පුබුදු ජයගොඩ ගැන ඇත්තටම දුක හිතෙන්නේ නැත්ද? ඒ ප්‍රශ්නය ඇහුවේ දීප්ති කුමාර ගුණරත්නය. කල්පනා කර බැලූවිට ඇත්තය. ලඟකදී ධීවරයන්ගේ උද්ඝෝෂණයට ගිය පුබුදුව පොලිසියෙන් අත් අඩංගුවට  ගැනීමට තැත් කළේය.  ධීවරයන් කෑ කෝ ගසා ඔහුව බේරා ගත්හ. මෙහිදී ධීවරයන් ගේ ප්‍රශ්නයට සමහරවිට  තත්පර දෙකක බුකියේ හා මාධ්‍ය වල ප්‍රසිද්ධියක් ලැබෙන්නට ඇත. ඊළඟ මැතිවරණයේදී ඔය ධීවරයන් ගේ චන්දය වත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලැබෙන්නේ නැත. 

 
මේ ඉන්ධන ප්‍රශ්නය මෙන්ම අනිකුත් ප්‍රශ්න අටෝරසියක් හැමෝටම ඇත. මේ කාලයේ එදා වේල ටුවර්ස් රැකියා කරණ අය, පෞද්ගලික වෙළඳම් අනිකුත් අත්‍යවශ්‍ය නොවන රැකියා කරන බයියන්, ටොයියන් , ජෙප්පන්, පෙරට්ටන්  ආදී සියල්ල අමාරුවේය. අමාරුවක  නැත්තේ ඔය  රජයේ හෝ අත්‍යවශ්‍ය සේවා රැකියා කරන වෛද්‍ය, හමුදා, සෞඛ්‍ය සේවයේ අනිකුත් අය , දේශපාලකයන් හා සල්ලි තිබෙන අයත්, පිටරට සිටින ජෙප්පන්, පෙරට්ටන් ආදීනුත්ය. 
 
ඒ අතරේ ලංකාවේ දේශපාලනය ගැන යහපාලන ආණ්ඩුව පත් වූ පසු 2015 පෙබරවාරි 19 “පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)” ලියූ ලිපිය නැවත රිසයිකල් කර 2019 නොවැම්බර    19 දින “අපේ රජ්ජුරුවෝ” මැයින් පල  කලෙමි. නැවත එම ලිපියම අද 2021 ජුනි 21 රිසයිකල්  කරමි. ලංකාවේ දේශපාලනය ගැන පේන කීමට ජ්‍යෝතිෂය අවශ්‍ය නැත. 
 
 
2019-11-19 : 
අපේ රජ්ජුරුවෝ අද නැවත  දිවුරුම්  දුන්නේය. ඒ අගමැතිතුමන් වශයෙනි.
මම  යහපාලන ආණ්ඩුව පත්වුණු 2015 මාසයේ ඒ ආණ්ඩුවේ පිළිවෙත  දෙස බලා මෙම ලිපිය ලීවෙමි.
 
අද නැවතත් විපස්සයා විපස්සයාම  වී ඇත.
 
ඒ ප්‍රීතිය නිමිත්තෙන් 2015 පෙබරවාරි 19 ලියූ ලිපිය නැවත  පළ කරමි.
කියවා  සැනසෙන්න.
( දැන්වීමයි- මේවා ලිවීමට ජ්‍යොතිෂය උපයෝගී කර නොගත්තෙමි.)
 
එදා 2015 පෙබරවාරි 19 ලිපිය: (මේ ලිපියේ අනාවැකියේ පොඩි වරදක් තිබේ. එහි කියවෙන්නේ  ලේකම් කොලූ නැවත  ජනාධිපති වන බවයි. ඒ වෙනුවට ජනාධිපති වූයේ බාල සොහොයුරාය. ඉතිහාසය වෙනස් වනු ඇත.)
 
පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)
 
ඔන්න ඉතින් අපේ පුටින් උන්නැහේ දන්නවනේ රුසියාවේ. සෝවියට්  දේශය කාලේ  කේජිබී  ලෙෆ්ටිනන්ට් කෙනෙක්. පස්සේ ලෙනින්ග්‍රාද් (සාන්ත පිතර්බුර්ගය) පැත්තේ දේශපාලනේ කරලා යෙල්ට්සින් හරහා ඇවිත් ජනාධිපති වුණා. ඇස්වහක් කටවහක් නැහැ මන් මනාපය දෙන පොරක්. වෙන හේතුවකට නෙමේ වැටිලා තිබුන රුසියාව නැගිට්ටේවට. රුසියාව දියුණු රටක් වශයෙන් රුස්සට ජාතියේ ආඩම්බරය ඇතුව ජීවත් වෙන්න යලි ඉඩ සලසා දුන්නට. හැබැයි පොර මෙහෙමත් කලා. හොරකම් කර කර හිටි මදාවියෝ ටික තමන්ගේ යටතට අරගෙන ඒක  පිළිවෙලක් ඇතුව ගානට කරන්න හදල දුන්න, තමන්ට ගානක් එන විධිහට. දෙන්නේ නැති නහර කාරයන්ව එංගලන්තෙට පිටුවහල් කලා.  නාකි මිනිසුන්ව මරල උන්ගේ දේපල උස්සන එවුන්ව  අල්ලල හිරේ දාල ඒක  නවත්තල, උන්ට පැන්ෂන් වැඩි කරලා පාරවල් ටික අලුත් වැඩියා කලා රුසියාවේ, බෙදුම් වාදී චෙචේනියාවට කෙලින්ම බෝම්බ  දාල  හමුදා යවල මට්ටම් කරලා සාමය හැදුව,   අමෙරිකාවට කෝචෝක් එකක් එහෙම දාල  දැහැමෙන් සෙමෙන් වාර  දෙකක් හිටිය. පස්සේ ජනාධිපතිවරණේ  එනකොට පොර දැනගත්ත ආයි ඉල්ලන්න බැරි නීතියක් මේ යෙල්ට්සින් කියන වසවර්තිය දාල තියෙනවා කියල.
 
ඉතින් මොකද කරන්නේ. ටක් ගාල පක්ෂයක් ගත්ත සල්ලි වලට. මෙද්වෙදෙව් මලයට කිව්වා ජනාධිපති කමට ඉල්ලන්න කියල.  පූටින්  අය්යා  අගමැති කමට ඉල්ලුව. ඉතින්  අපේ නාමික ජනාධිපති ඉන්නවා මඟුල් ගෙවල් වලට යනවා එහෙම, කම්හල් අරිනවා පීත්ත  පටිය කපල හෙම වැඩ ගොඩයි.. පුටින් අගමැති රට පාලනය කළා. ඇමෙරිකන් කාරයා නම් වැඩිය කැමති වුනේ නැහැ. ඒත් ඔය අධිරාජ්‍යවාදියෝ කවුද ගණන් ගන්නේ. මෙන්න අවුරුදු 4 ගියා. ජනාධිපති හැටියට අවු 8 , අගමැති හැටියට 4 යි. 12 යි.  මෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිට අවුරුදු 6 ක් ඉන්න පනතක් ගේනවා. 2012 අගමැති පුටින් ආයේ  චන්දෙ ඉල්ලල ජනධිපති වුණා . අර කලින් කොමියුනිස්ට්  නායකයෝ මැරෙන  කන් හිටියේ එල්ලිලා.  15හක් ඉවරයි තව අවුරුදු 3 ක්  තියෙනව. ඊට පස්සේ හතරවැනි වතාවට ඉල්ලුවම (ඇයි දෙපාරක් පුළුවන්නේ ) ආයේ ඉතින් යාවජිව ජනාධිපති කිව්වත් කමක් නැහැ.
 
