ඊඩිපස් සංකීර්ණය ප‍්‍රතිඵල තුනක් හිමිකර ගන්නා සැටි අපි දුටුවෙමු. මුලින්ම එය නව අරුතක් තහවුරු කරයි. දෙවනුව එය ශරීරයේ ලුබ්ධිය පැතිරෙන්නට ඉඩ නොදී වළකා ගනී. තුන්වනුව එය දරුවා මවගේ ඒකායන වස්තුව බවට පත්වීමට ඉඩ නොදී දුරස්ථ බවක් පනවයි. මෙම ක‍්‍රියාදාමයන් හඳුනාගත් වහාම සයිකෝසියාවේ බොහොමයක් සායනික සංසිද්ධීන් අපට අතැඹුලක් සේ වැටහෙන්නට පටන් ගනු ඇත. ඒවා ආබාධ පිළිබඳ හැඟවීම් ලෙස දකිනවාට වඩා මෙම මූලික ගැටලූ තුන විසඳීම පිණිස ගන්නා ප‍්‍රයත්නයන් ලෙස වටහාගත හැකිය. එනම් යමෙකුගේ යථාර්ථයට අර්ථයක් දිය හැක්කේ කෙසේද? ශරීර ලුබ්ධිය නැංගුරම් ලන්නේ කෙසේද? අනෙකාගෙන් ආරක්ෂිත දුරස්ථ බවක් නිර්මාණය කරගන්නේ කෙසේද යන ගැටලුය.

අධිකරණ විනිසුරුවරයකු වූ ඩැනියෙල් ෂ්රූබර් (Schreber) 1893 ගිම්හානයේ දී අසනීප වූ විට ලෝකය ඔහුට අමුතු ආකාරයෙන් පෙනෙන්නට විය. දෛනික සිදුවීම් විකාර ලෙස පෙනිණි. ඒවා නිවැරැදි නැත. ඒවායේ යම් අර්ථ සැඟවී තිබුණත් ඔහුට පාරාන්ධ විය. සංසර්ගයට යටත් වන ස්ත‍්‍රියක බවට පත්වීම ප‍්‍රියජනක වේ යන සිතිවිල්ල ඔහුට හිරිහැරයක් විය. එයට හේතුව තමාගේ පුරුෂ බව පිළිබඳ හැඟීමට පටහැනි බැවින් එය පිළිගැනීමට නොහැකි වීමය. ඉතා ඉක්මනින්ම ඔහුගේ ශරීරය විපර්යාසයකට ලක් විණි. ඔහුට නිතර නිතර රාත‍්‍රියට ශුක‍්‍රාණු පහ විය. ඔහු ‘කම් සැපත’ යයි හැඳින් වූ හැඟීම්වලින් ආතුර වූයේය.

ශරීරයට දැනෙන සංවේදනයන් සහ මතිභ‍්‍රමයන් අනුකම්පා විරහිත වධයක් බවට පත් වී ඇත. කට හඬවල් කෙළවරක් නොමැතිව තොරතෝංචියක් නැතිව කතා කරද්දී ඔහුට දැනුණේ තමා ශාරීරිකව සහ මානසිකව දෙවියන් සමඟ එක්ව සිටින බවකි. මායාවක් නිර්මාණය කිරීමේ දීර්ඝ ක‍්‍රියාවලිය කෙළවර ශරීරයක් පවතින බව දැනීම සහ අර්ථය යම්තාක් දුරකට ප‍්‍රකෘතිමත් වීමය. තමා සුවිශේෂ තැනැත්තකු ලෙස තෝරාගනු ලැබ තිබෙන බව ඔහු දැන සිටියේය. එසේම තමාගේ මෙහෙවර වන්නේ නව වර්ගයක් බෝ කිරීමය. ශාරීරික රෝග ලක්ෂණවල දරුණු වේදනාව සහ තමාට ඇහෙන හඬවල තීව‍්‍ර බව ලිහිල් විය. දරුණු සහ තර්ජනාත්මකව පැවති දේ දැන් ක‍්‍රමයෙන් අහිංසක බවට පත්ව ඇත. ඔහු තුළ පැවති කාමුක හැඟීම් දැන් සුළු ස්ත‍්‍රී ආභරණයක් පැලඳ කැඩපතින් නිරීක්ෂණය කිරීමක් දක්වා මාරු වී ඇත.

