2004 වර්ෂයේ දී මා විසින් දේශනා කරන ලද සත්‍යය ප‍්‍රතික්ෂේප කළ X විමතිකයන්ගෙන් මම උගත් දේශපාලන පාඩම මෙලෙස සාරාංශගත කළ හැකිය. භෞතිකවාදයේ සත්‍ය සූත‍්‍රය වන්නේ දෙවියන් යනු මුසාවක් හෝ දෙවියන්ගේ පැවැත්ම අහෝසි වී ඇති බව වටහා ගැනීම නොවේ. සැබෑ භෞතිකවාදයේ සූත‍්‍රය වනුයේ දෙවියන් අපට අවිඥානකව බලපෑම් සහගත බව වටහා ගැනීමයි. 2004 ට පසු X විමතිකයන්ගේ ප‍්‍රායෝගික ජීවිතය වූයේ දීප්ති ඔවුන්ට අවිඥානක වන ආකාරය සමාජයට තහවුරු කිරීමයි.
කාසියේ අනෙක් පැත්ත වූයේ අපගේ සංවිධානය තුළ ශේෂ වූ දීප්තිවාදීන්ය. ඔවුන් ගමන් කළේ X විමතිකයන්ගේ දිශාවට විරුද්ධ දෙසටය. එනම් විඥානවාදය [ideology] දෙසටය. ඔවුන්ට අනුව දීප්ති ඥානවිභාගාත්මකව දෙවියන්ය. ඔවුන්ගේ ප‍්‍රධාන දෝෂය වූයේ ඔවුන්ට අවිඥානකත්වයක් නැති පිරිසක්සේ ඔවුන් විසින් ඔවුන්ව හඳුනා ගනු ලැබීමය. මෙය උන්මුල දෝෂයකි. මිචෙල් ෆුකෝට සහ නිර්මාල් දේවසිරිට (ඔහු X විමතිකයන්ගේ ව්‍යාතිරේක යයි* – [ඔවුන් දෙදෙනාගේ නම් සමාන්තරව ලිවීම ගැන සිනහා නොවන්න ! ] අනුව ගත්තත් අවිඥානය යනු සැබැවින් නොපවතින්නකි. මෙම සන්දර්භය නිසා සමස්තයක් ලෙස දීප්තිවාදීන් සහ නිර්මාල් අතර නොනිල එකඟතාවක් ඇත. මේ කොට්ඨාස දෙකටම අනුව දීප්තිට සමාජය තුළ අවිඥානක පැවැත්මක් නැත. ඔහුව ඥානයට පූර්ණ ලෙස උරා ගත හැකිය.
රොහාන්ගේ ලිංගික – වාමාශික ආප්තය
මා ඇතුළත්ව ශ‍්‍රී ලංකාවේ සිංහල බෞද්ධ විෂම – ලිංගික වාමාංශික පිරිමින් රොහාන්ට ආකර්ෂණය වූයේ ඔහුගේ තනි ලිංගික සටන් පාඨයක් නිසාය. ඔහුගේ උද්වේගකර රොමැන්තික සුසංවාදී සටන් පාඨය මෙසේය. ‘‘මම ස්ත‍්‍රීන් සමඟ ලිංගික සබඳතා පවත්වන්නේ නැත.’’ [මෙය තෙවන සිල්පදය සමඟ පටලවා නොගන්න] 80 දශකය මැද වන තුරු වාමාංශික දේශපාලනයේ කේන්ද්‍රය වූයේ කම්කරු පන්ති දේශපාලනයයි. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය සඳහා වූ ස්වායන්ත අරගලය 1983ට පසු උත්සන්න වූ තත්ත්වයක් හේතුවෙන් ‘කම්කරු පන්තිය’ විස්ථාපනය වී එතැනට ‘අනෙකා’ [other]ආදේශ විය. මෙම අනෙකා ඉන්පසු ජනවර්ගය, කුලය, සමලිංගිකයා, අසල්වැසියා, ස්ත‍්‍රිය දක්වා විචලනය විය. ඉන්පසු ආරම්භ වූයේ අලූත් යුගයකි.

