ධර්මයට අනුව හැසිරෙන්න නම් ධර්මය කුමක්දැයි පහදාගෙන සිටිය යුතුයි. කාලාම සූත්‍රයේ එන එව බලව ක්‍රමය බුද්ධාගමට විශේෂිත වූවක්.

ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායක් ගොඩ නැඟුනේ ක්‍රි. පූ. 3 වැනි සියවසේ සිට. මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත පිරිස ලංකාවට ගෙන ආ වාචික ත්‍රිපිටකය ලක්දිව වාසීන්ට තෝරා පහදා දීමට හැදුවේ සිංහල අට්ඨකතා සමුදාය නොහොත් හෙළ අටුවා නමින්. බුද්ධාගම පිළිබඳ ඉතිහාස වාර්තාවක් සේ සැලකෙන එය අනතුරුව සිංහලට්ඨකතා මහාවංශය නමින් සැකසිණ. පාරම්පරික කතා, ජනප්‍රවාද සහ රාමායනය, මහාභාරතය වැනි දේශීය සහ ඉන්දීය මූලාශ්‍ර වලින් ද කරුණු උකහා ගැනීම ඒ තුලින් දකින්නට හැකියි. එලෙස ගොඩනැඟුණ ලක්දිව සම්ප්‍රදාය ක්‍රි. පූ. පළමුවන සියවසේ දී වළගම්බා රජ සමයේ මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙන තෙක්ම පැවතුනේ වාචිකවයි.

ඉංග්‍රීසියෙන් ලියැවෙන්නක් සිංහලට පරිවර්තනය වෙද්දී වැදගත්ම තොරතුරු වෙනස් වෙන ආකාරය දන්නේ සිංහලත් ඉංග්‍රීසිත් කියවන්නට දන්නා අයයි. සිංහලෙන් ලියන සටහන් පවා සිංහල පාඨකයාගේ හිතට හරියන ලෙසට කපා කොටා ඉදිරිපත් කිරීම පටන්ගෙන තියෙන්නෙ බලාගෙන ගියාම ක්‍රි. පූ. 3 වැනි සියවස දක්වා ඈත අතීතයක දී. සිංහල වාර්තාකරණය නම් අපිට ගජබින්නාලංකාරයකින්ම දායාද වූ “කරවිල හැදියාවක්”!!!

ඉතින්, “ධනවාදයේ මාරක දෝෂය හඳුනාගත් වගයි” කියල සිරස්තලයක් එහෙම හපන්කමක් කරන්න බැරි වෙච්ච අයෙක් ගැන ලිව්වමත් දාන එක මේ සිංහල අපගේ හැදියාවයි!!!!!!

සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ මල්ලිකා සූත්‍රය වර්තමානයේ තමන් බුද්ධාගමේ යැයි කියාගන්නා කී දෙනෙක් දන්නවා ද?

මල්ලිකා දේවිය පසේනදි කොසොල් රජුගේ මෙහෙසිය. ශේක්ස්පියර් ලියූ කින්ග් ලියර් ප්‍රබන්ධයේ එන සීන් එකක වගේ හිතක් පසේනදි කොසොල් රජුටත් පහළ වුණා. ඒ කිව්වෙ තම ප්‍රියාදරයා තමන්ට කොච්චර ආදරේ ද කියල දැනගන්න. ඒ නිසා පසේනදි කොසොල් රජු ඇහුවේ “ඔයාටත් වඩා ඔයා ආදරය කරන කවුරු හරි ඉන්නවා ද?” කියල. උත්තරය හැටියට රජු බලාපොරොත්තු වුනේ “මට ආදරය කරනවාටත් වඩා මම ඔයාට ආදරෙයි,” කියල ඇයගෙන් අහගන්න. එතකොට “මටත් වඩා ඔයාට මමත් ආදරෙයි,” කියල උත්තර දෙන්නයි පසේනදි කොසොල් රජු ලැහැස්ති වෙලා හිටියෙ.

