අප ජීවත් වන සමකාලීන සමාජය කේන්ද්‍රගත වන්නේ දැනුම මත නොව මුදල් මතය. අප මීට කලින් ජීවත් වූයේ ප්‍රභූන් කේන්ද්‍රීය සමාජයකය. ප්‍රභූන් නිර්මාණය වීම සඳහා සමජාතීය ශික්ෂණයක් අවශ්‍යය. සමජාතීය සංස්කෘතියක්, අධ්‍යාපනයක්, සමජාතීය සමාජ හැසිරීමක් හරහා ප්‍රභූන් බිහි වෙයි. ඉහත පසුබිම නිසා අතීතයේ දී මහජනයාගෙන් ප්‍රභූන් වෙනස් විය. ප්‍රභූන්ව හඳුනාගත හැක්කේ ඔවුන්ගේ නිශ්චිත භාෂාව සහ හැසිරීම හරහාය. නමුත් අප මේ ජීවත් වන සමකාලීන සමාජය ඉහත අර්ථයෙන් ප්‍රභූ එකක් නොවේ. අද අපට සිටින්නේ ඉතා සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, TV තරු මිස ප්‍රභූන් නොවේ. ඉහත සඳහන් කළ සමාජ චරිතවලට පොදු වූ ලක්ෂණය වන්නේ ඔවුන් අත යහමින් මුදල් තිබීම සහ ජනප්‍රියභාවයයි.

ඉහත තත්ත්වය කලා ක්ෂේත්‍රයට එන විට සංකීර්ණ තත්ත්වයක් බිහි කරයි. අද කලාකරුවන් බවට පත්වී ඇති බහුතරය සල්ලිකාරයන්ය. මේ හේතුව නිසා අද අපට සිටින කලාකරුවන් බහුතරයක් සමාජ අර්බුදයෙන් ස්වායත්තය. සමකාලීන විශ්වවිද්‍යාල බුද්ධිමතා දෙස බලන්න! ඔවුන් සමාජ ගැටලුවලින් (ස්ත්‍රී ප්‍රශ්න හැර) කෙතරම් නිදහස්ද? අද විශ්වවිද්‍යාල බුද්ධිමතා යනු මාසික වේතනය යහමින් ලැබෙන ස්වාධීන පුද්ගලයෙකි. ඔවුන් අනුන්ගේ අධ්‍යාපනයක් ගැන කතා කරන්නට ගොස් තමන්ගේ පඩි යහමින් වැඩි කර ගත්තේය. අද ඔවුන්ට සහ වෛද්‍යවරුන්ට රජය වැටුප් ගෙවන්නේ මැදපෙරදිග සේවය කරන ගෘහ සේවිකාවන් එකතු කර දෙන ඩොලර්වලිනි. මෙම ඓතිහාසික පසුබිම නිසා සමකාලීන බුද්ධිමතාට වැදගත් වන්නේ සල්ලි සහ සමාජ පිළිගැනීම (කීර්තිය) මිස සැබෑ සමාජ අසාධාරණය නොවේ.

