අප මේ දක්වා විග‍්‍රහ කළ ඓතිහාසික තත්්ත්වයන්ට අනුව වසර 2000 මොහොතේ දී LTTE සංවිධානය යුද්ධයේ ගුරුත්ව-කේන්ද්‍රය තමන් දෙසට හරවා ගත්තේය. ශිවරාම් නොහොත් තරාකිගේ විග‍්‍රහයට අනුව LTTEය සාම්ප‍්‍රදායික යුද හමුදාවක් බවට පරිවර්තනය වීමෙන් තෙවන යුද අවධිය අවසන් විය. 9/11 සිදුවීමත් සමඟ භූ දේශපාලනයේ ගෝලීය ඛණ්ඩාංක වෙනස් විය. බටහිර සමාජයත්, ඇමරිකාවත් ජාතික විමුක්ති අරගලයකට දක්වන මෘදු ප‍්‍රතිපත්තිය වහාම අතහැර දැමුවේය. වියට්නාම් යුද්ධයේ හදිසි අවසානය (1975) සමඟ ඇමරිකාව පැත්තෙන් චීනයේ දේශපාලන පසමිතුරුභාවය හීලෑකරණය වීම ආරම්භ විය. 60 දශකය තුළ චීනය සිටියේ ලෝක විප්ලවය වෙනුවෙන් විකල්පයක් නිර්මාණය කරමිනි. නමුත් 70 දශකය මැද වනවිට එය රැුඩිකල් විකල්පයක සිට නවලෝක අධිරාජ්‍යයක් කරා වර්ධනය වීම දේශපාලනිකව ආරම්භ විය. වියට්නාම් යුද්ධයේ අවසානයත් සමඟ ඇමරිකානු හෙජමොනියේ නව යුගයක් ආරම්භ විය. චීනය ලෝක ආර්ථික බලවතකු වීමේ සටන ආරම්භ විය.

අලිමංකඩ කඳවුරු සංකීර්ණය බිඳ වැටීමෙන් පසුව LTTE ය පැත්තෙන් යුද්ධයේ තීව‍්‍රතාව උපරිම මට්ටමට ළඟා කර ගැනීමට උත්සාහ කළ මුත් අවසන් මොහොතේ දී ඉන්දීය මැදිහත්වීම නිසා එම සිතියම අකුළා ගැනීමට සිදු විය. අතීතාවලෝකනයක දී අලිමංකඩ ජයග‍්‍රහණය විසින් LTTE පාබල හමුදාවේ ආරම්භය සනිටුහන් වූ අතර ඓතිහාසික පුද්ගලයකු ලෙස බාල්රාජ්ගේ භූමිකාවද අවසන් විය. 2000 සිට ඉදිරියට ගත වූ කෙටි කාලය තුළ බාල්රාජ්ගේ බිරිඳ මුලතිව් වීථිවල තමන්ට තම සැමියා පහර දෙන බවට චෝදනා තියමින් විලාප තැබුවාය. මෙමඟින් සංකේතවත් වන්නේ හිස්ටරික ස්ත‍්‍රියක් පිළිබඳ සංවිධානයට ඇති නොදැනුමයි. කෙසේ වෙතත් පසුව අත්භූත අන්දමින් බාල්රාජ්ගේ බිරිඳ නාගයකු දෂ්ට කිරීමෙන් මිය ගියාය.

