මිලාන් කුන්දේරාගේ The Art of the Novel නමැති වියමන මීට පස් වසරකට පමණ පෙර මවිසින් සිංහලට නගනු ලැබුවේ ‘නවකතාවේ රටාව’ යනුවෙන්. පළමුව එය පුවත්පතකට කොටස් වශයෙන් ලියූවක් වූ නිසා කුන්දේරා නොකර තිබූ දෙයක් කරන්නට මට සිදු විය. එනම් හැම ලිපියකටම හෙඩිමක් ද සැපයීමයි. පොතක් වශයෙන් පළ වෙද්දී එය වෙනස් නොකර හෙඩිම ද භාවිත කළේ එය කියවන්නියට පහසුවක් වෙතැයි සලකාගෙනය.
නවකතාවේ රටාවේ ලිපියක එන එබඳු හෙඩිමක් තමයි ‘‘පේ්රමය වෙනුවට හතු ගැන කතා කිරීම’ කියන්නෙ. අසෝක හඳගමගේ අලූත්ම සිනමා පටය වූ ‘ඇගේ ඇස අඟ’ පළමු වරට සීමිත පිරිසක් සඳහා තරංගනී සිනමාහලේ දී පසුගිය දා තිරගත වුණා. එම අවස්ථාවේ දී (සිනමා පටය තිරයේ පෙන්වීමෙන් පසු) බෙදා හරින ලද මවිසින් ලියූ විචාරය අරබයා මුහුණු පොත හරහා මතු වූ කතා බහ මම දකින්නේ පේ්රමය වෙනුවට හතු ගැන කතා කිරීමක් ලෙස තමයි. ඇත්තටම නම් කුන්දේරාගේ එම ලිවීම මෙම විකාර සිදුවීම පිළිබඳව අපට සපයන්නේ දෘෂටාන්තමය කියවීමක්. මවිසින් සිංහල කළ කුන්දේරාගේ එකී ලිවීම පළමුව පහත උපුටා දක්වන්නට පෙලඹවීමක් ඇති වන්නේ ඒ නිසයි.
”ලෙවින්ගේ වතුයායේ දී ස්ත්රියක සහ පුරුෂයකු මුණ ගැසෙයි. දෙදෙනාම උකටලී හුදෙකලා වූ අයයි. උන් එකිනෙකාට කැමැත්තා සේම තම ජීවිත එක් වනු දැකීමට රහසේ අපේක්ෂා කළහ. ඔවුනට අවැසි එකම දේ මොහොතකට හෝ තනිව සිටීමටය. අන්තිමේ දී දවසක තමන් කාගේවත් නෙත නොගැටෙන, කැලෑවක තනිව සිටින බව දෙදෙනාටම පෙනී ගියේය. ඔවුන් එහි පැමිණ සිටියේ හතු (Mushroms) එකතු කිරීමටය. අවස්ථාව තමන්ට ඇරී ඇති බවත් එය මඟ හැරී යාමට ඉඩ නොදිය යුතු බවත් දැන දැනම ඔවුහු කලැඹීම නිසා නිශ්ශබ්දව සිටියහ. දිගු වේලාවකට පසු ගැහැනිය හදිසියේම ‘අනිච්ඡුානුගව, ඉබේම’ හතු ගැන කතා කරන්නට පටන් ගත්තෙත් නිහඬ බව බිඳී ගියේය. නැවතත් නිෂ්ශබ්දතාව රජැයිනි.
මිනිසා තමාගේ සිතැඟි පළ කිරීමට මඟක් පිළිබඳ විමසිලිමත් විය. එහෙත් පේ්රමය පිළිබඳ කතා කරනු වෙනුවට ‘කිසියම් අනපේක්ෂිත ආවේගයකින්’ ඔහු ද හතු ගැන කතා කරන්නට විය. ආපසු එන විට, බලාපොරොත්තු බිඳ වැටී තමන් කවදාවත් පේ්රමය ගැන කතා නොකරන බව දැන දැනම, ඔවුහු හතු ගැනම කතා කරමින් පැමිණියහ.
නවකතාවේ රටාව 74 පිටුව
දැන් මේ සිදුවීමේ පූර්වාපරතාව අනුපිළිවෙළින් නොදක්වතොත් මුහුණු පොතේම ඇලී ගැලී නොසිටින මුද්රිත මාධ්ය මත පමණක් යැපෙන කියවන්නිය මෙහි අනුශීලනය පිළිබඳ අවුලකට පත් වීමට පිළිවන්. අසෝක හඳගම අර මගේ විචාරය ඔහුගේ මුහුණු පොතේ පළ කරන්නේ ඊට දිනකට හෝ දෙකකට පසු. එම විචාරය පිළිබඳව කීප දෙනෙකුම පැවසූ අදහස් (Comments) අතර හමුවන්නේ විදර්ශන කන්නන්ගර යන නමින් ලියූ (මා හිතන්නේ මේ ඒ විදර්ශනම වෙන්න ඇති) පහත සඳහන් ආකාරයේ සටහනක්.
