ෆ්‍රාන්ක් කෆ්කා ගේ Metamorphosis නමැති කෙටි නවකතාව කේ.ජී. කරුණාතිලක 1997 දී රූප විපර්යාසය යනුවෙන් මුල්වරට සිංහලට පරිවර්තනය කළේය. ටෙනිසන් පෙ‍රේරා රූපාන්තරණය ලෙස එය දෙවන වරටත් සිංහලයට පෙරළයි. එමතුදු නොව කෆ්කා දැන් සිංහල සිනමාවට ද නැගී ඇත. එරික් ඉලයප්ආරච්චි තිර පිටපත ලියා ධර්මසේන පතිරාජගේ අලුත්ම සිනමා නිර්මාණය ලෙස එළි දකින ස්වරූප චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දිනෙක ජර්මන් ගතේ මධ්‍යස්ථානයේදී එළි දැක්විනි. සමාවන්න, පොතක් පිළිබඳ ලියැවෙන සාහිත්‍ය විචාර තීරු ලිපියක සිනමා පටයක් ගැන ලියන බවක් කීවේ කව්ද?

කෆ්කා ගේ මෙම කෙටි නවකතාව ආරම්භ වන්නේ එහි එන ග්‍රෙහරි සම්සා නමැති චරිතය එක්තරා උදෑසනක අවදිවන විට නිදි ඇඳ මතම කිසියම් රූපාන්තරණයකට ලක්ව සිටින බව දැන ගනිමිනි. කේ.ජී. කරුණාතිලක එක්වරක් පරිවර්තනය කර තිබූ මෙම කතාව දෙවන වරටත් සිංහලයට නගන්නට ටෙනිසන් පෙරේරාට සිත් දෙන්නේ හම්සා කවර සතකු බවට පත් වූයේද යන ගැටලුවයි. කරුණාතිලක හම්සාගේ රූපාන්තරණය කැරපොත්තකු ලෙස දැකීම නිවැරැදි නොවන බව පැවසීමට ටෙනිසන් සරණ යන්නේ ඔහු භාවිතා කළ ඉංග්‍රිසි පරිවර්තනයේ එම සත්වයා a Monstrous Vermin යනුවෙන් දක්වා තිබීමය. මේ නිසා ටෙනිසන්ට අනුව හම්සා අපරූපී සතෙකු බවට රූපාන්තරණය වී ඇත!

එහෙත් 2002 දී මෙය ඉංග්‍රිසියට නගන රිචඩ් ස්ටෝක්ස් (Richard Stokes) සාම්සා මුහුණ දෙන එම බියකරු අත්දැකීම ඉංග්‍රිසියට නගා තිබුණේ පහත සඳහන් පරිදි ය.

“When Gregor Samsa woke one morning from uneasy dreams he found himself transformed in his bed into a monstrous insect.” (අවධාරණය මවිසිනි.)

මෙහි insect යනු කෘමියෙකි. ටෙනිසන්ට ලැබුණ ඉංග්‍රිසි පරිවර්තනයේ vermin යනු පණුවකු විය හැක. ප්‍රශ්නය නම් සම්සා රූපාන්තරණය වූයේ කෘමියකු, පණුවකු හෝ කැරපොත්තකු ආදී කොට ගත් කවර වූ සත්වයකු ලෙසට ද යන්න නොවේ. ග්‍රෙගරි සම්සා ට උදෑසන තමාගේ රැකියාව ඇතුළු එදිනෙදා කටයුතුවලට පිටත්ව යා නොහැකි ලෙස බාධාවක් නිර්මාණය වී තිබුණ බව මෙහි වැදගත් කරුණයි. කෆ්කා මින් නිරූපණය කළේ නූතනවාදී යුගයේ මිනිසාගේ පැවැත්මේ ගැටලුවයි. බාධාව වූ කලී ඔහුගේ ම නිර්මාණයකි.

