[dropcap color=”green”]තම[/dropcap] නවතම නවකතාව වන ‛සර් ලාස්ට් චාන්ස්’ රචනා කර අවසන් බවත්, එය පදනම් කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කිරීම තම අපේක්ෂාව බවද දොස්තර ගුණදාස අමරසේකර පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. පසුගිය කාලයේ අතිසාර්ථක ලෙස ප්‍රදර්ශනය වූ ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටය නිෂ්පාදන කරන ලද්දේ අමරසේකරගේ නවකතාවක් පසුබිම් කරගෙනය. ‛මානසික මෙහෙයුම’ දෙවැනි කොටසට ගැලපෙන පරිදි තමා ‛සර් ලාස්ට් චාන්ස්’ නවකතාව නිර්මාණය කළ බව කියන අමරසේකර එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ද ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සුපිරි නළු මහේන්ද්‍ර යොදා ගැනීම තම අපේක්ෂාව බව ප්‍රකාශ කළේය. හදිසි ජාතික අවශ්‍යතාවයක් සේ සලකා ‘සර් ලාස්ට් චාන්ස්’ චිත්‍රපටය ඉක්මනින් රූ ගත කර ප්‍රදර්ශනය කිරීමට සහය වන ලෙස ඔහු ආණ්ඩුවෙන් සහ රට වැසියාගෙන් ඉල්ලා සිටියේය.

අමරසේකරගේ නව කතාවක් පදනම් කරගෙන නිෂ්පාදනය කරන ලද ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මහේන්ද්‍ර තෝරා ගන්නා විට ඔහු එතරම් ප්‍රසිද්ධ නළුවෙකු නොවීය. එහෙත් එම චිත්‍රපටය සියලු ආදායම් වාර්තා බිඳ හෙළමින් සාර්ථක ලෙස තිරගත වීමෙන් පසු ප්‍රධාන නළුවා වූ මහේන්ද්‍රට ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක් ද සමඟින් පිට පිට දෙවන වතාවටත් ජනප්‍රියම නළුවාට හිමි ජනතා සම්මානය හිමිවිය.

එහෙත් තතු දත් ආරංචි මාර්ග වාර්තා කරන්නේ තම අළුත්ම නවකතාව වන ‛සර් ලාස්ට් චාන්ස්’ පදනම් කරගෙන තමා විසින් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වන අලුත් චිත්‍රපටයේ රඟපෑමට එන ලෙස කරන ලද ඉල්ලීම සුපිරි නළු මහේන්ද්‍ර විසින් නොයෙක් කතා කියමින් මඟ හරින තත්ත්වයක් ඇති වීම නිසා අමරසේකර කනස්සල්ලට පත් ව ඇති බවය. කෙසේ වුවද තවමත් අමරසේකර ප්‍රසිද්ධියේ විශ්වාසය පළ කරන්නේ සර් ලාස්ට් චාන්ස් චිත්‍රපටයේ රඟපෑමට මහේන්ද්‍ර අවසාන මොහොතේ හෝ කැමති වනු ඇති බවය.

