අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ජාතික විද්‍යායතනයේ  හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන රෝගියෙකු පිළිබද රෝග නිශ්චය වාර්තාව

01-තමන් ඉන්නෙ ලන්ඩන් හරි බි‍්‍රස්බන් හරි කියලා තමන්ගේ සිහින නගරයකින් ෆේස් බුක් එකේ පෙනී ඉන්නවා වගේම පොඩි බෝවෙන හීනමානයක්ද?

හීනමානය කියන්නේ සයිකෝසියාවට අදාළ මානසික රෝග ප්‍රවර්ගයක්. ඉන් අදහස් වන්නේ බින්න පෞර්ෂයයි. ජිල්ස් ඩලූස් නම් දාර්ශනිකයාට අනුව බින්න පෞර්ෂය යනු ඉතාම නිර්මාණාත්මක දේශපාලන ප්‍රපංචයකි. එවැන්නක් පහත් යැයි සිතන්නේ සෙල්ල කතරගම අප්පුවාගේ කොලුවා වන ඇන්ටාය. හැනා අරෙන්ඩ්ට අනුව බින්න පෞර්ෂය යනු තාර්කිත හේතුවක් නැතිව අතාර්කිකව නායකයාට යටත්වීමේ අතුරු ප්‍රතිඵලයකි.

02-අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා මනෝ විශ්ලේෂණය කියන්නෙ ලෙඩ ගැන හොයන්න ගිහින් එළිදරව් වෙන කරුණු විස්තර ගොඩක් කියන එක. ඒ දෘෂ්ටිය නැත්තං කියවීම දෙයක් දිහා බලන්නෙම රෝගී ඇහැකින්. මේක විධිමත්ව සායනිකව හදාරපු ෆ්‍රොයිඞ්ගේ පරපුරේ අය නැවත නැවත පර්යේෂණ කරමින් වෙනම තල ගණනාවකට, ගැඹුරු මිනිස් අවිඥානයේ සැබෑ තේරුම් ගැනීමකට මේ හරහා ගමන් කළා.

අවිඥානය ගැඹුරු නැත. එය අති සරලය. එය සංකීර්ණය යැයි කිවේ නිමල් ගුණවර්ධනද? මනෝ විශ්ලේෂණය රෝග සොයාගෙන ගියේ නැත. රෝග මනෝ විශ්ලේෂණය සොයාගෙන ආවේය. අපි හැමෝටම මානසික රෝගයක් තිබෙන බව සත්‍යයය. නමුත් අප අවට සිටින බුද්ධිමතුන් අපේ රෝගයට අනුව හැඩ ගැසෙන්නේ නැත. වෙළෙද දැන්වීම් ආයතන යනු මිනිසාගේ මානසික රෝගවලට අවශ්‍ය පරිදි සකස් වී ඇති ආයතනය. හැනා අරෙන්ඩ්ට අනුව මානසික රෝග යනු නපුරක් නොවේ. එය රැඩිකල් නපුරකි. එබැවින් හේතුවකින් තොරව නායකයාගේ අණ පිළිපැදීම පැරා නපුරකි. මනෝ විශ්ලේෂණයේ දී සිදු වන්නේ ඉතාම සරල ක්‍රියාවකි. ඒ සදහා ඉස කුඩ්ච්චි දාගෙන කල්පනා කළ යුතු නැත. විපරිතයෙකු කිසිවිටෙක විශ්ලේෂකයෙකු සොයාගෙන යන්නේ නැත. මන්දයත් විපරිතයා විනෝදය ගැන දන්නා බැවිනි. නමුත් නියුරෝසිකයන් විශ්ලේෂකයා සොයා ගෙන සායනය කරා යයි. එවිට සිදුවන්නේ විශ්ලේෂිතයා තමාගේ රහස විශ්ලේෂකයා දන්නවා ඇතැයි අනුමාන කොට දිගටම කතාකරගෙන යාමයි. මානසික රෝගයක් යනු කරගැටයක්, දදයක්, කුෂ්ටයක් වැනි ශාරීරික රෝගයක් නොවේ. එය ගැටයක් ලිහී යාම නිසා ඇතිවන නිදහස ප්‍රකාශවීමකි. විශ්ලේෂිතයාගේ රහස තමන් නොදන්නා බව අවසානයේ දී විශ්ලේෂකයා කියයි. හැනා අරෙන්ඩ්ට අනුව විශ්ලේෂකයා යනු බටහිර පුනරුදයේ සිරකරුයි. අවිඥානය සොයා ගත්තේ සිග්මන් ෆොයිඩ් මිස පරපුරක් නොවේ. පරපුරවල් සිටින්නේ සිංහලයන්ට පමණි. ෆොයිඩ්ට සිටියේ සංකේත පියෙකි. සිංහල මිනිසුන්ට සිටින්නේ අප්පච්චිලා සහ තාත්තලාය. ෆොයිඩ්ගේ සංකේත පියා වචනවලින් දරුවන් පාලනය කරන විට අප්පච්ච්ලා සහ තාත්තලා දරුවන් පාලනය කරන්නේ දත්මිටි කෑමෙන්, පිට මැදට දෝයි කියා ගැසීමෙන් වේවැලට තට්ටමට ගැසීමෙන් හෝ පුතා ඉදිරිපිට මවගෙන් කිච වීමෙන්ය. විපරිතයා යනු තම නිවසේ මවගේ ආශාව කුමක් දැයි නොකියන පියාලා නිසා ඇතිවන විනෝද ගැටලුවකි. එවැනි විපරිතයන් විනෝදය සීමා කරවන හැගවුම්කාරකය ගැන නොදනියි. හැනා අරෙන්ඩ්ට අනුව මෙවැනි අය අම්මලාට ගෙම්බන් පවා පෙන්වයි.

