පරිණත ධනවාදී සමාජයකදී ‘බාහිර බාධාව’ ක්‍රමිකව ස්වයං බාධාවක් බවට විකාශනය වෙයි. අප මෙතෙක් සාකච්ඡා කරනු ලැබුවේ, සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමයට වෙනස්ව ජනප්‍රියවාදී ව්‍යාපාරයක් සහ ජනප්‍රිය නායකයෙක් තමන්ගේ ජනතාව සඳහා නමක් යෝජනා කරන ආකාරයත්, පෙරළා එය ජනතාව අභ්‍යන්තරීයකරණය කරන ආකාරයත් ය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල ආධාරකරුවන්ට වෙනස්ව මෙම ජනප්‍රිය නායකයන් තම ජනයාට පවරන ‘නම’ සහ ඔවුන්ගේ සැබෑ පැවැත්ම අතර තාර්කික පරතරයක් පවතියි.

එබැවින්, ඔවුන් තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් තම නායකයා දෙස බලනවා නොව නායකයාගේ දෘෂ්ටිකෝණයෙන් තමන් දෙස බලයි.  ඒ අනුව, ලුවී අල්තූසර්ගේ ”පොළා පැනීම” අප සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ‘පරමාදර්ශී අහම’ සහ ‘අහමාදර්ශය’ යන සංකල්ප දෙක හරහා වඩා වර්ධනය කරන ලදී. සාම්ප්‍රදායික මාක්ස්වාදී න්‍යාය/ ප්‍රායෝගික යන මෙහෙයුම් සංකල්ප යුගලය ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාර වටහා ගැනීමේදී යල් පැන යයි. පසුගිය ජනාධිපතිවරණයේ දී, ජවිපෙ විසින් සමපේක්ෂණය කළ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය අසළටවත් පැමිණීමට ඔවුන්ට නොහැකි වීම අහම්බයක් නොවේ. ඔවුන්ට සහ පොදුවේ ලංකාවේ ගතානුගතික වමට ජනප්‍රියවාදී දේශපාලන සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය ගැන න්‍යායික වැටහීමක් නැත. අප මේ පුරවන්නේ, එම අඩුවයි. 

              ආදරය පිළිබඳ න්‍යායගත කිරීමක් හරහා අපි ජනප්‍රියවාදී නායකයා සහ ඔහුගේ රසික-ආධාරකරුවාගේ ආත්මීයත්වය වටහා ගැනීමට උත්සාහ කරමු. ලැකාන් විසින් ”සාධාරණ වාග්විද්‍යා මූලධර්ම” අනුගමනය කරමින් ආදරය පිළිබඳ නව නිර්වචනයක් සිදු කරයි. ඔහුගේ න්‍යායට අනුව, ‘ආදරය යනු ඔබ සතුව නැති දෙයක් ඔබගේ ආදරය ලබන්නාට දීමට දරන උත්සාහය යි’. ඉන් අදහස් වන්නේ, ඔබ කෙනෙකුට ආදරය කරන විට ඔබ ආදරය කරන්නේ, ඒ කෙනා තුළ නොමැති දෙයකට යන්නයි. නමුත්,ඒ කෙනා ඒ තමා තුළ ‘නැති දේ’ වෙනුවෙන් රංගනය කරන නිසා, ‘එය’ ඔහු/ඇය තුළ වඩා දෙයක්ය. සරලව කිවහොත්, අප ආදරය කරන්නේ අපගේ ආදරවන්තියගේ ජීවිතයට වඩා විශාල ජීවිතයකටයි. එය, ඇයගේ පැත්තෙන් අතිරික්තයකි.

