එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ සාම සාධක මෙහෙයුම් සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩලයට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී නවි පිල්ලේ මහත්මිය කණගාටුව පළකර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇය අදාළ පත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩලයට ලිපියක්ද යොමුකර තිබේ. මේ බව අනාවරණය වූයේ සිරියාව සම්බන්ධයෙන් ඊයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල රැස්වීමට නවි පිල්ලේ මහත්මිය සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන් අවස්ථාවේය.
එහිදී මාධ්‍යවේදීන් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සාමසාධක උපදේශක මඩුල්ලට පත් කිරීම සම්බන්ධයෙන් ඇය දරණ මතය කුමක්දැයි විමසා තිබේ. ඊට පිළීතුරු දෙමින් නවි පිල්ලේ මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම ප්‍රශ්නකාරී බවයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සැකකෙරෙන්නන්ගේ ලැයිස්තුවක් තම කාර්යාලයේ පවත්වාගෙන යන බවත් එය පදනම් කර ගනිමින් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත් කිරීමට විරෝධය පා අදාළ උපදේශක මණ්ඩලයට කරුණු දක්වා ලිපියක් යොමු කළ බවද ඇය ප්‍රකාශ කර තිබේ.




