඇතුළු වන ආකාරය ආදි වූ සමාජ ඓතිහාසික චිත්‍රය ප්‍රබල ව එහි චිත්‍රණය වේ.

මෙහිදී යමෙකුට ප්‍රශ්නයක් නඟන්නට ද පුළුවන. එනම් නවකතාවකට මෙවැනි සමාජ ඓතිහාසික කතාවක් අවශ්‍ය වන්නේ ඇයි? කියා ය. එය ඉතා පැහැදිලි ව වටහා ගත යුතු කරුණකි. හේතුව ඇතැමුන් සිතන්නේ නවකතාකරු පාඨකයාගේ විශ්වසනීයත්වය තහවුරු කිරීමට මෙවැනි දේ කරන බවයි. එහෙත් එය වැරැදි මතයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පවා එවැනි දෙයක් කියා තිබුණ ද ඊට වඩා ගැඹුරු යමක් එහි පවතී.

නවකතාවකට වැදගත් වන්නේ සමාජ ඓතිහාසික චිත්‍රයයි. හේතුව මානුෂික කතාව ගොඩ නැඟෙන්නේ ඒ අනුව වීම ය. නවකතාවෙන් කියැවෙන දෙය, එහි දර්ශනය කුමක් ද යන්න පාඨකයාට වැටහෙන්නේ එවිට ය. කතාන්දර දෙකෙහි අන්‍යෝන්‍ය බලපෑමෙන් නවකතාව බිහිවන බව කියන්නේ ද එබැවිනි.

ගම්පෙරළියේ ද මානුෂික කතාන්දරය වන චරිතවල භාවලෝකය විග්‍රහ කර එළි දක්වන්නේ ඒ ඓතිහාසික කතාන්දරයේ පසුබිම මතිනි.

අද බොහෝ දෙනෙකුට නොවැටහෙන්නේ ද මේ කාරණය ම ය.

ඒ අනවබෝධය නිසා පසුගිය කාලයේ නවකතා වර්ග දෙකක් බිහි ව තිබේ. එනම්,

1) සමාජ ඓතිහාසික වේශයෙන්, ඒ සළුපිළි ව්‍යාජ ලෙස අන්දා

එළිදක්වන නවකතා.

2) සමාජීය නවකතා හෙවත් ටෙලි නාටක සඳහා වූ කතා වශයෙන්

හැඳින්විය හැකි ඒවා යනුවෙනි.

පළමුවැනි වර්ගයේ කතා වසර තිහ හතළිහක් තිස්සේ සිට පේරාදෙණි නව කතාවලින් පසු ඇති වූ ඒවා යැයි කිව හැකි ය. මෙහි ආදී කර්තෘවරයා ලෙස ජී. බී. සේනානායක හැඳින්විය යුතු ය. ඔහුගේ ‘චාරුමුඛ’, ‘වරදත්ත’ වැනි කතා ගත් විට සමාජ ඓතිහාසික ව්‍යාජ සළුපිළි ඇන්ද වූ මනඞකල්පිතයක් ඉදිරිපත් කිරීමට ලියු ඒවා බව පැහැදිලි වේ. ඒවාට වටිනාකමක් දීමට තරම් ශුර වූ ඔහු එහි ඉතිහාසය බුද්ධ වර්ෂයටත් පෙර සිට එන බව ප්‍රකාශ කර තිබේ.

මෙය ඉතා හොඳින් ප්‍රගුණ කළේ සයිමන් නවගත්තේගමයි. ඔහුගේ සංසාර ආරණ්‍ය අසබඩ, සංසාර ආරණ්‍යයේ දඩයක්කාරයා, සාපේක්ෂනී වැනි කතාවල එක්තරා මනඞකල්පිතයක්, හෝ මනෝ විකාරයක් හෝ නෂ්ඨකාම විකෘතියක් පවතින බව පැහැදිලි වේ. එහෙත් ඒවාට සමාජ ඓතිහාසික, ආගමික, දාර්ශනික කොටස් ඔබා ව්‍යාජ සළුපිළි අන්දවා අගයක් ලබා දේ.

පේරාදෙණියෙන් ආ නවකතාවේ තවත් විකාශයක් ලෙස ‘යළි උපන්නෙමි’, හෙවනැල්ල වැනි නවකතාවල ද පවතින සමාජයෙන් විනිර්මුක්ත වූ චරිත ගෙන ඒවාට සළුපිළි හඳවා ඉදිරිපත් කර ඇති බව දැකිය හැකි ය.