පසේනදි කොසොල් රජුට වඩා මල්ලිකා දේවිය බුද්ධිමත්!!! ඇය පිළිතුරු දෙන්නෙ ප්‍රශ්නයකුත් එක්ක: “නැහැ රජතුමනි, මට වඩා මම ආදරය කරන වෙන කෙනෙක් නැහැ, ඔබට එහෙම ඔබටත් වඩා ආදරය කරන කෙනෙක් ඉන්නවා ද?”

අවංක උත්තරයක් දෙන්න සිද්ධ වෙච්ච රජුට වැටහුනා ඇය කියන්නෙ සත්‍යයක් බව. ඉතින් තමන්ට වඩා ආදරය කරන වෙන කෙනෙක් තමාට නැති බව පිළිගත්ත. ඒත් ඒක හිතට හරියට ඇල්ලුවේ නැහැ. බුදුන් හමුවෙන්න යන පසේනදි කොසොල් රජු සැක දුරු කරගන්න මල්ලිකා දේවියගේ උත්තරය බුදුන් හමුවේ පැවසුව.

බුදුන්ගේ උත්තරය: “තම සිහිනුවණින් සියළු දිග විමසා බලද්දී තමන්ට වඩා ප්‍රිය වූ වෙන අයෙක් තමනට හමුනොවේ. එසේම තමන් අනිත් අය වෙතින් ද දකින්නේ ඔවුන් ඉතා දැඩි සේ ඔවුන්ටම ආදරය කරන බවයි. මේ නිසා අයෙක් තමන්ට ආදරය කරන්නේ ද,එවැන්නෙක් අනුන් හට හිංසා නොකළ යුතුයි.”

අයින් රෑන්ඩ් “ඇට්ලස් හැකිළුණි” ලිව්වෙ 1957 දී. ඉහත බුදු වදන් හා සම අදහසින් වූවක් එහි චරිතයක් වූ ජෝන් ගාල්ට් වෙතින් පිට වූවත් අයින් රෑන්ඩ් බුද්ධාගම කියල හිතාගෙන සිටියේ මහායාන සම්ප්‍රදායේ වත් පිළිවෙත් ඩිංගක් පමණයි. රොබට් නෝසික් විසින් “අරාජිකත්වය, රජය හා උතෝපියාව” මැයෙන් පොතක් ලිව්වේ 1974 දී.

ගාල්ට් චරිතයෙන් ඒකීය පුද්ගල අදහස් ලෝකයා කියවන්න කළින්, සමාජයක සහයෝගීතාවය ඒකීය පුද්ගලයන් වෙතින් සාක්ෂාත් වෙන අන්දම ගැන නෝසික් ලියන්න කළින්, වසර දෙදහස් පන්සිය ගණනකට පෙර සිංහලෙන් කියවන අයට මල්ලිකා සූත්‍රය දායාද වෙලා තිබුණ. ඒත් ඉතින් අපේ ඵෛතිහාසික වස්තු යටත්විජිත ආක්‍රමණිකයන් උස්සන් ගියා කියමින් බටහිර බලවේග වලට පොදුවේ බනින අය නොදකින්නේ පාලි සහ සංස්කෘත ගැන සුද්දන් දැක්වූ කැපවීම නොකළ සිංහලයන් මූලාශ්‍ර විමර්ශනය වෙනුවට හුරු වී සිටින්නේ තම පැතිවාදය අනුව බෙදන්නට සහ එහෙම බෙදන දෙයක් ගිලන්නටයි.

තමන් වැඩියෙන්ම ආදරය කරන්නේ තමනට බවත් එසේම අනිකුත් අය ද වෙන අයට වඩා ඔවුන්ටම වැඩියෙන් ආදරය කරන බවත් පසක් කරගන්නේ ද, එවිට අනෙකාට ගෞරව කිරීම ආචාර ධාර්මික පදනමක් හැටියට ගොඩනඟා ගත හැකිවේ. ඉන් පසුවයි අනුන්ගේ අවශ්‍යතා ගැන කැක්කුමක් ඇතිවෙන සමාජ සහයෝගතාවය පිළිබඳ පදනමක් ගොඩනඟා ගන්නට හැකියාව ලැබෙන්නෙ.