ඉතින් ඔන්න රුසියවට එහා ඈතම ඈත ඩිස්නිලන්තෙක හරිත වර්ණ කට්ටියක් අවුරුදු 17ක්  රට කාල  බීල  අහවර වුණාම, නීල  වර්ණ කට්ටියක් 1994 ඉඳන් රට පාලනේ කලා. ඒගොල්ල ගත්තෙත් කන බොන ගමන් රට වැසියටත්  පොඩ්ඩක්  දෙන්නම්  කියල පොරොන්දු වෙලා . හරිතවර්ණ එවුන් රක්ත වර්ණ උන්ගේ කැරැල්ලක් මැඩ  පැවත්වුවට උතුරු පැත්තේ චෙචෙන් කාරයන්ට වැඩක් දීගන්න බැරි වුන.  නීල වර්ණ එකීටත් බැරි වුනා . අවුරුදු දහයක් ඔහේ අද්ද අද්ද ගියාට පස්සේ රජතුමෙක් ජනපති වුනා. වණයක්  වෙලා හිටිය චෙචෙන් වගේ කට්ටියට විතරක් නෙමේ උන්ගේ අඹු දරුවන් ගේ ගෙවල් දොරවල් වලටත් බෝම්බ දාල මට්ටම් කරලා කොහොම හරි සාමය ගෙනාව. ඉතින් මිනිසුනුත් කැමැත්තෙන් පලවෙනි අවුරුදු පහ දුන්න . දෙවෙනි අවුරුදු පහ යනකොට  හරිත වර්ණ කට්ටියකුත් සෙට් වෙලා කාගෙන කාගෙන ගියා. සුදු අස්ස කරත්ත හෙම හිටි හැටියේ මතු වෙන්න ගත්ත. මිනිසුන්ට එපා වෙන්න ගත්ත. රජතුමා ව්‍යවස්ථාව වෙනස් කළා තුන්වෙනි පාර ඉල්ලන්න. මිනිස්සු කීව  දැන් කෑව ඇති කියල. රජතුමාගේ උපදේශකයන්ට තේරුණා වැඩේ වල්  වේගෙන එන බව. රජතුමා මේ පාරනම් සෙට් කියල උපදෙස් දුන්න. පිස්සුද බොල මන් වගේ එකෙකුට හේමත් වෙනවද කියල උදහස් වෙලා හැච් කළා ප්ලෑනක්.
 
රජතුමා කතා කලා සාස්තර කියන පුරෝහිතයට. ” මම තුන්වෙනි පාර ඉල්ලනවා. මම දිනනවයි  කියල මුසාවක් කියපිය රට වටේ ” කියල උපදෙස් දුන්න . පුරෝහිතය කීව ග්‍රහ බලපෑම  අනුව විතරක් නෙමේ  මිනිස්සු කියන කතා අනුවත් ඔබතුමා මේ පාරනම් පරදිනවා කියල. රජතුමා උදහස් වෙලා කිව්වා “යකෝ තෝ මාව දිනනවා කියල කිව්වේ නැත්නම් තෝව  දඬු කඳේ ගහල රජ අලියට කියල පාගවනවා” කියල. අරූ භයවෙලා අඬ බෙර ගහල යැව්වා  රජා  දිනනවා කියල. ඔය අව්වස්සේ මේ රටේම හිටිය විපස්සයෙක් . හරිම ආසයි විපස්සේට වෙලා ඉන්න.  විපස්සේ එවුන් කොච්චර තල්ලු කලත් ම්හු හොලවන්නම බැහැ. රජතුමා කතා කලා විපස්සයාට. කිව්වා විපස්සයෝ දන්නවනේ මම උඹට හැමදාම සලකනවා තේ බොන්න කෝපි  බොන්න කතා කරනවා.  මේක තියාගන්න ඕනේ නම් මට උදව් කරපිය කියල. විපස්සයත් කියන ඕන ලබ්බකට කැමති පොරක්. ඉතින් හැදුව ප්ලෑන. ඔහේ අර පරණ නෝනවයි ඉන්දියන් ඇමෙරිකන් කාරයෝ ටිකයි අන්ද ගන්නවා. වමාල ටිකත් සෝසෝ හරහා උඹ බලා ගනින්. සෝමේ ටිල්විල අනූ ලා මගේ පරණ කොල්ලෝ සැට් එක මාව 2005දී උස්සපු එවුන් ටිකනේ.  උන්වත් උඹ ගාවට එවන්නම්. ඉන් පස්සේ මම මගේ විශ්වාසවන්තම  ලේකම් කාරයා එවනවා උඹේ පැත්තට. ඕන වෙලාවක මම කියන එක අහන එකෙක්.  මාව යුද්දෙට තල්ලු කරපු අර කිව්වා නාහන පිංචක රතන සෙට් එකත් එවන්නම් ජාජිත් කොලූ එක්ක. මිනිස්සු ටික අන්ද ගන්න ඒ ඇති.  ඊළඟට උඹ  එවපන් උඹේ එකා මගේ පැත්තට. ඊට පස්සේ උඹ අගමැති  වෙලා මගේ එකාව  ජනාධිපති කරපන්. විපස්සයත් බොහොම අකමැත්තෙන් විපස්ස කම දාල යන්න බෑ කියල බෑඟිරි ගහල හෙම කැමති වුණා.  පොර අහනවා.
 
