එරික් ඉලෙයප්ආරච්චි ගේ විවෘත ලිපියට පිළිතුරු වශයෙනි contra skype dialogue.

සාමාන්යයෙන් මම මගේ කෘතියක් සම්බන්ධව කෙරෙන විචාරයකට හෝ අදහස් දැක්වීමකට ප්රතිචාර දක්වන්නෙකු නොවෙමි. කෘතිය පිලිඹද ඒ ඒ පුගලයන් ගේ අදහස් උපේක්ෂාවෙන් විඳීම මගේ කැමැත්තයි. එහෙත් මෑතකදී තිරගත කෙරුණු ‘ඇගේ ඇස අග’ සිනමා කෘතිය මුල් කරගන එරික් ඉල්ලෙයප්ආරච්චි, චිත්රපටය සහ එහි විවිධ කියවීම් ( විචාරයන්?) පිළිඹඳ තම විවේචනය ඉදිරිපත් කරන්නේ මට ලියන විවෘත ලිපියක් ලෙසිනි. ( අශෝක හඳගම ට විවෘත ලිපියක් : කලාකරුවා සහ විචාරකයා ව්යසනයක් නොවීමට නම් ). නිර්නාමික නොවන ලිපියක් ලද විගස එයට පිළිතුරු ලිපියක් ලිවීම හෝ අඩු තරමින් එය ලද බව දන්වා සිටීමයි සදාචාරාත්මක ප්රතිචාරය. මේ කෙටි ලිපිය මා ලියන්නේ ඒ වෙනුවෙන්. ඒ නිසාම එරික් ගේ ලිපිය මෙන් ම මෙය ද විවෘත එකකි. ( මෙහි එන ඇතැම් උපුටා දැක්වීම්, රාවය පුවත් පතේ කොටස්වශයෙන් පලවූ ලිපියෙන් නොව , විමර්ශනයේ පහසුව සඳහා එනමින් ම ඔහු පලකර ඇති කුඩා ග්රන්ථයෙන් උපුටා ගැනුණු ඒවායි. )
එරික් සාහිත්යාදී කලාවන් ද, පෙරපර දෙදිග දර්ශන වාදයන් ද පිළිඹඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. නිරන්තර කියවන්නෙක්, ලියන්නෙක් සහ අදහස් පලකරන්නෙක්. ඔහුගේ රචනා බොහෝ විට ඉතා බරසාර අදහස් වලින් ගහනය. ඒ නිසාම ඒවා නිකම්ම කියවාගන යාමෙන් පමණක් දිරවා ගැනීම ලෙහෙසි පහසු නැත. ටිකක් මහන්සි වී, කාලයක් කැප කොට කියවීමෙන් දිරවා ගත යුතුය. එබැවින් එරික් ගේ මේ දිගු ලිපිය මා කියවූයේ ද එතරම් වෙහෙසකින් සහ ගෞරවයකිනි. එරික් ගේ එම රචනාව කියවීමෙන්, මගේ දැනුම් පරාසය පුළුල් වූ බව නොකියා බැරිය. එය එතරම් ම වැදගත් කරුණු කාරනා වලින් ගහන එකක් බැවිනි. හේගල්, , මාක්ස්, එංගල්ස්, ආතර් ඩාන්ටෝ, ශොන් පෝල් සාත්රෙ, අල්බෙයා කැමූ, ෆ්රාන්ස් කෆ්කා, සියනි නගායි, රෝලන්ඩ් බාත්, සල්මන් රෂ්ඩි ආදීන් සහ තවත් චින්තකයින් ගේ අදහස් හා මතවාද ඒ ලිපිය පුරාම කියවන්නාට හමු වෙයි. ඒවා අපව පොළඹවන්නේ නැවත නැවතත් අලුතින් සිතීමටයි. එහෙත්, ගැටලුව වන්නේ එරික් තම දිගු ලිපිය පුරා ප්රදර්ශනය කරන සුවිශාල දැනුම ලිපියේ ප්රස්තුතය වන ‘ඇගේ ඇස අග’ කියවීමට කොතරම් අදාලද යන්නයි.
