ඉතිහාසය හදාරන අයට අනුව ‛ඉතිහාසය’ ගැන නොදන්නවුන් කරන්නේ එය පුනරාවර්තනය කිරීම පමණි. මින් අදහස් වන්නේ ඉතිහාසය ගැන අවබෝධයක් ඇත්තවුන්ට එහි පුනරාවර්තය (යළි යළි එකම දේ විවිධ කාලයන් සහ පුද්ගලයන් මඟින් ආදේශ වීම) වැළැක්විය හැකි බවද? ඇත්තටම ඉතිහාසය පුනරාවර්තනය වනවා යනුවෙන් කරුණක් තිබේද? මෙවැනි කරුණක් ගැන විද්‍යාත්මක අවබෝධයක් අවශ්‍ය යැයි ඉතිහාසයට හොඳින් සංවේදී අය පවා නොසලකා හරින්නේ මන්ද? අපි මොහොතකට මෙහෙම හිතමු. ඉතිහාසය පුනරාවර්තනය වෙනවා, ඒක ස්ථිරයි. ඒ නිසාම ඒ ගැන විද්‍යාත්මක අවබෝධයකට යන්න පුළුවන්. නමුත් ඉතිහාසය තුළ පුනරාවර්තනය වන්නේ  කුමක්ද? සිදුවීම්ද? නැත.

පුනරාවර්තනය වන්නේ ව්‍යුහයයි (Structure). වෙනත් වචනවලින් කිව්වොත් ව්‍යුහය පුනරාවර්තනය වෙයි. ව්‍යුහය පුනරාවර්තනය වන විට සිදුවීම ද පුනරාවර්තනය වන බව දෘශ්‍යමාන වෙයි. නමුත් පුනරාවර්තනය විය හැක්කේ ව්‍යුහයට පමණි. ‛මව්බිම’ නම් පුවත්පත මේ වන විට දෙවරක් ප්‍රකාශයට පත් වී ඇත. පළමු සිදුවීම 2006. දෙවැන්න 2011. මේහිදී පුනරාවර්තනය වන්නේ ව්‍යුහය මිස සිදුවීම නොවේ. දැන් සිටින ‛මව්බිම’ මාධ්‍යවේදීන් යනු ඉතිහාසය පුනරාවර්තනය වන බව නොදන්නවුන්ය. අලුත් මාධ්‍යවේදීන්ට අනුව පත්තරය අලුත්ය. අත්දැකීම් නැවුම්ය. ස්ථානය අලුත්ය. ප්‍රධාන කර්තෘ අලුත්ය. නමුත් මේ කිසිවකු අවබෝධ කොටගෙන නැත්තේ ව්‍යුහය පරණ බවයි. කතාවේ නළු නිළියන් වෙනස්ය. කතාවේ ව්‍යුහය එකමය. සිංහබාහු නාට්‍යයේ සිංහයාට රඟපාන නළුවන් වෙනස්ය. සිංහයා නම් ව්‍යුහය වසර 50ක් පුනරාවර්තනය වෙයි.

ව්‍යුහය සහ අධිෂ්ඨානය-

ඉතිහාසය නම් යන්ත්‍රය කරකවන භූතයකු සිටිතැයි මුලින්ම විශ්වාස කරනු ලැබුවේ හේගල් විසින්ය. ඔහු ග්‍රීක සන්දර්භයක් තුළ හට ගත් ඊසොප්ගේ උපමා කතාවක් වන ‛රෝඩ්ස් මෙතැන, මෙතැනින් පනින්න!’ යන වාක්‍ය හරහා මිනිසෙකුගේ ශක්‍යතාවයේ සාර්වත්‍රික ස්වරූපය ‛රෝසමල මෙතැන, මෙතන නටන්න!’ යන ක්‍රිස්තියානි සන්දර්භය හරහා ලෞකික කළේය. මෙය ෆොයර්බාක් තිසීස හරහා කිව්වොත් මෙසේය. ව්‍යවහාරයේදී මිනිසා ඔහුගේ චින්තනයේ සත්‍යතාවය එනම් එහි ක්‍රියාශීලීභාවය, බලය හා ලෞකිකත්වය කළ යුතුය. වෙනත් වචනවලින් කිවහොත් ඔබේ කයිවාරුව ඔබ ඔප්පු කළ යුත්තේ ව්‍යවහාරය තුළ මේ දැන්ය.

ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධීන් සහ පෞරුෂත්වයන් දෙවරක් ඇති වන බව හේගල් ප්‍රකාශ කරා යැයි සමහරුන් දනියි. නමුත් කිසිවකු ඇසුවේ නැත්තේ ‛ඇයි හේගල් එහෙම කිව්වේ’ යන ප්‍රශ්නයයි. හේගල් මෙවැන්නක් ප්‍රකාශ කළේ ඛේදාන්ත නාටක (Tragedy) වල වෙනස් වූ සන්දර්භයක් සලකුණු කරන්නට ය. හේගල්ට අවශ්‍ය වුණා සම්භාව්‍ය ග්‍රීක ඛේදාන්ත නාටකවල ව්‍යුහය ෂේක්ස්පියර්ගේ ඛේදාන්ත නාටකවල ව්‍යුහයෙන් වෙනස් බව පෙන්වන්න. (ඇන්ටිගනී සහ හැම්ලට් අතර වෙනස) ශෝකාන්ත පිළිබඳ හේගල්ගේ න්‍යායට අනුව එකිනෙකට වෙනස් කාල සහ සිදුවීම් තුළ වුවත් එකම වර්ගයේ පෞරුෂයන් ඇති වන්නේ මන්ද යන්න පර්යේෂණ ගැටලුව විය. තමන්ගේ විනාශය අත ළඟ බව දැන දැනත් මිනිසුන් ඊටම පෙළඹෙන්නේ කුමන සදාචාරයක් තහවුරු කරන්නද? හේගල්ට අනුව ශෝකාන්ත නාටකවල ව්‍යුහය ග්‍රීකයන්ට වඩා ඉංග්‍රීසි ෂේක්ස්පියර් තුළ වෙනස් වී ඇත. ඇන්ටිගනී වැනි වීරවරියකට වඩා හැම්ලට් වැනි වීරයකු වෙනස් වන්නේ වීරයා තම අධිෂ්ඨානයේ බාධාව පළමු අවස්ථාවේදී තමන්ගෙන් පිටත රාජ්‍යය තුළ හඳුනා ගැනීමත් දෙවැනි අවස්ථාවේදී බාධාව (හේතුව) තමන් තුළින්ම හඳුනා ගැනීමත්ය. හේගල් දුටුවේ සදාචාරාත්මක වශයෙන් එකම ක්‍රියාවට පෙළඹෙන (එනම්, හොඳ – නරක වෙනුවෙන් නොව තම අභ්‍යන්තර නිදහස[Internal Free-ness/ethical-ස්වාර්ථය සහ ස්වාත්මය අතර ගැටුම] සඳහා සටන් කරන වීරයන් සහ වීරවරියන්) පුද්ගලයන් සහ සිදුවීම් පුනරාවර්තනය වීමට හැකි බවයි. ඒ අනුව ඔහු ඉතිහාසය ‛ආත්මය’ (Subject) සහ ‛ආශාවේ වස්තුව’ (Object) ලෙස බේද කරයි. හේගල්ට අනුව ඉතිහාසයට සාරයක්-Essence- පමණක් නොව අධිෂ්ඨානයක් ද -Subject-සලකුණු කළ හැක්කේ මේ නිසාය. ඉතිහාසයට යම් අරමුණක් ඇතැයි හේගල් කියන්නේ ද මේ තතු නිසාය. (මෙය පසුව මාක්ස් විසින් විවේචනය කළේය.) අද අප දන්නා පරිදි ඉතිහාසය හෙගල්ගේ අවබෝධයට වෙනස්ව චලනය වන්නේ නිදහස වටා නොව වේදනාව වටාය.

නූතන උදාහරණ

අප බොහෝ දෙනෙක් දන්නා සහ ජනප්‍රිය ලෙස ඔහේ වහරන උද්ධෘත පාඨයක් හඳුන්වා දෙමු. මෙය කාල් මාක්ස් විසින් කරන ලද්දකි.

“ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධීන් සහ පෞරුෂයන් දෙවරක් ඇති වන බව කිව හැකිය. එය හේගල්ගේ අදහසකි. එහෙත් ඔහුට මෙලෙස එකතු කිරීමට අමතක විය. එනම්, ඒවා ඇති වන්නේ ප්‍රථමවර ශෝකාන්තයක් ලෙසත් දෙවැනිවර හාස්‍ය ජනකයක් ලෙසිනි.”

“මිනිස්සු ස්වකීය ඉතිහාසය නිර්මාණය කරති. එහෙත් ඔවුන් එසේ කරන්නේ ඔවුන්ට රිසි පරිදි නොවේ. ඔවුන් විසින් තෝරාගත් තත්ත්වයන් යටතේ ඔවුහු එය නිර්මාණය නොකරති. ඔවුන් ඉදිරියේ පවතින; ඔවුනට ලැබී ඇති සහ අතීතයෙන් සංක්‍රමණය වූ තත්ත්වයන් යටතේය, ඔවුන් නිර්මාණය කරන්නේ. මියගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත් වන්නවුන්ගේ හිස් මොළය තුළ නපුරු සිහිනයක් සේ දිස්වෙයි.”