නිදසුනක් ලෙස ‘යළි උපන්නෙමි’ කතාවේ චරිත ජීවත් වන්නේ පොදු සමාජයේ නොව විශ්වවිද්‍යාලයේ හෝ මුඩුක්කුවල ය. ඒ චරිතවල විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා විශ්වවිද්‍යාල හා මුඩුක්කු වැනි පොදු සමාජයෙන් වෙන් වූ ස්ථාන යොදාගෙන එයට පෙර කියු සමාජ ඓතිහාසික ව්‍යාජ සළුපිළි මැනවින් පළඳා දොරට වැඩවීමේ ආභාසය දිගින් දිගට ම අද දක්වා එවන් නවකතා නිර්මාණයට තුඩු දී තිබේ. එයට ළඟකදී අලුතින් ම එක් වූ අනුපාන වන්නේ පශ්චාත් නූතනවාදය, අධිතාත්වික, ඉන්ද්‍රජාලික යථාර්ථය ආදි බටහිරින් ගත් කුණු රොඩු ය.

දෙවැනි වර්ගය හෙවත් සමාජීය නවකතා අද ලියන්නේ ටෙලිනාටක නිර්මාණය කිරීමේ අරමුණෙහි පිහිටාගෙන විය යුතු ය. එයට හේතුව ඒ කතාවල කිසිදු ආකාරයකින් සමාජීය බලවේග පිළිබඳ පෘථුල අධ්‍යයනයක් හෝ විශ්ලේෂණයක් ඇති බව නොපෙනීමයි.

මෙවැනි ආගාධයකට සිංහල නවකතාව ඇද වැටුණේ ඇයි? යන්න අප ඉදිරියේ ඇති ගැටලුවයි.

දශක කිහිපයකට පෙර මාර්ටින් වික්‍රමසිංහ විසින් ඉතා විශිෂ්ට නවකතා සම්ප්‍රදායක් ගොඩනඟන ලදී. එය යථාර්ථවාදී යැයි කීම කෙතරම් සුදුසු ද යන්න පසෙක තබා ඉතා හරබර කතා ලෙස හැඳින්වීම වටී. කෙසේ වෙතත් 1960 ගණන් වන විට පරිහානියට පත් වූ ඒ පුරන් කුඹුරුවල වැඩුණු තුන් හිරියා, ගිරා පළා වර්ග කරළියට පැමිණියේ ය. මෙය ගැඹුරින් සලකා බැලිය යුතු කරුණකි. මා විශ්වාස කරන්නේ නවකතාව යනු බුද්ධිමය සමාජයක් තුළ පවතින බුද්ධිමය දේශපාලනයේ උත්තර සංවාදය ලෙසයි. නවකතාකරු කරන්නේ ඒ බුද්ධිමය සංවාදයේ හරය ගෙන සාහිත්‍යයේ යෙදීමයි. වික්‍රමසිංහ යුගයේ එවන් බුද්ධිමය සංවාදයක් පැවතීම ඔහු අතින් විශිෂ්ට නව කතා බිහිවීමට හේතු විය.

ඊට පෙර දශකවල අනගාරික ධර්මපාල තුමා, විද්‍යොදය, විද්‍යාලංකාරය, මුනිදාස කුමාරතුංගයන් ගෙන ගිය මහා සංවාද පැවතිණි. ඒ අතර මාක්ස්වාදීන්ගේ ක්ෂුද්‍ර සංවාදයක් ද විය. පුළුල් ජාතිකත්ව සංවාදයේ උත්තර සංවාදය වූයේ මාර්ටින් වික්‍රමසිංහ අතින් බිහිවූ නවකතා සාහිත්‍යයයි. එමඟින් ඔහු හරවත් විශ්ලේෂණයක් ඒ සංවාදවලට සපැයී ය. පියදාස සිරිසේන ද ඒ සංවාදයේ ම ප්‍රතිඵලයක් වුවද ඔහුට ඒ ප්‍රවණතාව දෙස බුද්ධිමත් ව බලා විශ්ලේෂණය කිරීමට හැකියාවක් නොවී ය. ඔහු කළේ ජාතිකත්වය පිළිබඳ උද්ඝෝෂණයක් වැනි දෙයකි. කෙසේ වුව ද ඒ සමාජ පසුබිමෙහි උසස් නවකතාවලට අවශ්‍ය සංවාදය තිබුණා මෙන්ම 1956 පෙරළියට ද එය මුල් විය.

සයිමන් නවගත්තේගම

අභාග්‍යයකට 56 න් පසු මේ සංවාදය ඉතා පුළුල් තත්ත්වයකට ගෙන යෑමට තිබු අවස්ථාව ගිලිහී ගියේ ය. දේශපාලන පෙරළියත් සමඟ එකතු වූයේ සමාජයේ ආධිපත්‍යය ලබා ගත් එක්තරා මැද පන්තියකි. ඔවුන්ගේ අවශ්‍යතාව වූයේ පැරණි උසස් යැයි සම්මත පන්තිය අනුව යමින් ඉනිමඟේ ඉහළට ම නැඟ මනෝ ලෝකවල සුරක්ෂිත බව රැක ගැනීම විනා බුද්ධිමය සංවාදයක් ඇති කිරිම නොවේ.