එරික් තම ලිපියේ ආරම්භයේ දීම පෙන්වා දෙන පරිදි පොප් කලාව මාධ්යකරගත් ඇන්ඩි වෝල් ගේ සිතුවම් කලාව විචාරමින් ආතර් ඩාන්ටෝ ‘බටහිර චිත්ර කලාවේ’ මරණය නිවේදනය කරන්නේ 20 වෙනි සියවසේ, හැටේ දශකයේ දී. ඒ සඳහා ඔහු පාදක කරගන්නේ 18 සහ 19 වන සියවසේ මුල ( 1770-1830) භාගය තෙක් විසූ හේගල් ගේ කලාවේ වෙනස්වීම පිළිඹඳ තීසීසයයි. හේගල් ට අනුව ඒ කාලයේත් ( කලාව) ‘අප වෙනුවෙන් නිර්ව්යාජ සත්යය සහ ජීවිතය ලඟා නොකරයි’. එනම්, ඒ අරුතින් කලාව යනු ඒ වනවිටත් ( සිය පැරණි අර්ථයෙන් ) මියැදුණු යමකි.
එහෙත් කලාවේ වෙනස්වීම පිළිඹඳ හේගල් ගේ තීසිසයට පසුවත් ‘අප වෙනුවෙන් නිර්ව්යාජ සත්යය සහ ජීවිතය’ ගෙනහැර දැක්වූ කොතෙක් නම් ලේඛකයින් සිටියේද? තවමත් සිටින්නේ ද? ඩාන්ටෝ ට අනුව බටහිර චිත්ර කලාවේ මරණය සනිටුහන් කල 1964 න් පසුව ඇන්ඩි වෝල් ගේ පොප් කලාව ට පරිබාහිර වූ චිත්ර කලාවක් බටහිර නොතිබුණේද ? නොතිබෙන්නේ ද ? යන ගැටළු එරික් ගේ ලිපිය කියවන්නා තුල පැන නොනගින්නට හේතුවක් නැත. ඔක්තෝබර් විප්ලවයෙන් පසු ධනවාදයේ මරණය සහ ලෝක සමාජ වාදයේ නැගීම පිළිඹඳ වූ පුරෝකථන වලද ඇත්ත කතාව එවැන්නකි. ධනවාදයේ මරණයේ ආශ්වාදය වෙනුවට අප දැන් ඉන්නේ පසු-ධනවාදයේ (Late- Capitalism ) සහ පශ්චාත් ධනවාදයේ ( Post- Capitalism) ආතල් එක විඳිමි නි. ධනවාදයේ මරණය දිනෙන් දින අනන්තයට කල් යමින් තිබෙ යි. කලාවද මැරී මැරී ඉපදෙමින් තිබෙයි. අපට හැම විටම හමු වන්නේ අලුත් කලාවකි.
නොයෙකුත් ප්රභවයන් ගෙන් උකහාගන එරික් විශාල කරුණු ගොන්නක් ගොනු කරන්නේ ‘පැරණි කලාව සහ කලා කරුවා අතර බන්ධනයෙන් නිදහස් වුවාට පසු තමාට ලැබෙන නිදහස භුක්ති විඳින’ කලා කරුවා ( සිනමාකරුවා ) ‘අවර ගනයේ නිර්මාණ වෙතට තල්ලු කරන හා එසේ වූ විට පශ්චාත්-ව්යුහවාදයෙන් හා එහි මනොවිශ්ලේෂනාත්මක ගුරුකුලයේ අධිඅර්තකතනයෙන්’ සිදුවන ‘කලාවේ සහ විචාරයේ’ ව්යසනය පෙන්වා දීමට බව පෙනෙයි. ‘ඇගේ ඇස අග’ චිත්රපටයේ විශේෂ විචාරක දර්ශනය හා මංගල දර්ශනය පැවැත්වූ දා සිට සිදු වන්නේ එය බවයි එරික් ගේ නිරීක්ෂණය.
ඔහු ට අනුව ‘ඇගේ ඇස අග’ අවර ගනයේ සිනමා නිර්මාණය කි. එය හොඳ නිර්මාණයක් යයි කීම විචාරයේ ව්යසනය කි..
