POWER

මර්දන උපන්‍යාසය (Repressive hypothesis) පිළිබද ෆුකෝ පමණක් නොව මනෝවිශ්ලේෂණයේ දී ද සලකා බලයි. මනෝවිශ්ලේෂණයේ දී කියවෙන්නේ පුද්ගලයාගේ ආශාව (Desire) නිර්මාණය වන්නේ මර්දන බලය මඟින් බවයි. ඒ අනුව නීතිය මඟින් ආශාව නිර්මාණය වේ. නමුත් මෙතැන දී බලය නිශේධනාත්මකව සලකා බලන බැවින් ෆුකෝ මනෝවිශ්ලේෂණ සංකල්පය විවේචනය කරනු ලබයි.”

නීතිමය කතිකාවට සම්බන්ධව ගොඩනගන බලය පිළිබඳ සංකල්පයේ ඇති ලක්ෂණ 5ක් ෆුකෝ පෙන්වා දෙයි.

  1. බලය සහ ලිංගිකත්වය අතර නිශේධනාත්මක සම්බන්ධයක් ගොඩනගා ඇති අතර බලය විසින් ලිංගිකත්වය මර්දනය කරනු ලැබ තිබේ
  2. බලය නීතිය ලෙස ක‍්‍රියා කරමින් ලිංගිකත්වය සිදු විය යුතු ආකාරය තීරණය කිරීම
  3. බලය ක‍්‍රියාත්මක වන්නේ ලිංගිකත්වය මර්දනයට සහ තහනමට පමණක් වීම
  4. බලය විසින් ලිංගිකත්වයට අවසරයක් නැති බව, ඒ පිළිබඳ කතා නොකළ යුතු බව සහ අවසානයේ ලිංගිකත්වය කියා දෙයක් නැති බව ප‍්‍රකාශ කිරීම
  5. බලය විසින් ක‍්‍රියාත්මක කරන මර්දනය සෑම තැනකම එකම ආකාරයකින් ක‍්‍රියාත්මක වන ආකාරයට පෙනෙන්නට තිබීම.

ෆුකෝ ට අනුව අපි බලය පිළිබඳ සලකා බලන්නේ මර්දනකාරී දෙයක් ලෙස එක් පැත්තක් පමණි. මේ නිසා අප බලයට විරුද්ධ වීම සහ එයින් නිදහස් වීමට උත්සාහ කරන්නෙමු. අපගේ ආශාව පවතින්නේ මර්දනකාරී බලය පවතින විට පමණි. ඒ අනුව බලය විසින් අපගේ ආශාව පහළට ඇද නොදමන අතර අපට අපගේ ආශාව නිර්මාණය කර දෙයි. මේ නිසා ෆුකෝ ට අනුව බලය මර්දනකාරී දෙයක් පමණක් නොව නිර්මාණශීලී දෙයක් ද වේ. තව ද බලය අපට බාහිර මෙන්ම අභ්‍යන්තරික දෙයක්ද වේ. බලය මඟින් පාලනය කිරීම, ආත්මය යටත් කරගැනීම පමණක් අදහස් කිරීම ෆුකෝ බැහැර කරන අතර ඔහුට අනුව බලය යනු සියලූ‍ දෙනා වැලඳගන්නා දෙයක් වන අතර සියලූ‍ දෙනා බලයේ ප‍්‍රභවයක් වේ. බලය සියලූ‍ සම්බන්ධතා (Relations) තුළ දක්නට ඇත.

බලය පිළිබඳ ප‍්‍රමේහ,

–      බලය යනු දෙයක්  (Thing) නොවේ. කෙනෙකු ළඟ තිබෙන දෙයක් හෝ කෙනෙකුට නැති දෙයක් නොවේ.  ඕනෑම සම්බන්ධයක සෑම තැනකම බලය පවතී

–                 බලය ආර්ථිකය, දැනුම සහ ලිංගිකත්වයට බාහිරින් පවතින දෙයක් නොව එම සම්බන්ධතාවලට අභ්‍යන්තරික දෙයකි

–                 බලය ඉහළ සිට පහළට එන දෙයක් නොවේ. බල සම්බන්ධතා පාලකයා/පාලිතයා යන සම්බන්ධය අනුව බිහි නොවේ. බලය සමාජයේ  ඕනෑම ස්ථරයක බිහි විය හැකිය. එය පාලක බලයෙන් ස්වාධීන වේ.

–                 බලය ක‍්‍රියාත්මක කරන තනි චරිත නොපවතී. නමුත් බලයට ඇති උපායමාර්ග සහ අභිප‍්‍රා මොනවාදැයි සෙවිය හැකිය. බල සබඳතාවලට තාර්කික බවක් පැවතුණ ද එම බල සබඳතා පාලනය කරන මහා බලවතෙකු නොපවතී

–                 ප‍්‍රතිවිරෝධය බලයේම අභ්‍යන්තරික කොටසකි. ප‍්‍රතිවිරෝධය බිහි වන්නේ ඒකාකාරී දෙයක් ලෙස නොව තැන් තැන්වලය. එය බලය වෙනස් වීමේ ගතිකය සමඟ චලනය වේ.

