අප නැවැත්වූයේ පහත පරිදිය. අපි එතැනින් පටන් ගමු.

(1) නගරය ද්‍රව්‍යවාදීය – අඩුවක් නැති නිසා කොළඹ නගරය තුළ ආශාව මිය ගොස් ඇත.

(2) ගම ආධ්‍යාත්මිකය – දුප්පත්කම, භාණ්ඩ සහ සේවාවල හිගකම, සම්පත් පරිභෝජනය ආදී කරුණු නිසා ගම තුළ ‘අඩුව’ ඇත. ඒ නිසා ගම තුළ ආශාව ජීවමානය.

(3) ‘ලන්ඩන්’ සගරාවට ආකර්ෂණය වූයේ සිංහල ගමයි– එච්.ආර්. ජෝතිපාලගේ මළ ගෙදරට මිනිසුන් වැල නොකැඞී ආවේ තේරුමකට නොවේ යන්න කියා දීම ප්‍රාතිහාර්යයක් ලෙස සැලකීම (ජනප්‍රිය සංස්කෘතිය දාර්ශනික කිරීම). ශාරුක් ඛාන් අධිකව දුම්පානය කිරීම ගැන කතා කිරීම වැඩකට නැති දෙයක් බව දැන දැනත් ඒ ගැනම කතා කිරීම සහ සිතීම. ආශාව කෙළවර වන්නේ හිස්බවින් බව වටහාගෙන, එම හිස්බව කේන්ද්‍ර කොටගෙන භ්‍රමණය වන ආශාව යනු ආශාව ඉක්මවා යන වේදනාත්මක සතුටක් බව තේරුම් ගැනීම, එනම් හඹා යාම. එබැවින් ‘LONDON’ යනු හඹා යාමකි. (Drive)

(4)(1) සහ (2) අදහස් හරි නම් (3) වන අදහස පරස්පරයකි. හරි නම් London පාඨකාවිය ජීවත් විය යුත්තේ ආශාව මිය ගිය නගරයේය. නමුත් ඇය ජීවත් වන්නේ ගමේය. ඊළගට London යනු ආශා කරන පන්නයේ සගරාවක් නොව හඹා යන පන්නයේ සගරාවකි, මායාවකි.

1978 ට පසු මූදල් අමාත්‍යංශයේ කුඩා ඒකකයක් මුල් කරගෙන ‘ලෝක බැංකුව’ සහ ‘මූල්‍ය අරමුදල’ විසින් ලංකාවේ දේශපාලන – ආර්ථිකය වෙනස් කළේය. ඒ සදහා පාදක වූ ප්‍රධාන ආර්ථික විද්‍යා මූලධර්ම 2ක් හදුනා ගත හැක.

(A)1978 දක්වා ලංකාවේ ආර්ථිකය තුළ වෙළද භාණ්ඩ ලෝකයට හසු නොවූ ‘භාණ්ඩ’ (Commodities) වෙළද භාණ්ඩ ලෝකයට ඇතුළු කිරීම.

උදා- 1. 1978 ට පෙර ලංකාවේ පොදු ප්‍රවාහන සේවය අයත්ව පැවතියේ ලාභ ලබන වෙළද භාණ්ඩ (සේවා) ක්ෂේත්‍රයට නොවේ. 1978 න් පසු මේ ක්ෂේත්‍රය පුද්ගලික අංශයට ද හඳුන්වා දුන්නේය. මෙම පෙරළියේ ආත්මීය පැත්ත (Subjective side) කුමක්ද?

