ජනාධිපතිවරණය අහවර වී මේ වන විටත් මෛත්‍රිපාල සිරිසේන මහතා අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව අවසන්ය. දැන් සියලු දෙනා බලා සිටින්නේ දින සියයකින් යහ පාලනයක් සහිත රටක් බිහිවන තුරුය. දැනටමත් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිව තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුරුන්ද යන්න ගැනය. මේ වන විටත් බැසිල් රාජපක්ෂ රටහැර ගොස් තිබෙන අතර කේ.පී වැනි කොටි සංවිධානයේ මුදල් අංශයේ ප්‍රධානීන්ට සිදු වූ දේ ගැන ආරංචියක් නැත. ජනතාවගේ මුදල් කොල්ල කෑ ඒකාධිපතියන් තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් යැයි පවසා දූෂණ සහ අක්‍රමිකතා යට ගසන්නට හදනවා නම් එහි තිබෙන යහ පාලනය කුමක් ද? ඊට අමතරව අපට ඇති ගැටළු නම්

මෛත්‍රිට දින සියයකින් විධායක ජනාධිපතිධූරය අහෝසිකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට තනිව කටයුතු කළ හැකිද? යම් හෙයකින් දැනටමත් ලක්ෂ පනස් හතකට ආසන්න ප්‍රමාණයක් ලබා සිටින එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට හැකි වුවහොත් ඔහුනට නැවතත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවනු ඇත. ඉන් පසු තත්ත්වය කුමක් වනු ඇත්ද?

ඒ අනුව නැවතත් ජනාධිපතිවරයා එක් පක්ෂයකින් සහ අගමැතිවරයා තවත් පක්ෂයකින් පත්වීම වලක්වන්ට හැකි නෛතික පදනම කුමක් ද? ද්‍රවිඩ සංධානය දැනටමත් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ දී ඒකාධිපති මහින්ද පරාජය කරන්නට අවශ්‍ය නිසා පමණක් තමන් 13+ ගැන කතා නොකරන බවය. නමුත් මහ මැතිවරණයකදී තමන් ගේ ජනතාව රවටන්නට ඔහුනට හැකි වනු ඇත්ද? ඒ අනුව ද්‍රවිඩ ජාතික ගැටලුවට පොදු අපෙක්ෂකයා ලබා දෙන දේශපාලන විසදුම කුමක්ද? එකී විසදුම සිංහල බෞද්ධ බහුතරය පිළිගනු ඇත්ද? සිංහල බෞද්ධ බහුතරය සනසන්නට ලබා දෙන විසදුමක් නිසා සුළුතර ද්‍රවිඩ,මුස්ලිම් ජ්‍රජාව කුමන තීරනයක් ගනු ඇත්ද?

ඒ අනුව දැනටමත් මෙකී සමස්ථ වැඩ පිළිවෙල මට දැනට ආකාරයට අවුල් ජාලාවකි. එය අවුලක් නොවන බව පෙන්වන්නට පොදු අපේක්ෂකයාට සහ වර්ථමාන රජයට ඇති දේශපාලන අර්ථකථනය කුමක්ද? එය යථාර්ථවාදීද?

අනෙක් අතට පොදු අපේක්ෂකයා පවසන ආකාරයට ඇමති මණ්ඩලය 30කට අඩු කරනවා නම් ඒ සදහා සුදුසුකම් ලබන්නේ කවුද? ආරක්ෂක ලේකම් ධූරය හෝ ආරක්ෂක ඇමතිධූරය සරත් ෆොන්සේකාට ලබා දෙනවා නම් ඔහු එකී තනතුරෙහි බලතල ගොඨාභය රාජපක්ෂට වඩා වැඩියෙන් භාවිතා කරමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් වලක්වනු ඇති බවට දෙන්නට පලුවන් සහතිකය කුමක්ද? යම් හෙයකින් හිටපු අගනිවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යළි අගවිනිසුරුධූරයට පත්කරනවා නම් ඊට නෛතික හැකියාවක් පවතින්නේ ද? නෛතික හැකියාවක් ඇතත් තමන්ට උපකාර කළ නීතීඥවරන්ට පක්ෂපාතීව සහ තමන්ව පීඩාවට පත්කළ නීතීඥයන් ගෙන් පළි ගන්නට ඇය කටයුතු නොකරනු ඇතැයි දෙන්නට පුලුවන් සහතිකය කුමක් ද? කේ.ශ්‍රී පවන් වැනි ජේෂ්ඨ විනිසුරෙකු අගවිනිසුරු ධූරයට පත් නොකරන්නට කටයුතු කරන්නේ නම් එයට හේතුව ඔහු දෙමළ වීම යැයි නොකියන්නට ගොඩනගන තර්කය කුමක් ද?