සුජිත් රත්නායක සහ ප්‍රගීත් රත්නායක විසින් කොළඹ වාණිජ ගැලරියක රහසින් මුදල් සමප්‍රේෂණය කරමින් පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශන දෙක ගැන මට කියන්නට ඇත්තේ තත්ත්වය 90 දශකයට වඩා වෙනස් වී ඇති බවයි. අපගේ බාහිර සමාජ චරිතය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් පළමුව අප අපගේ අභ්‍යන්තර ගුණයන් වෙනස් කරගත යුතුය. කලාව සම්බන්ධයෙන් සහ දේශපාලනය සම්බන්ධයෙන් ඇසිය යුතු මුඛ්‍ය ගැටලුව මෙසේය. කලාවට සහ දේශපාලනයට මේ මොහොත සත්‍යයේ මාධ්‍යය වීමට විභවයක් තිබේද? මෙම ප්‍රශ්නය කලාවේ සහ දේශපාලනයේ පැවැත්මට අවශ්‍ය මූලික එකකි. කලාව සත්‍යයේ මාධ්‍යයක් නොවන්නේ නම් එය රසය (Taste) පිළිබඳ මාධ්‍යයක් වෙයි. අද දවසේ සුජිත් සහ ප්‍රගීත් අතර වෙනස කතා කිරීමට සිදු වන්නේ සත්‍යයේ මානයෙන් නොව රසයේ මානයෙනි. අපිට කතා කරන්නට සිදු වන්නේ කලාවේ රසය ගැන නම් එවිට ශේෂ වන්නේ කලා නිෂ්පාදකයා නොව කලා රසිකයාය. නැතහොත් නරඹන්නියයි. එවන් තත්ත්වයක් යටතේ කලාව සූත්‍රගත කළ හැක්කේ සමාජ විද්‍යාත්මකව හෝ කලා වෙළෙඳපොළෙහි තර්කවලින් පමණි. ඉන්පසු කලාවට බලයක් හෝ ස්වාධීනත්වයක් නැත. ඉන්පසු කලාව හෝ චිත්‍ර විලාශයක් (design) බවට තුල්‍ය වෙයි.

සුජිත් රත්නායක සහ ප්‍රගීත් රත්නායක ධනේශ්වර සන්දර්භයක් තුළ සජාතීය පුද්ගලයන් බවට පත්වන්නේ කෙසේද? මගේ සිතුම් – පැතුම් ක්‍රමයට අනුව ජගත් වීරසිංහ සහ මගේ දේශපාලනය අතර පරස්පරයට වඩා සුජිත් – ප්‍රගීත් යන චිත්‍ර ශිල්පීන්ගේ ගැටලුව වඩා දේශපාලනිකය. ජගත් සහ මා අතර පැවතියේ විනෝදය පිළිබඳ ගැටලුවකි. විනෝදය න්‍යායගත කර ගත නොහැකි සන්දර්භයක ජගත් ජීවත් වන නිසා ඔහු ගැන කතා කිරීමෙන් කිසිවකුට ඵලයක් නැත. එය හුදු ඊර්ෂ්‍යාවට වඩා එහා නොයන ප්‍රපංචයක් විය හැක. ජගත්ගේ ‘90 ප්‍රවණතාව’ නම් ගුරුකුලය විනාශ වී ගියේ මම නිසාය යනුවෙන් අවිඥානක විශ්වාසයක් ඔහුට ඇත. මිය යනතුරු ඔහු මෙම විශ්වාසය තුළ ජීවත් වනු ඇත. චිත්‍ර කලාව ගැන දාර්ශනික විවාදයන් ඔහු සම්බන්ධයෙන් මට නැත. විවාදසම්පන්න සහ විරුද්ධාභාසයන් රජයන යුගයක ජගත් යනු මම නිසා ලයිට් කණුවල නැඟ මගේ තරහාකාරයන්ට බැනර් අඳින ලද පුද්ගලයෙකි. කතාව එතරම් සරල වීම ජගත් ‘සර්’ගේ ගැටලුවකි.

