තමන් ගැන නොව අනුන් ගැන සිතූ පිළිම නෙලා නැති විරුවන් තවමත් පසුකදු යට සැගව සිටින අශුද භූමියක ජීවත් වන්නට සිදුවීම ගැන මට ඇත්තේ මහත් අපුලකි. පිළිම නෙලා නැති විරුවන් පස්කදු යට සැගව සිටින බව අපට කියා දුන් නන්දා මාලනිය කෙලී මහරාගේ සිරස මත වැඩහිද ප්‍රේමය නම් සද එළිය සේ අචින්ත්‍යය යැයි කියන විට මට ඊටත් වඩා අපුලය. ලහිරු ලා සින්ඥා වීම ගැන මට පුදුම නැත්තේ නන්දාට සිරස මත වැජබෙමින් විමුක්ති ගී ගයන්නට වීම තරම් එය හාස්‍යජනක නොවන බැවිනි. මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් වසර 2009 දී දෙමල අරගලය මර්ධනය කරන විට හමුදා සාමාජිකයන්ට නිල් මහනෙල් මල් පැලද වූයේ අප නොව තමන්ගේ සාමාජිකයන් දෙවතාවක් ඝාතනය කළ විප්ලවවාදී පක්ෂයක කේඩරයන්ය. ජාතික විමුක්ති අරගලයක් සමූල ඝාතනය කරන විට නිහඩව බලා සිටි සංවේදී කලාකරුවන් එක රෑනක කුරුල්ලන් සේ ඒකාධිපතිවාදයට එරෙහිව සටනට බැස එකී සටනින් විජයග්‍රහණය ලබා ඇත.

වර්ෂ 2014 දී මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පවුල්වාදයට එරෙහිව මහා හඩක් නැගූ පුරවැසි බලය,අලුත් පරපුර ඇතුලු කලාකරුවන් වර්ෂ 2009 දී දෙමළ විමුක්ති අරගලය සමූල ඝාතනය කරන විට නිහඩව බලා සිටි අයුරු අපට මතකය. ප්‍රභාකරන් ගේ මරණයේ ප්‍රීතියෙන් හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කමින් රතිඥ්ඤා පත්තු කළ දේශප්‍රේමී සිංහල ජනතාවට ජාතිවාදයට යන මාවත විවර කර දුන්නේ ජ.වි.පෙ සහ දැන් නින්දෙන් ඇහැරී වමේ දේශපාලන ගැන කතා කරන පෙරටුගාමීන්ය. දැන් සියල්ලන්ම ප්‍රාර්ථනා කළ ලෝකය බිහිව අවසන්ය. මෙවර ජනාධිපතිවරණයේ දී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වැඩියෙන්ම මාර්කට් කලේ ප්‍රභාකරන්වය. ජාතික විමුක්ති අරගලයකට නායකත්වය දුන් චේ ගුවේරා විලාසිතාවක් බවට පත්කර ගත් තරුණ වාමාංශිකයන් ඒ ආකාරයේම ජාතික විමුක්ති අරගලයකට පණ පෙවූ ප්‍රභාකරන්ගේ නම කියනවාටත් බියය.

