”මනුරත්න ජෝඩුව” මනෝවිශ්ලේෂණය න්‍යායගත කරන ආකාරයට ‘සංකේත පියා’ ව්‍යාපෘතිය ප්‍රතිජනනය කිරිමට උත්සාහ කරන ඕනෑම දේශපාලනික සංවිධානයක් අවසන් වන්නේ ෆැසිස්ට්වාදයෙනි. X කණ්ඩායමේ කිසිදු ලියවිල්ලකට ඇඟිල්ල දිගු කොට පෙන්විය හැකි ජාතිවාදයක් ද නොමැති විටෙක , මේ ඉහත ජෝඩුව පෙන්වා දීමට උත්සහ කරන  ‘රහස්‍ය ජාතිවාදය‘ කුමක්ද? X කණ්ඩායම විසින් සමාජයට ඉදිරිපත් කළ පොත් පත් තුළ මේ අය ප්‍රමුඛ ලෙස සලකා බලන විරෝධාකල්පය වන්නේ ස්ත්‍රිය සම්බන්ධ පැමිණිල්ලකි. ඔවුන්ට අනුව ”අප ස්ත්‍රීන්ට මානසික රෝග තිබේ” යැයි සලකා ඔවුන්ව සමාජයෙන් පිටමං කරන්නට උත්සහ කරයි. ජෝඩුවට අනුව ධනවාදයට විරුද්ධ වීමට වඩා ස්ත්‍රී විරෝධී වීම පාපකාරීය.

නමුත් මෙතැන විරුද්ධාභාසයක් ඇත. ස්ත්‍රියට විශාල නිදහසක් සහ බුද්ධිමය නිදහසක් ලබා දුන් X කණ්ඩායම ඉතා භයානක යැයි මේ අය සලකන්නේ ඇයි? ඒකාධිපති සංවිධානවල නායකයන්ට මට තරම් සරල ලෙස පහර දිය හැකිද? උදාහරණයක් වශයෙන් ලංකාවේ වාමාංශික පක්ෂ වල (විජේ ඩයස් ද ඇතුළුව) නායකයන්ට කිට්ටු වීමටත් එම සංවිධානවල සාමාජික- සාමාජිකාවන්ට ඉඩ දෙනවාද? එසේ නම් අප සංවිධානය තුළ එවැන්නකට ඉඩ අවකාශ නිර්මාණය වූයේ කෙසේද?.

ඉහත ගැටළුවට පිළිතුරු දීම ඉතා දුෂ්කරය.

2004 ගැටළුවට පසුව අපගේ සංවිධානය යළි ප්‍රතිසංවිධානගත කිරීමේදී මා විසින් නිර්මාණය කළ X කණාඩායමේ X නම් පදයේ අඥාතභාවය –X යනු අප නොදන්නා දෙයක් හඟවන සංඥාවයි – නැති කර ‘සංවිධානය’ දන්නා දෙයක් වටා භ්‍රමණය වන්නක් ලෙසින් යළි නිර්වචනය කරන ලදී.

මා විසින් කේන්ද්‍ර කොට ගත් සංවිධානයේ ආකෘතිය වූයේ මෙවැනි අදහසකි. නූතන ධනවාදය (ගෝලීයකරණය) කුමක් ද කියා දන්නා කිසිදු න්‍යායවේදියෙකු හෝ ප්‍රායෝගිකවාදියෙකු මේ ලෝකයේ නැත. එබැවින් ධනවාදයට විරුද්ධ හැඟවුම්කාරකය පරිපූර්ණ නැත. එනිසා ධනවාදය පිළිබඳව සීමාවක් විරහිතව දන්නා කෙනෙක් හෝ ඒ ගැන සීමාවිරහිත දැනුමක් ද නැත.

ඉහත දී හැඟවුම්කාරකයට මා ලබා දුන් තර්කනයට අනුව ධනවාදය ගැන සියල්ල හැඟවුම්කාරකයට/ වචනයට බාර දිය නොහැක. මේ නිසාම ධනවාදයට පිටින් එය ඉක්මවා ගිය අපරිමිතභාවයක් ඇතැයි – Fantasy- යන අදහසක් ගම්‍ය නොවේ.

දැන්  ‘හැඟවුම්කාරකය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කළ යුතුය. ‘සංකේතනය’ සහ සංකේත පියා පිළිබඳ අපගේ සංවිධානයේ න්‍යායන් වර්ධනය වන්නේ ව්‍යුහවාදය පදනම් කොටගෙනය.

