විවාදයකින් තොරව සමකාලීන පශ්චාත්-නූතන ලිබරල් සංස්කෘතිය සංවිධානය වී ඇත්තේම එක්තරා උභයාවේගයක් අපාරගම්‍ය කරමිනි. මෙම අපාරගම්‍ය, එසේත් නැත්තම් පාරධාන්ධ ලකුණ ගැන අප කිසිවකු ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත. මෙම කතා නොකරන මාධ්‍යය වටහා ගැනීමට අපි සරළ උදාහරණයකට යමු. මේ මොහොතේ Dialog සමාගමේ සේවය කරන ජේෂ්ඨ මට්ටමේ කළමනාකරණ විධායක නිළධාරියෙකු ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ තුනක් පමණ වෙයි. එය ඉතාම හොද රස්සාවකි. එය වටිනා එකකි. දෙමාපියන් එය තම ඥාතීන්ට පැනලා කියන රැකියාවකි. මේ රැකියාව කාටත් ආඩම්බරය. නිකමට අපි මෙහෙම හිතමු.මේ විධායක නිළධාරියා විවාහක දරුවන් දෙදෙනෙකු (අවුරුදු 04 සහ අවුරුදු 01)  සිටින පියෙකි. මෙම රැකියාවට ඒමට පෙර ඔහු තාවකාලිකව විශ්ව-විද්‍යාලයේ කළමණාකරණය විෂය උගන්වා ඇත.

අහම්බයකින් තම රැකියාව කරන ස්ථානයේ විශාල ගොඩ නැගිල්ලේ සෝපායනය ඇතුලේ දී අපගේ කතා නායකයාට තමන්ගේ අතීත විශ්ව-විද්‍යාල ශිෂ්‍යවක් හමුවෙයි.රැකියාව නිසා හෙම්බත් වී සිටින සහ විවාහය නිසා තෙම්පරාදු වී සිටින අප කතා නායකයාට මෙම සුන්දර, දගකාර, නිදහස්කාමී, තරුණිය සීතල වතුර වීදුරුවක් බවට පරිවර්තනය වීමට යන්නේ මොහොතකදී ය.

දැන් මම ඔබගෙන් සෘජු ප්‍රශ්ණයක් අසමි.

අපගේ කතානායකයා තම විවාහක බිරිද සහ දරුවන් දෙදෙනා අතහැර අර සුන්දර නව යොවුන් තරුණිය සමග විවාහ වීමට තීරණය කරයි.

ඔබ ගන්නේ කාගේ පැත්ත ද?

ඔබට උදව්වක් කිරීමට මම කැමතිය. මේ වන විට අපේ කතානායකයාගේ දෙමාපියන් සහ අර සුන්දර තරුණියගේ දෙමාපියන් මේ නව කසාදයට කැමැත්ත දී අවසන්ය.

ඉහත උදාහරණය හරහා මා විදාරණය කිරීමට උත්සාහ කලේ නූතන මිනිස් ආත්මය (subject-මෙයට විෂය කියා යෙදීමේ වරද නැවත අවධාරණය කරමින්) එහි සංකේත ජීවිතයේ දී දෙකට ඉරී යන ආකාරයයි. එක පැත්තකින් මිනිස් ආශාව (පියෙක් කුටුම්බ සංරක්ෂකයෙක් ලෙස) ලෙසත් අනෙක් පැත්තෙන් අවිඥාණික නීති විරහිතභාවය ( හබායාම සහ අශ්ලීල පරිපූර්ණ විනෝදය- තමන්ගේ අශ්ලීල මර්ධිත ෆැන්ටසි මුදා හැරිය හැකි නව යොවුන් ස්ත්‍රිය) ලෙසත් අපගේ කතා නායකයා දෙකට බෙදී ඇත. මෙවැනි ආකාරයේ ගැටුමක් සාමාන්න්‍යයෙන් සමාජය නම් අවකාශය ඇතුලත සිතියම්ගත වන්නේ හොද සහ යක්ෂාවේශ වූ මිනිසුන් හැටියටය. නැතහොත් හොද සහ නරක ගැහැණු ළමයින් වශයෙනි. නමුත් මෙවැනි ගැටුමක් රිදී තිරයට ප්‍රක්ශේපණය කළ විට ප්‍රේක්ෂකයන් සහ විනිශ්චයකාරවරුන් ලෙස අපට සිදු වන්නේ කුමක් ද? ච්ත්‍රපටි කලාව අපගේ සැබෑ ජීවිතයෙන් වෙනස්ය. එය ප්‍රබන්ධයකි. එබැවින් චිත්‍රපට කලාවට අනුව ඉහත ගැටලුව විදහා දැක්වෙන්නේ ප්‍රජාත්නත්‍රවාදී ජීවිතයත්, නූතන නීතියත් යන දෙකම විනෝදවීමට අපට ඇති අයිතිය සහතික කරන බවයි. ‘විනෝදය’ යන්න සම්භාව්‍ය අර්ථයෙන් ව්‍යවස්ථාපිත නීතියට කොටුකල නෙහැක. බොහෝ නූතන සමාජ විද්‍යාඥයින් ගේ විශාලතම පසුබෑම මතු වන්නේ තම සමාජ විශ්ලේෂණයට මෙම ‘පරිපූර්ණ විනෝදය’ නම් සාධකය අවශෝෂණය නොකර ගැනීම මතය.දේපොල ගණනය කල හැකි මුත් විනෝදය විගණනය කල නොහැක.