ඊනියා වදනේ අර්ථය නම් “එසේ යැයි කියන එහෙත් එසේ නොවන” යනුයි. ඉතින් සිංහලයාට දායාද වූ ඊනියා බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය සැකසුනේ මල්ලිකා සූත්‍රයේ දැක්වෙන ඒකීය පුද්ගලත්වය (individualism) පදනම් කරගෙන ද?

එහෙම නැත්නම් වෙසක් දිනයේ තොරන් ගසා කියාදෙන වෙස්සන්තර ජාතකය පදනම් කරගෙන ද?!!!!

ඇතාව, රජකම, වස්තුව විතරක් නෙමෙයි එයාගෙ දරුවන්, ජාලිය සහ ක්‍රිෂ්ණ ජිනා මහළු පූජකයෙකුට මෙහෙකාර වැඩට “දන් දුන්” වෙස්සන්තර බෝධිසත්වයෙක් සේ දැක්වීම නොදන්නා සිංහල බෞද්ධයෙක් ඉන්නවා ද?

පසේනදී කොසොල් රජුගේ මල්ලිකා බිසව ආදරය ගැන පැවසූ වදන් ගැන බුදුන්ගේ උදාන වාක්‍යයට වඩා සම්පූර්ණයෙන් වෙනස් අදහසක් වෙස්සන්තර රජුගේ මද්‍රිදේවිය ගැන වෙස්සන්තර ජාතකයෙන් සිංහල බෞද්ධයාට ලැබේ. එනම් “ස්ත්‍රීහු නම් දනට බාධා කරන සුළුය. හොඳ නොහොඳ නොදනිති.”

ඉතින්, බෝධිසත්වයෙක් යැයි සිංහල බෞද්ධයාට හඳුන්වා දෙන වෙස්සන්තර යනු තම දරුවන් දන් දුන් පින නිසා ලොව්තුරා බුදු බව ලැබේවා යි පතන්නෙකි. වැඩකාර කමට අහිංසක දරුවන්ව දන් දුන් රජු ගැන “දෙවියෝ සතුටුව මල්වැසි වැස්වූහ,” යැයි ලියයි. මහළු බමුණා දරුවන්ට ලේ වැගිරෙන ලෙස තලමින් ගෙන යන බව දකින වෙස්සන්තර දාන පාරමිතාවේ අනුසස් සලකා එනම් මතු බුදුබවක් තමනට අපේක්ෂාවෙන් ඔවුන් බේරාගන්නට ආ තම සිතුවිල්ලට නින්දා කරයි!!!!!

ඊ ළඟට මහළු වේශයෙන් එන ශක්‍රද්වේන්ද්‍රයා දාසකමට වෙස්සන්තරගේ භාර්යාව ඉල්ලයි. මල්ලිකා මෙහෙසියට සහමුලින් වෙනස් වූ මද්‍රීදේවිය පිළිතුරු දෙන්නේ තමන්ට වඩා ඉහළින් ඉන්නා රජුට දාසකමට දෙන්නට, වස්තු සඳහා දෙන්නට හෝ මස් පිණිස දෙන්නට ඕන කැමත්තක් කරන්නට හැකියි කියාය.

ඉතින් තව දුරටත් රට වැසියන්ගේ වෙහෙසින් මංකොල්ල කාපු ධන වස්තු, තමන්ගෙ දරුවන් හා තමන්ගෙ බිරිය ද දන් දෙන වෙස්සන්තරව සිංහලෙන් කියවන්නට ඉදිරිපත් කරන්නේ “ඒකාන්තයෙන් සම්මා සම්බුදු බවට පැමිණ සියළු ලෝ වැස්සන් නිවන් පුරයෙහි පිහිටුවාලිය” හැකියාව තියෙන බෝධිසත්වයෙක් හැටියටයි.

