මගේ ලෝකයෙන් පසු ලෝකය 04

ආගම පිළිබඳව ජිජැක්ගේ මතය කුමක්ද යන්න පිළිබඳ මහේෂ් හපුගෙඩ සමග කරන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා විචාරය කිරීම හෝ කර ගැනීම සඳහා ‘‘බහි කේන්ද්‍රය’’ නමැති සංකල්පය ද උපයෝගි කර ගත යුතු ය යන අදහසෙනි. ඒ සඳහා උදාහරණයක් ලෙස ස්ටීවන් ස්පීල්බර්ග් ගේ Bridge of Spies සිනමාපටය ද නැරඹිය හැකි බවට පැහැදිලි කළෙමු. අපි අද යොමුවන්නේ නලින්ද සිල්වා විග්‍රහ කරගත හැකි තවත් මානයක් පිළිබඳ ඔබව දැනුවත් කිරීම සඳහා ය.

 

මෙම සාකච්ඡාවේ එක් නිශ්චිත ස්ථානයක දී විශිෂ්ට ජර්මානු දාර්ශනිකයකු වන ෂෙලින් (F.W.J Von Shelling) නමැති දාර්ශනිකයාගේ සහ එවකට අප්‍රකටව පැවති එහෙත් ඉතාමත් වැදගත් කෘතියක් වූ 1813 වර්ෂයේ රචිත ‘ද එජ්ස් ඔෆ් ද වර්ල්ඩ්’ (The Abyss of Freedom: The Ages of the World- ජිජැක් සමඟ 1997 මුද්‍රණය) නමැති කෘතිය හරහා ජිජැක් තම චින්තනය කෙසේ වෙනස් කර ගන්නේ ද යන කාරණාව ඉතා වැදගත් වනු ඇතැයි මම අදහස් කරමි. ‘සමස්ත ලෝකයම හේතුව විසින් ග්‍රහණයට ගෙන ඇත. ගැටලුව නම් හේතුවේ දැල විසින් ලෝකය එසේ හසුකර ගත්තේ කෙසේද යන්නය’ යන දාර්ශනික ගැටලුවෙන් ෂෙලින් තම තර්කනය ආරම්භ කරයි. එහි දී ජිජැක් ඉස්මතු කරන්නේ ලෝකය නිර්මාණය කිරීමෙන් අනතුරුව හුදු ද්‍රව්‍යයෙන් පමණක් සමන්විත වූ ලෝකයක දෙවියන් කෙසේ ජීවත්වන්නට ඇති ද යන කාරණය යි. එනම්, සංකේතීය පිළිවෙළක් නොතිබූ ලෝකය, සංකේතීය පිළිවෙළට පෙර පැවති ලෝකය යනු උමතුවෙන් පිරී පැවති ලෝකයකි. හෙවත් පිස්සුවෙන් පිරී පැවති ලෝකයක් ලෙස පාර- අනුභූතික ආකාරයකින් සහ විඥානවාදි අරුතකින් මෙය විස්තර කරයි. මෙහිදී ෂෙලින් තම අදහස් දැක්වීම තුළ ඉස්මතු කරන්නේ ‘ආරම්භයට පෙර ලෝකය’ (before the beginning) කෙසේ තිබෙන්නට ඇත්ද යන ස්ථානයෙනි. ආරම්භයට පෙර ලෝකය ‘පොළොව’ නැත්නම් ‘මූලය’ (Ground) ලෙස හදුන්වන ෂෙලින් එම මුලය යනු හුදෙක් පරම උපේක්ෂාව (absolute indifference) පමණක් පැවති තත්ත්වයක් ලෙස හදුන්වයි. මෙය නිරපේක්ෂ උදාසීනත්වය ලෙස ද හැඳින්විය හැකිය. ප්‍රාරම්භක නිදහස (Primordial freedom = ඕනෑම දෙයක් කිරීමට ඇති අසීමිත මුලාරම්භක නිදහස) විසින් මිනිසා වේදනාත්මක ලෙස භූමිය ට ගැටගසා තිබු බව ෂෙලින් මෙහි දී අවබෝධ කර ගනියි.