මහේන්ද්‍ර එකඟ නොවුණොත් වෙනත් නළුවෙකු ප්‍රධාන චරිතයට යොදා ගෙන සර් ලාස්ට් චාන්ස් චිත්‍රපටය නිර්මාණය කළ හැකි වුවත්, පසුගිය කාලයේ දිගටම ප්‍රදර්ශනය වූ ‛මානසික මෙහෙයුම’ හේතුවෙන් අනෙක් සියලු නළුවන්ගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ වැටීම නිසා වෙනත් නළුවකු යොදා ගෙන කරන චිත්‍රපටයක් සාර්ථක නොවනු ඇති බව විචාරකයන්ගේ මතයයි. මහේන්ද්‍ර මේ චිත්‍රපටයේ රඟ නොපානු ඇතැයි යන ආරංචිය නිසාම ‘සර් ලාස්ට් චාන්ස්’ චිත්‍රපටය සඳහා මුදල් ආයෝජනය කිරීමට නිෂ්පාදකයකු සොයා ගැනීමද අපහසු වී තිබේ යැයි සිනමා කලා ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ අතර අමරසේකර ඉමහත් කලබලයට පත්කරවන සුළු සිදු වීමක් සිදු විය. එයනම් සුපිරි නළු මහේන්ද්‍ර ඉන්දියානු-ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වන ‛තර්ටීන් ප්ලස් වන්’ නම් චිත්‍රපටයේ රඟපෑමට හොර රසේම කැමැත්ත පළ කර ඇතැයි ඉන්දියාවේ බොලිවුඩ් සිට පැමිණි ක්‍රිෂ්ණා නම් චිත්‍රපට නිෂ්පාදකවරයා ලංකාවේදී කරන ලද ප්‍රකාශයයි. “මගේ නවකතාවෙන් හැදූ චිත්‍රපටියෙන් ජනප්‍රිය වෙලා සල්ලියි, ප්‍රසිද්ධියයි ලැබුණම අහක බැලීම වැරදියි.” ඔහු වේදනාවෙන් තම හිතවතකුට කියා ඇත. එමෙන්ම කසිකබල් ඉන්දියානු වට්ටෝරු චිත්‍රපටියක් වන ‛තර්ටීන් ප්ලස් වන්’හි රඟපෑමෙන් සුපිරි නළු මහේන්ද්‍ර දේශීය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයෙන් පිරිහීමට ඉඩ ඇතැයි අමරසේකර අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වුවද ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන් කියන්නේ තම ‛තර්ටීන් ප්ලස් වන්’ චිත්‍රපටිය දේශීය වෙළෙඳ පොළ සඳහා පමණක් නොව ජාත්‍යන්තර සිනමා වෙළෙඳ පොළ ද ඉලක්ක කරමින් නිෂ්පාදනය කරන්නක් බැවින් එහි රඟපෑම සුපිරි නළු මහේන්ද්‍රට ලෝක පූජිත නළුවෙකු වීම සඳහා මෙන්ම ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීම සඳහා ද ඉවහල් වනු ඇති බවයි.

සුපිරි නළු මහේන්ද්‍ර සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අප උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාව නොලැබුණේ ඔහු මේ දිනවල ඉතා කාර්යබහුල බැවිනි. ඒ නිසා ඔහුගේ ඒජන්ට් හෙවත් නියෝජිතයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අපි කටයුතු කළෙමු. “මහේන්ද්‍රට හොඳ ටැලන්ට් එකක් තියෙනවා. පළවෙනි චිත්‍රපටය සාර්ථක වුණාට පස්සෙ කෙනෙක් ඉතාම පරිස්සමෙන් තමන්ගෙ දෙවැනි චිත්‍රපටිය තෝරගන්න ඕනෑ. නැත්නම් මුල් චිත්‍රපටියෙන් ලබා ගත්ත ජනප්‍රියත්වය විනාශ වෙනවා. අනික ගොඩක් අය හිතන් ඉන්නෙ මහේන්ද්‍රට රඟපාන්න පුළුවන් එකම වර්ගයේ චරිත විතරයි කියලයි. ඒ නිසා ‛තර්ටීන් ප්ලස් වන්’ වගේ වෙනස් ආරක් ගත් චිත්‍රපටියක රඟපෑමෙන් මහේන්ද්‍රට විශාල වාසියක් ලැබෙනවා.” යැයි අප සමඟ පැවසුවේ මහේන්ද්‍රගේ නියෝජිතයාය.

පහත පළවන්නේ එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස්ය.

අපි: සුපිරි නළු මහේන්ද්‍ර ‛තර්ටීන් ප්ලස් වන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නට කැමැත්ත පළ කළා කියලා ඉන්දියානු සිනමාකරුවෙකු වන ක්‍රිෂ්ණා පසුගියදා කළ ප්‍රකාශය ඇත්තද?