ඉහත ප්‍රශ්ණ වලට පිළිගුරු පසෙක තිබියදී ජාතික රූපවාහිනියේ සභාපති ධූරයට හොර තක්කඩි සෝමරත්න දිසානායක පත් කිරීම සහ යහ පාලනය අතර ඇති සම්බන්ධය කුමක්ද? අඩුම තරමේ මෙම තනතුරු යහ පාලනයේ අයිතිකරුවන් ලෙස පෙනී සිටි ගාමිනී වියන්ගොඩට, ධර්මසිරි බණ්ඩාරනායකට හෝ ලූෂන් බුලත්සිංහලට ලබා නොදීමේ හේතුව කුමක්ද? ජාතික ගැටලුව ගැන ප්‍රසිද්ධියේ පෙනී සිටි එවන් පුද්ගලයෙකුට මේ තනතුර ලබා දී සිංහල බෞද්ධ අවිඥාණක ආත්මය කැළැල් කර ගන්න මේ අය අකමැතිවූවාද? එසේ නම් නරුමවාදී සිංහල බෞද්ධයන්ට ගැලපෙන හොර තක්කඩියා සෝමේ මිස වෙන කිසිවෙක් නොවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දෙන අවස්ථාවේ ඔහු ලගින්ම සිටියේ රංජන් රාමනායකය. එය යහ පාලනය ගැන අපූර්ව සංඥාවක් බව නම් අපට පැහැදිලිය. චන්ද්‍රිකා බලයට පත් වූ විගස ඇය අසල සිටියේ සනත් ගුණතිලකය. මේවා ගැන යහ පාලනය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි මහත්වරුන් කතා කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු!

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මට එකම දුක මේ මයිත්‍රී පාලනය අනා ගන්නා විට එතනට එන්න ශක්තිමත් වමේ පක්ෂයක් නැති වීමයි. පෙසපය අනා ගත්තා කියා මට සිතේ. ජවිපෙ සමාජ ප්‍රජාතන්තවාදී පක්ෂයක් වශයෙන් එතනට එයිද? පෙරටුගාමී පක්ෂය කරන්නේ මොනවාද ?

  2. පාර්ලිමේන්තුවෙ දැනට ඉන්න උදවියත් සහභාගී කරගෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරනව නම් අවුලක් නෑ නේද? මොකද එක එක්කෙනාගෙ සුජාත භාවය හොයමින් ඉන්නවට වැඩිය වැදගත් ඒක. හොරුත් හවුල් කර‍ගෙන කොමිෂන් සභා වගේ දේවල් පිහිටුවල විධායකයේ අත්තනෝමතික බලතල අයින් කලා නම් ඒ ටිකම මදිද හිටිය හැටියට?

  3. එක්තරා ප්‍රමාණයකට එහෙම වෙනවනම් හොඳයි. අඩුම ගානේ ස්වාධින කොමිෂන් සභා. අර අහිංසක දෙමල අම්මවයි දුවවයි නිදහස් කරලා හිටියනම් මොකද>

  4. යහ පාලන බබා තාමත් නිදි යහනේ
    ජහ මනයා සොබාවික ෆැන්ටසි හීනේ
    සහ පිරිවර සමග ලණු සුප් හැදු නෝනේ,
    වහ වීලා වගෙයි බිව් හට ඒ පානේ.

    මහ අවුලක් වගේ මට පෙනෙනා මේක
    පහදා අහගන්න කෙනෙකුත් නැති සේක.
    වහ වූ ශ්‍රී.ල.නි. ප යලි රහ වූ සේක
    මහ ලේකම් තුමා අපගෙම වූ සේක

    මීයෙන් කැඩූ, අත ලෝනත් මදිය කියයි
    ඊයෙන් ගෙනා හොරු ටික අද සුපිරිසුදුයි
    රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
    සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි

Comments are closed.