[dropcap color=”green”]ලං[/dropcap]කා ඊ නිවිස් වෙබ් අඩවියෙහි පළවු ලිපියක් මගින් වර්ථමාන ලංකාවේ තත්ත්වය වඩාත් හොදින් විග්‍රහ කර තිබෙනු අප දුටුවා. ඒ අනුව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම මුහුණ පා සිටින අර්බුදය,විපක්ෂයේ අර්බුදයට පොදු අපේක්ෂකයෙකු ගේ භූමිකාව, දූෂණයට,වංචාවට,මැර කමට එරෙහි බලවේග, උතුරේ ගැටලුවට දේශපාලන විසදුමක් ලබාදීම, ජාත්‍යන්තර මැදිහත්වීම ආදි සියළු කාරණා ගැන ජනතාවට දැනුම ලබා දෙන්නට පුලුවන් වෙන්නේ. නමුත් ගැටලුව ඊට වඩා සංකීර්ණය එය ඔහු වර නගන්නේ පහත පරිදිය.

ප්‍රශ්නය තිඛෙන්නේ මෙතැනය. උතරේ ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය උතුරේ පළාත් සභා මැතිවරණයත් සමඟ පැහැදිලි විය. නමුත් දකුණේ ජනතාව සිටින ස්ථාවරය කුමක්දැයි තක්සේරුවකට පැමිණිමවත් කළ නොහැකිය. මන්ද, මහින්දගේ ආණ්ඩුව කොතරම් හොරකම් කළත්, කොතරම් මිනිසුන් අතුරුදහන් කළත්, කොතරම් බඩුමිළ වැඩි කළත්, බදු ගැසුවත්, කොතරම් කුඩු ආනයනය කළත්, කොතරම් එතනෝල් හොරෙන් ගෙන්වූවත්, කැසිනෝ ගේ මිදුලේ ආරම්භ කළත්, අධිකරණයේ ස්වාධීනත්වය කොතරම් බිඳ වැටුනත්, පොලිසිය හා හමුදාව ජනතාවට පන්න පන්නා ගැහුවත්, වෙඩි තිබ්බත්, අධ්‍යාපනය පද්ධතිය ඇතුළු රාජ්‍ය ආයතන කොතරම් පාඩු ලබා කඩා වැටුනත්, සංඛ්‍යා ලේඛන විකෘති කළත්, අල්ලස් සභාපතිම අල්ලස් ගත්තත් විශේෂයෙන් සිංහල ජනතාවට මෙලෝ වගක් ඇති බවක් පෙනෙන්නට නැත. ජනතාවට කලින් එය දැනිය යුතු ජනමාධ්‍ය වලටද වගේ වගක් නැත. ජනතාවට පෙර සංවේදී යයි කියන කලාකරුවන්ටද වගේ වගක් නැත

අනෙක් සාධක කෙතරම් සම්පූර්ණ වුවත් රාජපක්ෂ ආණ්ඩුව පෙරලීමට දකුණේ ජනතාවට උනන්දුවක් නැතිනම් සියළුදෙනාට සිදු වන්නේ බඩ උලාගෙන සිටීම පමණි. දකුණේ ජනතාව මෙම පළාත් සභා දෙකේදී ගන්නා තීන්දුව ගැන සියළු දෙනාම අවදියෙන් බලා සිටින්නේ එනිසා ය.

මේ ලංකා ඊ නිවිස් කර්තෘ සදරුවන් ඇතුලු බහුතරයක් දෙනාට මේ ගැටළුව නිරාකරණය කර ගන්නට බැරි වන්නේ ඇයි? මෙය සදරුවන්ට පොදු යථාර්ථයක් නොව මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී  පක්ෂය, ඇතුලු වමේ පක්ෂ බහුතරයක් පමණක් නොව එක්සත් ජාතික පක්ෂය හා මුස්ලිම් ක්‍රොන්ග්‍රසයට මෙන්ම   ජාතික හෙළ උරුමයටත් මේ ගැටළුව අවබෝධ කර ගැනීම දුෂ්කර වී ඇත. මෙයට හේතුව කුමක්ද?

