ශිරාල් ලක්තිලක ඇතුළුව ප්‍රබුද්ධ සිංහල ජනයාගේ හිස භ්‍රමණය වන සුළු පුවතක් ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පළ විය. එම පුවතට අනුව සිදුවීම් පෙළ ගැසෙන්නේ පහත ආකාරවලටය.

1. මංගල සමරවීර මහතාගේ නිවසින් යම් භාණ්ඩ ප්‍රමාණයක් සොරෙක් විසින් රැගෙන යාම.
2. සමහරවිට මෙය ආණ්ඩුවේ ඔත්තුකරුවෙකු රහසින් තම නිවසට ඇතුළු වීමක් ද යන සැකය මත එය මංගල විසින් පොලිසියට පැමිණිලි කිරීම.
3. පොලිසියට අහම්බයෙන් සැකකරුවාව අසුවීම. පසුව ඔහු පොලිසියට පාපොච්ඡාරණයක් [යම් පීඩන තෙරපුමක් මත] කිරීම . සැකකරුවාට අනුව ඔහු විවාහකයෙක් වන අතර තාවකාලිකව විටින් විට කොන්ත‍රාත් පදනම යටතේ සමකාමියෙක් (Gay) බවට ද පත්වෙයි.

බොහෝදෙනෙකුගේ හිස භ්‍රමණය වීම ආරම්භ වන්නේ සමකාමියෙකු සමග විෂම ලිංගිකයෙකු (Heterosexual) සබදතා පවත්වන්නේ කෙසේද කියාය. යථාර්ථයට අනුව එය සිදුවිය නොහැකිය. බටහිර රටවල නම් සමකාමියෙකු මිතුරු වන්නේ, ශාරීරික සබදතා පවත්වන්නේ තවත් එවැන්නකු සමගය. උදාහරණයක් වශයෙන් ජෝර්ජ් මයිකල් හෝ එල්ටන් ජෝන් හෝ වර්සාචි වැනි ප්‍රසිද්ධ සමකාමීන්ගේ සහකරුවන් ද අව්‍යාජ සමකාමීන්මය. ඔවුන්ට ස්ත්‍රීන් සමග කිසිදු කායික සම්බන්ධයක් නැත. ශිරාල් ලක්තිලක රනිල්ට චෝදනා කරන විට, එක චෝදනාවක් වන්නේ රනිල්ගේ සහකරුවන් බොහෝවිට විෂම ලිංගිකයන් වන බවත් ඔවුන් අයුතු දේශපාලන වාසි ලබාගන්නා බවත්ය.

එසේ නම් වරනැගිය යුතු දාර්ශනික ප්‍රශ්නය වන්නේ කුමක්ද? ලංකාවේ සමකාමීන්ගේ සමීප සහකරුවන් විෂම ලිංගිකයන් වන්නේ කෙසේද? සිංහල සමකාමියාට ත්‍රිත්ව සම්බන්ධයක් ඇත්තේ කෙසේද? උදාහරණයක් වශයෙන් මංගලගේ නිවසට ඇතුළු වූ සැකකරුවාගේ බිරිඳ යැයි පවසන ස්ත්‍රිය සමාජයෙන් ආයාචනය කරන්නේ ‘සර්ගෙන් මගේ සැමියා බේරා දෙන්න’ කියාය.

රටේ තිබෙන අතිවිශාල ප්‍රශ්න ගොඩ අතරට සමකාමීන්ගේ ගැටළුව ද නොදැනුවත්ව ඉදිරිපත් කරන ආණ්ඩුව දේශපාලනික ගැටළුවක් සංස්කෘතික ගැටළුවක් බවට පරිවර්තනය කරයි. කලක් X කණ්ඩායමේ ක්‍රියාකාරීව වැඩ කළ සගයකු තමාව හඳුන්වා දුන්නේ මම Bisexual කියාය. ඒ අනුව ඔහු එක පැත්තකින් සමකාමී වන අතර, අනෙක් පසින් විෂම ලිංගිකය. ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය මෙන් නිශ්චිත ගුණ නැති මිනිසාගේ ලිංගික ජීවිතය දාර්ශනිකව පැහැදිලි කළ හැක්කේ කෙසේද? මේ සිදුවීම් නිසා සාමාන්‍ය මිනිසාගේ මොළය කොලොප්පම් වන බවට කිසිදු සැකයක් නැත.

