සමාජය චලනය වීම සම්බන්ධයෙන් ඉතිහාසය පුරාම මූලධර්ම දෙකක් මිනිස් චින්තනයට තිබී ඇත.

ඒවා මෙසේය,
1] පාරභෞතික මතය
2] අපෝහවාදී මතය


බොහෝ විට පාරභෞතික මතය යනුවෙන් අදහස් වන්නේ චලනය පිළිබද හුදෙකලා, ස්ථිතික සහ එක පැත්තක ඇති දේ වශයෙන් ගැනීමය. උදාහරණයක් ලෙස අපට ලසිත් මාලිංග සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර අතර ගැටුම ගත හැක. අවශ්‍ය නම් ලසිත් මාලිංගගේ වැඩිය යනුවෙන් කළ ඇමති ප්‍රකාශය සමග ඔට්ටු විය හැක. අපි තවත් උදාහරණයකට යමු. දබුලු විහාරයේ පින්කැටේ එකතු වන මුදල් අයිති කාටද? හාමුදුරුවන් කියන්නේ එය භික්ෂුන් සතු දෙයක් බවයි. නමුත් වර්තමාන අධයාපාන ඇමති අකිල විරාජ් කියන්නේ එය සමාජ ධනයක් බවයි. ලසිත් මාලිංගගේ ප්‍රශ්නය දෙවැනි තලයට එන විට ක්‍රිකට් ක්‍රීඩකයන් හම්බ කරන්නේ ජාතික කණ්ඩායම නම් සාරයට මුවා වී යැයි කියවෙන කථාව සත්‍ය වෙයි. ක්‍රිකට් ක්‍රීඩකයන් මුදල් හොයන මැෂින් බවට පත් කරන්නේ ජාතික රාජ්‍යයයි. ඇමතිවරයා කියන්නේ මේ ක්‍රීඩකයන් මුදල් මිස පුහුණුකරුවන් නොවන බවයි. අනෙක් අතට ඇමති අකිල විරාජ් මතු කරන ආකාරයට සමකාලින භික්ෂුව ව්‍යාපාරිකයෙක් මිස ආධ්‍යාත්මික නායකයෙක් නොවේ. ඉහත සාධක දෙක හරහා අපට වැටහෙන්නේ ‘චලනය’ පිළිබද පැරණි න්‍යාය බිදවැටෙන බවයි. තවදුරටත් සලකා බලන්නේ නම් සමාජ චින්තනය චලනය කරවන්නේ පුද්ගලයන්ගේ අභිලාෂ හරහා නොව මුදල් හරහාය.


