අප තෙරක් නොපෙනෙන ගණ වනාන්තරයක් මැද අතරමංව සිටී නම් කළ යුතුව ඇත්තේ කුමක්ද? සියලු බලාපොරොත්තු සිඳ ගත්තවුන් පරිද්දෙන් හිස් ලූලූ අත ඇවිද ගොස් තව තවත් මංමුළා වී යාමද? අපගේ නිර්මාණශීලී ශක්‍යතාවන් සහ මානුෂ ශක්තීන් පිළිබඳ ලෞකික විශ්වාසය මුළුමනින්ම අත්හැර දමා දෙවියන්ට හෝ නොපෙනෙන අසහාය බලවේගයන්ට යාඥා කිරීමද? එල්බ ගත් අරමුණක් නොමැතිව වරෙක එක් දිශාවකට ද තවත් වරෙක වෙනත් දිශාවකට ද වශයෙන් වෙන් වෙන්ව ඇවිද යාමද? නොඑසේ නම් කිසිවෙකුත් සහතික වශයෙන්ම පිළිතුරක් නොදන්නා නිසි මඟ පිළිබඳ ප්‍රශ්නය අරබයා නිෂ්ඵල වාදයක නිරත වී අපගේ සාමූහික ශක්තිය අබල දුබල කර ගැනීමද?
ඉහත ගැටලුවට අර්නෙස්ටෝ ලැක්ලාව් කදිම පිළිතුරක් සපයයි. එනම් කළ යුතුව ඇත්තේ කුමන දුෂ්කරතා මධ්‍යයේ වුවත් තෝරා ගත් එක් දිශාවකට සාමූහික හැඟීමෙන් හා අචල අධිෂ්ඨානයෙන් යුක්තව නොකඩවා ගමන් කිරීම බවය. එවිට යම් මොහොතක අපට ඒ රුදුරු වන පෙතින් නික්ම යාමට හැකි වනු ඇත. පශ්චාත් –
පෙරෙස්ත්‍රොයිකානු සහ පශ්චාත් – තෘෂ්ණි – යුද කාලීන විමුක්ති දේශපාලනය මුහුණ දී තිබෙන්නේ ද ඉහත කී ආකාරයේ භවසත්තාවාදී නිමේෂයකටය. ධනවාදයේ අවසානය යම් කිසි ඓතිහාසික නියතියකින් සහතික කරන්නේය යන විශ්වාසය එක් අතකින් බරපතළ ලෙස බිඳී යමින් පවතී; ධනවාදී හුවමාරු භාණ්ඩකරණයේ(Commodification) ක්‍රියාවලිය හුදු ආර්ථික අර්බුදයකින් ඔබ්බට ගොස් සමස්ත ශිෂ්ටාචාර අර්බුදයක් කරා ඉමහත් විනාශකාරී ලෙස ගමන් කිරීම අනෙක් අතින් දිස් වෙමින් තිබේ. ෆ්රෑන්ක්ෆර්ට් පාසලේ න්‍යායවේදීන් දෙදෙනකු වූ මැක්ස් හොර්කයිමර් සහ තියඩෝ ඇඩානෝ පසුගිය සියවසේ මැදභාගයේ දී විශිෂ්ට ලෙස විශ්ලේෂණය කළ පරිදි බටහිර ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියෙහි නිශේධනීය තර්කණය වූ අධිපතිවාදය එහිම සාධනීය තර්කණය වූ මානව විමුක්තිවාදය යටපත් කරලමින් පෙරට එමින් පවතී. අප ජීවත් වන්නේ විමුක්ති දේශපාලනයේ ආවශ්‍යකත්වය තදබල ලෙස අන් කවරදාටත් වඩා දැඩි ලෙස දැනෙන්නා වූත් එහි වලංගුතාව පිළිබඳ සමාජ විශ්වාසය අන් කවරදාටත් වඩා බිඳ වැටෙමින් ඇත්තා වූත් ඓතිහාසික පරස්පරතාවයේ යුගයකය.
මෙවන් යුගයක විමුක්ති දේශපාලනයේ පරාමිතීන් පුළුල් කිරීම අරමුණු කරගත් හරයාත්මක සංවාදයක් අවැසි බවට කිසිදු සැකයක් නොමැත. නමුත් එකී සංවාදයන්ගේ දිශානතිය විය යුත්තේ ක්‍රම-විරෝධී දේශපාලනයේ සංවිධානාත්මක සාමූහික විභවතාවන් වර්ධනය කරලීමත් විමුක්ති දේශපාලන අවකාශය තුළ ප්‍රජාතාන්ත්‍රික බහුවිධත්වය තහවුරු කරලීමත් බව අපි දැන් වසර ගණනාවක සිටම අවධාරණය කොට ඇත්තෙමු. මමත් මා මිත්‍ර විදර්ශන කන්නන්ගරත් ලංකාවේ ජනතා විමුක්ති දේශපාලනයේ කතිකාව වෙතට බලපෑම්සහගත සංවාදශීලී මැදිහත් වීමක් කරන්නට වසර කිහිපයකට පෙර තීරණය කළේ ඉහත ස්ථාවරය තුළ පිහිටා ගෙනය. මා මෙහිදී අදහස් කරන්නේ 2011 වසරේ මුල් භාගයේ දී ‛ලංකා’ පුවත්පත තුළ ආරම්භ වූ ‛ජනතා විමුක්ති කතිකාව’ පිළිබඳ සංවාදයයි. එම සංවාදය ඉන්පසුව එවකට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයන් වූ ද ඉන්පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාරම්භකයන් වූ ද සොයුරන්/සොයුරියන් සමඟ අපි අඛණ්ඩව පවත්වාගෙන යන්නට සමත් වීමු. එම සමස්ත ක්‍රියාවලිය පුරාම අප සිහි එළඹගෙන සිටි කාරණයක් නම් සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායේ විසංයෝජනයක් සහ එමඟින් පැනනැඟෙන රැඩිකල් හා ප්‍රජාතාන්ත්‍රික විමුක්ති අරගලයන්ගේ බහුලත්වයක් පිළිබඳ අපගේ පශ්චාත් – මාක්ස්වාදී අදහස, සංවිධානගත දේශපාලනයේ වලංගුතාව පිළිබඳ ප්‍රායෝගික
අවබෝධය දුර්වල කරන්නක් නොවිය යුතුය යන්නයි. අප එහි දී කොතරම් සමත් වී ඇතිදැයි කීමට මම නොදනිමි. නමුත් සංවිධාන ක්‍රියාකාරීත්වයේ වැදගත්කම පිළිබඳ අපගේ අවධාරණය කිසිසේත්ම අප අත්හැරියේ නැත. දැනට වසර දෙකකට පමණ පෙර ‛රාවය’ පුවත්පතට මා ලියූ ‛ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයක් උදෙසා නව දේශපාලන පරිකල්පනයක්’ නමැති ලිපි පෙළෙහි අට වැනි කොටස තුළ මා ඉතා පැහැදිලිව සංවිධානාත්මක දේශපාලන ක්‍රියාකාරීත්වයේ වැදගත්කම පිළිබඳ අපගේ අවධාරණය මෙලෙස සටහන් කළෙමි.
