දැන් අප අත්දකිමින් ඉන්නේ මුණිවරුන්ගේ යුගයකි. නැත්නම් මුණිවරුන් අන් කවරදාටත් වඩා අවශ්‍ය වී ඇති යුගයකි. වෙළඳපල  පසු ධනවාදයේ සහ දිගට ඇදෙමින් යන පශ්චාත් නුතනත්වයේ ක්ෂිතියෙන් අපව බේරාගත හැකි ආකාරයේ ගැලවුම් කරුවෙක් දැන් අපිට වෙන කවරදාටත් වඩා අවශ්‍යය. ඇතැම් විට සත්ගුරු මුණි සපයමින් සිටින්නේ සුරාකෑමේ අසමානතාවය ඉස්පොල්ලේ ගොස් තිබෙන ඉන්දියාවේ එදිනෙදා ක්ෂිතියෙන් බේරීමේ මානසික උපක්‍රමයක්ද විය හැක.
තමා වටා ඇති ඉන්දීය අපිරිසිදු යථාර්තය  (ද්‍රව්‍යය=objective reality) තුල නෙලුම් මලක් මෙන් පිරිසිදු මානසිකත්වයෙන් (spirituality) සිටීමට ඔහු ඔබට උගන්වනු ඇත. කෙසේ වුවද සත්ගුරු මුණි මෙසේ කියයි, ‘ඔබ නිෂ්පාදනය ට සම්භන්ද වන්නේ ඇයි? සිහිනය හඹා යන්නේ ඇයි? ඔබ ඇමරිකාවට පෙම් බඳින්නේ ඇයි? මොනවා සිදුවුවත් මේ ඔබ වටා ඇති කිසිවකට අනන්‍ය නොවී ජිවත් වන්න. එසේ නිකම් ඔහේ සිටින විට ඔබේ ආලෝකය ඔබ වෙත එනු ඇත. දැනුම බුද්ධිය (reason and intellect) පිණිස ඇති පිපාසය පසෙක තබා ජිවිතයේ මායාව – ඉන්ද්‍රජාලය (magic of life) සොයායන්න’. නුතනත්වයෙන් වෙහෙස වී සිටින විගලිත බටහිර ආත්මයට සත්ගුරුගේ වදන් ඇතැම් විට කණට මී පැණි මෙන් විය හැක. ගුප්ත අනේකත්වය හමුවී ජිවිතයේ ඉන්ද්‍රජාලය සෙවීමට ඔවුන් වැල නොකැඩි ඉන්දියාව බලා එනු ඇත. එක් අතකින් ගෝලීය ධනවාදය අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙමින් අපගේ ජිවන ලෝකය දෙදරවමින් ඇත. දැනුම විසින් අපව තව තවත් ක්ෂිතියට ලක් කරමින් ඇත. පවත්නා යථාර්තය පිළිබද වඩ වඩා දැනුවත් වීම මගින් අප වෙහෙසට පත් කරමින් ඇත. එනිසා දැනුමට විකල්ප ලෙස මායාව අවශ්‍ය වී ඇත. අනෙක් අතට පසු ධනවාදයට විකල්පයක් පෙනෙන තෙක් මානයක නැත. මහා ආඛ්‍යාන සියල්ල නිර්නෛතික වෙමින් ඇත. සිරගතව පවත්නා ආපතික බව පුරවනු පිණිස ඉතින් මුණිවරුන් හැර අන් කවර සරණක්ද? ලංකාවේ සත්ගුරු වීමට යමෙක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඉහල අබෑර්තුවක් නම් ඇත… 

