සේන තෝරදෙනියට පිළිතුරක්‌

සමන් වික්‍රමාරච්චි

සේන තෝරදෙණිය මෙන් තමා ලියූ පොත් ගැන තමාම පම්පෝරි ගසන පුරුද්දක්‌ හෝ ශික්‍ෂණයක්‌ මට නැති බැවින් අසන්ධිමිත්තා නවකතාව ගැන ඔහු ලියා ඇති පල්හෑලිවලට පිළිතුරු දීමට මෙම ලිවීම මම වියදම් නොකරමි. එහෙත් පල්හෑල්ලක්‌ සේ බැහැර කරමින් මට මඟහැර යා නොහැකි කිසිවක්‌ ඔහු ලියා ඇත. එනම් අධිකරණ විනිශ්චයකාරකම පිළිබඳ ඔහු ලියා ඇති මනස්‌ගාතය. ඔහුගේ ලිවීමේ ඉලක්‌කය මගේ නවකතාව නොව මගේ විනිසුරු රැකියාව බව පැහැදිලිය. ඇත්ත නම් ඔහු විනිශ්චයකාර තනතුර සමඟ මහත් අනුරාගයෙන් බැඳී සිටින බවය.

මට ඇති ගැටලුව නම් මේ මහලු වාමාංශිකයන් ධනේශ්වර යාන්ත්‍රණයේ උපකරණයක්‌ වූ අධිකරණ විනිශ්චයකාර පදවිය සමඟ මේ තරම් අනුරාගයෙන් බැඳෙන්නේ කුමක්‌ නිසාද? යන්නයි. ධනේශ්වර දෘෂ්ටිවාදය පිළිබඳ තියුණු විවේචකයකු වූ ලුවී අල්තුෂර් (Louis Althusher) පැවසූ පරිදි අධිකරණය යනු පීඩාකාරී රාජ්‍ය උපකරණයකි. (Repressive State Apparatus) දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ (Ideologica State Apparatus) ක්‍රියාත්මක වන්නේ පීඩාකාරී රාජ්‍ය උපකරණ අසමත් වන මොහොතේ නොව ඊට සමගාමීව ය. මේ ඊනියා වාමාංශිකයන් රාජ්‍ය යාන්ත්‍රණයේ මෙබඳු පීඩාකාරී උපකරණයක්‌ ක්‍රියාවට නඟන විනිසුරු පදවිය සමඟ බැඳෙන්නේ අන් කිසිවක්‌ නිසා නොව එම තනතුර දරන්නා පිළිබඳ ඔහු ගොඩනඟන මනස්‌ගාත (ෆැන්ටසීන්) පිළිබඳ අනුරාගයෙනි. ඔහු මෙසේ ලියයි.

“විනිශ්චයකාරයකු විශ්‍රාම ගියාට පසුව ද ඔහුගෙන් ආදර්ශනීය හැසිරීමක්‌ බලාපොරොත්තු වේ. ඔහුගේ ලේඛනය ද ආදර්ශනීය විය යුතුය. ‘අසන්ධිමිත්තා’ කතුවරයා සිය නවකතාවේ යොදා ඇති කුණුහරුප නිගා දෙන්නේ ඔහු නියුක්‌තව සිටි වෘත්තියටය. සීසර්ගේ භාර්යාව සැකයට බඳුන් නොවිය හැකි යෑයි කියමනක්‌ තිබේ. ප්‍රසිද්ධ පුද්ගලයන් වරදකට සැකයට බඳුන් නොවිය යුතුය යන්න එහි අර්ථයයි.”

මගේ නවකතාවේ කුණුහරුප තිබෙන බව මා දැනගත්තේ මේ දැන් ය. ඒ පිළිබඳ ලිවූ යට සඳහන් කළ කිසිවකු ඒ බව මට කිව්වේ නැත. මෙම නවකතාවේ දෙවැනි මුද්‍රණය ද නිකුත් වී තිබුණ ද පොත කියවූ වෙනත් කිසිදු පාඨකයකු මා කුණුහරුප ලියා තිබෙන බවක්‌ මා සමඟ කියා නොමැත. ඔහු කුණුහරුප යෑයි කියන්නේ කුමකට ද? අධිකරණයක නඩු විභාගයකදී අප්‍රමාණ ලෙස අසැබි යෑයි සම්මත වදන් කියවෙන බව ඔහු නොදනී. තමාට යමක්‌ ඇසුණ බව හෝ තමා යමක්‌ කී බව අධිකරණය ඉදිරියේ පවසන සාක්‌කිකරුවකු එය එලෙසින්ම පැවසිය යුතුය. එය ඒ ආකාරයෙන්ම පැවසිSමට සාක්‌කිකරු මැලිවෙතොත් අධිකරණ ක්‍රියාමාර්ගය දුර්වල වෙයි. එපමණක්‌ නොව කවර තරමේ අශ්ලීල ප්‍රකාශයක්‌ වුවත් විනිසුරුවරයා අසා සිටිය යුතුවා පමණක්‌ නොව අවශ්‍ය නම් තම නඩු තීන්දුවේ එය නැවත ලිවීම ද (reproduce) කළ යුතුය. මගේ පොතේ තිබෙන්නේ යෑයි මේ තැනැත්තා සොයා ගෙන ඇති කුණුහරුප සහ නඩු තීන්දුවක වුව තිබිය හැකි අශ්ලීල වදන් අතර වෙනසක්‌ තිබේද?