එහි දී දෙවියන් ම කිසියම් බියකින් පසු වූ ආකාරය ප්‍රකට කරන්නට ෂෙලින් උත්සාහ දරා ඇත. එම බිය නම්, පිළිවෙළක් නොමැති සංකේතීය ලෝකය තුළ කුමක් විය හැකි ද යන්න ය. එක් පසෙකින් බැලූ විට මිනිසා ජීවත්වන්නේ අධ්‍යාත්මය සහ භෞතික වස්තුව අතර පවත්නා බහිස්ථතික තත්ත්වකින් බව අපි පසුගිය සතියේ ලිපියේ දී සාකච්ඡා කළෙමු. එනම්, මිනිසා පූර්ණ වශයෙන් භෞතිකය සමග නැතුවා මෙන්ම පූර්ණ වශයෙන් ම අධ්‍යාත්මය සමග ද නැත යනුවෙනි. එයට හේතුව මිනිසා ද්‍රව්‍යය සමග විකසිත වී අධ්‍යාත්මය සමග සංසේචනය වීම යැයි ෂෙලින් සඳහන් කරයි. මෙය වඩාත් පැහැදිලි කරන්නේ නම්, මිනිසා එක විට ම අධ්‍යාත්මයට සහ භෞතිකයට සම්බන්ධ වීම ය. එයට විශේෂ ම හේතුව වන්නේ මිනිසාගේ පැවැත්මේ කොන්දේසිය තුළ මෙන් ම මිනිසාගේ පැවැත්ම (survival) සඳහා නපුර (Evil) සමග අනන්‍ය වීමට සිදුවීම ය. එය ද්‍රව්‍යමය තත්ත්වයේ කොන්දේසියකි. ඔබ ද්‍රව්‍යමය තත්ත්වයක නැත්නම් ඉහත ප්‍රාරම්භක භුමියේ ජීවත් වනවා නම් එවිට ඒ ද්‍රව්‍යය තුළ අනිවාර්ය වශයෙන් නපුර පවතින බැවිනි. එනිසා ෂෙලින් මෙසේ පවසයි ‘‘සෑම දෙයකම මතුපිට විනිවිදිය හැකිනම් එවිට ඒ සෑම දෙයක්ම නිර්මාණය වී ඇති බිහිසුණු ස්වරුපය ඔබට දැකගත හැකිවනු ඇත’’.  (“If we were able to penetrate the exterior of things, we would see that the true stuff of all life and existence is the horrible” ඉහත පිටුව 14) එනිසා යථාර්ථය යනුවෙන් අප හඳුනා ගන්නා දෙය විසින් ම එම යථාර්ථය අසමතුලිත කරනු ලබයි. මෙය ගුරුත්වයේ සහ ව්‍යාප්තියේ පරස්පරතාව (tension between gravitation and expansion) ලෙස ෂෙලින් හඳුන්වයි.

මේ සඳහා උදාහරණයක් ලෙස ද්‍රව්‍ය, ද්‍රව්‍ය ලෙස ම වනාන්තරයේ පවතින අවස්ථාවක් ගෙන බලමු. වනාන්තරයක් තුළ කොටියකු හට මුව පොව්වකු දඩයම් කරන්නට එසේත් නැතිනම් මුව පොව්වා මරා ආහාරයට ගැනීම සඳහා අධ්‍යාත්මයක් බලපාන්නේ නැත. ‘‘අයියෝ මුව පැටිය පවු..! කොටිය කරන්නෙ පවු වැඩක්.’’ යනාදි ලෙස අපි පැවසුව ද එය අප තුළ පවතින සදාචාර සම්ප්‍රේෂණය පමණි. එවන් ප්‍රශ්නයක් පැන නගින්නේ අප තුළ පවත්නා හොඳ නරක බාහිර ලෝකයට ප්‍රක්ෂේපණය (project) කිරීම හේතුවෙනි. නමුඳු සත්‍යය වශයෙන් ම නම් කැලැව ඇතුළත පවතින්නේ භෞතිකය (ground) පමණි. මේ හා සමාන අදහසක් පසුගිය සත්හඬ කලාපයක ‘අල කොළ මාළුව’ කොලමේ සඳහන් වූ බව සිහිපත්වේ. ඒ, මාංශ භක්ෂකද? ශාක භක්ෂකද සර්ව භක්ෂකද යන සිරස යටතේ පළවූ කොලමෙහි ය.