ලෝක භූ දේශපාලනයේ ධනවාදී ව්‍යුහාත්මක වෙනස්කම් නිසා බටහිරටත් – ඇමරිකාවටත් අවශ්‍ය වූයේ සිංහල රාජ්‍යය සහ LTTE ය අතර යුද්ධයේ තීව‍්‍රතාව අඩු කිරීමටය. නමුත් ඉන්දියාවට අවශ්‍ය වූයේ LTTE ය කොටු කිරීමටය. මහින්ද රාජපක්ෂ 2005 දී බලයට එනතුරු මෙම යුද්ධයේ දී චීනයට භූමිකාවක් පැවතුණේ නැත. එරික් සොල්හයිම් යුද්ධයේ තීව‍්‍රතාව අඩු කිරීමේ ඒජන්තයා ලෙස ක‍්‍රියා කළ අතර නෝර්වේ රාජ්‍යයට ලංකාව තුළ සාම ව්‍යාපෘතියක් පැවතියේ නැත. (මේ සඳහා අවශ්‍ය අයට ඇති තරම් ඓතිහාසික සාක්ෂි එකතු කළ හැකිය) මෙම හේතුව නිසා LTTE ය පැත්තෙන් යුද්ධයේ තීව‍්‍රතාව අඩු කිරීම සඳහා මාර්ග සිතියමක් නිර්මාණය කළේය. එම සිතියමට අනුව ලංකාව කොටස් තුනකට වෙන්කර යුද්ධයේ අඩු තීව‍්‍රතාව රඳවා ගත්තේය.

(1) නැගෙනහිර පළාත – Hit and Run උපාය මාර්ගය.

මෙය කර්නල් කරුණා මඟින් ක‍්‍රියාත්මක කරන ලද අතර එම ක‍්‍රියාකාරකම් බුද්ධිමය වශයෙන් දියුණු කිරීම සඳහා COIN න්‍යාය පිළිබඳ පොතක් කරුණාට ලබා දුන් බව ශිවරාම් තම ජීවන සටහන්වල දී ප‍්‍රකාශ කරයි. කර්නල් කරුණා ජයසිකුරු මෙහෙයුමට පසු LTTE යට තීරණාත්මක සාධකයක් නොවූයේ මේ නිසාය.

 

(2) උතුරු පළාත (වන්නිය) – සාම්ප‍්‍රදායික පාබල හමුදාව.

ශ‍්‍රී ලංකා යුද හමුදාව සමඟ උපායිකව තීරණාත්මක මොහොතේ ‘ප‍්‍රමාදය’ මඟින් සටන ජයග‍්‍රහණය කිරීම. යුද්ධයේ මුළු මහත් ගුරුත්ව කේන්ද්‍රය වෙනස් කරන සුලු අවියක් (න්‍යෂ්ටික හෝ රසායනික අවි) LTTE යට තිබුණේ නැත. එනිසා අවසන් සටන සැලසුම් කර තිබුණේ නැගෙනහිර මුහුදේ නවතා ඇති යුද නැව් මඟින් වන්නිය කරා එන ශ‍්‍රී ලංකා යුද හමුදා ඩිවිෂනවලට පහර දීමටය. මෙම තත්ත්වය ඇමරිකාව මඟින් ව්‍යර්ථ කරන ලදී.

 

ප‍්‍රහාරක සැලසුමේ දළ රූපය පහත පරිදිය

Map-(6)

 

 

 

———— රූප සටහන————

 

 

 

A,B, C යනු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මුඛ්‍ය ප‍්‍රහාරක බලඇණි 3 යි.

 

(3) දකුණේ සිංහල සමාජය – මෙම කොටස සඳහා යෝජනා කරන ලද්දේ ත‍්‍රස්තවාදයයි.

මෙමඟින් උත්සාහ කළේ සිංහල සමාජයේ මතවාදය ත‍්‍රස්තවාදය මඟින් විචලනය කිරීමයි. මෙම වැඩසටහන මූලික වශයෙන් රඳා පැවතුණේ ටොසී ඔත්තු සේවයේ දේශීය සහ විදේශීය ඔත්තු විශ්ලේෂකයන් මතය. මුළුමහත් ව්‍යාපාරයම විනාශ මුඛයට ගියේ ටොසී ඔත්තු සේවයේ මධ්‍යගත චින්තනයේ දෝෂයක් නිසා බව වැටහෙන විට සංවිධානයම සමූල ඝාතනය විය.

