[dropcap color=”purple”]ජු[/dropcap]ලි 14 වනදා ‛නිරෝ සමඟ තරුවක්’ නම් රූපවාහිනී වැඩසටහනට පැමිණියේ බන්ධු සමරසිංහය. එම වැඩසටහන නරඹා ඇති අයට මතක තිබේ නම් මෙහිදී සිදුවන්නේ නිරෝෂාගේ පුංචි නිවසට තරුවක් අමුත්තකු ලෙස  පැමිණීමයි. ඇගේ මෙම පුංචි නිවස ඉදිකර ඇත්තේ චිත්‍රාගාරයක් තුළය. නූතන පාරිභෝගිකයකුගේ මානසික ග්‍රහණය හොඳින් අල්වා ගත හැකි මෙම පුංචි නිවස ඇත්තටම පුංචි වෙළෙඳපොළකි.
බහුතර මූලධර්මවාදී ආගමික කණ්ඩායම්වල නිරීක්ෂණයෙන් පිටත ප්‍රදේශයක පවතින ශෘංගාර කලාපයක් පිළිබඳව ඔබගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමි. 60 දශකයේ හිපියන්ගේ ලිංගිකත්වයට වෙනස්ව සමකාලීන දේශපාලන විප්ලවය සිදු වී ඇත්තේ ස්ත්‍රියගේ ්චච්රඑපැබඑ එක ඇතුලේය. සරලව කිව්වොත් පුද්ගලවාදී නිදහසේ දිව්‍යලෝකය පිහිටා ඇත්තේ පහළ මැද පාන්තික ස්ත්‍රියගේ කුලී නිවස තුළය. බොහෝවිට මෙවැනි නිවසක් තුළ ජීවත් වන්නේ නිරෝෂා පෙරේරා වැනි සේවා ආර්ථිකයෙන් සැලකිය යුතු ආදායමක් ලබන අවිවාහක තරුණියන්ය. ‛නිරෝ සමඟ තරුවක්’ වැඩසටහනට අදාල නිරෝෂා ගෘහය යනු (මෙය කුටුම්භයක් නොවේ) මෙවැනි පශ්චාත්-නූතන වාණිජ පුද්ගලික අවකාශයකි.
විෂම ලිංගික පුරුෂයෙකුට හෝ ලෙස්බියන් ස්ත්‍රියකට තම ශෘංගාර සහකාරිය හමුවන්නට හැකි වඩාත්ම සුරක්ෂිත ශෘංගාර කලාපය වන්නේ මෙවැනි ගෘහයන්ය. මෙවැනි ගෘහයන් තුළ ප්‍රධාන වෙනසක් ඇත. මේ තුළ නිදන ඇඳක් නැත. ‛ලිංගික සබඳතා වෙනුවෙන් දෙයක් නැත’ යන ලැකාන්ගේ ආප්තය වඩාත්  තහවුරු කළ හැක්කේ මෙවැනි ගෘහ තුළය. ලිබරල් – ධනවාදී සමාජ අවකාශයේ සාප්පු සංකීර්ණ දේවස්ථාන තුළ මරාදමා ඇති මිනිස් ආශාව යළි කුළු ගැන්විය හැක්කේ නිරෝෂාගේ පුංචි ගෘහය වැනි ගෘහ නිර්මාණ අවකාශයක් තුළය. තවම මෙවැනි අවකාශ ගැන මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ උගන්වන්නේ නැත.
බන්ධු සමරසිංහ මැදිවියේ නළුවෙකි. මැදිවියේ පිරිමියකුගේ උත්කර්ශවත් වස්තුව තරුණ-ලස්සන-බුද්ධිමත්-සුදු ස්ත්‍රියක් බවට සැකයක් නැත. එවැන්නක් ප්‍රශ්න කරනු ඇත්තේ තම ආශාව ප්‍රහේලිකාවක් කරගත් හිස්ටෙරිකයකු පමණි. නිරෝෂාගේ නිවස පුද්ගලික/පොදු භේදය බිඳ දමා ඇති පුද්ගලීකකරණය වූ පොදු අවකාශයකි. යථාර්ථය ඇතුළත උත්කර්ෂවත් වස්තුව පෙන්වීම ඉතා දුෂ්කර වැඩකි. එම කාර්යය වැඩසටහනේ නිර්මාණ ශිල්පීන් ජයගෙන ඇත. ගෘහය තුළ තනියෙන් සුන්දර ස්ත්‍රියක් සිටින වග බන්ධු දනී. නිරෝෂාට අනුව ඇගේ සිත පැහැරගත් දක්ෂ විකට නළුවා දොරෙන් එළියේ නොඉවසිල්ලෙන් බලා සිටියි. මැදිවියේ පිරිමියෙකුට තරුණ ස්ත්‍රියකට අයත් කුඩා නිවසකට කාටත් හොරෙන් ඇතුළුවිය හැකි නම් එය සුන්දර සිහිනයකි.