එරික් ගේ ලිපියේ බරසාර බව මරාගන මතු වන සත්යයක් නම්, සිනමා කෘතිය පිලිඹඳ වත් විචාරය පිලිඹඳ වත් ඔහුගේ තර්කයන් ගොඩ නැගෙන්නේ පරස්පර විරෝධී නිරීක්ෂණයන් ඔස්සේ බව යි. ඇත්තටම ඒවා නිරීක්ෂණයන් නොව, ප්රලාපයන් ය. ඔහුට අනුව නරක ‘ඇගේ ඇස අග’ හොඳයි කියන විචාරකයින් ‘මීට පෙර පැවති සිනමා ප්රවනතාව සම්බන්ධයෙන්, එනම් සිංහල පුරාකතා සිනමාව හා ධර්මසේන පතිරාජ ගේ භාෂාවෙන් කියතහොත් තොරන් සිනමාව සම්බන්ධයෙන් ඉදිරිපත් කල විචාරය අති සාර්ථක එකකි. ‘(පි 18). එසේ පවසන එරික්, එතනම ඊළඟ චේදයේ ලියන්නේ ‘ අතිශයින් උත්ප්රාසවත් කාරණය වන්නේ තොරන් සිනමාව සහ පුරාකතා සිනමාව අගය කල ශාස්ත්රාල පාර්ශවයන් විසින්ම හඳගම ගේ නිර්මාණයද අගය කරමින් එය අග්ර කෘතියක් බැව් ප්රකාශ කිරීමයි’ යනුවෙනි. තේරෙන බසින් කියන්නේ නම් හඳගම ගේ සිනමාව හොඳයි කියන අය තොරන් සිනමාව ගැන අති සාර්ථක විචාරයක් කලාලු. ( එය අති සාර්ථක විචාරයක් නම්, තොරන් සිනමාව හොඳයි කියනවා වන්නට බැරිය). එහෙත් හඳගම ගේ සිනමාව හොඳයි කියන්නේ තොරන් සිනමාව හොඳයි කියන අයමලු. මෙය හතර බීරි කතාවක් නොවන්නේ කෙසේ දැයි එරික් පැහැදිලි කල යුතුය.
තොරන් සිනමාව හොඳයි කියා පත්තර වලට හෝ ( වෙබ් බ්ලොග් වල හෝ මුහුණු පොතට ) විචාර ලියු කෙනෙක් මටනම් තවම මුණ ගැසී නැත. සමහර විට මට වඩා කියවන එරික් ට එසේ හමුවී තිබෙන්නට ඇති හැකියාව මා නිශේධ කරන්නේ ද නැත. එහෙත් ‘ඇගේ ඇස අග’ පිළිඹඳ ධනාත්මක ඇගයීමක් තිබූ කිසිවෙකු තොරන් සිනමාව ගැන ද ප්රසාදයෙන් ලියා තිබෙනවා මගේ ඇස ගැටී නැතිබව බොරුවක් නොවෙයි.
එරික් ගේ ලිපිය කියවාගන යන විට, ඔහුගේ මුඛ්ය එල්ලය මා නොව ඔහුගේ අර්ථ දැක්වීම අනුව ‘ඇගේ ඇස අග’ (අධිඅර්තකතනයෙන්?) හේතු යුක්ත කරන ‘පශ්චාත් ව්යුහවාදී හා එහි මනොවිශ්ලේෂණ ගුරුකුලය’ යි. ඔහු මේ ඇඟිල්ල දිගු කරන්නේ ( සමන්) වික්රමාරච්චි හරහා දීප්ති කුමාර ගුණරත්න ට බව අනුමාන කිරීමට ඇති තරම් සාක්ෂි ඔහුගේ ලිපිය පුරා හමු වෙයි. මෙයට ප්රස්තුත වන්නේ චිත්රපටයේ මාධ්ය දැක්ම දා ‘තහනම වෙනුවට වසඟය’ නමින් බෙදු සමන් වික්රමාරච්චි ගේ කියවීමයි. ඊට අමතරව දිවයින සහ The Island පුවත්පත් වලට ලියු (ලියනගේ) අමරකීර්ති ද, මුහුණු පොත සහ බ්ලොග් වල අදහස් පලකල අය ද ඉලක්ක වී ඇති බව පැහැදිලි වෙයි.

