විප්ලවවාදී සංවිධානයක කාඩර්වරියක් ශික්ෂණය කිරීමේ දී අපට හමුවන පරස්පරය කුමක්ද? මේ සඳහා ලංකාවේ දී අපට සම්මුඛ වන සංයුක්ත උදාහරණ දෙක කුමක්ද? තම සංවිධානය තුළ වසර 17 ක් පමණ දේශපාලන අත්දැකීම් සහිත කරුණා සහ විමල් වීරවංශ තම පරමාදර්ශවල ප‍්‍රතිපක්ෂ වැලඳ ගන්නේ ඇයි? විප්ලවවාදී දේශපාලනයෙන් පිටතට ගිය මේ දෙදෙනාගේම අපගමන ‘ලිංගික’ ලෙසින් වටහා ගැනීමට අපි පෙලඹෙන්නේ ඇයි?

පළමුවෙන්ම කිව යුත්තේ ‘විප්ලවවාදී ශික්ෂණය’ නිර්වචනය කර ගන්නේ කෙසේද? යන්නය. ඊළඟට වාමාංශික යනුවෙන් අදහස් වන්නේ ධනවාදයට විපක්ෂ යන සාධකය නම් එහි සමකාලීන අත්දැකීම කුමක්ද යන්නය.

ආරම්භයක් ලෙස ගතහොත් මිනිස් සමාජය තුළ ශික්ෂණ වර්ග දෙකක් ඇත.

(1) සතුන් ශික්ෂණය කිරීම. (ශරීරය හීලෑ කිරීම)

(2) මනස ශික්ෂණය කිරීම. (අඳුරෙන් ආලෝකයට ඒම)

 

සාමාන්‍යයෙන් ලංකාවේ ප‍්‍රමිතිගත ශික්ෂණ ව්‍යාපාර බොහොමයක් පැවතියත් ධනවාදයට එරෙහිව ගත් කල ශික්ෂණය යනුවෙන් අදහස් වන්නේ මිනිසාව සතෙක් ලෙස සලකා ශික්ෂණය කිරීමයි. ජවිපෙ සහ LTTE යන පහළ මැදපාන්තික දේශපාලන ව්‍යාපාර දෙකම මිනිසුන්ගේ ‘ශරීරය’ හික්මවීමේ පදනම ලෙස ගනියි. ඊළඟට මනස ශික්ෂණය කිරීම බොහෝ විට වෘත්තීය සමිති මත පදනම් වූ දේශපාලන පක්ෂ අනුගමනය කරයි. ට්‍රොට්ස්කිවාදය මත සම්භව වූ සමසමාජ, කොමියුනිස්ට්, හතර වන ජාත්‍යණ්තරයේ විවිධ ප‍්‍රවණතා අනුගමනය කරන ව්‍යාපාර මීට උදාහරණ වෙයි. නමුත් සමකාලීන ජාතික රාජ්‍යයේ ව්‍යුහයන් මත පරායක්ත නොවන ගෝලීය ප‍්‍රාග්ධනය ඉදිරියේ ඉහත ශික්ෂණ ව්‍යාපාර දෙකම අතිශය අසාර්ථක වී ඇත. මේ අසාර්ථක වීම්වල නිෂ්ටාවන් ඉදිරි දශකය තුළ අපිට හොඳින් විද්‍යමාන වනු ඇත. එකිනෙකා මධ්‍යම පාන්තික යැයි අනෙකාට දෝෂාරෝපණය කර ගන්නවාට එහා ගිය වෙනසක් ඉහත ප‍්‍රවණතා දෙක අතර නැත.

අනාගත මාක්ස්වාදී දේශපාලන ශික්ෂණය යනුවෙන් අදහස් වන්නේ ඉහත විග‍්‍රහ කළ ශික්ෂණ ව්‍යාපාර දෙකම සමතික‍්‍රමණය කිරීමයි. මේ සඳහා යෝජනා කළ හැකි ආරම්භක විභවතා මොනවාද? ‘නව ලෝකයක්’ සඳහා කල්පිතයන් යෝජනා කරන කාල් මාක්ස් ඒ සඳහා ඉදිරිපත් කරන ෆොයාර්බාක් පිළිබඳ තුන්වන තිසීසයේ අදහස මෙතැනට උපුටා දක්වමු.