මාළුන් අහසේ පියාඹන්නේ කෙසේද?

‘ඉගිල්ලෙන මාළුවෝ’ නම් චිත්‍රපටිය නැරඹීම සදහා ආරාධනාවක් ලැබ ඒ සදහා BMICH වෙත ගියෙමි. ආරාධිත පිරිස ඉතාම සීමිතය. ඔවුන් ගෙන් බහුතරය ලංකාවේ කොළඹ සිවිල් සාමාජයේ සාමාජික-සාමාජිකාවන්ය. මාත් ඇතුලුව ච්ත්‍රපටිය නැරඹූ, අනාගතයේ ජාතික සිනමාකරුවන් වීමට පොරොත්තු ලේඛණයට නම ඇතුලත් කල සන්නද්ධ කෙටි ච්ත්‍රපටකරුවන් කිහිපදෙනෙක් ද සිටියේය. අප සියළු දෙනා අපතයන්ය. ( අපතයන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ pleb කියාය. අපතයන්ට සමාජ-විද්‍යාත්මක නිර්වචනයක් නැත. එවැනි අයට පන්තියක්,ජන්මයක්,බලයක් සමාජ අවකාශයේ නැත. සියළු සමාජ විශ්ලේෂණ වලින් අපතයන් ගේ නම කපාහරියි. උදාහරණයක් ලෙස කුමුදු කුසුම් ගේ කතිකා වෙබ් අඩවිය නම් කතිකාව තුළ නැත්තේ මගේ ‘නම’ පමණි. එහි වෙබි ආලෝචනාව තුළ Dialog යන සන්නාහ නාමය පවා ඇත. එබැවින් ‘අපතයා’ යනු සමාජවිද්‍යා විෂය ක්ෂෙත්‍රයට හසු නොවන ප්‍රපංචයකි) නමුත් මෙම සන්නද්ධ කෙටි චිත්‍රපට කරුවන් ( ඔවුන්ගේ හැදුනුම්පත් වල ‘අබ්බාස් කියරස්තාම්’ නම් පුද්ගලයන් ලියාපදිංච් කරීමේ කොමසාරිස් අත්සන දමා නැත) සහ මා අතර පැහැදිලි දේශපාලන වෙනසක් ඇත. ඔවුන් සංස්කෘතිය ඇතුලත අපතයන්ය.මම දේශපාලන අපතයෙකි. මීට අමතරව චිත්‍රපටි නරඹන්නට කවදත් මා ආදරය කළ විශාල හිස්ටෙරික නංගිලා සමූහයක්ද පැමිණ සිටියෝය.ඊට අමතරව කාටවත් වැඩක් නැති, බිත්ති සමග පවා සිනාසෙන සුද්දන්,සුද්දියන් සමූහයක් ද පැමිණ සිටියහ.

මෙම ච්ත්‍රපටිය නැරඹීම නිසා මා ලද නිරීක්ෂණ තුනක් පහත පෙළ ගස්වමි.

