ප්‍රාග්ධනයට එරෙහි විප්ලවය ඇත්තේ තව බොහෝ දුරිණි- මහේෂ් හපුගොඩ-

අප ජිවත් වන මේ යුගය යනු දෙහිඅත්තකණ්ඩියේ කොල්ලන් සහ කෙල්ලන් ජොනී සින් හෝ නිකි බෙන්ස් ලා ගේ ලිංගික වික්‍රමාන්විත (erotic adventures) තම හෝටල් කාමර ඇඳන් මත රඟ දැක්වීම ට පටන් ගත්තා පමණ ක් වූ කාලයක් ය. යන්තම් රුපියල් දහ දාහක පමණ (ඩොලර් වලින් නම් ඩොලර් පනහකි) සල්ලියක් අතගාන්න පටන් ගත් ඔවුන්ට දැන් අපේ නුතන බෞද්ධ සද්භාව කතා හෝ නලින් ද සිල්වා හෝ ජිජැක් අධ්‍යයනය හෝ ඇසෙන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ හැකිනම් ඇමෙරිකාවේ කැලිෆෝනියා සානුවට යාමට ය. ඒ යන අතර තුරේ කරණිය මෙත්ත සුත්‍රය හෝ රතන සුත්‍රය ඇසෙනවා නම් තවත් ඔවුන්ගේ ගැම්ම වැඩි වනු ඇත. ආරක්ෂාව ට හෙණ රාජ තෛලය බින්දුවක් සහිත සුරයක් ඇත්නම් වඩාත් හොඳය. ජිජැක් කියන අයුරින් අප හිතනවාටත් වඩා ප්‍රාග්ධනයට හා ගෝලීය කේන්ද්‍රය ට ආකර්ෂණය වී ඇති මේ නව පරම්පරාව විසින් සිදු කිරීමට නියමිත ප්‍රාග්ධනයට එරෙහි විප්ලවය ඇත්තේ තව සෑහෙන පමණ දුරිණි. The Independent පුවත් පතට අනුව එක් නිල් චිත්‍රපට පෙනී සිටීමක් සඳහා එක් නිළියකට ගෙවන සාමාන්‍ය මුදල ඩොලර් 1000 කි (රුපියල් වලින් එය ලක්ෂ දෙකකට කිට්ටු ය – හරියට ම 181646.44 කි). Ben English වැනි නළුවෙක් වසරකට ඩොලර් ලක්ෂ හතරක් පමණ සොයයි (රුපියල් වලින් 72658577.35 කි) . ජොනී සින් ගේ සමස්ත වත්කම් වල වටිනාකම ආසන්න වශයෙන් මිලියන තුනක් යැයි කියනු ලැබේ (රුපියල් වලින් 5449393300.88 කි). ප්‍රාග්ධනය යනු එයයි. ඇමෙරිකාවේ දී නම් නියම ප්‍රමිතියේ හැම් බර්ගර් එකක් වත් මිලදී ගත නොහැකි අපේ හිඟන මාසික වේතනයට සාපේක්ෂව ප්‍රාග්ධනය වැඩ කරන්නේ එසේය. ජොනී සින් ගේ මීළඟ ලිංගික වික්‍රමාන්විතය රූපගත කරන්නේ අභ්‍යවකාශයේ ය. ඒ සඳහා ගණන් හදා ඇති පිරිවැය ඩොලර් මිලියන 3.4 කි (රුපියල් කර ගැනීමට Google Money Converter ය පාවිච්චි කරන්න). අපි ඉතින් ‘සියල්ල අනිත්‍යය’ යන බුදු බණ පදය අසමින් සැනහෙමු!!

එසේ නම් මනෝ විශ්ලේෂණයේ ද සහය ඇතිව ‘විමුක්ති විෂය’ (නොහොත් සත්‍ය ලෙස විමුක්තිය සොයා යන්නෙක් – subject of liberation who seeks true emancipation) මෙම පසු නූතන යුගයේ කළ යුත්තේ කුමක්ද? එය පැහැදිළි කර ගැනිමේදී එවන් විමුක්ති විෂයක් විසින් උත්සාහ ගත යුත්තේ විමුක්තිය සඳහා ඇති බාධාවන් ලෙස හඳුනා ගන්නා බාහිර සාධක (බුර්ෂුවා යුධ යාන්ත්‍රනය හෝ ප්‍රචාරණය) මෙන්ම අභ්‍යන්තර (ආත්මීය) සාධක යන දෙකම ගැන සැලකිලිමත් වීමට ය. තවත් වැදගත් දෙයක් කිව යුතුය. 

