එමීගේ කතාව නිරවුල්ය. ඉන් අදහස් වන්නේ ඇගේ සයිකෝසියාව නාටකීය ලෙස, වරින් වර පැහැදිලිව දෘශ්‍යමාන වූ බැවිනි. එහෙත් එමීට සාපේක්ෂව වෘක මිනිසාගේ (Wolf man) කතාව බෙහෙවින් සංකීර්ණය. උමතුව වරක් විමෝචනය වී අතුරුදන්ව කෙනෙකුට දැකගත නොහැකි පරිදි රහෝගතව පවතින්නේ කෙසේදැයි එමඟින් පෙන්වා දෙයි.

වෘක මිනිසා ලෙස අන්වර්ථව හැඳින්වෙන සර්ජි පැන්කර්ජෙෆ් රුසියානු රදළයෙකි. විසිවන සියවසෙහි කැපී පෙනුණ මනෝ චිකිත්සකයන් සහ මනෝ විශ්ලේෂකයන් ගණනාවක් ඔහු පරීක්ෂා කර බලා තිබිණි. තියඩෝර් සීහෙන්, එමිල්, කැරේපලින්, සිග්මන් ෆ්‍රොයිඞ්, රූත් මැක් බ‍්‍රන්ස්වික්, මියුරියල් ගාඩිනර් සහ කර්ට් අයිස්ලර් ආදීහු ඒ අතර වෙති. පැන්කර්ජෙෆ් විවිධ මානසික රෝගවලින් පෙළුණු බව ඔවුන්ගේ රෝග විනිශ්චය මඟින් පෙන්වා දී තිබිණි. ෆ්‍රොයිඞ් ඔහු පරීක්ෂා කරන්නේ වැඩිහිටි අයකු ලෙස වුවත් ඔහුගේ අධ්‍යයනයන් මුළුමනින්ම යොමු වූයේ පැන්කර්ජෙෆ්ගේ ළමා විය කෙරේය. විශේෂයෙන්ම යන්තම් අවුරුදු හතර පිරෙන්නට ආසන්නව මෙම පිරිමි ළමයාගේ චරිතයේ සිදු වූ වෙනස්කම් ඔහු ළදරු නියුරෝසියාව (Infantile neurosis) වෙත තල්ලූ කර දමා තිබුණ සැටි ෆ්‍රොයිඞ් සොයා ගත්තේය. ආත්ම විශ්වාසයෙන් යුතු දීප්තිමත්ව වැඩුණ කුඩා දරුවකු තැවුල් සිතින් යුත් ළමා ග‍්‍රස්තික නියුරෝසිකයකු බවට පත් කිරීමට තුඩු දුන් හේතුව කුමක්ද? එමී පිළිබඳ අධ්‍යයනයන් හි දී ලැකාන් ප‍්‍රත්‍යක්ෂ කරගත් පරිදිම එකී ප‍්‍රබල සායනික ප‍්‍රශ්නය ස්ථානගත වන්නේ වෙනස්වීම සිදු වූ නිමේෂය තුළය.

පැන්කර්ජෙෆ්ට ෆ්‍රොයිඩ් හමුවන්නේ 1910 සිට 1914 දක්වා කාලයේ දී සහ 1919 වර්ෂයේ අවසානයේ සිට 1920 පෙබරවාරි දක්වා කාලය තුළය. පසුව ඔහු ෆ්‍රොයිඞ්ගේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ රූත් මැක් බ‍්‍රන්ස්වික් වෙත යොමු කෙරිණි. ඒ වන විට පැන්කර්ජෙෆ් තමාගේ මුහුණේ නාසය පිහිටි ස්ථානයේ විසල් සිදුරක් ඇතැයි විශ්වාස කළේය. ඔහු දිනකට සිය වරක්වත් කුඩා කැඩපතකින් තමාගේ මුහුණ පරීක්ෂා කර බැලූවේය. මෙම පීඩනෝන්මාදී විකාරය බරපතළ තත්ත්වයකට පත්ව වියැකී ගිය අතර එය යළි මතුවන්නේ තිස් වසරකට පසු ඔහු රුසියානු හමුදා විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. එය පැවතුණේ කෙටි කලක් බව ඇත්තය. එහෙත් බ‍්‍රන්ස්වික් ඇගේ රෝග විනිශ්චය පිළිබඳ නිසැක ස්ථාවරයක සිටියාය. ෆ්‍රොයිඞ් පවා එය ග‍්‍රස්තික නියුරෝසියාවේ විපාකයක් ලෙස දකිද්දී ඇය එය විනිශ්චය කළේ විශාදික පීඩනෝන්මාදය (Hypochondriacal paranoia) වශයෙනි.