ලිංගිකත්වය එක් බල සම්බන්ධතාවක් ලෙස සලකා අධ්‍යයනය කළ නොහැකිය. ලිංගිකත්ව කතිකාව වටා පවතින විවිධ බල සබඳතා අධ්‍යයනය කළ යුතුය. මේ සඳහා නියම 4 ක් පවතී.

  1. අන්තරස්තභාවය පිළිබඳ නියමය

බලය සහ දැනුම එකිනෙකට සම්බන්ධ වේ. අප ලිංගිකත්වය පිළිබඳ දන්නා දෙය සහ අප ලිංගිකත්වය පිළිබඳ දැනගැනීමට යන ආකාරය යන දෙකම බල සබඳතා මඟින් තීරණය වේ.

  1. අඛණ්ඩ වෙනස් වීම පිළිබඳ නියමය

බලය නිශ්චල සම්බන්ධයක් නොවේ. බල සබඳතාවල ස්වභාවය කාලය සමඟ වෙනස් වේ.

  1. ද්විත්ව තත්වාරෝපණය පිළිබඳ නියමය

කුඩා බල කේන්ද්‍ර මහා බල කේන්ද්‍රවල කොටස් වන අතර මෙම මහා කේන්ද්‍ර කුඩා කේන්ද්‍ර මත රඳා පවතී. කෙනෙකුට එකක් වඩා වැදගත් යැයි පෙන්වීමට නොහැකිය.

  1. කතිකාවේ බහු සංයුජ උපායමාර්ගික බව පිළිබඳ නියමය

කතිකාව යනු දැනුම බලයට සම්බන්ධ කරන දෙයයි. කතිකාව බලය මෙන්ම  ඕනෑම ආකාරයකට ක‍්‍රියා කරයි. කතිකාවේ වඩා බලවත් දෙයක් නොපවතී.

ලිංගිකත්වය යනු බලය විසින් මර්දනය කර ඇති ‘දෙයක්’ නොවේ. එය සමාජීය ගොඩනැංවීමකි. බලය සහ දැනුම ලිංගිකත්වයට සම්බන්ධ කරන කේන්ද්‍රයන් 4ක් පවතී.

  1. ස්ත‍්‍රී ශරීරය හිස්ටරීකරණය කිරීම

මෙමඟින් අප ගැහැනු ශරීරය ලිංගික වස්තුවක් ලෙස දකින්නට සහ වෛද්‍ය දැනුමේ කොටසක් ලෙස දකින්නට පුරුදු විය. ස්ත‍්‍රී ශරීරය ප‍්‍රජනනයේ ද කේන්ද්‍රය වේ.

  1. ළමා ලිංගිකත්වය ශික්ෂණය කිරීම

ළමා ලිංගිකත්වය නිසා ළමුන් වඩා ලිංගිකකරණය වූ අතර ඔවුන්ගේ ලිංගිකත්වය භයානක යැයි සිතා පාලනය කිරීමකට ලක් කරයි.

  1. ප‍්‍රජනනය සමාජගත වීම

ප‍්‍රජනනය සහ ලිංගිකත්වය සමාජීයව වැදගත් කොට සලකන අතර ප‍්‍රජනනයට සම්බන්ධ නොවන ලිංගිකත්වයන් ප‍්‍රතික්ෂේප කරයි.

  1. අසංගත ලිංගිකත්වයන් මනෝචිකිත්සකකරණය වීම

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලිංගිකත්වය වෛද්‍යමය සහ මනෝචිකිත්සකමය දෙයක් ලෙස සලකා අධ්‍යයනය කරයි. සාමාන්‍ය සහ රෝගී ලෙස ලිංගිකත්වය වෙන්කර රෝගී කොටස නිවැරදි කළ යුතු දෙයක් ලෙස හඳුනා ගනී.

මෙම කේන්ද්‍ර මඟින් ලිංගිකත්වය මර්දනය නොකරන අතර ඒවා නොමැතිව ලිංගිකත්වය පිළිබඳ කතිකාව නොපවතී.

ලිංගිකත්වය කතිකාවක් ලෙස අප විසින් ගොඩනැගූ දෙයකි. විවිධ සංකල්ප එයට සම්බන්ධ වී පවතී. කාලයත්  සමඟ මෙම සංකල්ප වෙනස් වන අතර ලිංගිකත්වය පිළිබඳ අපගේ මතය ඒ මත රඳා පවතී. උදාහරණයකට දුම්බීම ලිංගිකත්වයට සම කළහොත් වර්තමානයේ පෙනහළු පිළිකාව නම් සංකල්පය සමඟ දුම්බීම සම්බන්ධ අතර මුල්කාලීනව එය නිදහස පිළිබඳ අදහස සමඟ සම්බන්ධ විය. ඒ අනුව වර්තමානයේ දුම්බීම පිළිබඳ අපගේ මතය වන්නේ රෝගීත්වයට සම්බන්ධ නිශේධනාත්මක අදහසකි.

 

 

ඔබේ අදහස කියන්න...