ඇත්තටම මේ කාරණය දැනුම,අර්ථය,අවබෝධය කියන කළාපයට අයිති ප්‍රශ්ණයක් නෙවි. ඒ වගේම මේ ගැටළුව නිවරදිව දේශපාලනය සංවිධානය කිරීම කියන කළාපයට අයිති ගැටළුවක් ද නෙවි. මෙතන තියෙන්නේ පවතින ක්‍රමය සමග අනන්‍ය වීම සහ පරතරයක් තබා ගැනීම අතර ගැටළුවක්. ඒක ලංකාවට පමණක් අදාල තත්ත්වයක් නෙවි. මේක අපට තේරුම් ගන්න පුලුවන් නැගෙනහිර යුරෝපයේ සහ රුසියාවේ සමාජවාදය බිදවැටීම කියන කාරණය මගින්. ඇත්තටම නැගෙනහිර යුරෝපයේ සහ රුසියාවේ ජනතාව සමාජවාදය එකක් තිබුන සම්බන්ධය කොයි වගේද? ඇත්තටම මේ රටවල ජනතාව අර්ථයෙන් සමාජවාදය සමග අනන්‍ය වෙන්නට උත්සහ කලේ නැහැ. ඒ වෙනුවට මේ අය සමාජවාදය එක්ක අතරමැදි පරතරයක් නරුමවාදීව පවත්වා  ගත්තා. ඒ නිසා තමයි ඒ රටවල සමාජවාදය බිද වැටුන විට බොහෝ පිරිසක් මවිතයට පත් වුනේ නැත්තතේ. ඒක ඉරණම වශයෙන් බාර ගන්නට ජනතාවට පුළුවන් වුනේම නරුමවාදීව ඒ සමග අනන්‍ය නොවී පරතරයක් පවත්වා ගෙන තිබුන නිසයි.