තමාගේ ස්ත‍්‍රීකරණය ව්‍යංගමාන වූ කරදරකාරී සිතිවිල්ල දැන් මනුෂ්‍ය වර්ගයාගේ විශිෂ්ට වූ යහපත වෙනුවෙන් කැප වූ අදහසක් බවට පත්වී තිබේ. ස්ත‍්‍රියක බවට විපර්යාස වීමට ඔහු සිත හදාගෙන සිටී. ඒ අර මුලදී විශ්වාසයට ගෙන සිටි විදියේ තුච්ඡ වෙසඟනක බඳු එකියක වීමට නොව නව ජාතියක් නිර්මාණය කරන ගැහැනියක වීමටය. තම ශරීරයට දැනෙන ස්ත‍්‍රී විනෝදය දැන් ඔහු ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. එය තමාගේ යුතුකමක් සේම අයිතියක් ලෙසද වගා කරගත යුතු කිසිවක් සේ ඔහු දකී. ලෝකයේ යහපැවැත්ම යයි ඔහු විසින් හඳුන්වනු ලබන කටහඬවල් විසින් ඔහුට විස්තර කර ඇති සුස්වර පද්ධතියක් පුනස්ථාපනය කිරීමේ ඒකායන මඟ එයයි.

psychosis 1

ෂ්රූබර්ගේ අත්දැකීම්වලට මායාව (Delusion) මඟින් අර්ථයක් සපයා දී ඇත. ශාරීරික ලූබ්ධිය පිළිබඳ විසිරුණ හැඟීම් වඩාත් ව්‍යුහගත නොවිසුරුන තැනකට ගෙන ඒමට ඔහු සමත්ව සිටී. මෙය ඔහු සාක්ෂාත් කර ගන්නේ තමාට යම් සුවිශේෂ වූ ස්ථානයක් වෙන්කර ගැනීමෙනි. එනම් නව ජාතියක් ගොඩනැගීමේ උත්පාදකයා ලෙසට තෝරා ගැනුණ එකම මිනිසා බවට පත්වීමෙනි. තමා තුළ සහ අවට සිදුවෙමින් පැවති වෙනස්කම් වටහාගත නොහැකි වීමෙන් ඔහු හිරිහැරයට පත්ව සිටියේ වුවත් දැන් මේ සියල්ලට අර්ථයක් ලැබී ඇත. ස්වකීය මායාවී ගොඩනැඟීම් පැවති මුල් වසරවල දෙවියන්ගෙන් දුරස් වීම (එක්කෝ එය අතිශය සමීපය නැත්නම් බෙහෙවින් දුරස්ය) හැමවිටම ප්‍රොබ්ලමැතිකයක් විය. දැන් එය බෙහෙවින් බරසාර දෙයක් වී ඇත. මනුෂ්‍ය පලහිලව් ගැන ප‍්‍රමාණවත් තරම් වද නොවෙන මේ දෙවියන්ට ඔහු අනුකම්පා කළේද විය.

මායාව (Delusion) එලෙස අර තීරණාත්මක ඊඩිපසියානු පැවරුම් තුනම සාක්ෂාත් කරගෙන ඇත. එනම් අර්ථයාගේ ගැටලු විසඳා ගැනීම ලුබ්ධිය සහ බෙහෙවින් බලවත් වූ අනෙකකුට අදාළව තමන්ගේ ස්ථානය තීරණය කර ගැනීමයි. ෂ්රූබර් සිතූ තරම් ඔහුගේ මායාව සවිමත් නොවූ බව ඇත්තය. 1907 දී තම බිරිඳට ආඝාතය වැලඳීම සහ මවගේ මරණයෙන් පසු යළි රෝහල් ගත වීමටත් ඔහුට සිදු විය. එහෙත් තමාගේ මායාවී නිර්මාණවල අරමුණ ඉන් පෙනී ගියේය. ඒ වූ කලී සයිකෝසික රෝග ලක්ෂණවලට වඩා පිළිසකර කර ගැනීමේ ප‍්‍රයත්නයන්ය. මේ පිරිහීම හඟවන සංඥාවන් සේ පෙනී යන දේ සැබැවින්ම යළි පුනස්ථාපනය කිරීමේ ක‍්‍රියාවලියක අංගයන්ය.

