බොබී පෙරුගේ මාධ්‍ය ආචාර ධර්ම

‘මුදල් ලොන්ඩරීකරණ පත්තර’ යන හිසින් ‘රාවය’ පුවත්පතේ 2016.03.13 වන දින 6 වන පිටුවේ පළ වූ තීරු ලිපිය එහි කතුවරයා වූ තිවංක වෙන් කර තිබුණේ ඔහුගේ දැක්මට අනුව මාධ්‍ය පිළිබඳ හොඳ/නරක විනිශ්චයක් කරන්නටය.
 
‘රාවය’ පුවත්පත යනු ඉතා බොළඳ මනසකට අනුව ලිබරල් (මින් අදහස් වන්නේ කුමක්ද යන්න ගැන එහි කතුවරයාට ද අදහසක් නැත.) පුවත්පතකි. නමුත් නිශ්චිත පන්ති විග‍්‍රහයකට අනුව විශ්ලේෂණයක් කරන්නේ නම් ‘රාවය’ යනු මැද පාන්තික පුවත්පතකි. විටින් විට එහි සතුරන් – මිතුරන් තීරණය වන්නේ බාහිර ලෝකය සමඟ පුවත්පත දක්වන, චලනය වන සුලූ මනෝභාවයට අනුවය. සාමාන්‍යයෙන් ‘රාවය’ මීට පෙර මෙතරම් දුරට විහිදී යන ලෙස වෙනත් පුවත්පත්වල ආර්ථික මූලයන් කරා ගමන් කර නැත.
 
තීරු ලිපි රචක තිවංක පුවත්පතක් පවත්වාගෙන යා යුතු සම්මත ආර්ථික මොඩලයක් අපට පෙන්වා දෙයි. එහි පරමාදර්ශයක් ලෙස ඔහු ‘ලංකාදීප’ පුවත්පත නිදර්ශනය කරයි. නමුත් අද මේ තත්ත්වයට පැමිණි ‘ලංකාදීප’ යනු ජේ.ආර්. යුගයේ දී මහවැලි ව්‍යාපෘතියෙන් ස්කන්සා කොටස රංජිත් විජේවර්ධනට හිමිවීම නිසා හටගත් අංකුරයකි. ලංකාවේ ජේ.ආර්. ගෙන් පසු පහළ වූ සෑම ජනාධිපතිවරයෙක්ම තම හිතමිතුරන්ට සහ ඥාතීන්ට හොඳින් සලකා සමහර අයට විද්‍යුත් තරංග බලපත‍්‍ර පවා ලබා දුන්නේය. මේ තත්ත්වය තුළ තිවංකගේ මාධ්‍යවලට අදාළ ප‍්‍රාග්ධනය පිරිසිදු හෝ පූජනීය නැත. එවැන්නක් ධනේශ්වර සමාජයක් තුළ හට ගැනීමට ද ඉඩක් නැත. තිවංක නීතිඥයකු නිසා අවශ්‍ය නම් ප‍්‍රාග්ධනය නීතියට එකඟ සහ නීති විරෝධී ලෙස බෙදිය හැකිය. එසේ වුවත් ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත.
 
ශ‍්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය තුළ මූලික වශයෙන් පුවත්පත් වර්ග දෙකක් එහි විය. එකක් සාම්ප‍්‍රදායික පත්තර කලාවයි. දෙවැන්න ටැබ්ලොයිඞ් වර්ගයේ විකල්ප පුවත්පත්ය. මේ වර්ග දෙක අතර මාධ්‍යමය වෙනසක් නැති අතර ඇත්තේ ආකෘතිමය වෙනසකි. ටැබ්ලොයිඞ් යනු සර්වාධිකාරී පාලන – තන්ත‍්‍රයක් බිහි වූ විට හට ගන්නා සමාජ ප‍්‍රපංචයකි. ‘යුක්තිය’ සහ ‘රාවය’ යනු එවන් ප‍්‍රපංච දෙකකි. මේවායේ අරමුණ ප‍්‍රධාන ධාරාවෙන් පිටත මතවාදය මෙහෙයවීමයි. මීට අමතරව දේශපාලන පක්ෂවලට ද විවිධ පුවත්පත් ඇත. ඒවා එම පක්ෂවලට අභ්‍යන්තරිකය.
 