1978 ට පෙර ව්‍යතිරේඛයක් ලෙස හැර පොදු ප්‍රවාහන සේවයේ (CTB) තනි තනි පුද්ගයන්ට කප්පම් ගැනීමේ අවකාශයක් විවර නොවූයේය. නමුත් 1978 ට පසු පටන් ගත් පුද්ගලික ප්‍රවාහන පද්ධතියෙන් කප්පම් ගැනීම ආරම්භ විය. වාස්තවික වශයෙන් ‘රජය’ (State) විසින් ප්‍රවාහනය හුවමාරු භාණ්ඩ ක්ෂේත්‍රයට මාරු කළ විට එමගින් අනපේක්ෂිත කරන ලද ආත්මයක් (Subject)  ඕපපාතිකව බිහිවිය. මෙම ආත්මය හිංසනීය ආත්මයකි. ප්‍රවාහනය රාජ්‍යයෙන් පුද්ගලික අංශයට විවෘත කිරීම හුදු ආර්ථික පරිවර්තනයක් පමණක් නොව ආත්මීය වශයෙන්ද පරිවර්තනයකි. එමගින් අමානුෂික, කුරිරු, දුෂ්ට හා යක්ෂාවේෂ වූ (Diabolic) ආත්මයක් ද බිහිකරයි. එබැවින් ආර්ථිකය තනිව පවතිනවා නොව දේශපාලනය ද සමග පවතිනවාය. ඒ නිසා මෙම අලූත් විෂය අප හඳුන්වන්නේ දේශපාලන – ආර්ථිකය (Political – Economy) කියාය. මෙම විෂය ලංකාවේ විශ්වවිද්‍යාලවල තාර්කික පදනමින් උගන්වන්නේ නැත. ඒ නිසා ලංකාවේ ප්‍රවාහනය පුද්ගලිකකරණය කළ විට සමාජයේ මැරයන් යනුවෙන් ‘රෝස මල්’ වර්ගයක් බිහිවන බව ලාංකිකයන් දන්නේ නැත. ආර්ථිකය මගින් ‘සමාජ සබඳතා’ වෙනස් කරන බව මාක්ස්වාදීන් කියන්නේ මේ නිසාය.

2. ලංකාවේදී හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයෙන් සහ සේවා සැපයීමෙන් ලැබෙන ලාභ අනුපාතිකය අඩු නිසා වඩා ලාභ ලැබිය හැක්කේ බදු – කුලී මගිනි. එනම් ලංකාවේ වැඩියෙන්ම ලාභ ලැබිය හැක්කේ ස්වභාව ධර්මය විකිණීමෙනි. 1978 ට පෙර ලංකාවේ සොබාදහමේ වැඩිම කොටස හිමි වී තිබුණේ රාජ්‍යයටය. නමුත් 1978 ට පසු රාජ්‍යය එම හිමිකාරීත්වයෙන් ඉවත්වන විට එය පුද්ගලයන්ට හිමි විය. නාවල නිහාල් යනු පාතාල නායකයෙක් යන්න ජනප්‍රිය මාධ්‍යවල ජනප්‍රිය සංස්කෘතික මතයකි.