මීට බොහෝ කලකට පෙර එංගලන්තයේ ඕල්ඩ් බේලි අධිකරණයේ විභාග වූ එක්‌තරා නඩුවක ප්‍රස්‌තුත කරුණ වූයේ ඩී. එච්. ලෝරන්ස්‌ Lady Chatterleys Lover යනුවෙන් අසභ්‍ය නවකතාවක්‌ ලියා තිබුණේද යන්නය. ඔහුට විරුද්ධව නැඟුණු චෝදනාව වූයේ ස්‌ත්‍රී පුරුෂ රමණය වර්ණනා කිරීමට පමණක්‌ නොව එහි එන පිරිමියා (මැලෝර්) පුරුෂ ලිංගය සහ ස්‌ත්‍රී ලිංගය උදෙසා ඉංග්‍රීසියෙන් යෙදෙන ග්‍රාම්‍ය අශ්ලීල යෙදුම් භාවිත කර තිබීමය. එම වදන් එම නවකතාව සඳහා අවශ්‍යද යන්න විමසීමට විද්වතුන් රැසක්‌ අධිකරණයට කැඳවා තිබිණි. යථාර්ථවාදී නවකතාවේ ගුරු උපදේශ ග්‍රන්ථය ලියූ ඊ. එම්. ෙෆාaස්‌ටර් පවා එම වචන නවකතාවට අවශ්‍ය බව අධිකරණයට පැවසීය. එම වචන යෙදීම අවශ්‍ය බව ජූරි සභාව තීරණය කළහ. මේ ඊනියා පවිත්‍රවාදියාට අනුව ජූරි සභාව සේම එය විස» විනිසුරුද නීතඥවරුන්ද කුණුහරුප ලිවීමට අනුබල දෙන්නන් විය යුතුය. (එම කරුණ ප්‍රස්‌තුත කර ගනිමින් චැටර්ලි ආර්යාව නඩු විභාගය – ප්‍රකාශන නිදහස සහ සදාචාර සෙවණැල්ල ග්‍රන්ථය මා ලිව්වේ මීට විසි වසරකට පමණ ඉහතදී ය.)

පසුගිය රාජපක්‍ෂ රෙජීමය සමයේ මේ රටේ අධිකරණය අන්ත දූෂිත තත්ත්වයකට ඇදවැටී තිබිණි. අභියාචනාධිකරණය විසින් නීත්‍යනුකූල නොවේ යෑයි නිගමනය කළ දූෂිත පක්‍ෂපාතී කමිටුවක්‌ මගින් අග විනිසුරුවරියක ගෙදර යවන ලද්දේ එසමයෙහිය. තමන්ට පක්‍ෂපාතී බාහිර අය ඉහළ අධිකරණයට පත් කිරීමෙන් පහළ අධිකරණවල විනිසුරුවරුන් උසස්‌වීම් නොලබාම විශ්‍රාම ගැන්වීමට කටයුතු කළේ එකලය. මේ ඊනියා පවිත්‍රතාවාදියා (Puritanic) එකල සිටියේ කොහේද? කලකට පෙර තම අධිකරණය ඉදිරියට පැමිණි කාන්තාවක්‌ තානායමකට ගෙන ගොස්‌ දූෂණය කළේ යෑයි මහෙස්‌ත්‍රාත්වරයකුට චෝදනා නැඟිණි. අධිකරණ සේවා කොමිසම ඔහු ධුරයෙන් පහ කළේය. එකල මේ පවිත්‍රතාවාදියා සිටියේ කොහේද? එසේම එක්‌තරා අග විනිසුරුවරයකු මෝටර් රථයක්‌ තුළ ස්‌ත්‍රියක සමඟÊ අඩනිරුවතින් සිටිනු පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට හසුවිය. එකල මේ පවිත්‍රතාවාදියා සිටියේ කොහේද? ඤාණසාර හිමිගේ ගෝලබාලයන් අධිකරණයේ යකා නටන විට ඔහු සිටියේ කොහේද?

