සංස්කෘතික ප්‍රශ්න ලෙස මතු වන දේශපාලන ප්‍රශ්න

මේ කියන ගෙවිඳු මම ද? මේ කියන පොත් ප්‍රකාශකයන් ගේ සංගමය අපේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයද?

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් පිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය සඳහා එහි අවසන් පොත් 5 සඳහා දෙවරක් ම නිර්දේශ වූ නවකතා රචනා කර ඇති මංජුල වෙඩිවර්ධන මහතාගේ නමින් අන්තර්ජාලයට නිකුත් කර තිබූ ලිපියකට අනුව මෙවර ස්වර්ණ පුස්තක අවසන් විනිශ්චය මණ්ඩලයේ පස් දෙනා ගෙන් (ආරියවංශ රණවීර සභාපති, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, සමන් වික්‍රමාරච්චි, ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල හා ලයනල් ප්‍රනාන්දු) බහුතරයක් විසින් ස්වර්ණ පුස්තකය සඳහා නිර්දේශ කර ඇත්තේ ඔහු ගේ ‘මගෙ ආදරණීය යක්ෂණී’ පොත ය. එහෙත් ඒ කෘතියට ස්වර්ණ පුස්තකය දෙනවාට එරෙහිව ප්‍රකාශකයන් ගේ සංගමය තුළ හා පිටත මූලික වශයෙන් ජාතිවාදීන් විසින් ගෙන ගිය ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ‘යක්ෂණියට’ දීමට නියමිත ව තිබූ සම්මානය ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගේ ‘කුරුලු හදවතට’ දී ඇති වෙඩිවර්ධන මහතාගේ මේ ලිපියට අනුව ජාතිවාදීන් ගේ මැදිහත් වීමේ විශේෂම අංගයක් වන්නේ ගෙවිඳු කුමාරතුංග විසින් ‘යක්ෂණියට’ ස්වර්ණ පුස්තක සම්මානය දීමට එරෙහිව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ දී සිදු කළ තර්ජනාත්මක කතාවයි.

මා දන්නා පරිදි නම් මේ වසර මුලදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ නිලධාරීන් තෝරා පත් කරගැනීම පිණිස පැවැත්වූ මහ සභා රැස්වීමෙන් පසු මේ වන තෙක් එහි කිසිදු රැස්වීමක් (මා සඳහන් කරන්නේ එහි මා වැනි සාමාන්‍ය සාමාජිකයනට සහභාගි විය හැකි මහ සභා රැස්වීම් ගැනය. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ගැන නොවේ.) තබා නැත. ඒ නිසා සංගමය තුළ මෙවර (2014) ස්වර්ණ පුස්තක කෘති තේරීම සම්බන්ධව මොනයම් ම හෝ අදහස් දැක්වීමක් කිරීමේ අවස්ථාවක් මා ඇතුළු සංගමයේ සාමාන්‍ය සාමාජිකයනට හිමිවී නැත. ගෙවිඳු කුමාරතුංග වන මා සංගමය තුළ හෝ ඉන් පිටත හෝ ‘යක්ෂණීට’ එරෙහිව හෝ පක්ෂව හෝ මොනයම් හෝ අදහස් ප්‍රකාශ කිරීමක් කර නැත.

