90 දශකයේ සිට වර්තමානය දක්වා ඇදී ආ සිතුවිල්ලක් මේ මොහොතේ දී අර්බුදයකට ලක් වී ඇත. 90 දශකයේ සිට අර්බුදයට ලක් වෙමින් පැවතියේ, මාක්ස්වාදය යි. ඒ වෙනුවට, විකල්පය ලෙස ආදේශ වූයේ සිංහල ජාතිකවාදය යි. ජාතිකවාදයේ මූලික ලක්ෂණය වන්නේ, සමාජ ගැටලුවල මූලය ධනවාදී සමාජ සබඳතා යන අදහස ඡේදනය කොට ඒවායේ මූලය සඳහා දෙමළා වැනි බාහිර සතුරෙකු ආදේශ කිරීමයි. ආර්ථිකය කළමනාකරණයේ දී, දක්ෂයන් ලෙසින් ජාතිකවාදීන් ලෙස මහජනයා සිතීම එක අතකින් තාර්කික ය. නමුත්, ස්වයංසිද්ධ ආකාරයෙන් ආර්ථිකය සහ දෘෂ්ටිවාදය අතර පැවති සමතුලිතභාවය කොවිඩ් වසංගතය නිසා බිඳ වැටිණි. නමුත්, සමාජ ගැටලුවල මූලය ඇත්තේ, ‘ප්‍රාග්ධනය’ නම් ප්‍රපංචය පිළිබඳව අපට ඇති අනවබෝධය නිසා ය යන අදහස ජවිපෙ උද්ඝෝෂකයන්ගේ දුමාරය හරහා බොඳ වෙමින් පවතියි.

              60 දශකයේ සිට ලංකාවේ මහජනතාවගේ ”විඳවීම” නැතහොත් දුක්ගැනවිල්ල ගැන ගැඹුරු සාකච්ඡාවක් කරන්නට බොහෝ දෙනා කැප වී සිටිති. නමුත්, අප මීට පෙර ද විවිධ ලිපි වලින් ප්‍රකාශ කළ පරිදි, මිනිසාගේ විඳවීම වෙනුවෙන් අර්ථකතන විශ්වයක් ගොඩනැඟීම විකට නාට්‍යකට වැඩි දෙයක් නොවේ. නාසිවාදීන්ගේ නො මිනිස් කෲරත්වයට අර්ථයක් සපයන්නට ගිය බොහෝ කලා නිර්මාණ විකට නාටක වලින් අවසන් විය. 

           වෙනත් මිනිසුන්ගේ විඳවීම ආඛ්‍යානගත කිරීමට යාම භයානක අන්ත වලින් කෙළවර වන බවට තවත් සාක්ෂියක් වන්නේ, මහේෂ් හපුගොඩගේ ලියවිලි ය. ඔහු පසුගිය වසර 3 ක පමණ කාලයක් තිස්සේ උත්සාහ කරන ලද්දේ, ලේඛනය හරහා ‘මිනිස් විඳවීම්’ ජනප්‍රිය ආකාරයකට ප්‍රබන්ධකරණය කිරීමට ය. ‘මිනිස් විඳවීම්’ ජනප්‍රිය සංස්කෘතිය හරහා ආත්ම ප්‍රකාශන මාධ්‍යයකට ගෙන ඒම අපට සම්මුඛ කරවන්නේ, මර උගුලකි. මන්දයත්, මිනිසුන්ගේ ‘වේදනාවට’ අර්ථයක් නොමැති නිසා ය. මනෝවිශ්ලේෂණය යනු, අර්ථකතනවේදයක් නොවේ ය යන ජිජැක්ගේ ප්‍රවාදය මෙහි දී වැදගත්ය. අප මිනිසුන්ගේ වේදනාවන් කතන්දර ලෝකයකට ගෙන ඒම නුතනවාදී ය.[Modernist] නමුත්, අප මේ ජීවත් වන පශ්චාත්-නූතන ලෝකයේ දී මිනිසුන් වේදනාව සමතික්‍රමණය කරනවට වඩා උත්සාහ කරන්නේ, ඉන් අනන්‍යතාවයක් ලබා ගැනීමට ය.

