X දේශපාලනය සමඟ බැඳී සිටි මිනිසුන්ව 2004 වර්ෂයේ දී පරීක්ෂාවකට ලක් විය. X දේශපාලනය සමඟ සැබැවින්ම අනන්‍ය වූයේ කවුද? එම දේශපාලනය සමඟ යම් පරතරයක් තබාගෙන සිටියේ කවුද? යන ගැටලු දෙක 2004 වර්ෂයේ දී අධිනිශ්චය විය. සමකාලීන සමාජයේ විශේෂ ලක්ෂණයක් වන්නේ, කිසිවක් විශ්වාස නොකරන මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් එය පිරී ඉතිරී ගොස් පැවැතීමයි. සමාජජාලා සමඟ ඇසුරු කරන්නන් හට ‘විශ්වාසය’ අනුන්ට පවරා තමන්ට වෙනත් දෙයක් කළ හැකි ය. එය රෝග ලක්ෂණාත්මක පුද්ගලවාදයේ මුඛ ලක්ෂණය යි.

                 X දේශපාලනය සමඟ 96 වසරේ පමණ සිට 2004 වැනි කාලයක් දක්වා කිට්ටුවෙන් සිටි අය පවා පසුව අපට පෙන්වා දුන්නේ, X සහ තමන් අතර පවතින පරතරය යි.[gap] එකට කා බී සිටි අය පවා පසුව එය පාවා දුන්නේ, කිසිදු චකිතයකින් නොවේ. තමන් කරන දෙය සහ එය ගැන තමන්ට ඇති නරුම පරතරය හුදු දේශපාලනයට පමණක් සීමා වී නැත. දැන් එය ප්‍රේමය, පවුල් සබඳතා වැනි ක්ෂේත්‍රවලට ද කාන්දු වී ඇත.

                    ‘විශ්වාසය’ සහ එය දරා සිටින්නිය අතර පරතරයක් පවතින නිසා විශ්වාසය පිළිබඳ යම් න්‍යායගත කිරීමක් සමකාලීන යථාර්ථය අපගෙන් ඉල්ලා සිටියි. සමහරුන් සිතන්නේ, කිසිවක් විශ්වාස නොකරන තත්වයක් බිහි වී ඇත්තේ ධනවාදී සමාජයේ අවශ්‍යතාවයක් නිසා කියා ය. නමුත් ප්‍රාග්ධනයට ප්‍රසාරණය වීමට යම් මට්ටමක ‘විශ්වාසයක්’ අවශ්‍ය ය. ‘ගිවිසුම් නීතිය’ අවශ්‍ය වන්නේ, මේ නිසා ය. පෙනෙන හැටියට සමකාලීන ධනවාදී සමාජ සබඳතා අරාජක වීමේ දී වඩාත් ම බලපා ඇත්තේ, ‘විශ්වාසය’ පිළිබඳ සාධකය යි. කිසිවෙකු විශ්වාස කිරීමට නොහැකි වීම සෑම දෙනාටම ප්‍රශ්නයක් වී ඇත.

                     නූතන සමාජයන්ට වෙනස්ව පැරණි සහ සාම්ප්‍රදායික සමාජ යමක් විශ්වාස කරන ලද්දේ, සෘජුව නොව වක්‍රව ය. පුරාණ ගෝත්‍රික සමාජයේ පැවති සමහර ගෝත්‍ර තමන් සම්භව වූයේ මාලුවෙක්ගෙන් හෝ කුරුල්ලෙක්ගෙන් යැයි විශ්වාස කරන ලදී. දැඩි නියඟයක් අවසන් කර වැස්ස වැහීමට ඔවුන් දෙවියන්ට යාතුකර්ම කරන ලදී. චක්‍රීය සමාජයක ජීවත් වූ ඔවුන් යම් යම් චාරිත්‍ර-වාරිත්‍ර හරහා විශ්වාසයන් තහවුරු කර ගන්නා ලදී.