ඇත්ත. වෙනත් ඕනෑම වෘත්තියක මෙන් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ද ආචාර ධර්ම (ethics) ඇත. මේ ආචාර ධර්මවල අරමුණ තමා විභාග කරන නඩුවක අපක්‍ෂපාතීව කටයුතු කිරීමය. යුක්‌තිය ඉටුවීම පමණක්‌ නොව ඉටු වූ බව පෙනී යා යුතු යෑයි (Justice must Seem to be done) කියමනක්‌ තිබේ. ඉන් අදහස්‌ වන්නේ තමා විභාග කළ නඩුවේ කිසිදු පාර්ශ්වයකට පක්‍ෂපාතී වූ බවක්‌ පෙනී නොයා යුතුය යන්නය. විනිසුරුවරයා නඩුවේ පාර්ශ්වකරුවකුගේ මෝටර් රථයේ නැඟී යන්නේ නම් ඔහුගේ තීන්දුව කෙතෙක්‌ නිවැරැදි වුවද එහි පක්‍ෂපාතී බව බැහැර වන්නේ නැත. පසුගිය රාජපක්‍ෂ රෙජීමය සමයේ මෙබඳු පක්‍ෂපාතී වීම් පිළිබඳ කොතෙකුත් උදාහරණ තිබිණි. මේ කාලයේ ඔහු සිටියේ කොහේද?

කිසියම් විනිසුරුවරයකු සක්‍රීය සේවයේ සිටියදී හෝ විශ්‍රාමිකව හෝ නවකතා ලිවීම විනිසුරු ආචාර ධර්මවලට පටහැනි නොවේ. හැබැයි ඔහුගේ නවකතාව තමා විභාග කරන නඩුවක විනිශ්චයට බලපෑමක්‌ කරන්නේ නම් එය වෙනම කාරණයකි. විනිසුරුවරයකුට දේශපාලනය අකැපය. එහෙත් දේශපාලන මතයක්‌ දැරීමේ අයිතිය ඉන් අහිමි නොකෙරේ. සාහිත්‍ය කලා ආදිය පිළිබඳ කවර වූ හෝ මතයක්‌ දැරීමට පමණක්‌ නොව එය ප්‍රකාශ කිරීමට වුව විනිසුරුකම බාධාවක්‌ නොවේ.

විනිසුරුවරුන්ගේ පත් කිරීම් මාරු කිරීම් සහ විනය කටයුතු පිළිබඳ ක්‍රියා කරන්නේ අගවිනිසුරු සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනකුගෙන් සමන්විත අධිකරණ සේවා කොමිෂන් සභාවයි. කිසිදු දිනෙක අධිකරණ සේවා කොමිෂන් සභාව මගේ ලිවීමට තහංචි පනවා නැත. එමතුදු නොව උත්සව අවස්‌ථාවලදී මුණ ගැසෙන ඉහළ අධිකරණවල විනිසුරුවරුන් මා ලියන දේවල් පිළිබඳ නොයෙක්‌ විට මා සමඟÊකතා කර ඇත. මා ඒ හරිය කිව්වේ අන් කිසිවක්‌ නිසා නොව මගේ ලිවීම් අධිකරණ සේවයට නොගැළපෙන සැක කටයුතු ක්‍රියාවන් ලෙස සේන තෝරදෙණිය නඟන අවලාද ද්වේශ සහගත මනස්‌ගාතයක්‌ පමණක්‌ බව පෙන්වා සිටීමටය.

මා දන්නා තරමින් සේන තෝරදෙණිය හිටපු වාමාංශිකයෙකි. මා විනිසුරුවරයකුව සිටීම ඔහු ප්‍රශ්න කරන්නේ වාමාංශිකයකු ලෙසද? ඔහු ආසක්‌ත වන ධනේශ්වර නීතිය සහ අධිකරණය වැනි ආයතන පවතින්නේ ධනේශ්වරයේ පැවැත්ම තහවුරු කිරීම පිණිසය. මානුෂවාදී විනිසුරුවරයකු මෙම ක්‍රමය තුළ මුහුණ දෙන අර්බුදය නම් නීතිය සහ තමා අතර පවතින දුරස්‌ථ බව නොසලකා රාජකාරි කිරීමයි. ඡේ. එම්. කොඑට්‌සි නම් නවකතාකරුවා Waitihg for the Barbarians නම් නවකතාව ලියන්නේ මහෙස්‌ත්‍රාත්වරයකු මුහුණ දෙන මෙබඳු අර්බුදයක්‌ ප්‍රස්‌තුත කොට ගනිමිනි. එහෙත් හුනුවටයේ කතාවේදී වැඩවසම් නීතියෙන් රිංගා ගොස්‌ තමාගේ මානුෂවාදී අභිලාෂයන් සපුරා ගැනීමට අසඩක්‌ට හැකි වන්නේ ඔහු සොරෙකු වූ බැවිනි. ඉන් නිරූපණය වන්නේ අසඩක්‌ සමාජ අත්දැකීම් සහිත මිනිසකු වූ බව මිස ඔහුගේ සොර භූමිකාව නොවේ.