තිවංකගේ අදාළ කොලම කියවූ විට මට හැඟී ගියේ එය අලූතින් හටගෙන ඇති පුවත්පත් ප‍්‍රපංචයක් වටහා ගැනීමට ඥානවිභාගයක් නැතිකම තුළ ඇති වූ මතිභ‍්‍රමයක් ලෙසිනි. ‘මව්බිම’ හෝ ඊට පසු ඇති වූ බොහෝ පුවත්පත් ආරම්භ කළේ ‘ප‍්‍රාග්ධනය’ (Capital) පැත්තෙනි. ලංකාවේ දේශපාලන සංස්කෘතියට පොදුවේත්, වාමාංශික සංස්කෘතියට සුවිශේෂවත් මෙම ‘ප‍්‍රාග්ධනය’ විසින් නිපදවන ලද මාධ්‍ය අවකාශය නුහුරුය; නුපුරුදුය. ඔවුන් දන්නේ මහජනයා සංවිධානය වී නිර්මාණය කරන පුවත්පත්ය. උදා – හිරු. මේ හේතුව නිසා වාමාංශික පැරණි ගතිසිරිත් ඇති සිතක් ප‍්‍රාග්ධනය විසින් සංවිධානය කරනු ලබන පුවත්පතක් ගැන දරන්නේ විපරීත ආකල්පයකි. ‘ප‍්‍රාග්ධනය’ ගැන ඔවුනට කොහොමටත් ඇත්තේ අපුලකි; අවුලකි. කුමන්ත‍්‍රණ න්‍යායකි. තිවංකගේ ප‍්‍රමිතිගත, අවංක පත්තරය වූ ලංකාදීපය ද සංවිධානය කරන්නේ ප‍්‍රාග්ධනයයි. දැන් මෙතැන අපට විරුද්ධාභාසයක් හට ගනියි. තිවංකට අනුව එක ප‍්‍රාග්ධනයක් (රංජිත් විජේවර්ධන) හොඳ වන අතර අනෙක එනම් සත්හඬ ප‍්‍රාග්ධනය (රුවන්) නරකය; සැකකටයුතුය; කුමන්ත‍්‍රණකාරීය. හරියට වේලාවට වැටුප් ගෙවන්නේ නැත. පඩි සල්ලි එන්නේ කොහේ සිටදැයි නොදනියි. නමුත් ‘ලංකාදීප’ ප‍්‍රාග්ධනය තම සේවකයන්ට නිසි වෙලාවට සාධාරණ වැටුපක් ගෙවයි; ඔවුනගේ ජීවන තත්ත්වය උසස්ය; ඔවුනගේ වෘත්තීය ජීවිතය සුරක්ෂිතය. කතාව මේ හරියට එන විට මුළු කතාව බයිලා මට්ටමට රැගෙන යා හැකිය. ‘රාවය’ මාධ්‍යවේදියාට ප‍්‍රාග්ධනය ලබා දෙන කෙනා එම මුදල්වල තම අත්සන් දමා ඇතිවාට සැක නැත. රජයේ දැන්වීම් පුවත්පත්වලට ලබා දෙන විට ඒවා ලබා දෙන්නේ කැටයක් හෙළවීමෙන් අනතුරුව ඉතාම සාධාරණ ක‍්‍රමයකට අනුව විය හැකිය. මෙතරම් දුරට මෙම කරුණු ගැන ලීවේ එක කරුණක් ඔප්පු කිරීමටය. එනම් පුවත්පත්වලට යහපත් ලෙස මුදල් ලැබීම පිළිබඳව වාස්තවික විග‍්‍රහයක් තිබිය නොහැකිය. සෑම කෙනෙක්ම කිසියම් ආත්මීය කරුණක් නිසා මෙම කරුණු තමන්ට අභිමත අයුරින් විකාර කරනු ලැබේ. ඊළඟට ජනමාධ්‍ය මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික, වෙබ් ලෙස බෙදීම ද විකාරසහගතය. මේ සියල්ලටම ඇත්තේ එක පොදු ආකෘතියකි. එනම් තමන් නොදන්නා අනෙකෙකුට ඔට්ටු ඇල්ලීමයි. මෙය වෙබ් කරා යන විට හිස්ටරික තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි.
 