                     පරිභෝජනයට අධිපති ස්ථානයක් ආරෝපණය වන සමාජයක දී පැරණි මිනිසාට වෙනස්ව නුතන මානවයා දේවල් විශ්වාස කරන්නේ, ‘අනෙකෙකු’ හරහා ය. උදාහරණයක් ලෙස, ගාමිණී වියන්ගොඩ ‘ධම්මික පැණිය’ මිථ්‍යාවක් ලෙස සලකා වහා බැහැර කරයි. නමුත් ඔහුම තාර්කික හේතුවකින් තොරව රුවන් ෆර්ඩිනන්ඩ්ස් විශ්වාස කරයි. ලිබරල් මිනිසා සෘජුව විශ්වාස කරන අයව සලකන්නේ, මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙසින් ය. අනෙක් අතට වාමාංශික සහ ප්‍රගතිශීලී මිනිස්සු ද යමක් ගැන විශ්වාස කරන්නේ වක්‍රව ය. මාක්ස්වාදය සෘජුව විශ්වාස නොකරන ඔවුන් ග්‍රාම්ස්චි, ජිජැක්, ඇඩාර්නෝ හරහා මාක්ස්වාදය විශ්වාස කරති. ග්‍රාම්ස්චි මාක්ස්ට වඩා දෙයක් ධනවාදය ගැන කීවා යැයි සමහරු අදහති.[MORE THAN MARX] පොල්කිච්චන් දෙදෙනෙකු හිමිදිරියේ දැකීම දවසේ ඉදිරියට සුභදායක යැයි සමහරු විශ්වාස කරති. තනි පොල්කිච්චෙකු දැකීම සමහරු සලකන්නේ, අභාග්‍යයේ සංකේතයක් ලෙසය. මාක්ස් පමණක් කියවා ධනවාදය වටහා ගන්නා අයට වඩා ජිජැක් කියවා ධනවාදය වටහා ගන්නා අය ‘උසස් මිනිස්සු’ ලෙස විශ්වාස කිරීම ඉහත කී පොල්කිච්චන් පිළිබඳ උදාහරණයට වඩා ආකෘතිමය වශයෙන් වෙනස් නැත. මන්ද, අප අපගේ විශ්වාස කිරීම පොල්කිච්චාට සහ ජිජැක්ට විස්ථාපනය කර ඇති නිසා ය.

                      නූතන තාර්කික මිනිසා සෘජු ලෙස විශ්වාස කරන පුද්ගලයාව මෝඩයෙක් ලෙස සලකයි. වියන්ගොඩගේ උදාහරණයෙන් එළියට ආ සත්‍ය එයයි. වියන්ගොඩට අනුව ‘ධම්මික පැණිය’ මිථ්‍යාවක් වන්නේ, විද්‍යාත්මක සාධක හරහා එය අසත්‍යකරණය කළ හැකි නිසා ය. නමුත් වියන්ගොඩ විසින් ‘රුවන් ෆර්ඩිනන්ස්ව’ විශ්වාස කරන්නේ අතාර්කික මානයක බව ඔහුට වැටහෙන්නේ නැත. මින් අදහස් වන්නේ, පශ්චාත්-නූතන මිනිසා අන් කවරදාටත් වඩා ‘විශ්වාස කිරීම’ විශ්වාස කරන බවයි. නමුත් සමකාලීන මිනිසා කිසිවක් සෘජු ලෙස විශ්වාස කරන්නේ නැත. ඒ සඳහා ඔහු බියක් දක්වයි. යමක් විශ්වාස කිරීමට ඔහුට/ ඇයට අත්වාරුවක් අවශ්‍ය ය.

                    සමකාලීන පරිභෝජන සංස්කෘතිය තුළ සූරාකෑම හෝ පරාරෝපණය අභිබවා ‘නරුමවාදය’ ඉස්මත්තට පැමිණීම අහම්බයක් නොවේ. නරුමවාදය – CYNICISM-අද දවසේ කෙතරම් වර්ධනය වී ඇත්ද කිවහොත් නරුමවාදියා පවා ‘නරුමවාදය’ විවේචනය කරයි. මෙම ‘පාර-නරුමවාදය’ නිසා අපි දෙයක් සැබැවින්ම විශ්වාස කිරීම නොදන්නා අනාගතයකට තල්ලු කර ‘සැබෑ විශ්වාසය’ දිගටම ප්‍රමාද කරමින් සිටිති. විද්‍යාවේ දියුණුව පවා පාවිච්චි වන්නේ, නරුමවාදියාගේ විශ්වාසය ප්‍රමාද කිරීමේ තාක්ෂණය තහවුරු කිරීමට ය. අද දවසේ අප දෙයක් විශ්වාස කරන්නේ, සිහිය තුළින් නොව අවිඥාණක අදහස් හරහා ය.

                  දැන් අපි ‘බේකරිය’ ගැටලුවට ප්‍රවේශ වෙමු.