padman-2
‘තහනම වෙනුවට වසඟය’ චිත්රපටයේ ප්රචාරක පාඨයක් ලෙස වටහාගන්න එරික් ( ඇතුළු බොහෝ දෙනෙක් ) එනමින් ම වූ පත්රිකාව චිත්රපටය පිළිඹඳ විචාරයක් ලෙස පටලවා ගනියි. මාධ්ය දැක්මෙන් පසු එම පත්රිකාව බෙදා හැරියේ, චිත්රපටය කියවීම පිළිඹඳ එක් ප්රවේශයක් ලෙස විනා කිසියම් අධිකාරියක් නරඹන්නා මතට පැටවීමේ චේතනාවකින් නොවේ. එමෙන් ම එය චිත්රපටය පිළිඹඳ විචාරයක් ද නොවේ. එහෙත් ( එරික් ද ඇතුළු ) බොහෝ දෙනෙකු චිත්රපටය හා උරණ වීමට ( මල පැනීමට ) එය ද හේතු වූ බව නොරහස කි.
ලංකාදීප ආදී පුවත්පත් කිහිපයක ඇරෙන්නට සාම්ප්රදායික විචාර අරුතින් දැන් කවුරුත් විචාර ලියන්නේ නැත. එසේ ලියූවත් ඒවා කවුරුත් ගණන් ගන්නේ ද නැත. ‘චිත්රපයේ ආකෘතිය හා අන්තර්ගතය අතර ගැලපීමක් නැත’, ‘අහවලා ගේ රඟපෑම තව ඔපමට්ටම් වුවා නම් හොඳය’, ‘අහවල් නිළියගේ රංගනය ප්රේක්ෂකයා ඇද බැඳ තබයි’, ‘ තව තරමක් සංස්කරණය වියහැකි තැන් තිබෙයි’, ‘සංගීතය චිත්රපටයේ ගලා යාම සහ ගැලපේ/නොගැලපේ’ වැනි බයිලා කතා දැන් කවුරුත් මායිම් කරන්නේ නැත. ඒ වෙනුවට චිත්රපටය පිළිඹඳ විවිධ වූ කියවීම් ප්රේක්ෂකයා පරිශීලනය කරයි. තමන් ගේ කියවීම ද ඒ අනුව සංසන්දනාත්මකව සලකා බලයි. නැවත චිත්රපටය නරඹයි. සංවාද කරයි. චිත්රපටය සමඟ ප්රේක්ෂකයා අපෝහක ලෙස බැඳෙන්නේ සහ ගැටෙන්නේ එලෙසයි.
සමහර සාම්ප්රදායික විචාරකයෙ කු, සිය මුවහත සිඳුණු මෙවලම් වලින් එය විනිවිඳිනට ගොස් පඹගාලක පැටලුනු අවස්ථා ද හමුවෙයි. ‘ඇගේ ඇස අග’ පිළිඹඳ සිය විචාර ලිපිය ලියන ගාමිණී වේරගම එය අවසන් කරන්නේ ‘පියවරක් ඉදිරියට. පියවර දෙකක් පසු පසට’ ලෙසිනි. පියවරක් ඉදිරියට යන්නෙන් ඔහු අදහස් කරන්නේ ‘සිනමා බස භාවිතය සහ සිනමාත්මක ගුණය’ අතින් චිත්රපටය අනෙක් චිත්රපට පරයා ඉදිරියට පැමිණ ඇති බවයි. පියවර දෙකක් පසු පසට වන්නේ කියන දෙයක් නැති නිසාලු! කියවෙන දෙයක්, සන්නිවේදනය වන යමක් නැති භාෂා හැසිරවීමක් ඉදිරි පියවරක් ලෙස මනින්නේ කෙසේද?