මායාව ඉටු කරන මෙකී ප‍්‍රකෘතිමත් බවට පත් කිරීමේ ක‍්‍රියාවලිය ලීඩර්ගේම රෝගිනියකට අදාළ වෙනත් නිදසුනක් මඟින් පැහැදිලි කළ හැකිය. ඒ වූ කලී කලින් කිව නොහැකි තරම් දරුණු ලෙස තම චිත්ත ස්වභාවයන් වෙනස් වන, ආක‍්‍රමණශීලී මවක විසින් ඇති දැඩි කළ තරුණියක් පිළිබඳ පුවතකි. මේ තරුණියට ක‍්‍රමයෙන් වැටහී ගියේ ලෝකයේ ඉතිරිව සිටින එකම මනුෂ්‍ය ප‍්‍රාණයා තමා පමණක් වන බවය. තමාගේ පරිසරය, පවුල සහ හිතමිතුරන් ආදී සියල්ලම තම ප‍්‍රතිචාරයන් අධ්‍යයනය කිරීම සඳහා පිටසක්වළ ජීවින් විසින් නිර්මාණය කරන ලද මායාවන්ය. ඇගේ ජීවිතය අන් කිසිවක් නොව මිනිස් දිවිය ලේඛනගත කිරීමට සහ නිරීක්ෂණය කිරීම පිණිස සකස් වූ ඉමහත් සේ සංකීර්ණ අත්හදා බැලීමකි. තම නිදන කාමරයේ තනිවන ඇය මහත් වූ ශාරීරික ප‍්‍රහර්ෂයක් අත්විඳින්නේ පිටසක්වළ වෛද්‍යවරුන් තමාව සියුම්ව පරීක්ෂා කර බලමින් සිටින්නේය යන අදහස පෙරදැරිවය. ඉතා තදින් පලපැදියම් වූ මේ මායාව ඇයට නොමැරී සිටීමට ඉඩ හලේය. එය ලෝකය තේරුම් කළේය. තම මවගේ විකාරකාරී හැසිරීම පැහැදිලි කළේය. මේ කූටෝපාය තුළ ඇය සිටින තැන පැහැදිලි විය. එය නොමැතිව එහාට මෙහාට දෝලනය වන මවගේ චිත්ත ස්වභාවය සහ ඇය ගොදුරුව සිටින නිරන්තර බැල්ම (Gaze) වටහා ගන්නේ කෙසේද යන්න අපට පුදුමය.

ෂ්රූබර්ට මෙන් මායාව ඇයට අර්ථවත් ස්ථානයක් සලසා දී ඇත. ඔහුගේ කිරණ පද්ධතිය සහ නාඩි තරම් එය විසිතුරු වී නැතත් ඉන් ඊඩිපසියානු ගැටලූ තුනට පිළියමක් සපයයි. එනම් අර්ථයක් තහවුරු කිරීම, ලූබ්ධිය ස්ථානගත කිරීම සහ නියමිත තැනක් පිහිටුවා ගැනීම ආදියය. ස්වකීය අවදානම් මවට ගොදුරු වනු හැරීම වෙනුවට අත්හදා බැලීම උදෙසා තෝරාගෙන ඇති එකම මනුෂ්‍ය ප‍්‍රාණියා ඇයයි. එමඟින් ඇය අකර්මක වින්දිතයකු බවට පත්වීමේ ස්ථානයෙන් ඉවත්ව ඇත. වස්තුවක් බවට පත්වීමේ අත්දැකීම මායාම මෙහි දී අලූතින් වර නගයි. ෂ්රූබර්ට අනුව සිදුවන්නේ තුච්ඡු වේසාවියකගේ තැන සිට මනුෂ්‍ය වර්ගයාගේ අනාගතයට වාහකයක් වීමය. ලීඩර්ගේ රෝගිනියට අනුව ඇය මවගේ ‘ඉලක්කයේ’ සිට විද්‍යාත්මක පිරියෙසුම්වල විෂය බවට පත් වී ඇත. මේ අවස්ථා දෙකේදීම ආත්මයාට යම් තැනක් සපයා දී තිබීමෙන් යම් කෲරතර දේවල් සිදුවීමෙන් දුරස් කරන්නේ මායාවයි. දැන් එයට අර්ථයක් සහ අරමුණක් තිබේ. ෂ්රූබර්ගේ මායාවී පද්ධතියට සහ ලීඩර්ගේ රෝගිනිය මුළුමනින්ම සාර්ථක අතිරේක කාලයක් සනාථ කරනවා නොවේ. ඔවුන් පෙන්නුම් කරන්නේ මේ ප‍්‍රාථමික සබඳතා සයිකෝසියාවේ කාර්යය සඳහා කෙනෙක් ප‍්‍රධාන වේද යන්නය.

ලීඩර් ඇසුරු කොට ගනිමින් කරන මෙම ලිවීමේ අරමුණ අප අවට සැරිසරන උන්මන්තකයන් හඳුනා ගැනීමට අත්වැලක් සැපයීමය. මනෝ විශ්ලේෂණය නොදන්නේ යයි මට ඇඟිල්ල දික් කරන මේ බස් ඩ‍්‍රැයිවර්ලා හැසිරෙන ආකාරය මෙම කියවීම් අනුව නිරීක්ෂණය කරන්න. අප සිටින්නේ කවර වූ උන්මන්තකයන් (Psychotics) පිරිසක් සමඟදැයි ඔබට කල්පනා වුවහොත් මම පුදුම නොවෙමි. එම නිරීක්ෂණ සඳහා තවත් නිදසුන් අපි නැවත පරීක්ෂා කර බලමු.

 සමන් වික‍්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...