සංඥාව (Sign) යනු කාසියක් නම් එයට පැති දෙකක් ඇත. ඉන් එක පැත්තකට අපි කියන්නේ හැඟවුම්කාරකය-singifier– කියා ය. එහි අනෙක් පැත්ත හැඟවුම් නොහොත් මානසික ප්‍රතිරූපයයි. මනෝවිශ්ලේෂණයේදී අප මුල් තැන දෙන්නේ අර්ථය ට (Meaning) හෝ අර්ථවේදයට නොව අර්ථය කඩා වැටෙන තැනටය. එනිසා මනෝවිශ්ලේෂණය අනුදත් න්‍යායන් පැහැදිලි කරන්නේ දේශපාලනයේ කෝෂගත අර්ථයන් නොව, ඒවා කඩා බිඳ වැටෙන තැන් ගැනය.

මිනිසා කතා කරන සෑම විටම සමාජය සම්බන්ධයෙන් සබඳතා දෙකකට ඔහු/ඇය මුහුණ දෙයි. එකක් වන්නේ ඔහු ඇය මතුපිටින් කතා කරන දෙයයි. උදාහරණයක් ලෙස බුද්ධික බණ්ඩාර තම මුහුණු පොතේ ජැකට් එකක් දමා ගෙන සිටින පින්තූරයක් දමා ඇත. එම ඡායාරූපයට ඔහුගේ විවාහක බිරිඳ මෙසේ කොමෙන්ටුවක් දමා ඇත. “අපිට නම් ඔය වගේ ලස්සන පින්තූර නැහැනේ.” මෙම වාක්‍යයේ ‘අර්ථය’ කුමක්ද?. ඇය තමන්ගේ සැමියා ලස්සන යැයි ප්‍රකාශ කරයි. මෙම වාක්‍ය විශ්ලේෂණය කිරීම සඳහා වාග් විද්‍යාව සෑහෙයි. නමුත් මනෝවිශ්ලේෂණය ආරම්භ වන්නේ අර්ථය බිඳ වැටෙන තැනෙනි. බණ්ඩාරගේ මුහුණු පොත බලන සරලමතිකයෙකු ඔහුගේ බිරිඳගේ කොමෙන්ටුව කියවා තම අවධානය වෙන අතකට යොමු කරනු ඇත.

නමුත් මනෝවිශ්ලේෂකයෙකු වැඩ පටන් ගන්නේ වාග් විද්‍යාශයෙකු වැඩ අවසන් කරන තැනෙනි. විශ්ලේෂකයාට අනුව ඕනෑම මිනිසෙක් යමක් අදහසක් පළ කරන විට ඔහුගේ/ඇයගේ අවිඥාණයට අදාළ වන සත්‍යයක් ද ප්‍රකාශයට පත් කරයි. අවශ්‍ය නම් අපට එය ”දෙවැනි අර්ථය” ලෙසින් ද නිර්වචනය කළ හැක. ඒ අනුව මිනිසාගේ සත්තාව තල දෙකක විද්‍යමාණ වෙයි.

 

(1) තමා සැමියාට කෙතරම් කිට්ටුද? (සවිඥාණය)

(2) තම සැමියා තමන්ගේ සත්තාවෙන්-being ; who am i ?- නැතහොත් පැවැත්මෙන් දුරස්ද? (අවිඥාණය)

ඉහත දෙවන අර්ථය අපට පිළිගැනීමට අවශ්‍ය නම් අවිඥාණය නම් සංකල්පය විශ්වාස කළ යුතුය. බණ්ඩාරගේ බිරිඳ අවිඥාණිකව එම ජෝඩුවේ ‘සත්‍යය’ බාහිරට ප්‍රක්ෂේපනය කරයි. ඔවුන් දෙදෙනා කිරිපැණි වගේ එකට අල්ලා ඉන්නව වගේ පෙන්නුවට තම තමන්ගේ අභ්‍යන්තර ජීවිත තුළදී එකිනෙකාගෙන් දුරස් වෙලා ඉන්න දෙන්නෙක්. මේ දෙය කියන්න මට මේ අයගේ පවුල් ඉතිහාසය හෝ වෙනයම් සාරයක් අවශ්‍ය වූයේ නැහැ. අවශ්‍ය වුනේ බිරිඳගේ වාක්‍යය විතරයි. මේ වගේ ජෝඩුවක් සංකේතීයව වටහා ගන්න පුළුවන් චිත්‍රපටයක් තමයි ඩේවිඩ් ලින්ච් ගේ Wild at Heart චිත්‍රපටය. හදවතේ නීතිය රජකරන එම චිත්‍රපටයේ ජෝඩුවට තමන් අවට ලෝකය පෙනෙන්නේ රකුසන් බහුල අඩවියක් ලෙසිනි. එය එසේ වන්නේ ඔවුන් අවට ලෝකය දුෂ්ට නිසා නොව ඔවුන්ගේ ෆැන්ටසි රාමුව දුෂ්ට නිසා ය. චිත්‍රපටයේ කතානායකයාට සහ නායිකාවට බාහිර ලෝකය දුෂ්ට නොවන්නේ නම් ඵ් ගැන ඔවුන් සැක කළ යුතුය.