2004 වර්ෂයේ අප විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘හිස්ටීරියාව’ පොතේ සාකච්ඡා වන විශේෂ චිත්‍රපටි දෙකක් ඇත. එකක් වන්නේ නීල් ජෝර්ඩන්ගේ Crying Game නම් චිත‍්‍රපටියයි. අනෙක වන්නේ ඬේවිඞ් ක්‍රොනන්බර්ග්ගේ M Butterfly නම් චිත්‍රපටියයි. මංගලගේ සිදුවීම පරිදිම මෙම චිත්‍රපටිවල කතානායකයන්ගේ අවසාන සත්‍යය අපූර්වය. චිත්‍රපටි දෙකේම කතා වින්‍යාසයට අනුව ඔවුන් සුන්දර ස්ත්‍රියක් සමග [මංගලට වෙනස්ව] ආලයෙන් බැදෙයි. කතාව අවසන් වන්නේ ඔවුන්ගේ මෙම සුන්දර ස්ත්‍රින් යනු ස්ත්‍රියක් ලෙස වෙස්වලා ගත් පිරිමින් බව අවසානයේ තහවුරු වීමෙනි. මෙම කටුක ඇත්තට මුහුණ දීමේදී එක් කතා නායකයකු සියදිවි නසා ගන්නා අතර අනෙකා තම අනෙකාව පිරිමියෙක් ලෙස බාරගනියි.

අපගේ ‘හිස්ටීරියාව’ පොතට පළ වූ දැවැන්ත ප්‍රතිරෝධය යට පැවති එක කටුක සත්‍යයක් මෙපරිදිම සටහන් කළ හැකිය. බොහෝදෙනාට දරාගත නොහැකි ඇත්ත කුමක්ද? විෂම ලිංගිකයන් අවසාන විග්‍රරහයකදී ෆැන්ටසිකරණය කරන්නේ කුමක්ද? අපට මෙම ෆැන්ටසිය පහත පරිදි ආකෘතිගත කළ හැකිය.

ඔන්න පිරිමියෙක් මහත් ආදරයෙන් බැදෙනවා ස්ත්‍රියක් සමග. මෙම ආදර කතාවේ එක්තරා මොහොතකට පසුව රාගයෙන් අන්ධ වී ඇයගේ ඇඳුම් ටික ටික පිරිමියා ඉවත් කරනව. එක්තරා මොහොතකදී පිරිමියා අන්ධභාවයෙන් මිදී ආලෝකය දකිනව. ආලෝකය (ප්‍රබුද්ධත්වය) යනු කුමක්ද? තමන් ස්ත්‍රියක් කියා මෙපමණ කලක් ආලය කර ඇත්තේ ‘පිරිමියෙකුට’ බව අවබෝධ වීමයි. මේ අවස්ථාවේදී විෂම ලිංගිකයෙකුට තමන්ගේ අනන්‍යතාවය ආකාර දෙකකට වටහාගන්න පුළුවන්.

1. ස්ත්‍රිය කියන්නෙ විෂම ලිංගිකයාගේ ෆැන්ටසියක් බව පිළිගැනීම (ස්ත්‍රිය වෙස්මුහුණ).
2. තමන් ඇත්තටම ආදරය කරන්නේ තවත් පිරිමියෙකුට බව සෘජුව පිළිගැනීම (සමලිංගිකත්වය).

බොහෝ විෂම ලිංගිකයන්ට ඉහත පළමු අනන්‍යතාවය අවිඥානක වන අතර, දෙවැන්න අනන්‍යතාවයක් ලෙස පිළිගන්නා පුද්ගලයා සමකාමියෙකි. [Homosexual] අපට මෙහිදී තහවුරු වන්නේ ප්‍රතිරූපය [image] සහ යථාර්ථය [reality] අතර වෙනසක් ඇති බවයි. දැන් භයානක කටුක ඇත්තක් හමුවීම වැලැක්විය නොහැක. බොහෝදෙනෙකුට අනුව ‘සමකාමිත්වය’ යනු විකෘතියකි. ITN ප්‍රවෘත්ති මගින් පුන පුනා ප්‍රචාරය කරන්නේ මෙම පණිවුඩයයි. නමුත් මිනිසාගේ ආත්මමූලික මානය වූ ෆැන්ටසිය පැත්තේ සිට බලන විට ‘විෂමලිංගිකත්වය’ යනු විකෘතියකි. එය විපරිතභාවයකි. මන්දයත් එය ආත්මයේ සත්‍යය ‘ලිංගික-වෙනස’ මගින් වසන් කරන නිසාය.