මුවකු මරා ආහාරයට ගැනීම හොඳ ද නරක ද යන්න කොටියකු හට අධ්‍යාත්මික වැටහීමක් නැත. කොටියාට අවශ්‍ය වන්නේ උගේ පැවැත්ම පමණි. කොටියාගේ පැවැත්මේ කොන්දේසිය නම් දඩයම යි. දඩයමක් කර සතකු මරා ආහාරයට නොගත්තේ නම් කොටියා මිය යාම භෞතික ය. ඒ මුවා අහිංසක ද? මුව අම්මාට සිටින්නේ ඒ මුව පොවුවා පමණක් ද? මුවා ඉතාමත් අහිංසකයි නේද? යනාදි කිසිවක් කොටියාට අදාළ වන්නේ ද නැත. කොටියාට මතු නොව වලසා, සිංහයා, වෘකයා යනාදි කිසිඳු සතකුට ඒ කිසිවක් අදාළ වන්නේ නැත. කොටියාගේ පාර්ශවයෙන් ඌට අදාළ වන්නේ ද්‍රව්‍යයේ කොන්දේසිය පමණි. ද්‍රව්‍යයේ කොන්දේසිය නම් නපුර පමණි. නමුඳු මිනිසා අධ්‍යාත්මය සමග ද සංසේචනය වි සිටින බැවින් කොටියාගේ කොන්දේසිය අදාළ වන්නේ නැත. මිනිසා සහ සත්වයා අතර පවතින වෙනස ලෙස ෂෙලින් දකින්නේ මෙම කරුණ ය.

අප මීට පෙර ලිපියේ සඳහන් කළ පරිදි මිනිසා තත්ත්ව දෙකක් සමග සම්බන්ධ බව මෙයින් වඩාත් පැහැදිලි වේ. එකක් නපුර ය. අනෙක යහපත ය. නමුඳු සත්‍යය වශයෙන් ම ලෝකය නිර්මාණය වී තිබෙන ද්‍රවයමය තත්ත්වය වන්නේ නපුර ය. නුතනත්වය තුළ පසුගිය කාලය පුරා ම අපි අත්විඳි: නාසි වද කඳවුරු, ස්ටාලින් විසින් සිදු කරන ලද ඝාතන, මානුෂික මෙහෙයුම යැයි කියාගත් ඝාතන දක්ෂිණාංෂික මෙන්ම වාමාවාදය තුළ පැවති ප්‍රචණ්ඩත්වය, වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රතිචාරාත්මක ප්‍රචණ්ඩත්වය, යටත්විජිත රාජ්‍යය විසින් තමන්ගේ යටත්වැසියන් තළා පෙළා දැමූ ආකාරය සහ ඉස්ලාමීය සන්දර්භය විසින් දියත් කරනු ලබන ප්‍රචණ්ඩත්වය යන මේ සියල්ල නපුර සමග අනන්‍ය වූ, අනන්‍ය වෙමින් පවතින සහ අනන්‍ය වීමට නියමිත කොන්දේසි වේ. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් මේ සියල්ල භෞතික තත්ත්වයේ කොන්දේසි වේ. මිනිසා නිරන්තරයෙන් ම ද්‍රව්‍යය තත්ත්ව සමග කටයුතු කරන හෙයින් නිරන්තරයෙන් ම ද්‍රව්‍යය සමග අනන්‍ය වීමට සිදුවේ. ඉහත සදහන් කළ ආකාරයට එල්. ටි. ටි. ඊ. සංවිධානය මර්දනය කිරීම සඳහා කළ මිනිස් ඝාතන මෙන් ම එල්. ටී. ටී. ඊ. විසින් සිදු කළ සියලු මිනිස් ඝාතන ද ඇතුළත් වන්නේ ද්‍රව්‍යමය තත්ත්වයට ය. 71 අරගලය සහ 87-89 අරගලය මර්දනය කිරීමේ දී රාජ්‍යය පාර්ශ්වයෙන් දියත් කළේ ද ද්‍රව්‍යමය තත්ත්වයට මුහුණ දිය හැකි ද්‍රව්‍යමය ක්‍රියාදාමය යි. එනම් ස්වභාව ධර්මයේ නපුර ය. (ඒ කිසිවක් සාධාරණ යැයි මෙයින් ගම්‍ය නොවන බව ද අවධාරණය කළ යුතු ය.) මේ විදියට මිනිසා ස්වභාව ධර්මය සහ භෞතිකය යන දෙක ම සමග සම්බන්ධ බව පළමුවෙන් ම හෙළි කරන්නේ ෂෙලින් නමැති දාර්ශනිකයා ය.

