– උයන්ගොඩගේ ප‍්‍රවාදය යළි විමර්ශනය කිරීමක් –

මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ප‍්‍රබුද්ධ ව්‍යාපෘතියක සිට ගනිමින් ලංකාවේ තියුණුම දේශපාලන අර්බුදය වූ ‘ජාතික ගැටලුව’ සම්බන්ධයෙන් තම නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සිටියි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත් වීම පසුගිය ‘රාවය’ පුවත්පත් කලාප දෙකක විහිද ගියේය. ජාතික ගැටලුව විසඳීම අරබයා ඔහු ඉදිරිපත් කරනා තිසීසය සාරාංශගත කරන්නේ නම් ඒ මෙසේය.

”ජනවාර්ගික ප‍්‍රශ්නය විසින් දශක ගණනාවක් තිස්සේ අවධාරණය කරනු ලැබූ කරුණක් අපේ වෘත්තීය දේශපාලනඥයන් බොහෝ දෙනකුට දැන් අමතක වී ඇත. එනම් රටේ ‘දේශපාලන යථාර්ථය’, රාජ්‍ය ව්‍යුහය අබිබවා ගොස් ඇති බැවින් දේශපාලන යථාර්ථයත් පවත්නා රාජ්‍ය ව්‍යුහයත් අතර සමනය කළ නොහැකි ප‍්‍රතිවිරෝධයක් ගොඩනැඟී ඇති බවය. එම ප‍්‍රතිවිරෝධය සමනය කරන්නට නම් එක්කෝ දේශපාලන යථාර්ථය වෙනස් කළ යුතුය. නැතිනම් රාජ්‍යය රැඩිකල් ප‍්‍රතිසංස්කරණයකට භාජනය කළ යුතුය. දෙවැන්න කළ හැකිය. ඒ සඳහා ජනතාව සූදානම් වුවත් වෘත්තීය දේශපාලනඥයන් පොරොන්දු වීමේ මිස, පොරොන්දු ක‍්‍රියාත්මක කිරීමේ දේශපාලන අධිෂ්ඨානය අහිමි කරගෙන ඇති බව පෙනේ.”
– ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයට නූතන කුමාරයකු ඕනෑ,

ජයදේව උයන්ගොඩ, රාවය 2017/03/19, පිටුව 12

උයන්ගොඩගේ ලිපියට පෙරවදනක් සපයන රාවය කතුවරයා එම ලිපියට පාදක වූ නිමිත්ත ගැන මෙසේ සඳහනක් පළ කරයි.
”රුසියානු විප්ලවයේ සියවස් සැමරුම වෙනුවෙන් පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති රැුස්වීමේ මුඛ්‍ය දේශනය කළේ මහාචාර්ය ජයදේව උයන්ගොඩය. දේශනයේ මාතෘකාව වූයේ, ‘පෙබරවාරියේ සිට ඔක්තෝබර් දක්වා, රුසියානු විප්ලවයේ උරුමය සහ අද ශ‍්‍රී ලංකාව’ යන්නය.”