එසේ තිබිය දී නවකතාකරුවකු, සාහිත්‍යකරුවකු වන මංජුල වෙඩිවර්ධන මහතා (ඔහු ගේ නමින් උක්ත ලිපිය අන්තර්ජාලයට මුදා හැර සති ගණනක් ගතව ඇති බැවින් හා ඒ කාලය තුළ ඔහු එය ප්‍රතික්ෂේප කර නැති බැවින් එය ඔහුගේ ම ලිපියක් ලෙස ගැනීමේ වරදක් නැතැයි සිතමි) ඔහුගේ කෘතියට ස්වර්ණ පුස්තකය නොලැබීමට හේතු ලෙස මොන ලෙස වත් මෙලොව සිදු නොවූ සිද්ධියක් (ප්‍රකාශකයන් ගේ සංමයේ ඔහු ගේ කෘතියට එරෙහිව මා තර්ජනාත්මකව අදහස් දැක්වූවා යි කියන සිද්ධිය. සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා විනිශ්චය මණ්ඩලය මොනවා කළා දැයි මම නොදනිමි) නිර්මාණය කිරීම අමු ම අමු බේගලයක් නිර්මාණය කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? සිය මවුබිමේ ජාතිවාදයට එරෙහි ව හා මානව අයිතීන් වෙනුවෙන් පිටුවහල් ව සිට පවා කැප වී ක්‍රියාකරන බව කියන මේ සාහිත්‍යධරයා විසින් මා මොන අයුරින් වත් සම්බන්ධ නැති සිද්ධියක් නිර්මාණය කර, මගේ නම ගම සමඟ මෙ ලෙස ප්‍රචාරය කරන්නේ ජාතිවාදී යැ යි සැලකෙන මට මොන ම මානව අයිතියක් වත් හිමි නැති නිසා ද? එදා අප්‍රිකාවෙන්, ආසියාවෙන් ‘ම්ලේච්ඡ’ ජනයා වහලුන් ලෙස අල්ලාගෙන තැලීමට, මැරීමට, විකිණීමට ඒ ‘ශිෂ්ට සම්පන්න’ සුද්දාට තිබූ අයිතිය මේ මහා මානව හිතවාදීනට ද ඒ සුදු මහත්වරු පවරා දී ඇති නිසාද?

තමන් ගේ සාමාජිකයකු විසින් සිදු කළ තර්ජනයක් ගැන ද කියැවෙන බැවින් වෙඩිවර්ධන මහතා විසින් නිර්මාණය කර ඇති සිද්ධිය සම්පූර්ණ අසත්‍යයක් බව කියා පා, හෙළා දැකීමේ යුතුකමක් ප්‍රකාශකයන්ගේ සංගමයට ද ඇතැයි සිතමි. ඒ හා සමඟ ප්‍රකාශකයන් ‍ගේ සංගමයේ සාමාජිකයකු වන රාවයට ද මේ හා සම්බන්ධ ව ඇත්ත කියාපෑමේ බාධාවක් තිබිය නොහැකි ය. එසේ මුත් ඔවුන් සියල්ලන් ම නිහඬය. ‘යක්ෂණිය’ ගැන රාවයේ පළවූ ලිපියක ‘මහානාම හිමියන්ට යක්ෂණිය සම්මුඛ කිරීම මාර වැඩක්’ ලෙස දැක තිබුණු පරිදි ම මේ අය සම්මාන නොලැබුණු ‘යක්ෂණියට’ ගෙවිඳු සම්මුඛ වීමත් මාර වැඩක් ලෙස රසවිඳිනවා විය හැකිය. අවසාන වශයෙන් මේ මානව හිතවාදී සාහිත්‍යධරයා මා සම්බන්ධ කර සිදුකර ඇති ප්‍රකාශවල සත්‍යයක් වේදැයි විමසීමට හා ඒ සම්බන්ධ මගේ අදහස් සිය පාඨකයන් හමුවේ තැබීමට (ඒ හා බැඳුණු අන්‍යයන් ගේ ද අදහස් සමඟ) ඉදිරිපත් වූයේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන මහත්වරු මර්දනකාරී රජයක හොරණෑවක් ලෙස නම් කරන ‘සිළුමිණ’ වීම නම් මාර වැඩක් ම ය.!