ඔහු මට යෝජනා කරන්නේ විශ්‍රාමිකයකු ලෙස මා නවකතා නොලියා අලස්‌ මෙන් මා ලියූ නඩු තීන්දුවක්‌ පිළිබඳ ලියා දවසැරීම මැනවයි යන්නය. ඔහු මින් කියන්නේ විනිසුරුවරුන්ට නවකතා ලිවීම අකැප බවය. නඩු තීන්දු ලිවීමේදී මෙන් නොව නවකතාවල අශ්ලීල (අශ්ලීල යෑයි ඔහු නිගමනය කරන) වදන් ලිවීම කළ නොහැක. මා මෙලෙස කාලය නාස්‌ති කරමින් සිටින්නේ එබඳු විකාරවලට පිළිතුරු දීමටය. විනිසුරු අලස්‌ කළේ කුමක්‌ද? ඔහු තමා විභාග කළ ඇඩ්ලින් විතාරණ නඩුවේ වාර්තාව (Rex Vs Anandagoda) ප්‍රති-නිෂ්පාදනය කර පොතක්‌ ලිවීමය. වසන්ත ඔබේසේකර ‘දඩයම’ සිනමාපටය නිර්මාණය කළ විට එහි කතාව තමාගේ පොතෙන් සොරා ගත්තේ යෑයි වසන්තට විරුද්ධව ඔහු නඩු පැවරුවේය. නඩුව විභාගයට ගැනිණි නම් තීන්දුව වෙනස්‌ විය හැකිව තිබුණ ද රුපියල් ලක්‍ෂ දෙකක්‌ ගෙවා නඩුව ගොඩින් බේරා ගැනීමට වසන්ත එකඟ විය. අලස්‌ විනිසුරු ඉන් සෑහීමට පත්විණි. තෝරදෙණිය මට යෝජනා කරන්නේ මගේ ජීවිතයේ ඉතිරි කාලය එබඳු කාලකන්නි ජීවිතයකට හිලව් කරන ලෙසද?

සක්‍රීය සේවයේ සිටියදීත් විශ්‍රාම ගත් පසුවත් දේශපාලනයේ නියෑලෙන සහ වෙනත් ව්‍යාපාර කරන විනිසුරුවරු සිටිති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටි විග්නේශ්වරන් උතුරේ මහ ඇමැති විය. විශ්‍රාම ගත් පසු දේශපාලනයට පිවිසි පළාත් සභා මන්ත්‍රීවරයකු= ද සිටී. අලි ජාවාරමක්‌ පිළිබඳ චෝදනා නැඟෙන මහෙස්‌ත්‍රාත්වරයකු පිළිබඳ මේ දිනවල රාවයක්‌ පවතී. ඒ කිසිවක්‌ මේ තැනැත්තාට කම් නැත. විනිසුරුවරුන් නොකළ යුත්තේ නවකතා ලිවීම (ඒවායේ සාධනීය බව තීරණය කරන්නා ඔහු නොවේ.) සහ සාහිත්‍ය විචාර ලිවීමය. දේශපාලනය කළාට වෙනත් ජාවාරමක්‌ කළාට කම් නැත.

අවසන් වශයෙන් කිව යුත්තේ මතුපිට දෘශ්‍යමානය තුළ කෙනෙකුට පෙනී යන්නේ සේන තෝරදෙනිය විනිශ්චයකාර තනතුරට ද්වේශ කරන බවය. එහෙත් සමකාලීන මනෝ විශ්ලේෂණය පිළිබඳ දන්නා ඕනෑම කෙනෙකුට හසුවන තියුණු කියවීම වන්නේ ඔහු විනිශ්චයකාර පදවියට දැඩි ලෙස ආසක්‌තව අනුරාගයෙන් ඊට බැඳී සිටින බවයි. එයට හේතුව අන් කිසිවක්‌ නොව තමා නොවිඳින විනෝදයක්‌ විනිශ්චයකාරවරයකු විඳින්නේ යෑයි ඔහු සිතන බැවිනි. ඔහුගේ ඊනියා විචාරයේ අභිලාෂය විනිසුරුවරයකුව සිටීමෙන් මා විඳින්නේ යෑයි ඔහු ෆැන්ටසිකරණය කරන විනෝදය අහෝසි කර දැමීමය. මට ඇසීමට තිබෙන්නේ අති සරල ප්‍රශ්නයකි දැන් සනීපද?

ඔබේ අදහස කියන්න...