චිත්රපටය පිලිඹද සමන් ගේ කියවීමට විරෝධය එලෙසම තබා ගනිමින් චිත්රපටය කියවූ අය බොහොමයකි. එරික් කැමති වුවද අකමැති වුවද, මුහුණු පොත යනු පුළුල් සංවාද අවකාශයකි. ( අජිත් පැරකුම්, චින්තන ධර්මදාස, නුතන මානවයා, මාතලන් මේ බ්ලොග් ලියන්නන් අතර ඉදිරියෙන් සිටියි. ) මෙතෙක් සිනමා කෘතියක් කේන්ද්රකර පල නොකෙරුණු තරම් අදහස් උදහස් රැසක්, ‘ඇගේ ඇස අග’ මුල් කරගන මුහුණු පොතේ බෙදා හදා ගැනෙනු ( share වෙනු ) දක්නට ලැබිණි. ඒ අතර චිත්රපටයට කැමති මෙන්ම අකමැති අය ද සිටිබව නොරහසක්. එමෙන්ම කිසිදු සහේතුක හේතු දැක්වීමකින් තොරව චිත්රපටයට පරිබාහිර අරෝවන් පදනම් කරගන එය හෙලාදැකි අයද බොහොමයකි. එරික් ට මා හා පුද්ගලික හෝ වෘත්තීය ආරෝවක් නොමැති බව මම දනිමි. එහෙත් එරික් ද කිසිදු සහේතුක කරුණු දැක්වීමකින් තොරව ‘ඇගේ ඇස අග’ අවර ගනයේ සිනමා කෘතියක් බව නිගමනය කරයි. එරික් ගේ විවේචනය එන්නේ අභූත චෝදනා ස්වරූපයෙනි. ඔහු තැනක ( පි 32) මෙසේ කියයි. “හඳගම ගේ චිත්රපටය තුල කිසිදු පංති ඇණවුමකට අඩංගු නැති මිනිස් පවුල ලෙස ඔහු හඳුනා ගන්නා විෂබීජය ඊට වුවමනා ආකාරයට වර්ධනය වන හෙයින්…”. මේ පවුල හුදු හිතලුවක් පමණක් ද? මේ පවුල අයත් පංති පසුබිම ගැන අවබෝධයක් ප්රේක්ෂකයාට ලැබෙන්නේ ම නැති ද? එරික් තව තැනක (පි 33) මෙසේ කියයි “එකම විචාරකයෙකුට මේ චිත්රපටය මෙන්ම යට කී ප්රභේදයේ ( තොරන් සිනමාවේ) චිත්රපටද එකම පෑනෙන් සුජාත කල හැකි වන්නේ එබැවිනි. ” මා දන්නා තරමින් එසේ වූ අවස්තාවක් මට මුණ ගැසී නැත. ‘සිනමා රූපය කොයිතරම් ප්රබල හා මූලික කෙරුණත්, වෘතාන්තය ගෙතීමේ ප්රධාන මෙවලමක් කර ගත්තත් එය ගොඩ නැගෙන්නේ අභව්යතාවයේ පදනමිනි.’ (පි 32) මේ සිදුවීම් සහ සබඳතා මුළුමනින්ම අභව්ය ලෙස බැහැර කල හැකිද? මෙහි එන සිදුවීම(ම්) මා ගොඩනැගූ ඒවා බව සැබෑවකි. එහෙත් ඒවා හුදු ඕපපාතික ගොඩ නැංවීම් නොවෙයි. චිත්රපටය නැරඹු කීප දෙනෙකුම මේ සමාන අත්දැකීම් විඳ ඇති බව මට පුද්ගලිකව දුරකතනයෙන් කතා කොට පැවසීය. ඒ අතර ඉතා ප්රසිද්ධ ලේඛකයෙකු ගේ දියණියක් ද වෙයි. ඇය මගෙන් විමසා සිටියේ ‘මේ කතාව කිවුවේ අපේ තාත්තා ද?’ කියායි. මා ඇගෙන් එසේ අසන්නේ ඇයි දැයි විමසු විට ඇගේ පිළිතුර වුයේ, ‘ෆිල්ම් එකේ ඉන්නේ අපේ අම්මා’ යන්නයි. මෙහි එන සිදුවීම් ඇත්ත ජීවිතයක ඒ සැටියෙන්ම සිදුවූ/සිදුවන සිදුවීම් නොවන්නට ද පුළුවන. අභව්ය සිදුවීමක් මුල්කරගන පවා කලා කෘතියක් ගොඩනැගිය නොහැකිද?