ඔහු: ඔව්. ‛තර්ටීන් ප්ලස් වන්’ චිත්‍රපටියේ රඟපෑමට මහේන්ද්‍ර අයියා එකඟ වුණේ මීට බොහෝ කලකට පෙර ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටයේ රඟපාන අතරතුරයි. ඒකෙ කිසිම හංගන්න දෙයක් නැහැ.

අපි: ඒ වුණාට ඉන්දියානු නිෂ්පාදනයක් වන ‘තර්ටීන් ප්ලස් වන්’හි රඟපෑමෙන් මීට පෙර ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටයේ රඟපෑමෙන් මහේන්ද්‍ර ගොඩනගා ගත් ප්‍රතිරූපයට හානි වෙන්නේ නැද්ද?

ඔහු: මහේන්ද්‍ර අයියා ජනප්‍රිය වුණේ ‛මානසික මෙහෙයුම’ නිසා කීම සම්පූර්ණයෙන්ම කරුණු වැරදි ලෙස දැක්වීමක්. ඇත්තටම ‛මානසික මෙහෙයුම’ සාර්ථක වුණේ මහේන්ද්‍ර අයියා වගේ කෙනෙක් එහි ප්‍රධාන චරිතය රඟපෑම නිසයි. ඒක ඉතාම අවදානම් සහගත චරිත නිරූපණයක්. වෙන කිසිම නළුවෙකු එවැනි අවදානම් සහගත චරිතයක් භාර ගන්නේ නැහැ. ඔහු එහි රඟපෑම සඳහා විශාල කැප කිරීමක් කළා. අනෙක ඉතින් චරිතාංග නළුවෙක් වුණාම ඕනෑම වර්ගයේ චරිතයක් රඟපෑමට ඔහුට හැකිවිය යුතුයි නේ. ඒ නිසා තර්ටීන් ප්ලස් වන්හි රඟපෑමේ කිසිම වරදක් මා නම් දකින්නේ නැහැ.

අපි: ‛තර්ටීන් ප්ලස් වන්’හි තිර රචනය කළේ ඉන්දියානු තිර කතා රචකයෙක් යැයි කියන්නේ ඇත්තද?

ඔහු: ඇත්තටම තර්ටීන් ප්ලස් වන් කියන්නේ 1987 දී පමණ තිරගත වූ පැරණි චිත්‍රපටයක් වන තර්ටීන් (13) කියන චිත්‍රපටයේම නව නිෂ්පාදනයක්. තර්ටීන් නම් ඉන්දියානු කතාවක් පදනම් කරගෙන හදපු චිත්‍රපටයක්. උතුරේ සහ දකුණේ සිටින අන්තවාදී බලවේග විසින් එම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ සිනමාහල්වලට ගිනි තබා එහි ප්‍රදර්ශනයට බාධා කළ නිසා එය සාර්ථක වුණේ නැහැ. අනෙක ඉන්දියානු නිෂ්පාදකයනුත් තේරුම් ගත්තා ඉන්දියානු කතා හඬ කවා මෙහි ප්‍රදර්ශනය කළාට එය ජනප්‍රිය නොවන නිසා පාඩුදායක බව.

ඉන්පසු විවිධ අධ්‍යක්ෂවරුන් මෙම තේමාව යටතේ දේශීය චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ.ඉතාම ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරියක් මෙම තේමාව මත චිත්‍රපටයක් තැනීමට වසර 11ක් ම උත්සාහ කළත් අවසානයේදී සිදුවුණේ විශාල මුදලක වියදම් කර දළ සේයා පට විශාල ප්‍රමාණයක් නාස්ති වීම පමණයි. එයට හේතුව 13 නපුරු ඉලක්කමක් වීම සහ එවැනි චිත්‍රපටියක් උතුරේ ප්‍රදර්ශනය කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව එහි සිටි අන්තවාදීන් ප්‍රකාශ කිරීමයි. උතුරේ පෙන්වන්නට බැරි චිත්‍රපටියක් දකුණට මොකටදැයි දකුණේ අන්තවාදීන් ප්‍රශ්න කළා.