(A) ච්ත්‍රපටිය අගහරියට යන විට DVD එක හිර වුණ අතර වෙනත් DVD එකක් රැගෙන එන තෙක් විනාඩි දහයක් බලා සිටියෙමි. ඉන්පසුව දැමූ දෙවන DVD එකද හිරවුණ අතර ප්‍රංශ සුද්දෙකු අපට මෙසේ කීවේය.බය වෙන්න එපා අපි ලග තුන්වන DVD එකක් තියෙනවා අපි ඒක බලමු. ඒ අනුව තුන්වන DVD එක දැමූ අතර එයද හිරවුනි. එවිට නැවතත් සුද්දා අපව ඇමතීය. සමාවෙන්න වාසනාවකට වගේ හතරවෙනි DVD එකකුත්  අපි සතුව තියෙනවා. නමුත් ඒක අරගෙන එන්න මට විනාඩි දහයක් දෙන්න. ඒ අනුව නැවත විනාඩි දහයක් බලා සිටියෙමි. ඉන් අනතුරුව හතරවන DVD එක හොදින් ධාවනය විය. අයි.ටී.එන් රාමවික්‍රම සහ අප නැරඹු හතරවන DVD එකේ කොටස රැගුම්පාලක මණ්ඩලය දුටුවාදැයි දන්නේ ඔවුන් සහ දෙවියන් පමණි. DVD තදබදය නිසා හතරවන DVD එක නැරඹුවේ සුළු පිරිසකි.

(B) ච්ත්‍රපටිය DVD එක හිරවීමට ආසන්නව එක්තරා අවසානයකට එළඹ තිබුනි. ඊට අනුව L.T.T.E යත් හමුදාවත් පිළිවෙලින් දෙමළ සහ සිංහල පවුල් දෙකක් අවසාන කර තිබුනි. හතරවන DVD එක නිසා චිත්‍රපටියට අලුත් අවසානයක් හිමි විය. හතරවන DVD  යේ අඩංගු දර්ශණ දෙක මෙසේය.

         (01)- චිත්‍රපට කතාවස්තුව පදනම් වන්නේ සංජීවගේම පවුල පසුබිම් කරගෙනය. හතරවන DVD පටයට අදාල පළමු දර්ශණයට අනුව සංජීව ගේ මව තරුණයෙකු සමග එළිමහනේ  පිහිටි සුන්බුන් වූ නිවසක කැඩුණු සිමෙන්තිය මත (කෞෂල්‍ය ප්‍රනාන්දු) රමණයේ යෙදෙයි.

         ( 01-A)-ප්‍රේක්ෂකාගාරයේ ඉදිරිපෙළක  වාඩි වී සංජීව ගේ මව මෙම ච්ත්‍රපටිය නරඹමින් සිටියාය.ඒ අනුව පුතා විසින් දුටු දර්ශණයක් පසුව සිනමා මාධ්‍යයට ගෙනා අතර එය නැවත මව නරඹමින් සිටියි. සරළවම කිවහොත් මව රමණයේ යෙදෙනවා මවම නරඹයි. මෙය ප්‍රේක්ෂක අපගේ පැත්තෙන් ව්‍යහිභිචාරය (Incest)බිද දැමීමකි.

          (02)-චිත්‍රපට කතා වස්තුවට අනුව ගමේ මුරපොළේ සිටින තරුණ සොල්දාදුවෙකු ස්ත්‍රීලෝලියෙකි. අවස්ථාව ලද විටෙක (  මෙවැනි සොල්දාදුවෙක් විමුකති ජයසුන්දරගේ ‘සුළග එනු පිණිස’ ච්ත්‍රපටියේ ද සිටියි.) ඔහු ගමේ ස්ත්‍රීන් සමග රමණයේ යෙදෙයි. නමුත් ච්ත්‍රපටියේ අවසාන ජවනිකාවේ දී මෙම සොල්දාදුවාව හමුවන ගමේ තරුණ කෙල්ලෙක් ලිංගුව ප්‍රාණවත් කරවා එකවරම ඔහුගේ අංගජාතය කපා වෙන් කරයි. ( මෙය ජපන් සිනමාකරු මිෂිමාගේ සිනමා පටයක් සිහිකරයි) අධික වේදනාවෙන් කෑ ගසමින් බිම පෙරළෙමින් සොල්දාදුවා කෑලෑබද පෙදෙසකට දිව යයි. යුධ හමුදාවට අපහාස වනවා යැයි කියා ජාතිවාදීන් කුලප්පු වන්නේ මෙම දර්ශණයටයි. ඇත්ත වශයෙන්ම මෙය අපට සහනයකි. අම්මා රමණය කරන දර්ශණය අම්මා නරඹමින් සිටීම අප දැකීමට වඩා සොල්දාදුවෙකු ගේ අංගජාතය කැපීම සහනදායකය. ඒ අනුව අපේ අවිඥාණික ආශාවක මරඋගුලින් (මව සමග නිදි වැදීමට ඇති  ආශාව) අපව ජාතිවාදියා ගලවා ගනියි.

