වම සහ දකුණ යන භේදය නොසලකා ලංකාවේ දේශපාලන කතිකාව විශ්ලේෂණය කරන විට අපිට හමුවන දේශපාලන අලංකාරිකයන් දෙකකට තැබිය හැකි නම් දෙකක් ඇත. ඒවා නම් පණුවා සහ කුකුළාය. බොහෝ දෙනෙකුට පහසුවෙන් නැරඹිය හැකි දර්ශනයක් වන්නේ කුකුළා විසින් පොළවට හොටයෙන් කොටමින් පණුවන් සෙවීමයි. දවස පුරාම කුකුළා නිසොල්මන්ව පොළවට හොටයෙන් කොටමින් පණුවන් සොයයි. දවස පුරාම සිදුවන මෙම ක්‍රියාව නිසා කුකුළාට පණුවන් හමු වෙයි. එලෙස පණුවන් හමු නොවන්නේ නම් කුකුළාගේ පැත්තෙන් එම ක්‍රියාව නිරර්ථකය. නමුත් මිනිසා කුකුළාට වඩා බුද්ධිමත්ය. එනිසා පණුවන් නැතිව වුවත් ඔවුන් දවස පුරාම පොළවට කොට කොටා ජීවත් වෙයි.

‛ජනතා විමුක්ති පෙරමුණ’ නම් පීඩිත පන්තියේ පක්ෂ අභ්‍යන්තරයේ කතිකාව සකස් වී ඇති ආකාරය ඉහත ‛කුකුළා-පණුවා’ රූපකයන් හරහා වටහා ගමු. පක්ෂයේ හිතවතුන්, උදව් කරන්නන්, එහි දර්ශනය අනුගමනය කරන්නන් ආදී බහුතර දෙනෙකුට ජීවත් වීම සඳහා පක්ෂය තුළින් පණුවන් අවශ්‍ය කරයි. මතුපිට දෘෂ්‍යමාණයේ පෙනී සිටින්නන් කුකුළන්ට අනුව පක්ෂයේ නිලධාරීන්ය. ඔවුන් පක්ෂයේ සාරය නියෝජනය නොකරයි. පක්ෂයේ සැබෑ ක්‍රියාකාරිකයා සිටින්නේ අදෘෂ්‍යමාණවය. ඔවුන් දැඩි ලෙස මහන්සි වෙමින් පක්ෂය වෙනුවෙන් දර දිය අදියි.

කුමාර් ගුණරත්නම් ඇතුළු පක්ෂයේ පණු පාර්ශ්වය නියෝජනය කරන අය පක්ෂයෙන් ඉවත් වනතුරු පක්ෂයේ අභ්‍යන්තර කතිකාව සහ ශ්‍රම විභජනය සකස් වී තිබුණේ එලෙසය. කුමාර් ඇතුළු පක්ෂයේ පණුවන් පක්ෂයෙන් ඉවත් වී ගිය විගස ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ලුබ්ධි – ආර්ථිකය දෙදරා ගියේය. පක්ෂයේ කුකුළන්ට දේශපාලන ජීවිතයක් පැවතියේ පණු ආර්ථිකය නිසාය. අනෙක් පසෙන් පණුවන්ට දේශපාලන ජීවිතයක් පැවතියේ කුකුළන් නිසාය.

පණුවන් සහ කුකුළන් වෙන් වෙන්ව ගමනක් යාම ආරම්භ කළ විගස පක්ෂයේ සංවිධාන න්‍යෂ්ටිය දිය වී ගියේය. කුමාර්ට තම පක්ෂය තුළ තවදුරටත් පණුවන් පෙන්විය නොහැක. මන්දයත් ඔහු සමඟ පැමිණි බහුතරයක් දෙනා පණුවන් නිසාය. අනෙක් පසින් ටිල්වින් සිල්වාට තම පක්ෂය තුළ තවදුරටත් පණුවන් පෙන්විය නොහැක. ඒ තුළ සිටින්නේ අනුර කුමාර, විජිත හේරත්, ලාල්කාන්ත වැනි කුකුළන්ය. මේ නිසා සිදු වූයේ පක්ෂ දෙක තුළම පැවති දේශපාලනය කුළුගන්වන ‛ආවේගයන්’ (Passions- ලාලසාවන්) අහිමි වී යාමයි. පක්ෂ දෙකේම නායකයන්ට තම පක්ෂ දෙකම ක්‍රම ක්‍රමයෙන් දිය වී එහි සාමාජික – සාමාජිකාවන් සාමාන්‍ය ජන සමාජයේ මිනිසුන් බවට පරිවර්තනය වීම සමීකරණය කර ගැනීමට නොහැකි වී ඇත්තේ මෙම අන්තර් පරායත්ත කුකුළා – පණුවා න්‍යාය ගැන වැටහීමක් නොමැති නිසාය. ධනවාදී සමාජ ක්‍රමයට එරෙහි න්‍යාය වන මාකස්වාදය ගැන යම් හෝ අවබෝධයක් මේ ඉහත දෙපිරිසේම නායකයන්ට ඇත. නමුත් ඔවුන්ව දෛනිකව අවුල් කරවන ප්‍රධාන සාධකයක් ඇත. එය ආත්ම මූලික සාධකයකි. (subjective factor)

