අනෙකා හරහා මනසේ විෂය ආදරය තෝරා ගන්නා මොහොත යනු මෙතෙක් අප දර්ශනය ඔස්සේ අනෙකාව ප්‍රශ්න කිරීම, විචාරය කිරීම සහ සැක කිරීම වෙනුවට අනෙකා වැළඳ ගැනීම සඳහා ධෛර්යවන්ත විය යුතු අවස්ථාවක් උදාවීමකි.දර්ශනය මේ දක්වා ප්‍රශ්න කිරීම ( රේනෙ ඩේකාට්ස් මත නොව ග්‍රීක දර්ශනය මේ දක්වා දිවෙන) වෙනුවෙන් කර තිබූ දැවැන්ත ආයෝජනය එසේ නම් ආදරයේ දේශපාලනයේදී අනෙකා ආදරයෙන් වැළඳ ගැනීම දක්වා විතැන් වියයුතු යැයි මැක්ගොවන් දක්වා සිටී. අනෙකා පිළිබඳ අප ලබා ගන්නා දැනුම යම් සම්බන්ධයක පදනම ලෙස දර්ශනය තෝරා ගන්නා විට ආදරයේදී  මිනිසා තෝරා ගන්නේ අනෙකා කෙරේ අප දක්වන නො – දැනුමයි. අප අනෙකාට ආදරය කරන හේතුව අපවත් නොදැනීම ආදරයේ ප්‍රෙහෙළිකාමය ඇරඹුමයි.දර්ශනයේ පදනම තර්කය ඔස්සේ අනෙකා පිළිබඳව අප ලබා ගන්නා දැනුම නම් සංකේතනය වන විට ආදරයේ පදනම වන්නේ වඩාත්ම දුෂ්කර තත්ත්වයක් වන සංකේතනයට නඟා නොමැති, හැඟවුමක් නොමැති නොදැනුම නම් යථයි. ටොඩ් මැක්ගොවන් විසින් යෝජනා කරන මෙම අතිශයින් වැදගත් මනෝ විශ්ලේෂී මානය දේශපාලනයේ නව ඇරඹුමක් සනිටුහන් කරන බව අපට මෙහිදී දැක්විය හැක්කේ ආදරයේ දේශපාලනය අත්දැකීමක් දේශපාලන ව්‍යාපාරය ලෙසය.
 දර්ශනය ඇස් හැර අනෙකා පිළිගන්නා මොහොතේ( දැනුම= ආලෝකය – සංකේතනය) ආදරය අනෙකා වැළදගන්නේ දෑස පියා ගනිමිනි ( නොදැනුම = අඳුර = යථ) . ඈත ගම් නියම් ගම් වලින් කොළඹට පැමිණි තරුණ තරුණියන් වෙත දීප්ති තම අත දිගු කළේ දෑස් පියාගෙනය. ඔවුන් කව්රුන්ද, කුමන දේශපාලනයක් මීට පෙර කර තිබුනේද යන්න ඔහු සොයා බැලුවේ නැත.නමුත් දැනුම හරහා ඔවුන් සිදු කළේ දීප්ති වැළඳ ගැනීම වෙනුවට ඔහුව ප්‍රශ්ණ කිරීමයි.ඔවුනොවුන්ගේ සංකේතනය තුළට දීප්ති ස්ථානගත කළ හැකිදැයි යන්න ඔවුන් දර්ශනය ඔස්සේ ( දීප්ති විසින්ම ලබා දුන් දැනුම) උත්සාහ ගැනීමයි.අවසන් ලන්ඩන් සඟරා කියවන විට යමෙකුට මුණ ගැසෙන සත්‍ය මෙයයි.භක්තිය සහ ආදරය අතර ඇති අවියෝජනීය සම්බන්ධය පිළිබඳව නොදැන සිටි ඔවුන් ස්වයං- විනාශය කරා ගමන් ගත් අතට ලාංකේය දේශපාලනයට ඉතාම වැඩදායී විය හැකිව තිබූ සංවිධානයක්ද විනාශ කර දැම්මේය.ආදරය පාදුර්භූත වන්නේම දැනුම නොමැති තැන බව සිහිපත් කර දෙන අද දවසේ අප අවධාරනය කරන්නේ ආදරයේ හොදම ආකෘතිය ඉස්මතු වන්නේ තාර්කික කතිකාවට  ( outside articulation) පිටතින් බව සඳහන් කිරීමට කැමැත්තෙමු.වෙනත් වචනයකින් කිවහොත් දීප්තිට අප ආදරය කරන හේතුව අපටම තාර්කිකව පැහැදිලි කරදිය නොහැක.එසේ පැහැදිලි කරන මොහොතේම ආදරය අතුරුදන් වී දැනුම සහ තර්කය ඉස්මත්තට පැමිණේ.එවිට එය තවදුරටත් ආදරය නොවේ.