කිසියම් (දේශපාලන) විචාරකයෙකු චිත්රපටයක් විශ්ලේෂණය කරන්නේ කිසියම් දාර්ශනික පදනමක සිටය. උදාහරණයකට මහාචාර්ය ගම්ලත් මේ කෘතිය කියවනු ඇත්තේ මාක්ස්-ට්රොස්කි වාදී අස්ථානයක පිහිටා ය. අප හඳුනාගත් පරිදි එරික් සාරසංග්රහ වාදියෙකි. එහෙත් එරික් ගේ මේ විචාරයට එවැනි නිශ්චිත දාර්ශනික අස්ථානයක් පදනම් වී ඇති බවක් නොපෙනෙයි. ඒ වෙනුවට එය ප්රහාරයකි.
එරික් ගේ ප්රහාරයේ ආධ්යාශය උපදින තැන මට හසුවෙයි. මිනිස් පවුල පිළිඹඳ මගේ ( අධ්යක්ෂවරයාගේ ) දෘෂ්ටිවාදය තුල ඇත්තේ “පවුල කියා දෙයකුත් මිනිස් සමාජය තුල ඇති බව දැන ගැනීමෙන් ඇති වූ කෝපය හා භීතිය පමණි. ” (පි 34). එරික් කියයි.
මගේ සෑම චිත්රපටයකදීම අනුභූතිය සමඟ නව අන්තර්ගතයක් ග්රහණය කර ගනු පිණිස තැත් දරා සිටීම එරික් අගයයි. එම ප්රයත්නයේදී ඔහුගේ නිර්භය කලා පෞරුෂය මඟින් විශද කරනු ලබන්නේ ඉන්දියාව ඇතුළු අපගේ කලාපයේ පශ්චාත්-යටත්විජිත සමයට ආගන්තුක දුර්ලභ ලක්ෂණයකි. (පි 34). ( ඔබට ස්තුතියි!) එනම් සිය කලාව වෙනුවෙන් සිය කුටුම්භය ආයෝජනය කිරීමයි… ඔහු මිනිස් පවුල පිළිඹඳ සිය වෛරය මුසු ආදරය සිසිෆස් ලෙස දෙවුරින් රැගෙන යයි. සිය පුද්ගලික ජීවිතයේ අවසාන වස්තුව වූ පියකරු දියණිය ද මේ චිත්රපටයට රැගෙන එන්නේ තමාට දිනා ගැනීමට ලෝකයක් විනා නැතිවීමට ලෝකයක් නැති බව කියන්නට ය. ( පි 39) එරික් හිතන්නේ මගේ විවාහය දික්කසාදයකින් කෙළවර වුවාට පසු මට ‘නැතිවීමට ලෝකයක්’ නැති වූ බව විය යුතුය. නැත. ඒ දික්කසාදය මා වෙත ඉතිරිකලේ දිවිහිමියෙන් රැකගත යුතු ලෝකයකි. එනම් මගේ දියණියන් දෙදෙනාය. දිනා ගැනීමට ඇති ලෝකයක් වෙනුවෙන් මා කිසි විටෙකත් ඒ ලෝකය නැති කරගන්නේ නැත.
බොහෝ දෙනෙකු සමහරක් සිනමා කෘති නැරඹීමෙන් ත්රස්ත වන්නේ එකී සිනමා කෘතිය නරඹන්නා වෙත (පෙරලා) හෙලන බැල්ම (gaze) දරා ගත නොහැකිවය. එවැනි අයෙකු විචාරකයෙකු වූ විට විචාරය සිදුවන්නේ චිත්රපටයේ බැල්ම ට මුහුණ නොදෙමිනි. ඒ සමහරක් දෙනෙකු මෙන්ම එරික් ද ‘ඇගේ ඇස අග’ විනිශ්චය කරන්නේ චිත්රපටය ඔහු වෙත හෙලන බැල්ම මග හරිමිනි. චිත්රපටයේ බැල්ම මගහරින එරික් ට සිය නෙත ගැටෙන්නේ මගේ කුටුම්භය ය.
