අපගේ සංවිධානයේ යම් ගුණාත්මක පරිවර්තනයක් සිදු වී ඇත. එය සිදු වී ඇත්තේ, වසර 25ක පමණ න්‍යායික සහ දාර්ශනික අරගලයකට පසුව ය. සිදු වී ඇති වෙනස මෙසේ ය. දැන් අප හමුවීමට එන්නේ, තනි තනි පුද්ගලයන් නොව විවිධ සංවිධායකයන් ය. යම් යම් සමාජ අරමුණු සඳහා දැනටමත් සංවිධානය වූ පිරිස් අප සමඟ වැඩ කිරීමට තම කැමැත්ත ප්‍රකාශ කරමින් සිටිති. අප සංවිධානයේ ගුණාත්මක වෙනසක් සිදු වී ඇතැයි කියන්නේ, මෙම තත්වයට ය. විවිධ නිෂේධනයන් -Negations- යම් ධනාත්මක ආකෘතියකට ගොනු වීම අත්‍යවශ්‍යය. ලෙනින් තම දේශපාලන විරෝධය ‘අවස්ථාවාදයට’ (කොට්ස්කි) එරෙහි තැනින් ‘වාමාංශික ළදරු වලිප්පුව’ වෙතට එක්තරා මොහොතකට පසු විතැන් කරයි. ලෙනින් කතා කරන්නේ, හේගල්ගේ ‘නිශේධනයට’ (Negation) එක්තරා මොහොතකට පසුව ධනාත්මකය – positivity-හමුවන බවයි. ලෙනින් එය සිදු කරන ලද්දේ, පාර්ලිමේන්තුව තුළ සිදු කළ අසාමාන්‍ය බල හුවමාරුවක් හරහා ය. මෙතැන දී, අපට 20 වැනි සියවස පුරා මහජන විරෝධයට සම්මුඛ වූ අන්ත[Ends] අමතක කළ යුතු නැත. එකක්, ආයුධ සන්නද්ධ විප්ලවය යි. අනෙක, සතුරා/ මිතුරා භේදය මත පදනම් වූ ජනප්‍රියවාදය යි. නමුත් මේ දිශාණති දෙකටම, ‘රාජ්‍යය’ මහජනයාගේ නිදහස සාක්ෂාත් කර ගැනීමට යොදා ගැනීමට නොහැකි විය. ඒවා විනාශ වූයේ, තමන්ගේම කකුලට වෙඩි තබා ගැනීමෙනි.

              අප 90 දශකයේ මැද අපගේ සංවිධානයට එකතු වීමට පැමිණි සාමාජික/ සාමාජිකාවන්ගේ ආත්මීයත්වය සලකමු. ‘නිනෝච්කා’ (Ninochka– 1939) නම් චිත්‍රපටයේ විහිලුවක් මත පදනම් වෙමින් මෙම සාමාජික- සාමාජිකාවන්ගේ ආත්මීයත්වය සතු සත්‍යය පෙන්විය හැකි ය. කිසිදු ශීලාචාර මිනිසෙකුට (පැදුරු පාටියේ දී A.S.P ලියනගේට හැර) තම ‘ආශාව’ තම ඉල්ලීමට සෘජුව එකතු කළ නො හැකි ය. එබැවින්, තම ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කරන්නේ ශීලාචාර ක්‍රමයකට ය.

[A] මට විප්ලවවාදී දේශපාලනය දෙන්න ‘මධ්‍යම පන්තික’ ස්ත්‍රියක් නැතිව!

මෙහි ස්ත්‍රී version එක මෙසේ ය.

(A.2) මට විප්ලවවාදී දේශපාලනය දෙන්න  ‘ස්ත්‍රීවාදය දන්න, ‘ගෙදර වැඩ’ කරන පිරිමියෙක් නැතිව’ !