                ඉහත අනෙකා තුළ ඇතැයි අනුමාන කරන, නාමකරණය කළ නොහැකි ‘අමුත්ත’ (නුහුරු දෙය) නිසා අපට එම ආදරණීය අනෙකා ලබා දෙන තෑග්ග අපගේ පැත්තෙන් වැඩකට නැති දෙයක් වුවත් අප එය සතුටින් භාර ගන්නෙමු. අප ඒ තැනැත්තාට ආදරය කරන්නේ, එසේ ලබා දෙන තෑගි නිසා නොවේ. අප එසේ කරන්නේ නොදන්නා හේතුවක් නිසාය. සැබෑ ආදරේ හිස්ටෙරික සබඳතාවයක් නඩත්තු කරන්නේ මේ නිසාය. අනෙකා තුළ ඇති මෙම නාමකරණය කළ නොහැකි ‘අමුතු වස්තුව’ තමයි ලැකාන් විසින් ‘object’ a යනුවෙන් හඳුන්වන්නේ. ධනවාදය තුළ ඇති නූතන සමාජ සම්බන්ධතා මෙහෙය ෙවන්නේ, මෙම නිශේධනාත්මක වස්තුව වටා ය. මින් අදහස් වන්නේ, ආදරය කරන කෙනා තමාට ලබාදෙන ‘නම’ තමන්ට නොගැළපෙන බව හැඟී ගියත්, එය පිස්සු නමක් යැයි පෙනී ගියත් අප එය භාර ගන්නෙමු. ග්‍රාම්ස්චිගේ වචනවලින් කිවහොත්, මිනිසුන් නමකට කැමැත්ත පළ කරන විට, එම නම සමඟ අනන්‍ය වීමට ඇති ඉඩ අඩුය. ආදරය යනු, ඉල්ලීම තලයේ පවතින දෙයක් නම් එහි අර්ථය  ඉල්ලන කෙනාවත් දන්නේ නැත. කුඩා දරුවකු හඬන විට, එමගින් ඉල්ලන දෙය විවිධ විය හැකිය. එය ආහාරයක් විය හැක, එය උණුසුම් සිපගැනීමක් විය හැක, නැතහොත් එය තරවටුවකට ඇති කැමැත්ත විය හැක.දරුවාට අවශ්‍ය දෙය ටක්කෙටම අප දන්නේ නැත. ඒ නිසා පෙරළා ලබා දෙන දෙය හුදු අනුමානයක් පමණි. එබැවින්, ආදරවන්තිය හෝ රසික ආධාරකරුවා ඉල්ලන දෙය සහ ආදරය කරන්නා හෝ ජනප්‍රිය නායකයා ලබා දෙන දෙය අතර පරතරයක් නිෂ්පාදනය වෙයි. ආදරය මත පදනම් වන සෑම සම්බන්ධයකම ආතතියක් පවතින්නේ මේ නිසාය.

              ජනප්‍රියවාදී දේශපාලන සබඳතා ජාල ගතවීමේදී අදාල ව්‍යාපාර යෝජනා කරන ජනප්‍රිය අනන්‍යතාවයන් සහ ජනප්‍රිය ආත්ම අතර පවතින්නේ ආතතියක්, අවිනිශ්චිතභාවයක් පමණි. ජනප්‍රිය ආත්ම අනන්‍යකරණය වන්නේ, (ලුවී අල්තුෂර් සිතූ පරිදි) මහා අනෙකකු සමග නොවේ. ෆ්‍රොයිඩ් සහ අර්නෙස්ටෝ ලැක්ලෝ සිතූ පරිදි ආත්මයන් නායකයන් සමග අනන්‍ය වීමේදී, ඔවුන් අනන්‍ය වන්නේ සිය අහමාදර්ශය හෝ ඔවුන්ට නායකයා ලබා දෙන ‘නම’ සමඟ නොවේ. ජනප්‍රිය දෘෂ්ටිවාදයන් (සිංහල-බෞද්ධ) සමඟ මිනිසුන් අනන්‍ය වනවා නොව, ඒවා සමඟ යම් පරතරයක් නඩත්තු කරයි. එම පරතරය ඔවුන්ගේ නිදහසේ අවකාශයයි.

                   යම්කිසි හේතුඵල සම්බන්ධයක් මඟින් ජනප්‍රියවාදයන් සමඟ අනන්‍ය වන පුද්ගලයන් පවා ඒවා සමඟ අනන්‍ය වන්නේ, දොම්නස්සහගත පරතරයක් තබාගෙන ය. ඒ නිසා, ජනප්‍රියවාදයන් සහ ඒවා සමඟ අනන්‍ය වන ආත්මයන් අතර ඇති සම්බන්ධය න්‍යායිකව වටහා ගැනීම දුෂ්කරය.

                    අප කලින් සාකච්ඡා කළ පරිදි, ආදරය හෝ සමාජ ඉල්ලීමක් කරන්නා සහ ඒවා තෘප්ත කිරීමට පොරොන්දු වන පුද්ගලයන්ගේ පිළිතුරු අතර ආතතිගත පරතරයක් පවතී. අපි ඒ ගැන මීට පෙර සාකච්ඡා කළෙමු. මේ හේතුව නිසා, ‘ඔබට අවශ්‍ය කුමක්ද’ යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ගොනු නොවේ. එනම්, අනෙකා ඉල්ලන දෙය මට ලබා දිය නොහැක. ඔහු/ඇය කෙතරම් කෘෘර පුද්ගලයෙක්ද? මෙමගින් පුද්ගලයාගේ අහම (Ego) දෙකට පැලෙයි.