03-මනෝ විශ්ලේෂණය ඒ විෂය ඇතුලෙ මිනිස් පැවැත්මට වඩා විශාල වුණේ නෑ.

මනෝ විශ්ලේෂණය සහ මිනිස් පැවැත්ම අතර කිසිදු සම්බන්ධයක් නැත. මිනිස් පැවැත්ම සම්බන්ධ වන්නේ දර්ශනයටයි. විශේෂයෙන්ම ගතහොත් සාංදෘෂ්ටිකවාදයටයි. මනෝ විශ්ලේෂණය යනු ප්‍රති දර්ශනවාදයකි. එමගින් සාකච්ඡා වන්නේ සත්තාවට පෙර තත්ත්වක් ගැනයි. එනම් ප්‍රබන්ධ ලෝකය ගැනයි. හනා අරෙන්ඩ්ට අනුව ජීවිතය යනු සරල රේඛාවක් සේ දිගු කළ කතාවකි.

04-මේ ප‍්‍රබුද්ධ කියවීම තමන්ගෙ පිටුවල බෙදා හදා ගන්න ඉක්මන් වුණු ෆේස්බුක් වම්මු (වමේ මානසික) රොත්ත.

වමට බනින මේ පුද්ගලයා තමා කවුරුන්දැයි නොකියයි. තමා වැනි පුද්ගලයන්ට හනා අරෙන්ඩ් කියන්නේ ගොවිතැන් කිරීමට වඩා පියානෝ ගැසීම යථාර්ථවාදී බවයි.

05-පෝල් වෝකර්ගෙ ජීවිතේට එබෙන්න මං හිතන්නෙ මේ දූපතේ අපේ පැවැත්ම දුප්පත් වැඩියි.

ශ්‍රී ලංකාව යනු මුළු ලෝකයම කේන්ද්‍ර කර ගත් විශාලතම බුද්ධි කේන්ද්‍රයයි. අපේ රට සුන්දරය. එහි නිස්කලංක මුහුදු වෙරවල් අවලස්සන යැයි කියන්නේ හනා අරෙන්ඩ්ට අනුව ඒකාධිපති නායකයන්ය. පෝල් වෝකර් යනු ඇමරිකානු ෆාස්ට් ෆුඩ් සංස්කෘතියේ කෑමෙන් පසු විසිකර දමන ෆොප්කෝන් පැකට්ටුවකි.

06-ඒ වගේ ලොකු කලාප මේ වගේ පොඩි ඇස්වලින් කියවන්න ගියාම රෝස මගේ නටුවෙ කටු වගේ ළමා කවියකට එහා දෙයක් කියාගන්න බැරි වෙන එක ස්වභාවිකයි. මේ හින්දමයි ලංකාවෙ අය ලෝකෙ එක එක තැන්වල තියෙන ඓතිහාසික උදාහරණ ගන්න කොටත් මට විහිළුවක් වගේ හිතෙන්නෙ. අපිට සාර්ව විදිහකට තේරුම් ගන්න පුළුවන්ද ඒ වගේ මහද්වීපික පැවැත්මක් ගැන. නැත්තං අපි මොකක් හරි නිව්ස් එකක් කියවලා අපේ ග‍්‍රාමීය සීමිත පරිකල්පනයෙන් පොඩි මැටි ගුලියක් අනනවා විතරද?