නමුත් සුජිත් සහ ප්‍රගීත්ට එන විට ගැටලුව සංකීර්ණය. ජගත් තුළ නැති උභයාවේශයක් ඔවුන් තුළ ඇත. එක පැත්තකින් ඔවුන් දෙදෙනාම මගේ දේශපාලන – දාර්ශනික කතිකාවෙන් පෝෂණය වූ අයයි. අනෙක් පැත්තෙන් ඔවුන් දෙදෙනාම අපගේ සංවිධානයට උදව් කරනවා කිව්වත් එය ඔවුන්ට මඟහැරී යයි. එක පැත්තකින් ඔවුන් අපගෙන් පෝෂණය වන අතර අනෙක් අතට නිසි මොහොතේදී (ක්‍රියාවේදී) අපව අමතක කර දමා තමන්ගේ පවුල් සාමාජිකයන්ට ඇති පදම් වියදම් කරයි. මෙම විරුද්ධාභාසය ඔවුන්ගේ සන්තානය තුළ රජ කරන අතර එමඟින් ඔවුන් විනෝද වෙයි.[Guilt] එය මනෝ විශ්ලේෂණ අර්ථයෙන් ගත් විට වේදනාවෙන් සතුටු වීමකි. බුදු දහමට පරස්පරව මනෝ විශ්ලේෂණය අපට උගන්වන්නේ වේදනාවෙන් ගැලවීමට මිනිසාට අවශ්‍ය නැත යන්නය. එය ලෝක ස්වභාවය නොව විඥානයේ ස්වභාවයයි. මෙතන දී මාඕ පැහැදිලි කරන ප්‍රතිපක්ෂයන්ගේ එකමුතුව කදිමට නිරූපණය වෙයි. එක පැත්තකින් ඔවුන් දෙදෙනා මට මහත් සේ ආදරය කරයි. නමුත් ඔවුන් මගේ පැවැත්මට වඩා දරුවන්ගේ පැවැත්මට මුල්තැන දෙයි. එතැනදී ඔවුන් හොඳ තාත්තලාය. ඔවුන් හොඳ බෞද්ධයන්ය.

වරක් ප්‍රගීත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් අවසානයේ මා විසින් කතාවක් පැවැත්වූ අතර ඒ ගැන මගේ බිරිඳ (ප්‍රගීත් ගැන) ප්‍රසාදයෙන් කතා කළ අතර, එවිට එවකට අප සංවිධානයේ සංවිධාන ලේකම් වූ නිමල් බණ්ඩාර සහෝදරයා (?) මෙසේ අපුලෙන් කතා කළේය. “අපෝ ඔය හරි කුහකයො. ඩබල් ගේම්කාරයො. සංවිධානයට සතපහක් දෙන අය නෙවි’’. නිමල් බණ්ඩාරට අනුව ප්‍රගීත් සහ තවත් බොහෝ අය දේශපාලනය පැත්තෙන් ගත් කල බොරුකාරයන්ය. වංචනිකයන්ය.

මගේ අදහස නිමල්ගේ අදහසට සපුරා වෙනස්ය. මිනිස්සු දේශපාලනයේ ප්‍රමිතිය සොයන්නේ අවිඥානක විශ්වාසවලිනි. ඒ අනුව දේශපාලන සංවිධානයකට භෞතිකව උදව් කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ අභ්‍යන්තර ගතිකයකින්ය. සරලව කිවහොත් සංවිධානයකට උදව් කරනවාද යන්න තීරණය කරන්නේ ඥාන විභාගයෙන් නොව තමන්ට දේවල් යථාර්ථවාදී යැයි පෙන්වා දෙන සද්භාවයෙනි.[ontology] යමකට මිනිසෙක් අද දවසේ උදව් කරන්නේ ඒ දෙය සමාජයට හොඳ නිසා නොව, තමන්ට හොඳ නම්ය.