චලනය පිළිබද අදහස අප තවදුරටත් සංවර්ධනය කරන්නේ නම් එකිනෙකට පටහැනි ප්‍රතිපක්ෂයන් එකට සන්ධානගතව පැවතීම සළකා බැලිය හැක. යම්කිසි වෙනස්වීමක හේතු ඇත්තේ ඒ තුළ නොවේ. ඉන් පිටතය. උදාහරණයක් ලෙස අප චම්පික ඇමතිවරයාගේ මෙගපොලිස් අමාත්‍යාංශය සළකා බලමු. දළ වශයෙන් මෙහි කටයුතු අරබා වසර 2ක් පමණ ගත වී ඇත. මූලික වශයෙන් අමාත්‍යවරයාගේත්, අමාත්‍යාංශයේත් විවිධ ප්‍රචාරක කටයුතු සිදු වෙයි. ඇමතිවරයා දක්ෂ මත හසුරුවන්නෙක් සහ දක්ෂ ප්‍රචාරකයකු වන නිසා සමස්ත ක්‍රියාවලිය ජනප්‍රිය තැනක ස්ථානගත වී ඇත. නමුත් හරයාත්මක ලෙස කිසිවක් සිදු වන්නේ නැත. ඉන් අදහස් වන්නේ කුමක්ද? මෙගාපොලිස් අමාත්‍යංශය යටතේ නිකුත් කළ හැකි විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් ඇත. ඒවා මහාමාර්ග ඉදිකිරීම් සිට ගමනාගමනය හරහා තේමා උද්‍යාන ඉදිකිරිම දක්වා විශාල පරාසයක විහිදී ඇත. ඊට අමතරව මෙම ව්‍යාපෘති සදහා ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින විදේශ ආයෝජකයන්ද ඕනෑ තරම් සිටිති. නමුත් යම් කිසි ව්‍යාපෘතියක් පටන් ගැනීමට පෙර යම් ශක්‍යතා වාර්තාවක් අවශ්‍යය. ආයෝජකය
M.O.U එකක් අත්සන් කරන්නේ මෙම ශක්‍යතා වාර්තා පදනම් කරගෙනය. යම්කිසි ආයෝජකයකුට යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නිල වශයෙන් අවසරය අවශ්‍ය වන්නේ චම්පික ඇමතිවරයාගෙන් බව සැබෑය. නමුත් එම කටයුත්තට ඇත දැමු පසු එම ආයෝජකයාට ඉන් පසු මලික් සමරවික්‍රම නම් ඇමතිවරයෙක්ද හමු වෙයි. මේ දෙවන ඇමතිවරයා හමු වූ වහාම ආයෝජකයා අතුරුදහන් වෙයි.
ආණ්ඩුවේ බාහිර මුහුණත අධ්‍යනය කරන අයට අනුව චම්පික ඇමතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා එකම ආණ්ඩුවක කොටස්කාරයන්ය. නමුත් ක්‍රියාවට බැසගත් පසු මේ දෙදෙනා පසමිතුරන්ය. මිනිසුන්ව අභ්‍යන්තරයෙන් බෙදා වෙන් කර පාලනය කිරීම සුද්දන්ට පමණක් ආවේණික ලක්ෂණයක් නොවේ. එය දේශීය පාලකයන්ටත් පොදුය. ඊළගට චම්පික ඇමතිවරයාගේ ඊලග අර්ධය, එනම් ජාතික දේශපාලනයේ අනෙක් පැත්ත අපට හමුවන්නේ රතන හිමියන් හරහාය. උන්වහන්සේ අශෝක අබේගුණවර්ධන හරහා
SEMA ආයතනය පාලනය කරයි. චම්පිකව පාලනය වන කේන්ද්‍රය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නම් රතන හිමියන්ගේ කේන්ද්‍රය වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඒ අනුව ජාතිකවාදී දේශපාලනයට දෙවැනි මුහුණතක් පවතියි. බොදු බල සේනා යනු ජාතික දේශපාලනයේ තවත් මුහුණතකි. ඒ අනුව ජාතික ප්‍රතිවිරෝධතාවය යනු තනි සමස්තයක් නොව පැති කිහිපයක් සහිත ප්‍රතිවිරෝධයන් විශාල සංඛ්‍යාවකි. මෙම තත්ත්වය උතුරේ ගැටලුවට සම්බන්ධ කල විට එයට තවත් මුහුණතක් හමු වෙයි. ඒ දෙමළ ජාතික සන්ධානයයි. එහි අවසාන පාලක ලිවරය වන්නේ ඉන්දියාවයි. ඊට අමතරව TNA සංවිධානය අභ්‍යන්තර වශයෙන් දෙමළ ප්‍රභූ ( විග්නේෂ්වරන් ) සහ දෙමළ නිර්ප්‍රභූ ( සිවාජිලිංගම් ) වශයෙන් භේධ වී ඇත. ඉහත සන්ධර්භය නිසා ජාතික දේශපාලනය පුද්ගල වශයෙන්, වාර්ගික වශයෙන්, ප්‍රාදේශීය වශයෙන් අභ්‍යන්තරයෙන් බෙදී ඇත. මේ විවිධ තලයන් එකිනෙකට පසමිතුරුය. ඒවා චලනය කරනවා මිස ඒකාබද්ධ කළ නොහැකිය.