‛‛කෙසේ වුව ද මෙහි දී අපගේ අවධාරණය වන්නේ සංවිධානගත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හෝ සංවිධාන අනවශ්‍ය බව නොවේ. පසුගිය වසර දෙකක පමණ කාලය පුරා ‛ලංකා’ සහ ‛ජනරළ’ පුවත්පත් ඔස්සේ අප ගොඩනැඟූ සංවාදයේ ප්‍රධාන අවධාරණයක් වූයේ ප්‍රබල පක්ෂයකින් හෝ සංවිධානයකින් තොරව මෙරට දේශපාලනය තුළ කළ හැකි අටමගලයක් නොමැති බවය. නමුත් මෙම වැදගත් සංධිස්ථානමය මොහොතේ දී ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නයක් නම් විමුක්ති දේශපාලනයට නායකත්වය දෙන අනාගත ව්‍යාපාරය හැඩ ගැස්විය යුත්තේ කවර සංවිධාන මූලධර්ම අනුවද යන්නයි. අප සමාජයේ විමුක්තීන්ගේත් විමුක්ති අරගලවලත් බහුලත්වය පිළිගන්නේ නම් සහ ප්‍රජාතාන්ත්‍රික පැනනැඟීම්වල යුක්ති සහගතතාවය පිළිගන්නේ නම් එකී බහුලත්වය මහ ප්‍රජාතාන්ත්‍රිකභාවය සංවිධාන ආකෘතිය තුළ මූර්තිමත් විය යුතුය. සරලව කිවහොත් බහුවිධ වූ විසිරුණු ශක්තීන් සංවිධානමය ලෙස ගොනු කිරීම කවර විමුක්ති දේශපාලනයක දී වුවත් ඉතාම අවශ්‍යය. නමුත් ඒවා ගොනු කළ යුත්තේ මධ්‍යයෙහි වූ කේන්ද්‍රගත ශක්තියකින් සෙසු ව්‍යාපාරවල ආවේණික ශක්තීන් යටපත් වී යන ආකාරයෙන් නොවේ. විවිධ ව්‍යාපාරවල ආවේණික අද්විතීය ශක්තීන් වඩා තෙදවත්ව ඔදවත්ව ඉස්මතු වන පරිද්දෙන්ය. මේ සඳහා සංවිධාන යාන්ත්‍රණයේ අභ්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික ගතිකයන් වර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඊට අමතරව බහුවිධ ප්‍රජාතාන්ත්‍රික  අරගලයන් අතර අන්‍යෝන්‍ය පරිසමාප්තියක් ගොඩනැඟිය යුතුය. පක්ෂය හා බහුවිධ ව්‍යාපාර අතරත් පන්ති අරගලය සහ ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාර අතරත් මෙතෙක් කල් පැවැති ‛සහයට ඩැනී’ සම්බන්ධතා රටාව වෙනස් කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහි දී මඟ හැර යා නොහැකිය. නව සංවිධාන රටාවක් සහ බහුවිධත්වයට ඉඩකඩ සැලසෙන සංස්කෘතියක් පරිකල්පනය කිරීම ඉතාම අවශ්‍ය වන්නේ අභ්‍යන්තර විවාදයන් සඳහා දැනට ලාංකේය වාමාංශික සංවිධාන තුළ ඇති එකම විසඳුම සංවිධානවල බිඳී යාම පමණක් නිසාය.’’ (රාවය 2012 අප්‍රේල් 08 – පිටුව 18)
ඉහත ප්‍රකාශයට අප දැන් එකතු කිරීමට කැමැති යම් අංගයක් වේ නම් ඒ සංවිධාන ආකෘතියත් සංවිධානය හා පරිබාහිර සමාජය අතර සබඳතාවල ආකෘතියත් ‛විප්ලවවාදී සහයෝගීතාව’ (Revolutionary solidarity) පිළිබඳ මූලධාර්මික එකඟතාවක් අනුව හැඩ ගැසිය යුතු බවයි. නිදසුනක් ලෙස ජ.වි.පෙ. ගතානුගතික සංවිධාන ආකෘතිය තුළ කාන්තා අංශය හැඩ ගැසුණේ ස්ත්‍රීන්ට ස්ත්‍රීන් වීම නිසාම මුහුණ දීමට සිදු වන පීඩනයන්ට, අසමානතාවන්ට එරෙහිව අරගල කිරීමේ සටන් පෙරමුණක් ලෙස වනවාට වඩා පක්ෂ වැඩපිළිවෙළේ ප්‍රමුඛතාවන්වලට අනුව ස්ත්‍රී සාමාජිකාවන් මෙහෙයවීමේ අංගයක් ලෙසය. මෙහි දී සැබැවින්ම සිදු වන්නේ සමාජය තුළින් පැනනඟින ඓන්ද්‍රීය ස්ත්‍රී ව්‍යාපාරයක් සඳහා වන ඉඩකඩ පුළුල් වීම නොව එවන් ව්‍යාපාරයක් සඳහා උත්ප්‍රේරකයක් හා අත්වැලක් සැපයීමට පක්ෂයේ කාන්තා අංශය අසමත් වීමය. ‛ස්ත්‍රීවාදීන්ගෙන් තොර කාන්තා අංශයක්’ නිර්මාණය වීමේ සරදම්ජනක යථාර්ථය ගොඩනැඟෙන්නේ එසේය. නමුත් සැබැවින්ම කාන්තා අංශයට සාපේක්ෂ ස්වායත්තතාවක් (Relative autonomy) සහිත ඓන්ද්‍රීය සංවිධාන පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වීමට සලස්වන්නේ නම් වඩා ප්‍රබල ස්ත්‍රී ක්‍රියාකාරීත්වයක් ආකර්ෂණය කර ගැනීමට එය මහෝපකාරී වනු ඇත. බහුවිධත්වය හා ස්වායත්තතාව යනු දුර්වලකමක් නොව ශක්ති සම්පන්නභාවයක් යැයි පිළිගන්නා සංවිධාන ආකෘතියක් ගෝලීය ධනවාදයේ යුගය තුළ ලංකාව වන් රටවල පැනනඟින සමාජ අරගලයන්ගේ ස්වරූපය ග්‍රහණය කර ගැනීම සඳහා ද අවශ්‍යය.