සාම්ප‍්‍රදායික දේශපාලන විද්‍යාවේ ඥාන පථය සම්බන්ධයෙන් ගත් කල මේ මොහොතේ ලංකාවේ ජීවත් වන වඩාත්ම තීක්ෂණ දේශපාලන විද්‍යාඥයා මහාචාර්ය ජයදේව උයන්ගොඩ බවට විවාදයක් නැත. එනිසා ලංකාවේ මේ මොහොතේ දේශපාලන යථාර්ථය සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ නිරීක්ෂණ නැවත පරීක්ෂා කිරීම ‘යථාර්ථය’ අධ්‍යයනය කිරීමේ දී වැදගත්ය.
ලංකාවේ සමකාලීන යථාර්ථය සලකා බැලූ විට සහ එය ඔක්තෝබර් විප්ලවය සමඟ සංසන්දනය කරන විට අසම්පාත වන්නේ කෙසේද? වාමාංශික සන්දර්භයක් සමඟ සසඳන විට ඔක්තෝබර් විප්ලවීය තත්ත්වය (1917 පෙබරවාරි සිට ඔක්තෝබර් විප්ලවය දක්වා වූ කාලය) සමඟ ලංකාවේ තත්කාලීන සමාජ යථාර්ථය අසම්පාතය. මා එසේ කියන්නේ ඇයි? ලෙනින් 1917 වර්ෂයේ දී මුහුණ දුන්නේ ජාතිවාදී අරගලයක් සමඟ බැඳී ගිය ධනේශ්වර ප‍්‍රතිවිරෝධතා සමූහයකට නොවේ. ඒ මොහොතේ එම ප‍්‍රශ්නය තිබුණේ රුසියාවට නොව යුරෝපයටය. යුරෝපා වාම බුද්ධිය සහ සමාජ ව්‍යාපාර ඒ මොහොතේ මුහුණ දුන්නේ අලුතින් මතු වන යුදෙව්වන්ට එරෙහි මානව විරෝධී අරගලයටය.
1914 වර්ෂයේ දී ලෙනින් දැඩි ලෙස කම්පනයට පත් වූයේ ඇයි? සර්බියානු සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ බොල්ෂෙවිකයන් හැර අන් සියලූ යුරෝපීය සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ‘දේශපේ‍්‍රමීන්’ (ජාතික ආලය) පත් වූයේ 1914 දී ය. ලෙනින් ධෛර්යමත් ලෙස මෙම රැුල්ලට පාවඩ දමන්නට ගියේ නැත. ලෙනින් තමා අනුදත් මාර්ගය වූ ‘කළ යුත්තේ කුමක්ද?’ කෘතියේ හරයට යටින් ගමන් කළ අපවිත‍්‍ර ජලය නිසා වික්ෂිප්ත විය. කළ යුත්තේ කුමක්ද? කෘතියේ හරය මෙලෙස සාරාංශගත කළ හැකිය. නිර්ධන පන්තියට ස්වකීය විඥානය එන්නේ තම ශ්‍රම ක‍්‍රියාකාරීත්වය තුළින්ම යන අදහස මාක්ස් විසින් නිපදවන ලදී. ලෙනින් එම අදහස වැරැදි බව පෙන්වමින් කම්කරුවන්ට පිටතින් විඥානය ගෙන ආ යුතු බව පෙන්වා දීමට ගොඩනඟන ලද ප‍්‍රවාදය යනු ‘කළ යුත්තේ කුමක්ද?’ නමැති කෘතියයි. මේ එම කෘතියේ ප‍්‍රධාන සංවාදයයි.
”කම්කරුවන් අභ්‍යන්තරයෙන් ම නැතහොත් ඔවුන්ගේ ආර්ථික අරගලයෙන්, එනම් එම අරගලය පමණක් ආරම්භක ස්ථානය වශයෙන් ගනිමින්, එය පමණක් පදනම වශයෙන් ගෙන කටයුතු කරමින් ඔවුන්ගේ දේශපාලන විඥානය සංවර්ධනය කළ හැකිය යන විශ්වාසය අදහසක් මූලික වශයෙන් සාවද්‍යය.
පංතිමය දේශපාලන විඥානය කම්කරුවන් (හෝ වැඩ කරන ජනයාට) වෙත ගෙන යා හැක්කේ පිටතින් පමණි. එනම්, ආර්ථික අරගලයට පිටතින් කම්කරු – ස්වාමි සම්බන්ධයට පිටතින් පමණි.2
– කළ යුත්තේ කුමක්ද? –