තර්ටීන් ප්ලස් වන්වල විශේෂත්වය වන්නේ එය සම්පූර්ණයෙන්ම දේශීය තිර රචනයක් වීමයි. තර්ටීන් ප්ලස් හදන්න අමරසේකර වගේම දොස්තර කෙනෙක් වන තිස්ස විතාරණ කියල මහත්තයෙක් තව කට්ටියක් එකතු කරගෙන අවුරුදු පහක් තිස්සේම ලියපු තිර රචනයකුත් මහේන්ද්‍ර අයියා ළඟ තියෙනවා. නමුත් අපි දැන් උත්සාහ කරන්නේ සියලු දෙනාම එකතු කරගෙන අලුතෙන්ම තිර රචනයක් ලියා ‛තර්ටීන් ප්ලස් වන්’ ඩිජිටල් චිත්‍රපටියක් ලෙස නිර්මාණය කිරීමටයි.

අපි: මේ චිත්‍රපටය අපේ සදාචාරයට, සංස්කෘතියට, ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් නොවේද?

ඔහු: අපේ සංස්කෘතියට හා සභ්‍යත්වයට හානි වන ආකාරයේ චිත්‍රපටියක මහේන්ද්‍ර අයියා කවදාවත් රඟපාන්න එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා තර්ටීන් ප්ලස් වන් චිත්‍රපටයෙන් කිසිසේත් සංස්කෘතියට බලපෑමක් නැති බව පැහැදිලියි.

අපි: නමුත් මේ චිත්‍රපටය සඳහා තිර පිටපතක් සුමන්දිරන් නැමැති දෙමළ ජාතික නීතිඥයකු විසින් ලියා ඇති බවත්, එම තිර පිටපත පදනම් කරගෙන චිත්‍රපටය හදන ලෙස ඉන්දියානු නිෂ්පාදකයන් බල කරන බවත් අපට වාර්තා වී තිබෙනවා.

ඔහු: ඒ කතාව සම්පූර්ණ අසත්‍යයක්. ඉන්දියානු නිෂ්පාදකයන් මෙම චිත්‍රපටයේ අන්තර්ගතයට කිසිසේත්ම ඇඟිලි ගහන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය හොඳට දුවන, ප්‍රේක්ෂකයන් ඇද බැඳ ගත හැකි චිත්‍රපටයක් සාදා එය වෙළෙඳ පොළට දැමීම පමණයි. මෙය දේශීය වශයෙන් ප්‍රදර්ශනය කිරීමට හැකි මට්ටමක තිබීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ උතුරේ පමණක් නොව දකුණේ සිනමා ශාලාවලත් පෙන්වන්නට හැකි විය යුතුයි.

නමුත් මේ චිත්‍රපටය විදේශ රටවලත් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන නිසා අප තිර රචනය ලිවීමේදී ඒ ගැනද සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම රටෙන් පිට ඩයස්පෝරාවේ දෙමළ ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් ජීවත් වන නිසා ඔවුන්ගේ ද ආකර්ෂණය දිනා ගත හැකි ආකාරයට මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමේ වගකීම අපට තිබෙන බව අමතක නොකළ යුතුයි. ඒ නිසා අප සුමන්දිරන්ටත් කිව්වේ එකට එකතු වී තිර පිටපත ලියන්නට එක්වන නිසයි. කොහොම වුණත් මහේන්ද්‍ර අයියා තර්ටීන් ප්ලස් චිත්‍රපටයට එක්වෙන්නේ සියලු දෙනාගේම එකඟත්වයෙන් තිර පිටපත ලිව්වාට පසුවයි.