බලාපොරොත්තු වූ විගසටම බන්ධු නිරෝෂාගේ නිවසට ඇතුල් වු විගස හිස සුන් ශරීරයක් මෙන් හොල්මන් අවතාර චලනයක් පෙන්නුම් කරයි. ඔහු ඇගෙන් හිච්කොකියානු ප්‍රශ්නයක් අසයි. ‛අපි දෙන්න විතරයි නේද මෙතන ඉන්නෙ? වෙන කවුරුවත් දකිනවද අපි දෙන්න මෙතන කරන දේවල්’ ඔහුට පිළිතුරු දෙන්නේ නිරෝෂාය. ඇගේ පිළිතුර ලැකානියානු පිළිතුරකි. ‛ඔව් මෙතන ඉන්නේ අපි දෙන්න විතරයි. ඔයාට පුළුවන් මගේ අත දිගටම අතගාන්න, ඉඳහිට මගේ උරහිස කොනිත්තන්න පුළුවන්, නිරුවත් කකුළට තට්ටු කරන්න පුළුවන්, ඒත් බබෝ අමතක කරන්න එපා, අපි මේ කරන හැමදෙයක්ම හැමෝම බලන් ඉන්නවා, ඒ අයට කියන්නෙ ප්‍රේක්ෂකයෝ කියල, ඒත් ඔයා ඒ ගැන හිතන්න එපා, හිත කලබල කරගන්න එපා, දරුවො ඉන්න තාත්ත කෙනෙක් කියල හිතන්න එපා, ඔයා කැමති දෙයක් කරන්න, බලන් ඉන්න අයව නවත්තන්න අපට බැහැ, ඒක ඒ අයගේ ආශාවනේ, කවුරුත් අපි දිහා බලන්නේ නැහැ වගේ හිතල මාත් එක්ක මෙතන සතුටු වෙන්න.’
ජනමාධ්‍ය වැඩසටහනක් කියන්නෙ පොදු අවකාශයක්. ඒ වගේ තැන්වල තරුණ ජෝඩුවක් චිත්‍රපටියක් බලන්න ගිහිල්ලා කළුවර වෙච්ච ගමන් කරන ගැටවර-ළමා මිශ්‍රණයක් සහිත පූර්ව රමණ ක්‍රීඩා කරන්න ඉස්සර බැහැ. ඒත් මේ ‛නිරෝෂා සමඟ තරුවක්’ කියන වැඩසටහනේ අකෘතිය හැදිල තියෙන්නෙ ඒ වගේ පූර්ව රමණ ළමා ලිංගික ක්‍රිඩාවන් කරන්න පුළුවන් විදිහට. වැඩසටහනේ දෘෂ්‍යමාණය හරිම අලිංගිකයි. එහි කිසිම අශ්ලීල අඩංගුවක් නැහැ. වැඩසටහන පුරා ක්‍රියාත්මක වෙන්නෙ විචිත්‍ර විවිධාංග ක්‍රියාවන්. නමුත් මේ ආකෘතියට හරියටම ගැලපුනේ බන්ධු සමරසිංහ. ඔහු එය ගැටවර ළමා ලිංගික ජිම්නාස්ටික ක්‍රිඩාවක් බවට ඉක්මනින් පත් කරා.