නිදසුනක් ලෙස රතුපස්වල දී හා මෑතක දී තුන්තානේ දී මතු වූ ජනතා අරගලවල ස්වරූපය සලකා බලමු. මෙම අරගලයන් මූලික වශයෙන් ආර්ථික ක්‍රියාකාරීත්වයට සම්බන්ධ සමාජ සබඳතා කෙරෙන් පැනනැඟුණු ඒවාය. නමුත් ඒවා සාම්ප්‍රදායික අර්ථයෙන් පන්ති අරගලවල ස්වරූපය
නොගනී. අරගලයේ භූමිය සකස් කළ මූලික දේශපාලන පසමිතුරුතා අක්ෂය වූයේ ‛කම්කරුවන් එරෙහිව කර්මාන්ත හිමියන්’ නොවේ. ‛ෆැක්ටරිය එරෙහිව ගම්වාසීන්’ යන පසමිතුරුතා අක්ෂය ඒ වෙනුවට ආදේශ විය. නමුත් සටන් වැදුණු ගම්වාසීන් සවිඥානක නොවූව ද ධනවාදයට එරෙහි යම් අන්තර්ගතයක් මෙම ජනතා අරගලයන්හි පත්ලෙහි සැඟව තිබිණි. මන්දයත්  ගැටුම ඇති වූයේ ලාභ ඉපැයීමේ අරමුණ මුල් කරගත් ආර්ථික ක්‍රියාකාරීත්වයක් හා මානවීය ජීවිතයත් පරිසර පද්ධතියත් රැක ගැනීමේ සමාජ උවමනාව අතරය. ජනතා අරගලයන්ට නායකත්වය දීමට දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති අසමත් වූ අතර ඒ වෙනුවට ප්‍රජාව කෙරෙන් මතු වූ ඓන්ද්‍රීය සමාජ නායකත්වයක් හඳුනාගත හැකි විය. මෙවන් අරගල සම්බන්ධයෙන් රාජ්‍යය ප්‍රතිචාර දක්වන බව පෙනෙන්නේ ද සාම්ප්‍රදායික වෘත්තීය සමිති අරගලයන් හෝ ජාතික තලයේ දේශපාලන පක්ෂවල නායකත්වය ලබන අරගලයන්ට ප්‍රතිචාර දක්වන ස්වරූපයෙන් නොවේ. පෙර නොවූ විරූ ආකාරයේ නිර්දය බලහත්කාරයක් හා මර්දනකාරීත්වයක් සටන් වදින ප්‍රජාවන් මත මුදා හරින ලදී. මෙය නව ලිබරල් ගෝලීයකරණයේ යුගය තුළ ගෝලීය දකුණේ රටවල ජනතා අරගලයන්හි නව ස්වරූපයක් ගැන ඉඟි කරයි. ඉන්දියාවේ ‛මහා වේලි’ ව්‍යාපෘතීන්ට එරෙහිව පැනනැඟුණු ප්‍රබල ප්‍රජා අරගල මාලාව මේ සඳහා සාපේක්ෂ ජයග්‍රාහී නිදසුනක් වන අතර මලයාසියාවේ රාජ්‍ය මර්දනයට ලක් වූ සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන්
ආන්තිකකරණයට ලක්වූවන්ගේ අරගල මේ සඳහා පරාජයේ නිදසුනකි. ඉන්දීය නිදසුන අපට උගන්වන පාඩම නම් ශක්තිමත් සිවිල් සමාජ මැදිහත්වීමක් හා සහයෝගීතා දාමයක් මඟින් ප්‍රජාවන් කෙරෙන් මතු වූ අරගලයන්ට ආරක්ෂාව සැපයීමටත් ඒවා යම් යම් සාපේක්ෂ ජයග්‍රහණයන් කරා මෙහෙයවීමටත් හැකි වූ බවයි. සහයෝගීතා දාමයන් නිර්මාණය කළ හැක්කේ ධුරාවලිගත පක්ෂ හෝ සංවිධාන ආකෘතියක් තුළට ප්‍රජා අරගල අවශෝෂණය කර ගැනීමට ප්‍රයත්න දැරීම වෙනුවට එම අරගලයන්හි ස්වායත්ත ගතිකයන් හා එතුළින් ගොඩනැඟෙන නිර්මාණශීලී බහුවිධත්වය පිළිගැනීම තුළින්ය.