අපි: එතකොට අමරසේකරගේ ‛සර් ලාස්ට් චාන්ස්’ නවකතාව පදනම් කරගෙන හදන්න යන චිත්‍රපටය ගැන මහේන්ද්‍රගේ අදහස කුමක්ද?

ඔහු: ඇත්ත වශයෙන්ම සර් ලාස්ට් චාන්ස් චිත්‍රපට කතාව කියවන විට සිහියට නැගෙන්නේ න්‍යෂ්ටික යුද්ධයකින් පසු වැඩවසම් පාලනයකට යටත් වූ ඇමරිකාව පිළිබඳ නිරූපණය කරන ‛ද පෝස්ට්මන්’ චිත්‍රපට කතාවයි. එය ඛේදාන්ත ප්‍රහසනයක් හෙවත් ට්‍රැජි කොමඩියක්. මහේන්ද්‍ර වැනි නළුවෙක් මානසික මෙහෙයුම වැනි වීර කාව්‍යයක රඟපෑමෙන් පසුව ට්‍රැජි කොමඩියක රඟපෑම ඒ තරම් සුදුසු නැහැ නේද? අනෙක් අතට අපේ රටේ ප්‍රේක්ෂකයන් දැන් කැමති කොමඩිවලට මිස ට්‍රැජි කොමඩිවලට නොවේ. සර් ලාස්ට් චාන්ස්හි තිර රචනය දුර්වලයි. කථාව අභව්‍යයි; අතාත්විකයි. මේ චිත්‍රපටය නම් කවදාවත් ජාත්‍යන්තරයට ගෙන යන්න ලැබෙන්නේ නැහැ. අනෙක ඉන්දියාවේ සහ බටහිර රටවල මෙවැනි චිත්‍රපටයක් තහනම් කරන්න වුණත් ඉඩ තියෙනවා.

අපි: නමුත්, මහේන්ද්‍ර නළුවෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණේ අමරසේකරගේ ‘මානසික මෙහෙයුමේ’ රඟපෑමෙන් බව අපි අමතක කළ යුතු නෑ නේද?

ඔහු: ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටයට පදනම් කරගත්තේ අමරසේකරගේ නවකතාවක් තමයි. නමුත් නවකතාවක් ලිවීමත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා එය සාර්ථක ලෙස ප්‍රදර්ශනය කිරීමත් අතර සෑහෙන වෙනසක් තියෙන බව අමරසේකරට වැටහෙන්නේ නැහැ. නවකතාව එක පුද්ගලයෙකුගේ කලා කෘතියක්. එය පවා පොතක් වශයෙන් පළ කොට ප්‍රසිද්ධියට පත් කිරීම කර්මාන්තයක්. ඒ බව අමරසේකරට නොතේරුණාට ඔහුගේ ප්‍රකාශකයා වන ගෙවිඳු කුමාරතුංග දන්නවා.

‛මානසික මෙහෙයුම’ කියන්නෙ දැවැන්ත මෙගා බජට් චිත්‍රපටයක්. ඒ නිසා ඒකෙ පිටපත අපි ලියන විට අමරසේකරගේ මුල් නවකතාව ඒ ආකාරයටම චිත්‍රපටියක් සඳහා යොදා ගන්න බැරි නිසා ඒ සඳහා අපි විශේෂඥ තිර පිටපත් ලියන්නන් කීප දෙනෙකුගේම සහාය ලබා ගත්තා. ඇත්තම කිව්වොත් අමරසේකරගේ නවකතාවේ ගොඩක් දේවල් අපි චිත්‍රපටයකට උචිත ආකාරයට වෙනස් කළා. එහෙම නැත්නම් චිත්‍රපටය සාර්ථක වෙන්නෙ නැහැ.