ටොසී ඔත්තු සේවයේ මූලෝපායික දෝෂය හට ගත්තේ කොතැනින්ද? 2002 වර්ෂයේ පැවති රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව විසින් සංකේතාත්මකව උතුරට යවන ලද ‘කොකා-කෝලා’ (ධනේශ්වර පාරිභෝගික භාණ්ඩ) නිසා LTTE යේ විනාශය ආරම්භ වූ බව රනිල්ගේ අතීත හිතවතකු වන ටැක්සි අබේ එකල මාධ්‍යවලට ප‍්‍රකාශ කළේය. ඊට අමතරව ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ තමන් කරුණා සහ තමිල් චෙල්වම් අතර විරසකයේ මූලාරම්භකයා බවය.

ත‍්‍රස්තවාදය තම මූලෝපායික වැඩසටහනේ තීරණාත්මක තැනක තබන  ඕනෑම දේශපාලන සංවිධානයක් මතක තබාගත යුතු ඉතා වැදගත් කරුණක් පොට්ටු අම්මාන් විසින් අමතක කර දමන ලදී. (විශේෂයෙන් 2000 ට පසු) මිනිසා රඳා පවතින්නේ සංකේත පද්ධතියක සාරය මතය. ජේසුස් වහන්සේ කුරුසිය මත කී වදන ත‍්‍රස්තවාදයේ දී අමතක නොකළ යුතුය. ජේසුතුමාගේ උධෘතය මෙසේය.”දෙවියන් යනුවෙන් කෙනෙක් නැත. එය සමූහයක් විසින් ඔප්පු කළ යුතු සිද්ධාන්තයක් පමණි” යම් කෙනෙකු දෙවියන් යනුවෙන් කෙනෙක් පවතී යැයි සිතා කටයුතු කළහොත් දෙපැත්තේ හොරු දෙදෙනෙකු තබා ගෙන මිය යාම අනිවාර්යය. තමන් විසින් අනෙකා විනාශ කිරීමට බෝම්බ තැබීමෙන් පසු සුදු කොඩි ඔසවාගෙන යන්නේ නම් එය උමතු බවකි. බටහිර යහපත් ශිෂ්ට මිනිසා අවසන් මොහොතේ හෝ අපව ගලවා ගනු ඇත යනුවෙන් LTTE ය කරන ලද උපකල්පිතය නන්දිකඩාල් කළපුවෙන් අවසන් ගමන් ගියේය. ලෝකයේ කිසිදු මිලිටරි විද්‍යාවකට හසු නොවන කෲර විද්‍යාවකට තමන් හසුවන්නට නියමිත බව LTTE ය සිතුවේ නැත. සිංහල සොල්දාදුවා අවසන් වශයෙන් බෞද්ධයකු සතු කරුණාව පහල කරනු ඇත යන අනුමානයද විස්මිත ලෙස අවසන් මොහොතේ අතුරුදන් විය. බෞද්ධයා යනු යථාර්ථය සමඟ තදාත්මික නොවන භක්තිවන්තයකු නිසා ඔහුට එකවර කරුණාවන්ත වීමටත්, මිනීමරුවකු වීමටත් හැකි බව 71, 87 – 89, 2009 යන අවස්ථා තුනේදීම ඔප්පු විය. සිංහල බෞද්ධයා ධනවාදය සමඟත් පවතින්නේ යම් පරතරයක් තබාගෙන නිසා ධනවාදය සමඟ ඉතා සතුටෙන් කල් ගෙවීමට සිංහල මිනිසාට හැකිය. මෙම තත්ත්වය නියත වශයෙන්ම ටොසී නායකයා නොදැන සිටි අභ්‍යන්තර කරුණකි. අවසන් මොහොතේ දී තම දෑතින් තම දරුවා විනාශ නොකර ඔහුව සිංහල සොල්දාදුවන් දෙසට එවීමෙන් දෙවියන් යනුවෙන් පරමාදර්ශයක් සිංහල සමාජයට නැති බව ප‍්‍රභාකරන් [මෙයට කරුණා පැටලවීම දෝෂයකි] ඔප්පු කළේය.