මා යළිත් අවධාරණය කරන්නට කැමැති වන්නේ අපගේ ස්ථාවරය සංවිධානාත්මක දේශපාලන මැදිහත්වීමේ වැදගත්කම ඉමහත් සේ පිළිගන්නා අතරම විමුක්ති දේශපාලනයට අදාළ විකල්ප සංවිධාන ආකෘති පිළිබඳ සජීවී සංවාදය අඛණ්ඩව හා බලපෑම් සහගත ලෙස පවත්වාගත යුතු බවය. අවසන් වශයෙන් පසු සටහනක් ලෙස එකතු කිරීමට අවශ්‍ය කාරණයක් නම් අපගේ අතීත දේශපාලන අත්දැකීමක් විසින් ද මෙහි දී අපට විදර්ශනාත්මක ආලෝකයක් ලබා දෙන බවය. එනම් 2004 දෙසැම්බර් මස දී පැවැති x කණ්ඩායමේ බිඳ වැටීමෙන් පසුව නිර්මාණය වූ මා මිත්‍ර රවී පෙරේරාගේ වචනයෙන් කිවහොත් /පශ්චාත් – x දේශපාලනයේ/ අත්දැකීමයි. පැවැති ඞ කණ්ඩායමේ අභ්‍යන්තර බල සබඳතා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ යම් විවේචනයක් බිඳී වෙන්ව ගිය අප කණ්ඩායමට තිබුණි. නමුත් අවාසනාවකට මෙන් වඩා ප්‍රබල සමාජ බලපෑමක් සිදු කළ හැකි ආකාරයේ විකල්ප සංවිධාන ක්‍රියාකාරීත්වයක් කරා යොමු වනවා වෙනුවට ඉන්පසුව අභ්‍යන්තරිකව වඩා බලවත් වූයේ සියලු ආකාරයේ සංවිධානාත්මක නායකත්වයන් ඒකාධිපතිවාදී ෆැසිස්ට්වාදී හෝ ඇදහිලි කල්ලි (කල්ට්) ලෙස සලකා බැහැර කෙරෙන නිර්-දේශපාලනිකකරණ ප්‍රවණතාවකි. මාඕ සේතුංගේ කොමියුනිස්ට් නායකත්වය සමකාලීන යුගයේ ගෝලීය උතුරේ රටවල පැනනඟින ආගමික කල්ලි සමඟ එක ගොඩකට දමා තේරුම් කරන තරම් දේශපාලන දුර්-අවබෝධයේ අන්තයකට ‛කල්ට් තර්කය’ අතිශය අදූරදර්ශී ලෙසත් මුග්ධ ලෙසත් ගමන් කළේය. මෙය නව ලිබරල් පුද්ගලවාදයේ ව්‍යවහාරිකත්වය දේශපාලන අලංකාරෝක්තියක් බවට පරිවර්තනය කිරීමේ දිශානතියක් කරා ද හැරිණි. එහි සරදම්ජනක ප්‍රකාශනය වූයේ 2005 මැයි මස දී ‛පශ්චාත් x කණ්ඩායම’ විසින් නුගේගොඩ දී පවත්වන ලද මැයි දිනයයි. එහි මූලික තේමා පාඨය වූයේ සියලු දෙනාම තම තමන්ගේ වීරයන් වීරවරියන්, සැමරීමයි. සියලු ආකාරයේ සංවිධානාත්මක මැදිහත් වීමක්ම ස්වාමි-සේවක සම්බන්ධය  සමඟ හෝ ඒකාධිපතිවාදය සමඟ අනන්‍ය කොට තේරුම් ගැනීමට යොමු වූ මෙම අතිසරල ප්‍රවේශය සැබැවින්ම දිශානත වන්නේ අරාජිකවාදය දෙසටත් වඩා නව-ලිබරල් පුද්ගලවාදය දෙසටය. ‛සංවිධානය වෙනුවෙන් පවතින සංවිධානයක්’ අප කිසි කලෙකදීවත් අගය කොට නොමැති අතර සංවිධානාත්මක දේශපාලන මැදිහත්වීමේ අදාළත්වය අවධාරණය කිරීමේ ප්‍රායෝගික උත්තේජනයක් ඉහත අවාසනාවන්ත අත්දැකීමෙන් අපට සැපයිණ. ඉහත කී සංවිධාන – විරෝධී තර්කණය ඇතැම් විට ප්‍රභවය ලබන්නට ඇත්තේ (ලැකානියානු මනෝ විශ්ලේෂණය පිළිබඳ න්‍යායිකව  කියැවීමකට අමතරව) අපගේ ඇතැම් සගයන් ස්වකීය අතීත දේශපාලන භාවිතාව පිළිබඳ විචාරාත්මක කියැවීමක නිරත වීමට අසමත් වීම කෙරෙන් විය හැකිය. අතීත ක්‍රියාකාරීත්වය හා එයට නායකත්වය දුන් චරිතය මුළුමනින්ම හෙළා දැකීම හා ප්‍රතික්ෂේප කිරීම වනාහී ඒ සමඟ විචාරාත්මක සබඳතාවක් ගොඩනඟා ගැනීමක් නොවේ. එය කලින් සාධනීයත්වයේ  මූර්තිමත්කරණයක් ලෙස සලකා තමන් අනන්‍ය වූ චරිතයම නිශේධනීයත්වයේ මූර්තිමත්කරණයක් ලෙස සලකා පිළිකෙව් කිරීමක් බඳුය. එවිට එදා මෙන් අද ද ඔබගේ විශ්වය භ්‍රමණය වන්නේ එකී චරිතය වටාය. න්‍යායික භාෂාවෙන් කිවහොත් සාධ්‍යත්වයක් ලෙස සාධනීයකරණය (Positivizing as negativity) සහ නිශේධනීයත්වයක් ලෙස සාධනීයකරණය (Positivizing as positivity) වෙනුවට ඔබ අත්පත් කරගත යුතුව ඇත්තේ ‛නිශේධනයේ නිශේධනය’ කරා වූ විප්ලවීය පරිවර්තනයයි. නමුත් අවාසනාවකට තමන් කැඩී වෙන් වූ අතීතය සමඟ ප්‍රබුද්ධ විචාරාත්මක ගනුදෙනුවක නිරත වීමට තරම් දේශපාලන පරිණතභාවයක් නොමැති වීම අප ජීවත් වන යුගයේ වාම ක්‍රියාකාරීත්වයට අදාළ බරපතළ ගැටලුවකි. එහෙයින් අතීත සංවිධාන ක්‍රියාකාරීත්වයේ අසුබවාදී මතකයන් වෙත දක්වන තර්කානුකූල නොවූ ආවේගාත්මක ප්‍රතිචාරයන් ඔස්සේ ඇතැම් විශිෂ්ට වාම ක්‍රියාකාරීන් පවා අද ගමන් කරමින් සිටින්නේ පූර්ව-මාක්ස් යුගයේ පටන් දහස් වරක් අත්හදා බලා අසාර්ථක වූ න්‍යායික දරිද්‍රතාවයේ පිළිලයන් වැඩෙමින් පවත්නා පරිකල්පනීය සමූහ ගොවිපොළවල් කරාය. ඒ වත්මනෙහි නිර්-දේශපාලනිකකරණය කරා වැටී ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයයි.
මෙම ලිපියේ දෙවැනි කොටසින් මා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සමකාලීන ගෝලීය හා ලාංකේය සන්දර්භය තුළ විමුක්ති දේශපාලනයේ උපායමාර්ග පිළිබඳ ගැටලුවයි. එහි දී
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ‛ත්‍රිමාන’ වෙබ් අඩවිය තුළ පළ වූ විශිෂ්ට දේශපාලන විශ්ලේෂණයක් මඟින් අවධාරණය කර තිබූ කරුණක් එනම් ප්‍රජාතාන්ත්‍රික අරගලයන් තුළට ඇතුල් වී ඒවා නව-ලිබරල් ධනවාදී හෙජමොනික සැකසුමට එරෙහි ගෝලීය
ප්‍රති-හෙජමොනික ව්‍යාපාරයන් බවට පරිවර්තනය කිරීමේ උපාය මාර්ගය පිළිබඳව අපගේ අවධානය යොමු වනු ඇත.