අයිලයේ පිහිටි පැරණි අස්ව ඉස්තාලයේ පාසලැක් ආරම්භ කරන බව දැනගත් මොහොතේම අල්තීනායි එදෙසට දිව යන නිර්නාමික හේතුව අයිත්මාතව්ට පැහැදිලි කරදිය නොහැකි ලෙසම ඈත ගම්මානවල ජීවත් වූ අප කළ දේශපාලනයට ආශක්ත වන අවිඥානික හේතුව පැහැදිලි කළ නොහැක.ඉස්තාලයේ පාසැලට පැමිණි සියැට් දරුවන්ට ආදරය කළ දුයිෂෙන් අල්තීනායි හට වඩාත් ආදරය කළ හේතුවද අයිත්මාතව්ට පැහැදිලි කළ නොහැක.The bunker (1981) වැනි චිත්‍රපටියක පෙන්වන පරිදි නාසි ඉහළ නිළදාරීන් හිට්ලර් වෙනුවෙන් මිය යාමට තෝරා ගැනීම දේශපාලන දර්ශනය තුළ තාර්කිකව පැහැදිලි කළ නොහැක. ගොබල්ස්ගේ බිරිඳ හිට්ලර් නම් අසහාය නායකයාගේ වියැකී යන අරමුණ වෙනුවෙන් තම දරුවන් හට මරණීය විෂ ලබාදීම පැහැදිලි කළ හැක්කේ කුමන දේශපාලන කණ්ඩායමකටද ? එතැන ඇත්තේ භක්තිමත්භාවය මිස හරි වැරැද්ද හෝ යහපත අයහපත නොවේ.ඇතැම්විට ආදරයේ දේශපාලනය අවසන් වන අතිශයින්ම අමානුශික , අතිශයින්ම අතාර්කික ,අතිශයින්ම සදාචාර විරෝධී මොහොත ඉහත හිට්ලර් ගේ දේශපාලන අවසානය විය හැකිය.නමුත් එතන පවතින්නේ අන්ධ ආදරයයි.අප එය වැළඳ ගැනීමට තරම් ධෛර්වන්ත විය යුතු නොවේද? එසේනම් X කණ්ඩායමේ බිඳවැටීමෙන් පසු එහි දීප්ති විරෝධී කණ්ඩායම ” ආදරයේ දේශපාලනය” යනුවෙන් උත්කර්ශයට නැඟූ මතවාදී තත්ත්වය මෙහිදී මැක්ගොවන් හරහා කණපිට පෙරළේ. එයින් කියවෙන්නේ ඔවුන් හිට්ලර්( දීප්ති) වෙතින් පලා ගිය අතර සත්‍ය ලෙසම ඔවුන් අන්ධ ආදරය සඳහා ධෛර්‍යවන්තභාවයේ සුදුසුකම සම්පූර්ණකර නොතිබූ බවයි.අද දවසේද ඔවුන් රැඩිකල් ආදරවන්තයින් නොවේ.හැකිනම් මැග්ඩා ගොබෙල්ස්ගේ ( ජෝසප් ගොබෙල්ස්ගේ බිරිඳ) නැත්නම් ඊවා බ්‍රවුන් ලා මෙන් මරණීය- දේශපාලනික – රොමෑන්තික ආදරයක් කර පෙන්වන ලෙස අපි ඔවුන්ට කියමු.
