මොවුන් තිදෙනාම මෙම ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් ලෙස ජනතාවට සම්මුඛ වන්නේ සමාජයට අලුත් විදියට සිතන්නට බැරිවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. අප ප්‍රශ්න කළහොත් මෛත්‍රී වෙනුවට ගෝඨාභයත්, රනිල් වෙනුවට සජිත් ජනාධිපති අපේක්ෂකයන් වන්නේ ඇයි?.

රනිල්ටත් මෛත්‍රීටත් මෙවර අවස්ථාව මඟහැරෙන්නේ ඇයිද යන පැනය සමාජය ඉදිරියට ගෙන ගියහොතින් විවිධ සම්ප්‍රධායික විග්‍රහයන් අපට මුන ගැසෙනු ඇත. එම සියල්ල වලංගු නැත. ඒ සියල්ල පැරණි විග්‍රහ පමණයි.

මොහොතක් අපගේ අවධානය යොමුකරහොතින් මෛත්‍රීට නොහැකිවීමට හේතු කවරේද යන්න ඒ සඳහා අප තුළ ගොඩ නැගෙන සියල්ල මෛත්‍රීට අනුව වලංගු නැත. අප අමතක නොකළ යුතුයි 2015 දී ඔහු ඉතාමත් රැඩිකල් හා තීරණාත්මක තීරණයක් ගත් අයකු බව. එම අවස්ථාව ඔහුට පෙර ලැබුණු නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත පසුගාමීව එය ප්‍රතික්ෂේප කරන විට එම වගකීම මෛත්‍රී බාරගත්තේය. එය එසේ නම්, එම මෛත්‍රීට එතැන් සිට ඉදිරියට යමින් පක්ෂය ගොඩනැගීමට නොහැකි වූයේ ඇයි?. ඔහුට හැකියාව තිබුණා අලුත් මුහුණු පක්ෂයට දාලා ඒකාබද්ධ විපක්ෂය නීත්‍යානුකූලව අවසන් කරලා ජයග්‍රාහී අලුත් මිනිසෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න. එලෙස ඔහු ක්‍රියාත්මක වූවා නම් අද පොහොට්ටු පක්ෂයත්, රාජපක්ෂලත් මේ මැතිවරණයේදී නොමැත. එය එසේ කිරීමට ඔහුට අවශ්‍යතාවයක් තිබිණ. නමුත් එය කෙසේ කරන්නේද කියන අලුත් චින්තනය නොමැති විය.

එම කාරණය රනිල් වික්‍රමසිංහටද එලෙසම වලංගුය. පසුගිය වසර 5 තුළ ඔහුට පක්ෂය තුළත් ආණ්ඩුවේ බලයත් ඔ්නෑ තරම් තිබිණ. ඔහුට හොඳටම අවස්ථාව තිබුණත් ඔහුට එරෙහිව සමාජය තුළ තිබෙන අගතිගාමී මත අහෝසි කරමින් මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව උදා කරගන්න ඒ සඳහා ඔහුට අවශ්‍යතාවයක් හා දැඩි උවමනාවක් තිබිණ. ඔහු පසුගිය වසර 5 තුළ ක්‍රියාත්මක වූයේම ඒ සඳහා පමණි. නමුත් අද වන විට සියල්ල අසාර්ථක කරමින් සජිත් ඉදිරිපත් වී ඇත. ඔහු පසුගිය වසර 5 තුළ ක්‍රියාත්මක වූයේ ද, බලය නැති කාලයේ දී ක්‍රියාත්මක වූ පරණ විදියටමය. ඔහුගේ උපක්‍රමය වූයේ විපක්ෂය දුර්වල කිරීමය, දෙකඩ කිරීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොහොට්ටු පක්ෂය බිහිවී ඇත. අවසානයේ තම පක්ෂයෙන් සජිත් මතුවී එයට අමතරව 2015 දී ඔහු විසින් පරාජය කරන ලද රාජපක්ෂ මතවාදය නැවත හිස ඔසවා ඇත. රනිල්ටද වැරදුනේ අලුත් විදියට සිතීමට නොහැකි වීමෙනි.