‘‘මම හිතන්නෙ සමන් මේ කරන්නෙ හඳගම ගැන එයාට තියෙන අයිතිය පෙන්නන්න වගේ දෙයක්. මනෝ විශ්ලේෂණයේ සංකල්ප ෆ්ලැට් විදියට අතුරලා ‘ඇගේ ඇස අග’ නිර්මාණය ඒකට ඕනෙ විදියට කපා ගැනීමක්.. එදා ෆිල්ම් එකට කලින් මේක බෙදුවෙ හරියට අපි ෆිල්ම් එක කියවන්න ඕනෙ මේ විදියට කියල වගේ.. ලංකාවෙ බරපතළ අයුක්තියකට ලක් වුණ විෂයක් තමයි මනෝ විශ්ලේෂණය.. හඳගම නිර්මාණශීලී කලා නිෂ්පාදකයෙක් මිසක් න්යායන් කැපවීමෙන් හදාරන කෙනකු නොවන නිසා මේ වගේ දේවල් වෙනවා.’’
දැන් කෙනෙකුට බැලූ බැල්මට පෙනෙන්නෙ ඔහුගේ ඉලක්කය මම වගේ. හැබැයි ඔහුගේ බැල්ම මා පසුකර ගොස් වෙනත් කේන්ද්රයක නාභිගත වෙන බව වටහා ගන්නට කාට වුණත් පිළිවන්. ඒ වෙනත් කේන්ද්රය මා නම් කරන්නේ දීප්ති යනුවෙන්. ඔහු අමතන්නෙ වෙන කෙනකුව. අර පේ්රමය වෙනුවට හතු ගැන කතා කරන්න ගිය අය තුළ ඇති වන කැලඹීම බඳු අවුලක් හට ගන්නේ එතැනින්.
මනෝ විද්යාව සහ මනෝ විශ්ලේෂණය අතර වෙනසවත් නොහඳුනන චින්තක රණසිංහ බඳු සරල මතිකයෙකුවත් මෙහෙම ළමා මට්ටමේ දේවල් කරන්නේ නැහැ. මෙම සටහන එළිදරව් කරන්නේ සංකේතික විනිශ්චය පිළිබඳ තර්ක බුද්ධියවත් තමාට අහිමි බවයි. හඳගම පසුව ඉදිරිපත් කරන සවිස්තරාත්මක පිළිතුරෙන් ඔහු වාෂ්ප වී යන එක ගැන වෙන කෙනකුට වග කියන්න බැහැ. හඳගම එය ලියා තිබුණේ මෙහෙමයි.
‘‘මීට කලින් ප්රදර්ශනය නොවුණ සිනමා කෘතියක් සම්බන්ධව කියවීමක් මාධ්ය දැක්ම දා බෙදා හැරෙනුයේ එය ආරාධිතව කළ එකක් නිසා බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වන කරුණක්. ’’
මේ දේවල් මේ විදියට සිදුවීම අපට නම් කරන්න වන්නේ සංකේතික ලෝකයේ ආකර්යක්ෂමතාවක් (simbolic inefficiency) ලෙස. එය මේ වගේ කාලයක නොවලැක් විය හැකි දෙයක්. කෙසේ හෝ යම් තරමකින්වත් තර්කානුකූලව මෙම සංකේතීය කාරණා පිළිබඳ හිතා ගන්නට බැරි කෙනෙක්.