මිලාන් කුන්දේරා පරසක්වල ගසන කරුණක් නම් කෆ්කා ගේ නවකතා සහ කෙටිකතාවල එන චරිත හුදෙකලාව අගය කළ බවයි. බොහෝ දෙනෙකු සිතුවේ කෆ්කා ලියුවේ හුදකලාවේ සාපය ගැන බවය. එහෙත් ඇත්තටම නම් කෆ්කා ග්‍රස්තිමය ලෙස (obsessional) පීඩාවට පත් කළ එකම කරුණ හුදකලාව හිංසාවට ලක්ව තිබීමය. අන්තිමේදී මිලාන් කුන්දේරා ඉතා අසාධාරණ ලෙස කෆ්කා අදේශපාලනික චරිතයක් ලෙස හංවඩු ගසන්නේ ද මිනිස් පැවැත්ම විස්තර කිරීමේදී අනු දත් මෙම කෆ්කානු ශෛලිය වරදවා කියවීමෙනි.

සැබවින් ම කෆ්කාගේ (අ) දේශපාලනය ස්ථානගත වන්නේ නූතනවාදය (Modernism) තුළය; ඔහු ගේ නවකතාවල වීරයින් බොහෝ විට බුද්ධිමතාගේ ප්‍රක්ෂේපණයක් විය. එහෙත් Metamorphosis හි (රූපාන්තරණය) එන ග්‍රෙගරි සම්සා ඊට වෙනස් චරිතයකි. උදෑසන අවදිවන විට කුරුමිණියකු පණුවකු කැරපොත්තකු හෝ වෙන මොන විදියේ අපරූපී සතකු බවට පත්ව සිටි සම්සාට වැදගත් වූයේ එකම දෙයක් පමණකි. එනම් මේ අලුත් ස්වභාවයෙන් කාර්යාලයට යන්නේ කෙසේ ද? යන්නය. සම්සා යනු තම වෘත්තිය විසින් පුරුදු පුහුණු කරනු ලැබූ කීකරුකම සහ විනය හිස් මුදුනින් ගත් සේවකයෙකි.

නූතනවාදී කාර්යාල සේවකයා එකම මිනිස් වික්‍රමය (adventure) ‍ලෙස ගන්නේ කාර්යාලයෙන් කාර්යාලයට මාරුවී යාම පමණකි. ඔහුගේ කාර්යාල ජීවිතය ඒකාකාරිය. මාරුවීමක් නොලැබෙන කාර්යාල කාර්ය සහයකයකු ගේ මැසිවිල්ලක් හෙන්රි ජයසේනගේ ජනේලය නාට්‍යයේ මෙසේ කියවේ.

“මේක තමයි කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව
මෙතැන තමයි කයිවාරුව
මට විතරක් නැති මාරුව”

ඉන් පෙන්නුම් කරන්නේ කාර්යාල ජීවිතයේ එකම වික්‍රමය වන්නේ ස්ථාන මාරුවීම් බවයි. කීකරුකම, යාන්ත්‍රික සේ ම වියුක්ත වූ මෙම ලෝකය තුළ නවකතාවක් ස්ථාන ගත කිරීම බැලූ බැල්මට වීර කාව්‍යයේ (epie) හරහට එරෙහිව යන්නකි. එබඳු මළානික ප්‍රතිකාව්‍යාත්මක දේවල් සිත් බඳින නවකතා බවට පත් කිරීමට කෆ්කාට හැකි වුණේ කෙසේ ද?

කෆ්කා ලියන්නේ නූතනවාදී කාර්යාල ජීවිතය ගැනය. රාජකාරියටම බැඳුන සම්සා ඒකාකාරි වූ රැකියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සඳහා බාධාවක් තමාම නිර්මාණය කරයි. හෙන්රි ගේ කාර්යාල කාර්ය සහයකයා මෙන් ඉරණම ඒ ආකාරයෙන් බාර ගැනීමට ඔහු සූදානම් නැත. කෙසේ වෙතත් ඔහු ගැටෙන්නේ නූතනවාදී සමාජය තුළ පැවති විනය ගත දෛනික පැවැත්ම සමඟය.

එහෙත් පසු – ධනවාදී සංස්කෘතික සන්දර්භය තුළ කාර්යාල සේවකයා වෙත එම විනය ගත බව දක්නට නැත. පශ්චාත් – නූතන කාර්යාල ‍සේවකයා තම රාජකාරිය දේව කාරියක් කර ගත්තෙක් නොවේ. හැකි නම් ඔහු කාර්යාලයක් කිසිවකුට විකුණා ගනු ඇත. ෆ්‍රාන්කා කෆ්කා යනු නූතනවාදී සමාජ දැක්මේ දරුවකු ලෙස අප හඳුනා ගත්තේ එපරිදිය. කෆ්කානු ලෝකය තුළ කාර්යාලය යනු අරුමැසි විෂය ප්‍රදේශයකි.