ජවිපෙට වරදින තැන-

 තත්ත්වයන් හා සාධක ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට වඩා වෙනස් වුවද අනුරගේ තත්වයද එයම වෙයි. අනුර ජනාධිපතිවරයෙකු වශයෙන් සම්මුඛ වන්නේ ද අලුතින් සිතීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ජනාධිපතිවරණයට පසුදින ජවිපෙ හා ඔවුන් සමඟ සන්ධාන ගතවී සිටින ජනබලවේගයට ඔවුන් ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේම අවිඥාණය හෙළිදරව් වීමට නියමිතයි. අනුර මෙම මැතිවරණයට ඉදිරිපත් වීමෙන් බලාපොරොත්තු වන්නේ එළඹන මහමැතිවරණය සඳහා ඡන්ද පදනම වැඩිකර ගැනීම හා එය පරික්ෂා කරගැනීමටය.ඔවුන්ගේ එම පරීක්ෂණය අසමත් වීමට නියමිතයි. අනුරට වරදින සහ මඟහැරෙන තැන වනුයේ ජනාධිපතිවරණයක අවසාන දින කිහිපයේදී ජනතාවගේ අවධානය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට හිමිවන බවයි. ජවිපෙ වසර 55ක් පැරණි පක්ෂයක් ලෙස ඔවුන්ට තම ඡන්ද පදනම පිලිබඳ තක්සේරුවට එළඹීම  දේශපාලන මණ්ඩලය සමඟ පක්ෂ කාර්යාලයේදී කළ හැක. ඒ සඳහා ඔවුන් සතු අත්දැකීම්, දැනුම, අලුත් ඡන්ද ප්‍රමාණය හා පවතින තත්වය ගැන කළකිරුණු සමාජ ප්‍රතිශතය යන සාධක ප්‍රමාණවත්ය. තම පදනම ප්‍රසිද්ධියේ ජනාධිපතිවරණයකදී පරික්ෂා කිරීමට යාමෙන් ලැබෙන එකම ප්‍රතිඵලය තම කාඩර්වරු අධෛර්යමත් වීම පමණයි. ඔවුන් සමඟ එකතු වී සිටින විද්වතුන්ට කිසිවක් සිදු නොවනු ඇත. ඔවුන් නොවැම්බර් 18 සිට තම තමන්ගේ රැකියාවලට යනු ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙ ඡන්ද ලක්ෂ 07ක් ලබාගත්තේය. එයට අමතරව තව උපරිම ලක්ෂ දෙකක් අද වනකොට පවතින්න පුළුවන්. එහෙත් එම කාරණය අනුර හොඳටම දනී. නමුත් ඔහුට නිකමට මෙන් සිතනවා ලක්ෂ 11ක් තිබුණොත් කියා. ඒ මොහොත තමයි ජවිපෙ තමන්ගේ දැනුම තමන් විසින්ම ප්‍රතික්ෂේප කරන මොහොත. කෙසේ වෙතත් අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් මහමැතිවරණයකදී ලබාගැනීමට තිබූ ඡන්ද පදනමද නායයනු ඇත. නොවැම්බර් 18 වනදාට ජවිපෙට ඔවුන් ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේම සත්‍ය සම්මුඛ වනු ඇත. ඉතිහාසයේ පැවති සැම ජනාධිපතිවරණයකදීම ජවිපෙට එය මඟහැර යාමට හෝ මොනයම් හෝ කඳවුරකට එකතු වීමට මඟපැදේ. මෙවර ඔවුන් බේරාගැනීමට එවැනි තත්වයක් උදාවන්නේවත්, කිසිවෙකු ඉදිරිපත් වන්නේවත් නැත. වෙල්ගමට තරම්වත් පිහිටක් ජවිපෙ‌ට මෙවර නැත. ගෝඨාට එරෙහිව ගිය වෙල්ගමට නැවත එම පිළට එකතු වීමට ඇරයුම් කරමින් ඔහුගේම හිතවතුන් උපවාසයක් කරමින් සිටී. අවසානයේ ඔවුන් ගැන අනුකම්පාවෙන් වෙල්ගම ගෝඨාට එකතු වීමට නියමිතය. නමුත් එවැනි නාට්‍යයක් කිරීමට කිසිදු අවස්ථාවක් ජවිපෙට නැත. එයට බාධාවක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔවුන් පිටුපසින් පැමිණෙමින් සිටී. අවසාන මොහොතේදී ජනාධිපතිවරණය අතහැරීමට තීරණයක් ගතහොත් එයින් උද්දීපනය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ඒ අනුව අනුරට ආපසු හැරෙන්නට බැරිය. අලුත් විදියකට සිතීමට නොහැකි වීමෙන් ජවිපෙ කටුකොහිල කොටුවක සිරවී ඇත.