foucault 2
දැන් අපි රොහානියානු ලිංගික ආප්තය ෆ්‍රොයිඩියානු ‘අවිඥානයේ විද්‍යාව’ [ධනාත්මක නොවන විද්‍යාවක් ලෙස – එනම් නිශේධනයේ විද්‍යාවක් හැටියට – එනම් හේගලියානු තේමාවක් ලෙස] ඇසුරු කර තේරුම් ගමු. ෆ්‍රොයිඞ්ට අනුව මිනිසකු යථාර්ථයේ දී තම ආශාව ඉෂ්ට වීම වළක්වා එය කල් දැමීම හෝ වෙන මුල්ලකට විසි කර දමන්නේ ජීවත් වීමේ පහසුව උදෙසාය. ෆ්‍රොයිඞ් මෙම තත්ත්වය තේරුම් කිරීම මෙසේ සිදු කරයි. මිනිසකු නියුරෝසිකයකු [ස්නායුවලට වද දීමෙන් සතුටු වීම] වන්නේ එය ජිවත් වීමට පහසු කරන නිසාය. එවිට කෙනෙකු නියුරෝසික වීම අහම්බයක් නොව වරණයකි.
ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණයට අනුව යම් පුද්ගලයකු ස්ත‍්‍රීන් සමඟ ලිංගික සබඳතා නොපැවැත්වීම යන්නෙන් අදහස් වන්නේ විරුද්ධාභාසයකි. නියුරෝසිකයකුට ඇත්තේ විස්ථාපිත ලිංගිකත්වයකි. ඔහු සමාජ සම්මතයට අනුව ලිංගිකව හැසිරෙන්නේ නැති මුත් ඉන් අදහස් වන්නේ ඔහුට
ලිංගික ජීවිතයක් නැත යන්න නොවේ. එවැන්නකුගේ ලිංගික ජීවිතය පොදු සමාජ සම්මතයට එරෙහි රහසිගත ලිංගිකත්වයකි. උදාහරණයක් ලෙස රොහාන්ට ලිංගික ජීවිතයක් නැත යන්න ප‍්‍රවාදයක් ලෙස සාවද්‍යය. ඔහුට ඇත්තේ සම්මතයෙන් අපගමනය වූ ලිංගිකත්වයකි. එය රහසිගතය. එය ඇත්තේ දෘෂ්‍යමානයට එහායින් යැයි ඔහුගේ අනෙකා අනුමාන කරයි. රොහාන්ගේ සැබෑ ලිංගිකත්වය සොයා ගන්නකුට ඔහුගේ රෝග ලක්ෂණය තමන්ට මාරු කරගන්නවා හැර වෙන ලැබෙන දෙයක් නැත. මන්දයත් රොහාන්ගේ ලිංගික ජීවිතයට පවා සරාත්මක පැවැත්මක් නැති නිසාත්, පැවතිය හැක්කේ එහි අපගමනයක් පමණක් [පරාර්ථක ලිංගිකත්වයක් – For itself – රොහාන්ගේ ලිංගිකත්වය මේ යැයි පැවසුවේ ඔහුගේ පෙම්වතියන් බවට පත් වූ ස්ත‍්‍රීන්ගේ ආඛ්‍යාන හරහාය] නිසාත්ය.
දැන් අපි අපේ දේශපාලන ගැටලූවට අවධානය යොමු කරමු. ඇයි මේ ලංකාවේ වාමාංශික හෝ ඊනියා ඕනෑම ප‍්‍රගතිශීලී දේශපාලන අරගලයක මුඛ්‍ය චරිතයට හෝ චරිතවලට [විජේවීර සිට ප‍්‍රභාකරන් දක්වා] අලිංගික සමාජ දේශපාලනික භූමිකාවක් අවශ්‍ය වෙන්නෙ? ෆ්‍රොයිඞ්ගේ ලිංගිකත්වය පිළිබඳ ප‍්‍රවාදවලට අනුව මිනිස් ලිංගිකත්වය රැුඩිකල් ලෙස අරුත් විරහිතය – meaningless – නිස්සාරය. එය සෑම විටම විරුද්ධාභාසයකින් කෙළවර වන , සැබැවින්ම නොපවතින ‘සම්මතයක්’ [norm] වටා භ‍්‍රමණය වන්නකි.