දෙවියන් මෙහි දී වැදගත් වන්නේ සංකේතීය පිළිවෙළට පෙර පැවති උමතුව දෙවියන්ට ම ද උමතුවක් වූ බැවිනි. දෙවියන් පවා මෙය දුටුවේ උම්මාදයක් ලෙසිනි. ඒ සඳහා කුමක් හෝ කළ යුතුය යනුවෙන් හැඟෙන්නේ ද එවිට ය. මෙහි තත්ත්වය නම් සංකේතීය පිළිවෙළ ඇති කරන විට පළමුවෙන් ම අපි තේරුම් ගත යුත්තේ කුමක් ද යන්න ය. එනම්, සංකේතීය පිළිවෙළක් පවතින්නේ ද්‍රව්‍යමය (Material Condition) තත්ත්වය සහ අධ්‍යාත්මික තත්ත්වය අතර බව ය. මෙම තත්ත්ව වටහා නෙගෙන සංකේතිය පිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළ නොහැකි ය. සංකේතිය පිළිවෙල යනු අනෙකා (The Other) පවතිනවා යනු ය; තමා දෙස බලාගෙන දෙවියන් වහන්සේ හෝ වෙනත් කිසිවකු ඉන්නවා යන්න ය. මෙය පවතින්නේ ද්‍රව්‍ය සහ අධ්‍යාත්මය අතර ය. තවත් එක් කරුණක් වටහා ගැනීම සඳහා මෙම ස්ථානය වැදගත් වන්නේ ය. එනම් ප්‍රජාතන්ත්‍රවාය යන්න ඉස්මතු වීම ය.