වර්ථමානය වන විට ලංකාව පවතින්නෙත් මේ තත්ත්වයේමයි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග ජනතාව ඇත්තටම අනන්‍ය වෙලා නැහැ. තියෙන්නේ නරුමවාදීව අතරමැදි පරතරයක් තබා ගැනීම විතරයි. ඒ නිසා මේ ආණ්ඩුව කඩා වැටෙන එක කොයි මොහොතෙද කියන එක කියන්න බැහැ. ඒ නිසා තමයි ජනතාව ඉහත සදරුවන් මතුකරන කාරණා හොදින්ම දැන දැනත් දන්නෑ වගේ ඉන්නේ. ඒකට තමයි නරුමවාදී පරතරය කියන්නේ. ඒ නිසා අපි අවබෝධ කර ගන්න ඕන ඒ කාරණයයි. හැමෝම විශ්වාස කරනවා කියලා පෙන්නුවේ සමාජවාදය හරිම ප්‍රබලයි. කිසිම දවසක සමාජවාදය කඩා වැටෙන්නේ නැහැ කියලයි. ඒත් ප්‍රභලයි කීව සමාජවාදය කඩා වැටෙන්නට දවස් කීයද ගත වුනේ? ඇත්තටම සමාජවාදය එක්ක ජනතාව අනන්‍ය වෙලා හිටියා නම් එහෙම වෙයිද? ඒ නිසා තමයි අපට පළාත් සභා ඡන්දයකින් මේ ආණ්ඩුවේ වත්මන් හැඩය තේරුම් ගන්නට බැහැ කියන්නේ. අනිත් අතට පළාත් සභා ඔක්කොම දිනලා ප්‍රජාතන්ත්‍රවාදීව මේ ආණුඩව වට්ටන්න පුලුවන් කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්. ඇත්තටම මේ ආණ්ඩුව කඩා වැටෙන්න නියමිත අපි කිසි දවසක උපකල්පනය නොකරන පුංචි සංසිද්ධියක් නිසා වෙන්න පුලුවන්. දකුණේ සිංහල සමාජය ඇත්තටම මේ මොහොතේ මේ ආණ්ඩුවත් එකක් අනන්‍ය වෙලා නැහැ කියන කාරණ අවබෝධකර ගන්න එක තමයි සංකීර්ණම කාරණය.දකුණේ සිංහල සමාජයේ අවිඥාණය තමයි අපි ඇත්තටම උතුරේ මිනිසුන්ට කැත වැඩක් කලා කියන එක. ඒ කරපු වැඩේ කැතයි කියන එක දකුණේ සිංහල සමාජයේ අවිඥාණක තර්කනයක් බවට පත්වෙලා ඉවරයි. ඇත්තටම ආණ්ඩුව එක්ක දකුණේ සිංහල සමාජයට තියෙන නරුමවාදී පරතරය කියන්නේ මොකක්ද? අපි මෙහිදි නරුමවාදය යැයි කියන්නේ. රහසින් විනෝදවීමටයි. ඒ නිසා තමයි ජනතාව ආණ්ඩුවට විරුද්ධ උද්ඝොෂණයකට වඩා නයිට් රේස් බලන්න පෙළ ගැසෙන්නේ. හිරුණිකාව, නදීෂාව,අමල් පෙරේරව වැඩිම මනාපයෙන් පළාත් සභාවට පත් කරන්නට නියමිත වන්නේ. එහෙම වුණ ගමන් ආයෙම මේ අය අර්ථයක් ගැන කතා කරනවා. අපි කාලයක් පටන් ඒකයි කිවේ අපි ජීවත් වන්නේ පශ්චාත්-නූතන සමාජයක කියලා. මේ සමාජයේ මිනිස්සු බැදෙන්නේ අර්ථයට නෙවි විනෝදයට. ඒ නිසා අර්ථය ගැන කතා කරලා වැඩක් නැහැ. මේ කාරණය තේරුම් ගන්න බැරි නිසා තමයි සදරුවන් වගේම ගොඩක් දෙනෙක් අමාරුවේ වැටෙන්නේ. ගාමිණි වියන්ගොඩ සහෝදරයට එක සතියක ඉන්න මතවාදයෙන් ඊළග සතියේ ඊට සපුරා වෙනස් මතයකට එන්න වෙන්නේ මේ නිසයි. වික්ටර් අයිවන් විතරක් නෙවි ජනරංජන පවා තමන් ලියන දේවල් නිසා අමාරුවේ වැටෙන්නේ මේ නිසයි. මේ යුගයේ මේ විදිහට අමාරුවේ නොවැටෙන්නේ සිරස මාධ්‍ය ජාලය සහ මව්බිම පත්තරය විතරයි. මොකද අනිත් හැම කෙනෙක්ටම ගුරුත්ව කේන්ද්‍රයක් තියෙනවා. ඒත් මේ මාධ්‍ය ආයතන වලට ගුරුත්ව කේන්ද්‍රයක් නැහැ. ඒ නිසා අහසේ පාවෙන මේ අයට තමන් කැමති ආකාරයට ජීවත් වෙන්න පුලුවන් වෙලා තියෙනව.

මේ ගැටලුවට ලංකාව විතරක් නෙවි ඇමරිකාව,ඉන්දියාව වගේ රටවල් පවා මුහුණ දීලා තියෙනව. මොකද මේ යුගයේ අර්ථයන් ගැන හොයන්න යන ගොඩක් අයට මේ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදු වෙනව. ඒත් මේ ගැටලුවට රුසියාවට සහ චීනයට මුහුණ දෙන්නට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි තමන්ම හිරේ දාපු පුසි රයිට් සංගීත කණ්ඩායමට ඊළග සතියේ සමාව දීලා නිදහස් කරන්න පුටින්නට පුලුවන් වෙන්නේ.

මේ කාලයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අර්බුදය කියන්නේ මේකට තමයි. මේ නිසාම තමයි නළුවෙක් වගේ ලස්සන පින්තූර අරගෙන ඡන්දෙට ඉදිරිපත් වෙන ගමන් ජෝතිෂ්‍යය වගේ දේවල් සහ අවතාර විශ්වාස කළාට කමක් නැහැ කියලා මාක්ස්වාදී ලාල් කාන්තට කියන්න පුලුවන් වෙන්නේ. මේ යුගයේ අර්ථය සහ විනෝදය නිවරදිව සංජානනය කර ගන්න බැරි නිසා තමයි ගොඩක් මාක්ස්වාදීන්ට ප්‍රසිද්ධියේ මාක්ස්වාදී වෙලා රහසින් බෞද්ධයන් වන්නට සිද්ධ වන්නේ.

 

ඔබේ අදහස කියන්න...