ඉහත උද්ධෘතය හරහා අප වටහා ගත යුත්තේ මාක්ස් තීක්ෂණ ලෙස ‛ව්‍යුහය’ පුනරාවර්තනය වන ආකාරය අවබෝධ කරගෙන සිටින ආකාරයයි. නමුත් මාක්ස් ‛ඉතිහාසය’ දෙස නැරඹුම් හෙලන්නේ වර්ධනයේ අවදි ලෙස මිස පුනරාවර්තනයේ විෂයක්Painful Subject-ලෙස නොවේ. නමුත් ඔහුට මෙම පුනරාවර්තනය පිළිබඳ ගැටලුව මුණ ගැසී ඇත. 18 වන බෲමරය නම් නිබන්ධනය තුළ ප්‍රංශ විප්ලවයේ පුනරාවර්තනය තුළ සිදුවීම් සහ ඓතිහාසික චරිත පුනරාවර්තනය වන ආකාරය පහදයි. 1789 සිදුවීම් යළි 1848 දී පුනරාවර්තනය වෙයි. නැපෝලියන් වෙනුවට ලුයි බොනපාට් පුනරාවර්තනය වෙයි. රෝම විප්ලවය යළි ප්‍රංශ විප්ලවය මඟින් පුනරාවර්තනය වෙයි.

හේගල් තම ‛ඉතිහාසයේ දර්ශනය’ නම් කෘතිය තුළ කළ සඳහනක් මාක්ස් උපුටා දක්වයි. ‛පළමු අවස්ථාවේ අහම්බයකින් සේ සිදුවන දෙයක් දෙවන වර සැබෑවක් (Real) ලෙස පුනරාවර්තනය වෙයි.’ හේගල් ඉන් අදහස් කරන්නේ අධිරාජ්‍යයකු වීමට යන ක්‍රියාවලිය තුළ සීසර් මැරුම් කන අතර ඔක්ටාවියන් අධිරාජ්‍යයා වෙයි. තවදුරටත් රෝමයට නගර – රාජ්‍යයක් ලෙස ප්‍රසාරණය වීමට නොහැකි තැන සීසර් එය අධිරාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරයි. ජනරජය ආරක්ෂා කිරීමට කැප වන අය අතින් ඔහු මිය යයි. කෙසේ වෙතත් සීසර්ගේ ඝාතනය සමඟ මනෝරාජිකව තිබූ අදහසක් වූ රෝමය අධිරාජ්‍යයක් වීම සියලු රෝම වැසියන් අනිවාර්ය යථාර්ථයක් ලෙස පිළිගත්තේය. සීසර් අධිරාජ්‍යයකු නොවූවාට ඔහුගේ ‛නම’ අධිරාජ්‍යයා සඳහා ආදේශ විය. මාක්ස්ගේ පුනරාවර්තනය පිළිබඳ න්‍යායට නියම අදහස එන්නේ මෙැතැනිනි.

1789 දී ප්‍රංශ විප්ලවය මඟින් එහි රජතුමා ඝාතනයට ලක් වෙයි. ඉන්පසු නැපෝලියන් අධිරාජ්‍යයෙක් බවට ජනරජය තුළ පත්වීමට මහජනයාගේ අනුමැතිය බලාපොරොත්තු වෙයි. මෙම තත්ත්වයට ෆ්‍රොයිඩියානු අදහසක් යෝජනා කළ හැක. එනම් මර්දනය කළ දෙය වෙනත් ආකාරයකට යළි ප්‍රාදූර්භූත වීමය. මහජනයා ‛රජතුමා’ ඝාතනය කළ මුත් යළි අධිරාජ්‍යයා පැමිණියේම රජතුමා ඝාතනය කළ ස්ථානයෙන්මය. ඒ අනුව සීසර්ගේ සිදුවීම ලෝකයේ වෙනත් තැන්වල වෙනත් කාලවල වෙනත් පුද්ගල නාම සහිතව පුනරාවර්තනය විය හැක.

Deepthi

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “හේගල් තම ‛ඉතිහාසයේ දර්ශනය’ නම් කෘතිය තුළ කළ සඳහනක් මාක්ස් උපුටා දක්වයි” දිප්ති මහතා විසින් ඉහත සදහන් කරන ලද කොටස, මෙ ආකාරයෙන් නිවැරැදි විය යුතුය යන්න කාරැනිකව සදහන් කිරිමට කැමතියි එනමි “හෙගල් තම ‘ඉතිහාසයේ දර්ශනය’ යන පාඩම් මාලාව තුල” යනුවෙන්. මක්නිසාද යත් හෙගල් විසින් “ඉතිහාසයේ දර්ශනය යනුවෙන් කිසිම කෘතියක් පළ කර නැත ඔහු විසින් වර්ශ 1822 සිට ඔහු මියගිය වසර එනම් 1831 දක්වා එවකට ඔහු සේවය කරන ලද විශ්ව විද්‍යාලයේදි(Berlin University)ඉතිහාසය සමිබන්ධයෙන්(The lessons on the philosophy of history) කරන ලද පාඩම් මාලා 5 ක් එකට එකතු කර ඔහුගේ මරනින් පසුව ඔහුගෙ සිසුන් විසින් “posthumous” කෘතියක් ලෙස පල කරන ලදි.

Comments are closed.