 

ස්නයිපර්වරු සහ ඩ්‍රන්කන් මාස්ටර්ලා-

දැන් ප්‍රධාන කඳවුරු දෙක කෙරෙහි අවධානය යොමු කරමු. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කේන්ද්‍රයක් සහ විධිමත් සංවිධාන ව්‍යුහයක් ඇත. එයට අමතරව එහි විවිධ පාර්ශවයන් තම තමන් බාරගත් වගකීම් නිසි ලෙස ඉටුකරමින් සිටී. විමල් විමල්ගේ කාර්යබාරය සිදුකරමින් සිටි. එලෙසම වියත්මඟ, මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවස, නෙළුම්මාවත හා කරුණලා වැනි කුඩා කණ්ඩායම් පවා විධිමත්ව කේන්ද්‍ර අනුව කටයුතු කරමින් සිටී. එයට අනුව යමින් දිලීත් ජයවීර හා රෙනෝද සිල්වා අවශ්‍ය ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටී.

එලෙසම සජිත්ගේ කඳවුර දෙස අවධානය යොමු කරමු. එයට මෙහෙයුම් කේන්ද්‍රයක් හෝ විධිමත් සංවිධාන ව්‍යුහයක් නොමැත. එහි ඩ්‍රන්කන් මාස්ටර්ලා (Drunken Master) මෙන් හිතුන හිතුන දේ සිදුකරමින් සිටී.කාර්යාල හතක් පමණ ඇත. ඒවා අතර මනා අවබෝධයක් නැත.  සිරස සිරසට ඔ්න දේ කරමින් සිටී. රවී වෙනම කාර්යාලයක, සිරිකොත හුදකලාවේ, සජිත්  “ඩ්‍රන්කන් මාස්ටර්”  මෙන් තමන්ට හිතෙන එක කරයි. මංගල මරණ දඬුවමට විරුද්ධ වන විට සජිත් එයට එකඟ වෙයි. රනිල්ගේ සිවිල් සමාජය රණවිරු ගාය ගැන කතාකරන කොට සජිත් රණවිරුවන් ගැන කතාකරයි. කිසිවෙකුට කිසිවක් කිව නොහැකිව අපිළිවෙලට වැඩ වෙමින් පවතී.

මේ අතර මනාව සූදානම් වූ ගෝඨා පිළ “ස්නයිපර්වරු මෙන්” කටයුතු කරමින් සිටී. එනම් කලින් සැලසුම් කළ පරිදි ඒ ඒ ස්ථාන වල ස්ථාන ගත වී තම තමන්ගේ ඉලක්ක ප්‍රතිවාදියා දෙස බලා සිටි. නමුත් ප්‍රතිවාදියා විධිමත් ලෙස සම්මුඛ නොවේ. ප්‍රතිවාදියාගේ සැලැස්ම හඳුනාගැනීමට නොහැකි වී ඇත. ඇත්ත වශයෙන්ම ප්‍රතිවාදියාට සැලැස්මක් නැත. ඔවුන් “ඩ්‍රන්කන් මාස්ටර්ලාය” .

 Drunken Masters චිත්‍රපටයේ ඩ්‍රන්කන් මාස්ටර් ට පහර දීමට එන ශක්තිමත් ප්‍රතිවාදියා අලි අමාරුවක වැටේ. ඔහු විදිමත්ව පහර දෙන විට ඩ්‍රන්කන් මාස්ටර් බීමත්ව අත පය අපිළිවෙලට විසි කරයි. එම අවිනිශ්චිත පහරවල් වැදීමෙන් ප්‍රතිවාදියා පරාජයට පත් වෙයි.

 මෙම මැතිවරණයේදී ගෝඨාභයට හමුවී ඇත්තේ ඩ්‍රන්කන් මාස්ටර් කෙනෙක්. ඔහු මොනවා කරයිද මොනව කියයිද කියා ඔහුද නොදනී. නමුත් ඔහු ඒහේ මෙහේ විසිකරන අත පය වැදීමෙන් ගෝඨාගේ සංවිධාන ව්‍යුහයේ පළු ගැලවීයාමට ඉඩ ඇත.

අවුරුදු කාලෙට පවත්වන කොට්ටාපොර තරඟවලදී ශක්තිමත් පුද්ගලයා ප්‍රතිවාදියාට පහරදීමට පෙළඹෙන අතර ප්‍රතිවාදියා එයින් ගැලවීමට දගලයි. සමහරවිට ප්‍රබලයා විසින් එල්ල කරන පහරින් ප්‍රතිවාදියා මඟහැරී යාමෙන් සමබරතාවය ගිලි හී ඔහුම ඇද වැටෙන අවස්ථා ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ ස්නයිපර්වරුන්ද ඩ්‍රන්කන් මාස්ටර්ලාද යන්න තීරණය වන්නේ අවසාන සති දෙක තුළ ක්‍රියාත්මක වන මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම අනුවයි.

ඔබේ අදහස කියන්න...