දැන් සිළුමිණ පුවත්පතේ ඉතා පැහැදිලි ව වෙඩිවර්ධන මහතා ගේ ‘යක්ෂණී’ කෘතියට සම්මානය දීමට හෝ නොදීමට හෝ මා මොනයම් හෝ මැදිහත්වීමක් නොවූ බව ඒ කෘතිය සම්බන්ධයෙන් මම මොනයම් ම හෝ අදහස් දැක්වීමක් සිදුකර නැති බව දක්වා තිබිය දී පසුගිය සිළුමිණ ග්‍රන්ථ විවේචනයෙහි ලා සමන් වික්‍රමාරච්චි මහතා ද අපූරු සොයාගැනීමක් සිදුකර ඇත. ‘යක්ෂණී’ අපභ්‍රංස නවකතාවක්ද? ලිපියෙහි පළමු ඡේදයේ ම වික්‍රමාරච්චි මහතා මෙසේ කියයි. “පොත් ප්‍රකාශකයින් වූ දයාවංශ ජයකොඩි සහ ගෙවිඳු කුමාරතුංග යන මහතුන්ට එය තේරී තිබිණි.” මම මගේ පොත ගැන මොනම අදහසක් වත් කියා නැති ව තිබිය දී වික්‍රමාරච්චි මහතා එය මට තේරී ඇති බව දැනගත්තේ නැත් නම් සොයාගත්තේ කොහොමද?

සමන් වික්‍රමාරච්චි යනු ජාතික පුවත්පත් දෙකකම (මීට පෙර දීර්ඝ කාලයක් ඉරිදා ලක්බිමෙහි හා දැන් සිළුමිණෙහි) නිල ග්‍රන්ථ විචාරකයා ය. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ උත්තරීතර විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකි. ඒ වගේම එතුමා විශ්‍රාමලත් විනිශ්චයකාරතුමෙකි. වෘත්තීය විනිශ්චයකරුවකු යනු ඇත්ත නැත්ත කිරීමට, නැත්ත ඇත්ත කිරීමට ඉදිරිපත් වන තර්ක විතර්ක මඟහැර සාක්ෂි මත පදනම් ව සත්‍යය මතු කරගැනීමේ පුහුණුවක් ලද්දෙක් නොවේ ද? ඉතින් එතුමා යක්ෂණී මට තේරී ඇතැයි කියන විට (මම දක්ෂයෙක් යැයි කියන විට) නොපිළිගෙන කොහොමද? ඒත් දෙයියනේ මම නොකියවපු පොතක් මට තේරෙන්නේ කොහොමද?

ඒ අතර පොත් ප්‍රකාශන සංගමයේ සභාපති විජිත යාපා මහතා ද පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් (2014/9/30 රිවිර) මේ තාක් කල් පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ සාමාජිකයකු ලෙස මම නොදැන සිටි කරුණු රැසක් එළිදරවු කර තිබිණි. “කොහොම හරි අපි එතනින් 20 දෙනෙක් (ස්වර්ණ පුස්තක විනිශ්චයකරුවන්) තෝරාගත්තා. ඒ පිරිස තෝරාගත්තේ ස්වර්ණ පුස්තක කමිටුවක් විසින්. එහිදී ඒ තේරූ පිරිස හැම ප්‍රකාශකයෙක්ම අනුමත කළා. ඕන නම් ඒ තෝරාගත් පිරිසට තමන් අකමැති යි කියලා පොත් ප්‍රකාශක සංගමයේ සාමාජිකයන්ට කියන්න තිබ‍ුණා. ඒත් ඔවුන් එහෙම අකමැත්තක් පෙන්නුවේ නෑ.”