 

”මිනිසුන් වනාහි පරිසරයේත් ශික්ෂණයේත් නිෂ්පාදන වෙති. එහෙයින් වෙනස් වූ මිනිස්සු වනාහි වෙනස් පරිසරවල සහ වෙනස් ශික්ෂණවල නිෂ්පාදන යනුවෙන් භෞතිකවාදී මතයක් ඇත. මේ මතය පරිසරය වෙනස් කරන්නේ මිනිසුන් ම බවත්, ශික්ෂකයා ම ශික්ෂිත කළ යුතු බවත් අමතක කරයි. එහෙයින් මේ ඉහත මතය සමාජය අනිවාර්යයෙන්ම කොටස් දෙකකට බෙදයි. මේ දෙකොටසින් එකක් සමාජයට වඩා උත්තරීතරය යන අදහස පසුව ක‍්‍රියාත්මක වෙයි.

පරිසරය වෙනස් කිරීමත්, මානුෂික ක‍්‍රියාකාරීත්වයත් යන මේ දෙකේ සමපාතය සිතාගත හැක්කේත්, තාර්කිකව වටහාගත හැක්කේත් විප්ලවවාදී ලෙස වෙනස් කළ භාවිතාවකට පමණි.”

 ඉහත තිසීසය ජර්මන් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරමු.

 ”ලංකාවේ දේශපාලනය කරන අතිබහුතරයක් දෙනා ග‍්‍රාමීය පරිසරයේත්, ශික්ෂණයේත් නිෂ්පාදන ය. නමුත් ඔවුන් දේශපාලනය කරන්නේ කොළඹ නගරයට විතැන් වීමෙනි. කොළඹට පැමිණි වහාම ඔවුන් අමතක කරන්නේ තමන් ග‍්‍රාමීය පරිසරයේත්, එහි ශික්ෂණයේත් නිෂ්පාදන බවය. මේ හේතුව නිසා ඔවුන් ගම්වල ප‍්‍රශ්න ‘රටේ ජාතික ප‍්‍රශ්න’ ලෙස වරදවා අවබෝධ කර ගනිති. (අධ්‍යාපනය විකිණීම) මේ මතය විසින් ‘මතවාද’ නිර්මාණ කරන්නේ ගම්වලින්ය යන මතය හෙළා දකියි. එහෙයින් මේ ඉහත මතය ශ‍්‍රී ලංකාවේ සමාජය අනිවාර්ය ලෙස කොටස් දෙකකට බෙදයි. මේ දෙකොටසින් එකක් ඔවුහු මධ්‍ය පන්තික ලෙසත් අනෙක නිර්ධන ලෙසත් වැරැුදියට නිර්වචනය කර එකක් අනෙකට වඩා උත්තරීතරය යන අදහස පසුව ක‍්‍රියාත්මක කරයි. (අපි සහ උන්)”

 

ශ‍්‍රී ලංකාවේ ශික්ෂණ ව්‍යාපාරවලට ශික්ෂණය කළ යුත්තේ කුමක්ද යන්න එන්නත් වන්නේ ඉහත වැරැුදි ලෝක දෘෂ්ටියෙනි. N.M. ගේ මනස ශික්ෂණය කිරීම වැරැදි යැයි විජේවීර ආකෘතිය යෝජනා කර පසුව ‘ශරීරය’ ශික්ෂණය කිරීම සතුන් හීලෑ කිරීමෙන් වෙන් කර ගැනීමට බැරි තරම් අපගමනය වන්නේ මේ නිසාය. 71 අරගලය සිට සයිටම් ගැටලූව දක්වා මිනිසුන්ගේ ශික්ෂණය කරන්නේ ශරීර මිස මනස නොවේ. 2011 වර්ෂයේ දී ජවිපෙන් ඉවත් වූ සාමාජිකයන් අතරින් බහුතරයක් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පැරණි ශික්ෂණයම ඉදිරියට යාමක් මිස එයින් ඛණ්ඩනය වීමක් නොවේ. ශරීරය ශික්ෂණය කිරීම වෙනුවට ‘මනස’ ශික්ෂණය කිරීමට යොමු වූ සිංහල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාර සත්ව ශරීර දෙසට යොමු වීම වෙනුවට බාහිර මර්දනය ශෲංගාරකරණය කළේය. ඔවුන් ඉන්ද්‍රිය සංජානයෙන් නිශ්චිත මිනිසුන් සංඛ්‍යාවක් අධ්‍යාත්මික තලයට තල්ලූ කළේය. (සියලුදෙනා ශික්ෂණය නොකළ යුතු නිසා)