අපට පෙනී යන පරිදි මිලාන් කුන්දේරා කෆ්කානු යන්න ගන්නේ නිලධාරිවාදයේ නිර්දය විවේචනයක් ලෙසය. එය කුන්දේරාගේ පුද්ගලික අමිහිරි අත්දැකීම් සමඟ සමපාවත වන අතර ඔහුගේ අතිශය පුද්ගලවාදය තුළ කෆ්කා කොටු කරයි. කෆ්කානු යන්නෙහි අරුත නම් සමාජ යථාර්ථය ෆැන්ටසිමය ස්වරූපයෙන් ක්‍රියාත්මක වීම පෙන්වා සිටීමත් ලෙස දැකීමට කුන්දේරා අසමත් වේ.

කෙසේ වෙතත් කෆ්කානු බව යන්න පුද්ගලික හෝ පොදු විෂය පථ එකකට සීමා වී නැති බව පිළිගැනීමට අන්තිමේදි කුන්දේරාට සිදුවේ. පොදු (Public) වනාහී පුද්ගලික (Private) බවෙහි කැඩපත වන විට පුද්ගලික බව තුළම පොදු බව ප්‍රතිබිම්බනය වේ. එබැවින් කෆ්කා අදේශපාලනික යයි පවසන කුන්දේරියානු මතය අසරණය. කෆ්කාගේ Metamorphosis (රූපාන්තරණය) යනු ග්‍රෙගරි සම්සා ගේ ආත්මීය ප්‍රකාශනයක් පමණක් නොවේය. එම අර්ථයෙන් එය වූ කලී නූතනවාදී සමාජය පිළිබඳ අතිශය දේශපාලනික කියවීමක් බවට පත්වේ.

(ටෙනිසන් පෙරේරා ගේ පරිවර්තනයට කෆ්කා පිළිබඳ මා ලියූ පෙරවදන ඇසුරු කොට ගැනිනි. මෙය එහි සම්පූර්ණ පෙළ නොවන බව සලකන්න.)