එසේ නම් අර්ථයක් නැති කේන්ද්‍රයක් [empty] වටා වාමාංශික දේශපාලනය ව්‍යුහගත වන්නේ මන්ද? මෙයට පිළිතුර දීමට අපට, වඩා විඥානවාදී වීමට බල කෙරෙන තත්ත්වයක් බිහි වෙයි. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ‘සුද්දිලාගේ කතාව’ චිත‍්‍රපටය අප නරඹන්නට යන්නේ එහි ඇති සුද්දී සිටින ලිංගික ජවනිකාවලින් ලිංගිකව සතුටු වන්නටය. නමුත් චිත‍්‍රපටය නරඹන අපට සිදු වන්නේ කුමක්ද? තීරණාත්මක ලෙස ආරම්භ වන ලිංගික ජවනිකාවක් එමඟින් යෝජනා කරන සුරතාන්ත මොහොතට එළඹෙන විට කැමරාව ජවනිකාවෙන් ඉවත් වී ශුෂ්ක වියළි කලාපයේ කහ පැහැති අතු දිගේ නිල් පැහැති අදහසට යොමු වෙයි. චිත‍්‍රපටය යෝජනා කරන්නේ වාරණය නිසා ඔබට සියල්ල පෙන්වීමට නොහැකි බවයි. ඉතුරු ටික අපට පරිකල්පනය කිරීමට වාරණය විසින් තහනම් කරන්නේ ද නැත. නමුත් ඔබ අවට සිටින කිසිවකු හෝ චිත‍්‍රපටය නරඹා ඉවතට ආ විට අවට සිටින කිසිවකු හෝ ඔබ රහසින් අශ්ලීලව රස විඳි දෙය දන්නේ නැත. සරලව කිවහොත් ඔබට මහා අනෙකාට හොරෙන් අශ්ලීල විනෝදයක් විඳීමට ඉඩක් ඇත. නමුත් ඔබ අශ්ලීල ලිංගික සතුටක් විඳි බව හැබැහින් දුටුවකු ද නැත. මහා අනෙකාට නොපෙනී රහසින් ලිංගික තෘප්තියක් විඳීමට වාරණය විසින් මේ ලබා දෙන ‘ඉඩ’ නොමැති නම් ඔබේ ආශාව මිය යනු ඇත. නීතිය යනු එය උල්ලංඝනය කිරීමට ලබා දෙන සංඥාවකි. මෙහි හරය වන්නේ නියුරෝසික ලිංගිකත්වය යනු සමාජය දෙසින් රහසිගත, එහෙත් එම රහස පිටත සමාජයට රහසක් නිසා එමඟින් විනෝද වන්නකි. මෙහි දෘෂ්‍යමාණය අලිංගිකය. එහි දී අපගේ දෑසට පෙනෙන්නේ ශාරීරික කිලිටු බවින් විනිර්මුක්ත අධ්‍යාත්මික ලිංගිකත්වයකි. නමුත් එහිම යටි පැත්ත ලෝකෝත්තර අශ්ලීල – විපරිත – ළමා ලිංගිකත්වයකි.
ලිංගිකත්වයේ විරුද්ධාභාසය පසමිතුරුභාවයට අදේශපාලන පිළිතුරක් ලෙස
දැන් අපගේ ගැටලූව වන්නේ පාරිශුද්ධ ලිංගිකත්වය ලක්ෂණයක් පන්ති අරගලයේ ආකෘතියට තුල්‍ය වන්නේ මන්ද යන්නය. විජේවීරගේ සිට අද දක්වා පවතින වාම සංවිධාන දක්වා වූ ඉතිහාසය යනු පාරිශුද්ධ අලිංගික කේන්ද්‍රයක් වටා භ‍්‍රමණය වීමකි. විවාහකයන් ලිංගික සබඳතා නොපවත්වන්නේ යැයි පවසන ඊනියා දේශපාලන සංවිධායකයන් ඉදිරිපිට කොදු නවා ගන්නේ ‘ලිංගික ජීවිතයට’ හිමි ෆැන්ටසි මානය වටහා නොගන්නා නිසාය. ස්වයං – මෛථුනයේ සිට විවාහ – ලිංගික සබඳතා’ වූ පරාසයම රඳා පවතින්නේ ෆැන්ටසිමය යථාර්ථයක් තුළය. නිල් චිත‍්‍රපටයක් නැරඹීමෙන් හෝ වෙනත් කෙනකු ලිංගික සබඳතා පවත්වා ඒ ගැන ගොතන කතාන්දර ඇසීමෙන් හෝ ලබන ලිංගික තෘප්තිය ස්ත‍්‍රියක් සමඟ ලිංගිකව එක් වී ලබන තෘප්තියට උසස් හෝ පහත් නැත. ෆැන්ටසිය මඟින් කරන්නේ මෙම උසස්/පහත් සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂ සමතික‍්‍රමණය කිරීමයි. ඇත්ත වශයෙන්ම වඩා යථාර්ථවාදී ලිංගික තෘප්තියක් ලැබිය හැක්කේ ලේ – සම් – මස් – ඇට නහර සහිත අනෙකෙකු සමඟ සම්බන්ධ වීමෙන් නොව අනෙකෙකුගේ ලිංගිකත්වය ඇසීමෙන් හෝ නැරඹීමෙන්ය.
