සැබෑ

සංකේතීය සහ  ……….        යථ

පරිකල්පනීය

 

මනෝවිශ්ලේෂණයෙහි ‘යථ’ (The Real) නම් සංකල්පය ලාංකික සමාජයට හඳුන්වා දී දශක ගණනාවක් ගත වී ඇත. එලෙස ගතවී ගිය කාලය යනු ලාංකික දේශපාලන ඉතිහාසය ශරීර දේශපාලනයේ සිට ආත්මය වෙත විතැන් වූ සංක‍්‍රාන්ති අවධියයි. තවදුරටත් කෙනෙකු අධෝ ව්‍යුහයේ වෙනසක් මඟින් සමාජ විපර්යාසයක් සිදු කිරීමට සිහින දකින්නේ නම් ඔවුන්ව එක්තරා දේශපාලනික ගල් යුගයට අයත් වන බව ඉතිහාස පොතේ ලියු යුගය පසු කර අප පැමිණ ඇත. පැරණි වමේ සමාජවාදී මනෝරාජිකය එහි සත්‍ය වූ අසමත් බවට ළඟා වී අවසන් විය. මෙම අවසානය තේරුම් ගැනීමට විද්‍යාවක් නොමැති තමන් සංකේතීයව මියගොස් ඇති බව නොදන්නා ශේෂ වූ ආත්මවල අදෝනා  විටින් විට අපට ඇසෙන්නට ලැබේ. කෙසේ නමුත් සැබෑ ලෙසම අප ඉදිරියේ තිබෙන්නේ ඉතා සංකීර්ණ අභියෝගයකි. ආත්මය මූලික කරගත් දේශපාලනය අපට පමණක් නොව ලෝකයටම අලුත් දෙයකි. විදුලි පණිවුඩවල සිට ස්මාර්ට් දුරකථනයට ඉතා ඉක්මනින් හුරු වූවා සේ නව දේශපාලනික සංකල්පවලට කතිකාවේ ඉඩ විවර වන්නේ නැත.  ඒ සඳහා පක්ෂයක් අරගල කළ යුතුය. නව සංකල්ප මහජනයා සමඟ ගැටෙන විට විවධ අර්ථ බිහි වේ. ‘යථ’ නම් සංකල්පය ද එසේ අපගමනයට ලක් වූ එක් සංකල්පයකි. මේ නිසා අධ්‍යයනය කළ දේ නැවත පුනරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය  වේ.

 

‘යථ’ යනු විය නොහැක්ක (impossible-in-itself) ලෙස හඳුන්වා දීම නිවැරදි නොවේ. ‘යථ’ හි ප‍්‍රකාර 3ක් ඇත. ඒවා පහත පරිදි වේ.

 

  1. සැබෑ යථ (the real Real) – සංකේතකරණය කළ නොහැකි දෙය. උදාහරණයකට සිංහල බෞද්ධ සමාජයට ප‍්‍රභාකරන් යනු සැබෑ යථකි. ඔහුගේ අරගලය විමුක්ති අරගලයක් ලෙස දකුණේ සමාජය තුළ සංකේතකරණය නොවේ. ප‍්‍රභාකරන් යනු සිංහල සමාජයට ඔවුන් ආක‍්‍රමණය කළ පිටසක්වළ ජීවියෙකු වැනිය. දකුණේ සමාජය දේශපාලනිකව ආමන්ත‍්‍රණය නොකළ, ගරිල්ලා සටනකින්ම තම ජාතියේ විමුක්තිය සෙවූ මෙම නායකයා සැබෑ යථ ක් ලෙස ජනප‍්‍රිය භාෂා ලෝකය තුළ සංකල්ප ගත වී ඇත.