අපි: පසුගියදා අමරසේකරත් කියා තිබෙනවා දැන් තමන්ට හිතෙනවා කියල ‛මානසික මෙහෙයුම’ අවසන් වෙච්ච විදිය හොඳ මදි කියලා. විශේෂයෙන්ම අන්තිම ජවනිකාවෙදි දුෂ්ටයා මරා දැමීම සිද්ධ නොවුණා නම් හොඳයි කියලා දැන් හිතෙන බවත්, එහෙම නොකළා නම් දුෂ්ටයා ඉතිරි කරගෙන ‛මානසික මෙහෙයුම’ 2, 3, 4 ආදී වශයෙන් තවත් චිත්‍රපට හදන්න තිබුණු බවත් ඔහු කියා තියෙනවා. ඒ වගේම එවැනි තත්ත්වයක් යටතේ තර්ටීන් ප්ලස් වන් වැනි චිත්‍රපට කිසිදිනක හදන්නට නොලැබෙන බවත් ඔහු කියා තියෙනවා.

ඔහු: අමරසේකරට දැන්වත් මේක වැටහීම ලොකු වාසනාවක්. ඔහු හැමදාමත් කළේ තමන් මුලින් ලියපු දේවල් පසුව හෙළා දැකීමයි. මුලින් කරුමක්කාරයෝ වගේ පොත් ලියලා පසුව ඒවා ප්‍රතික්ෂේප කළා. කාලයකදි ජවිපෙ අගය කරලා පසුව ඔවුන්ව පිස්සු බල්ලන් වගේ මරා දැමිය යුතු බව කිව්වා. අපි අමතක කරන්න හොඳ නෑ සාහිත්‍යකරුවෙකු වශයෙන් ඔහුට ඒ නිදහස තිබෙන බව. නමුත් චිත්‍රපට කියන්නේ කර්මාන්තයක්. අමරසේකරගේ මානසික මෙහෙයුම නවකතාවෙ තිබුණේ දුෂ්ටයා මැරෙන සීන් එක තමයි. ඉන් පස්සෙ දුෂ්ටයාගේ සහායකයන් සේරම දමනය වෙනවා. ඒ වුණාට අපි දන්නවනෙ ඒක හරිම අභව්‍ය අවසානයක් කියලා. ඇත්තටම ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටිය සඳහා අපි හදාපු තිර පිටපතේ තිබුණේ අන්තිම මොහොතේ දුෂ්ටයා බේරෙන විදියටයි. ඒත් චිත්‍රපටිය කරගෙන යද්දි දේශීය නිෂ්පාදකයන්ට ඕන වුණා චිත්‍රපටයේ අවසානය ගැන ප්‍රේක්ෂක මත විමසුම් පවත්වන්න. ඉතින් එම ප්‍රේක්ෂක ප්‍රතිචාරවල ප්‍රතිඵල අනුව සහාය අධ්‍යක්ෂ කෙනෙක් තීරණය කළා දුෂ්ටයා මැරෙන විදියට චිත්‍රපටිය අවසන් කරන්න.

අපි: ඒ වුණාට ‛මානසික මෙහෙයුම’ මේ තරම් ජනප්‍රිය වුණේ ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරමින් දුෂ්ටයා මැරුණු නිසා නේද?

ඔහු: ඒක නම් එහෙම තමයි. ඒත් අපි දේශීය වෙළෙඳ පොළ දිහා විතරක් බලල නිර්මාණ කරල වැඩක් නැහැ. ලංකාවේ මේ චිත්‍රපටය ජනප්‍රිය වුණාට අපි බලාපොරොත්තු වූ ආකාරයට විදේශීය සිනමා වෙළෙඳ පොළේදි මේ චිත්‍රපටය ජනප්‍රිය වුණේ නැහැ. බටහිර රටවල ප්‍රේක්ෂකයො සටන් ජවනිකාවලට කැමැති වුණාට මේ වගේ අවසානයන්වලට කැමැති නැහැ. අවසානයේදි නැවකින් හරි ගුවන් යානාවලින් හරි ඇවිත් කොටුව ඇතුළෙ හිරවෙලා හිටපු අයව බේරගන්න මැදිහත් වෙන්න බටහිර ජාතිකයන්ටත් ඉඩක් දුන්න නම් මේක බටහිර රටවලදී සෑහෙන්න ජනප්‍රිය කරගන්න තිබුණ. අපි මේක හැපි එන්ඩිං එකක් වගේ දැක්කට ඔවුන් කියන්නෙ මේක කැටස්ට්‍රොෆික් එන්ඩිං එකක් කියලයි. ඒ නිසා ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටයට විශාල සිනමා වෙළෙඳ පොළක් අහිමි වුණා.

