පසුගිය ‛සමබිම’ පුවත්පතේ අතිරේකයක් ලෙස UNPය විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයන් හඳුන්වා දෙන ලදී. මෙම නව ආණ්ඩුක්‍රමය හඳුන්වා දීමෙන් පසු එය විවිධ බුද්ධිමතුන්, විවිධ නීතිවේදීන්, පක්ෂ නායකයන් සහ සාමාන්‍ය ජනයා සංවාදයට ලක් කරන ලදී. ඒ බොහෝ දෙනාගේ අදහස්වලට අනුව ඔවුන් සාකච්ඡා කරන ලද්දේ නව ව්‍යවස්ථාවේ අඩංගු කරුණු ගැනය.

නමුත් ඔවුන් අතින් මගහැරී ගිය සත්‍යය කුමක්ද?

වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුව කුමක්ද? මීට උත්තරය සෑමදෙනාම දනිති. එනම් 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්නේ කෙසේද? අලුත් ව්‍යවස්ථාවේ අන්තර්ගතය කතා කිරීමටත් වඩා පරණ ව්‍යවස්ථාව අතහැර දැමීම කිසිඳු අයුරකින් පහසු නැත. උදාහරණයක් ලෙස 1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගැන ඇගේම කලෙක සගයෙකු වූ වික්ටර් අයිවන් මෙසේ පවසන ලද්දේ අධික අලෙවියකින් යුත් ‛චෞර රැජින’ පොතේ පසු කවරයේය.

‛චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවුරුදු 10කට තරමක් වැඩි කාලයක් ජනාධිපති ධූරය ඉසිලීය. ඇය බලයට ආවේ දූෂණය, භීෂණය නැතිකොට විධායක ජනාධිපති ධූරයද අහෝසි කොට යුක්තිය සහ සාධාරණත්වය රජයන ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ඇති කිරීමට පහළ වූ විමුක්තිදායිකාවක ලෙසිනි.

එහෙත් ඇය බලයට පැමිණීමෙන් පසු රට පාලනය කළේ චෞර රැජිනක් ලෙසය. ඇයට ඇගේ රජ ගෙදර නමගිය අපරාධකරුවන්ගෙන් යුතු විශේෂ මාෆියාවක් තිබුණි. ඇය ඇගේ එම මාෆියාව ලවා කරදරකාරයින් ලෙස පෙනෙන අය විටෙක හිංසාවටද, විටෙක ඝාතනයටද ලක් කළාය.’

වික්ටර් අයිවන්ට අනුව චන්ද්‍රිකා දූෂිත භයානක ස්ත්‍රියක වූයේ ඇය සටකපට, බොරු කියන, රාගයෙන් මත්වූ ආත්මයක් නිසාය. නමුත් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් L.L.M උපාධිය ගත් ලලිත් ඇතුළත්මුදලි, කේම්බ්‍රිජ් සරසවියෙන් M.A උපාධියත් ගත් ගාමිණී දිසානායක වැනි අයගේ ක්‍රියාකාරකම්ද චන්ද්‍රිකාට වඩා කිසිඳු වෙනසක් නැත. යමෙකු ඔවුන් ගැනද ජීවන තොරතුරු අවුස්සා යම් පොතක් රචනා කළහොත් එහි නම ‛චෞර රජාය’.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක් පාලනය කිරීමට පොදු සම්මුතියකින් තනා ගත් රටේ මූලික නීතියයි. ගැටලුව වන්නේ මෙම මූලික නීතිය මිනිසාව විපරිත (Pervert) කරවීමයි. ලංකාවේ නීතිවේදියකු විසින් නීතිය මගින් එහි අශ්ලීල අන්තර්ගතයක්ද නිපදවන බව විමර්ශනය කරනවා මා දැක නැත. නීතියක් නැති තැන උල්ලංඝනය යනුවෙන්ද දෙයක් නැත. බ්‍රිතාන්‍යයේ ආණ්ඩුක්‍රමය අලිඛිතය. මේ නිසා එය උල්ලංඝනය කිරීම ඉතාම අපහසුය. නමුත් ආණ්ඩුක්‍රමයක් ලිඛිත වන තරමට එය උල්ලංඝනය කිරීමද පහසුය.