“ඉතින් ඊට පස්සේ මට විපස්ස කම හම්බ වෙන්නෙම නැත්ද ?”
 
“ඔය ඉතින් සරත්මධු වෙන්න යනවනේ. ඉඳපන් කියනකන්.  ඔන්න උඹ අගමැති වුනාට පස්සේ අර මාත් එක්ක ටුවර්  ගිය ජිල්ජෝනට භාර දීපන් පොලෝසිය. ඔය පෙළපාලි ගිය නීතිඥ උන්ට හොඳ සභාපති කමක් දෙකක් දීපන්. ජනරාලයත් පව්නේ ආපහු ඔක්කොම දීලා තියන් ඉඳපන්. නැත්නම් මිනිස්සු  බලයි මොකද කියල. වැඩිය දෙන්න එපා ගන්න අමාරු වෙයි. “
“ඉතින් ඊට පස්සේ “..
 
“ඔය ආයි ඉතින් මට ඔය දේදුනු කැලුම් පෙන්නන්න බැහැ”. මොන් ගලයව පුළුවන් තරම් එලියෙම්ම  තියා  ගනින්. ගල් ආඳා. අපේ වැඩේ මාට්ටු වෙයි. යවපන් ලෝකේ වටේ. මම බයිලලනිපේ ලේකම් ටම දෙන්නම් සභාපති කොමත් . එතකොට ඒකත් හරි. උඹේ හිටිය ලේකන්ව මිනිස්සුන්ට පේන්න දවසක් දෙකක් ඇතුලට දාල ගනින් එලියට. හැබැයි ඔන්න මගේ කොල්ලෝ ටික  හෙම ඇතුලට දාන්නේ නැහැ විහිළුවටවත්. බිසෝ තුමී මගේ ඔලුව පලයි. ඕන් ඔහොම යනකොට මිනිසුන්ට උඹව නිකම්ම එපා වෙනවනේ.
ආ කියන්න අමතක වුනා. දන්නවනේ මගේ පුරෝහිත වංශ, නානලා සෙට් එක. උන් උගේගොඩ හෙම රැස්වීමක් දෙකක් තියල  මාව ආපහු ඉල්ලයි. උඹට තියෙන්නේ ආපහු චන්දෙ තියන්න.
එතකොට මං අගමැති , මගේ ලේකම් කොලූ ජනාධිපති උඹ ආයිත් විපස්සේ. ඊට පස්සේ මම ව්‍යවස්ථාව වෙනස් කොරනවා මට අවුරුදු දහය ගානේ ඉන්න. උඹ අවුරුදු 20ක් විපස්සේ ආයි. කොහොමද මගේ ටිකිරි මොලේ.” විපස්සයට කොච්චර ජොලියක්  ගියා ද කියනවනම් රජතුමාව ඉඹින්නත්  හැදුව. හොඳ වෙලාවට රජතුමා සාටකෙන් මුණ වහ ගත්ත.
ඔය වෙලාවේ සුදු අස්ස කරත්තයක් හය්යෙන් ඇවිල්ල අස්ස කකුල් හතරම තද කරලා බ්රේක් ගැහුවා.
“ඒ සද්දෙට මට ඇහැරුණා.”
 
2015 පෙබරවාරි 19 ලියන ලද්දකි.
 

– කොළඹ ගමයා 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ප්‍රශ්නය නම් පුබුදු ජයගොඩ තවමත් හිතන් ඉන්නේ මේ මැදිහත් වීම් වලින් රජය පරාජය හැකිය කියාය. නමුත් වෙන්නේ එම උද්ඝෝෂණය පෙසපේ ගිණුමට වැටී ඉන් දියාරු වී යාම පමණි. පුබුදු ලාට 1917 පෙබරවාරි විප්ලවය මෙනම් ඔක්තෝබර බලය ඇල්ලීමද නැවත ඉගෙන ගැනීමට සිදුවී තිබේ.

Comments are closed.