බ‍්‍රන්ස්වික් හැර ඔහු පරීක්ෂා කළ අවුරුදු හතළිහක් තිස්සේ ඔහු දැන සිටි මියුරියල් ගාඩිනර් හෝ කර්ට් අයිසල් හෝ දුසිමක් තරම් වූ වෙනත් මනෝ චිකිත්සකයන් කිසිවකු හෝ පැන්කර්ජෙෆ් තුළ සයිකෝසික ලක්ෂණ දුටුවේ නැත. බාගවිට ඔහු ග‍්‍රස්තිකයකු (Obsessive) ආත්මරාගියකු, නියුරෝසිකයකු ආදි වශයෙන් හංවඩු ගැසුවත් සයිකෝසිකයකු ලෙස සැලකුවේ නැත. එහෙත් උමතුව සහ උමතු වෙමින් සිටීම අතර වෙනස වටහා ගත් විට මෙම රෝග විනිශ්චයික ප‍්‍රතිවිරෝධතා අපට සමනය කරගත හැකිය. ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගෙවීමටත්, වියනාහි රක්ෂණ සමාගමක් වෙනුවෙන් වැඩ කිරීමටත් ඉඩ ලැබී රුසියානු සිදුවීමෙන් පසු ඒ තරම් දරුණු පීඩනෝන්මාදී අත්දැකීමකට මුහුණ දීමටත් සිදුවන්නේ කෙසේද?

ෆ්‍රොයිඞ්ට මුල්වරට පැන්කර්ජෙෆ් හමුවන්නේ මේ තරුණ රුසියානු රදළයා වියනාවට පැමිණි විටය. ඒ වන විටත් ඔහු කැපී පෙනෙන මනෝ චිකිත්සකයන් විසින් පරීක්ෂා කර බලා තිබුණ අතර ජර්මානු ක්ෂය රෝග ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කීපයකම නේවාසිකව සිට තිබිණි. ඒ වන විටත් ඔහු මුළුමනින්ම අන් අය මත පරායක්ත වූවෙකි. ඔහුට තනිවම ඇඳුම් ඇඳගත නොහැකිය. (පසු කලෙක පැන්කර්ජෙෆ් එය අභියෝගයකට ලක් කළ විස්තරයකි.) ඔහුට තනිවම වැසිකිළියට පවා යා නොහැකි විය. මලපහ කිරීමට පිරිමි සේවකයකු විසින් දෙනු ලබන වස්තියක් අවැසිය. ඔහු බඩවැල්වල ආබාධවලින් පෙළුණා සේම තමා සහ ලෝකය තිරයකින් වෙන්කර තිබෙන්නාක් මෙන් ඔහු දැනිණි. එම තිරය ඉඳහිට සිදුරු වන්නේ මලබද්ධයට දෙන වස්තියකිනි. පළමු සැසියෙන් පසු ඔහු තම විශ්ලේෂකයා යුදෙව් ඌරකු බවත් ඔහුගේ පස්සා පැත්ත පාවිච්චි කිරීමට සහ හිස මත මලපහ කිරීමට තමා මනාප බවත් කීමට තරම් ඔහු නිර්භය විය.

ෆ්‍රොයිඞ් උනන්දු වූයේ පැන්කර්ජෙෆ්ගේ ළමා විය පිළිබඳවය. තම රෝගියාගේ ජීවිතයට බලපෑ එම ළමා වියේ සිදුවීම් ගවේෂණය කළ ඔහු එම රෝග ඉතිහාසය ඊට අවුරුදු හතරකට පසු 1918 දී ප‍්‍රකාශයට පත් කළේය. ෆ්‍රොයිඩ් මේ රෝගියා ඇසුරු කර ගනිමින් ගොඩනැගූ ප‍්‍රවාදය වූයේ කිසියම් ක්ෂතිමය (Traumatic) සිදුවීමක විපාක ඊට කාලයකට පසු අත්විඳීමට ඉඩ ඇති බවය. බාගවිට ඒ ප‍්‍රමාදය අවුරුදු ගණනාවක් විය හැකිය. නිදසුනක් ලෙස කෙනෙකු යම් ලිංගික ක‍්‍රියාවක් දකිද්දි එය දකින මොහොතේ කිසි දෙයක් සිදු නොවෙනවා වන්නට පිළිවන. එහෙත් එම තැනැත්තා ලිංගිකත්වය පිළිබඳ කරුණු දැන කියා ගනිද්දි අර සිදුවීම හදිසියේම අතීතයට බලපාන පරිදි ක්ෂතිමය තත්ත්වයක් ඇතිකර රෝග ලක්ෂණ පළ කිරීම පටන් ගැනීමට ඉඩ ඇත.