උතුරු නැගෙනහිර දෙමළ,මුස්ලිම් සහ වතුකරයේ දෙමළ වැසියන්ගේ ඡන්දයෙන් පැහැදිලිවම බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමල ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් මුනිවත රැකීම නිවරදිද? ඔවුන් 13+ ගැන කතා කරන විට පවසන්නේ දෙමළ ජාතික සංන්ධානයත් ඒ ගැන කතා නොකරන නිසා ඒ ගැන කතා කිරීම අනවශ්‍ය බවය. පැහැදිලිවම දෙමළ ජාතික සංන්ධානය යනු දෙමල ජනතාවගේ එකම නියෝජිතයා යැයි ඔවුනට උපකල්පනය කළ හැකිද? සත්‍ය නම් ටී.එන්.ඒ යනු තවත් උපයෝගීතාවාදී දේශපාලන කණ්ඩායමක් පමණි. උතුරේ දෙමළ වැසියන්ට ඇති ජාතික ගැටළුව ආත්මීය ප්‍රශ්ණයක් මිස භෞතික ප්‍රශ්නයක් නොවේ. බේදී වෙන්වීමට අප පැහැදිලිවම විරුද්ධ වන්නේ ලෙනින් ගේ ස්වයං නීර්ණය පිළිබද අදහසින් මිස පටු ජාතිවාදී අදහසින් නොවේ. සුළුතර දෙමළ ජනතාව මැතිවරණ වලදී රවටා බහුතර සිංහල ජනතාවගේ මතය වෙනුවෙන් ඒ අයගේ ඉල්ලීම් රට බෙදන කුමන්ත්‍රණ යැයි කියා සුළු ජාතියට විරුද්ධව මහ ජාතිය උසිගැන්වීම මහින්ද සේම මෛත්‍රීත් කරන්නේ නම් ඒ සදහා පිළිතුරු අනාගතයේ දී දෙමල ජනතාව ලබාදෙනු ඇත. පීඩිතයාගේ ජාතිවාදය සහ පීඩකයාගේ ජාතිවාදය පැහැදිලිවම දෙකක් බව අවබෝධ කර ගන්නට අයි.ටී.එන් සහ සිරස නිවිස් නැරඹීම ප්‍රමාණවත් නැත. වචනයෙන් අපි වමේ යැයි කියමින් ක්‍රියාවෙන් ජාතිවාදීන් වන හයිබ්‍රිඩ් විප්ලවවාදීන් සිටින රටක ඉපදීම ගැන කැමති නම් ජගත් මනුවර්ණ වගේ තමා ජාතක කළ දෙමාපියන්ට බනිමින් සොටුපෙරා හඩන්නට පුලුවන. ප්‍රාග්ධනය මත මානුෂවාදය තීරණය වන සමාජ ක්‍රමයක් තුළ තවදුරටත් සියල්ල කර්මයට පවරා නිහඩව බලා ඉන්නට පුලුවනිද?

අලුත් පරපුර,පුරවැසි බලය,වීදියේ විරෝධය,නීතීඥ එකමුතුව සහ තවත් සිවිල් ක්‍රියාකාරිකයන් විසින් මෛත්‍රි පාලනයක් ගෙන එන්නට ඇදි දර දිය අපමණය. මෛත්‍රි පාලනයේ පළමු වෙඩිමුරය ලෙසින් ලෝක තක්කඩි හොරෙකුට ජාතික රූපවාහිනියේ සභාපති තනතුර ලබා දුන්නේය. ධර්මසිරි බණ්ඩාරනායක ගෙන් සහ ගාමිණී වියන්ගොඩ ගෙන් මැතිවරණයට පෙරම අප ලැජ්ජා නැද්ද මේ හොර තක්කඩි එක්ක එකට ඉන්න යැයි කියා ඇසූ විට සැවොම මීයට පිම්ඹා සේ නිහඩ විය. පොදු හතුරා මහින්ද පළවා හැර බිහිවූ යහ පාලන ආණ්ඩුවේ සිටින්නේ මහින්ද ගේ හොර රංචුව නේද යැයි අප අසන විට මේ වෙලාවේ එහෙම නොකර බැහැනේ,දින සියේ වැඩේ අවුල් කර ගන්න බැනේ ඒ නිසා මුලින්ම පාර්ලිමේන්තුවේ එකසිය 113 සදා ගන්නට අවශ්‍ය යැයි බොහෝ අය දෙඩවූවෝය. දැන් අවසනායේ මර්වින් සිල්වා වැනි තක්කඩියන් කියන කතා අසන විට අපට හිරිකිතය. ගෝඨාභයට ආරක්ෂාව ලබාදෙන්නටත්, මහින්දට ගෝඨාගේ නිළ නිවස ලබා දෙන්නටත්, නාමල්ට නිදහස් පක්ෂයේ සංවිධායක තනතුර ලබා දෙන්නටත් මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම යනු කරුණාට නිදහස් පක්සයේ උප සභාපති තනතුර ලබා දීම තරම්ම හාස්‍යජනක නැද්ද? යහ පාලනය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වූ මේ මහත්වරුන් දැන් නිහඩව ඉන්නේ 13+ ගැන කතා කිරීම රට බෙදීමක් යැයි සිතන පරිදි වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන කතා කිරීම යහ පාලනයේ කන්‍යභාවයට හානියක් යැයි සිතන නිසාද? හොර තක්කඩියන් දූෂිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ නිසි දඩුවම් ලබා දීම දින සියයේ යාන්ත්‍රික වැඩ පිළිවෙලට වඩා වැදගත් නොවන්නේද? බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ කටුනායකින් රටහැර පලා ගොස් ඇමරිකාවේ සුඛෝපභෝගී නිවෙසක සුර සැප විදින්නේ පුරවැසියන්ගේ බදු මුදල් වලින් හොරා ගත් ධනයෙන් නොවේද? කේ.පී. වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු ( මට අනුව කේ.පී ත්‍රස්තවාදියෙකු වන්නේ විමුක්ති කොටි සංවිධානය පවා දුන්නාට පසුවය.) අල්ලා මෙරටට ගෙන එන්නට සමත්වූ,වෙලා සුදා අල්ලා ගෙන එන්නට සමත් වූ, සක්විති රණසිංහ කුදලා ගෙන එන්නට සමත් වූ ආරක්ෂක අංශයක් සිටින රටක බැසිල් රාජපක්ෂ නම් හොර තක්කඩියාව කුදලාගෙන එන්නට බැරි මන්ද? සක්විති රණසිංහ වැනි පුද්ගලයෙකු ගේ මුළු ජීවිතයම අවුල් කර තවමත් සිරගත කර සිටින්නේ බැසිල් කලායැයි සැලකිය හැකි හොරම් වලින් සියයෙන් පංගුවකටත් අඩු හොරකමකටය. දිනෙන් දින අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමේ නිල පක්ෂය බවට තමන් විසින් තමන්වම පත්කර ගෙන සිටින ජ.වි.පෙ දැන් අර අදින්නේ විපක්ෂය බවට පත් වන්නටය. තවමත් වාමාංශික හැව ඇර නැති මේ අන්ත ජාතිවාදී පක්ෂයේ කිසිදු නායකයෙකු වසර ගනණකින් වත්මන් දේශපාලන සන්දර්භයන් ගැන ලියවුන කිසිදු පොතක් හෝ ලේඛණයක් කියවා නැති බව ඉතා පැහැදිලිය.