‘‘ලංකාවේ බරපතළ අයුක්තියකට ලක් වුණ විෂයක් තමයි මනෝ විශ්ලේෂණය.’’ යනුවෙන් කටමැත බාරගත දෙඩවීම යුක්තේ කෙසේද? එකී ලිපිය තුළ මා කර තිබෙන්නේ ‘‘මනෝ විශ්ලේෂණයේ සංකල්ප ෆ්ලැට් විදියට අතුරලා ‘ඇගේ ඇස අග’ නිර්මාණය ඒකට ඕනෙ විදියට කපා ගැනීමකි.’ යැයි ඔහු කියනවනෙ. එසේ නම් ඔහු කළ යුතු දේ තමයි මනෝ විශ්ලේෂණයේ සංකල්ප ෆ්ලැට් විදියට මගේ ලිපිය තුළ අතුරලා තිබෙන්නේ කෙසේ දැයි න්යායිකව පැහැදි කිරීම. එවිට අර ලංකාව තුළ අයුක්තියට ලක් වුණ මනෝ විශ්ලේෂණයට යුක්තිය ඉටු කර දීමට ඔහුට පිළිවන් වේවි. හැබැයි තමන්ගේ නම වහරන්නේ ස්ලැවෝජ් ජිජැක් යනුවෙන් යැයි එම නම හිමිකරුවාම පර සක්වල ගසද්දීත් ස්ලැවොජ් සීසෙක් යයි කියමින් ඉබාගාතේ යන්නෙකුගෙන් මනෝ විශ්ලේෂණයට කවර නම් යුක්තියක් ඉටු වේදැයි මා දන්නේ නැහැ.
දැන් අවස්ථාව එළඹෙන්නේ පේ්රමය වෙනුවට හතු ගැන කතා කිරීම මෙම සටහන තුළ අනුශීලනය (Play) වන සැටි විමසීමට. කුන්දේරා නැවත සෙවීම යනුවෙන් මෙම තීරුව තුළ මා උත්සාහ කළේ විනෝද සාධකය ඔහුගේ නවකතා තුළ මතු වන සැටි සෙවීමට. එය කුන්දේරාගේ නවකතා යනු කොමියුනිස්ට් සර්වාධිකාරී සමාජයක් තුළ කි්රයාත්මක වන දෘෂ්ටිවාදය විසින් අහිමි කරන ලද විනෝදය තම පුද්ගලික ජීවිත තුළ සොයන විමතිකයන් (Dissidents) පිළිබඳ ප්රබන්ධ නොවේදැයි අප විමසමින් සිටියා. විදර්ශනගේ මුහුණු පොතේ සටහන (Comment) තුළ අනුශීලනය වන්නේත් විනෝද සාධකය තමයි.
මෙම සටහන තුළ ඔහු දොස් පවරන්නේ තමාගේ විනෝදය අනෙකකු විසින් පැහැරගෙන තිබෙන බවයි. මා ලියා ඇත්තේ ඔහු විසින් ලිවිය යුතුව තිබිණැයි ඔහු සිතන විචාරයක්. හැබැයි ඔහු දොස් පවරන්නේ මට නොවෙයි. ඔහුගේ දෝෂාරෝපණය එල්ල වෙන්නේ දීප්තිට. මනෝ විශ්ලේෂණය ලංකාව තුළ බරපතළ අයුක්තියකට ලක් වුණ බව කියන විට ඔහු එළිදරව් කරන්නේ අවිඥානිකව ඔහු දීප්ති වෙත තිබෙන බැඳීම සහ වෛරය. තමන්ගේ පිළිතුර අවසානයේ හඳගම ‘ඇයි ද මේ වේදනා?’ යනුවෙන් ඇසීම ඉතාම නිවැරැුදියි. ලැකාන් එය න්යාය ගත කළේ ප්රමෝදය (Jouissance) යනුවෙන්.
විදර්ශන ද ඇතුළුව මේ හැමෝම විනෝද වන්නේ දීප්ති මේ රටට හඳුන්වාදුන් විශ්මයජනක භාෂා අඩවියක් තුළ අඩව් අල්ලමින්. මා කියන්නේ කුමක් දැයි වටහා ගැනීමට අවැසි කෙනෙක් උපුල් ශාන්ත සන්නස්ගලගේ සිට එරික් ඉලයප්ආරච්චි දක්වා සිටින ලේඛකයන්ගේ ලියවිලි පරීක්ෂා කර බැලීම මැනවි. ඔවුන් කොයිතරම් නම් වචන කන්දරාවක් අව භාවිතයේ යොදවමින් සිටිනවාද? පැල්ලසය, යථ, පොළා පැනීම, විනෝදය, ආත්මීයත්වය, කැඩපත් අවදිය, සංකේත විශ්වය, ප්රමෝදය, හිස්ටරික අවකාශය ආදී වූ වචන හුදු වචන පමණක් නොවන බව මේ කිසිවකු මායිං කරන්නේ නැහැ. ඒ වචනත් සමඟ දීප්ති අතිශය ගැඹුරු සංකල්පීය කියවීමකුත් ගෙන එන බව හැමෝම එක්කෝ අමතක කරනවා නැත්නම් නරුමවාදී ලෙස අමතක වූ පරිද්දෙන් හැසිරෙනවා. ඇත්ත නම් මේ වචන ඔවුනට තමන් ලියන දේවල් අලංකාර කරන වාගාලංකාරික උපායන් (Rhetorical device) පමණයි. නිදසුනක් ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මේ දවස්වල සත්හඬට ලියන ඔහුගේ අලූත්ම නවකතාවේ භාවාතිෂය වූ භාෂා භාවිතය අලංකාරවත් කිරීමට පැල්ලසය කියන යෙදුමත් ගෙන තිබෙන සැටි මා දුටුවා. මේ හිස් වාගාලංකාරිකයන්ගේ භාෂා අව භාවිතය ෆ්ලැට් විදියට විදර්ශනට නොපෙනෙන්නේ මන්ද? වචන කියන ඒවට කාටවත් අයිතිවාසිකම් කියන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒකට මගේ පිළිතුර තමයි පහත ලියවෙන්නේ.