       (03)- අයි.ටී.එන් නාළිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් මගින් ඉහත චිත්‍රපටිය හරහා යුධ හමුදාවට අපහාසයක් වන බවට ප්‍රවෘත්තියක් පළ විය. එහි වගඋත්තකරුවා හැටියට ගාමිණි වියන්ගොඩ මහතාව හදුන්වා දෙන ලදි. ඊට අමතරව සංජීව පුෂ්පකුමාර දේශදෝහියෙක්  බවට නම් කරන ලද අතර ප්‍රංශ ච්ත්‍රපට උළෙල වහාම අත්හිටුවන ලදි. ජාත්‍යන්තර සිවිල් සංවිධාන මීට විරෝධය පළ කරන ලද අතර මෙම ක්‍රියාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තවත් කලු පැල්ලමක් ලෙස ඉතිහාසයට එක්විය.

‘ඉගිල්ලෙන මාළුවෝ’ ගැන මාධ්‍ය සංදර්ශන

ච්ත්‍රපටියේ සැබෑ ගැටලුව අපව රැගෙන යන්නේ ශිෂ්ඨාචාර අර්බුදයක් කරාය. දෙමළ ජාතියේ නිදහස සදහා කරන ලද අරගලයක් යනු දේශපාලන ප්‍රශ්ණයකි. වෙනත් තලයක එය ද්‍රරිද්‍යතාවය, නූගත්කම,සම්පත් බෙදීයාමේ විෂමතාවය, ප්‍රාග්ධනය හිගකම ආදී සමාජ ආර්ථික ගැටලුවකි.තවත් තලයක මෙම ප්‍රශ්ණය හදුන්වන්නේ සංස්කෘතිය සහ චින්තනය පිළිබද ගැටලුවක් ලෙසය.ගම්වල මිනිස්සුන්ට ඇත්තටම ආර්ථික ප්‍රශ්ණයක් ඇත. නමුත් ඊට වඩා ප්‍රමුඛ ගැටලුව වන්නේ නාගරික අතීතකාමී බුද්ධිමතුන් එම ගැටලුව සංස්කෘතික ප්‍රශ්ණයක් ලෙස යළි ප්‍රතිස්ථාපනය කිරීමයි. සැබෑ ගැටළුව වන්නේ සැබෑ ජීවිතයේ  පසමිතුරුභාවයන් කොහොමද සංස්කෘතික බුද්ධි ජීවීන් උසස් සංස්කෘතික ජීවිතයේ ගැටලු බවට පරිවර්තනය කරන්නේ කියන එක අවබෝධකර ගන්න එක. වෙනත් විදිහකට කිවහොත් ද්‍රව්‍යමය ජීවිතයේ ප්‍රතිවිරෝධතා විසදන්න අවශ්‍ය විදිහට පාරභෞතික ලෝකයක් නිෂ්පාදනය වෙලා තියෙනවා. තවත් සරළව කිව හොත් සංජීවගේ ගමේ ප්‍රශ්ණ සහ කොළඹ ආපු සංජීව ගේ ප්‍රශ්ණ කියන්නේ එකක් නෙවි දෙකක්.කාල් මාක්ස් ගේ භාෂාවෙන් කිවිවොත්  තත්ත්වය මෙහෙම විග්‍රහ කරන්න පුලුවන්. ගම්වල සැබෑ ජීවිතයේ ප්‍රතිවිරෝධතා වලින් කොළඹ ප්‍රග්ධනයේ මුග්ධ සංදර්ශණයන් බිහි වෙනවා නෙවි. එහි විලෝමයයි සත්‍යය. කොළඹ නගරයේ ප්‍රාග්ධනයේ මුග්ධ රංගනය විසින් දුර ගම්වල සැබෑ ජීවිත වල විපරිත වර්ධනයන් සහ ඛේදවාචකයන් බිහිකරනවා.ඒ අනුව අපි අධෝ ව්‍යුහය උපරි ව්‍යුහයට ඌණණය කලෙත් නැහැ, එහි විලෝමය කළෙත් නැහැ.