පසුගිය Id කලාපයෙන් ඉගෙන ගත් දෙයට අනුව ගතහොත් මිනිසුන් ශික්ෂණය වන්නේ බාහිර පෙලඹීමකින් නොව අභ්‍යන්තර ගැටලූවක් ජය ගැනීමටය. මෙම තත්ත්වය උදා වන්නේ සාම්ප‍්‍රදායික බලය (අත්තනෝමතික රජෙකුගේ හෝ පූජකයකුගේ පූජක බලය) අහෝසි කර එතැනට ‘නූතන බලය’ සංකල්පය ප‍්‍රංශ විප්ලවයට පසු බිහි වීම නිසාය. මිචෙල් ෆූකෝ විසින් න්‍යායගත කරන්නේ අර කී සාම්ප‍්‍රදායික බලය නොව නූතන බලයයි. ෆූකෝට අනුව නූතන බලය නිශේධනාත්මක එකක් නොව නිෂ්පාදනීය එකකි. ඉන් අදහස් වන්නේ නූතන බලය සවිඥානිකව ගොඩනැංවෙන්නක් බවය. නූතන බලයේ පදනම වන්නේ විඥානයන් දෙකක් විසින් ‘එකිනෙකා‘ ප‍්‍රබන්ධ කරනු ලැබීමකි. මේ මෑතක දී මා සමඟ දිගු කාලයක් වැඩ කර, අපගේ ව්‍යාපාරයෙන් ඉවත් වූ පුද්ගලයෙක් මා දන්නා හඳුනන පුද්ගලයෙකුට මෙසේ කියා තිබුණි. ”මම නිදහස්. මම දැන් ඉන්නේ දීප්තිගේ ආධිපත්‍යය තුළ නෙවි.” ෆූකෝවාදී ලෙස මෙම වාක්‍යය නිර්වචනය කළහොත් එහි අදහස කුමක්ද? ”මා විසින් බාහිරින් ප‍්‍රබන්ධගත කළ දීප්ති නම් හේතුවෙන් ඉවතට යෑමට දැන් මට හැකි වී ඇත” ගැටලූව වන්නේ මෙම ‘ප‍්‍රබන්ධගත – බාහිර – දීප්ති” යනු එය ප‍්‍රබන්ධගත කළ පුද්ගලයාගේම නිර්මාණයක් බව එම පුද්ගලයා අවබෝධ කොට නොගැනීමයි. ඔහුගේ බාධාව සැබෑ ‘මම’ නොවේ.