විමුක්ති දේශපාලනයේ
කතිකාමය අවකාශය පුළුල් කරනු පිණිස
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ‛ත්‍රිමාන’ වෙබ් අඩවියේ පළ වූ ‛සෑම මඟුල් ගෙදරකම මනමාලියක් සිටියි’ නමැති ලිපිය සමකාලීන වාමාංශික දේශපාලනය ප්‍රජාතාන්ත්‍රික අරගලයන් සම්බන්ධයෙන් ගත යුතු උපාය මාර්ගික ප්‍රවේශය කුමක්දැයි විශිෂ්ට ලෙස විශ්ලේෂණය කරයි. පසුගිය ‛ජනරළ’ පුවත්පතේ පළ කෙරුණු එම ලිපිය ලියා ඇත්තේ දීප්ති කුමාර ගුණරත්න විසිනි. අපගේ පැරණි x කණ්ඩායමේ මිතුරන් ද ඇතුළුව බොහෝ දෙනෙක් දීප්ති විසින් ඉදිරිපත් කරන අදහස් සංවාදයට ලක් නොකොට බැහැර කරන්නේ එම අදහස් සමඟ කරන විචාරාත්මක ගනුදෙනුවක් මඟින් නොව කතුවරයා පිළිබඳව වන ආකල්ප හුවා දැක්වීම මඟිනි. මෙම අගතිගාමී
ප්‍රවේශය කොතෙක් දුර ගමන් කළේදැයි කිව හොත් පැරණි x කණ්ඩායමේ එක් සාමාජිකාවක් දීප්ති හට තමන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් පැවැතියේ යැයි පහත් පෙළේ චෝදනාවක් එල්ල කොට සයිබර් ප්‍රචණ්ඩත්වයට නිදර්ශකයක් බඳු වූ ලිපියක් පළ කළාය. අදහස්වලට වඩා එම අදහස් ඉදිරිපත් කරන පුද්ගලයා ඉලක්ක කරන මෙම ප්‍රවේශය පැරණි ඞ කණ්ඩායමේ බැහැර කළ යුතු උරුමයකි. තර්ක ශාස්ත්‍රය තුළ මෙය හැඳින්වෙන්නේ ‛පුද්ගල – ආලම්බන තර්ක( ad-hominen arguments) නොහොත් තර්කාභාසයන්  (ව්‍යාජ තර්කයන්) ලෙසයි. තම ප්‍රතිවාදියා ද මෙම ප්‍රවේශයම අනුගමනය කරන්නේ යැයි පැවසීමෙන් තමන් ආචාරධාර්මික හා තර්කානුකූල නොවන ප්‍රවේශයක් අනුගමනය කිරීම සාධාරණිකරණය කරගත නොහැකි බව තවමත් අපගේ පැරණි x මිතුරන් අවබෝධ කරගෙන නොමැත. එහෙයින් ආත්මවාදී සටන් egoistic fights) වල ස්වරූපයෙන් සංවිධානය කරන මහජන විවාද සඳහා දීප්ති හට ආරාධනා කිරීම මිස ඔහු ඉදිරිපත් කරන අදහස් සමඟ විචාරාත්මකව/
විවේචනාත්මකව ගනුදෙනු කිරීම (critical engagement) බොහෝ දෙනෙකු හට මඟ හැරී ගොස් ඇත. අපගේ ලිපියට මෙම පෙරවදන අවශ්‍ය වනුයේ අප මෙහි ඉදිරිපත් කරන අදහස් ද ‛පුද්ගලාලම්බන තර්කාභාසය’ මඟින් වැරැදි ලෙස අර්ථකථනයට ලක් වීම වැළැක්වීම පිණිසය.
දීප්තිගේ ලිපිය තුළ ඓතිහාසික හා සමකාලීන නිදසුන් රාශියක් ඉදිරිපත් කරමින් ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයන්ගේ දේශපාලන විරුද්ධාභාසයක් කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි. එනම් වඩා පුළුල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත් අරගලයන් අවසානයේ දී ඒකාධිපති පාලන තන්ත්‍ර ස්ථාපිත වීම සඳහා හිතකර වූ තත්වයන් නිර්මාණය කිරීමේ විරුද්ධාභාසයයි. දෙවනුව එය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලයන් තුළ ගෝලීය කතිපයාධිකාරීන් විසින් හිමි කරගෙන තිබෙන හෙජමොනික තත්වය විවේචනය කරයි. ලිපියේ වඩාත්ම තීරණාත්මක න්‍යායික හා දේශපාලනික අවධාරණය වන්නේ ඉහත කාරණා දෙක මුල් කර ගනිමින් ප්‍රජාතාන්ත්‍රික අරගලයන්ගේ වලංගුතාව බැහැර කිරීම වෙනුවට එම අරගලයන් තුළට ඇතුළු වී පවතින කතිපයාධිකාරී හෙජමොනියට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දීමයි. අපට අනුව මෙම ස්ථාවරය සමකාලීන වාමාංශික දේශපාලනයේ අනාගත හැරවුම සම්බන්ධයෙන් ගත් කල අතිශය තීරණාත්මකය. මන්දයත් මේ මොහොතේ දී ප්‍රජාතාන්ත්‍රික අරගලයන්ගේ වලංගුතාව න්‍යායිකව හා දේශපාලනිකව තහවුරු නොකළහොත් මඟ විවර වනු ඇත්තේ මහජනයා කෙරෙන් සහ සංයුක්ත දේශපාලනය කෙරෙන් වඩ වඩාත් වියෝ වෙමින් යන නිර්-දේශපාලනීකරණ ප්‍රවණතාවලටය. ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන්ම ධනේශ්වර සටන් පාඨයක් යැයි ද අප කළ යුත්තේ පවතින ක්‍රමය සමූලිකව වෙනස් කරන කොමියුනිස්ට් භාවිතාවන් කරා (ධනවාදී ගෝලීය යථාර්ථයක් තුළ?) ගමන් කිරීම යැයි ද පවසන මෙම ප්‍රවණතා සැබැවින්ම යොමු වන්නේ ‛අධි-දේශපාලනයේ’ (hyper-politics)නාමයෙන් නිර්-දේශපාලනිකකරණයක් කරාය. ‛පවතින ක්‍රමයට එරෙහිව සටන් කිරීම ම එම ක්‍රමයට අනුගත වීමක් විය නොහැකිද?’ යන අතිශය වියුක්ත ස්වයං – විනාශකාරී තර්කය නැඟෙන්නේ ද සියලු ආකාරයේ සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයක්ම අධිකාරිවාදී අනන්‍යතා නිර්මාණය කරන හෙයින් ප්‍රතික්ෂේප කළ යුතුය යන සංවිධාන – විරෝධී, අරාජිකවාදී, දියකිරීම්වාදී දෘෂ්ටිවාදයන් ගොඩ නැඟෙන්නේ ද සංයුක්ත අරගලයන් මඟ හැර යන නිර්-දේශපාලනීකරණ ප්‍රවණතා  කෙරෙන්ය. පක්ෂ හෝ සංවිධානාත්මක අධිකාරීත්වයන් ‛ස්වාමි – සේවක සම්බන්ධතා’වල ආකෘතිය ප්‍රතිනිර්මාණය කරන්නේ යැයි පවසා ඊනියා නිදහස් ක්‍රියාකාරීත්වයන් කරා ගමන් කළ ප්‍රවණතා අවසන් වශයෙන් නතර වූයේ න්‍යායිකව නව-ලිබරල් ධනවාදී පුද්ගලවාදය තුළත් ප්‍රායෝගිකව න්‍යෂ්ටික පවුල් ව්‍යුහයන් ගොඩනැඟීම ‛ජීවිතයේ නව අර්ථය’ ලෙස තෝරා ගැනීම තුළත් බව අපගේ ‛පශ්චාත් -x’  අත්දැකීම කදිමට සනාථ කරයි.
