සයිබර් අවකාශය පැමිණීමත් සමග ඉන් ඇති වූ බලපෑමෙන් දේශපාලන පක්ෂ වල සිදුවූ විපර්යාසය පිළිබද විධිමත් අධ්‍යනයක් මේ දක්වා සිදුකර නොමැත. අද අප උත්සහ කරනු ලබන්නේ ඒ සදහා මුලික පියවර තැබීමටය. සයිබර් අවකාශය එනම් ෆේස්බුක් ඇතුළු සමාජජාල ප්‍රචලිත වීමත් සමග ඊට වඩාත්ම ඇබ්බැහි වුයේ වාමාංශිකයන්ය. ඒ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරියෙන්ම සිටී. අප දැනටමත් තේරුම්ගෙන ඇති පරිදි සයිබර් අවකාශයට ඇබ්බැහි වන්නේ කිසියම් යථකට (Real ) මුහුණ දීමට නොහැකි වන පුද්ගලයන්ය. ඒ අනුව එම පක්ෂයේ පළමුපෙළ සාමාජිකයන් සයිබර් අවකාශයට ඇබ්බැහි වන්නේ කුමන යථකින් පළායාමටද?

කලාවේ දේශපාලනික භාවිතාවය යනු කලාකෘති අධ්‍යයනය මගින් සමාජයක ජීවත් වන පුද්ගලයන්ගේ අවිඥානයේ ආකෘතීන්  හෙළිකර ගැනීමයි. ඒ අනුව අපට සමාජය ගැන තේරුම් ගැනීමට අපගේ ජීවිත හෝ අනෙකාගේ ජීවිත කැප කරනු වෙනුවට ඒ සදහා කලාකෘති යොදාගත හැක. ඉන් ප්‍රධාන වන්නේ චිත්‍රපටය.  යථට මුහුණ දීමට නොහැකි විට ඒ වෙනුවට ෆැන්ටසි ලෝකයක් ගොඩනගා ගැනීම පිළිබද උදාහරණයක් අපට නිධානය චිත්‍රපටය විසින් ලබා දෙයි. චිත්‍රපටයේ විලී අබේනායක නම් ධනවතාට තමා දුප්පත් වන බව දරාගත නොහැකි වෙයි. මේ නිසා ඉන් ගැලවීමට ඔහු ෆැන්ටසියක් ගොඩනගයි. ඒ උපන් ලප  3ක් සහිත ගැහැනියක් බිලි දීම මගින් නිධානයක් ලබා ගැනීමයි. මීලගට ඩේවිඩ් ලින්ච් ගේ The Lost Highway චිත්‍රපටයේ ෆ්‍රෙඩ් යනු තම බිරිද සතුටු කිරීමට නොහැකි impotent පිරිමියෙකි. ඔහු මෙම යථන් ගැලවීමට තරුණයෙකු බවට පත්වේ. එම තරුණයා ගැහැනුන්ව අධික ලෙස සතුටු කිරීමට සමත් වන අතර Mr. Eddy නම් අශ්ශීල ගුදීය පියා විසින් ඔහුට විනෝද වීමට අණ කරයි. දැන් අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය නම් චිත්‍රපටයට අවධානය යොමුකළහොත් එහි ප්‍රධාන චරිතයක් වන පුබුදු ජයගොඩ සයිබර් අවකාශය කේන්ද්‍ර කරගනිමින්  නාන්නේ , කන්නේ ,නිදියන්නේ නැතිව රගදක්වන චරිතය කුමක්ද යන්න අවබෝධ කරගත හැක. පුබුදු Y නමැති යථකින් ගැලවීම සදහා මෙම නව චරිතය තෝරාගෙන ඇත. චිත්‍රපටයේ දිගහැරෙන උද්ගෝෂණ ,පෙළපාලි , රැස්වීම් යනු චිත්‍රපටය පැය එක හමාරක් දෙකක් දිවීම සදහා පුරවන දේවල් පමණි. නමුත් චිත්‍රපටයෙන් පෙන්වන අවිඥානික ආකෘතිය ඊට හාත්පසින්ම වෙනස්ය.