1978 දී ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාව සමතික්‍රමණය කිරීම ඉතාම අපහසුය. එය එසේ වන්නේ එමගින් ස්ථාපනය කර ඇති ජනාධිපති තනතුරට අදාළ ‛විනෝදය’ (enjoyment) නිසාය. වැඩවසම් සමාජය පෙරළා බටහිර ඇතිවූ ධනේෂ්වර රාජ්‍යය පාලනය කිරීමට ‛බලය’ (power) නම් ස්ථානයක් අවශ්‍ය විය. බටහිරදී එවැන්නක් නිපදවනු ලැබූයේ ‛හිස් තැනක්’ (empty place) ලෙසිනි. ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදය බටහිර පාලන-තන්ත්‍රයන් උපුටා ගත්තේ ඉහත ‛හිස්-තැනට’ සමානාත්මතා මූලධර්මයට අනුව ආදේශ විය හැකි යාන්ත්‍රණයක් ලෙසිනි. මෙම න්‍යායට අනුව නූතන ධනවාදී සමාජයේ පාලකයා යනු ඡන්දය මගින් සමාජයේ මධ්‍යය නම් හිස්තැනට තාවකාලිකව ආදේශ වන පුද්ගලයාය. සමහරුන් පාලකයන් යනු අයිතිකරුවන් නොව භාරකරුවන් යැයි කියන්නේ මේ තත්ත්වය පහදා දීමටය.

න්‍යායක් ලෙස ඉහත තත්ත්වය සත්‍ය වූවත් සමකාලීන ගෝලීය ධනවාදී සමාජ-සම්බන්ධකම් තුළදී ප්‍රජාතන්ත්‍රවාදයටත් බලයටත් ශුද්ධව පැවතිය නොහැක. ඒවා ‛ධනය’ නිසා ඛාදනය වෙයි. මෙවැනි ඛාදනයකින් ප්‍රජාතන්ත්‍රවාදය සහ බලය ආරක්ෂා කිරීමට තනි තනි පුද්ගලයන්ට නොහැක. ‛චෞර රැජින’ පොත සනාථ කරන්නේ පුද්ගලයන්ට මෙම කාර්යය කළ නොහැකි බවයි. ඒ සඳහා අපට දේශපාලන පක්ෂ ආකෘතියක් අවශ්‍යය. ‛කොමියුනිස්ට් ප්‍රකාශනය’ යනු එවැනි ගැටලුවකට ලබා දුන් 19 වන සියවසේ පිළිතුරකි. නමුත් 21 වන සියවසේ ධනවාදී සමාජයේ ප්‍රතිවිරෝධතා අපව රැගෙන යන්නේ වෙනත් අන්තයක් කරාය.

සමකාලීන දේශපාලන පක්ෂවලට තම පැවැත්ම සඳහා වම/දකුණ භේදයකින් තොරව මුදල් අවශ්‍යය. එපරිදිම ඕනෑම දේශපාලන පක්ෂයකට තමන්ගේම වූ දේශපාලන වැඩසටහනක්ද ඇත. ඊට අමතරව තුන්වැනි තීරණාත්මක සාධකයක්ද ඇත. එනම් සමකාලීන දුප්පත් මහජනයා ප්‍රතිපත්තියක් වශයෙන් දේශපාලන පක්ෂවලට මුදල් නොදීමයි. මේ නිසා දේශපාලන පක්ෂ ඕනෑම එකකට යැපීමට හැකි වන්නේ එක්කෝ තමන්ගේම ව්‍යාපාර පවත්වාගෙන යාමෙන්ය. නැතිනම් මංකොල්ල කෑ යුතුය. එසේත් නැත්නම් මුදල් තිබෙන අයගෙන් මුදල් ඉල්ලා ගත යුතුය (දේශපාලන පිණ්ඩපාතය).

උදාහරණයක් වශයෙන් මේ මෑතක දී සිට කැපී පෙනෙන විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට පැනීම සාමාන්‍ය මහජනයා සිතන තරම් සරල කරුණක් නොවේ. එපරිදිම සමකාලීන මාධ්‍ය බූරුවන් සිතන පරිදි එය ප්‍රතිපත්ති ගැටලුවක්ද නොවේ. කෙනෙකු විපක්ෂයෙන් ආණ්ඩුවට පනින විට ඒ සඳහා කප්පම් මුදලක් පනින පුද්ගලයාට භාර දිය යුතුය. එම මුදල අදාළ දේශපාලකයාට ලබා දෙන්නේ යම්කිසි ව්‍යාපාරිකයෙකි. චන්ද්‍රිකාගේ යුගයේදී මේ සඳහා වෙනම ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටි අතර අදද ඒ සඳහා සැදී පැහැදී සිටින අය සිටිති. නමුත් මේ ව්‍යාපාරිකයන් මුදල් දෙන්නේ නිකං නොව යළි හම්බ කිරීමේ පදනම මතය, (වඩා ලාභ) අද වනවිට වැඩියෙන්ම ලාභ ලැබීමට ආණ්ඩුව සමඟ මිත්‍ර වීම අනිවාර්යය. මේ මූලධර්මය උල්ලංඝනය කරන්නන් අභාවයට සහ අපවාදයට ලක්වන අතර (උදා- ලලිත් කොතලාවල, නාවල නිහාල්) එම මූලධර්මය අනුගමනය කරන අය (උදා – ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, සුමල් පෙරේරා, හැරී ජයවර්ධන…) වඩ වඩා මුදල් උපයයි.