ලෙනින්

ලෙනින් ඉහත කෘතිය ලියන්නේ 1901 වසරේ දී ය. ඒ වන විට ඔහු විශ්වාස කළේ කම්කරුවන් සහ සමාජ යථාර්ථය අතර පරතරයක් (Gap) නැති බවය. එනම් කම්කරුවන්ට නරුමවාදී ආත්මයක් නොමැති බවට වූ විශ්වාසයයි.
නමුත් ලෙනින් කම්කරුවන් සහ සමාජ යථාර්ථය අතර ‘පරතරයක්’ පවතින බව යුරෝපයේ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවල ක‍්‍රියාකාරිත්වය හරහා වටහා ගත්තේය. මාක්ස්වාදී සම්ප‍්‍රදාය තුළ ‘නරුමවාදය’ න්‍යායගත නොවූ අවධියක ලෙනින් රුසියානු යථාර්ථය මෙහෙයවන ලද්දේ පටු දේශ පේ‍්‍රමයට එරෙහිවය. නමුත් ලෙනින් මෙම නව අවබෝධය සමඟ ‘කළ යුත්තේ කුමක්ද?’ කෘතිය යෝජනා කරන උපායවේදය අතාර්කික බව වටහා ගත්තේය. කම්කරුවන්ට පක්ෂය නම් ආකෘතිය හරහා පන්ති විඥානය රැගෙන යාමට ඔවුන් තුළින්ම ප‍්‍රතිවිරෝධයක් ජනනය වන නිසා (සමාජ යථාර්ථය සහ කම්කරු විඥානය අතර පවතින නරුමවාදී පරතරය) ඒ සඳහා විකල්ප ක‍්‍රමවේදයක් අවශ්‍ය බව ලෙනින් වටහා ගත්තේය.
1917 පෙබරවාරි සහ ඔක්තෝබර් අතර ගෙවී ගිය කාලය ලෙනින්ව පරිවර්තනය වී ගිය යුගයකි. ලෙනින් ‘ලෙනින්’ බවට පත් වූයේ මෙම අවධියේය. 1917 පෙබරවාරි මස දී රුසියාවේ අත්තනෝමතික සාර් පාලනය පෙරළා දමා රුසියාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටෙව්වේය. එය ඒ මොහොතේ ලෝකයේ පැවති වඩාත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවයි. පරිවර්තනයේ මේ යුගය දක්වා සියලූ දෙනා එකඟය. එනම් අන්තර්ගතය ඉවත් කිරීමට සියලු දෙනා රුචිය. නමුත් ලෙනින් වඩා සංවේදී වූයේ අන්තර්ගතය වෙනස් කිරීමට නොව (Form) වෙනස් කිරීමටය. ‘අපේ‍්‍රල් තිසීස’වල සිට ‘රජය සහ විප්ලවය’ දක්වා ලෙනින් පරිවර්තනය වූයේ මෙම ඓතිහාසික අවබෝධය තුළය. වඩාත් සංක්ෂිප්ත අර්ථයකින් තත්ත්වය විදාරණය කළහොත් උපායවේදියාගේ සිට මනෝරාජිකය දක්වා ලෙනින් තල්ලු වන්නේ මෙම අවධිය තුළය.
ලෙනින්ට බොහෝ දෙනා බිය වන ස්ථානය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයෙන් නිර්ධන පන්ති ආඥා දායකත්වයට මාරු වන මංසන්ධියයි. පෙබරවාරි සිට ඔක්තෝබරය දක්වා දේශපාලන විතැන් වීම අධ්‍යයනය කරන විද්වතකු මෙම අලුත් සාධකය මඟහැරිය යුතු නැත. උයන්ගොඩ ලෙනින්වාදයට අරුචි බව මම දනිමි. එපමණක් නොව මම තවම ලෙනින්වාදියකුදැයි ඔහු අසනු ඇත. මම මෙතැන සාකච්ඡා කරන්නේ ලෙනින් පිළිබඳ සංකේතනය නොවේ. ඒ වෙනුවට මම යෝජනා කරන්නේ උයන්ගොඩ මතු කරන විරුද්ධාභාසයට ලෙනින් හිටියා නම් ලබා දෙන උපායයි.
උයන්ගොඩ විසින් මූලිකව හඳුනා ගන්නා මරඋගුල වන්නේ,
(A) ව්‍යුහය (රාජ්‍යය)
(B) ඒජන්තයා (පන්ති අරගලය)
අතර පවතින පසමිතුරුභාවයයි. උයන්ගොඩ ලෙනින්ට වෙනස්ව යෝජනා කරන්නේ පවතින දේශපාලන යථාර්ථය වෙනස් නොකර රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කිරීමක් ගැනය. නමුත් විප්ලවවාදියකු වන ලෙනින් යෝජනා කරනු ඇත්තේ එහි විලෝමයයි. ලෙනින්ට ආත්මීය කොටසක් ඇත්තේ දේශපාලන යථාර්ථය තුළ පමණක් නොවේ. එය ‘රාජ්‍යය’ පැත්තට ද අදාළය. ලෙනින්ට අනුව ඒජන්තයා (සමාජ පන්ති හෝ ජන වර්ගය) පමණක් සිතන්නේ නැත. රාජ්‍යය ද සිතයි. එනම් රාජ්‍යය යනු හුදු වාස්තවික ප‍්‍රපංචයක් පමණක් නොවේ. ඒ තුළ ද පැල්මක් ඇත. මෙම අවබෝධය ලෙනින්ට එන්නේ හේගල් කියවීම හරහාය. ලෙනින්ගේ හේගල් කියවීම රාජ්‍ය යන්ත‍්‍රය වටහා ගැනීමේ දී අදාළ කරගන්නේ කෙසේද? එම ‘ලෙනින්’ යනු උයන්ගොඩ නොදන්නා ‘ලෙනින්’ කෙනෙකි.

DKG

ඔබේ අදහස කියන්න...