ඕනෑම විෂම ලිංගික ආදරයකදී පිරිමියාට තම ‘සහකාරියව’ (ෆැන්ටසි මානය ඔස්සේ ගියහොත්) අවසානයේ හමුවන්නේ ස්ත්‍රී ඇඳුම් ඇදගත් පිරිමියෙකු ලෙසය. පිරිමියෙකු අවිඥානකව වඩාත් අව්‍යාජ මිනිස් සම්බන්ධය ලෙස සලකන්නේ ස්ත්‍රීයක ලෙස වෙස් වලාගත් පිරිමියෙකු මිස, ස්ත්‍රීයක ලෙස වෙස් වලාගත් ස්ත්‍රී ශරීරයක් නොවේ. මේ නිසා තමයි තත්කාලීන සමාජය තුළ ස්ත්‍රී-පුරුෂ රමණය මිෂනාරි ඉරියව්වෙන් විතැන් වී ස්ත්‍රිය පුරුෂයාගේ ශරීරය මත සීසෝ ඉරියව්වෙන් ක්‍රියාකිරීම සුලභ වී තිබෙන්නෙ. මීට අමතරව වර්තමාන විෂම ලිංගික රමණයේදී යෝනි සංසර්ගය වෙනුවට ගුද සංසර්ගය අධිනිශ්චය වී ඇත. මෙම කරුණුවලින් තහවුරු වන්නේ පිරිමියා තම සහකාරියව වඩ වඩා පිරිමියෙකු ලෙස දකින්නට රුචි බවයි. යෝනිය ස්ත්‍රී නම්, ගුදය UNISEX ය. වෙනත් තලයකදී මෙම තත්ත්වය අපට මෙලෙස පැහැදිලි කළ හැක. සමාජ සම්බන්ධතා සහ ලිංගික වෙනස වඩ වඩා සංස්කෘතිකකරණය වන විට, සොබාවික ලිංගික වෙනස වඩ වඩා ක්ෂය වෙයි. අවසානයේ කෙනෙකු මෙසේ කියන්නේ නම් අප රුචිය. ‘නමුත් මම පිරිමියෙක්, ස්ත්‍රීයක් නොවේ’. මෙම තත්ත්වය විෂම ලිංගික ප්‍රේමයේ විරුද්ධාභාසයයි. මෙම අදහස අප නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ බිරිදගේ කල්පිත සංවාදයක් ඇසුරින් හඳුනාගමු. ඇය මෙසේ කියයි.

‘නිර්මාල් ඇත්තටම ආදරය කරන්නේ මට නෙවි. එයා පවුලේ හැම යුතුකමක්ම ඉෂ්ට කරනව. ඇත්තටම එයා ආදරය කරන්නෙ දීප්තිට. ඔහුට අවශ්‍ය ඔහුගේ ෆැන්ටසියට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔහු ආදරය කරන්නෙ ස්තිුයක් ලෙස වෙස්වලාගත් පිරිමියෙකුට. මේ දවස්වල එයා දීප්තිට ආදේශ කළ හැකි වෙනත් කොල්ලන්ව ගවේෂණය කරනව. ඒ විෂයට එයා කියන්නෙ ‘ඉතිහාස කතා’ කියල.’

නිර්මාල්ගේ අවිඥානක ආශාව ගැන සල්වතුරට අවබෝධයක් නැහැ. පහළ පන්තික පිරිමියෙක් නාගරික, ඉංග්‍රීසි භාෂාව දන්න, ඊනියා උසස් රැකියාවක් කරන ස්ත්‍රියක් සමග විවාහ වී ඇයගේ පෑන්ටිය හෝදන කොට, ඇගේ සැමියා එය ෆැන්ටසිකරණය කරන්නෙ ‘සස්පෙන්ඩරය’ කියල. සල්වතුරව ඇයගේ සැමියාට පේන්නෙ ‘ස්ත්‍රියක් සේ වෙස් වලාගත් පිරිමියෙක්’ ලෙසටයි. ලිංගික වෙනස කියන්නෙ මෙම කටුක ඇත්ත වහගන්න සල්වතුරගේ ද්වි-ලිංගික සැමියා තනා ගත් වෙස් මුහුණක්. සත්‍යයට ඇත්තේ ප්‍රබන්ධ මානයක් කියල ලැකාන් කියන්නෙ මේ හින්දයි. මංගලගේ අහඹු ක්‍රියාවක් නිසා අපි හැමදෙනාටම ‘විෂම ලිංගිකත්වය’ ගැන හිතාගෙන හිටපු යථාර්ථය ප්‍රබන්ධයක් බව හෙළිදරව් වුණා.