දැන් අපි මාධ්‍යවලට ප‍්‍රාග්ධනය ආයෝජනය කරන ප‍්‍රාග්ධන හිමියන් වර්ග දෙකක් හඳුනා ගත්තෙමු. එක වර්ගයක් තිවංකට අනුව යහපත්ය. ඒ රංජිත් විජේවර්ධනය. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විග‍්‍රහයට අනුව රංජිත් විජේවර්ධන (සහ යූඑන්පී නායකයන්) කොම්ප‍්‍රදෝරු ධනපතියන්ය. ඔවුන්ට සමාජ වෙනසක් අවශ්‍ය නැත. අවශ්‍ය පන්ති සාමයක්ය. අනෙක් ප‍්‍රාග්ධන හිමියන් ජාතික ධනපතියන්ය. ඔවුන් තිවංකගේ විග‍්‍රහයට අනුව (අමරසේකරගේ යෙදුමට අනුව) තුප්පහියන්ය. තුප්පහියන්ට අවශ්‍ය රටේ සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ කර දේශපාලන සාමය අවුල් කරන්නටය. තිවංක ගැමියාගේ ලෝක දැක්ම එසේය. ඔහු පදවන්නේ Toyota මෝටර් රථයක් වුවත්, ගත කරන්නේ පශ්චාත් – නූතන ජීවිතයක් වුවත් සිතින් ජීවත් වන්නේ ගමේ වෙල් ඉපනැල්ලේය.
 
මෙච්චර වෙලා අපි ලිව්වේ කවුරුත් දන්න දේ. සරලව කිව්වොත් සංකේත යථාර්ථය. දැන් අපි මෙහෙම ප‍්‍රශ්නයක් අහමු. තමන්ගෙ දෛනික ජීවිතයේ උදාසීන කෙනෙක්, එකපාරටම තමන්ගේ අනෙකා ගැන මෙවැනි මතිභ‍්‍රමයක් (සමස්තයක් – ඒ අසීමිත සල්ලි එන්නෙ කොහෙන්ද? කාගෙන්ද? – හැරී ජයවර්ධනට සල්ලි එන විදිහ අප දන්නවා. කෙහෙන්ද? කාගෙන්ද? කියලා. එනිසා ඒක බිය වෙන්න කාරණයක් නෙවී) ගොඩනගන්නෙ? ෆ්‍රෙඩ්රික් ජෙම්සන්ගේ භාෂාවට අනුව කිව්වොත් ‘තිවංකට’ නූතන ගෝලීය ධනවාදය තුළ ප‍්‍රාග්ධනය කි‍්‍රයාකාරී වෙන විදිය ගැන ‘සංජානන සිතියමක්’ නැහැ. එම හිස් තැන පුරවන්නෙ තේ කෝප්පයේ කිඹුලන් දැකීමෙන්.
 
තිවංකගේ ලිවීම තුළ සැඟවී යන අවිඥානික ආශාව කුමක්ද? ඔහුගේ වියමන තුළ නැති මේ හිස් තැන පාදා ගන්න අවශ්‍ය වාක්‍යය කුමක්ද? (ඔහුගේ ආත්මීය ස්ථාවරය – අනෙකා ගැන තමාට සමීපව සදාචාර විනිශ්චය)
 
‘මේ මාධ්‍යවල විප්ලවවාදීන් තමන්ට පඩි ලැබෙන්නේ කොහෙන්දැයි’ යි නොසොයා, නොබලා, සමහරවිට දැනගෙන නොදත් සේ රටේ වැරැදි ගැන කතා කරමින් සිටිති.’’
 
තමන්ගේ දෛනික නිල සහ ගෘහ ජීවිතය තුළ අංශුමාත‍්‍රයක වටිනාකමක් නොදෙන විප්ලවවාදීන් ගැන, සමාජය ගැන මවන ෆැන්ටසිවල දී ස්වයං – බාධාවක් ලෙස  තිවංක සලකන්නේ මන්ද? අනෙකාව ලැජ්ජාවට පත් කර ස්වයං – වින්දනයක් ලැබීම තිවංකගේත්, සමකාලීන බොහෝ රැඩිකල් වාමාංශිකයන්ගේත් අවිඥානික ආශාවයි.
 
