බාහිරින් පෙනෙන්නට තිබෙන දෘෂ්‍යමාණයට අනුව සයිටම් ගැටලුවට රාජ්‍ය විසඳුම ප්‍රගතිශීලී වන අතර එම ගැටලුවට ප්‍රාග්ධන විසඳුමක් දීම ප්‍රතිගාමීය. අධ්‍යාපන ගැටලුව අරබයා සමාජ ධ්‍රෑවීයකරණය සිදුවී ඇත්තේ ඉහත ආකාරයටය. 77ට පසු සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී වැඩිම අවධානයක් ලබා දුන් සාධකය වූයේ “සම්පත් භාවිතය” කාර්යක්ෂම කිරීමයි. ලංකාවේ සිදු වූ ආර්ථික ප්‍රතිසංස්කරණයේ දී රාජ්‍ය අංශයෙන් සම්පත් විතැන් කිරීමෙන් ඒවා කාර්යක්ෂමව භාවිතාවේ යෙදවුණේ නැත. උදාහරණයක් ලෙස පොදු ප්‍රවාහණ සේවයක් වූ ලංගම සලකා බලමු. ආර්ථිකය විවෘත කර ජාතික ප්‍රවාහණ පද්ධතිය පුද්ගලික අංශයට විවෘත කළ වහාම සම්පත් භාවිතය කාර්යක්ෂම වූයේ ද? සිදු වූයේප්‍රාග්ධන සූක්ෂ්මකරණය පමණි. ප්‍රවාහණයට විවෘත වෙළෙඳපොළ හඳුන්වා දීමෙන් පසු සිදු වූයේ වැඩිම ලාභ ලැබිය හැකි ප්‍රවාහන මාර්ග හඳුනා ගෙන ඒවා පමණක් ප්‍රාග්ධනය (සම්පත්) ආයෝජනය වීමයි.  පාඩු ලබන මාර්ගවල ධාවනය සහ රාත්‍රියේ අතුරු මාර්ගවල ධාවනය ලංගමයටම පැවරිණ. සිදු වූයේ කුමක් ද? පොදු පද්ධතියක් ලෙස සිදු වූයේ පුද්ගලික අංශයේ ප්‍රාග්ධනය රාජ්‍ය ප්‍රාග්ධනයේ ආයෝජනය මඟින් ප්‍රතිලාභ ලැබීමයි. 70 දශකයට පෙර පරිදිම පොදු ප්‍රවාහනය සඳහා අකාර්යක්ෂමව සම්පත් සහ ප්‍රාග්ධනය තවම යොදවන්නේ රාජ්‍ය මුදල්ය. මේ හේතුව නිසා විවෘත ආර්ථිකය යන්නට දිය හැකි විවෘත නිර්මාණය වන්නේ එය රාජ්‍යයට සාපේක්ෂව විවෘත නැති බවයි. 70 දශකයේ ලංගම විනය ගත රියැදුරා සහ කොන්දොස්තර වෙනුවට අද දවසේ පුද්ගලික අංශය කළ අපට හමු වන්නේ විනය විරෝධී පාදඩ රියදුරන් සහ කොන්දොස්තරලාය. අපේක්ෂාව වූයේ සම්පත් භාවිතය කාර්යක්ෂම කිරීම නම් සිදු වූයේ සම්පත් අවභාවිතාවේ යෙදවීමයි. සම්පත් විපරිත වීමයි.