මානසික මෙහෙයුම වගේ මෙගා බජට් නිෂ්පාදනයක් ආවට ගියාට කරන්න බැහැ. මේකට ආයෝජකයො විශාල ප්‍රමාණයක් සල්ලි දැම්ම. විශේෂයෙන්ම ඉන්දියානු සහ ඇමරිකානු ආයෝජකයො තිරේ පිටුපස ඉඳගෙන මේ චිත්‍රපටියට දායක වුණා. අවසානයේ දුෂ්ටයා මැරෙන එකට ඉන්දියානු නිෂ්පාදකයො කැමති වුණා. නමුත් ඒකෙන් වුණේ එයාලට ඉන්දියාවෙ මේ චිත්‍රපටිය පෙන්නල කිසිම ලාභයක් ගන්න බැරි වීමයි. ඒ බව තේරිලා තමයි එයාල කිව්වෙ මානසික මෙහෙයුමෙන් වෙච්ච පාඩුවත් මඟහරව ගන්න පුළුවන් විදියට තර්ටීන් ප්ලස් වන් හදන්නත් එක්ක ගිවිසුම් අත්සන් කරමු කියලා. ප්‍රධාන දුෂ්ට චරිතෙ මැරිච්ච නිසා සීක්වල් එකක් කරන්න බැරි වුණත් එහෙම බලා ගෙන යනකොට තර්ටීන් ප්ලස් වන් කියන්නෙ ‛මානසික මෙහෙයුමේ’ ප්‍රීක්වල් එක හෙවත් දෙවැනි කොටස. ඒකෙ රඟපාන්නෙ නැතුව හිටියොත් ගිවිසුම් කඩ කළා කියල මහේන්ද්‍ර අයියට විරුද්ධව නඩු දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔහුට ආයෙ චිත්‍රපටියක රඟපාන්නත් නොලැබෙන්න පුළුවන්.

අපි: ඒ වුණාට අමරසේකර නම් කියන්නෙ ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටියෙ සැබෑ දෙවැනි කොටස ‛සර් ලාස්ට් චාන්ස්’ බවයි. ඉන්දියානු නිෂ්පාදකයන්ට බම්බු ගහගන්න කියල චීනෙ උදව් අරගෙනවත් ‛සර් ලාස්ට් චාන්ස්’ කරමු කියල ඔහු කියනව.

ඔහු: අපෝ චීනෙ ගැන නම් මතක් කරන්න එපා. උන් අපේ ෆිල්ම් එහේ පෙන්නන්නෙ නෑනෙ. ඒ නිසා උන් මානසික මෙහෙයුමටත් සම්බන්ධ වුණේ සම නිෂ්පාදකවරු විදියට නෙවෙයි පොලීකාරයො විදියටයි. ඒකට ගත්ත ණයවල පොලී අපි තාම ගෙවනව. ඒ මදිවට අපි සදර්න් හයිවේ, සදර්න් හාබර්, නොරොච්චෝලේ කියල මෙගා ටෙලි තුනක්ම චීන්නු එක්ක කරල ඇණ ගෙනයි ඉන්නෙ. ඒ නිසා චීනෙ නම් මතක් කරන්න එපා.