“කොහොමද මිනිස්සුන්ව යළි ආවේගීලී දේශපාලන අරගලයක් වෙනුවෙන් සංවිධානය කරන්නේ?” ජවිපෙන් ඛණ්ඩනය වූ ‛ජනඅරගල කණ්ඩායම’ X කණ්ඩායම භාවිත කළ න්‍යායන් වෙතට හැරුනේ අහම්බයකින් නොවේ. ඔවුන්ට අනුව දේශපාලන අරගල සඳහා මනෝවිශ්ලේෂණය අදාළ වන්නේ මෙම මංසන්ධියේදීය. ඊට අනුව අපගේ දේශපාලන සතුරන් දේශපාලන අරගලයේදී අනුපූරක කරගන්නා ලුබ්ධිමය ආවේගයන් (ජාතිවාදය, පරිභෝජනවාදය, ප්‍රාදේශීයවාදය, ලිංගවාදය) වටහා ගන්නට මනෝවිශ්ලේෂණ න්‍යාය සාධනීය වැඩ කොටසක් ඉටු කරයි. එබැවින් අනාගතයේදී වාමාංශික අපටත් අපේම වූ ‛ප්‍රමෝදයන්’ මහජනයාට විවෘත කළ හැක. නමුත් එතැනදී වාමාශික අපට (?) මුණ ගැසෙන ප්‍රධාන බාධාවක් ඇත. ඒ අප විසින් යෝජනා කිරීමට නියමිත ‛වමාංශික විනෝදයන්’ අවසාන විග්‍රහයකදී සැබෑ දේශපාලන විශ්ලේෂණයන්ට තුඩු නොදී ඒවායේ බාල අනුකරණයක් බවට පත් වීමට ඇති විභවයයි.

උදාහරණයක් ලෙස ජන අරගල කණ්ඩායම ආරම්භක පදනමක් ලෙස ජවිපේ පැරණි උරුමයෙන් කැඩී වෙන් වීමට උපයෝගී කර ගත්තේ X කණ්ඩායමේ විමතිකයන් කිහිපදෙනෙකි. මැදපාන්තික විශ්ව විද්‍යාල බුද්ධිමතෙක් පවා කල්පනා කරනු ලැබුයේද මෙම රූපකයමය. එවැන්නෙකුට අනුව පැරණි X කණ්ඩායමේ සමාජ උරුමය විනාශ කළ හැක්කේ X කණ්ඩායමෙන් කැඩී වෙන් වී ආ පිරිස් වලටය. නමුත් අවාසනාවකට මෙන් X කණ්ඩායමෙන් කැඩී ගිය පිරිස එහි ක්ෂමාලාපකයන් අනුමාන කළ පරිදි ඊනියා සමාජ හිතවාදීන් (‛සමාජය’ සමස්තයක් ලෙසින් ගැනීම නූතන දේශපාලන න්‍යායට අනුව වැරදි බව අප නොසලකා හැරියත්) වීම වෙනුවට ඔවුන් වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම සමාජ විරෝධීන් බවට පත් විය. දේශපාලන අරගල සංවිධානය කිරීමට අපට ආවේග අවශ්‍යය. නමුත් X කණ්ඩායමේ විමතිකයන්ගේ Face book පිටුවලට ගිය විට තිබෙන ආවේගත් අහෝසි වී යයි. කුකුළන්ට පණුවන් අවශ්‍යය. එපරිදිම පණුවන්ට කුකුළන්ද අවශ්‍යය. X කණ්ඩායමේ විමතිකයන් ව්‍යුහාත්මක ලෙසම යළි ඉපදුනේ කුකුල් දෘෂ්ටිකෝණයෙනි. ඔවුන් සංවිධානයෙන් පිටව ගියේම යළි කිසිදා පණුවකු නොවන්නේය යන්න සපථ කරගනිමින්ය. උකුණන්ගෙන් ගල් ඇද්දවිය නොහැකිය යන අදහස මැද – පාන්තික විශ්ව විද්‍යාල ගුරුවරයකු නොදැන සිටියාට අප පුදුම විය යුතු නැත. නමුත් විප්ලවාදී පක්ෂයක අභ්‍යන්තර ගතිකයක් වන කුකුළා – පණුවා ආර්ථිකය (පක්ෂයක මනෝ – දේශපාලන ආර්ථිකය = ලුබ්ධි ආර්ථිකය) ගැන වැටහීමක් ඇති අයටත් වැරදීයාම පුදුම සහගතය. මෙම ජීවන චක්‍රය ගැන වැටහීමක් නැති අයට ඊළඟ චක්‍රයේ අලුත් පුරුකක් හමු වෙයි. එය නම් කුකුළාව අනුභව කරන මිනිසුන් හමු වීමයි. ඒ අනුව කුකුළා විසින් පණුවා අනුභව කරයි. කුකුළාව හෝතම්බුවා අනුභව කරයි. හෝතම්බුවාව දිවියා අනුභව කරයි. දිවියාව සිංහයා අනුභව කරයි. සිංහයා වයසට ගොස් මිය යයි. ඉන්පසු සිංහයා පොළවට පස්වෙයි. එම සාරවත් පස් පණුවා අනුභව කරයි. ඒ පණුවාව යළි කුකුළා අනුභව කරයි. මේ තමයි ඉතිං ජීවිතේ හැටි…….

දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...