සමකාලීන යුගයේ ‘දේශපාලනයට’ මිනිසුන් උදව් කරන විධික්‍රමය පහදා දීමට අපි සංයුක්ත උදාහරණයකට යමු. මගේ මතකය හරි නම් මේ සිදුවීම වූයේ 2016 වර්ෂයේ අගභාගයේය. එවකට මම පුවත්පතක සේවය කරමින් සිටි අතර ඒ මාසයේ වැටුප් ගෙවීම බෙහෙවින් ප්‍රමාද විය. මේ නිසා සේවකයන් අතර අසහනය බෙහෙවින් මෝදු වී තිබුණේය. මේ කියන දිනදී අප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක් සඳහා වරලත් ගෘහනිර්මාණ ශිල්පියකු මගේ කාර්යාලයට පැමිණ සිටියේය. ඔහු සුජිත්ලාව මෙන් මම ද හොඳින් හඳුනමි. එපමණක් නොව අප සංවිධානය ගැනද හොඳින් දන්නා කෙනෙකි. ඒ මොහොතේ මගේ කර්යාලයේ රජයේ ඇමතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ද සිටියේය. අප දෙදෙනාම පත්ව සිටින දැඩි අපහසුව දුටු අපගේ හිතවතා වහාම චෙක්පත් පොත ගෙන ලක්ෂ 8ක චෙක් පත්‍රයක් ලියා දී අපගේ තදියම් ප්‍රශ්නය ක්ෂණයකින් විසඳා දුන්නේය. දින දෙකක් ඇතුළත අපගේ මිත්‍රයාට යළිත් මුදල් ලබා දෙන බවද අපි ඔහුට ප්‍රතිඥා දුන්නෙමු.

මේ සිදුවීම නිසා මාගේ මතකය ඇදී ගියේ අපගේ සංවිධාන ඉතිහාසය දෙසටය. 2006 – 2010 යුගයේදී අප සංවිධානයේ සාමාජිකයන් දෙදෙනෙක් උක්ත ගෘහනිර්මාණ ශිල්පියා හමු වී දීර්ඝ කාලයක් සංවිධානයට උපකාර කරන ලෙස ඉල්ලා සිටි අතර ඔහු ද පෙරළා උදව් කළේය. ඒ පොඩි මට්ටමින්ය. එසේ නම් අපගේ මිත්‍රයා බලවත් ඇමතිවරයාගේ ලේකම්වරයාට මෙසේ විශාල ලෙස අතාර්කිකව උදව් කරන අතර අප සංවිධානයට කුඩාවට උදව් කළේ ඇයි? මේ උභතෝකෝටිකය යට ඇත්තේ අවිඥානක විශ්වාසයකි. අපට උදව් කිරීම ඔහුට අනුව යථාර්ථවාදී නැත. නමුත් අර ලේකම්වරයාට උදව් කිරීම යථාර්ථවාදීය. මිනිසුන් අද යුගයේ දෘෂ්ටිවාදයට (ගැඹුරෙන්; අපට මායාව අවශ්‍ය තැන) යටත් වන්නේ සිතන තැනදී නොව ක්‍රියා කරන තැනදීය. බහුතර දෙනා සිතන විට අප සමග සිටියත්, ක්‍රියා කරන විට අප සමග නැත. අර මුදල් දින දෙකක් ඇතුළත යළි ලබා දෙනවා කිව්වත් එය දීමට තවම හැකි වූයේ ද නැත. ඒ ගැන විශේෂ ආරෝවක් අපගේ ගෘහනිර්මාණ ශිල්පියාට නැත. තමන්ටම දොස් පවර ගන්නවා හැර ඔහුට දැන් කරන්නට වෙන දෙයක් නැත. මිනිසුත් සත්‍යවාදී වැඩවලට සමකාලීන යුගයේ උදව් කරන්නේ නැත. කොතරම් කතාබහ කළත් මිනිසුන් තවමත් බැඳී සිටින්නේ අතීත සමාජ සබඳතාවලටය. තවම අපට උදව් කිරීමට තරම් අප යථාර්ථවාදී නැත. සුජිත් සහ ප්‍රගීත් යනු වෙළෙඳපොළ යථාර්ථය ඉදිරිපිට සමානයන් බව මා ප්‍රකාශ කළේ ඉහත යථාර්ථය නිසාය.

Deepthi

Lankanewsweb

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. හෙගල් ගේ වෙනත් කෘති අධ්‍යනයකින් තොරව “Science of Logic” කෘතිය අධ්‍යනය කල හැකිද ?

    • It is very difficult.if You want to study Hegel ,contact Dr. Saman Pushpakumara of university of Peradeniya, Philosophy Department.

Comments are closed.