 

  1. සංකේතීය යථ (the symbolic Real) – සංකේත ලෝකය තුළ කිසියම් සංගතභාවයක් ලබා ගන්නා දෙය. උදාහරණයක් ලෙස ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සුත‍්‍ර මඟින් හැඟවුම්කාරක බවට ලඝු කරන අතිශය කුඩා පරිමාණයේ පරමාණුවල ශක්ති මට්ටම් සහ උප පරමාණුක අංශු අපගේ සැබෑ ජීවිතයේ දී අත්දැකීම් සමඟ සම්බන්ධයක් නැති, තේරුමක් නැති දේවල් ලෙස පෙනෙන්නට තිබුණත් සංකේතීය භාෂා ලෝකය තුළ ඒවා සංගතභාවයක් ලබා ගනී. ඩිජිටල්කරණය ද මේ සඳහා තවත් එක් උදාහරණයකි. ලිපි, සංගීතය, වීඩියෝ ආදිය 0, 1 පමණක් ඇති සංකීර්ණ භාෂාවකට පරිවර්තනය කිරීම ඩිජිටල්කරණයයි. මේ නිසා වස්තුවක් අපට එහි ඩිජිටල් ආකෘතියෙන් හමුවීම සංකේතීය යථ කි.

 

  1. පරිකල්පනීය යථ (The imaginary Real) – භයංකාර දෙය. උදාහරණයකට චිත‍්‍රපටයක භයංකාර බව රැුගෙන එන කිසියම් දෙයක් සැලකිය හැකිය. මෙම භයංකාර දෙය පුද්ගලයාට පොදු දෙයක් වේ. තවත් උදාහරණයකට වෛද්‍ය ක‍්‍රමයක් මඟින් ඔබේ හදවත සුළු මොහොතකට නවතා දමා මරණයේ අත්දැකීම විඳ නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් විය හැකි අවස්ථාවක් පිළිබඳ සිතන්න. මෙහි දී අප ලබන අත්දැකීම පරිකල්පනීය යථ කි.

යථ යනු මෙම මාන තුනම එකවිට පවතිමින් ඇති වන තත්වයයි. මේ හා සමානව සංකේතනයට ද  (The Symbolic) ප‍්‍රකාර 3ක් ඇත.

  1. සැබෑ සංකේතනය (The real Symbolic) – නිරර්ථක සුත‍්‍රයක් බවට පත්වන හැඟවුම්කාරක. උදාහරණ: ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සුත‍්‍ර, ඩිජිටල්කරණය
  2. පරිකල්පනීය සංකේතනය (the imaginary Symbolic) – යුන්ගියන් සංකේත. උදාහරණ; යක්ෂ රූප, සත්ව හිසක් ඇති දෙවි රූප ආදිය.
  3. සංකේතීය සංකේතනය (the symbolic Symbolic) – තේරුමක් සහිත කතා කිරීමට භාවිත කරන භාෂාව.
  4. ලැකානියානු ත‍්‍රිත්වයේ අනෙක් අංගය වන පරිකල්පනය (the Imaginary) සඳහා ද ඉහත පරිදි ප‍්‍රකාර තුනක් ඇත.

 

  1. සැබෑ පරිකල්පනය (the real Imaginary) – ෆැන්ටසිය, යථහි ස්ථානය ගන්නා පරිකල්පනීය ආකෘතිය.
  2. පරිකල්පනීය පරිකල්පනය (the imaginary Imaginary) – අපව පොලඹවා ගැනීමේ උගුලක් ලෙස ක‍්‍රියා කරන රූප.
  3. සංකේතීය පරිකල්පනය (the symbolic Imaginary) – නැවතත් යුන්ගියන් සංකේත.

යථ සාමාන්‍ය අර්ථ දැක්වීමට අනුව සංකේතකරණයට හසු නොවන දෙය ලෙස සලකයි. නමුත් යථ ද්‍රව්‍යකරණය වන අවස්ථා අපට එදිනෙදා ජීවිතයේ දී හමුවේ. විවාහයක දී සංකේත පිළිවෙළට අනුව ආදරය, වයස, දෙදෙනාගේ කැමැත්ත සලකා බලයි. එහෙත් අවසානයේ සියලූ‍ දේ තීරණය වන්නේ කුලය ගැළපේ නම් පමණි. ඒ අනුව කුලය යනු ද්‍රව්‍යකරණය වූ යථ කි.

 

 

 

ඔබේ අදහස කියන්න...