දැන් සභාපතිතුමාට අනුව පළමුව ස්වර්ණ පුස්තක කමිටුවක් තිබී ඇත. එය පත්කළේ කවුද? මා දන්නා පරිදි නම් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (මහ සභාවේ) අනුමැතිය ඇතිව එවැන්නක් පත්කළේ නැත. එපමණක් නොව ඒ මඟින් තෝරාගත් ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩල සාමාජිකයන් 20 දෙනා ගැන සංගමයේ සාමාජිකයන් දැනුවත් කර ඇත. හිතවත් සභාපති තුමෙනි, ඒ දැනුම්වත් කිරීම සිදු කළේ ලිපියක් මඟින් ද? නැති නම් සංගමයේ මහ සභාවක් කැඳවාද? ඔබතුමා කියන පරිදි සංගමයේ සාමාජිකයන් සියලු දෙනාම තේරූ විනිශ්චය මණ්ඩලය අනුමත කළා නම් එය මහ සභා රැස්වීමක් විය යුතුය. ඒ මහා සභා රැස්වීම පැවැත්වූයේ කවදාද? කොහිදී ද? දවල් ද? රෑ ද?

දැන් මේක විශ්වාස කරන්න පුළුවන් ද? සිය මානව හිතවාදය නිසා ම තමන් අතහැර ගිය රටේ සාහිත්‍ය පෝෂණයට මැදිහත් වන සාහිත්‍යධර‍යෙක්, මෙවර ස්වර්ණ පුස්තක උත්තරීතර විනිශ්චය මණ්ඩල සාමාජිකත්වය ද දැරූ මේ රටේ ප්‍රමුඛතම සාහිත්‍ය විචාරකයෙක්, මේ රටේ ඉංගිරිසි මාධ්‍ය ප්‍රධාන පුවත්පත් දෙකක ආරම්භය කර්තෘත්වය දැරූ හා වත්මනෙහි පොත් ප්‍රකාශන සංගමයේ සභාපතිතුමා මේ ගරු කටයුතු මහතුන් සියලු දෙනා ම තමන් ගේ ප්‍රකාශ නිසා අන්‍යයන් පත්විය හැකි අපහසුතාවන් ගැන අබමල් රේණුවක තැකීමක් නැති ව, හැඟීමක් නැති ව මේ වගේ ගජබින්න ඇද බානවා වෙන්න පුළුවන් ද? බෑ නේද? එහෙනම් මේ අය කතා කරන්නේ මේ මම ගැන නෙවෙයි ද? වෙන ගෙවිඳු කුමාරතුංග කෙනෙක් ගැන ද? ගරු සභාපතිතුමා කියන්නේ මා නොදන්නා, මා සාමාජිකයකු නොවන වෙනත් පොත් ප්‍රකාශකයන් ගේ සංගමයක් ගැන ද?

හිතවත් කර්තෘතුමනි, හිතවත් සංස්කාරක තුමනි, කරුණාකර මේ ලිපිය ඔබතුමන් ගේ පුවත්පත්හි පළ කර අසරණ මගේ කන්නලව්ව ඔබ ගේ පාඨකයනට දැනගැනීමට සලස්වා මට ‘මම’ ගැන ඇත්ත නැත්ත දැනගැනීමට උපකාර කරනු මැනවි. පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ හිතවත් සභාපතිතුමනි, කරුණාකර මේ ලිපිය සංගමයේ සාමාජිකයනට ද යවා මට මා ගැනත්, මා ද සාමාජිකයකු වන සංගමය ගැනත් ඇත්ත දැනගැනීමට සැලැස්වුව මැනවි.

 

ඔබ සැමට බොහෝම පින්!

ගෙවිඳු කුමාරතුංග

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඔව්… එහි දක්වා ඇත්තේ ඇත්තේ මම ගැනයි. මම..මම.. මම..මම..මම ගැන තමයි.

  2. මේ දවස් වල “මගේ යක්ෂණිය” කියවගෙන යනවා. මේක මොන ශානරයටද අයිති කියල බලන්න සමන් කුමාරගේ ෂනර විමන්සාවත් සමානුපාතිකව කියවගෙන යන්න වෙලා තිබෙනවා. වෙඩිවර්ධනගේ පුස් වෙඩිල්ලක් වත්ද කියන පැනය මතු වීගෙන එනවා. කියවලම බලමු.

Comments are closed.