 

               ඇත්තටම ඔවුන් තනි පුද්ගලයන් ලෙස (ළදරු වලිප්පුව) ඉල්ලන්නේ, දේශපාලන ප්‍රතිසංස්කරණ නොව ආදරය යි. නමුත්, මතුපිට තලයේ දී උපායික සහ දක්ෂ පිරිමින් ‘දේශපාලනය’ ඉල්ලුම් කරන්නේ, එය ආදරයට සම්පාත කරමින්ය. දේශපාලනය හුදෙකලා බව පවසා, ඉන් සමුගන්නා පිරිමින් බොහෝ විට නිර්මල ආදරවන්තයන් වීම ඒ අනුව අහම්බයක් නොවේ. ඇත්තටම ඔවුන්ගේ අවශ්‍යතාවයෙන් ඉල්ලීම අඩු කළ විට හමු වන්නේ, ආශාවයි. එම නිසා, දේශපාලනය තුළ දී පිරිමින්ට තම ෆැන්ටසියට කැපෙන ස්ත්‍රියක් හමුවීම ආදරය තුළ දී ‘බාහිර යථාර්ථයක්'[External Reality] වෙයි.

               අනෙක් අතට, සුපිරි-අහම බලවත් වූ යුගයක් නව සහශ්‍රකය සමඟ ලංකාවේ බිහි විය. ඔවුන් බොහෝ දෙනකුට විනීතව තම ඉල්ලීම කිරීමට ඉස්පාසුවක් නැත. සුපිරි-අහමේ නියම නියෝගය වන්නේ, සෘජු ලෙසම විනෝද වීමයි. ඔවුන් තම ඉල්ලීම කරන්නේ, අපූරු ආකාරයකට ය. එය, සමහරු රැඩිකල් ආස්ථානයක් ලෙසින් ද නිර්වචනය කරයි. සුපිරි-අහමේ නියෝගය දේශපාලන ඉල්ලීමක් වන්නේ පහත පරිදිය.

[a] ඔවුහු දේශපාලනය සහ ස්ත්‍රිය වෙන් කරයි.

[a.2] ඉන්පසු, ඔවුන් ස්ත්‍රිය වරප්‍රසාදිත තැනක රඳවා දේශපාලනය නිරපරාදේ නාස්ති වන කාලයක් ලෙස සලකයි. (මෙහි මතුපිට ප්‍රකාශනය වන්නේ, දේශපාලනය මර්ධනයක්, අවරෝධනයක් ලෙසත් ලිංගික සබඳතා සහ ආදරය නිර්මාණශීලී සහ සංවේදී දෙයක් ලෙසත් සැලකීමයි)

 

                 දැන් අප ජීවත් වන්නේ, පීතෘ විඥාණගත බල රටාවක නොව නරුමවාදී සන්දර්භයක ය යන අදහස සමාජගත කරන්නේ නම්, සියල්ලට ඉඩ දෙන සුඛපරමවාදී ධනවාදී සමාජයක ‘ආශාව’ බාහිරින් ‘අවරෝධනය’ කරන කිසිවක් හෝ කිසිවෙක් නොමැත. ඒ නිසාම, 90 දශකයේ දේශපාලනයට පැමිණි ‘ජේත්තුකාරයා’ (පරිභෝජනය අර්චනකාමී කරගත් නගරයේ නිදහසේ ඇවිදින්නා) දැන් නොමැත. 21 වැනි සියවසේ දෙවැනි දශකයේ අග සිටින අප වෙතට දේශපාලනය කරන්නට පක්ෂ කරා එන තනි පුද්ගලයන් නොමැත්තේ ඉහත ඓතිහාසික වෙනස නිසා ය.

                    මහා-ආඛ්‍යාන විශ්වාස නො කරන පශ්චාත්-නූතන පුද්ගලයාට දේශපාලන පක්ෂයකට ඇතුල් වූ පසු අප මෙසේ කිවහොත්, ‘ අපි ඔබට විප්ලවය දෙනවා මධ්‍යම-පන්තික ස්ත්‍රියක් නොමැතිව’. එවිට, ඔවුන්ගේ විකල්ප උත්තර මෙලෙස වනු ඇත.