ඩේවිඩ් ලින්ච්ගේ Wild at Heart චිත‍්‍රපටයේ ලූලා නම් මැදපාන්තික තරුණ කාන්තාව සිටින කාමරයට මුත‍්‍රා අඩස්සියක් නිසා අහම්බයෙන් සහ ඊට සමගාමීව බලහත්කාරයෙන් ඇතුල් වන පාදඩයෙක් වන බොබී පෙරු නම් චරිතය ලූලාට මෙසේ මාරාන්තිකව තර්ජනය කරයි. ‘‘කියපන් Fuck me කියලා, නැත්නම් තෝව මරනව!’’ බියෙන් සලිත වී යන ඇය මහත් අපහසුවෙන් එම වදන් උච්චාරණය කරයි. ඉන්පසු සැහැල්ලූවෙන් සිනහා වන බොබී පෙරු මෙසේ කියයි. ‘‘බොහෝම ස්තුතියි. දැන් බැහැ. පසුව විවේකයක දී කරමු.’’ නමුත් මෙතැන දී ඩේවිඩ් ලින්ච් අපට අමතර දර්ශනයක් පෙන්වයි. ඇගේ අත්දරදඬු වී කකුල් ගැහෙන්නට පටන් ගන්නා අතර එමඟින් ප‍්‍රකාශ වන්නේ පෙරුගේ ඉල්ලීමට අදාළ ෆැන්ටසිය බාහිරව විවෘත වීමයි. එනම් ඇගේ ලිංගික ෆැන්ටසිය විවෘතව බාහිරට පෙනී යාමයි. නමුත් විනීත ලෙස පෙරු විසින් ‘දැන් බැහැ. පසුව කරමු.’ යැයි කියන විට සැබැවින්ම දූෂණය වූවාටත් වඩා කෲර ලෙස ඇයව දූෂණය වෙයි.
 
සැබෑ ජීවිතයේ දී වැදගත් ඇඳුම් ඇඳගත් වැදගත් මධ්‍යම පාන්තිකයකු ලෙස හැසිරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, යහපත් ආණ්ඩු ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින තිවංක අවිඥානිකව ආශා කරන්නේ තම අනෙකාව බොබී පෙරු මෙන් දූෂණයට පොලඹවා පසුව විනීතව එය ප‍්‍රතික්ෂේප කිරීමටය. තම සැබෑ ජීවිතයේ තම සමීප අනෙකුන්ව වරෙක සමීපව ඇසුරු කරන බව හඟවා, රවට්ටා පසුව එම අනෙකා තමා සමීපයට පැමිණි විට උදාසීනව එය නොසලකා හරින තිවංක එම සබඳතා සමීප බව දැනගෙන නොදත් සේ ජීවත් වෙයි. කොටින්ම තිවංකට මුළුමහත් සමාජ අනන්‍යතා පද්ධතිය සමඟම ඇත්තේ යම්කිසි පරතරයක් (Gap) තබාගෙන ජීවත් වීමකි. එම පරතරය නිසා තම අනෙකා වේදනාවට පත් වන බව හොඳින් දන්නා ඔහු එය නොදත් සේ හැසිරෙයි. එමඟින් කෲර වේදනාත්මක සතුටක් ලබයි. ‘රාවය’ පුවත්පත යනු සාද්ගේ චැරින්ටන් සායනයක් වී ඇත්තේ මේ නිසාය. තිවංකගේ මිනිස් ඇසුර නරුමවාදී වීමට වඩා නූතනය. එය Default ඇසුරකි. ඇසුර පැහැර හැරීම නිසා ඉතිරි වන ‘ඇසුර’ ඇසුරක් ලෙස අනෙකාට බාර ගැනීමට සිදු වෙයි. මිනිසුන්ට තම දුරකථන අංකය දී පසුව එයට කෙනෙකු කතා කළ විට ඊට පිළිතුරු නොදී වේගයෙන් තනිවම සිනහා වන ඔහු , අනෙකාව නින්දාවට පත් කර සතුටු වෙයි. මෙය ඔහුගේ අවිඥානික ෆැන්ටසියයි. එම ෆැන්ටසිය මඟින් ඔහු ඔහුගේ ආශාවේ සැබෑව මඟ හරියි. ඔහුගේ මෙම දෘෂ්ටිවාදී ෆැන්ටසිය සහ නිශාචර පුවත්පත් අතර ඇත්තේ විසම්බන්ධයකි. සබඳ අපි මාධ්‍යකරුවන් නොවෙමු. අප ගොම්මනේ දඩයම් කරන බස්සන්ය. හෝල්ඩරීන්ගේ කවියක් මතකයට නගමු. ‘අනතුර තිබෙන්නේ කොහේද? එයම අපගේ නැග්මට පාදක වෙයි.’ රංජිත් විජේවර්ධනට වඩා අපගේ ප‍්‍රාග්ධන හිමියන් භයානකය. නමුත් අප වැනි පාදඩයන්ගේ ඉදිරි ගමන වැටී ඇත්තේ ද එතැනිනි. මේ අර්ථයෙන් ඔබගේ සාරධර්ම විනිශ්චය අපට ගැළපෙන්නේ නැත. අපව ලැජ්ජා කිරීමට තරම් ඔබ එඩිතර නැත. මන්දයත් පත්තර රස්සාව ඔබට කැපවීමක් නොව කාලය මරාදැමීමක් වන නිසාය.
 
– දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...