ඉතාම යාන්ත්‍රික සහ අධාතග්‍රාහී ලෙස සිතන, සිංහල පමණක් දන්නා වාමාංශිකයකුට අනුව තත්ත්වය ඔහුට පෙනී යන්නේ කෙසේද? එවැන්නකු නිසැක ලෙස සිතන්නේ පසුගිය දශක තුනක පමණ කාලය තුළ ලංකාවේ සිදු වූ ධනවාදී සමාජ සම්බන්ධකම්වල වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස (මෙතැනදී ඔහු නිශ්චිත ලෙස විවෘත නිදහස් වෙළෙඳපොළ සමඟ ධනවාදී නිෂ්පාදන ක්‍රමය සම්පාත කරනු ඇත.) පන්ති විභේදනයකුත් ඒ සමඟම සමාජයේ ඇති අභ්‍යන්තර බෙදීම් (ජාතිය, කුලය, අපේකම, අපේ ගම, ජාතික, චින්තකය වැනි සුවිශේෂ අනන්‍යතා) අබිබවා යන පන්ති විඥානයකුත් ඉබේටම ඇති වනු ඇති බවයි. නමුත් අවාසනාවකට මෙන් දකුණු ආසියානු කලාපයේ ධනවාදී සංවර්ධනය සිදු වන්නේ සුවිශේෂී ආත්මීය හැඩරටාවකට අනුවය. එය යුරෝපයේ 19 වන සියවසේ සිදු වූ ධනවාදය සමඟ අනන්‍ය කළ නොහැකිය. වාමාංශයන් ඇතුළත්ව මෙම කලාපයේ රටවල සිදුව ඇත්තේ පන්ති ගැටුම තියුණු කරන අතරම පන්ති ගැටුම් ෆැන්ටාස්මික සාම්ප්‍රදායික අභ්‍යන්තර බෙදීම් (ඉහත සඳහන් කළ) ඔස්සේ (පසුආවර්තිතව) සාම්ප්‍රදායික සමාජයේ උරුම බවට පත්ව වියැකී යාමයි. X කණ්ඩායමේ සාමාජිකයන් බවට පත් වූ අය 2004 දී කැරලි ගසමින් පවසන්නේ තමන් තවමත් හදවතින් එන්.එම්.ලා, කොල්වින්ලා, වාසුලා, බාහුලා බවයි. මෙමඟින් ජනිත වූයේ විශාල හාස්‍ය රසයකි. මෙය දොස්තරලා සම්බන්ධයෙන් ගත් විට  ඔවුන්ට තමන්ට කියා පන්ති විඥානයක් නැත. ඔවුන්ට ඇත්තේ වෘත්තීය කුලය හා සම්බන්ධ අභ්‍යන්තර විඥානයකි. ඔවුන්ගේ ආත්මීය මරුගුල  සඳහා බාහිර විසඳුමක් නැති නිසා ඔවුන් බාහිරින් සතුරන් විවිධ තලවල ගවේෂණය කරමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සමාවයවිකය විසින් දොස්තරලා සඳහා බාහිරින් ලබා දෙන අනන්‍යතාවයට ඔවුන් මෙතරම් රුචි කරන්නේ මේ නිසාය. මෙය හුදු පුද්ගලයන්ගේ අනන්‍යතාවය ලියාපදිංචි කිරීමක් පමණි. අරගලයේ දී දොස්තරලා සුදු කෝට් එක ගැලවිය යුතු වුවත් ඔවුන් එය දිගටම ඇඳගෙන සිටිති.

විවෘත වෙළෙඳපොළක් විසින් සමාජයේ ජීවත්වන මිනිසුන්ට අධ්‍යාපනයට පසු අනන්‍යතා ආදේශ කරන්නේ නැත. නමුත් ධනවාදී නිෂ්පාදන මාදිලිය විසින් (සහ සමාජවාදය නම් රාජ්‍ය  ධනවාදී නිෂ්පාදන මාදිලිය) සමාජය තුළ ජීවත් වන මිනිසුන් සඳහා ස්ථිතික අනන්‍යතා නිපදවයි. මේ හේතුව නිසාම විවෘත නිදහස් වෙළෙඳපොළ රජයන සමාජයක පුද්ගලයන්ගේ අනන්‍යතාවයන් නිපදවන්නේ ජනමාධ්‍ය මඟිනි. ඒවා නිපදවන්නේ දේශපාලන පක්ෂ විසින් නොවේ. ලංකාවේ සයිටම් මතවාදය හසුරවන්නේ ජනමාධ්‍ය මඟිනි. ඒවා (මත) නිපදවන්නේ දේශපාලන පක්ෂ මඟින් වුවත් ඒවාට හිමි සමාජ ගතිකයන් හසුරුවන්නේ රෙනෝ සිල්වා, දිලිත ජයවීර, මහාරාජා වැනි සමාජ කතිකාවෙන් හුදෙකලා වූ පුද්ගලයන් මඟිනි. උදාහරණයක් ලෙස දිලිත් ජයවීර දේශපාලනය දකින්නේ දැන්වීම් කලාව ඇසුරෙනි. සයිටම් ගැටලුව ඔහු දක්වන්නේ ජාතික විඥානය සහ රාජපක්ෂ පවුල දෙසටය. දොස්තර විඥානයට සහ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය මෙහෙය වන පැරණි ජනප්‍රියවාදී, වාමාවාදී, සුබසාධන කේන්ද්‍රීය විඥානයට ද මාධ්‍ය මඟින් මෙහෙය වන සන්නිවේදන සුසමාදර්ශය ගැන වැටහීමක් නැත.

දොස්තර විඥානය යනු පන්ති විඥානයක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණට හෝ එහි සමාවයවිකයට දොස්තර විඥානය පන්ති විඥානයක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍යතාවයක් ද නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ සයිටම් ගැටලුව කේන්ද්‍ර කොටගෙන සමාජ ප්‍රශ්නවලට ජනප්‍රිය විඥානයක් නිර්මාණය කරන්නටය. පසුගිය දශක දෙක පුරා මෙම ක්‍රමය ලතින් ඇමෙරිකාවේ විවිධ රටවල්වල රාජ්‍ය බලය හරහා කිරීමට උත්සාහ කළ ව්‍යාපෘතියයි. මේ සඳහා පෙන්විය හැකි වඩාත්ම ජනප්‍රිය උදාහරණ දෙක වන්නේ වෙනිසියුලාව සහ බ්‍රසීලයයි. මේ රටවල්වල දූෂණ චෝදනා එල්ල වී ඇත්තේ දක්ෂිණාංශිකයන්ට නොවේ. ලූලා යනු වෘත්තීය සමිති නායකයෙක් සහ වාමාංශිකයෙකි. එබැවින් දැන් පවතින දේශපාලන අර්බුදයට උත්තරය “ජනප්‍රියවාදය” නොවේ.