 

  • පිස්සු කෙලින්න එපා! ඔය හදන්නේ මැද පන්තියේ ලස්සන ස්ත්‍රියක් නැතිව විප්ලවය විතරක් දෙන්න නේද? (සාමාන්‍ය මහජනයා; මන්දබුද්ධිකයා (Moron).)

 

  • මොන අහංකාරයො ද මේ? මට අවශ්‍ය නොවන දෙයකට ඇයි මම ගෙවන්න ඕනේ? (පක්ෂයට මාසිකව අරමුදල් දීම) – විචාර බුද්ධිමතා හෝ බූරුවා. (ඇඟ බේරා ගැනීම)

 

  • හරියටම හරි! මට වැඩේ තේරෙනවා. ස්තුතියි, වෙන දවසක එන්නම් කතා කරන්න! (තක්කඩියා හෝ මිථ්‍යාදෘෂ්ටිකයා)

 

                දේශපාලන සංවිධානවලට තනි පුද්ගලයන් ලෙස පැමිණෙන බොහෝ අය ඉහත විකල්ප තුනෙන් එකක් තෝරා ගත් අය යි. මේ හේතුව නිසා, අද දේශපාලනයට වඩා වැදගත් වන්නේ සාමුහික අරමුණු වෙනුවෙන් සංවිධානය වූ සාමූහික මිනිසුන්ය. එවිට, අපට විශ්ලේෂණය පහත ආකාරයට වටහා ගත හැකි ය.

                මහජනයා හෝ ජනගහණයන් හෝ ජාතීන් ‘පන්තිවලට'[social classes] සිහියෙන් හෝ අසිහියෙන් බෙදී වෙන් වී සිටිති. මෙම පන්ති මෙහෙය වන්නේ, දේශපාලන පක්ෂ විසින් ය. මේවාට නායකත්වය සපයන්නේ, විවිධ නායකයන්ය. 

               වර්තමාන ගැටලුව වන්නේ, ඉහත අප ප්‍රකාශ කරන දේශපාලන මොඩලය අපගේ යුගයේ දී අතාර්කික වීමයි. ‘පැරිස් කොමියුනය’ තමයි ලෝකයේ මහජනයා අතරින් පැන නැගී යථාර්ථයක් වෙච්ච පළමු ‘ජනරජය’; මහජනයා හදපු රජය. නමුත්, ඉතිහාසයේ අත්දැකීමට අනුව මේ තත්වය මහජනයා අතරින් පැන නැගීම විතරක් මදි.

          මේ වගේ සංවිධානයක් හැදුවම අපි කලින් නොදැන සිටි අලුත් ගැටලු ගොන්නක් මුණ ගැසෙනවා. දිග කාලයක් ඒ වගේ සංවිධානයක් ප්‍රතිවිරෝධතා රහිතව තියා ගැනීම දුෂ්කර ය. ලෙනින්ගේ පක්ෂ චින්තනය හැදුනේ ඉහත ‘පැරිස් කොමියුනයේ’ අසාර්ථක ප්‍රායෝගික අත්දැකීම් විශ්ලේෂණය කිරීමෙනි. පැරිස් කොමියුනය ත්‍රස්තයෙන් සහ මධ්‍යම පංතියෙන් අවසන් වුණි. ඒ වගේම, මිනිස් ඉතිහාසයේ දෙවන ශ්‍රේෂ්ඨතම දේශපාලන සංසිද්ධිය වූ ‘බොල්ෂෙවික් විප්ලවය’ සැකය, මතිභ්‍රමය, රාජ්‍ය ත්‍රස්තය සහ මුළු මහත් සමාජයම විපරිතභාවයක ගිල්වමින් අවසන් වුණි. නිලධාරිවාදය එහි නිෂ්ඨාව විය.

             ඉන්පසුව, ලෝකයේ බිහි වුණු විමුක්තිය මත පදනම් වූ සෑම දේශපාලන ව්‍යාපාරයක්ම ධනේශ්වර පරිභෝජනවාදය මගින් අවශෝෂණය වීමෙන් අවහිර විය. මේ හේතුව නිසා, අද වන විට සාමුහික චින්තනය සහ සමාජ පරිකල්පනය අංශභාග රෝගයට ලක් වී ඇත.