නමුත් නාවල නිහාල් යනු 78 ට පසු කොළඹ නගරයේ ඉඩම් විකිණීමට අදාළ ප්‍රධාන තැරැව්කරුවාය. මහින්ද චින්තනය බලයට පැමිණි වහාම නාවල නිහාල් සදහටම අතුරුදහන් වූයේ කොළඹ ඉඩම් මිල තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමට මිස පාතාලය මර්දනය කිරීමට නොවේ. මීට අමතරව යුද්ධයට පෙර LTTE පාලනය පැවති ප්‍රදේශවල ඉඩම් අයිතිය හිමි වූයේ ප්‍රභාකරන්ටය. යුද්ධයෙන් පසු එම ඉඩම්වල අයිතිය ආණ්ඩුවේ හිතවතුන් අතට පත් විය. ඒ අනුව උතුරු – නැගෙනහිර ‘දේශපාලන බලය’ මේ වනවිට තීරණාත්මක ලෙස ‘ඉඩම් අයිතිය’ පිළිබඳ පුද්ගලික ගැටලූවකි. මෙය ‘අධ්‍යාපනයට’ අදාළව ද සත්‍යයකි. උතුරු – නැගෙනහිර ඉඩම් මෙන්ම යුද්ධය අවසන් වන තුරු ලංකාවේ අධ්‍යාපනය යනු හුවමාරු භාණ්ඩ ක්ෂේත්‍රයට ඇතුළු නොවූ කන්‍යාමය ක්ෂේත්‍රයකි. නමුත් යුද්ධය අවසාන වීමෙන් පසු අධ්‍යාපනය සඳහා පහළ මැද පාන්තිකයන් දොස්තර – ඉංජිනේරු සිහිනය වෙනුවෙන් කරන ආයෝජන ප්‍රමාණාත්මක ලෙස ගණනය කළ දොස්තර නෙවිල් ප්‍රනාන්දු ‘අධ්‍යාපනය’ ලංකාව තුළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඇතුළත් කර ඇත. එබැවින් දැන් අධ්‍යාපනය පිළිබඳ ගැටලූව ආධ්‍යාත්මික එකක් නොව වෙළඳාමට අයිති එකකි. නෙවිල් ප්‍රනාන්දු තම ආණ්ඩුවේ නියෝජිතයා සමග කියන්නේ (සුනිල් නවරත්න) සරල අදහසකි. ”අපි මේ උත්සාහ කරන්නේ ලංකාවෙන් පිටට යන බිලියන ගණනක මුදල් ඉතිරි කරන්න.” මේ කතාවේ ‘හරය’ වටහා ගත් කිසිදු විශ්වවිද්‍යාල ගුරුවරයෙකු තවම ලංකාවේ බිහිවී නැත. ප්‍රවාහන සේවය පුද්ගලික කළාට පසු මැරයන් බිහි වූවා සේ අධ්‍යාපනය පුද්ගලික කළ විට කුමන නව සමාජ සම්බන්ධයක් බිහි වේ දැයි කීමට තරම් අද අප දක්ෂ නැත. කිව හැකි එකම දෙය වන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සේවය කරන ‘ඉතිහාස අංශය’ සහ සමන් පුෂ්පකුමාර සේවය කරන ‘දර්ශන අංශය’ ඉතා ඉක්මනින් වැසී යන බව පමණි. ඉන්පසු අධ්‍යාපනයට අදාළව බිහිවිය හැක්කේ තාක්ෂණවේදීන් සහ විශේෂඥයන් පමණි. විචාර බුද්ධිය විශ්වවිද්‍යාලවලින් ඉවත් වනු ඇත. ‘ආදරය’ ලිට්මස් කඩදාසිවලින් පරීක්ෂා කරන නලින් ද සිල්වාගේ පුතුන් බුද්ධිමතුන් වනු ඇත. හැම දෙයක්ම (මිනිස් ප්‍රශ්න ද ඇතුළත්ව) විද්‍යාවට විසඳිය හැකි යැයි සිතන මිනිසුන් නව විද්‍යාවාදයක් (කාලෝ ෆොන්සේකාගේද අනුග්‍රහය සහිතව) බිහි කරනු ඇත.

(B) රාජ්‍ය අංශයේ ”සම්පත්” (ඉඩම් සිට මිනිස් ශ්‍රමය නිර්මාණය කිරීම දක්වා) පුද්ගලික අංශය දක්වා විතැන් කිරීම. මින් අදහස් වන්නේ රාජ්‍ය අංශය තුළ ආකාර්යක්ෂමව පාලනය වන ‘සම්පත්’ පුද්ගලික අංශය තුළදී කාර්යක්ෂමව පාලනය වේ යැයි නිගමනය කිරීම (අනුමාන කිරීම).