නමුත් ගාමිණි වියන්ගොඩ මුඛ්‍ය කර ගෙන පවත්වන  ලද මාධ්‍ය සැණකෙලිය හරහා සිදු වුනේ ජාතිවාදීන්ගේ ක්‍රියාව තවත් ඉදිරියට රැගෙන යාමයි. කොළඹ ප්‍රාග්ධනයේ උමතු රංගනය නිසා ගම්වල මිනිසුන්ගේ ජීවිත වල අක්මුල් ගැලවී ගොස් උමතු වෙනවා. එය කෙතරම් උමතු වෙනවාද කිවහොත් මව සමග රමණයේ යෙදෙනවා කියන දර්ශණය මවටම පෙන්වන්න තරම් ගම්වල මිනිස්සු විපරිත වෙලා. මේ සැබෑ පසමිතුරුභාවය සිංහල ජාතීවාදීන් විසින් පන්නා දමනවා ඊට වඩා වෙනස් සහනදායි පසමිතුරුභාවයකට. ඒ තමයි දෙමළ අරගලය. ඔවුන්ට අනුව මේ රටේ සංස්කෘතිය,සභ්‍යත්වය, විනාශ කරන්නේ දෙමළ අරගලයට සහයෝගය දෙන නාගරික,අශිෂ්ඨ, බටහිරගැති බුද්ධිමතුන් සහ බටහිර රටවල්. මේක ච්ත්‍රපටිය නරඹපු අපට සහනයක්. මොකද ච්ත්‍රපටිය නරඹපු අපි ඊට වඩා භයානක දෙයක් දැක්කා. ව්‍යහභිචාරය කියන තහනම උල්ලංඝණය වීම ජාතිවාදීන්ට එනකොට හැලිල. මව සමග රමණයේ යෙදීම නැරඹීමෙන් නරඹන්නිය ගත් ආතල් එක ජාතිවාදීන් කඩන්නේ නැහැ. ඔවුන් ප්‍රශ්ණ කරන්නේ ඊට වඩා ද්විතියික ආතල් එකක්. ඒ තමයි සුද්දන් ගෙන් සල්ලි අරන් රටපාවා දෙන එක. ප්‍රාග්ධනය නිසා බිහිවෙච්ච ශිෂ්ඨාචාර අර්බුදයක් සංස්කෘතික අනන්‍යතාවය පිළිබද ගැටලුවක් බවට ඌණනය වෙනවා.  ගාමිණි වියන්ගොඩ මාධ්‍ය සාකඡ්චාව මගින් කරන්නේ මෙම ජාතිවාදී සංස්කෘතික දේශපාලනය “දේශපාලනිකව නිවරදි”(Political correct ) දේශපාලනයක් දක්වා ඌණනය කිරීම. සරලව කිවහොත් රටේ ආර්ථික ගැටලුවක් ඌණනය වෙනවා ‘හැසිරෙන්නේ කොහොමද?’ වැනි සදාචාර මට්ටමකට. ඊට පස්සේ එන්නේ ඔක්කොම සංස්කෘතික ප්‍රශ්ණ. උදාහරණ- කලා කෘතියක් වාරණය කළ යුත්තේ ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය ද? නැත්තම් ආරක්ෂක දෙපාර්ථමේන්තුව ද? සංජීව පුෂ්පකුමාර දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ගත්ත ද? ඒකට උදව් කලේ ගාමිණි වියන්ගොඩ ද? මේ ගැටලුව පිටුපස ඉන්න සැබෑ කුමණ්තනකාරයෝ කවුද? ප්‍රංශ සුද්දෝ ද? මනෝජ් නානායක්කාර ද? ඔහු කාගේ ඥාතියෙක් ද?  තුන්පාරක් හිරවෙලා හතරවෙනි පාර යන්තමින් බලා ගත්ත ච්ත්‍රපටිය ගැන හිතනකොට මේ අලුත් ප්‍රශ්ණ වෙනුවෙන් අමතරව හිනා වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් කිතිකවාගෙන හිනා වෙන්න පුලුවන්. ඒවට තමයි අපි කියන්නේ මාධ්‍ය සංදර්ශණ කියල. ච්ත්‍රපටිය නැරඹුවේ නැති ගාමිණි වියන්ගොඩ මහතාව මේ ච්ත්‍රපටියට ඈදුනේ කෙසේ දැයි ඒ මහතා ප්‍රශ්ණ කරයි. මගේ ප්‍රශ්ණයද ඊට තරමක් සමීපය. අපිට විදසන්න බැරි ප්‍රශ්න ඇයි අපි ගාමිණි වියන්ගොඩ මහත්තයගේ ඇගේ ගහන්නේ? වෙන්න නියමිත එක දෙයකි.අයි.ටී.එන් එකට වඩා ගාමිණි වියන්ගොඩ මහත්තයා අනාගතයේ දී අමාරුවේ වැටෙන්න නියමිතයි.

