විජය කුමාරණතුංග ඝාතනය කොට පැය ගණනක් ගත වන්නට පෙර රට පුරා වීදියක් වීදියක් පාසා අදින ලද දම්පාට කොඩි තැනින් තැන මෙය ලියන මොහොත වන විටත් ඉතිරි වී තිබෙනවා. එහෙත් පසුගිය කෙටි කාලය තුළ ඒවා පාරිසරික හා කාලගුණික තත්වයන්ගේ සැඩකමට අසු වීම නිසා ඒවා මූලික වර්ණයන් වන නිල් පාටට හැරිලා. අව්ව වැස්ස නිසා මූලික වර්ණවල පාට එච්චර ලේසියෙන් පිච්චෙන්නෙ නැතිලු. චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක කුමාරණතුංග පොල් හේන්ගොඩ නිවස වසා දමා ගොස්, රොස්මිඩ් පෙදෙසේ අල්ලපු ගෙදර සිට පළාත් සභා මැතිවරණය මෙහෙයවනවා. උතුරේ හා නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ජනවාර්ගික කරුණු අධ්‍යනය පිළිබඳ කේන්ද්‍රය විසින් නිපදවන ලද විත්ති වීඩියෝ චිත්‍රපටය රොස්මීඩ් පෙදෙසේ තම නිවසේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ ළඟදී නරඹා ඇත්තේ විජය කුමාරණතුංග ගේ දරුවෙකු උකුලේ තබාගෙන නළවමින්.

මෙම සංකේත හා සිද්ධීන් පිළිබඳ ඇත්ත නාටකය අපේ රටේ වර්තමාන සංකීර්ණත්වය පිළිබඳ චිත්‍රපටයකට අපූරු වස්තුවක් සහ තේමාවක්. එහෙත් එය අද වැදි රජුන් නැතිව “මනමේ” නටනවා වාගෙ වැඩක්. නළුවා අද නැති නිසා.

මීගමුව අසල වෙරළබඩ ගමක පල්ලියක සෙවනේ සිට හොරගොල්ල – රත්වත්ත වලව්ව දක්වාත්, හන්තානේ බොළඳ කතාවක සිට ක්‍රිස්තු චරිතය දක්වාත්, ට්‍රොට්ස්ට්කිවාදී ගැටවරකමේ සිට නළුකම ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දක්වාත්, එතැන් සිට අලුත් පක්ෂයක් පිහිටුවීමේ සිට සම්මත වම එක් කිරීමේ චිතකය දක්වාත් වේදිකා රැසක රඟ පෑ යුගයේ අරුම නළුවා විජය.

මීට අවුරුදු ගණනකට පෙර වෙසක් දවසක සුගතදාස ස්ටේඩියම් පහුකොට යනකොට මම දැක්කා විජය කුමාරණතුංග වෙසක් දන්සැලක් විවෘත කරනවා. විජය මිය ගිය දා එතැනම පසුකොට යනකොට, පරණ කුණුමෝල තිබුණු තැනට එහා වැසිකිළි සහ කම්කරු තට්ටු නිවෙස් ළඟ, සුදු රෙද්දේ අවියත් කළු අකුරෙන් ඇඳපු බැනර් එකක් දැක්කා. ඒකෙ තිබුණ්ණ් ශෝක ප්‍රකාශය: “අම්මපා හදවත පැලෙනවා. විජය කුමාරණතුංග මහතාට නිවන් සැප ලැබේවා!” මම හිතන්නේ ඒ රෙදි කෑල්ලේ “හදවත පැලෙනවා” කියන හරිය එතැන තවමත් තියෙනවා.