අපි: අවසාන වශයෙන් මහේන්ද්‍රගේ ආදරණීය රසිකයන්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?

ඔහු: තර්ටීන් ප්ලස් වන් කියන්නෙ ජාත්‍යන්තර නිෂ්පාදනයක්. ඒක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. අපට හොඳටම විශ්වාසයි මහේන්ද්‍ර අයියට දෙවියන්ට වගේ සලකන ඔහුගේ දයාබර රසිකයෝ තර්ටීන් ප්ලස් වන් චිත්‍රපටිය ආදරයෙන් වැළඳ ගන්න බව. ඒ නිසා අපි කියන්නෙ අමරසේකරල වගේ දවල් හීන දකින අයගේ බොරු කතාවලට රැවටෙන්න එපා කියලයි∎

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. Whats this rubbish, are u a psychopath?
    Just because you can write something, dont write these crap..
    write something worth reading

  2. මානසික මෙහෙයුම වගේ මෙගා බජට් නිෂ්පාදනයක් ආවට ගියාට කරන්න බැහැ. මේකට ආයෝජකයො විශාල ප්‍රමාණයක් සල්ලි දැම්ම. විශේෂයෙන්ම ඉන්දියානු සහ ඇමරිකානු ආයෝජකයො තිරේ පිටුපස ඉඳගෙන මේ චිත්‍රපටියට දායක වුණා. අවසානයේ දුෂ්ටයා මැරෙන එකට ඉන්දියානු නිෂ්පාදකයො කැමති වුණා. නමුත් ඒකෙන් වුණේ එයාලට ඉන්දියාවෙ මේ චිත්‍රපටිය පෙන්නල කිසිම ලාභයක් ගන්න බැරි වීමයි. ඒ බව තේරිලා තමයි එයාල කිව්වෙ මානසික මෙහෙයුමෙන් වෙච්ච පාඩුවත් මඟහරව ගන්න පුළුවන් විදියට තර්ටීන් ප්ලස් වන් හදන්නත් එක්ක ගිවිසුම් අත්සන් කරමු කියලා. ප්‍රධාන දුෂ්ට චරිතෙ මැරිච්ච නිසා සීක්වල් එකක් කරන්න බැරි වුණත් එහෙම බලා ගෙන යනකොට තර්ටීන් ප්ලස් වන් කියන්නෙ ‛මානසික මෙහෙයුමේ’ ප්‍රීක්වල් එක හෙවත් දෙවැනි කොටස. ඒකෙ රඟපාන්නෙ නැතුව හිටියොත් ගිවිසුම් කඩ කළා කියල මහේන්ද්‍ර අයියට විරුද්ධව නඩු දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔහුට ආයෙ චිත්‍රපටියක රඟපාන්නත් නොලැබෙන්න පුළුවන්. අපි: ඒ වුණාට අමරසේකර නම් කියන්නෙ ‛මානසික මෙහෙයුම’ චිත්‍රපටියෙ සැබෑ දෙවැනි කොටස ‛සර් ලාස්ට් චාන්ස්’ බවයි. ඉන්දියානු නිෂ්පාදකයන්ට බම්බු ගහගන්න කියල චීනෙ උදව් අරගෙනවත් ‛සර් ලාස්ට් චාන්ස්’ කරමු කියල ඔහු කියනව.

  3. කාලෙකින් දැකපු නිර්මානශීලී ලිපියක්
    content එකට අකමැති වුනත් ගොඩක් creative

  4. මහේන්ද්‍ර , අමරසේකරගේ ” සර් ලාස්ට් චාන්ස් ” සිනමා පටයේ රඟපානු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිනා ‘සිනමා රසිකයෙක්’ වන්නෙමි. එසේ වුවත් ලිය ඇති ලිපිය ගැන නම් කීමට ඇත්තේ ‘ටූ තම්බ්ස් අප් ‘ කියාය.

Comments are closed.