විවාහයක්, දික්කසාදයකින් කෙලවරවීම මහා අත්භූත සිදුවීමක් නොවේ. එය අද ඉතා සුලබ සිදුවීමකි. ලංකාවේ දික්කසාද අනුපාතය ඉහල ගොස් ඇති බව සංඛ්යා ලේඛන පෙන්වා දෙයි. ( එරික් ගේ ද පළමු විවාහය ද කෙළවර වූයේ දික්කසාදයකිනි ?!.) එහෙත් මගේ විවාහය දික්කසාදයකින් කෙලවරවීම බොහෝ දෙනෙකුට හුදු සාමාන්ය සිද්ධියක් නොවෙයි. කලා සමාජයේ ඇතැමෙකුට එය මා ජීවිතයේ මුහුණ දුන් මහා ඛේදවාචකයෙකි. එරික් ට අනුව එය ‘සිනමාව වෙනුවෙන් කුටුම්භය ආයෝජනය කිරීමේ’ අවදානමේ ප්රතිපලයකි. ඒ නිසා මා පවුල ට වෛර කරන්නෙකි. එබැවින් මගේ සිනමාව පවුල් විරෝධී එකකි. වෙන්වීමෙන් පසු මගේ ජීවිතයේ සත්ය තොරතුරු නොදන්නා අය එය සමපෙක්ෂණය (Speculate) කරයි. ඒ සඳහා බොහෝ විට පදනම් කරගන්නේ ඒක පාර්ශවීය වෛරී ප්රකාශයන් ය. කුණු රස අලෙවිය සඳහා මාධ්යය ඒවා මතුකර දක්වයි. එහෙත් වෙන්වීමට අදාළ සියලු කාරනා අධිකරණ ක්රියාවලියක් තුල විභාග කෙරී තීන්දු කෙරී අවසානය. ඇතැමුන් සිතන පරිදි දික්කසාදය නිසා මගේ ජීවිතය ඛේදවාචකයකට තල්ලු වී නැත. මම ඉතා සුන්දර, ගුණ යහපත් දියණියන් දෙදෙනෙකු ගේ පියෙකු ලෙස සතුටින් දිවි ගෙවමි. මගේ සිනමා ප්රකාශනය උපදින්නේ පවුල පිළිඹඳ මගේ ඇති වෛරය මුල කරගෙන යයි පැවසීම හුදු හිතලුවකට එහා යමක් නොවෙයි.
‘ඇගේ ඇස අග’ තමා වෙතට හෙලන බැල්ම ඇතැම් නරඹන්නෙකුට දරා ගත නොහැකි වන්නේ ‘කිසිවෙකු’ ( චිත්රපටය) විසින් තමාව නරඹන බව දැනෙන නිසාය. මෙය ඇතැමෙකුට ලොමු ඩෑහැගන්වන අත්දැකීමකි. මේ අය චිත්රපටය සමඟ උරණ වන්නේ ඒ නිසාය. එසේ නොමැතිව ‘ආදර්ශ ප්රේක්ෂකයෙකුට’ ( පි 46) පමණක් වැටහෙන ‘නිර්නාමික ප්රේක්ෂකාගාරයට’ ( පි 46) නොතේරෙන, නොගැලපෙන, අභව්ය කිසිවක් එහි ඇති නිසා නොවේ. ‘සිනමාවේ සත්යයට (Truth in Cinema)’ හසු නොවන කිසිවක් ඇති නිසා නොවේ. ‘නිර්නාමික ප්රේක්ෂකාගාරය’ චිත්රපටය ගැටලුවකින්, අවූලකින් තොරව වැළඳ ගත්තේය. එරික් කියන පරිදි ‘ඇගේ ඇස අග’ ‘ආදර්ශ ප්රේක්ෂකයෙකු’ ඉලක්ක කරගනිමින් තැනුවක් නොවෙයි. එය ප්රධාන චිත්රපට ප්රදර්ශන ප්රවාහයේ නිදහස් කිරීමට වාරය එනතෙක් ඉවසන්නැයි ශාලා හිමියන් සහ බෙදාහරින මණ්ඩල පෙරැත්ත කරද්දීත් එය සීමිත දින ගණනකට නිදහස් කලේ වසර ගණන් කල්බලන්නට තිබූ නොකැමැත්ත නිසාය. එමගින් චිත්රපටය විකල්ප ධාරා ඔස්සේ නිදහස් කිරීමට අවස්තාව පෑදෙන බැවිනි. අන්තර් ජාලය, PayTV, DVD ඔස්සේ දැනටමත් ලක්ෂ ගණනක් චිත්රපටය නරඹා තිබෙයි. තවමත් නරඹමින් තිබෙයි. ලොව ප්රබලම ඩිජිටල් සිනමා ප්රදර්ශන ජාලයක් වන NETFLIX මිලදී ගත් පළමු ශ්රී ලාංකීය චිත්රපටයද ‘ඇගේ ඇස අග’ ය. එබැවින් එය ‘ආදර්ශ ප්රේක්ෂකයෙකු’ ඉලක්ක කර තැනූ එකක් යැයි එරික් නගන චෝදනාව ද පදනම් රහිතය.