ප්‍රජාතාන්ත්‍රික අරගලයන් සමකාලීන වාමාංශික දේශපාලනය තුළ අත්පත් කරගන්නා වලංගුතාව අපට ප්‍රවේශයන් දෙකක් ඔස්සේ විමසා බැලීමට හැකිය. දීප්තිගේ ලිපිය මඟින් ඉදිරිපත් කර ඇති පරිදි ප්‍රජාතන්ත්‍රවාදයට අනිවාර්ය පන්තිමය හිමිකාරීත්වයක් නොමැති අතර එය හිස්-හැඟවුම්කාරකයක් (empty – signifier) බවට පරිවර්තනය වීමේ ශක්‍යතාවක් ඇති බව න්‍යායිකව වටහා ගැනීම පළමු ප්‍රවේශයයි. සමකාලීන ගෝලීය හා ලාංකේය යථාර්ථය තුළ නව-ලිබරල් ධනවාදී හෙජමොනියට එරෙහි අරගලය ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් කරන බහුවිධ ජනතා අරගලයන්ගෙන් වියෝ කොටගත නොහැකි බව දේශපාලනිකව වටහා ගැනීම දෙවැනි ප්‍රවේශයයි. මෙම ප්‍රවේශයන් දෙක ප්‍රායෝගිකව අන්තර්-සම්බන්ධිතය. අප පළමු ප්‍රවේශය තවදුරටත් පැහැදිලි කළ හොත් ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යෙන්ම ධනපති පන්තියේ දෘෂ්ටිවාදයක් වේය යන ගතානුගතික පිළිගැනීමට පාදක වී ඇත්තේ ‛සමාජ පන්තීන්ට නෛසර්ගික අනිවාර්ය දෘෂ්ටිවාදයන් පවතින්නේය’ යන පෙර සිතා ගැනීමයි. වෙනත් වචනවලින් කිවහොත් ‛දෘෂ්ටිවාදයන්ට අනිවාර්ය පන්තිමය හිමිකාරීත්වයක් පවතීය’ යන දෘෂ්ටිවාදී එළඹුමයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ධනපති දෘෂ්ටිවාදයන් ද, ජාතිකවාදය සුළු-ධනපති දෘෂ්ටිවාදයක් ද, ඒකාධිපතිවාදය ප්‍රභූ-මිලිටරි තන්ත්‍ර දෘෂ්ටිවාදයක් ද වේ. අර්නෙස්ටෝ ලැක්ලාව් 1977 තරම් පෙර කලක දී මෙම අදහස න්‍යායිකව අභියෝගයට ලක් කරමින් (Politics and Ideology in Marxist Theory) කෘතියේ දී තර්ක කළේ දෘෂ්ටිවාදයන් සහ සමාජ ඒජන්තයන් අතර මෙවන් අනිවාර්යතාවාදී සබඳතාවක් ගොඩනැඟීම ම දෘෂ්ටිවාදී බවයි. ඓතිහාසික නිදසුන් ගෙන හැර දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ප්‍රංශ විප්ලවයේ දී ජාතිකවාදයට ධනපති පාන්තික අරුතකුත් චීන විප්ලවයේ දී එයට නිර්ධන පාන්තික හා ගොවි අරුතකුත් ජර්මානු විප්ලවයේ දී ප්‍රභූ-යුන්කර් අරුතකුත් ලැබුණු බවය. ජාතිකවාදී දෘෂ්ටිවාදීමය නිර්මිතයට එහිම වූ නෛසර්ගික අරුතක් නොහොත් අන්තර්ගතයක් නොමැති අතර එහි අනන්‍යතාව නිශ්චය කෙරී ඇත්තේ එය කුමන කතිකාමය සන්දර්භයකට කුමන ස්වරූපයකින් සුසම්බන්ධ (Articulate) කරනු ලැබුවේද යන කාරණය අනුවය. ප්‍රජාතන්ත්‍රවාදයට නෛසර්ගිකව ධනපති පාන්තික සන්ධාරයක් පවතීය යන විශ්වාසය පැලපදියම් වූයේ වැඩවසම් ප්‍රභූ පාලන තන්ත්‍රවලට එරෙහිව බටහිර නාගරික ‛නිදහස්’ සමාජ ශ්‍රේණීන් (සහ පසුව ධනපති පාන්තික කොටස්) විසින් කළ ඓතිහාසික අරගලයන් නිසාය. නමුත් ධනපති හෙජමොනිය බටහිර සමාජය තුළ තහවුරු වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය යම් යම් නෛතික හා ක්‍රමවේදීමය රාමූන් තුළට සීමා කොට එය පාලිත තත්වයක තබා ගැනීමට නව පාලක ප්‍රභූන් හට උවමනා වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් හා ගැඹුරු කිරීම පීඩිත සමාජ පන්තීන් හා ශ්‍රේණීන්වල අවශ්‍යතාවක් බවට පත් විය. සර්ව-ස්ත්‍රී ඡන්ද බලය, කම්කරු පන්තියේ ඡන්ද බලය, වෘත්තීය සමිති නීතිගත කිරීම, පැය අටේ වැඩ දිනය යනාදී ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ රාශියක්ම දිනා ගැනීමට හා තහවුරු කරගැනීමට හැකි වූයේ නිර් – ප්‍රභූ සමාජ ශ්‍රේණීන්ගේ ඓතිහාසික අරගලය මඟින්ය. දෙවැනි ජාත්‍යන්තරයේ සෑම ධාරාවකම න්‍යායවේදියකුටම පාහේ ප්‍රජාතාන්ත්‍රික අරගලයේ වැදගත්කම අවධාරණය කරන්නට සිදු වූයේත් ලෙනින්ට හා ට්‍රොට්ස්කිට ප්‍රජාතාන්ත්‍රික විප්ලවය රුසියානු සහ ලෝක පරිමාණ සමාජවාදයේ උපායමාර්ගික ප්‍රවේශයක් තුළ අරුත් ගන්වන්නට සිදු වූයේත් එම නිසාය. නමුත් තවදුරටත් ප්‍රජාතාන්ත්‍රික විප්ලවය වටහා ගනු ලැබූයේ ධනපති පන්තියේ ඓතිහාසික කර්තව්‍යයක් ලෙසම වූ අතර එහෙයින් නිර්ධන පන්තිය විසින් ප්‍රජාතාන්ත්‍රික විප්ලවයට නායකත්වය දීම සලකනු ලැබුවේ තමන් හට ඓතිහාසිකව (සැබැවින්ම ඉතිහාසය පිළිබඳ න්‍යාය විසින්) පවරනු ලැබූ කාර්යයක් නොවන  ලෙසටය. රුසියානු සන්දර්භය තුළ ‛හෙජමොනික දේශපාලනය’ ලෙස අර්ථකථනය කරන ලද්දේ සමාජ පන්තීන්ගේ අනිවාර්ය ඓතිහාසික කාර්ය භාරයන් පිළිබඳ න්‍යායික ස්ථාවරයේ මෙම විතැන් වීමයි.