සයිබර් අවකාශයට, විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය සදහා නියාමනයක් ලංකාව තුල නැත. නමුත් වෙනත් රටවල සයිබර් අවකාශයට පිවිසෙන්නන්  සදහා කිසියම් නීති පද්ධතියක් පවතී. මේ නිසා සයිබර් අවකාශය සමග ගණදෙනු කරන පුද්ගලයන් තමන්ගේ සැබෑ ජීවිතයෙන් එය වෙන් කරගනිමින් පරතරයක් තබාගෙන කටයුතු කරයි. එනම් සයිබර් අවකාශය එක්තරා සංකේතීය ප්‍රබන්ධයක් බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂය. ඒ තුල කුමන හෝ නීති පද්ධතියක් පැවතීම මහා අනෙකාගේ පැවැත්මට සමාන වේ. කෙසේ වෙතත් ලංකාවේ තත්වය මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධය. සිවිල් නීතිය පවා නිසිඅකාරව පවත්වා ගත නොහැකි රටක සයිබර් අවකාශය වැනි කෘතීම විශ්වයක් සදහා නීති පද්දතියක් ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු විය නොහැක. නමුත් පවතින සමාජ යතාර්ථය මගින් ඇති කරනු ලබන ව්‍යාකුල ක්ෂිතිමය අත්දැකීම් වලින් පළා යාම සදහා පුද්ගලයන් එවැනි කෘතීම විශ්වයකට ඇතුළු වීම ප්‍රගුණනය වෙමින් පවතී. එසේ ඇතුළු වන පුද්ගලයන් අනිවාර්යෙන්ම සයිකෝටිකයන් බවට පත් වේ. ඔවුන් සිතන්නේ අපිට ඕනෑ දෙයක් මේක ඇතුලේ කරන්න පුළුවන් බවය.

ලංකාවේ මධ්‍යම මට්ටමේ ඇති අදායමක් ඇති ඕනෑම පවුලක් ෆේස්බුක් සාමාජිකයන්ය . ඔවුන්ට සැබෑ ජීවිතය තුල ඇසුරු කිරීමට ලැබෙන්නේ  ඉතා සුළු ඥාතීන් සහ හිතවතුන් පිරිසකි. සංඛ්‍යාත්මකව එය පුද්ගලයන් 50-100 ත් අතර වේ. කෙසේ වෙතත් මෙසේ ඇසුරු කරන පුද්ගලයන් පවා ඔවුන්ට විශ්වාස නැත. මානුෂික සම්බන්ධයක් සදහා සැබෑ ජීවිතය තුල අවකාශයක් නොමැති  විට ඒ සදහා ඇති විකල්පය වන්නේ කෘතීම අවකාශයක් ගොඩනගා ගැනීමය. ෆේස්බුක් යනු එම විකල්ප අවකාශය ගොඩනගන ජනප්‍රියම ආකෘතියයි. මෙම කෘතීම අවකාශය තුල ඉහත සදහන් කල පවුලේ සාමාජිකයන්ට මිතුරන් දහස් ගණනක් සිටී. මෙම මිතුරන් තමන්ගේ පවුල් ජීවිතය දෙස බලා සිටින බව ඔවුන් උපකල්පනය කරයි. තම පවුලේ  ජයාරූපයකට අනෙකා like හෝ comment එකක් දැමීම යනු මෙම උපකල්පනය කෘතීම විශ්වය තුලම භෞතික වන අවස්ථාවකි. කෙසේ වෙතත් මෙහිදී මතුකළ යුතු වැදගත්ම කරුණ වන්නේ පුද්ගලයන් යතාර්ථයෙන් කෘතීම අවකාශයකට පළා යාම හෝ එහි හොද නරක නොවේ. වැදගත් වන්නේ ලංකාව වැනි රටක මෙවැනි කෘතීම අවකශයක් සහ සැබෑ ජීවිතය අතර තිබිය යුතු පැල්ම / පරතරය බිහි නොවීමයි. මේ නිසා සයිබර් අවකාශයේ ජීවිතය පුද්ගලයාට වඩා ප්‍රාථමික දෙය බවට පත් වේ. ඒ අනුව ඔවුන්ගේ ජීවිත හැඩගැසෙන්නේ පරිකල්පනීය විශ්වයකට අනුවය. සයිබර් අවකාශයෙන් පිටත පුද්ගලයාගේ ජීවිතය හිස්තැනකි. ඉන් පිටත කිසිදු සංකේතීය ජීවිතයක් ඔහුට/ ඇයට නොපවතී. පුද්ගලයා එදිනෙදා ජීවිතයේ කටයුතු සිදුනොකර පරිකල්පනීය ලෝකයක් තුල ජීවත් වන බව ඉන් අදහස් නොවේ.  එදිනෙදා ජීවිතයෙදී ඔහු/ඇය විසින් අනෙකා අනුකරණය කිරීම මගින් ගෙවා දමයි . ඒ තුල පරමාදර්ශ නැත. නමුත් පරිකල්පනීය ජීවිතයට ඔහු/ඇය ක්‍රියාශීලීව දායක වෙයි.