සමන් වික්‍රමාරච්චි

Silumina

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මේ තමුන්නහෙලා නොදන්නා සීන් එකක් මෙතන තියනවා. වංගීසයට ඕන කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන පීඨයක් පටන් ගන්න. මේ කර්තව්‍ය සඳහා මෑන් තමන්ගේ වටේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් සෙට් කරගෙන ඉන්නවා. උන්ට මෑන් කියල තියෙන්නේ පේරාදෙණියේ තියන එකෙන් වැඩක් නැහැ කොළඹ තමයි කේන්ද්‍රය ( කලක් මේ කොළඹ සන්නිය දීපිටත් තදින්ම වැළඳිලා තිබුනා. හැබැයි දැනුත් නැතුවම නොවෙයි ), පේරාදෙණියේ දර්ශන පීඨය කියන්නේ බෝඩ් ලෑල්ලක් විතරයි කියලා. ඉතින් උන්ට අනුව පේරාදෙණියේ ඉන්න එකෙක්වත් උන් තරම් දර්ශනය දන්නේ නැතිලු. නිර්මාල් දෙවසිරිත් වැඩේට සෙට් වෙලා. මිනිහගෙත් මේ පිලිබඳ අදහස තමයි ලංකාවේ “සමාජවාදය” ගොඩනගන්න නම් කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන පීඨයක් පටන් ගන්නම ඕන කියන එක. අන්න ඒක කරගන්න ඕන නිසා තමයි මෑන් දැන් මාදුළුවාවේ සොබිතයා රටේ ලොක්කා කරන්න ට්‍රයි කරන්නේ. කොච්චර ජාතිවාදියෙක් උනත් අධ්‍යාපනය නගා සිටුවනවා නම් ඒක තමයිලු වැඩේ. එකෙන් පස්සේ නිකන්ම ජාතිවාදය ඉවර වෙනවාලු. වැඩේට ජෙප්පෝ සහ විමල්ලා සෙට් වෙන එකට නිර්මාල් දේවසිරි තදින්ම විරුද්ධ වෙන්නෙත් ඔය නිසාමයි. මොකද ජෙප්පෝ, විමල් ,චම්පිකලා සෙට් උනොත් නිර්මාල්ට මදුලුවවේගේ උපදේශක වෙලා ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවන්න බැරි වෙනවා. එතකොට දර්ශන පීඨයක් කොළොඹ විශ්ව විද්‍යාලයේ පටන් ගන්නත් බැරි වෙනවා.
    දැන් මේ සීන් එකේ කුමුදු කුසුම් කුමාරගේ පාට් එක මොකක්ද කියල බලමුකෝ. මෑන් තමයි දර්ශන පීඨයේ ලොක්කා වෙන්න ඉන්නේ. තාම නිල වශයෙන් ආරම්භ නොකලාට කොළඹ විශ්ව විද්‍යාලයේ නිල නොවන දර්ශන පීඨයක් දැනුත් පවත්වාගෙන යනවා. ඒකේ ලොක්ක තමයි කුමුදු කුසුම් කුමාර, දෙවනියා වංගීස, නිර්මාල් දේවසිරි තමයි එකේ තෝමස් හොබ්ස්ගේ දර්ශනය ගැන දේශනා දෙන්නේ.
    තෝමස් හොබ්ස් ගැන විතරක් නෙවෙයි මාක්ස් සහ තෝමස් හොබ්ස්ගේ සමාන කම් ගැන උගන්වන්නෙත් මිනිහා. මිනිසා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩකාරියි කියන එක තමයි නිර්මාල් දේවසිරි හොබ්ස් හරහා රැගෙන එන ප්‍රධාන තියරිය. ඒක ගානට බදියුගේ ප්‍රධාන තියරියක් වෙච්ච “ඩ්‍රයිව් එක” ස්වභාවිකයි කියන එකත් එක්ක ගානට මැච් වෙනවා. ඒ නිසා වන්ගීසටත් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. වන්ගීසයට අනුව කාන්ට් නැත්තම් ලෝකෙත් නැහැ. මුන් මේ කියන විදියට කාන්ට් කාන්ට් යනුමද දෙවියන්වහන්සේගේ තීරණයකි. එනම් සියලු දේ මවා මිනිසාද මවා ඇති එම අනුභූති උත්තර දෙවියන් විසින් ඊට අදාළ කාල වකවානුවකදී කාන්ට් නමැති දාර්ශනිකයා මවා ඇත. ඒ වන්ගීසලාගේ න්‍යාය ගත කිරීමට අනුව කාන්ට් නොමැතිව ඉන් ඉදිරියට ලෝකය ගමන් නොකරනා බැවිනි.

    දැන් තමුන්නහෙලාට තේරෙනවා නේද කුමුදුට ගහන කොට වංගීසට රිදෙන්නේ මොකද කියලා ? නිර්ර්මාල් දෙවසිරිගේ අදහස තමයි කොළඹ විශ්වවිද්‍යාලය “සංවාදයේ” කේන්ද්‍රය බවට පත් කිරීම. ඒ අදහසට අනිත් අයත් එකඟලු. සංවාද කරන එකෙන්ලු සමාජය වෙනස් වෙන්නේ. ඒ සඳහා “සංවාදී සදාචාරය ” මත පදනම් වෙච්ච අචාරධර්ම පද්ධතියක් ඕන කියල කුමුදු කුසුම් යෝජනා කරලා තියනවලු. ඒ කියන්නේ අනෙකා ඉවසීම, අනෙකාට ගරු කිරීම, අනෙකාගේ අදහසට ගරු කිරීම, මඩ ගැහිලි පුද්ගලික අපවාද, වැනි දෑ වලින් තොරවීම වගේ දේවල්.
    මේ කියන කතාව බොරු කියලා තමුන්නහෙලා හිතනවානම් කොළඹ විශ්ව විද්‍යාලයේ පවත්වාගෙන යන නිල නොවන දර්ශන පීඨයට ශිෂ්‍යයෙක් විදියට ඇතුල් වෙලා කාලයක් ඉඳලාම ඇත්ත දැනගන්නකො. හැබැයි මේ ගැන අහන්න නිර්මාල් දෙවසිරිලගේ ගෙවල් පැත්තේ යනවා නම් බල්ලා බැඳලද කියලා කෝල් එකක් දාල අහල පමණක් ගේට්ටුවෙන් ඇතුලට යන්න. නැත්තම් අර කුරුණෑගලින් ගෙනත් ඇති කරන තඩි බල්ලා හපා කාල තමුන්නහෙලාට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වෙනවා.

Comments are closed.