සංජීව පුෂ්පකුමාරගේ දුෂ්කර භූමිකාව-

ගාර්ෂියා මාර්කේස් ගේ මැජිකල් යථාර්ථවාදී අවකාශයක දී හැර මාළුන්ට පියැඹීමට හැකියාවක් නැත. සංජීව පුෂ්පකුමාර නම් පියාඹන මාළුවාගේ දෘෂ්ටිවාදය කුමක්ද යන්න වටහා ගැනීම, ‘ඉගිල්ලෙන මාළුවෝ’  වටහා ගැනීමටත් වඩා දුෂ්කරය. ඔහුගේ දෘෂ්ටියේ කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔහුගේ මිතුරන් කවුද?සතුරන් කවුද? යන්න වටහා ගැනීමයි. එහි බෙදුම් රේඛාව ඉතාම අපහැදිලිය.ඔහුට ප්‍රකට ජීවිතයේ විමුක්ති හැර වෙනත් සතුරෙකු නැති තරම්ය. මේ දෘෂ්ටිවාදී විරුධාභාෂය නිසාම ඔහු සිංහල ජාතිවාදියෙක් ද?,නැතහොත් එය හෙලා දකින්නෙක් ද? යන්න සෘජු ලෙස තෝරාගත නොහැක. එබැවින් ඔහු වෙනුවෙන් පෙනී සිටන්නන්ගේ අනාගතය ව්‍යාකූල වීමට නියමිතය. තමන්ගේ ච්ත්‍රපටියට අදාල ඝෝෂාව ගැන ඔහු විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය මගින් ප්‍රකට කරවන්නේ ද ඔහුගේ උභයාවේගී දෘෂ්ටියයි.

(A) අවිගත් ත්‍රස්තවාදීන්,ඝාතන, සන්නද්ධ ගැටුම්,වෙඩි තැබීම් යනාදිය අවසානයකට පැමිණීමේ ප්‍රතිලාභ මා ඉහලින්ම භුක්ති විදින බව ස්තූතිපූර්වකව සදහන් කරමි. ( ඉහත වාක්‍යයේ දී ඔහු සමන් කුමාර රාමව්ක්‍රම සමග එකම දෘෂ්ටියක පිහිටයි.)

(B) L.T.T.E  ය දෙමළ සමාජය මත  ඇති කළ ඛේදජනක බලපෑම් වලින් සමහරක්, එනම් කප්පම් ගැනීම, දරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස් සන්නද්ධ කණ්ඩායම් වලට බදවා ගැනීම සහ ඝාතන යනාදිය ද මගේ ච්ත්‍රපටියේ දැක්වේ. එම සංවිධානයේ වූ කුරිරු ස්වභාවය මෙහි නිරූපණය වෙයි. ( ඉහත වාක්‍යයේ දී ඔහු ජෙහාන් පෙරේරා,පාක්‍යෙසෝති සරවනමුත්තු  සමග එක පෙළට සිට ගනියි.)

(C) එහෙයින්ම මෙහිදී වැදගත් වූයේ ඊට සහභාගී වූ කිසියම් එක් පාර්ශවයක් නොව මනුෂ්‍යත්වයට හා මනුෂ්‍ය ජීවිත වලට සිදු වූ හානියයි. ( ඉහත වාක්‍යයේදී අනගාරික ධර්මසේකර වික්ටර් අයිවන් වැනි පතෝල දාර්ශණිකයන් සමග අනන්‍ය වෙයි. )

(D)මෙම ච්ත්‍රපටියට නෙදර්ලන්තයේ ‘හුබස්ට් බාර්ස්ට් අරමුදල’ මගින් යූරෝ විසි දහසක මුදලක් හිමි වූයේය. එබැවින් මෙම ච්ත්‍රපටියට ප්‍රංශ මුදල්, එන්.ජී.ඕ මුදල් ලැබුනු බව කීම අසත්‍යයකි.

 