ආදරය මිනිස් විෂයෙහි තාර්කික අංශයන්ට අනුගත වන්නේ නැත.අන් සියල්ලෝම ඊවා බ්‍රවුන්ට සහ මැග්ඩාට කියන්නේ තම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිත බවයි.නමුත් එය ඔවුන් දැනුවත්ව ප්‍රතික්ශේප කරයි ( disavowal) .ඔවුන්ට වැදගත් තම අරමුණට වූ භක්තියයි.හිට්ලර්ට පවා වැදගත් වූයේ එයයි.තර්කය නොව අන්ධභාවයයි.අප කොතරම් බාහිර බලවේග වල ප්‍රභලත්වය ගැන තර්ක කලද ප්‍රභාකරන්ට වැදගත් වූවේද තම අන්ධ භක්තිය සහ යුතෝපියාවයි.ආදරය යනු මේ අයුරින් රෝග ලක්ෂණයක් වන අතර (can philosophy love? හි xii පිටුව) දැනුම නොමැති තැනට ඇතුළු වන ශුන්‍යතාවයකි.නැත්නම් දැනුමහි සීමාව සළකුණු කරන්නේ ආදරය විසිනි.එසේත් නැත්නම් මිනිස් විෂය මූලිකත්වයේ ඇරඹුම වශයෙන්ද එය අපට හැඳින්විය හැකිය.ඊවා බ්‍රවුන් සහ මැග්ඩා තමා යටත් වීම ( තම ආත්මයේ කැපකිරීම සිදු කරන හැඟවුම) සඳහා තෝරාගනු ලබන අන්ධ සහ පරම ස්ථානය ( ultimate point) මෙම ආදරයේ සදාචාරය සළකුණු වන්නේ මෙම යථාවේදී නොවේද? දුයිෂෙන් වඩ වඩාත් අල්තීනායි හට ආදරය කිරීමට පටන් ගන්නේ තමා මරණීය ලෙස පහර කෑමට ලක් වූවාට පසුය යන්න මෙහි අර්ථයයි.ඔහු ඇය වෙනුවෙන් තම ආත්මය කැපකරන්නේ එම ප්‍රෙහිළිකාමය නිමේෂයේය.එතැනිදි මරණය යනු එතරම් වැදගත් දෙයක් නොවේ.
මෙම මරණීය නිමේශයේ අර්ථකතනය අහෝසී වී යයි.කොටි සංවිධානයේ අවසන් පැය කිහිපය කිසිවකුටත් තවමත් අර්ථකතනය කළ නොහැක්කේ මෙම ප්‍රපංචයීය – අර්ථකතන අසමත් බව නිසාය.නැත්නම් අන්ධව අර්ථකතනය කළ නොහැකි නිසාවෙනි.එසේ නම් අප ආදරය තේරුම් ගැනීම සඳහා ඒ වෙනුවෙන්ම වූ තර්කණයක් ගොඩනඟා ගත යුතු නොවේද ? මුල් අවස්ථාවේ කාන්ටියානු මතධාරියෙකු වූ හේගල් ආදරය පදනම් කර ගනිමින් තමාගෙම වූ දර්ශනයක් ගොඩ නඟා ගැනීම ( කාන්ට්ගෙන් කැඩී යාම) සඳහා කරන උත්සාහයේදී ඔහු ඇරිස්ටෝටලියානු හා සබුද්ධික සම්ප්‍රදායෙන් කැඩී වෙන්වී තමාගේම තාර්කණයක් ගොඩ නඟා ගනී.එය ” ආදරයේ තර්කනය ” මත පදනම් කරගන්නා හේගල් ( ආදරයේ දර්ශනයට ඇතුළු වන මොහොත ලෙස මැක්ගොවන් හේගලියානු අභිනය හඳුනා ගනී.පිටුව 3 ) සමස්ත නූතන දර්ශන ව්‍යාපෘතියෙන්ම වෙන්වන එකම නූතන ලෞකික දාර්ශනිකයා බවට පත් වේ.ඔහුගේ ප්‍රථම සොයාගැනීම බවට පත් වන්නේ අනෙකා සමඟ මිනිස් විෂය සම්මුඛ වන මොහොත්‍රෙ පවතින පරස්පරතා සහ නො- එකඟතාවයන් ප්‍රථම වරට මිනිස් සම්බන්ධය මෙහෙයවන ධනාත්මක ප්‍රවාහයන් ලෙස තේරුම් ගැනීමය.මෙතෙක් මිනිසා ඒත්තු ගනිමින් සිටියේ පරස්පරතා යනු පසමිතුරු බවේ සළකුණු ලෙස වූවත් හේගල්ට පසුව ආදරයේ තෘප්තිය සළකුණු වන්නේ පරසපරතා මතින්ම බව පුරෝගාමීව න්‍යායගත කරයි.මිනිස් විෂය තමා ආදරය කරන දෙයට ( object) වටිනාකමක් ලබා දෙන්නේ පැහැදිලි ලෙස අනෙකා තුල වෙනසක් ඇති කළ හැකි නම් පමණක් බව මෙහිදී අපට තේරුම් ගත හැකි දෙයකි.මෙය ක්‍රිස්තියානි අනේකත්වය ප්‍රතිජීවනය කිරීමකි.