එසේ නම් කළ යුත්තේ කුමක්ද?

තමන්ගේ කුඹුරු ඉඩම්වල වගා කරන ගොවියන් හට, ගෘහස්ත ස්වයං රැකියා කරන්නන්ට, පංච මහා බලවේගයට ලංකාවේ මිනිසුන් ගෞරව කරති. නමුත් ධනේශ්වර අර්ථයෙන් ගත් කළ මේ බහුතරය නිකං සිටින අයයි. ඔවුන් ධනේශ්වර ලෝක වෙළෙඳපොළට සම්බන්ධ නැත. දොස්තරලා යනු ද පොදු ධනයෙන් යැපෙමින් පුද්ගලික ව්‍යාපාරයක් කරගෙන යන ව්‍යාපාරිකයන් පිරිසකි. ඒ ධනේශ්වර අර්ථයක් නොව ආර්ථික අර්ථයක් හරහා පමණි. සමාජය තුළ විරෝධතාවයන් එල්ල වන්නේ කඩහිමියන් සහ සිල්ලර වෙළෙන්ඳන්ට එරෙහිවය. ව්‍යාපාරිකයෙක් ලෙස සාර්ථක වන මිනිසුන් දෙස මිනිසුන් බලන්නේ සැකයෙනි. (සාර්ථක ව්‍යාපාර කරන වාම පක්ෂ ගැන මිනිසුන් දන්නේ නැත.) විවෘත වෙළෙඳපොළට එරෙහි මෙම ආකල්ප වාම පක්ෂ නායකයන් ධනේශ්වර විරෝධය සමඟ වැරැදියට පටලවා ගනිති. යම් තැරැව්කරුවකු විකිණීමට ඉදිරිපත් කරන භාණ්ඩයකින් යම් ප්‍රයෝජනයක් ඇත්නම්, ඉල්ලන මිල ගෙවීමට ගැනුම්කරුවා සුදුනම් එවැනි තැරැව්කරුගේ කටයුතු සමාජයට හිතකරය. වැඩි මිලට ගෙන අඩු මිලට විකිණීම වැරැදි ආර්ථික ක්‍රමයකි. රාජ්‍යයක් විසින් මෙය අනුගමනය කරන විට කලක් ගත වන විට රටවල් පිටින් විනාශ වෙයි. වෙනිසියුලාවේ සමාජවාදයේ නාමයෙන් සිදු වූයේ එයයි. තෙල්වල ලාභයෙන් මුළු මහත් රටක් සුබසානයට යොමු වී ආර්ථිකය හැකිලී ගියේය. තෙල් මිල අඩු වූ විට රටේ ආර්ථිකය කම්බස් විය.  විමල් වීරවංශකලක් උඩ දැම්මේ හියුගෝ චාවේස් බව අමතක නොකළ යුතුය. ධනවාදයට වඩා උසස් සමාජ – ක්‍රමයක් නිපදවීම අප හිතනවාට වඩා දුෂ්කරයි. පසුගිය මාස හයක පමණ කාලය තුළ වෛද්‍ය ශිෂ්‍යාවන්ගෙන් යම් කොටසක් සිටියේ රූපලාවණ්‍යාගාරවල සහ ජිම්වලය. මෙය 87 – 89 යුගයේ රන්ජිතම්ගේ ව්‍යාහාරය නොවේ. ඔහු කියවූයේ ලෙනින් ගැනය. විරෝධතා කරන සමකාලීන පාත්තයන් මේ ගැන දැන ගත යුතුය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //සමාජය තුළ විරෝධතාවයන් එල්ල වන්නේ කඩහිමියන් සහ සිල්ලර වෙළෙන්ඳන්ට එරෙහිවය. ව්‍යාපාරිකයෙක් ලෙස සාර්ථක වන මිනිසුන් දෙස මිනිසුන් බලන්නේ සැකයෙනි. (සාර්ථක ව්‍යාපාර කරන වාම පක්ෂ ගැන මිනිසුන් දන්නේ නැත.) විවෘත වෙළෙඳපොළට එරෙහි මෙම ආකල්ප වාම පක්ෂ නායකයන් ධනේශ්වර විරෝධය සමඟ වැරැදියට පටලවා ගනිති.//හොඳ ලිපියක්.
    //පසුගිය මාස හයක පමණ කාලය තුළ වෛද්‍ය ශිෂ්‍යාවන්ගෙන් යම් කොටසක් සිටියේ රූපලාවණ්‍යාගාරවල සහ ජිම්වලය. මෙය 87 – 89 යුගයේ රන්ජිතම්ගේ ව්‍යාහාරය නොවේ. ඔහු කියවූයේ ලෙනින් ගැනය. විරෝධතා කරන සමකාලීන පාත්තයන් මේ ගැන දැන ගත යුතුය.// එහෙම කියන්න එපා පෙරටුගාමී ව්‍යාපාරයක් නේ . 🙂

Comments are closed.