මනෝවිශ්ලේෂණය තුළ ‘හැඟවුම්කාරකය’ ඉක්මවා ගිය තත්වය හඳුන්වන්නේ ‘විනෝදය’ වශයෙනි. මිනිසා තමන් සොබාදහමේ ම කොටසක් වූ සත්ව ස්වරූපය යම් මොහොතකට පසුව අතහැර දමයි. මෙම මොහොතට පසුව තමන් තමන්ට සීමාවක් පනවා ගනියි. එනම් ශිෂ්ට සමාජයට ඇතුළු වීමයි. උදාහරණයක් වශයෙන් මෙම මොහොතට පසුව සමීප ඥාතීන් අතර ලිංගික සබඳතා නවතා දමයි. මිනිසා ඉහත ආකාරයට යම් යම් සීමාවල් වලට යටත් වීම සඳහා යම් කැප කිරීමක් කළ යුතුය. මෙම අනිවාර්ය කැප කිරීම නිසා මිනිස් ජීවියකුගේ පැවැත්මෙහි අසම්පුර්ණ බවක් ඇත. යම්කිසි අඩුවක් හැඟෙයි.

ඉහත ‘අඩුව’ පිරවීම සඳහා ශිෂ්ටාචාරය සොයාගත් විකල්පය තමයි “හැඟවුම්කාරකය” සොයා ගැනීම. එනම් ‘දෙය’ මරා නිපදවන සංඥාව. සංඥාව සොයාගැනීම නිසා සිතීම ට යළි දෙය කරා යා යුතු නැත. සත්ව ලෝකයෙන් කැඩී බිඳී ඉන් ඉවත් වීම මඟින් සලකුණු වන්නේ භාෂාත්මක ලෝකයයි. නමුත් ‘භාෂාව’ සොබාදහම හෝ දෙය නොවන නිසා භාෂා ලෝකය තුළ මිනිසා පරාරෝපණය වෙයි. මින් ගැලවූමට මිනිසා සොයා ගත් විකල්පය ෆැන්ටසියයි.

මනෝවිශ්ලේෂණය යෝජනා කරන්නේ මිනිස් වර්ගයා ඉහත පහදන ලද හැඟවුම්කාරකය අවශෝෂණය කර ගැනීමේ ආකෘතිය අනුව , නැතහොත් භාෂා ලෝකය පිළිගන්නා ආකාරය අනුව ස්ත්‍රී  සහ පුරුෂ යනුවෙන් ඔවුන් ව වර්ග කළ යුතු බවය. මේ අර්ථයෙන් ගත් විට ශරීර වශයෙන් වෙනස් වුවත් මනුරන්න ජෝඩුවම ස්ත්‍රී විනෝදයකි. ස්ත්‍රීත්වය යනු හැඟවුම්කාරකයට සියල්ල භාර නොදීමයි. මේ නිසාම තමන් ට පිටතින් අපරිමිත පැවැත්මක් හෝ විනෝදයක් ඇතැයි යන්න ස්ත්‍රීත්වය පිළි නොගනියි. දේශපාලනයේ හාස්‍යය ස්ත්‍රිය වන්නේ මේ නිසා ය.

මනුරත්න ජෝඩුව පහත පරිදි ලියයි.

“මනෝවිශ්ලේෂණය තුළ අප දන්නා සහ අප විසින් නැවත තහවුරු කරනු ලැබූ කරුණක් නම් සියළුම මිනිසුන් ඛණ්ඩනය වී ඇති බවයි. සියලුම පුද්ගලයන් තමා තුළම පරාරෝපණය වී ඇති බව අපි දනිමු.”