නමුත් අද වන විට දීප්තිගේ ලිපිය මඟින් සංයුක්ත නිදසුන් ගණනාවක් මඟින් පෙන්වා දී ඇති පරිදි ප්‍රායෝගිකව ද සනාථ වී ඇති පරිදි ප්‍රජාතන්ත්‍රවාදය එකිනෙකට පරස්පර හා ප්‍රති-විරෝධී බලවේග ගණනාවක දෘෂ්ටිවාදීමය ආම්පන්නයක් බවට පරිවර්තනය වී ඇත. එක් සන්දර්භයක් තුළ ‛ප්‍රජාතන්ත්‍රවාදී’ වන බලවේගයක්/ නායකත්වයක්, තවත් සන්දර්භයක දී ‛ප්‍රජාතන්ත්‍ර – විරෝධී’ වන තත්වය එළිපිටම පෙනෙන්නට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ එහිම වූ අර්ථය හෝ සන්ධාරය ගැන සාකච්ඡා කරනවාට වඩා එය කුමන කතිකාමය ආකෘතියක් තුළ කුමන ආකාරයෙන් නිර්වචනයට හා පුනර්-නිර්වචනයට (re-define) ලක් කරන්නේ ද යන්න දැන් වඩා ප්‍රායෝගිකය. න්‍යායිකව කිවහොත් ප්‍රජාතන්ත්‍රවාදය දැන් ‛පාවෙන හැඟවුම්කාරකයක්’ (floating signifier) එනම් තරගකාරී හෙජමොනික ව්‍යාපෘති කිහිපයක් විසින් ස්වකීය සන්දර්භයන්ට උරා ගෙන වෙනස් ආකාරවලින් අර්ථවත් කරන්නට ප්‍රයත්න දරන යමක් බවට පරිවර්තනය වී තිබේ. මේ තත්වය පැහැදිලි කරන්නට දීප්ති යොදාගෙන තිබුණේ හිස් හැඟවුම්කාරකය යන න්‍යායික සංකල්පයයි. නමුත් ලැක්ලාව්ගේ ‛ධබ ඡදචමකසිඑ ඍැ්ිදබ’ කෘතියේ පැහැදිලි කර ඇති ආකාරයට (පිටු අංක 133) මෙම සංකල්ප දෙක අතර ප්‍රායෝගිකව එතරම් දුරස්තරභාවයක් නොමැති බැවින් අපගේ විශ්ලේෂණයන්හි පරස්පරතාවක් ඇති වේ යැයි නොසිතමි.
හිස් හැඟවුම්කාරකය පැහැදිලි කරන ලැක්ලාව්ගේ රූප සටහනක් පහත දැක්වේ. (රූප සටහන් 01 බලන්න. – On Populist Reason පි. 130)
රූප සටහනේ ‛D’ අක්ෂරයෙන් කියැවෙන්නේ සමාජයීය ඉල්ලීම් (demands)ය. එම ඉල්ලීම් අභ්‍යන්තරිකව බෙදී ඇති බව ‛D’ සංඥාවෙන් ඔබට පෙනෙනු ඇත. ඕනෑම සමාජ ඉල්ලීමක් එහි සුවිශේෂී පාර්ශ්වය (particular aspect) සහ එය සෙසු ඉල්ලීම් සමඟ බෙදා ගන්නා පොදුභාවය යන බෙදීමෙන් සමන්විතය. රූප සටහනේ තිරස් රේඛාවෙන් ඉහළ ඇති ‛TS’ සංඥාවෙන් දැක්වෙන්නේ පහතින් ඇති ඉල්ලීම් සියල්ල ඉදිරිපත් වන්නේ කවර පසමිතුරු බලවේගයකට එරෙහිවද, එම බලවේගයයි. ලැක්ලාව් මෙහි දී සංයුක්ත නිදසුනක් ලෙස ගන්නේ රුසියානු විප්ලවය ආශ්‍රිතව සාර්වාදයට එරෙහිව සංවිධානය වූ ඉල්ලීම් සමුදාය ය. සාර්වාදය (TS) නමැති පොදු පසමිතුරු බලවේගයට එරෙහිව ෘ1ල ෘ2ල ෘ3 හා ෘ4 යන ඉල්ලීම් යම් සාම්‍යතා දාමයකට (ැුමසඩ්කැබඑස්ක ජය්සබ) එක්ව ඇත. රුසියානු විප්ලවයේ ජනප්‍රිය සටන් පාඨ වූ ‛ගොවියාට ඉඩම්’, ‛හමුදා භටයන්ට සාමය’ හා ‛කම්කරුවන්ට පාන්’ යන්න එකම සාම්‍යතා දාමයකට බැඳුණු අයුරු මෙය සිහියට නංවයි. එනම් මේ ඉල්ලීම යම්කිසි පොදු මර්දනකාරී පාලන තන්ත්‍රයකට එරෙහි වීම මඟින් එකිනෙක හා සාම්‍ය වූ බවයි. නමුත් මෙවන් සාම්‍යතා දාමයක් යම්කිසි හෙජමොනික දේශපාලනික මැදිහත් වීමකින් තොරව ඉබේම නිර්මාණය විය නොහැකිය. පහළම ඉල්ලීම් පෙළ තුළ නියෝජනය වන ‛D1’ ඉහළට ගමන් කොටD1, D2, D3  D4 යන සියල්ලෙහි විශ්වීය නියෝජනය බවට එසවී තිබෙනු ඔබට දැකගත හැකිය. එනම් එය සමස්ත ඉල්ලීම් දාමයෙහිම හැඟවුම්කාරකය බවට පත්ව තිබේ. හිස් හැඟවුම්කාරකය යනු එයයි. එහි සුවිශේෂී අන්තර්ගතය හැකිතාක් අවම බවට හරවමින් එහි පොදුභාවයේ නියෝජනය වර්ධනය වී ඇත. සෙසු ඉල්ලීම්වලට එය සමඟ අනන්‍ය විය හැක්කේම එහි මෙම හිස්භාවය නිසාය. සුවිශේෂකත්වයක් විශ්වීයත්වයේ තැනට ඔසවා තබනු ලැබීමේ මෙම තත්වය ලැක්ලාව්ට අනුව හෙජමොනිය වේ.