ඉහත අදහස ඇමෙරිකාව ගැන වෙළෙද දැන්වීමක්ද නැද්ද යන්න බේට්ස් ආයතනයේ සභාපතිගේ අත්සනින් යුතුව සහතික කරන්න. හනා අරෙන්ඩ්ට අනුව මෙවැනි ජීවීන් ඩයෝජීනස්ගේ පරපුරට අයිතිය. ඩයෝජීනස් යනු සොක්‍රටීස්ගේ පාපිස්ස මත ස්වයං මෙථුන්‍යයේ යෙදුන පුද්ගලාය. ඔහු සොක්‍රටීගෙන් ඉල්ලා සිටියේ කරුණාකර මට හැදුනුම්පතක් දෙන්න කියාය.

07-චිත‍්‍රපටි වලින් එලියෙ ඇත්ත යාලූකමක්, ජීවිතේ බෙදාගැනීමක් පෝල්ටත් වින් ඞීසල්ටත් තිබුණ. ඒක අපි ත‍්‍රිල් ගන්න සුපිරි වීරත්වයට වඩා විශාලයි. ක්ෂතිමය බුබ්බක් නෙමෙයි.

පෝල් වෝකර් හෝ වින් ඩීසල් මේ ගැන උඹට කීවේ දුරකථනයෙන්ද? ඔවුන්ගේ මිත්‍රකම කෙඩ්ට් කාඩ් සම්බන්ධයක් ද යන්න ශී ලංකා මහ බැංකුව විසින් තහවුරු කළාද? යථාර්ථය යනුම පලා යාමක් නම් ඇත්ත යාළුකම යනු ද පලා යාමකි. පශ්චාත්-නූතන යුගයේ දී සිදු වන්නේ සැබෑ සබදකම් අතහැර පරිකල්පනීය ගුහාවකට රිංගීමකි. හනා අරෙන්ඩ්ට අනුව සොක්‍රටීස්ගේ දේශනවලට බාධා කිරීම හැර ඩයෝජීනස්ට වෙනත් පැවැත්මක් තිබුණේ නැත.

08-මේ චරිත අපි දකින්නෙ මාධ්‍ය වලින්, ස්ක‍්‍රීන් එක උඩ විතරක් වෙන්න පුළුවන්. ඒත් ඒ ජීවිත අපිට වඩා විශාල සමාන්තර යතාර්ථයන් ගණනාවක් ඇතුලෙ එකවිට ජීවත් වෙනවා. ඒ චරිත වල මනුස්ස සම්බන්ධතා, බැඳීම්, සංවේදිතා හැම දෙයක්ම අපි ඒ දකින සීමිත රූපය උඩින් කියවන්න යනවා කියන්නෙ අපිටයි ජීවිතයක් නැත්තෙ. අපියි ජීවත් වෙලා නැත්තෙ. ඇත්තටම අපියි පව්.

උබ කවදා ඉදන්ද ඇමරිකාවේ නිවෙස්ෙවල පිරිසිදු කිරීමේ සේවයක රැකියාවට ගියේ? හනා අෙරෙන්ඩ්ට අනුව සී.අයි.ඒ. ඔත්තු සේවය විසින් ජනප්‍රිය නිවෙස් ඇතුලට ඇතුලු වන පැපරාසීන් ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුය.

09-මොකක් හරි අදහසක් නිර්මාණය කරන්න පරිකල්පනීය අනෙකෙක් හරි  ඕන වෙනවා.ඒක ඇත්තක්. ඒත් ඒක අනෙකාගේ එකම ඇත්ත තේරුම කියල ගත්තොත් අපිට වරදිනවා. ඒ අනෙකා විසින් මොකක් හරි කලාපයක ඉටු කරමින් ඉන්න ප‍්‍රගතිශීලී වැඩ ටිකක් තියෙනවා. හොඳම උදාහරණය තමයි මං කලින් කියපු අපේ (මගේ) අනෙකා වුණු සිනමාව.

සිනමාව යනු වචනයකි. වචනය අනෙකෙකි. මේ හැර සිනමාව තේරුම් ගැනීමේ ක්‍රමයයක් නැත. හනා අරෙන්ඩ් කියන්නේ වචනයට පිටතින් කිසිවක් නැති බවයි.

10-රස වින්දනය අතින් පහළ මට්ටමකින් එලියට ආපු එක සහ ඒක තව තවත් ලාභ අධිනිශ්චය වෙමින් ලොකු වෙන එකට ප‍්‍රතිවිරුද්ද අදහසක් මට තියෙන එක ඇත්ත. ඒත් මහා සිනමාවෙ එක පත  බිංදුවක් උඩදි ගන්න තිබුණු එකම සහ හොඳම පියවර ඒක කියලා මං පිළිගන්නවා.