මෙම කාරණය සම්බන්ධයෙන් ෆ්‍රොයිඞ්ගේ තර්කනය එයයි. එහිදී ඔහු තම රෝගියාගේ ළමා කාලය පිළිබඳ විස්තර ගවේෂණය කරමින් එය තොරෙම්බල් කළේය. පැන්කර්ජෙෆ් උපන්නේ පොහොසත් රුසියානු රදල පවුලකය. ඔහු 1886 දී තම සහෝදරිය වූ ඇනා ඉපදී දෙවසරකට පසු උපන්නේය. ඔහු තම පවුලට උපන් වාසනාවන්ත දරුවකු ලෙස සැලකිණි. අවුරුදු එකේදි ඔහු මැලේරියාවෙන් සහ නියුමෝනියාවෙන් යන්තම් ගොඩ ගියේය. දිසා විනිසුරුවරයකු වූ පැන්කර්ජෙෆ්ගේ පියා විශාදියෙන් සහ කිසියම් උමතු බවකින් පෙළුණේය. මව ද තමාට රෝග වැලඳී තිබේය යන භීතිකාවෙන් පෙළුණ නිතර උදරාබාධ පිළිබඳ පැමිණිලි කළ  ඕතෑනි ස්ත‍්‍රියක් වූවාය. ”මට නම් මේ විදියට ඉන්න බැහැ ඩොක්ටර්” යනුවෙන් තම මව වෛද්‍යවරයාට පවසනු පැන්කර්ජෙෆ්ට ඇසී තිබිණි. මවගේ මේ වදන් ඔහු තමාට ද ආරෝපණය කර ගත්තේය. පියා නිතර නිවසේ නොසිටීමත් මව අසනීපයෙන් පසුවීමත් නිසා ඇනා සහ පැන්කර්ජෙෆ් වැඩුණේ සේවිකාවන්ගේ සහ හෙදියන්ගේ ඇසුරෙහිය. නන්‍යා හැරුණවිට ඔවුන්ට වඩාත්ම ආදරයෙන් සිටි ආයා වූයේ ග‍්‍රෑෂා ය. මේ දෙදෙනාටම පැන්කර්ජෙෆ්ගේ කතාවේ සැලකිය යුතු භූමිකාවන් හිමි විය.

ඔහු යහපත් පැවතුුම් සහිත දරුවකු ලෙස පෙනිණි. එහෙත් සියල්ල කනපිට ගැසුණේ එක්තරා ගිම්හානයක දී තම මව්පියන් නිවාඩුවක් ගතකර ආපසු පැමිණි විටය. ඔහු සිටියේ ඉංග‍්‍රීසි ජාතික ගෙහි ගුරුවරියක (Governess) සමඟය. අවුරුදු තුන හමාරක් වයසැති වූ ඔහු දැන් මුරණ්ඩු තම පියාගේ දඬුවම අපේක්ෂා කළ දරුවකු බවට පත් වී සිටී. පැන්කර්ජෙෆ්ගේ මෙම වෙනස මුලින්ම සලකුණු වන්නේ එම වසරේ නත්තල් දිනයේ සිටය. ඔහුගේ උපන් දිනය යෙදෙන්නේ ද නත්තල් දිනටය. එහෙත් ඔහුට එම වසරේ දී දෙගුණයක තෑගි ලැබුණේ නැත. ඔහුට ලැබුණ ළමා පොතක තිබූ වෘකයකුගේ පින්තූරයක් දැක භීතියට පත් වූ ඔහු වෘකයා තමා ගිල දැමීමට එන්නේ යයි කියමින් කෑගැසුවේය. සතුන් සහ කෘමින් පිළිබඳ භීතීන්ගෙන් ඔහු පෙළෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. එසේම ඔහු තුළ ආගම පිළිබඳ ග‍්‍රස්තික ශ‍්‍රද්ධාවක් ද වර්ධනය විය. නින්දට යාමට පෙර සෑම ආගමික සුරුවමක්ම සිප, යාඥා කර, ගිනිය නොහැකි තරම් වාරයක් කුරුසය ඇඳ ගැනීමට පුරුදු විය. ආගම කෙරේ වූ විරෝධයක් ද ඒ සමඟම ඔහුගේ මනසට ඇතුළු විණි. මෙම ධනාත්මක සහ නිශේධනාත්මක ලෙස එක්වර සිතීම හරහා ග‍්‍රස්තික ව්‍යුහයක් ගොඩනගා ගැනීමට ෆ්‍රොයිඩ්ට හැකි විය.

Saman Wickramarachchi

ඔබේ අදහස කියන්න...