ඊළගට අපි කොළඹ සිවිල් සමාජය සළකා බලමු. 2015 වර්ෂයේ හදිසි දේශපාලන පෙරළිය පිටුපස කොළඹ සිවිල් සමාජය සිටි බවට මිනිසුන්ට විශ්වාසයක් ඇත. ජාතිවාදී පිළේ සිට සිවිල් සමාජය දෙස බලන විට පෙනෙන්නේ බටහිරගැති දේශද්‍රෝහී නඩයකි. කෙසේ නමුත් යහපාලන ආණ්ඩුවේ මුල්කාර්තුව තුළ සිවිල් සමාජය ආකල්පමය වශයෙන් පවතී තිබුණේ ප්‍රදේශියවාදයන්ට එහා ගිය ප්‍රතිපත්ති රාමුවක් පිළිගන්නා පිරිසක් ලෙසය. ඔවුන්ව මූලික වශයෙන් නාගරික සහ
Facebook ජනයා දුටුවේ දේශපාලන පක්ෂයට එහා ගිය දේශපාලන ප්‍රපංචයක් ලෙසය. නමුත් සිවිල් සමාජ කණ්ඩායම සතු මූලික දුර්වලතාවය වුයේ එය තනි කේන්ද්‍රයකින් පාලනය නොවීමයි. එහි දෙවැනි දුර්වලතාවය වන්නේ චලනය කිරීමට අදහසක් නැතිව තනතුරු සහ වරප්‍රසාද ලබා ගැනීමය. මේ හේතුව නිසා ජනාධිපතිවරයාගේ පාර්ශවය අද දින සිවිල් සමාජය දැකීමට උත්සහ කරන්නේ සිරිකොතකරණය වූ එකක් ලෙසිනි.


ඊළගට අපි සයිටම් ආශ්‍රිත අධ්‍යාපනික ගැටලුව ගනිමු. එම ප්‍රතිවිරෝධයටද පැති ගණනාවක් ඇත. ඉන් එකක් ( විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය ) මෙහෙයවන්නේ කුමාර් ගුණරත්නම් මූලික කොටගත් පෙරටුගාමී සමාජවාදින්ය. වෛද්‍යවරුන්ව මෙහෙයවන කණ්ඩායම් 3ක් සිටිති. එකක් ජ.වී.පෙ. ය. අනෙක වන්නේ රාජපක්ෂ හිතවාදීන්ය. ඉතිරිකොටස සයිටම්වාදී වෛද්‍යවරු මෙහෙයවති. රාජ්‍ය පැත්තෙන් ගැටළුව මෙහෙයවන පාර්ශවද විශාල සංඛ්‍යාවක් සිටිති. ජනාධිපති, අගමැති, සෞඛ්‍ය ඇමති, උසස් අධ්‍යාපන ඇමති ආදී වශයෙන් සයිටම් හිතවාදී අක්ශයද බහුලය. සයිටම් හිතවාදයට සේම සයිටම් පසමිතුරුවාදයටද විවිධ මුහුණත් ඇත. එපමණක් නොව මෙම සමහර ප්‍රතිපක්ෂයන් අතර සමගියක්ද පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා සයිටම් විරෝධිද? නැතහොත් සයිටම් හිතවාදීද ? උත්තරය දන්නේ දෙවියන් පමණි. මතුපිටින් පරස්පර ලෙස පෙනෙන ජාතිකවාදීන් සහ පෙරටුගාමී සමාජවාදීන් අතර දෙවැනි තලයේදී එකගතාවන් ඕනෑ විය හැක.


මට කීමට අවශ්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපස ඇති සමාජ යතාර්ථය එක පැත්තකින් සංකීර්ණ බවය. අනෙක් පැත්තෙන් එය අතිශය අසන්විධානාත්මකය. එයට කේන්ද්‍ර ගණනාවක් ඇත. මෙම මෙම අසංවිධිත සමාජ යතාර්ථය අගමැතිවරයාට වාසි වන ලෙස භ්‍රමණය වේද? උත්තරය නොදනිමි.

දීප්ති කුමාර ගුණරත්න         

ඔබේ අදහස කියන්න...