            දෙවියන් වෙනුවෙන් තාර්කික මිනිසා ‘වේදනාව’ ගැන ගොඩනඟන ප්‍රවාදය පහත දැක්වේ.

       “දෙවියන් ඔබව ආරක්ෂා නො කරන්නේ නම්, ඔබ දේව භක්තිකයෙක් වීම අතහැර දමනවා ද ? නැතහොත්, පක්ෂය හෝ පක්ෂ නායකත්වය ඔබ කියන දේ නො කරනවා නම්, ඔබ පක්ෂය අතහැර දමනවා ද ?” 

 

          ඒ අනුව, ‘වේදනාවට’ අර්ථය එන්නේ වාස්තවික බාහිර විශ්වාසයක් නිසා ය. එය දෙවියන්, පක්ෂය හෝ කුමන ආකාරයක හෝ මහා අනෙකෙකු විය හැකි ය. ඔබට බාහිරින් මහා අනෙකෙකු නොමැති නම්, ‘වේදනාවට’ බාහිර අර්ථයක් නැත. දෙවියන් සහ පක්ෂය ඔබට කියා දෙන්නේ, ඔබට බාහිරින් කිසිදු දිව්‍යමය පරමාදර්ශයක් නොමැති බවයි. ‘අන්‍යයා ඔබේ වේදනාවට’ ඇහුම්කන් නො දෙන තත්වයක් බිහි වී ඇත්තේ, මේ නිසා ය. අද යුගයේ දී, මිනිසාට තම අභ්‍යන්තර වේදනාව බහිෂ්කරණය කරන්නට හැකි බාහිර ඒජන්තයෙකු නොමැත. මාක්ස්වාදයේ ‘නිර්ධනයා’ හෝ ක්‍රිස්තියානියේ ‘විඳවන්නා’ අතුරුදහන් වී ඇත. එබැවින්, වේදනාව සතු ඔබේ පුද්ගලික ප්‍රහේලිකාව ප්‍රහේලිකාවක් වන්නේ ඔබටම පමණි. සරලව කිවහොත්, අප මේ ජීවත් වන යුගයේ දී අසමත්භාවය පෙන්වන්නේ දෙවියන්, දේශපාලකයා, පරමාදර්ශ පමණක් නොවේ. ඒ සඳහා, නිර්ධනයා, ස්ත්‍රිය, විඳවන්නා, සංක්‍රාන්ති ලිංගිකයා ද ආදේශ වී ඇත. ජෝසෆ් ස්ටාලින් නම් වෘත්තීය සමිති නායකයා තරම් ම ”භූමි හරෙන්ද්‍රන්” නම් සංක්‍රාන්ති ස්ත්‍රිය ද අසමත්ය. මින් අදහස් වන්නේ, වේදනාවට අදාළව දෙවියන් යනු, අසමත් යන්න පමණක් නොව එහි නිරර්ථකභාවය ද පෙන්නුම් කරන්නා ය.

                 අප ඕනෑවට වඩා අනෙකාට කිට්ටු වී අනෙකාගේ වේදනාව හෝ විඳවීම කතන්දරයක් බවට පරිවර්තනය කරන්නට උත්සාහ කරන්නේ නම්, අපට නතර වීමට සිදු වන්නේ විකට නාට්‍යයක චරිතයක් විදහා දැක්වීමෙනි. දේශපාලන පක්ෂයක් ලෙස අපට අනෙකාගේ විඳවීමට ඇති විකල්පය දේශපාලනික එකක් බව අවධාරණය කිරීම හැර අන් යමක් නැත. තනි තනි පුද්ගලයන්ගේ විඳවීම් ඉදිරිපිට අපි අහක බලා ගන්නේ, එවැනි විඳවීම් අපව මුලාවක් කරා ගෙන යන නිසා ය. කෙනෙකු අනෙකාගේ විඳවීම හෝ තමන්ගේම විඳවීම ගැන ශෝකය මුසු කතන්දර ගොතන විට දී ඒ කෙනා ගමන් කරන්නේ, සමාජ පසමිතුරුභාවයන් වෙතට නොව තමන්ගේම චිත්ත අභ්‍යන්තරය වෙතට ය.