සත්‍ය විමුක්තිය යනු බුර්ෂුවා විමුක්තිය නොවේ යන්න අප භාවිතා කල යුතු වන්නේ වමේ දේශපාලනය පොහොසත් කල යුතු අර්ථයෙන් මිස හුදෙක් රනිල් හෝ වෙනත් කෙනෙක් විවේචනය කිරීමේ උපකරණයක් ලෙස නොවේ. මාක්ස් විසින් න්‍යාය ගත කල ප්‍රාග්ධනය පිළිබද කරුණ තවදුරටත් වලංගු කරුණක් ලෙස අප හඳුනා ගන්නා අතරතුර ම ප්‍රාග්ධනය ඈත දුෂ්කර ප්‍රදේශ වලට ගමන් කරන්නේ දැන් යන කරුණ සිහිපත් කරගත හොත් (ජේ. ආර්. ගේ ව්‍යාපෘතියේ ප්‍රථිපල අපට හඳුනා ගැනීමට ලැබෙන්නේ දැන් ය යන ප්‍රවාදය තුල) වමේ ව්‍යාපාරයට විශාල කාර්යයක් මේ වනවිට තව දුරටත් ශේෂව ඇත යන්න අප අවබෝධ කර ගත යුතුය. මෙම නව තත්වය තුළ වමේ දේශපාලනය විසින් පුරවා ගත යුතු දැනුමේ හිඩැසක් (lack of knowledge) පවතින අතර අනෙක් අතින් දැනුම සමඟ අතිරික්ත සම්බන්ධයක් (excessive attachment) පැවැත්වීම ද සත්‍ය අරගලයෙන් අප නොමඟ යාම පිණිස හේතු වේ (උදාහරණ ලෙස බාහිර ලෝකය පවතී ද නැද්ද හෝ ප්‍රපංච අතර සමපේක්ෂකත්වය වැනී ඇකඩමික මාතෘකා ගැන සිහිපත් කරන්න). උදාහරණ වශයෙන් මේ දැන් තමා වෙතට යම් ප්‍රාග්ධනයක් පැමිණෙන මොහොතේ ත්‍රි රෝද රථයක් හෝ ස්කූටි පෙප් එකක් මිළට ගෙන මේ දක්වා සැතපුම් ගණන් පයින් නගරයට (මේවා නගර නොවේ) පැමිණි මිනිසුන් දැන් එම සැතපුම් දහය විනාඩි දහයෙන් ඒමට පටන් ගත්තා පමණය. බස් රථයක් ඇහැට දැක නොතිබූ කෝපායි, පලෙයි වැනි ප්‍රදේශ වල මිනිසුන් ලේලන්ඩ් බසයක් දුටුවා පමණය. වසර තිහක් මොබයිල් දුරකථනයක් හෝ කේබල් රූපවාහිනියක් දැක නොතිබූ යාපනේ වැසියන් මේ දැන් බටහිර මාදිලියේ දෙමළ චිත්‍රපටයක් බලන්න සුදානම් වුණා පමණය (ආවා කල්ලිය යනු මේ චිත්‍රපට වල ඇති දේවල් තම යාපන විදී යථාර්තයේ රඟ දක්වන තරුණයින් පිරිසකි). සබ් වූෆර් එකකින් සිංදු අසා නොතිබූ මිනිසුන් යාපනේ අළුතෙන් දමා ඇති සොෆ්ට් ලොජික් සාප්පුවෙන් දැන් මේ කැසට් එකක් ගත්තා පමණය. තමා මෙතෙක් දැක නොතිබූ ජොනී සින් ගේ නිල් චිත්‍රපටි දසුනක් තම මොබයිල් දුර කතනයෙන් හෝ අර සොෆ්ට් ලොජික් සාප්පු වෙන් ම ගත් ලැප් ටොප් යන්තරයෙන් බැලීමට පටන් ගත්තා පමණය. මේ ඔවුන්ට පන්ති අරගලය ගැන දේශනා පැවැත්විය යුතු මොහොත නොවේ. නූතන බුදු දහම ගැන අපගේ කතා හෝ ජිජැක් ගැන අප කියන කතා ඔවුන්ට ඇසීමට කාලයක් නැත. මැදවච්චියේ සිට කොළඹ බලා මරණිය වේගයෙන් ලේලන්ඩ් බස් රථයක් හෝ වෙනත් වාහනයක් හෝ කොළඹට එළවන ඔවුන් ජොනී සින් ගේ ලිංගික වික්‍රමාන්විත මේ නරඹන්නේ තම වසර තුන් දහසක් වත් පැරණි ශිෂ්ටාචාරයේ ම මුල් වතාවට ය. ඒ සියල්ල දැක ගැනීමට ඔවුන්ට හැකිව තිබෙන්නේ ප්‍රාග්ධනයේ ගෝලීය ආගමනය නිසාවෙනි. එසේනම් ඉහත අර්චන සහ ෆැන්ටසි ලෝකය තුළ ඔවුන් තවමත් පැරණි භෞතික ජිවිතයෙන් ද ඛණ්ඩනය වී නැත (ජොනී සින් ට මෙසේ කළ හැකි වුවේ බටහිර ලෝකය තුළ සිදු වූ නිශ්චිත ඓතිහාසික ගොඩ නැංවීම් හරහාය). අලුතෙන් ඔවුන් දකින ලෝකය අත්හැරීමට ද ඔවුන්ට හැකියාවක් නැත. පැරණි පවුල් පන්සල්, වැව් දාගැබ්, යන්තර මන්තර ද ඒ අයුරින්ම ඇත. අලුත් ලෝකයට යාමේ සිහිනය ද ඇත. අළුත් ලෝකය විසින් ඔවුන් පරණ ආකෘතියෙන් ම පිළිගත යුතු බවට ද ඔවුන් අරගල කරයි. මා මේ කතා කරන්නේ සියවස් ගණනක ශිෂ්ටාචාරයේ අප මෙතෙක් අත් නොවිඳි ගැඹුරු මංසන්ධියක් ගැන මිස සෙල්ලමක් ගැන නොවේ ය. මේ ගැඹුරු පරිවර්තනයේ දී ඔවුන්ට මාර්ගය කියා දීමට උපදේශන සපයන්නේ කාගම සිරිනන්ද වැනි මැදිහත් කරුවන්ය.

ඔබේ අදහස කියන්න...