 

මෙතෙක් පැවති සංවාදයේ සාරාංශය –

‘සමස්තය’ පිළිබඳ අදහසක් නොමැතිව ඉදිරියට ගමන් කිරීමට නොහැකි බව අවධාරණය කරන්නේ නම් ලංකාවේ ‘දෙමළ ප‍්‍රශ්නය’ අධිනිශ්චය වූයේ මන්ද? උදාහරණයක් ලෙස ‘දෙමළ මිනිසාට’ අවාසිසහගත වන සමාජ – සංස්කෘතික ව්‍යුහ නිර්මාණය කරන ලද්දේ ශ‍්‍රී ලංකාවේ වාර්ගික හුදෙකලා කිරීමේ ද්විපාක්ෂික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉතිහාසය විසිනි. නමුත් මේ ඉතිහාසය වහරණ විට අපගේ දැඩි අවධානය යොමු වන්නේ ජන වර්ගය දෙසටය. මාක්ස්වාදීන් මෙම ප‍්‍රශ්නය අවබෝධ කර ගැනීමේ දී ජනප‍්‍රිය නොවන ආකෘතියක් වහල් කර ගනියි. ඔවුන්ට අනුව දෙමළ මිනිසා සුළු ජාතිකයකු වීමට වඩා ඔහු/ ඇය වන්නියේ දිළින්දකු වීම වැදගත්ය. උදාහරණයක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර් ලංකාවේ බලවත්, ලොව පිළිගත් සිවිල් නිලධාරියෙකි. මෙමඟින් සනිටුහන් වන්නේ ශ‍්‍රී ලංකාව තුළ වාර්ගික අන්තවාදයක් නොමැති බවට ප‍්‍රබල සාක්ෂියකි. එසේ නොමැති නම් සිංහලයා ඉවසීම ප‍්‍රගුණ කර ඇති බවට ඉහත උදාහරණය සාධකයකි. කදිරගාමර් විදේශ ඇමැතිවරයා වීම මඟින් ලෝකයට ප‍්‍රකට වන කාරණය වන්නේ දෙමළෙකුට ලංකාව තුළ ඇති තරම් සාර්ථක විය හැකි ආකාරයයි. කලක් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ උත්කර්ෂවත් වස්තුවක් වූයේ ද මේ නිසාය. නමුත් මෙම තත්ත්වය දෙමළා සම්බන්ධ සුවිශේෂයක් පමණි. එය සාර්වත‍්‍රික භාවිතාවක් නොවේ. සමස්ත චිත‍්‍රයට අනුව සිංහල මිනිසාට වඩා සිංහල රාජ්‍ය යන්ත‍්‍රය තුළ බහුතර දෙමළ ජනයා ආන්තික වෙයි. මේ හේතුව නිසා සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාව තුළ දෙමළ මිනිසාගේ සැබෑ තත්ත්වය වන්නේ දුක්ඛිතභාවය සහ මර්දනයයි. එබැවින් LTTE යනු දෙමළ ප‍්‍රශ්නය දෙස සාර්වත‍්‍රික විසඳුමක් යෝජනා කළ ව්‍යාපාරයයි. නමුත් මෙම අදහස දේශපාලනිකව ඉදිරිපත් කිරීමේදී ටොසී ඔත්තු සේවයේ ‘විනෝදය’ පිළිබඳ දැනුම ලොප් වූයේ කෙසේද? මතවාදී ක්ෂේත‍්‍රයේ දී පේ‍්‍රමදාසට විකල්පයක් වීමට ජවිපෙට නොහැකි වුවත් LTTE ය ඊට සමත් විය. චන්ද්‍රිකාගේ මානුෂික ධනවාදයට මුහුණ දීමට ඊට හැකි විය. නමුත් 2005 දී සිදු වූයේ කුමක්ද?

 

දීප්ති කුමාර ගුණරත්න

 

ඔබේ අදහස කියන්න...