මීලගට අපට වඩාත්ම වැදගත් ගැටලුව වන්නේ මෙවැනි කෘතීම අවකාශයක ජීවත් වන පුද්ගලයන් සමග කරන දේශපාලනය ව්‍යුහගත වන්නේ  කෙසේද යන්නයි. මේ සදහා විකල්ප දෙකක් ඇත. ඉන් එකක් නම් දේශපාලනයද සයිබර් අවකාශය තුලට රැගෙන යාමයි. ඉන් පුද්ගලයා මෙන්ම දේශපාලනයද සයිකෝටික වේ. අනෙක් විකල්පය නම් සංකේත ලෝකය තුල සිටිමින් පරිකල්පනීය විශ්වයක සිටින පුද්ගලයාට සංකේත ලෝකයට පැමිණෙන ලෙස බල කිරීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ පුද්ගලයා දේශපාලනය තමාව විනාශ කිරීමට බලාගෙන සිටින භයානක දෙයක් ලෙස සලකා  ප්‍රතික්ෂේප කිරීමයි.

දැන් අප නැවතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උදාහරණය දෙස හැරෙමු. කුමාර්, පුබුදු ඇතුළු පිරිසකට නොසිතු මොහොතක ජ. වි.පෙ න් ඉවත් වීමට සිදුවේ. වික්ටර් අයිවන් ,ජයදේව උයන්ගොඩ වැනි අය ජ. වි.පෙ න් ඉවත් වන්නේ තමන්ගේම වූ වෙනත් ව්‍යාපෘතියක් වෙනුවෙන් වුවත් කුමාර් ඇතුළු පිරිසට කිසි වැදගත්කමක් නැති  සිදුවීමක් මත, ජ. වි.පෙ තවදුරටත් සිටීමට නොහැකි නිසා, ඉන් ඉවත් වීමට සිදුවිය. මෙම ඉවත් වීමත් සමග ඔවුන් මුහුණ දෙන මුලික ක්ෂිතිමය අත්දැකීම වන්නේ දේශපාලන අනන්‍යතාවය නැති වී යාමයි. ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ North by Northwest චිත්‍රපටයේ කතාව වන්නේ රොජර් තෝර්න්හිල් නමැති වෙළදදැන්වීම් විධායකයා රාජ්‍ය රහස් හෙළිකිරීමට නියමිත ඔත්තුකරුවෙකු වන ජෝර්ජ් කැප්ලන් ලෙස  වරදවා හදුනා ගැනීම නිසා ඔහුට අත්වන ඉරණම පිලිබදවයි. වරදවා වටහා ගැනීම නිසා තමා පසුපස ලුහුබදින පුද්ගලයන්ගෙන් ගැලවීමේ උපක්‍රමයක් ලෙස චිත්‍රපටයේ රොජර් තෝර්න්හිල්ට අවසානයේ ජෝර්ජ් කැප්ලන්ගේ චරිතය බවට පත් වීමට සිදුවේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් , පුබුදු ඇතුළු පිරිසටද සිදුවන්නේ මෙවැනිම සිදුවීමකි. දේශපාලන අනාථයන් ලෙස එලියට එන ඔවුන්ව පිරිසක් විසින් වීරයන් බවට පත් කරයි. මෙම පිරිසට අයත් වන්නේ ධනවාදයට හොදින්ම සම්බන්ධ වූ මාධ්‍යවේදීන්, විපරීතයන්, සයිකෝටිකයන්, ස්ත්‍රී දුෂකයන්, මත්පැන් වලට ඇබ්බැහි වුවන්, නරුමවාදීන් සහ  හිස්ටෙරිකයන්ය. වික්‍රමබාහු සමසමාජ පක්ෂයෙන් වෙන් වී නව සම සමාජ පක්ෂය ගොඩනගා ගන්නේ අවබෝධයකින් යුතුව නව දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් වුවත් කුමාර්, පුබුදු ඇතුළු පිරිසට සිදුවුයේ රැකියාවෙන් එලියට දැම්මා වගේ වැඩකි. නමුත් එළියේ අය මේක දන්නේ නැති නිසා ඔවුන් තීරණය කරනවා තමන්ව එළියේ අය පිළිගන්න චරිතයම දිගටම රගපාන්න.මේ නිසා රොජර් තෝර්න්හිල්ට ජෝර්ජ් කැප්ලන් වෙන්න වුනා වගේ කුමාර්ට ලෙනින් වගේ රගපාන්න වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සංවිධානය වන ඔවුන් පන්ති දේශපාලනය යැයි කියමින් අනන්‍යතා දේශපාලනයක නිරත වීමයි.

