ඔබ හැමෝම දන්නවා අපේ දෙමළ සහෝදර සහෝදරියන් ජිවත් වෙනවා කියල කන්ද උඩරට. ඉංග්‍රීසින් විසින් තේ වතුවල රැකියා කිරීමට රැගෙන ආ ඔවුන් රැකියා කලේ වහලුන් වගේ. ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ හෝ වෙන රටවල් වල වගේ වහල් සේවය නොතිබුණත් මේ ජනතාව ඒ තරමටම දුක් විඳිමින් අපේ සිලෝන් ටී ලෝකයට සපයන්නට තම දහඩිය හෙළුවා. ඔවුන් ජිවත් වුනේ, වෙන්නේ ඉතා පහසුකම් අඩු ලැයින් කාමර
නමින් හඳුන්වන ගෙවල් පේලි වල. 
මහා ජාතියකින් සුළු ජාතියකට පීඩනයක් එල්ලවන බව අප දන්නවා. බහුතර පිරිසක් කොතැනක හරි සිටියොත් ඉන් සුළුතරයකට බල පෑමක් එල්ල වන බව වෙනත් රටවල් වල සේවය කරන විට වඩාත් වැටහෙනවා. මේ මිනිසුනුත් එසේ වෙනත් රටකට පැමිණ එය තමන්ගේ වාස භූමිය කර ගනිමින් එහි ප්‍රධානම අපනයන භාණ්ඩයක කොටස් කරුවන් වුනා. ඒ අතර සුළුතරය නිසා ඇතිවන හිරි හැර වලටත් මොවුන්ට මුහුණ දෙන්නට සිදු වුනා. මොවුන්ට “අති බලවත්” දෙමල ඩයස්පෝරාවේ සහය නැහැ. ඩයස්පෝරාවේ කුලීනයෝ , බලවන්තයෝ මොවුන් දිහා බලන්නේ නැහැ. යාපනේ කුලිනයන්ට වුනත් මොවුන් තවත් පහල පන්තියක අය විතරයි. ප්‍රභාකරන්ගේ අරගලය යාපනයේ කුලීනයන්ට එරෙහිවත් සිදු වුණා එක ප්‍රමාණයකට. මොවුන්ගේ අසරණකම ඒ අරගලයටත් බිල්ලට දෙන්නට සුදුසු  කට්ටියක් නිර්මාණය කෙරුව එක විතරයි සිද්ධ වුනේ. 
මහා ජාතියේ ජාතිවාදය තිබුනත් ඒ බිල්ලා පෙන්වමින් මොවුන් මුලා කරමින් තමන්ගේ මඩිය පුරවා ගන්න තව කොටසක් ඉන්නවා. ඒ ජාතිවාදී සුළු ජාතික දේශපාලනඥයන්. තොන්ඩමන් පරම්පරාව මේ අතින් මුල් තැන ගන්නවා. තමන්ගේ පරම්පරාව හොඳට හැදුව මිස තොන්ඩමන්ලා  හා ඔවුන්ගේ වතු කම්කරු සමිති වතු කම්කරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් බොහොමයක් දේ කලාය කියල කියන්න අමාරුයි.
එක ප්‍රශ්නයකට තියෙන්නේ මේ මිනිස්සු දැනුවත් කරන්න විධිහක්  නැති වීම.  ජාතිවාදය අවුස්සන හොරුන්ගේ බහට නැමි  සිටින්න ඔවුන්ට වෙලා තියෙන්නේ ඒකයි. ලංකාවේ වාමාංශික පක්ෂ සුළු ප්‍රමාණයකට ඔවුන් අමතන්න පුළුවන් වුනත් ඔවුන් අතර වැඩි බලයක් නැහැ.
ඒ අඩුපාඩුව නැති කිරීමට එක පියවරක් අපි ගන්න ලෑස්තියි. නෙලුම් යායේ  දෙමළ  භාෂාවෙන් පලවෙන වෙබ් අඩවිය “තාමරි කුලම්” (නෙළුම්  වැව)  මේ ජුලි මස විවෘත කරනවා. ඉන් පස්සේ බොහෝ සිංහල බ්ලොග්වල සාධනීය ලිපි ආදිය  දෙමළට පරිවර්තනය කිරීමටත්, දෙමල බ්ලොග් ලිපි සිංහලට පරිවර්තනය කිරීමටත් බලා පොරොත්තු වෙනවා.
තලවකැලේ “අඩයාලම්” සංවිධානය විසින් කාන්තා  ක්‍රිකට් උත්සවයක්  සංවිධානය කරනවා මේ සඳහා.  ඊට අමතරව අඩයාලම් කට්ටිය හා නෙලුම් යාය බ්ලොගර්ස් ලා  අතර 20-20 ක්‍රිකට් තරඟයකුත් සංවිධානය කරනවා.එනිසා නෙලුම් යාය සහෘද සමුහය, ශ්‍රී ලංකා බ්ලොග් සංසදයේ මිතුරි මිතුරියන්ටත්  ආරාධනා කරනවා මෙයට එක්වන්න  කියා.
ජුලි 11 සෙනසුරාදා උදේ එහෙ යන්න. එයාලගේ ක්‍රිකට් මැච් එක  උදේ 11.00 ඉඳන් තියෙනවා. 11 වැනිදා උදේ  9.00/10.00  වෙද්දි තලවාකැලේට යන්න පුළුවන්. ගිහින් ඒ අයත් එක්කම 11 රෑ එහේ ඉඳලා සින්දුවක් කියලා බජව්වක් දාල විනෝද වෙලා ජුලි 12 අපේ වෙබ් එක ඕපන් කරලා එන්න ඉරිදා අපහු  රෑ 07ට 08 ට විතර.

 නෙළුම් යාය  විසින් බස් රථයක් ඒ සඳහා සංවිධානය කරන්න කැමතියි  කට්ටියටම තලවකැලේ  යන්න. කෑම බීම වියදමත් අපි දරනවා. රාත්‍රී නතරවෙන්න වෙන්නේ ඒ අය  ඉන්න තැන්  වලමයි. ටිකක්  නවීන වුනු නිවෙස් කීපයක් සංවිධානය කරන්න පුළුවන් කියා සංවිධායකයෝ කිව්වා.

එක දවසක් විතරක් එන්න කැමති අයට ප්‍රවාහන පහසුකම් තමන්ට සපයා ගන්නට වෙනවා. අපට දැනට වෙන වෙනම දෙන්න  ප්‍රතිපාදන නැහැ.

මෙයට සහභාගී වෙන්න කැමති බ්ලොග් කරුවන් කරුණාකර ලන්කා ඩේලි හි හිමාශි කරුණාරත්න ට  himashimedia@gmail.com ට හරි කලාහිත බ්ලොගය ලියන බ්ලොග් සංසදයේ ලේකම්  කල්‍යාණමිත්‍ර (සුමිත් කලනසිරි) ට හරි දන්වන්න. 
 

ඔබේ අදහස කියන්න...