නමුත් දීප්තිගේ නිදසුන් පෙළ මඟින් මනාව පැහැදිලි කොට ඇති පරිදි වත්මනෙහි අපට අභිමුඛ වන්නේ සාර්වාදය වැනි දැඩි මර්දනකාරී පාලන තන්ත්‍රයන්ට වඩා ස්වකීය වූ වෙනස් හෙජමොනික තර්කණයන් අනුව ක්‍රියාත්මක වන විකල්ප පාලන තන්ත්‍රයන්ය. රාජපක්ෂ බලාධිකාරයට එහිම වූ හෙජමොනික තර්කණයක් ඇති බව වටහා නොගෙන මේ මොහොතේ ලංකාව තුළ දේශපාලනය කළ හැකි යැයි අපි විශ්වාස නොකරමු. පවත්නා හෙජමොනික බලාධිකාරය විසින් ඉහත රූප සටහනේ පහතින් ඇති සාම්‍යතා දාමයට බාධා කොට එහි යම්කිසි ඉල්ලීමක් (D1 යැයි සිතමු) ස්වකීය විකල්ප සාම්‍යතා දාමයට සම්බන්ධ කරගන්නට ප්‍රයත්න දරන්නේ යැයි සිතමු. මෙම තත්වය වඩා සංකීර්ණ රූප සටහනකින් ලැක්ලාව් පැහැදිලි කරයි. (රූප සටහන් 02 බලන්න) (ඉහත කෘතිය – පි 131)
ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි D1 නමැති ඉල්ලීම a,b,c යන විකල්ප සාම්‍යතා දාමයට සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නයක් පවතින බව පෙනේ. ඒ අනුව ‛ D1 ’ කුමන සාම්‍යතා දාමයට සුසම්බන්ධ කරගත හැකි වේදැයි යන්න නිශ්චය වනු ඇත්තේ සංයුක්ත හෙජමොනික අරගලය මඟින්ය. එකිනෙකට පසමිතුරු සාම්‍යතා දාමයන් දෙකක් දැන් පවත්නා බව කෙටි ඉරි මඟින් පෙන්වන අතර එම සාම්‍යතා දාමයන් දෙකෙහි පීඩනයට ලක් වීමට ‛ D1 ’හට සිදු වේ. මෙසේ සුසම්බන්ධීය තර්කණයන් (articulatory logics) දෙකක් අතර අස්ථාවර තත්වයකට පත් වූ හැඟවුම්කාරකයක් ලැක්ලාවියානු අරුතින් ‛පාවෙන හැඟවුම්කාරකය’ වේ. නමුත් යළිත් පැවසිය යුත්තේ ලැක්ලාව්ට අනුව ප්‍රායෝගික තත්වයන් තුළ හිස් හැඟවුම්කාරකය හා පාවෙන හැඟවුකාරකය අතර එතරම් වෙනසක් නොමැති බවය.
මෙම න්‍යායික පසුබිම තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණය යළි සැලකිල්ලට ගතහොත් දීප්ති විශ්ලේෂණය කොට ඇති පරිදි එය ගෝලීයවත් දේශීයවත් පාවෙන හැඟවුම්කාරයක් බවට පරිවර්තනය වී ඇති බව පැහැදිලි වනු ඇත. මෙවන් තත්වයක් තුළ වාමාංශික බලවේග විසින් කළ යුත්තේ හුදෙක් ධනපති අධිරාජ්‍යවාදී බලවේගයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බැවින් එය මුළුමනින්ම ඉවත දමා වඩා ‛පිරිසිදු’ වාමාංශික සටන් පාඨ තේරීමද? නොඑසේ නම් සැබෑ හෙජමොනික අරගලය තුළට නොබියව ඇතුළු වී ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් සඳහා සටන් කිරීමද? අපට අනුව ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් මුල් කොටගෙන සැබෑ සංයුක්ත ජනතා අරගලයන් පැනනඟින යුගය ඉහත පළමු තේරීම දිශානත වන්නේ නිර්-දේශපාලනීකරණය කරාය. මන්දයත් එවිට ඔබ මඟ හැර යාමට යෝජනා කරන්නේ රතුපස්වල, තුන්නාන, වනාතමුල්ල ඇතුළු සැබෑ සමාජ අරගල අවකාශයයි. එහෙයින් දීප්ති විසින් වාමාංශික ප්‍රතිහෙජමොනික උපාය මාර්ගයක් පිළිබඳව ඉදිරිපත් කොට ඇති විශිෂ්ට කාලීන විශ්ලේෂණය අප අගති විරහිතව පිළිගන්නෙමු.
ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිහෙජමොනික දේශපාලනයේ වැදගත්කම පිළිබඳ අප සංඥා කළ දෙවැනි ප්‍රවේශය (එනම් දේශපාලන ප්‍රවේශය) පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි.
sumith chaminda
 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.