සිය නළු සොහොයුරා ගේ අවමඟුල අත්පොලාසන් දෙන දේශපාලන වේදිකාවක් බවට පත් වීමෙන් ගාමිණී පොන්සේකාට අඩ මිලියනයක් ජනතාව ඉදිරියේ හරියට තරහ ගියා. අපේ රටේ අවමඟුල්වල සම්මත සිරිත් සුන්වුණා. කාලෝ පොන්සේකා ජුලියස් සීසර් නාට්‍ය රඟ පපා, මාක් ඇන්ටනී වාගේ කතා කළා. වර්තමාන බෲටස් පිස්සෙක්ය කියන්නට ඔහු උත්සාහ කළා.

ට්‍රොට්ස්කිවාදයේ සිට ගොර්බචොෆ් ගේ පෙරෙස්ට්‍රොයිකා දක්වා සියලු වමේ වාද මිනී පෙට්ටියක් මත දුරු වුණා. ඒ අතර, රටේ ප්‍රධාන සිනමා ශාලාවල “ඔබටයි ප්‍රියේ ආදරේ” ප්‍රදර්ශනය වෙමින් පැවතුනා.

නවසිය හැට අටේ සිට අසූ අට දක්වා පෙන්නපු චිත්‍රපට 88ක විජය රඟපෑවා. ඉන් 18ක් හොඳයි කියන්නට පුළුවන් චිත්‍රපට. මෙයින් 8ක් අපේ රටේ හැටියට හුඟාක් හොඳ චිත්‍රපට. ඔහුගෙන් සිනමාවට සිද්ද වෙච්ච සම්මාදම මේ අටට සීමා කරනවාද? අනික් දහයත් එක්ක ගණන් ගන්නවාද? නැත්නම් ඔහුගේ සැබෑ සම්මාදම තිබුණේ අර ඉතිරි හැත්තෑවේද? ඔහු නැවත ජනප්‍රිය නළුවා බවට පත් කළේ අර හැත්තෑවයි. ඔහුට දේශපාලන වේදිකාවට මග පෑදුවේ අර හැත්තෑවයි. ඉතින් විජය මනින මිනුම් දණ්ඩ ඒකද?

එක පැත්තකින් ජාතිවාදය උග්‍රව ඇවිස්සෙද්දි අනෙක් පැත්තෙන් ඔහු දෙමළ කොටස් සමග සමගි සන්ධාන ඇති කර ගත්තත් ඔහු ගේ ජනප්‍රියත්වයට ඒවා බලපාන්නට හේතුව කුමක්ද? ඔහුගේ ආගම් පසුබිම ගැන, කුලගොත් පසුබිම ගැන මිනිසුන් ප්‍රශන නාහන්නට හේතුව කුමක්ද? අර චිත්‍රපට හැත්තෑවද?

විජයගේ මෙම කැරිස්මාවේ හේතුව දකින්නට පුළුවන් අර චිත්‍රපට හැත්තෑව තුළ නම්, විජය පිළිබඳ හොඳම අධ්‍යනය වන්නේ ඒ චිත්‍රපට හැදෑරීමයි; ඒවායේ තේමා, දෙබස් ආදිය හැදෑරීමයි; ඒවායේ හිඟාකන ධනපාලලාගේ, මෝඩ ඥාණපාලලාගේ, දුෂ්ට ගුණපාලලාගේ අනෙක් චරිත හැදෑරීමයි. එය අප රටේ වර්තමාන සමාජ මනස පිළිබඳ ඉතා වැදගත් අධ්‍යනයක් වනවාට සැක නැහැ. විජය කැරිස්මාව හැදෑරීම අපේ රටේ වර්තමාන දේශපාලන, සාමාජික, සංස්කෘතික හා මානසික තත්ත්වයක් පිළිබඳ හැදෑරීමක්. ඒ කැඩපතෙන් අපිත් මූණ බලමුද?

(-චිචිත්‍ර රේඛා 1988.06.25 කලාපයේ පළ වූ මෙම ලිපිය අප උපුටා ගත්තේ සිනෙසිත් 1992/අංක 22 කලාපයෙන්.)

පහල – මැදපාන්තික දේශපාලනය පිළිබඳ හදැරීම – 1

සිරිල් බී. පෙරේරා

ඔබේ අදහස කියන්න...