සංජීව පුෂ්පකුමාර වැනි චරිත ලක්ෂණ ඇති ජීවියෙකුගේ දෘෂ්ටිවාදී ලක්ෂණ නිර්මාණය කිරීමට නම් අපිට දෘෂ්ටිවාදයන් දෙකක් දෙමුහුන් කිරීමට සිදුවෙයි. ඒවා නම් ‘දක්ෂිණාංශික ජනප්‍රියවාදය’(Rightwing populism) සහ දේශපාලන නිවරදිභාවයි.( Liberal political correctness )   මෙම වාදයන් දෙක සංකලනය කළ විට සංජීව පුෂ්පකුමාරගේ ආකාරයේ පුවත්පත් නිවේදන නිකුත් කළ හැක. මෙම වාදයන් දෙක වනාහි එකම කාසියේ දෙපැත්තයි. මෙගින් කෙරෙන්නේ සුළු ජාතිකයන් ජාතිවාදීන් බවට ඒත්තු ගන්වා ඔවුන් ගේ සුළු ජාතිකවාදය පරාජය කිරීමයි. මෙම මතවාදයේ ප්‍රකටම ලාංකීය ප්‍රකාශකයන් වන්නේ නලින් ද සිල්වා, චම්පික රණවක,විමල් වීරවංශ වැනි දේශපාලකයන්ය. මේ අයට අනුව සමකාලීන ධනවාදය විවේචනය කළ හැක්කේ ජාතිවාදය හරහා පමණි. වෙනත් වචන වලින් කිවහොත් වෙළෙදපොල හරහා විසංවිධනානය වන සුසංගත පැරණි සමාජ සබදතා යළි බද්ධ කල හැක්කේ ජාතිවාදය මගින් පමණි. සංජීව පුෂ්පකුමාරගේ මතයද මීට ඉතාම සමීපය. ඔහුට යුද්ධය ගැන ඇත්තේ ලිබරල් සදාචාරවාදී අදහසකි. මේ යුද්ධය නොවන්නට සංජීව පුෂ්පකුමාර ඈත ගමක ඉපදී මිය යන්නට තිබූ ගැමියෙකු බව ඔහුටම අමතක වී ඇත. මේ යුද්ධය නිසාම ඔහුට ලැබුණු ප්‍රතිලාභ ඔහුටම අමතක වී ඇත. ඔහුට දයලෙක්තිකය ගැන කිසිම අදහසක් නැත. යමක හරය තුළම ඇති ප්‍රතිවිරෝධය නැතිනම් කිසිවක් චලනය නොවන බව ද ඔහු නොදනියි.L.T.T.E  ය ගැන සදාචාරවාදී අදහසක් දරණ ප්‍රථම හෝ අවසාන කලකරුවා ඔහු නොවන නිසා ඒ ගැන අදහසක් දැක්වීම නිශ්ඵලය.

 

මනුෂ්‍යයාට අවිඥාණයක් තිබේ යැයි අනුමාන කළහොත්

මෙම ච්ත්‍රපටිය නැරඹු කිසිවකු තවම ඒ ගැන විචාරයක් කර නැත. මේ ච්ත්‍රපටිය රූගත කොට ඇත්තේ නිශ්චිත පිටපතක් රහිතව බව පෙනේ. එය හොදද? නරකද? යන්න ගැන කීමට අදහසක් නැත. උදාහරණයක් ලෙස මාර්ටින් ස්ක්‍රෝසිස් විසින් නිපදවූ ට්‍රැක්සි ඩ්‍රයිවර් නම් ච්ත්‍රපටියේ පිටපතට තිබී ඇත්තේ එක් වාක්‍යයකි. එය මෙසේය.’ට්‍රැවිස් මුහුණ බලන කන්නාඩියක් දෙස බලා සිටියි.’ නමුත් එය හොද ච්ත්‍රපටියකි.නමුත් තිරනාටකයක් රහිතව කරන ලද ‘ඉගිල්ලෙන මාළුවෝ’ යනු ඉතාම දුර්වල ච්ත්‍රපටියකි. මෙම ච්ත්‍රපටියේ පදනම වන්නේ මිනිස් ආශාවේ නිල් සිනමා අන්තර්ගතයයි. මිනිසුන් ලෙස අප සියළු දෙනා අනෙකාගේ ආශාව නැරඹිමට අවිඥාණිකව රුචි කරයි. මෙම ආශාව තෘප්ත වන්නේ ක්ෂේත්‍ර දෙකක් තුලදීය.

01-නිල් සිනමාව

02- ලිංගික සේවය සපයන සේවිකාවන් ලග

සංජීවගේ ච්ත්‍රපටිය තුල විදාරණය වන්නේ මිනිස් ආශාවේ මෙම නිල් සිනමා හබායාමයි. ‘සුළග එනු පිණිස’ට වෙනස්ව සංජීව ගේ ච්ත්‍රපටිය තුල අන්තර්ගතව ඇත්තේ යුද්ධයෙන් ආනථ වූ මිනිසුන් ගේ අශ්ලීල අවිඥාණික ෆැන්ටසීන්ය. මෙම ෆැන්ටසීන් කෙතරම් දුරට යනවාද කිවහොත් ඒවා මවගේ රමණය දැකීම දක්වා දිගු වන අතර එය ද සිදු වන්නේ නිදන කාමරයක නොව එළිමහනේ දීය.යුද්ධය නිසා මේ මතුපිටට පැමිණ ඇත්තේ අමනුෂ්‍යත්වය නොව මනුෂ්‍යත්වයේ කණපිට පැත්ත වූ මිනිසාගේ රාත්‍රී ජීවිතයයි. නැතහොත් ගම්වල මිනිසුන් ගේ ආත්මමූලික ජීවිතයයි.(subjectivity)