ප්‍රාංශුවා බැල්මේස් නම් ප්‍රංශ චින්තකයා විසින් මාටීන් හෛඩගර් සහ ලැකාන්ගේ මනෝවිශ්ලේෂණය සංසන්ධනය කරමින් කියා සිටින්නේ ලැකාන්ගේ ‘ආත්මය’ (Subject) සහ හෛඩගර්ගේ ‘සත්තාව’ [Being]අතර වෙනසක් ඇති බවත්, ඒ අනුව ලැකාන් භාෂාව තුළ පදිංචි නොවන මිනිස් කොටසක් සොයා ගත් බවයි. සයිකොටිකයන්-psychotics– යනු ඛණ්ඩනය හඳුනන්නේ නැති පිරිසකි. මේ නිසා ඔවුන් අඩුව නොදනියි. එපමණක් නොව ඔවුන් භාෂාව තුළ පරාරෝපණය වන්නේ නැත. භාෂාව තුළ පරාරෝපණය වන්නේ නියුරෝසිකයන් පමණි. නියුරෝසිකයන් යනු තමන්ගේ අවිඥාණය මර්ධනය ලක් කොට ඉන් විනෝද වන්නන් පිරිසකි. ඔස්ට්‍රියාවේ ජීවත් වූ දැනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදින ජෝසෆ් ෆ්‍රිට්සල් යනු තම දියණිය සමඟ රමණයේ යෙදී දරුවන් විශාල සංඛ්‍යාවක් ජාතක කළ පියෙකි. ඔහු සාමාන්‍ය මහජනයා සමඟ ඉතා හොඳින් කටයුතු කළ කෙනෙකි.

අපගේ පැත්තෙන් මෙසේ යෝජනා කළ හැක.

පියා යනු තවමත් ලංකාවේ නම් තමන්ව ජාතක කළ පියා ය. නමුත් අප සංවිධානය විසින් 21 වැනි සියවස මුලදී මෙම ජාතක පියා ව සංඥාකරණය කරන ලදී. එසේ කිරීම අපගේ පැත්තෙන් ප්‍රගතිශීලීය. මන්ද යත් දේශපාලනය කිරීමේ දී වඩා අදාල වන්නේ ජාතක කළ පියා නොව සංඥාකරණය කරන පියා ය. එය පීතෘත්වය ශ්‍රී ලංකාව තුළ ලෞකිකකරණය කිරිමකි. ඒ සඳහා ගෙවිය යුතු මිළ අප පසුගිය දශකය තුළ ගෙවා දැම්මෙමු. මනුරත්න ජෝඩුව ලැකාන් විසින් අනුදත් ‘හැඟවුම්කාරකයේ තර්කනය’ (Logic of Signifier) යන අදහස අවබෝධ කරගෙන නැත. අවිඥාණය සකස් වන්නේ හැඟවුම්කාරකයේ තර්කනයට අනුවය. වාග් විද්‍යාවේ ව්‍යාකරණයට අනුව නොවේ. දෘෂ්‍යමාණ භාෂාව තුල්‍ය වන්නේ සවිඥාණයටය. නමුත් මනෝවිශ්ලේෂණය කියවන්නේ-read- කෙනෙකු සිහියෙන් තොරව කථා කරන හැඟවුම්කාරක වල රටාවයි. මතුපිට භාෂා ලෝකය තුළ රෝමියෝ ජුලියට් ලා වන අය අවිඥාණක තලයක දී ගඟ දිගේ එගොඩට යන ගෙම්බා සහ ගෝනුස්සා පරිදිය. ඒ අනුව ධනවාදය න්‍යෂ්ඨික පවුල ආසාදනය නොකරයි. ඒ වෙනුවට න්‍යෂ්ඨික පවුල විනෝද ආර්ථිකයක් තුළ ගිල්වා දමයි. එසේ කරන්නේ ස්ත්‍රිය සහ පිරිමියා අතර සම්බන්ධය ස්වපීඩා-පරපීඩා ලුබ්ධි ආර්ථිකයකට ගෙන ඒමෙනි. ඒ අනුව ‘දැකලා පුරුදු කෙනෙක්’ චිතුපටයේ බිරිඳ යනු සැමියාගේ ආත්මීය අසංගතභාවය තිරයක් මතට ප්‍රක්ෂේපණය කිරීමකි. ප්‍රේක්ෂක අප නැති විට භූමිකා ලෙස ඔවුන් ද නොපවතියි. හරියට නෝමන් බේට්ස් ප්‍රේක්ෂක අප නැති තැනක නැති මෙන් ය.

Deepthi kumara Gunarathne

ඔබේ අදහස කියන්න...