දීප්තිගෙන් ම උගෙන එහෙත් ඔහුට අවැසි නිසි ගෞරවය ලබා නොදී විනෝද වන්නන්ට මහේෂ් හපුගොඩ පසුගිය සත්හඬ මඟින් බැට දී තිබුණා. එය මට සිහිපත් කළේ කෞශල්ය කුමාරසිංහ ‘සැබෑවේ අනුරාගය දෙසට’.. යනුවෙන් 2016 Down Town Pulse සඟරාවට ලියා තිබූ ලිපියයි. එම ලිපිය කලාව හා කලා විචාරයේ ඓතිහාසිකත්වය ප්රස්තුත කර ගනිමින් ලියූවක්. හැබැයි එම ලිපියේ දීප්ති ගැන සඳහන් වන්නේ දෙතැනක පමණයි. එම තැන් දෙකෙන් කියවෙන්නේ මෙච්චරයි.
‘‘එක පැත්තකින් දීප්ති කුමාර ගුණරත්නගේ තියුණු විවේචන ශෛලියක්’’
84 පිටුව
‘පසුව දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් බිහි වන ශ්රී ලංකා පෙරටුගාමී පක්ෂය සහ ති්රමාණ, පෙරදිග සුළං වැනි සඟරා ඉන්පසු පෙර තරම් සමාජ බලපෑමක් කරන්නේ නැහැ.’’
86 පිටුව
කෞශල්ය විස්තර කරන ඓතිහාසිකත්වය තුළ දීප්ති සලකුණු වන්නේ එපමණකින්ද? එහෙත් ඔහු තමාගේ ලිපියේ මාතෘකාව සඳහා වචනයක් ණයට ගන්නේත් දීප්තිගෙන්. සැබෑව (යථ) වශයෙන් ඔහු ගන්නේ දීප්ති අවස්ථා දෙකක දී ලැකානියානු යෙදුමක් වූ Real යන්නට සිංහලෙන් හඳුන්වන වචන දෙකක්. මා දන්නා තරමින් Real යන්න මුලදී හැඳින් වූයේ යථ යනුවෙන්. පසුව එය සැබෑව ලෙස වෙනස් වෙනවා. හෙට දීප්ති ඒ සඳහා යෝජනා කරන නම වුවත් මේ අය (අ) ගෞරවය ලෙස සොරා ගන්නවා ඇති. විෂයී බව (Subjectivity) ආත්මීයත්වය (Subjectivity) ලෙස මාරු වුණේ කවරාකාරයෙන් දැයි ඔවුන් පැහැදිලි කරන්නේ කෙසේද?
දැන් නැවතත් මගේ විචාරය වෙත ආපසු පැමිණියහොත් මට සාරංශ කර කීමට ඇත්තේ ඉතාමත් සරල වූ කිසිවක්. එම ලිපිය තුළ මම කළේ යම් කලා කෘතියක් වටහා ගැනීමට ප්රයත්න දැරීමක්. එය කාගේවත් විනෝදය පැහැර ගැනීමක් නොවේ. එය නැවත නැවත කියවීමට මගේ ලැකානියානු කියවීම් ශෛලිය කාටවත් බාධාවක් විය යුතු නැහැ.

සමන් වික්රමාරච්චි

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඇයි සමන් වික්රමආරච්චි දේශපාලනයෙදි අදාළ නොවන මේ වගේ පිස්සෙක් වෙනුවෙන් සත්හඩේ සහ 3මාන අඩවියේ වටිනා ඉඩ අපතේ යවන්නෙ. අපි කොහොමත් ජිජැක්ව කියවන්නෙ අපගේ දේශපාලනයට අදාළවම තමයි. මේ වගේ පිස්සොත් එක්ක පැටලෙන එකෙන් වෙන්නෙ වටිනා කාලය අපතේ යෑමක් පමණයි.

Comments are closed.