බොහෝ විට ආදරවන්තයින් විසින් මුමුණන ” මම ඔයාට ආදරේ ඔයා හරිම වෙනස් කෙනෙක් නිසා” යන වගන්තිය එසේ නම් අපට තේරුම් ගැනීමට න්‍යායික මඟක් ඇත.දීප්ති යනු වෙනස්ම පුද්ගලයෙක් වන අතර ඔහු විසින් හදුන්වා දුන් දේශපාලනයට වෙනස්ම මාදිලියේ එකකි.අප ඔහුට ආදරය කරන්නේ එම විකල්පීය වෙනස් අවකාශයක් නිර්මාණය කිරීම පදනම් කරගනිමිනි.ආදරය ව්‍යූහගත වන එම වෙනස එක් අතකින් සංවාදය අසමත් වන තැන (Non – articulation) වන අතර ආදරවන්තයින්ගේ ඇසින් ගත් විට ආදරය ගවේශනය කරන සත්‍යයේ මොහොත බවට පත් වේ.තව නොබෝ දිනකින් එළබෙන ආදරවන්තයින්ගේ දිනයට මදක් කලින් ලියවෙන මේ ලියවිල්ල තුලින් පැහැදිලි කළ යුතු වැදගත්ම කරුණ නම් ස්වාභාවිකත්වය මඟින් මිනිසෙක් තුළ පිහිටන සුවිශේෂී ලක්ෂණ ( කළු කොණ්ඩය, කටහඬ ,ඇස්වල වර්ණය) කොතරම් තීරණාත්මක දෙයක් ආදරය තුළදී සිදු කරයිද යන්නයි.ස්වාභාවිකත්වය වෙතින් මිනිසා තුළ ශේෂකරන වෙනස්කම් ක්ලෝනකරණය කළ හැකි වුවද එතැනිදී අහිමි වී යන්නේ වෙනසයි.නැත්නම් ආදරයේ පදනමයි.දීප්ති වගේ වීමට යමෙක් උත්සාහ කරන්නේ නම් එය නිරර්ථක දෙයක් බව මේ අනුව වටහා ගත යුතුය. අවශ්‍ය වන්නේ දීප්තිගෙන් වෙනස් වීමයි. කොපි කිරීම ( mimicking) මඟින් සිදු වන්නේ නිශේධනය නිශේධනය කිරීමයි.වෙනස ප්‍රතික්ශේප කිරීමයි.මෙය රෝග ලක්ෂණයකි.සංකල්පයක් නිර්මාණය කළ හැක්කේම පරස්පර බව තුළින් වන අතර  එසේ නම් ආදරයේ තර්කනය ගොඩ නැඟිය හැකි වන්නේද ප්‍රවාදය සහ ප්‍රතිවාදය අතර  විසමතුලිත බව ඔස්සේමය.ගණිතයේදී එක් අංකයක් වෙනුවට තවත් අංකයක් ඒ තැනට ආදේශ වන අතර ආදරය විසින් එක් අයෙක් වෙනුවට තව අයෙක් ආදේශ වීම වළක්වනු ලබයි.ගණිතය සහ ආදරය අතර සම්බන්ධය එයයි.
Mahesh Hapugoda

ඔබේ අදහස කියන්න...