සමාජය ඉදිරිපිට දෘෂ්‍යමාන වන වාම ලිංගික තහංචිය අර්චනයක් වන්නේ කෙසේද? එයට ඇති අනුභූතිඋත්තර තර්කය කුමක්ද? විවාහ වන්නන් බහුල තැනක විවාහ නොවූවකු ෆ්‍රොයිඩියානු අර්ථයෙන් සායනය කරා යොමු විය යුතු පුද්ගලයෙකි. නමුත් අප ජීවත් වන සමකාලීන ධනවාදී සමාජය විනෝදයට ඉඩ දෙන සමාජයකි. එබැවින් රෝග ලක්ෂණය අර්ථකථනය වීමට වඩා නූතන සමාජය තුළ සිදු වන්නේ විනෝදය වටා සමාජ බලවේග භ‍්‍රමණය වීමයි. එබැවින් සමකාලීන සමාජාර්ථය ෆැලික-phallic- නැත.
ධනවාදී සමාජයක් යනු හේගලියානු අර්ථයෙන් සමතික‍්‍රමණය කළ නොහැකි සමාජයකි. යම් සමාජයක් වඩ වඩා ධනවාදී වන විට ඒ තුළ පරාරෝපණය, ප‍්‍රතිවිරෝධයන්, සමාජ සහ ලිංගික පසමිතුරුභාව, හිංසනය, විවිධ ඇබ්බැහි අතාර්කික චාරිත‍්‍ර – වාරිත‍්‍ර ප‍්‍රසාරණය වෙයි. මෙවැනි සමාජයක දී යමකු ලෞකික, ප‍්‍රතිවිරෝධතා, ගැටුම් සහිත ලිංගිකත්වයක් වෙනුවට ‘අලිංගිකත්වයක්’ දේශනා කිරීම ලිංගිකත්වය පූජනීය හෝ යළි අධ්‍යාත්මිකකරණය කිරීමකි. සමාජ – ආර්ථික දේහය අසමානතාව, අසාධාරණය, එක තැනක දේපොළ ගොඩගැසීම වර්ධනය කරන විට සැබෑ මිනිසුන්ට අනුරාගිකව බැඳිය හැකි අවිද්‍යාවක් අවශ්‍යය.
ලිංගික සබඳතා නොපවත්වන, එනමුත් රහසින් ෆැන්ටාස්මැතිකව ලිංගික ජවනිකා නිපදවන අලිංගික විෂම – ලිංගික ෆැන්ටසි ශරීරයක් සිංහල – බෞද්ධ නාගරිකයාට අවශ්‍යය. බොහෝ විට මෙම අලිංගික ශරීරය ඕපපාතිකව බිහි වන්නේ නගර චතුරස‍්‍රයකය. නමුත් එය ආනයනය වන්නේ ගමෙනි. පරිපූර්ණ ලිංගික සබඳතා සඳහා බාහිර බාධාවක් අවශ්‍ය අයට ඉතා ඉක්මනින් මෙම ග‍්‍රාමීය අලිංගික ශරීරය වෙතට තම ලූබ්ධිය ආයෝජනය කළ හැකිය.
මෙම අලිංගික ෆැන්ටාස්මැතික ලිංගික ග‍්‍රාමීය ශරීරය දෘෂ්ටිවාදයේ උත්කර්ෂවත් වස්තුවක් බවට උත්කර්ෂණය වන්නේ ඇයි? ‘බොරදිය පොකුණ’ චිත‍්‍රපටය යනු මේ ලූබ්ධි මෙහෙයුමේ නෙගටිව් පිටපතය. ඊට අනුව නාගරික පිරිමියාගේ අශ්ලීල ලිංගික ෆැන්ටසි සාක්ෂාත් කර ගන්නට ග‍්‍රාමීය – අහිංසක – නිකැලැල් – ස්ත‍්‍රී ශරීරයක් අවශ්‍යය. මෙහි ධනාත්මක පිටපත අවශ්‍ය වී ඇත්තේ වාමාංශික පිරිමි දේශපාලනයටය. සිංහල වාමාංශික දේශපාලනය ඉතා තදින් හෙළා දකින්නේ පිරිමි සමලිංගිකත්වයයි. මෙහි ප‍්‍රතික‍්‍රියාව අපට හමු වන්නේ විෂම – ලිංගික සබඳතා පිළිකුල් සහගත ලෙස පිළිගැනීමෙනි.