    2004 සිට 2010 දක්වා ගත වූ කාලය තුළ X කණ්ඩායම තුළ සිවිල් පොරවල් වූ කිහිපදෙනා (ලන්ඩන් සඟරාවේ ලිවීම සහ කතා පැවැත්වීම තුළ) උත්සාහ කරන ලද්දේ, ‘මදය රහිත X කණ්ඩායමක්’ බිහි කරන්නේ කෙසේ ද යන්නයි. ‘ජනතා විමුක්ති පෙරමුණෙන්’ 2011 වන විට ඉවත් වූ විවිධ පාර්ශවයන් ද උත්සාහ කරන ලද්දේ, ‘ජනප්‍රිය වමක්’ තැනීම සඳහා X දේශපාලනයේ අංග පාවිච්චි කරන්නේ කෙසේ ද යන්න ය. එහි දී, X විනෝදය අධිනිශ්චය විය.

                    ‘විශ්වාසය’ යන සංකල්පය මගින් ඉහත පුද්ගලයන් විග්‍රහ කරන්නේ නම් ඔවුන් මිථ්‍යාදෘෂ්ටිකයන් ය. මා කලින් ද කී පරිදි 96-2004 යුගයේ දී ‘X පොරවල්’  X  තුළ ඉඳ ඇත්තේ, එහි දේශපාලනය සමඟ යම් පරතරයක් තබාගෙන ය. මෙම ‘පරතරය’ අප හිතනවාට වඩා රැඩිකල් ය. බලයට ක්‍රියාත්මක වීමට අශ්ලීල පැත්තක් අවශ්‍ය පරිදිම නරුමයාට තම විනෝදය සංවිධානය කර ගැනීමට තමන් සිටගන්නා ‘මතවාදය’ සහ තමන් අතර යම් පරතරයක් අවශ්‍යය. උදාහරණයක් ලෙස, ‘X කණ්ඩායම’ බැස්ටීලයට සම කළ පුද්ගලයා X සාමාජිකාවන් විශාල සංඛ්‍යාවක් සමඟ ප්‍රේම කිරීමට අවසර ඉල්ලා අසාර්ථක වී සංවිධානය තුළ ලැජ්ජාවට පත් වූ කෙනෙකි. මේ ලැජ්ජාව ඔහුට විනෝද ආර්ථිකයකි. ඒ අනුව, ඔහු යමක් විශ්වාස කරන්නේ අවිඥාණය හරහා ය.

                  තමන් වසර 6ක් පමණ කළ දේශපාලනය සමඟ නරුමවාදී පරතරයක් (එහි න්‍යායික දුෂ්කරභාවයක් ද ඇත) තබා ගත් පිරිසක් එක්වරම කලක් ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතික බල ඇණිය බවට පත් වූ කණ්ඩායමක් සමඟ පැල් බැඳ ගත්තේ ය. ‘බේකරිය කණ්ඩායම’ යනු, ජවිපෙ තුළ සිටි සංස්කෘතික කවයකි. එය, පසුව ඉන් ස්වාධීන වී නිදහස් සංස්කෘතික දේශපාලනය තම ධර්මය කර ගත්තේ ය. පසමිතුරු ආකල්ප නැති මදය රහිත X දේශපාලනයක් ප්‍රාර්ථනා කළ සියලු මිථ්‍යාදෘෂ්ටිකයන් 2012 වර්ෂයට පසු බේකරියට ගාල් විය. එහි නායකයන් වූයේ, විරාජ් සහ මනෝජ් ය. ඔවුන් සිතුවේ, බේකරිය යනු, X කණ්ඩායමට විකල්පය බවයි. (මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් බේකරිය කට්ටිය විසින් පළ කළ Down Town Pulse පොත් පිංචහි පළ වූ මාගේ ලිපිය කියවන්න. – දඟකාර හැඩකාර ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා – 2014) 

                        මිථ්‍යාදෘෂ්ටිකයන් සමඟ සංස්කෘතික කවයක් පවා දීර්ඝ කාලයක් නඩත්තු කළ නොහැකි බව විරාජ් හෝ මනෝජ් මුල් යුගයේ දී වටහා ගත්තේ නැත. මේ හේතුව නිසා, ‘බේකරිය’ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ උමතුව එකට සංකලනය කළේ ය. බටහිර අර්ථයකින් කියන්නේ නම්, බේකරිය යනු, ‘පශ්චාත්-හිපි දේශපාලනය’ සහ ‘පශ්චාත්-හෙරොයින්’ සංස්කෘතික දේශපාලනය යි. ලෝකය වෙනස් කිරීම වෙනුවට ඔවුන් වකුගඩු වෙනස් කර ගත්තේ ය. ඔවුන්ට අවිඥාණය ගැන කිසිදු වැටහීමක් නොවී ය.