             අලුත් ආකාරයක ‘දේශපාලන සංවිධානය’ වීමක් ගැන අපි පරිකල්පනය කරන්නේ නම්, අපි නිදහස – Freedom- නම් සංකල්පය අලුතින් නිර්වචනය කළ යුතු වන්නෙමු. මෙය හුදු ඥාණය හෝ න්‍යායිකත්වය ගැන ගැටලුවක් නොවේ. අලුත් පක්ෂයකට ප්‍රථම අභියෝගය එන්නේ, දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වලිනි. 1978ට පෙර ලංකාවේ වාමාංශික පක්ෂවල අරටුව වූයේ, වෘත්තීය සමිති දේශපාලනය යි. ඒ නිසා, විජේවීර පටන් ගත්තේ මේ වෘත්තීය සමිති මෙහෙය වූ නායකයන් මධ්‍යම පන්තික යැයි අවලාද නගමින් ය. එදා වෘත්තීය සමිති සටන් කළේ, හාම්පුතාට එරෙහිව ය. අද සටන් කරන්නේ, පොදු බව සහ නිදහස නියෝජනය කරන රාජ්‍යයට – state- එරෙහි පුද්ගලික අවශ්‍යතා වෙනුවෙනි.

          පැරිස් කොමියුනයට සාපේක්ෂව ලෙනින් සාර්ථක වූයේ, මහජනතාව සහ නායකත්වය අතර දයලෙක්තික සම්බන්ධයක් ගොඩනැඟූ නිසා ය. චීන කොමියුනිස්ට් පක්ෂය සාර්ථක වී බොල්ෂෙවිකයන් අසාර්ථක වූයේ, ලෙනින්ගෙන් පසු ඉහත දයලෙක්තිකය ස්ටාලින්වාදීන් අතහැර දැමූ නිසා ය. ‘චීන සංස්කෘතික විප්ලවය’ යනු, මාඕ විසින් නිලධාරී තන්ත්‍රය අකර්මණ්‍ය කොට මහජනයා සහ පක්ෂ ව්‍යුහය අතර නැවත සමාජ සම්බන්ධය තහවුරු කිරීමයි. මෙම සමාජ සම්බන්ධය අද චීනයේ දී වෙළෙඳපොළ සහ ප්‍රාග්ධනය අතර දයලෙක්තිකය මඟින් ඛාදනය වෙමින් පවතියි. ‘දේශපාලන නායකත්වය’ යනු, මහජනයා සහ ‘පක්ෂ මතය’ අතර දයලෙක්තික සම්බන්ධය ගොඩනැගීමයි. මාරාන්තික තුවාල ලබද්දීත්, අප සමාජ ‘අනන්‍යතාවයන්’ ප්‍රතික්ෂේප කර මිනිස් අනන්‍යතාවය තෝරා ගත්තේ ඒ නිසා ය. අද එදා අප සමඟ සිටි පුද්ගලවාදීන් ජවිපෙට යද්දී අද ජවිපෙ සමඟ සිටි සමූහයා අප වෙත එන්නේ, අහම්බයකින් නොවේ. එදා, චම්පික-රතන සමඟ සිටි ජාතිකවාදී බලවේග පවා අප වෙත හැරෙන්නේ, මූලධාර්මිකව අප සත්‍ය නිසා ය.