ප්‍රජාතන්ත්‍රවාදය අප වෙත කරන එක් දෙයක් නම් යම් යම් දෑ අතපසු කිරීමට සහ කල් දැමීමට පෙලඹවීම ය. මම පෙර කී තත්ත්වය එනම් ස්වභාව ධර්මයෙහි යථ යි. ස්වභාව ධර්මය යනු ම යථකි. ස්වභාව ධර්මයට සමීප වී බැලූ විට එහි අපිළිවෙල කෙතක්දැයි ඔබට වටහා ගැනීමට අපහසු තරම් ය. පෙර සඳහන් කළ කොටියා මුවා දඩයම් කිරීම ඔබගේ ප්‍රක්ෂේපණයේ සිට බලද් දී යථකි. අපිට යමක් නිර්මාණය කළ හැකි වන්නේ ද මෙකී තත්ත්වය සමග ඝට්ටනය වීමෙනි. එනම්, භෞතිකය සමග ඝට්ටනය වීමෙනි. එසේ නොමැතිව භෞතිකයට ඈතින් සිට නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය විසින් කරනු ලබන්නේ ද්‍රවමය තත්ත්වය මෙය මගහැර යාමය. සත්‍ය වාස්තවික සමඟ මිනිසා සම්මුඛ වීම මඟ හැරීමය. ඒ වෙනුවට පාරිභෝගික විනෝදය රැගෙන ඒමය. වාමාංශික දේශපාලනයේ උරුමය වන්නේ මෙම ද්‍රව්‍යමය තත්ත්වය සමග ගැටීම ය. ද්‍රව්‍යමය යථාර්ථය ය සමග ගැටී එම ගැටීමෙන් වාස්තවිකත්වය වෙනස් කරයි. සමස්ත ද්‍රව්‍යයට ම එම ද්‍රව්‍යය ම වෙනස් කළ නොහැකි ය. ඒ සඳහා මිනිස් අධ්‍යාත්මය ද අවශ්‍ය ය; සාමුහිකත්වය අවශ්‍ය ය. සමස්තය වෙනස් කරනු ලබන්නේ ඒ සාමුහිකත්වයේ අධ්‍යාත්මය විසිනි. එහි දී පැන නැගෙන ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යභාරය යි. එය අතිශය වැදගත් කාරණාවකි. එනම්, මහාචාර්ය නලින්ද සිල්වාගේ දෘෂ්ටිවාදය එක්තරා ආකාරයකට සේවය කරන්නේ මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ය. එනම්, ඔහුගේ චතුස්කෝටිකය සහ ආත්ම මූලිකත්වය තමාගේ ලෝකය පමණක් ය යන කාරණාවේ දී ඔහු පසුබසින ආත්මීය ස්ථානය වනාහී නැවත වාස්තවික යථ සමග ඝට්ටනය නොවන ස්ථානයකි. මෙය බුද්ධාගමේ පවතින නෛසර්ගික ස්ථානය යි. එනම් යථාර්ථය සමග නොගැටී සිටීම ය. උපේක්ෂා සහගත දුරස්ථභාවය නඩත්තු කිරීම ය. ‘‘මගේ ලෝකය’’ කෘතිය තුළ මුලික වශයෙන් ම නඩත්තු වන්නේ මෙම උපේක්ෂා සහගත දුරස්ථභාවය යි. එහි දී ප්‍රජාතන්ත්‍රවාදය දෙසට අපි ගමන් කරන්නේ එම දුරස්ථභාවය තුළින් ම ය. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් මෙහි දී හඳුන්වන්නේ වාස්තවික තත්ත්වය මිනිස් මැදිහත්වීමකින් වෙනස් නොකර සිටීම ය. එනම්, වාමවාදයේ උරුමය දෙසට ගමන් නොකිරීම දෘෂ්ටිවාදයක් ලෙස නලින්ද සිල්වාගේ කෘතිය තුළ මතු වීම ය. නමුඳු සත්‍යය වශයෙන් ම ලෝකය වෙනස් කිරීමට වුවමනා නම් අපි වාස්තවික තත්ත්වය සමග ඝට්ටනය විය යුතු ය.

mahinda-_n

එල්. ටී. ටී. ඊ. සංවිධානය සුනු විසුනු කර දැමුවේ නලින්ද සිල්වාගේ දෘෂ්ටිවාදය හරහා ගොසින් නොව්දැයි කිසිවකුට මෙහි දී ප්‍රශ්න කළ හැකි ය. අපි වැරැදි දිශාවට ගමන් කරන්නේ එහි දී ය; වැරැදි යථාර්ථයක් වෙතට ගමන් කරන්නේ ද එහි දී ය; සත්‍යය යථාර්ථය වන: ආර්ථික අසමානතාව, පන්ති අසමානතාව, පන්ති විෂමතාව සහ දරිද්‍රතාව වෙනස් කිරීමේ අවශ්‍යතාව යන මේ සියල්ල වෙනස් කළ යුතු භෞතික වාස්තවික යථාර්ථය සමග නොගැටී හුදු ව්‍යාජ සතුරෙක් නිර්මාණය කරගනිමින්, වාර්ගිකත්වය නමැති අනෙකා කෙරෙහි අපගේ සතුරුභාවය ප්‍රක්ෂේපනය කරමින් අතිශ්‍ය වැරැදි දිශාවකට හෙවත් සතුරකු සොයන දිශාවකට අපි යොමුකිරීමට අවශ්‍ය මූලික දෘෂ්ටිවාදය සපයන්නේ ද නලින්ද සිල්වාගේ කෘතිය තුළින් බව මෙහි දී අවධාරණය කළ යුතු ය. ඉතින් අධ්‍යාත්මයක් නැති අපිට ඕනෑම දෙයක් දෙස නිරපේක්ෂව බලා සිටිය හැකිය. එය ඉහත නිරපේක්ෂ නපුරේ ම කොටසකි.

මතු සම්බන්ධයි

Mahesh Hapugoda

සටහන

ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com

ඔබේ අදහස කියන්න...