එරික් ‘ඇගේ ඇස අග’ සම්බන්ධව ගෙනෙන මේ සියලු විවේචනයන් හි උත්ප්රාසය මතුවන්නේ ඒ විචාරයට පදනම් වන තර්කම ඔහුගේ ‘පරදේශී’ නවකතාව ත්, ඔහු පිටපත ලියූ ‘ස්වරූප’ සිනමාපටයත් විෂයයෙහි ව්යවහාර කල විටය. එම අභ්යාසය පාඨකයාමට පවරමි.
එරික් යනු ජීවිත කාලයක් පුරාම දැනුම එක් රැස් කරවුනු මහා දැනුම් කොශ්ටාගාරයකි. කවි, කෙටිකතා සහ නවකතා ආදී නිර්මාණ ක්ෂේත්රයට ද, සාහිත්ය කලා සහ සිනමා විචාරයට ද විශාල සම්ප්රදානයක් කල අයෙකි. ඒ ගෞරවය එලෙසම තබාගනිමින්, එරික් ගේ ලිපියට පිළිතුරු ලෙස ලියන මේ ලිපිය අවසන් කරන්නට වන්නේ බරසාර කාරනා වලින් ගහන ඔහු ගේ දිගු ලිපියෙන් ගොඩනගන තර්ක ‘ඇගේ ඇස අග’ අවරගනයේ සිනමා කෘතියක් ලෙස ඒත්තු ගැන්වීමට තරම් ශක්තිමත් නැති බව පවසමිනි. මේ පිළිතුරු ලිපියේ පෙන්වා දෙන පරිදි ඒවා ගොඩ නැගෙන්නේ වැරදි නිරීක්ෂණයන් මතය. නො එසේනම්, සත්යයෙන් තොර ප්රලාප මතය. එක්තරා දාර්ශනිකයෙකු ‘ඇගේ ඇස අග’ කොපියක් යයි කීමට එයට කිසිදු සමානත්වයක් නැති සිනමා කෘතියක් (Elegy) ගෙනහැර දැක්වීය. ඉනුදු නොනැවතුණු ඔහු 2005 නිදහස් කෙරුණු මගේ ‘අක්ෂරය’ චිත්රපටය 2008 තිරගත කෙරුණු The Reader චිත්රපටයේ කොපියක් යැයි කීමෙන් මා අනාගතයේ හැදෙන්නට නියමිත සිනමා කෘති වලින් ද කොපිකල හැකි විෂ්මකරුමයෙකු බව සනාත කළේය. ඔබේ මේ විචාරාභ්යාසය එපමණකට ලඝු නොවන්නේ ඔබේ භාෂා හැසිරවීමේ ඇති විනයගත බව නිසා සහ එනම් පමණක් නිසාය.
– අශෝක හඳගම.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. හැමෝම හඳයාගේ ෆිල්ම් වලට බනින්නේ ,කතා කරන්නේ ,විචාර ලියන්නේ ,,පොරගේ ෆිල්ම් වල දෙන ආතල් එක නිසා ,,,බටහිර ෆිල්ම් වල කළු හැම තියෙන කෙල්ලෝ ආතල් දෙනවා අඩුයි නේ ….ආතල් අරන් මුන් කියන පණ්ඩිත කතා ඔක්කොම බොරු

Comments are closed.