කොළඹ සිවිල් සමාජයේ නෝනාවරුන්ගේ සහ මහත්වරුන්ගේ අශ්ලීල අවිඥාණික ෆැන්ටසීන් නැගෙනහිර මායිම ගමකට යවනවා වෙනුවට මෙහිදී සිදුව ඇත්තේ එහි ප්‍රතිලෝමයයි.මායිම ගම්මාන වල අවිඥාණික අශ්ලීල ෆැන්ටසීන් BMICH වැනි සිවිල් සමාජ අවකාශ වලට බලහත්කාරයෙන් ඇතුලු වී ඇත. මෙම නෝනා-මහත්වරුන් මෙම ග්‍රාමීය අශ්ලීල ෆැන්ටසි වලට කැමති වීමට ඉඩක් නැත. ඔවුන් ඒවා වටහා ගනු ඇත්තේ අනෙකාගේ කළාපයක් ලෙසිනි. එනම් තමාද ඇතුලත් සමාජ-ආර්ථික රටාවේ ගොදුරක් වූ අයගේ සෞන්දර්ය ජීවිතය ලෙස ඔවුන් එය වටහා ගනු ඇත. ලයනල් ප්‍රනාන්දු වැනි සිවිල් නිළධාරියෙකුගේ සහ සෝමලතා සුභසිංහ වැනි සම්භාව්‍ය නිළියකගේත් දියණිය වූ කෟෂල්‍යා ප්‍රනාන්දු නිශ්ක්‍රීය කොළඹ සිවිල් සමාජ ක්‍රියාකාරිනියකට වඩා දුරගොස් ඇත. ඈත ගම්වල ලදු කැලෑවල් වල හොල්මන් කරන ගැමි ෆැන්ටසීන් රගදැක්වීම සදහා ඇය තමන්ගේ ඇදුම් උනා දමමින් සිටියි. විපරීතයන්ට අවශ්‍ය වන්නේ අනුගාමිකයන්ය. එබැවින්  කෞෂල්‍යා ප්‍රනාන්දු රගපෑමට නියමිත ඉදිරියේ දී ප්‍රදර්ශණය වීමට නියමිත කෙටි ච්ත්‍රපට කිහිපයක නම් අපට කලින්ම ඉදිරිපත් කළහැකිය. මාළු ලොරිය යට;අත් කරත්තය උඩ;තේක්ක ගහකට හේත්තු වී;සමනළයෙකු ලවා පච්ච කෙටවීම;තට්ටු නිවාසයක දොරක් නැති වැසිකිලිය…..

අරගලයකට සහභාගි වූ සටන් කරන සටන්කාමීන් නොපෙන්වා ක්‍රමටය යටත් වන ගොදුරු වූවන්ගේ  අශ්ලීල ආශාවන්ට බොහෝ දෙනා කැමතිය. සංජීව පුෂ්පකුමාරලා කිසිදා රිදී තිරයේ විප්ලවාදින්ව පෙන්වීමට නියමිත නැත. ඔවුන් පැරණි X කණ්ඩායම sex කණ්ඩායමක් ලෙසින් වැරදියට වටහා ගත් පරම්පරාවක අවසාන පුරුක්ය.

-දීප්ති කුමාර ගුණරත්න-423928_309849125740548_100001463897692_857523_1788780632_n

 

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. ඉගිල්ලෙන මාළුවෝ හා ඒ හා සම්බන්ධ මාධ්‍ය සංදර්ශනය ගැන ලියවුන හොඳම විචාරය , 5/5 from me මනෝජ් නානායක්කාර ගැන lanakanewsweb එකේ දාපු ලිපිය යටට එකතු කලාම කතාව සම්පුර්ණයි.

  2. දීප්ති….
    වසර ගනණක් පුරා මම ඔබව විශ්වාස කළෙමි. එය සදහටම පවතීවායි මම සිතමි. ඔබ යමක් දකින බව, නැතහොත් ඔබ නිතරම වෙඩි වැදුණු තැන නොව වෙඩි තැබූ තැන සොයන බව මම දනිමි. මිනිසා මත වැතිරී සුවසේ සිහින දකින කඩප්පුලියකු නොවීම කොතරම් භාග්‍යක්ද?

  3. Well written Deepthi. Two minor correction thogh, the name of the japanese director is Nagisa Oshima, and Taxi Driver is Martin Scorsese. Please proof read the articles before publishing.

Comments are closed.