                ඉහත හේතුව නිසා, එක පැත්තකින් පුද්ගලයාට ආතතිගත අහමාදර්ශයක් (ego-ideal) හමුවෙයි. එනම්, අනෙකා ඔහුව දකින ආකාරයෙන්මයි ඔහු ඔහුව දකින්නේ යන්නයි. තව පැත්තකින්, පුද්ගලයාට ආදර්ශ අහමක් (Ideal ego) ආතතියකින් යුක්තව පවතී. එනම්, ආත්මයට ඕනේ අනෙකකු විසින් ඔහුව දකින්නයි. පිට කෙනෙකුගේ (සංකේත අනෙකා) දැක්මෙන් තමා දෙසත් නරඹන්නට ඔහු කැමතියි. නමුත් මෙම ස්ථාවර දෙක හැම විටම අසම්පාතයකි. මේ හේතුව නිසා, පෑස්සිය නොහැකි, පතුලක් නැති ආගාධයක් අහම ක්‍රියාකාරීත්වයකට මිනිස් ආත්මය සම්මුඛ වේ.

                   යම්කිසි ආත්මයක් තමා දෙස නරඹන්නේ අනෙකාගේ පැත්තේ සිට නම්, ඔහු හෝ ඇයට තමා සිටින ස්ථානය ගැන (සංකේත යථාර්ථයේ) ඇත්තේ ‘වෙනත් ස්ථානයක්’ (Other place) ගැන වැටහීමකි. ඒ අනුව, ආදරය කරන විට සූත්‍රය මෙසේ සකස් කළ හැකිය. “මම ඔබ දෙස බලන තැනින් නොව ඔබ මා දෙස බලන්නේ”. ඉන් අදහස් වන්නේ, ආත්මය තමා කවුද යන්න සමඟ අනන්‍ය වන තලයන් දෙක අතර ඇත්තේ හිස් බවකි. ඒ නිසා, ඒ දෙක අතර ඇත්තේ ආතතියකි. මෙම ආතතියෙන් ගැලවීමට ආත්මය පැත්තෙන් ගන්නා උත්සාහය කුමක්ද? ආත්මය මෙම ආතතියෙන් ගැලවෙන්නේ, සංකේතිය යථාර්ථය තුළ ක්‍රීඩාවක් සංවිධානය කිරීමෙනි. එය, එක්තරා ආකාරයක සතුට සහ ශෝකය හෝ බැඳීම සහ අතහැරීම අතර ක්‍රීඩාවකි. අනෙකා තමන් ඉදිරිපිට අගාධයක් තනන විට, ඉන් ඉවතට පනින්නට ආත්මය උත්සාහ කරයි. හරියට, ෆ්‍රොයිඩ්ගේ මුණුබුරා ඔහුගේ මවගේ පෙනී සිටීම සහ නොපෙනී යාම තමන්ගේ ක්‍රීඩාවක් බවට පත් කිරීමට නූල් පන්දුවක් හරහා කළ උත්සාහය මෙනි.

                අනෙකා තුළ ඇතැයි අප අනුමාන කරන තත්‍යසමාන වස්තුව, (object a) අපට කිට්ටු වන සහ ඈත් වන ආකාරය සම්බන්ධයෙන් අපට සංකේතීය ක්‍රීඩාවක් සංවිධානය කිරීමට නොහැකි වූ විට, අප සයිකෝසික තත්වයකට ගමන් කරයි. ඉහත ‘වස්තුව’ අප වෙතට එන එක ආකාරයක් වන්නේ, ආදරණීය කෙනෙක් අපට දෙන තෑග්ගකිනි. එය, අපගේ ඉල්ලීමෙහි එහි සැබෑව මඟ හැරීමට අපගේ අනෙකා දරන උත්සාහයකි. නමුත් මෙම තෑග්ග දුන් විගස එය අපගේ ආශාව නොවන බව අපට වැටහේ. එය අසූචි බෙට්ටක් බවට වහා පරිවර්තනය වෙයි. දැන්, මෙම තත්ත්වය අපි ජනප්‍රියවාදයට ආදේශ කරමු. 

Party Team

 

ඔබේ අදහස කියන්න...