අපි සෑමදෙනාම විෂම ලිංගික ආලය අපගේ ෆැන්ටසියට අවංක වෙලා නිර්වචනය කරනව නම් එය තමයි අස්වභාවික, විකෘති, විපරිත ලිංගිකත්වය. ඊට පරස්පරව සමලිංගිකත්වය කියන්නෙ පිරිමියෙකුට අනුව ස්වභාවික, ප්‍රකෘති, ප්‍රමිතිගත, සාමාන්‍ය ලිංගිකත්වය. දෘෂ්ටිවාදය විසින් කරල තියෙන්නෙ මෙම සත්‍යය කණපිට හරවන එක. සමලිංගික උල්ලංඝණය මගින් තහවුරු වෙන්නෙ විෂම ලිංගිකත්වයේ ප්‍රමිතියේ කණපිට පැත්ත. සරලව කිව්වොත් සමලිංගිකත්වය මගින් විෂම ලිංගිකත්වයේ රහස අනාවරණය වෙනව.

රනිල් සහ මංගල කියන්නෙ විෂම ලිංගිකත්වය විසින් සගවන බොරුව හෙළිදරව් කරන පිරිමි දෙන්නෙක්. ඔවුන් සෘජු ලෙස තමන්ගේ ආදර වස්තුව අව්‍යාජව, වෙස් මුහුණකින් තොරව තෝරා ගන්නව. ශිරාල්ට අනුව මෙම තෝරා ගන්නා වස්තූන් බොරුවක්. නමුත් ඇත්ත තත්ත්වය තමයි මේ අය තෝරාගන්නා අය අවිඥානක තලයකදී බොරු කරන්නේ තම විවාහක ස්ත්‍රියට මිස රනිල්ට හෝ මංගලට නෙවි. මේ අයගේ සහකරුවන් අවිඥානකව තමන්ගේ සැබෑ අව්‍යාජ මිනිස් සම්බන්ධය කියල ගන්නෙ තම සමලිංගික සම්බන්ධය මිසක් විෂම ලිංගික සම්බන්ධය නෙවි. විෂම කියන්නෙම ශරීරයක් කුලියට ගැනීම. ‘සම’ කියන්නෙ විඥානයක් ඇසුරු කිරීම.

සැබෑ විෂම ලිංගික සම්බන්ධයක් බිහි වෙන්න පුළුවන් (එනම් සැබවින්ම ස්ත්‍රියකට ආදරය කිරීම) ලෙස්බියන් සම්බන්ධයකදී විතරයි. ඒ කියන්නෙ ස්ත්‍රි සමලිංගිකත්වය තමයි සැබෑ විෂම ලිංගිකත්වය කියන්නෙ. සමකාලීන හිස්ටෙරික ස්ත්‍රින් ද්විලිංගික වීම දැන් පැහැදිලි කළ හැක. හිස්ටෙරිකයෙක් තමන්ගෙන් අසන්නේ මෙවැනි ප්‍රශ්නයකි. මම ස්ත්‍රියක්ද? නැද්ද? මෙම ප්‍රශ්නයට තත්කාලීන සමාජ තුළ පශ්චාත්-නූතන පිළිතුරක් ගොනුවී ඇත. එනම් අනන්‍යතාවය තාවකාලිකය යන්නය. අවශ්‍ය විටෙක විෂම ලිංගික පිරිමියෙකු සමග එක්වීමෙන් ඇයට ‘පිරිමියෙකු’ වීමට හැකි අතර, ලෙස්බියන් සම්බන්ධයකදී ඇයට ‘ස්ත්‍රියක්’ විය හැක. යම් කෙනෙක් තමන් දැඩිව පිළිකුල් කරන්නෙකුට රහසින් ආලය කරන බව අප වටහා ගත යුතුය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.