               නිදහස පිළිබඳ අපගේ ප්‍රවාදය කුමක්ද? නිදහස යන්න නිශේධනයකින් තොරව පරිකල්පනය කළ නො හැකි දෙයකි. ඒ අනුව, කෙනෙකුට තමා අවට පරිසරය, සංස්කෘතිය, ජීව විද්‍යාව යන මේ කුමක් වුවත් නිශේධනය කළ හැකි විය යුතු ය. නිදහස පිළිබඳව සාකච්ඡාව පටන් ගත හැකි සරලම තැනින් අපි එය පටන් ගනිමු. පවුලක් තුළ හැදෙන, වැඩෙන දරුවෙකු තම දෙමාපියන්ගේ අණසක යටතේ ජීවත් වීම දකින්නේ, මර්ධනයක් ලෙසිනි. විටින් විට කරන දෙමාපියන්ගේ නීති-රීතිවලට එරෙහි උල්ලංඝනයක් දරුවන් දකින්නේ, නිදහස ලෙසිනි. ඒ අනුව, දරුවන්ගේ සිත්සතන් වල මූර්තිමත් වන අකීකරුකම මගින් ප්‍රකාශ වන්නේ, දරුවන්ගේ නිදහසයි. මෙමගින්, අපට නිෂේධනය සහ නිදහස අතර සහසම්බන්ධයක් ගොඩනැගීමට හැකි ය. කෙනෙකු මෙම බාහිර අධිකාරිය නිශේධනය කරන විට දී ඒ කෙනා සිටින්නේ, අනෙකාට සාපේක්ෂව නිදහස් තැනක මිස තමන්ගේම කියා කිව හැකි නිදහස් තැනක නොවේ. දරුවාට තම දෙමාපියන්ගේ නීතිවලට අකීකරු වීමට හැකි ය. නමුත්, එම දරුවා තම නිදහස දකින්නේ තම දෙමාපියන්ගේ ලෝකය තුළින්ම යන්න දරුවාට නොදැනෙයි. ඒ අනුව, බාහිරට විරෝධය පෑම හෝ බාහිර විවේචනය යනු නිදහසට අදාළ රැඩිකල් ආස්ථානයක් නොවේ.

             උදාහරණයක් ලෙස, හේගල් විසින් ස්වාමියා සහ වහලා අතර අන්තර් සබඳතාවයේදී නිදහස ඇත්තේ, වහලාගේ පැත්තේ බව හඟවයි. නමුත්, වහලා මේ සිතා ගන්නේ බාහිර නිදහස [External Freedom] ගැන පමණි. වහලා සිතන්නේ, තමාට ස්වාමියාව මරා දැමීමෙන් පසු බාහිර ලෝකයේ සැරිසරා තම නිදහස සාක්ෂාත් කරගත හැකි බවයි. මෙහිදී, විමුක්තිය [Liberation] ගැන රැඩිකල් අදහසක් අනාවරණය වෙයි. එනම්, වහලාගේ නිදහස රඳා පවතින්නේ ඔහු පරිකල්පනය කරන ස්වාමියාගේ විනෝද සාරයට සාපේක්ෂව ය.[ Enjoying Substance] ස්වාමියා මරා දැමීමෙන් පසුව, වහලාට ඔහුගේම/ ඇයගේම විඥාණය [spirit] හමු වෙයි. එසේ හමුවන විඥාණය කිසිදු අන්තර්ගතයක් නැති හිස් එකකි. මන්ද, ස්වාමියා මරා දමා ඇති නිසා ය. මෙම හිස් විඥාණය නැතහොත් මනස, වහලාට ඉතාම රැඩිකල් බියකරු සිහිනයක් යෝජනා කරයි.

               එම සිහිනය වහලාට කියන්නේ, ආපසු හැරෙන්න කියා ය. වහලා තම ස්වාමියා මරා දැමීම නිසා ඔහුට සම්මුඛ වන්නේ, ‘නිදහස් බාහිරත්වයක්’ නොව දරාගත නො හැකි ‘අභ්‍යන්තර හිස් බවකි’. මන්දයත්, තමන්ගේ බාහිර නිදහස වලක්වන බාහිර ආධිපත්‍යය මියගිය පසු, එමගින් ස්ව්‍යංක්‍රීයව අභ්‍යන්තර නිදහස [Internal Freedom] ද ප්‍රතිජනනය වන නිසා ය. දෙමාපියන් මියගිය දිනෙක දරුවන් අභ්‍යන්තරිකව කඩා වැටී, ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිතයේ ධනාත්මක පැත්ත (තාත්තා මට ඇනපු ටොක්ක) යළි තහවුරු කර ගැනීමට උත්සාහ කරන්නේ මේ නිසා ය. ඒ අනුව, වහල්කම නිශේධනය කිරීම අවසන් වන්නේ තාර්කික වහල්භාවයකට අපව යළි ඇතුළු කිරීමෙනි. ඒ අනුව, ‘නිදහසේ’ බාහිර බාධාව ඉවත් කිරීමෙන් පසු නිදහස යනු කෙනෙකුගේ අභ්‍යන්තර සීමාව බව අවබෝධ වෙයි. [Internal Limit]බාහිර ආධිපත්‍යයන්ට සහ බාහිර නපුරුකම් වලට එරෙහිව අහිංසකත්වය දේශනා කරන වහලා නොදන්නේ, එම ආධිපත්‍යයන් සහ දුෂ්ටකම් යනු තමන්ගේම ෆැන්ටසිකරණයක් බවයි. ඒ අනුව, නිශේධනය විසින් බාහිර බාධාව ඉවත් කළත්, අභ්‍යන්තර බාධාව ඉතුරු කරයි. එයට අප කියන්නේ, ‘ශුද්ධ නිශේධනය’ (Pure Negativity) කියා ය. එනම්, සිතීම ඇතුළේ නිදහසයි.