සමකාලීන දේශපාලන පක්ෂයකට පහසුවෙන් යැපීමට ඇති මාර්ගය වන්නේ ව්‍යාපාරිකයන්ගේ මුදල් මත යැපීමයි. අනෙක් අතට මේ නිසාම දේශපාලන පක්ෂ ඇතුළත විශේෂ භූමිකාවක්ද බිහි වී ඇත. ඔවුන් කොටස් වෙළඳපොළේ බ්‍රෝකර් මෙන් චරිතයකි. ඔවුන් කරන්නේ දේශපාලනය වෙනුවෙන් ව්‍යාපාරිකයන් සමඟ ඔට්ටු ඇල්ලීමයි. මෙය එක්තරා ආකාරයක සූදු ප්‍රාග්ධනයකි (Casino capital). ආණ්ඩුව වෙනුවෙන් සහ විපක්ෂය වෙනුවෙන් වෙන වෙනම මේ සඳහා පේවූ චරිත සිටියි. සාමාන්‍ය මහජනයා සහ වමේ චරිත මේ භූමිකාව ගැන දන්නේ නැත. උදාහරණයක් ලෙස රවී විජේරත්න වැනි ව්‍යාපාරිකයෙකුට අදාළව ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලන පක්ෂ නායකයන් ඔට්ටු අල්ලන නිසා ඔහුගේ ව්‍යාපාරයේ අනාගතය සුරක්ෂිතය. ඊළඟ ඡන්දයේදී දිනන්නේ කවුද යන්න තීන්දු වන්නේ (කරන්නේ නොව) රවී විජේරත්න මගින්ය. මේවා දේශපාලනය කරන විපක්ෂයේ මහත්වරුන් ඉතාම ප්‍රසිද්ධියේ දන්නා දේවල්ය.

දැන් අපිට අලුත් අභියෝගයක් ඇත.

දේශපාලනය මගින් ව්‍යාපාරිකයන් හම්බ කිරීම 1978 ව්‍යවස්ථාව අහෝසි කළ වහාම අභියෝගයට ලක් වෙයි. UNPය ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථාවට අනුව එය සම්මත වුවහොත් අද කොළඹ නගරයේ සිටින ප්‍රධාන ව්‍යාපාරිකයන් සියලුදෙනා හිර ගෙදර යා යුතුය. ව්‍යවස්ථාව ගැන සාධනීය කරුණු ඉදිරිපත් කරන බුද්ධිමතුන් නිහතමානී අහිංසකයන් බවට කිසිඳු සැකයක් නැත. නමුත් ව්‍යවස්ථාවක නෛතික කරුණුවලට වඩා එමගින් ඉදිරිපත් වන අශ්ලීල විනෝදය දේශපාලන සාධකයකි. 1994 දී චන්ද්‍රිකාට උදව් කළ සියලු දෙනා නොදැන සිටියේ දේශපාලනයටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් අශ්ලීල පැත්තක් ඇති බවයි. (උදාහරණයක් වශයෙන් බරාක් ඔබාමාට සියලු ශීලාචාර නීති උල්ලංඝනය කර ඔසාමා බින් ලාඩන්ව ඝාතනය කරන්නට සිදු වූයේ ජනාධිපති තනතුර රැක ගැනීමටය.) දේශපාලනයට ‛විනෝදය’ අලුත් සාධකයක් වී ඇති නිසා අලුත් ව්‍යවස්ථාව සමඟ ‛අශ්ලීල විනෝදය’ ගැන ද සාකච්ඡාවක් පටන් ගත යුතුය.

අප එසේ නොකරන්නේ නම් ‛චෞර රජා’ යනුවෙන් පොත් ලිවීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේය. එසේ වුවහොත් මේ ආණ්ඩුව බිඳ වැටුණු මොහොතකදී ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ නව සභාපතිගේ දුරකථනයෙන් තිස්ස අත්තනායකගේ දුරකථනය නාද වනු ඇත. ශිරාල්ගේ දුරකථනයට පණිවුඩයක් දයාසිරිගෙන් එනු ඇත. අලුත් ව්‍යාපාරික කටයුතු සියල්ලත්, කොළඹ නගරයේ නීති-විරෝධී ව්‍යාපාරික කටයුතු සියල්ලත් මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ආදේශ වනු ඇත. එවන් මොහොතකදී රනිල් වික්‍රමසිංහ මහතාට කළ හැකි වන්නේ කල්පනා කිරීම පමණි. නැවතත් ව්‍යවස්ථාව ගැන අලුත් සාකච්ඡාවක් ආරම්භ වනු ඇත. වෘත්තයක ගමන් කරන්නා එකම දෙය යළි යළිත් දකියි.

දීප්ති කුමාර ගුණරත්න –

http://www.samabima.com/?p=7720

ඔබේ අදහස කියන්න...