ජාලිය සහ ක්‍රිෂ්ණ ජිනා බේරාගන්නට මහළු බමුණාට රත්‍රන්, ඇතුන්, සත්මහල් ප්‍රාසාදයක් යනාදියෙන් බරේ බර වස්තු දෙන්නේ සඳමහ රජුයි. රාජ භෝජනය දිරවා ගන්නට නොහැකි මහළු බමුණා මිය ගියාම, දරුවන් වෙස්සන්තර වෙත කැඳවා ගෙන යන්නේ ද සඳමහ රජුයි. වෙස්සන්තර සහජාත සැට දහසක් යෝධයන් විසින් පිළියෙල කළ සුවඳ පැනින් නාලා සූසැට ආභරණයෙන් සැරසී දේවේන්ද්‍ර ලීලාවෙන් නැවතත් ඔටුන්න පළඳියි!!!

ජාතක කතාව අවසන් වෙන්නේ මහළු බමුණා දෙව්දත් තෙරුන් බවත්, සඳමහ රජු සුද්ධෝදන රජු බවත්, වෙස්සන්තර රජ්ජුරුවෝ නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බවත් සටහන් තබමින්.

සමහර අයට අනුව ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ජාතක කතා පොත් වහන්සේ තරම් වටිනා ග්‍රන්ථයක් තවත් නොමැති තරම්!!!!

ඉතින් ජාතක කතා පොතෙන් බෞද්ධ ජන සමාජය සාධු සුචරිතවත් මාවතකට යොමු කරනවා නම් (මගේ වචන නෙමෙයි ඉහත සබැඳි ලිපියේ වදන්) එහෙම නම් අද සිංහල බෞද්ධයා බුදු වදන් අමතක කරලා ද?

550 ක් තියෙනවා කිව්වට 547 ක් පමණක් තියෙන, කුරුණෑගල යුගයේ පැරකුම්බා රජ සමයේ ජාතකට්ඨ කතාවත්, ජාතක පාලියත් ඇසුරෙන් සැකෙසන බුත්සරණ කතුවරයා ලියූවා යැයි කියන ජාතකයයි සිංහල පාඨකයාට ලැබෙන්නෙ.

පසේනදි කොසොල් රජු හා මල්ලිකා දේවිය අතර වූ ආදරයට තැනක් නොලැබී ගේහසිත ප්‍රේමය?, දාරක ප්‍රේමය, අඹුසැමි ප්‍රේමය, ඒ බැඳීම් අත් ඇරීමේ වේදනාව අපේ ජාතියට කියා දුන් වෙනත් ජාතකයක් නැති බවත් මේ ඇසුරින් නිර්මාණ දහස් ගාණක් සිංහලයට එක් වී තියෙන බවත් කියවද්දී

සිංහලයන් යනු මිනිස් ස්වභාවය බාරගන්න අකමැති ජාතියක් ද? මිනිස් ගතිය ඉක්මවා ගිය දේවත්වයට ළං වූ අයෙකුට පමණයි වෙස්සන්තරලා වැනි ඒ අපහසු පරිත්‍යාගයන් කළ හැකි වෙන්නේ යැයි කියද්දී, සිංහල බෞද්ධයා මිනිස් ගතිය කුමක්දැයි බුදුන් දෙසූ වදන් විමසන්නෙ නැත්තෙ ඇයි?

මල්ලිකා බිසවට බුදුන් දෙසූ වදන් උදාන වාක්‍යය ලෙස සැලකෙද්දී “උදාන” කියන වචනය අද භාවිතා වෙන තැන්, කාල්ටන් සුව උදාන එහෙම දැක්කම ඉතින් පන්සිය පනස් ජාතක ලියැවෙච්චි කාලයේ පටන් තාමත් ජාතක කතාවෙන් ඔප වැටුණු සිංහල සමාජය රැවටෙන රැවටිල්ල ගැන කියලා වැඩක් නෑ.
අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබේ අදහස කියන්න...