මේ මම,මම,මම,මම,මම,මම,මම කියන්නේ කවුද? හනා අරෙන්ඩ්ට අනුව නායකයෙකු නිසා දුෂ්‍ය වූ ඇඩොල්ෆ් අයික්මාන් කෙනෙක් ද? අයික්මාන් යනු දුප්පත් වීම නිසා නාසිවාදයට එකතු වූ මැද පන්තිකයෙකි. ඒ අනුව නිධානය චිත්‍රපටිය නිමවා ඇත්තේ ලෙක්ටර් ජේම්ස් පීරිස් නොව අයික්මාන්ය. විලි අබේනායක සමානයි ඇඩොර්ෆ් අයික්මාන්. එය කලේ මා නොව ඒ වෙලාවේ මා තුළ සිටි යක්ෂයෙක්!

11-මේ ස`ගරාවෙ ඒ බාසාවෙන් ලියන්න හඳගමට විතරක් විශේෂ අවසරයක් තියෙනවා. ඒ අවසරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව කොහොම වුණත් හඳයා විතරක් හරි ඒ බාසාවෙන් ලියන එක ලොකු දෙයක්. කොයි තරං අලූත් දෙයක් වුණත් පරණ බසාවෙන් කියද්දි පිළුණු ගඳයි. (භාෂාව ආගමක් වීම)

භාෂාව ගැන පණිවිඩය උඹට කිවේ භාෂාව ද නැත්නම් උඹම ද? හනා අරෙන්ඩ්ට අනුව භාෂාව යනු පාවිච්චි කිරීමට ඇති උපකරණයක් නොව පහර දීමට ඇති කසයකි. කසයෙන් පහර දෙන විට විනෝද වන්නේ අසෝක හදගම නොව තමාමය. ආටිකල් 14 සගරාවේ උඹට ලියන්නට අවශ්‍ය නම් යුරෝපා සංගමයේ සභාපතිතුමා හමුවී කාරුණික ඉල්ලීමක් කරන්න. හැබැයි මෙතන පොඩි පරස්පරයකුත් තියෙනව. උඹම කක්කා ගොඩක් කියන සගරාව ඇගිල්ල ගහලා කන්නත් ආශාවක් තියෙනවා නේද?මතුපිටන් උඹ 14 සගරාවට විරුද්ධයි අවිඥානකව උඹ ඒකට ආසයි. කෙනෙක් බාහිර ලෝකයේ ආධිපත්‍යයට යටත් වන්නේ අවිඥානකවයි. උදාහරණයක් ලෙස හනා අරෙන්ඩ්ට උඹ දෙවියන් විශ්වාස නොකළත් උඹව දෙවියන්ට යටත් කරවයි.

12-මේ අලූත් සිනමා පරම්පරාව අනුරාදපුරෙන්, පොලොන්නරුවෙන් කොළඹ ඇවිත් සිනමාව කරලා ගොඩයන්න හදන පිරිසක් නෙමෙයි. ඒ වෙනුවට ආර්ට් එකක් විදිහට, තමන්ගේ ප‍්‍රකාශනයක් විදිහට, බෙදා හදා ගන්න සිනමාව කරන කට්ටියක්.

පලයන් ඩෝ යන්න උබට මොන ආර්ට් ද? මොරටුමුල්ල හන්දියේ තට්ටුවක් දාගෙන ලී බඩු විකුණපන්. උඹ මොන ආටිස්ද? උඹ ආර්ටිස් කෙනෙක් නම් අනුරාධපුරෙන් ආපු වේරලියද්දත් අාටිස් කෙනෙක් වෙන්න ඕන. ගංජා පාරක් ගහලා එන ෆුල් ආතල් එකට කලා සංකල්පනා කියන්නේ කවුද? හනා අරෙන්ඩ්ට අනුව කලාකරුවෙක් යනු භාවිතාව ඉක්මවා ගිය කාව්‍යමය ගුණය වගාකරගත් පුද්ගලයාය. කේරල ගංජාවලින් කළ හැක්කේ සරම කඩා මොරටුමුල්ලේ ගගට පැන හති වැටෙන තුරු නෑම පමණි. උඹට කලා අයිඩී එකක් ඕනෙම නම් ඉක්මනට ආදායම් බදු කොමසාරිස්තුමා හමුවෙයන්.

 

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “මනෝ විශ්ලේෂණය ඒ විෂය ඇතුලෙ මිනිස් පැවැත්මට වඩා විශාල වුණේ නෑ.” යකෝ මනෝ විශ්ලේෂණය කියන්නේ ආගමක්,මොබයිල් ෆොනේ ඇප්ලිකෂන් එකක්,දත් බෙහෙත් එකක් නෙමේ මාකට් එකේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවරු කරණ. එක කැඩපතක් ,

Comments are closed.