                   ‘ශුද්ධ නිශේධනය’; එනම් බාහිර බාධාව අවසන් වූවත්, පවතින නිශේධනයක් මිනිස් ආත්මීයත්වය තුළ පවතියි. සරලව කිවහොත්, නිදහසේ රැඩිකල්ම භූමිය කරා අපව ගෙන යන්නට නිශේධනයට ද නො හැකි ය. එතැන දී අපට අපවම සතුරෙකු ලෙස සම්මුඛ වෙයි. ‘පීඩාකාරී සැමියා’ තෝරා ගත්තේ, බාහිර හේතුවක් නිසා නොව තමන්ගේම ආත්මීය හේතුවක් නිසා බව අවබෝධ වූ විට විමතියට පත් වීම හැර අන් විකල්පයක් නැත. පීඩාකාරී පාලකයා ද බිහි වන්නේ, මෙලෙසය.

                    වහල් මානසිකත්වයෙන් මිදීම ස්ටොයිකවාදය [Stoicism]නැතහොත් උපේක්ෂාවාදීන්ගේ අරමුණයි. ස්වාමියා මියගිය පසුව හිස් වන ආත්මයට වහලා බිය වන අතර එය ‘තර්කය’ (Reason) හෝ හේතුව මගින් පිරවීම හරහා වහලා යළිත් බාහිර ලෝකයට එකතු වෙයි. මනස ශූන්‍යතාවයෙන් කෙළවර නො වන්නේ, ශූන්‍යතාවයට පසුව යළි ධනාත්මකව ලෝකය හමුවන නිසා ය. ලෝකයෙන් නෛෂ්ක්‍රමණය කරන්නා යළිත් ලෞකික ලෝකයට එන්නේ, හේතුව පාවිච්චි කරමිනි.

                    හිස්ටෙරික කෙනෙකු අනවරතව ලෝකය ප්‍රශ්න කරන නිසා එවැන්නියක් තම ‘නිදහස’ සාක්ෂාත් කරගනු වෙනුවට බාහිර ආධිපත්‍යය නැතහොත් මාස්ටර්වරයෙකුගේ පැවැත්ම යළි තහවුරු කරයි. නිදහසට එරෙහි සියලුම බාහිර නියාමනයන් හිස් කළ පසුව ඉතුරු වන ශේෂය හිස් ය. ලෝකය නිශේධනය කරමින් හිස් බව කරා පසුබැසිය හැකි අතර එහි අවසන් පියවරට පසුව ඇත්තේ, නැවත බාහිර ලෝකය දෙසටම වූ චලනයකි. ශුද්ධ නිශේධනයට පසුව එන මේ යළිත් ගමන අපේ සැබෑ නිදහසයි. එනම්, බාහිරත්වය සිතුවිල්ලේ බහිෂ්කරණයක් බව වැටහෙයි.