කෙනෙකුගේ ලිංගික ආශාව වඩ වඩා තහවුරු වෙන්න වෙන්න ඒ කෙනා වඩ වඩා නීති-විරෝධී අවකාශයකට ඇතුල් වෙන්න ඕනෙ. සේවා-ආර්ථිකයෙන් යැපෙන අවිවාහක තරුණියකගේ ගෘහය කියන්නෙ මේ නීති විරෝධී අවකාශයට. බන්ධු මේ අවකාශයට ඇතුල් වෙනකොට ඔහුගේ වගේම අපේත් පපුව ගැහෙන්නෙ මේ හින්ද. පොදුබව සහ පුද්ගලික බව කියන ප්‍රපංච දෙක අතිපිහිත වු අවකාශයක් කියන්නෙ නුහුරු-නුපුරුදු තැනක්. ඒ වගේ තැනකදී පිරිමින්ගේ ස්නායු දුර්වල වෙනව. ඒ වගේ අවකාශයකදී පිරිමියෙක් හැසිරෙන්නෙ ගෙම්බෙක් වගේ. දෙබස් වෙනුවට කියවෙන්නෙ බක බක ගාන ශබ්දය. ස්ත්‍රියට තියෙන්නෙ ගෝනුස්සගේ භූමිකාව රඟදක්වන්න. නිරෝෂගෙ ගෘහයෙන් පිටවෙන්න ඉස්සෙල්ල ඇය බන්ධුගේ අත අල්ලගෙන ඔහුට ආශිර්වාද කරනව ක්‍රිස්තියානි පුජකවරියක් වගේ. ඔහු මෙහෙම කියනව. ‛ඔයා මගේ අත දිගටම අතගානවනම් මං මෙතනම ඉන්නම්’ එවිට ඇය ශාන්තුවරියක් වගේ මෙහෙම මුමුණනවා. ‛මං ඔයාව කවදාවත් තනි කරන්නේ නැහැ. ඔයා තමයි කවදත් මගේ හිත ගත්ත හොඳම නළුවා.’
ඉහත මුළු කතාන්දරයම ලිංගික අල්ලසක් කියලා කිව්වොත් ඊට ඔබ එකඟද? ඉහත ජවනිකාව හරහා ප්‍රේක්ෂක ඔබට පැයක කාලයක් පුරා ඔබ කැමති තරම් අශ්ලීල විදිහට නීති විරෝධීව,  සමාජවිරෝධීව, සදාචාරවිරෝධීව විනෝද වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබ ගෙවිය යුතු වන්දිය කුමක්ද? දුමින්ද සිල්වා අමතක කරන්න! සමකාලීන දෘෂ්ටිවාදයන් ඔබට ලබා දෙන්නේ ‛අර්ථයන් නොව ‛අශ්ලීල විනෝදයන්ය.’ එය ඉලක්ක කරන්නේ ඔබව හෝ ඔබේ පවුල නොව ඔබගේ අවිඥාණයයි. අවිඥාණය ස්ත්‍රියක් යනුවෙන් කෙනෙක් නොහඳුනයි. එය හඳුනන්නේ විනෝදය පමණි. එම ‛විනෝදයේ’ සුවිශේෂ ලක්ෂණය වන්නේ ඔබ ජීවත්වන දෛනික ජීවිතයේ කටුක යථාර්ථයට එය පරිවර්තනය කළ නොහැකි වීමයි. යමෙකු එවැන්නක් කරන්නට උත්සාහ කළහොත් රත්මලාන ප්‍රදේශයේදී තම විවාහක බිරිඳ සහ දරුවා මරා දැමූ තරුණ සැමියා මුහුණ දුන් තත්ත්වයට මුහුණදීමට සිදුවෙයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. සමහරවිට මේක කියවන බොහෝදෙනෙක් මට ආගම් ද්‍රෝහී label එක ගහයි…. කමක් නෑ…. මොකද මගේ අරමුණ ආගම් උලුප්පා දැක්වීමට වඩා ආගම්වල වටිනාකම ඒවගේම ඒවායේ පොදු අරමුණ ඔබ වෙත ගෙන ඒමත්… මට අවශ්‍ය නෑ ආගම් වෙන වෙනම වර්ණනා කරන්නට… පුද්ගලිකව මම සියලු ආගම්වලින් ගත යුතු දේ ගන්නවා… ඒ නිසා මෙවැනි දෙයක් මට ලියන්න හිතුණේ… එයින් ගතයුතු දෙයක් ඇත්නම් ඔබ එය ගන්න… මෙය හුදෙක් මාගේ අදහස් ඇතුලත් ලිපියක් කියා මා නැවතත් කියන්නට කැමතියි….

Comments are closed.