ලංකාවේ ඕනෑම වාමාංශික සංවිධානයක දෙවර්ගයක සාමාජිකයන් ජීවත් වෙති. එක කොටසක් තම සම ලිංගිකත්වය මර්දනය කර ගත් අය වෙති. අනෙක් කොටස විෂම – ලිංගිකයන් ය. ඔවුන් ස්ත‍්‍රීන්ට ආදරය කරයි. මින් පළමු කොටස දෙවැනි කොටස සංශෝධනවාදීන් ලෙස නින්දාසහගතව හෙළා දකින අතර දෙවැනි කොටස පළමු කොටස ඉදිරියේ වැරදිකාර දෘෂ්ටියක ගිලී ගොස් මුණිවත රකිති. ධනවාදී සමාජයේ පරිපූර්ණත්වය ප‍්‍රශ්න කරන්නන් ලෙස මෙම වර්ග දෙක එකිනෙකාට අවශ්‍යය. ඔවුන් එකම කාසියේ දෙපැත්තය.

Foucault 3
ධනවාදයට අවශ්‍ය කරන්නේ එම සමාජය දක්වා පසු කළ සමාජ ඓතිහාසික අවධීන්ට අනුකූල වන අවිඥානක විනෝද සහතික කරන නායකත්ව ප‍්‍රවර්ගයක්ය. අප ඉහත සාකච්ඡුා කළ වාමාංශික සංවිධානවල මධ්‍ය ලක්ෂ්‍යය නිරූපණය කරන අලිංගික/ අවිඥානක ලිංගික පිරිමි ශරීර ධනවාදය විසින් තමන්ගේ දෘෂ්ටිවාදය පෝෂණය කිරීමට යොදා ගැනීම අහම්බයක් නොවේ. ඔවුන් සතු දේශපාලන කාර්යය තමයි පසමිතුරුභාවයත් සහිත ධනවාදයට පිළිතුරක් ලෙස මඩෙන් උඩට ආ මඩ නොගෑවුණු අරවින්දයක් උත්කර්ෂය කිරීම. මෙම අරවින්දය ආර්ථිකයේ සිට සංස්කෘතිය හරහා දේශපාලනය දක්වා උත්තමකරණ යෝජනා කරනවා. අවශ්‍ය වන්නේ මෙම ‘අරවින්දයන්ට’ වශී වීම වෙනුවට මෙහි මූලය වන මඩ පිළිබඳව විශ්ලේෂණය කිරීමයි. එවිට අපට ධනවාදයේ විස්ථාපනය නොකරන ලද සැබෑ පසමිතුරුභාව [පන්ති අරගලය ] හමු වේවි. අවිඥානය යනු අපට අප ගැන ඇති නොදැනීම නොවේ. අවිඥානය වන්නේ අපට අප ගැනම ඇති දැනුම කි‍්‍රයාවේ දී ප‍්‍රතික්ෂේප කරන ආකෘතියයි. ලිංගිකත්වයේ දේශපාලන බල රටාව හඳුනා ගැනීම ‘දැනුමෙන්’ ආත්මීය දෘෂ්ටිකෝණයට මාරු විය යුතුය. එයයි දෘෂ්ටිවාදය විචාරය.
ලිංගිකත්වයේ නිෂ්ටාව ප‍්‍රීතිය- pleasure- නොව නිශේධනයයි.

Deepthi kumara Gunaratne

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අරවින්දය වූ කලී කිසිවකුට අති රමණය කළ නොහැකි වූ රහසිගත වූ ස්වභාවික උපකල්පනයකි. එය දිනක් මට මෙසේ කීවේ ය‍ . ‘පරමාදර්ශි පවුල හදන්න.” මා තවමත් මාගේ සංකේතීය පියා ලෙස සලකන්නේ එ් පිවිතුරු මලයි. ඔහු තෝරාගත් අම්පාර වෙනුවට මම තෝරාගෙන තිබුණේ බොරැල්ලේ ඕල්කට් මාවතයි. මා ජීවතුන් අතර සිටියදී ම මගේ දරුවන් ඇමරිකාවේ ඉඩම් මිලට ගෙන ආකර්ෂණීය නිවෙස් තැනුවේ එනිසා ය. නමුත් අප කිසිවකු රැකියා කර මුදල් උපයන්නේ නැත. එනිසා අපගේ දේශපාලනය සකස් වන්නේ කිරි බර්ටි ආර්ථිකයකින් නොවේ. රොහාන් යනු දීප්තිගේම විරුද්ධාභාෂය වීම කොතරම් අවාසනාවක්ද? දෙවියන් යනු සාතන්ගේ පුත්‍රයා ය. ආමෙන්!

Comments are closed.