ජ.වි පෙ න් ඉවත් වී කාලයක් ගත වන විට සියලු දෙනාගේ අනන්‍යතාවය  හීන වී යයි. තමන් දේශපාලනික අනාථයන් බව පසක් වීම දරාගත නොහැකි ක්ෂිතිමය අත්දැකීමකි. නමුත් පුබුදු ඇතුළු පිරිසට මෙම දරාගත නොහැකි අත්දැකීම යම් තාක් දුරකට හෝ දරාගත හැකි දෙයක් බවට පත්කර ගත යුතුය. මේ සදහා ඔවුන්ට ඇති එකම විකල්පය වන්නේ සයිබර් අවකාශය නම් කෘතීම විශ්වයට පිවිසීමයි.  ඒ තුල ඔවුන්ට කැමති , ඔවුන් සමග සංවාද කරන පුද්ගලයන් ඕනෑ තරම් සිටී. සයිබර් අවකාශයට ඇබ්බැහි වීම නිසා අවසානයේ පක්ෂ ව්‍යුහය පවා පරිකල්පනීය දෙයක් බවට පත් වේ. ඔවුන් එළියේ වැඩ කරන්නේ සයිබර් අවකාශයේ සැරිසරනවා හා සමානවය. යතාර්ථය සහ පරිකල්පනය අතර බෙදුම් ඉර මැකී ගොස් පර්කල්පනීය විශ්වයක් තුල සියලු දෙනා තනිවේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සියලු දෙනා අපට මනසක් නොමැතිව ශරීරය පමණක් ඉතුරු වූ සොම්බි චරිත වලට සමාන කල හැක. මේ චරිත වලට ඕනෑ වෙලාවක ඕන කෙනෙක් වැහෙන්න පුළුවන්ය. හම්බන්තොට ලුණු ලේවාය අපිරිසිදු වීම වැළක්වීමේ සංවිධානය පුබුදුට කතා කළහොත් ඔහු එතැනය. සයිකෝටිකයන් පිරිසක් එක් වී සංවාදයක් සංවිධානය කළහොත් පුබුදු එතැනය. සයිබර් අවකාශය නිසා වමේ පසමිතුරුභාවය නැති වී ගොස් එය සම්භාෂනීය දේශපාලනයකට ලඝු වී ඇත.

ඉහත සදහන් කල සමකාලීන තත්වයට අනුව  වාමාංශික පක්ෂ වලට වඩා දක්ෂිණාංශික පක්ෂ සංකේතීය වන බව පැහැදිලි වේ. දක්ෂිණාංශිකයන් සයිබර් අවකාශයට පිවිසෙන්නේ සංවාද කිරීමට හෝ  අදහස් ප්‍රකාශ කිරීමට නොවේ. ඔවුන් එය තමන්ගේ ප්‍රචාරණය සහ මතවාදය ගොඩනැගීමේ උපකරණයක් ලෙස භාවිතා කරයි. නමුත් වාමාංශිකයා තමන්ගේ සමස්ත දේශපාලනයම ඒ තුල දියකර හරී.

Anushka Ariyarathne

ඔබේ අදහස කියන්න...