එයට ම සම්මාදන් වූ ඊළඟ කරුණ වන්නේ පසුගිය වසර තිහක පමණ කාලයේ මේ රටේ අධ්‍යාපනය මඟින් “අඥාන” පරපුරක් බිහි කිරීමයි. එසේ වීමට හේතුව අපට බුද්ධිමය ආභාසය ලබන්නට තිබු විශ්ව භාෂාව ඉවත් කර මේ පරම්පරාව අන්ධකාර ලෝකයක ඇති දැඩි කිරීම ය. නායකයන් කළේ තරඟ පිටියට තුරඟුන් සැකසීම විනා පඬුවන් බිහි කරන අධ්‍යාපනයක් සැකසීම නොවේ.

ලෝක සාහිත්‍යයේ ද ස්වර්ණමය අවධි තුනක් ඇති බව ජෝජ් ටයිනර් නම් විචාරකයා පවසා තිබේ. එනම් පැරණි ගී‍්‍රකයන්ගේ සාහිත්‍යය, ෂේක්ස්පියර් සාහිත්‍යය සහ රුසියානු නව කතා සාහිත්‍යයයි. අදටත් අප අගයන බටහිර සාහිත්‍යය බවට පත් වන්නේ රුසියානු සාහිත්‍යයයි. බටහිර ලෝකය ද අද සම්පූර්ණයෙන් ම සංස්කෘතික මූලවලින් දුරස්ථ වී ඇති බව ජෝජ් ලුකාස්, ඵබභඤඪඥඵ ඪද ඹඥඵබඥපද පඥචතඪඵථ, ජධදබඥථනධපචපර පඥචතඪඵථ ආදි කෘතිවල පෙන්වා දී තිබේ. ඔහුට අනුව තෝමස් මාන්ගෙන් පසු බටහිර නවකතාව ද සම්පූර්ණයෙන් පිරිහී ඇත. එයට හේතුව විසි වැනි සියවසේදී බටහිර රටවල ඇති වූ ධනවාදයයි. මට සිතෙන ආකාරයට පශ්චාත් ධනවාදය සමඟ බටහිර බුද්ධි සංවාදය ද පිරිහී තිබේ. මිලාන් කුන්දේරා වැන්නවුන් එහි ප්‍රතිඵලයි.

අපේ රටේ ද 77 න් ඇරැඹි යුගය, අනූව දශකය මැද දී අවසන් වී අලුත් සාහිත්‍ය යුගයක් බිහි වේ යැයි තැබූ බලාපොරොත්තුව සම්පූර්ණයෙන් ම ව්‍යර්ථ වී ගියේ ය. එයට වගකිව යුත්තේ දේශපාලනඥයන් නොව ප්‍රබුද්ධයන් ය. එදා ඇති වූ පසුබෑමේ දුර්ධාන්ත ප්‍රතිඵලය වී ඇත්තේ අදටත් ඊට විරුද්ධ බලවේග මතු නොවීමයි. සමාජය වල්මත් වී ඇති ආකාරය සාහිත්‍යයේ පිරිහීමෙන් ම පෙනී යයි.

මේ තත්ත්වයෙන් ගොඩ ඒමට සාහිත්‍යකරුවාට කළ හැක්කේ සමාජයට මඟ පෙන්වීමක් පමණි. එය සාර්ථක වන්නට නම් සමස්ත සමාජයේ ම ප්‍රතික්‍රියාවක් ඇති විය යුතු ය. ඒ අතරින් නවකතාකරුවාගේ වගකීම වන්නේ අප්‍රබුද්ධ සමාජයට ආලෝකයක් පැතිරවීම ය. එය සෑම යුගයක ම සිටි ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්ගෙන් ඉටු වූවකි. එහිදී අප වටහා ගත යුත්තේ ඒ ආලෝකයට ඇත්තේ සීමිත ශක්තියක් පමණක් බව ය. නැතහොත් එය ද නිවී යා හැකි ය. එනිසා වත්මන් පරිහානියෙන් නවකතාව මෙන් ම සිංහල සාහිත්‍යය ගොඩ ගැනීමට නම් ප්‍රබුද්ධ සමාජයක් බිහිවිය යුතු ම ය. එසේ නොවන තාක් සාහිත්‍යයේ දියුණුව යනු සිහිනයෙන් දකින කැඩපතක සේයාවක් පමණක් ම වනු ඇත.

සංලාපය – අරුණි මුතුමලී

Silumina-

ඔබේ අදහස කියන්න...