‘සම්පත්’ රාජ්‍ය අංශයෙන් පුද්ගලික අංශයට විතැන් කිරීමෙන් අදහස් කරන දෙය වඩාත් සරලව පහත ආකාරයට පැහැදිලි කළ හැක. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල අවසාන දේශපාලන හරය තීන්දු වන්නේ ආර්ථික ක්‍රියාවලියේ දැනටමත් යෙදෙමින් සිටින්නන් මගිනි. එනම් ආණ්ඩුවක ආර්ථික ප්‍රතිපත්තිවලින් වඩා ඵල ප්‍රයෝජන ලබන්නේ සමාජයේ ආර්ථික ශක්තිය ඇති අය මිස දුප්පතුන් නොවේ. උදාහරණයක් ලෙස මහ පාරවලට තාර දැමීමෙන් වාසි ලබන්නේ හැමදාම පයින් ගමන් කරන්නන් නොව වාහනවලින් ගමන් කරන්නන්ටය. නමුත් මහජනයා සිතන්නේ ‘සංවර්ධනය’ යනු සියලූ දෙනාටම පොදු සාධාරණ සංකල්පයක් බවයි.

තවත් උදාහරණයක් ලෙස සෞඛ්‍ය සේවය පුද්ගලිකකරණයවීම සලකා බලමු. මෙහිදී සිදු වන්නේ සම්පත් භාවිතය කාර්යක්ෂම කිරීම සඳහා පුද්ගලික අංශය කරන තරගකාරීත්වය තුළ රෝගීන් සහ රෝග වගුගත වීමයි. වැඩි වියදමක් දැරිය යුතු රෝග සඳහා (හෘදය රෝග, වකුගඩු රෝග, පෙනහලූ රෝග, පිළිකා – මේවා මාරාන්තිකය) පුද්ගලික රෝහල්වල සේවා සැපයීම සංවර්ධනය වන අතර අඩු වියදමක් දැරිය යුතු රෝග සඳහා සැපයෙන සේවාවන් තත්ත්වයෙන් බාල වෙයි. මෙම තත්ත්ව පාලනය කලක් ගත වන විට රජයේ රෝහල් කරා ද, සියලූම වෛද්‍යවරුන් කරා ද බලපානු ඇත. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මේ වන විට ගුණාත්මක වෛද්‍යවරයෙක් වෙනුවට නිපදවන්නේ ප්‍රමාණාත්මක වෛද්‍යවරයෙකි. එනම් රෝගීන් වැඩිම සංඛ්‍යාවකට කෙටි කලකදී ප්‍රතිකාර කිරීම හොඳ වෛද්‍යවරයෙකු සතු නූතන ප්‍රමිතියයි. පුද්ගලික සෞඛ්‍ය අධ්‍යාපනය පූර්ණ වශයෙන් ලංකාවේ සම්පූර්ණ වූ දිනෙකදී සිදු වන්නේ ප්‍රමාණාත්මක වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් බිහිවීම පමණි. යම් යම් දේවල් සිදු වන්නට ඉඩ දීමේ හැකියාව ඇතත්, යම් යම් දේ නිශ්චිතව කරවීමේ හැකියාවක් ආර්ථික ප්‍රතිසංස්කරණවලින් බලාපොරොත්තු විය නොහැක. ‘සම්පත්’ වැඩි වැඩියෙන් පුද්ගලික අංශයට මාරුවන විට සිදු වන්නේ මුදල් ඇති අයට මිලට ගැනීමට හැකි ඖෂධ නිපදවීම වැඩි වන අතර, මුදල් නැති අය මිලට ගන්නා ඖෂධ තත්ත්වයෙන් බාල වීමයි. (මෙය හරියට ‘වෙළඳපොළ’ උසස් බෙන්ස් රථ නිපදවනවා මිස මගීන් විශාල සංඛ්‍යාවක් ගෙන යන බස් රථ නිපදවන්නේ නැති පරිදිය) ඒ නිසා මේ සිදුවෙමින් යන ‘සම්පත්’ විතැන් කිරීමේ ක්‍රියාවලිය අවසාන වනු ඇත්තේ සියලූ දෙනා සංවර්ධනය වීමෙන් නොව ටික දෙනෙක් සංවර්ධනය වීමෙන් පමණි. ඒ අනුව ලංකාවේ පිපෙනු ඇත්තේ දිලිත් ජයවීර, අශෝක් පතිරගේ වැනි රෝස මල් කිහිපයක් පමණි.

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...