මුනිවරයාගේ භාෂාව ගැන ලකාන් මෙසේ කියයි. ‘මුණිවරයකුගේ භාෂා භාවිතය යනු සයිකෝටික තත්වයක ප්‍රකාශ වීමක් නොවේ. බොහෝ ස්ත්‍රී ශ්‍රාවකයින් පෙන්වා දෙන පරිදි පිරිමියා සහ ස්ත්‍රිය යන කප්පාදු කොට්ටාශ දෙකම අතර ස්ථාන ගත විය හැකි තැනැත්තා මුණිවරයකුගේ භාෂාව දරා සිටින්නා වේ. එවැන්නෙකුට සුරතාන්තය අත්විදීමට ලැබෙන නමුත් එය ප්‍රකාශ කිරීමට නොහැක. රෝමයේ බර්නින් ප්‍රතිමාව හෝ තෙරේසා මව් තුමිය ගේ පිළිරුව දෙස බැලු සැණින් ඔබට මෙය අවබෝධ වනු ඇත’ (1958: 76). සාන්ත ඇක්වයිනාස් වැන්නෙකු ජිවිතයේ අවසාන සමයේ අත්විදි මුනිවරභාවය සම්පුර්ණයෙන්ම සංකේතිය පිලිවෙල තුල ම ස්ථානගත කරන ලැකාන් සමස්තයට අයිති නැති එම සංකේතනයේ ම කොටසක් සංකේතනයට ඔබ්බෙන් පිහිටා තිබු බව පිළිගනී. එය එක්තරා සුරතාන්තයක් ලෙස ලැකාන් හඳුනා ගනී. ප්‍රමෝදයක් ලෙස නම් කල හැකි මෙම සංකේතනය ලෝකය නම් වේදිකාවේ තිරය වැටුණ පසු මිනිසා හට එක්වරම ප්‍රාදුර්භුත වන දෙයකි. මනෝ භ්‍රාන්තියක් (hallucination or delusion) ලෙස ගත හැකි මෙම අතිරික්ත ප්‍රමෝදය බොහෝ මුණිවර අත්දැකීම්හි ඇති  දේවත්වය නිරුපණය කරයි. ඒ අනුව සත්ගුරු මුණි විසින් තමා වෙත මිනිස් විෂය ආශක්ත කරගනු ලබන්නේ ප්‍රමෝද අතිරික්තයක් (ecstasy) හරහා ය. සුරතාන්ත අත්දැකීමක් හරහාය (ස්ත්‍රිය වහා ආකර්ෂණය වේ). එය හරියටම ධනවාදය ව්‍යාප්ත වන ආශා අතිරික්තයේ තර්කයට සමානය (එතැනද ඇත්තේ ස්ත්‍රී ශරීරයයි). බැලු බැල්මට පෙනෙන සත්‍ය සමාජ පරස්පරතා නොදැක්කා සේ තම සුරතාන්ත කතිකාව හසුරුවන සත්ගුරු සන්‍යාසි විසින් එම අසමානතා ස්වභාවික කරයි. ඒවාට නව අර්ථකතනයක්, නව අනන්‍යතාවයක් ලබාදේ. (‘ගෘහණිය’ යන්න ඔහු නැවත අර්ථකතනය කර එයට නව අනන්‍යතාවයක් ලබාදේ. පරස්පරතා ගැටළුව ඇත්තේ ‘ගෘහණිය’ යන්න තුල ම බව ඔහු මඟහරිනු ලබයි – in itself). මෙම තත්වය වාමාංශික කතිකාව විසින් වහා හඳුනා ගතයුතු නව ප්‍රපංචයකි. මිට අවම වශයෙන් දශක දෙකකට පෙර මාක්ස්වාදයට මෙවැනි තත්වයක් අර්ථකතනය කරගැනීම පිණිස වූ න්‍යායික අවි තිබුණේ නැත. මාක්ස්වාදය මනෝ විශ්ලේෂණයේ ආගමනයත් සමග නව මගක් ගෙන ඇත යනුවෙන් අප පවසන්නේ එම නිසාය.   

ඉන්දියාවේ සමාජ සවිඥානිකත්වය පාදක කරගෙන තමාව ප්‍රශ්න කල එක් බටහිර ගැහැණියකට ඔහු මෙසේ පිළිතුරු දෙයි. ‘අප සිටින මෙම අවුල් සහගත තත්වය කොතරම් නම් සුන්දරද? මෙම අපිළිවෙල වෙනස් කරන්න ඔබ හදන්නේ ඇයි? අපි ඉන්දියානුවන්. බලන්න අප කොච්චර පැරණිද කියල. ඇයි අප දෙස බටහිර කණ්නාඩිය දාල බලන්නේ?’ තර්කානුසාරි යථානුභුතවාදීන් මෙන්ම හේතුවාදීන් සත්ගුරු විසින් පහසුවෙන් මෙල්ල කරයි. මන්ද ඔහු භාවිත කරන්නේ ප්‍රමෝදයේ භාෂාවක් වන නිසා හේතුවාදීන් හට ඔහුගේ කප්පාදු විරෝධය තේරෙන්නේ නැත. ජිජැක් ට අනුව මෙම තත්වය ස්ත්‍රී ප්‍රමෝදයකි (feminine jouissance). පුර්ව ඊඩිපස් ප්‍රමෝදයකි. එනයින් මෙම සත්ගුරු වැනි ගුප්තවේදීන් දැනුම විසින් අප වෙත ගෙන එන කප්පාදුවට දෘෂ්ටිමය ලෙස එරෙහි වේ. කප්පාදුව ඔස්සේ වෙනස් නොවන මිනිස් විෂය එනයින් එකතැන පල්වීමට පටන් ගනී. එය අඳුරට බිය වීමකි. මෙය පශ්චාත් නුතන තත්වයකි. නිශේදනය නිශේදනය කිරීමකි (මාවෝ ගේ අති මුලික වරද). සමීපව කල්පනා කර බැලුවොත් සමකාලින රැඩිකල් වමවාදය තුළ පවතින්නේද මෙම බුද්ධි විරෝධය ම බව ඔබට පසක් විය හැක. ඔවුන් නිශේදනය වෙමින් පවතින තම පැවැත්ම පිළිගැනීම නිශේදනය කරයි. ගුරුවරයෙක් තම ශිෂ්‍යයාගේ යම් පිළිතුරක් වැරදියි කිවහොත් එතැන ඇත්තේ නිශේදනයකි. ශිෂ්‍යයා එම නිශේදනය ප්‍රතික්ෂේප නොකළ යුතුය. එසේ නොකර නිවැරදි පිළිතුර කරා ගමන් ගත යුතුය. එතැනදී අවශ්‍ය වන්නේ එක් දෙයකි. එනම් කප්පාදුවයි.  එය ප්‍රතික්ෂේප කිරීම යනු විනාශයයි. යමෙක් හිතා මතා විනාශය කරා යන්නේ නම් එවිට අපට කළහැකි දෙයක් නොමැත. 

මහේශ් හපුගොඩ

ඔබේ අදහස කියන්න...