වත්මන් දේශපාලන සන්දර්භය තුළ ඇත්තටම දැන් රට අරාජිකය. මුලින්ම සියළුදෙනා අවබෝධකර ගත යුත්තේ දැන් අප ජීවත් වන්නේ අරාජික රටක බවය. අරාජික රටක් අරාජික බවින් මුදාගන්නට කළ යුතු වැඩ මුලින්ම කර පසුව යහ පාලනය ගැන කල්පනා කළ යුතුය. තනි පවුලක් වසර අටක් තුළ රටක් සිය සින්නක්කර බූදලයක් සේ සලකා කටයුතු කිරීමෙන් පසු මෙවන් අරාජිකත්වයක් ඇතිවීම අහම්බයක් නොවේ. රට ආරාජික කරන්නට රාජපක්ෂලාට ලයිසන් ලබා දුන්නේ සිංහල ජාතීවාදීන්ය. අපි යුද්ධය ඉවර කරනවා! හැබැයි ඊට පස්සේ අපි කරන්නේ අපිට ඕන දේවල්! මේ නිහඩ එකගතාවයට පසු යුද්ධය අවසන් කර රාජපක්ෂ පවුල රටේ මුළු බලයම තමන් සතුකර ගත්තෝය. මෛත්‍රී ගේ ජයග්‍රහණය රාජපක්ෂලාට අනුව විය නොහැක්කකි. මේ දවස් වල ෆේස්බුක් වල නාහෙන් අඩන විප්ලවවාදීන් සහ යහ පාලන අදෝනා නගන්නනන් මේ සිදු වන්නේ කුමක් ද කියා සිතා ගත නොහැකිව සිටියි. මේ මොහොතේ මුලු රටේම අයට ඉන්නට වී තිබෙන්නේ ගම් කාපු පූසන් වගේය.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. යහ පාලන බබා තාමත් නිදි යහනේ
    ජහ මනයා සොබාවික ෆැන්ටසි හීනේ
    සහ පිරිවර සමග ලණු සුප් හැදු නෝනේ,
    වහ වීලා වගෙයි බිව් හට ඒ පානේ.

    මහ අවුලක් වගේ මට පෙනෙනා මේක
    පහදා අහගන්න කෙනෙකුත් නැති සේක.
    වහ වූ ශ්‍රී.ල.නි. ප යලි රහ වූ සේක
    මහ ලේකම් තුමා අපගෙම වූ සේක

    මීයෙන් කැඩූ, අත ලෝනත් මදිය කියයි
    ඊයෙන් ගෙනා හොරු ටික අද සුපිරිසුදුයි
    රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
    සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි

  2. Excellent article. But I have noticed many articles like this in your website do not have the name of the writer. Why?
    It will also be good if you have a list of your publications available and where it can be bought. Thank you.

Comments are closed.