                      2004ට පසුව X දේශපාලනය සමඟ පරතරයක් තබා නොගත් පිරිසක් ද ඉතුරු විය. ක්‍රිස්තුස්ව කුරුසියේ තබා ඇණ ගසන විට, ‘දෙවියනේ ඔබ කොහෙද?’ යන සත්‍යයේ මානය අවබෝධ විය. 2004 වර්ෂයේ දී මට වැටහී ගියේ ද මා සමඟ වැඩ කළ සගයන් එසේ කරන ලද්දේ බොරුවට බවයි. නැතහොත් X තුළ ඔවුන් ජීවත්ව සිට ඇත්තේ මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙසින් ය. ඔවුන් ඉන්පසු උත්සාහ කරන ලද්දේ, සමාජයේ පොරවල් වීමට මිස සත්‍යවාදී වීමට නොවේ. (විමුක්තියේ මානය)

                    කුරුසියේ තබා ඇණ ගැසුවාට පසුව ජීසස් ලෝකයට දුන් පණිවිඩය කුමක්ද? දෙවියන් අපෙන් පිටත නො පවතී නම් දෙවියන් ඔබ තුළින් පතන්න! එවිට, දෙවියන් බිහි වේවි. විශ්වාසය සෘජුව විශ්වාස කරන්න! සම්‍යයක් දෘෂ්ටිය පහළ වන්නේ, එවිට ය. දැන් නැවත X දේශපාලනය දෙවන වරට ඉපිද ඇත. මා එතැන දී වැදගත් නැත. විශ්වාස කරන්නන්ගේ සමාජයක් කුඩාවට පහළ වී ඇත.

                        මින්පසු, ‘ත්‍රිමාණ’ වෙබ් අඩවියට අපගේ ව්‍යාපාරයේ අලුත් පරම්පරාව ලියනු ඇත. මම ඔවුන්ව මෙහෙයවනු ඇත. එක් අසාර්ථකත්වයක් ජයගෙන ඇත. ‘මාතොට’ සහ ‘ලන්ඩන්’ හී ලිවූ අය පොරවල් විය. අසාධාරණ ලෙස ධනය බෙදී ගොස් විඳවන බහුතරය වෙනුවෙන් ‘සමහරවිට’ අලුත් අය සටන් කරනු ඇත. ඔවුන්ට දෙවි පිහිට ලැබේවා යැයි පතමි! 

Deepthi

++++++++++++++++++++++++++++++++++++++++++++

Click below.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න…

+++++++++++++++++++++++++++++++++++++++

බේකරියේ විනෝදය

මහල්වරාවෙ බේකරිය කියන්නේ ඉස්සර තිබුන අපි වගේ රස්තියාදුකාරයන්ට හොඳ නවාතැන් පොළක් වෙච්ච ස්ථානයක්. රාජ තමයි මේක රන් කළේ. මුල් කාලෙ එයාලා ‘ජනතා විමුක්ති පෙරමුණෙන්’ ඛන්ඩනය වෙලා සමාජ සංස්කෘතික අවකාශයේ වැඩ කරපු කට්ටියක්. බේකරිය පරිහානියට ලක් වෙන්නෙ තෝරා බේර ගන්නෙ නැතිව  හැමෝටම එහි  නවාතැන් ගන්න දුන්න  නිසයි. එතැනදී විරාජ්ල x කණ්ඩායමෙන් අයින් වෙච්ච කට්ටියට බේකරියට ඇවිත් ආතල් ගන්න ගමන් දේශපාලනය කරන්න ඕන විදිය ගැන  උපදෙස් ගත්ත එක විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මමත් කාලයක් ඒ කුලකයට අයත් වෙලා හිටපු කෙනෙක් නිසා එහෙම කියන එක නිවැරදියි කියලා  හිතනවා. ජනතා විමුක්ති පෙරමුණෙන්  ඛණ්ඩනය වෙලා ඒ අය කරගෙන ආපු වැඩ දිගටම කරගෙන ගියා නම් අදටත් බේකරිය පවතිනවා. විරාජ් වරද්ද ගත්තේ විශේෂයෙන්ම විදර්ශන වින්නන්ගරල සහ සුමිත් චාමින්දල වගේ අයට  එතැනට එන්ඩ දීලා කරේ නැගලා බල්ටි ගහන්න ඉඩ දුන්න නිසයි.