දැන් අපට මිචෙල් ෆූකෝගේ නූතන බලය නම් සංකල්පයෙන් ඉවතට ගොස් ‘මනෝ විශ්ලේෂණය’ නූතන බලය න්‍යායගත කරන ආකාරය වටහාගත යුතුය. ෆූකෝ විසින් අපට තේරුම් නොකරන්නේ කුමක්ද? යම් පුද්ගලයකු දීප්ති නම් බාහිර ආධිපත්‍යයක් තමන්ගේ ආත්මය ඇතුළට ගන්නේ ඇයි? ෆූකෝට අනුව නම් එය දේශපාලනික වැඩකි. මන්ද මෙම ‘බලය’ ක‍්‍රියාත්මක නොවන්නේ නම් සමාජය අරාජික වීමට ඉඩ ඇති නිසාය. සාම්ප‍්‍රදායික බලය මෙන් නොව ‘නූතන බලය’ අත්තනෝමතික එකක් නොවේ. එය මනස විසින් ගොඩනඟන ස්වාමි-සේවක විඥාන බල රටාවකි. දීප්තිව ස්වාමියකු කිරීමෙන් එය කරන සේවකයාට ලැබෙන (කප්පම* ආශ්වාදනීය දෙය කුමක්ද? හුදු ශික්ෂණයද? ශික්ෂණය හෝ මෙල්ල කිරීම සමාජය පාලනය කිරීමේ තාක්ෂණයක් බව සැබෑය. රජතුමා ඝාතනය කළ නිසා සමාජය නම් සමස්තයේ මධ්‍යය හිස් විය. එය හිස් ආත්මයකි. මේ හිස් ආත්මය පෙරළා පුද්ගල ආත්මයටම අතිශය කටුක ක්ෂතිමය අත්දැකීමකි. නූතන මිනිසා ඉතා හොඳින් දන්නා පරිදි කිසිදු නිශ්චිත අර්ථයකින්, හේතුවකින්, පරමාදර්ශයකින් තොරව ‘සමාජය’ යන අදහස නිරන්තර චලනයට ලක් වෙයි. එබැවින් සහනයක් ලැබීමට පවා මෙම හිස්තැන ඇති තැනට යම් අන්තර්ගතයක් ප‍්‍රක්ෂේපණය කළ යුතුය. නූතන විවිධ ආධිපත්‍යයන් යනු (නූතන සහ පශ්චාත් නූතන) මෙම පුරවන ලද අන්තර්ගතයන් ය. ෆූකෝට අනුව නූතන මිනිසාගේ පාලකයා ඔහු විසින්ම බාහිරට ප‍්‍රක්ෂේපණය කළ දැක්මකි  (Gaze). කිසිවකු නැති තැනට තමාව නරඹන ඇස් දෙකක් සවි කිරීම සහනයකි. සාරය නැති තැනට සාරයක් එන්නත් කිරීමකි. නමුත් අනෙක් අතට මේ සාරාත්මක (දීප්ති) ඇස් දෙක තමන් දෙස නිරන්තරයෙන් බලා සිටිනවා යන කල්පිතය නැවතත් ආත්මයක් (Subject) නිපදවයි. ෆූකෝට අමතක වී යන්නේ මෙම ආත්මයේ ක‍්‍රියාකාරීත්වයයි. එනම් අවිඥානක ෆැන්ටසියයි.

එක පැත්තකින් සාරාත්මක ආධිපත්‍යයක් (දීප්ති) ලෙස බාහිර පුද්ගලයෙක් සිටියි. අනෙක් පසින් මෙම ආධිපත්‍යයේ නිරන්තර නිරීක්ෂණයට අර කී නරඹන්නාම පත් වෙයි. (සහානුභූතිය) කුඩා දරුවා දෙස මව බලා සිටියි. මව අහක බලයි. දරුවා හඬයි. නැවත මව දරුවා දෙස බලයි. දරුවා සිනහ වෙයි. දීප්ති දෙස ආත්මයක් දෙස බලා සිටියි. ඔහු අහක බලයි. නරඹණ ආත්මයට කේන්ති යයි. ඊර්ෂ්‍යා කරයි. ෆූකෝට වඩා අමතර ගමනක් නූතන බලය දෙසට මනෝ විශ්ලේෂණය ගමන් කරයි. ෆූකෝට අමතක වූයේ ආධිපත්‍ය බාහිරින් ප‍්‍රබන්ධගත කරන පුද්ගලයාට ‘අවිඥානය’ නම් දෙයක් ඇති බවයි. අවිඥානය යනු මනසක් නොවේ. එය ‘බලය’ කරා ආත්මය යොමු කරන දැනුමකි. සමාජ ප‍්‍රශ්න සහ දැනුම අතර වෙනස මෙතන දී බොඳ වෙනවා. මිනිසුන් බලයට ආශා කරන්නේ එය දැනුමක් හෝ සහනයක් නිසා නොව එය යම් අතිරික්තයක් බිහි කරන නිසාය. බලයට මිනිසුන් හීලෑ වන්නේ මෙම අතිරික්තය නිසා මිස ඒ තුළ අර්ථයක් ඇති නිසා නොවේ. මේ අතිරික්තය ශෘංගාරයයි.

 මීළඟට – විප්ලවවාදී ව්‍යාපාරයක් සංවිධානය කළ යුත්තේ සත්‍යවාදී මිනිසාම මිස දෘශ්‍යමානයේ විද්‍යමාන වන සබුද්ධික තාර්කික මිනිසාව නොවේ. ඉන් අදහස් වන්නේ නූතන බලයේ අත්වාරම දැනුම හෝ සවිඥානය නොව අවිඥානයේ විශ්වාසයන් සහ වත්පිළිවෙත්ය යන අලූත් අදහසය. එසේ නම් බලයට ආශා කිරීම මාක්ස්වාදීද යන ප‍්‍රස්තුතය මතු වෙයි.

 දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...