                    අප අවබෝධ කරගත යුත්තේ සහ මුලාවට නො වැටිය යුත්තේ, නිශේධනය අරභයා ය. නිශේධනයේ රැඩිකල් මෙහෙයුම වන්නේ, ආත්මය දැන සිටියත් නැතත් මේ ලෝකය ධනාත්මක බව පෙන්වීමයි. මෙය, සම්ප්‍රදාය කරා යළි පැමිණීම හෝ පවතින තත්වයට යළි අනුගත වීම නොවේ. අප මේ ගමන් කරන්නේ, බාහිර නියාමනයන්ගෙන් ස්වයං-නිර්ණය කරා ය. ස්වයං- නිර්ණයේ දී, එක්කෝ තමන් කැමති දෙයක් කළ හැකි අතර නැතහොත් වරණයන් ගොඩක් අතරින් එකක් තෝරා ගත හැකි ය.

                   අවසන් විග්‍රහයක දී, බාහිර නිර්ණය (ආධිපත්‍යය, දෙමව්පියන්) සේම ස්වයං-නිර්ණය ද ආත්මයට සීමාවක් ලකුණු කරයි. කෙනෙකුගේ බාහිර සීමාව බාහිර සතුරෙකු නොව තමන්ගේම සීමාවක් බව වටහා ගැනීම (මනෝවිශ්ලේෂණය) විමුක්තිය යි. සවිඥාණය තමන්ට බාහිර ලෝකය බාධාවක් බව පෙන්වද්දී හේතුව උගන්වන්නේ, බාහිර ලෝකය සාක්ෂාත් කරගත හැකි සමස්තයක් ලෙසිනි. බාහිර ලෝකය බාධාවක් යැයි මනස කියද්දී, බුද්ධිය හෝ හේතුව කියන්නේ නිදහස සඳහා ආකෘතියක් බාහිර ලෝකය තුළ ගවේෂණය කළ හැකි බවයි.

[The Straight Story: Directed by David Lynch – A retired farmer and widower in his 70s, Alvin Straight (Richard Farnsworth) learns one day that his distant brother Lyle (Harry Dean Stanton) has suffered a stroke and may not recover. Alvin is determined to make things right with Lyle while he still can, but his brother lives in Wisconsin, while Alvin is stuck in Iowa with no car and no driver’s license. Then he hits on the idea of making the trip on his old lawnmower, thus beginning a picturesque and at times deeply spiritual odyssey.]

                   උදාහරණයක් ලෙස, කහ ඉර අසළ දී හෙමින් ගමන් කිරීම ආත්මීය තීන්දුවකි. එය, එක් පැත්තකින් බාහිර ආධිපත්‍යයකට යට වීමක් පමණක් නොව ආත්මයේ නිදහසට මඟ පෙන්වීමකි. බාහිර සීමාව ශුද්ධ ලෙස බාහිර එකක් පමණක් නොව එය අභ්‍යන්තරයේ ද සීමාවයි. විපරිතයා කරන්නේ, මෙම බාහිර සීමාවට එහා විනෝදයක් ඇතැයි සමපේක්ෂණය කිරීමයි. ‘බාධාව’ ආත්මීයකරණය හරහා ‘සීමාවක්’ වෙයි. මේ අර්ථයෙන්, බාහිරින් පවතින ආධිපත්‍යය (පක්ෂ නායකත්වය) බාධාවක් වන පරිදිම, අභ්‍යන්තරිකව එය සීමාවක් ලකුණු කරන නිසා එමගින් ආශාව සහ නිදහස ද උත්පාද කරයි. බාහිරට වගකීම යනු, අභ්‍යන්තරයට නිදහස් ක්‍රියාව සඳහා මඟ පෙන්වීමකි. ‘නිදහස’ යනු, ආත්මය තමන්ගේම නිදහසට එරෙහි බව අවබෝධ කර ගැනීමයි.

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0777189471.

Nuwan – 0715324110.

Buddika – 0777189506.

Mihiran – 0777189465.

 

  • ඊළඟ කොටස තුළ නිදහසට අනෙකා සම්බන්ධ වන ආකාරය පිළිබඳව අපි කියවමු – 

                       

 

               

ඔබේ අදහස කියන්න...