මේ පිරිස ගම්පාලු කුරුල්ලෝ වගේ පිරිසක්. කාලෙන් කාලෙට යන යන තැන් විනාශ කරල දානවා. ඒ ගැන සුමිත්ලටවත් අවබෝධයක් නැහැ. සුමිත්ලගෙ ගතිකත්වයේ හැටි එහෙමයි. මට මතක විදිහට විරාජ් කාලයක් ෆුල් ෆන් එකේ එයාගෙ කළු පාට පොඩි කාර් එකේ නැගලා ෆුල් ආතල් එකේ ගමන් කරපු කෙනෙක්.

විරාජ් නොහිතපු විදිහට එයාල  කරගෙන ගිය වැඩ සහ සුමිත් චාමින්දලගෙ වැඩ එකට මුට්ටු වෙන්න ගත්තා. එතන ඉඳන් සංකේතීයව බේකරිය ඉවර වෙන්න පටන් ගත්තා. මට මතක විදිහට 2010ත් 2015ත් අතර කාලේ තමයි ඔය දේවල් සිද්ධ වුණේ. අනිත් එක අපි අධික ලෙස එහෙ ඉඳගෙන මත්පැන් පානය කළා. ඒ තැනට ආපු අය ටොන් ගණනින් මත්පැන් පානය කරන්න ගත්තා. ඒකට ලිමිට් එකක් දාන්න විරාජ්ගේ කල්පනාවක් තිබ්බේ නැහැ. ඒක අදටත් නැහැ කියලා මම විශ්වාස කරනවා. විරාජ්ල සංස්කෘතික අඩවිය තුල යම් කතිකාවක් ගොඩ නගමින් ආවා. ඒක සාධනීයව ගොඩනැගෙමින් පැවතියා යම්තාක් දුරකට. ඒ උනාට එයාල දැනගෙන හිටියෙ නැහැ ඔවුන් කරන්නෙ x කණ්ඩායම තුළ තිබුණු සංස්කෘතික අංග එයාල කරමින් සිටි බව. ඒ විභවතාව විනාශකාරියි. X එක ඛන්ඩනය උනේ ඒ තුළ තිබුණු එම විනාශකාරී ගුණය නිසා බව විදර්ශනල සහ සුමිත්ල ආශ්‍රය කරද්දි විරාජ් අවබෝධ කරගත්තෙ නැහැ. විවිධ දාර්ශනික මත ගැන බේකරියෙදි ගොඩක් දෙනෙක් කතා කලා. කලාව මෙන්න මෙහෙමයි පැවතිය යුත්තෙ කියල කෙස් පැලෙන තර්ක එතනදි කතා උනා. ඒ කතා එක්ක විරාජ්ල කරගෙන ආපු වැඩ රටාවත් කාලයට සාපේක්ෂව වෙනස් වෙන්න ගත්තා. ඒ වෙනස්වීම හොද පැත්තකට ගලාගෙන යන බව විරාජ් හිතුවත් ඒක ගමන් කලේ වැරදි අන්තයක් වෙතයි. එහි අවසානය තමයි දැන් බේකරිය පත්වෙලා තිබෙන තත්ත්වය.

කලාව තුළ බලපෑම්සහගත යමක් කිරීමට විරාජ්ලට දීප්ති හරහා අවස්ථාවක් උදා වුණා. ඒ අවස්ථාව විරාජ් හරියට උරගා බැලුවේ නෑ. කලාව සම්බන්ධයෙන් දීප්ති කිව්ව දේවල් හරි හැටි අවබෝධ කරගෙන වැඩ කරා නම් විරාජ්ලට කලාව ඇතුලෙ බලපෑම් සහගත යමක් කරන්න තිබුණා. ඒත් ඔහු ඒක කලේ නැහැ. දැන් බේකරිය කියන්නෙ පාලු සොහොන් ගෙයක් වගේ තැනකට පල්ලම් බැහැල තියෙන තැනක්. විරාජ්ට ඒ තත්ත්වයෙන් ගොඩ එන්න දැන් පුලුවන් කියල මම නම් හිතන්නේ නැහැ.

Dasun

 

 

ඔබේ අදහස කියන්න...