                  අපි කෆ්කාගේ ‘රූපාන්තරණය’ නම් කෙටි කතාවේ මුලට යමු. එහි මුඛ්‍ය චරිතය වූ ‘ග්‍රෙගෝර් සම්සා’ හිමිදිරියේ අවදි වන විට තමා දැවැන්ත කුරුමිණියෙකු වී ඇති බව වටහා ගනියි. ඔහු කතා කිරීමට උත්සාහ කරන විට දී, ගොර ගොර ගා ශබ්දයක් නිකුත් වෙයි. ඒ ‘ශබ්දය’ මගින් ගම්‍ය වන්නේ, ග්‍රෙගෝර් යනු තවදුරටත් මනුෂ්‍යයෙකු නොවන බවත් ඔහු කෘමියෙකු බවත් ය. ආගමික භක්තිය හෝ දේශපාලන භක්තිය අප අර්ථය නම් ක්ෂිතජයට සීමා නො කරන්නේ නම්, කෆ්කාගේ චරිතය ගැන කිව හැකි සාම්ප්‍රදායික මත මොනවාද?

                  දෙවියන් නොමැති ලොවක මිනිසාගේ ඉරණම යනු, කෘමියන් බවට පත්වීම යැයි දේවධර්මයට කිව හැකි ය. අනෙක් පැත්තෙන්, පටු මනෝවිශ්ලේෂණ අදහසක් ලෙස මෙසේ කිව හැකි ය. පියා සමඟ කෆ්කාගේ ඇති වූ බලය පිළිබඳ නෝක්කාඩුව බාහිරින් ප්‍රකාශ වූයේ, මේ කෘමියා හරහා ය යන ප්‍රවාදය ද තාර්කික ය. අනෙක් අතට, කෙටිකතාව ගැන මාක්ස්වාදී කියවීමක් මෙසේ කළ හැකි ය. ඊට අනුව, මේ වනාහි ධනේශ්වර නිලධාරීවාදී ලෝකය තුළ මිනිසාගේ සමාජ පරාරෝපණයේ රූපකයකි.

නමුත්, ‘මිලාන් කුන්දේරා’නම් චෙක් ජාතික ලේඛකයාට අනුව කෆ්කාගේ මේ කතාවට විකට මානයක් ඇත. ඔහුට අනුව,  ‘ග්‍රෙගෝර් සම්සා’ තමන් කෘමියෙකු යැයි සිතීම විකට ජවනිකාවකි. එම ජවනිකාව යට ඇති සාංදෘෂ්ටික ගැඹුර යළි යළිත් පරික්ෂා කළ හැකි ය. ගැටලුව වන්නේ, කෆ්කා විසින් තම විඳවීමට අර්ථයක් දීම නොවේ. ඊට පරස්පරව, ඔහු විසින් ‘ග්‍රෙගෝර් සම්සා’ හරහා අපට වේදනාවෙන් සතුටු වන සුපිරි අහමේ නියෝගය ගැන ඉඟියක් ලබා දෙයි. කතාවේ නියම නිලය ඇත්තේ, එතැනයි. එනම්, ‘වේදනාවට’ හිමි අර්ථකතන විරෝධී මානය යි.

                     මේ මෑතක දී, මගේ හිතවතෙකු මා වෙත පැමිණ යම් ගැටලුවකට විසඳුමක් බලාපොරොත්තු විය. ඔහුගේ ගැටලුව මෙලෙස සාරාංශගත කළ හැකි ය.

          “ කතාවට අනුව, ඔහුගේ පුතා මැදපෙරදිග රටක සේවය කරයි. රැකියා වෙලාවට පසුව ලොකු දෙයක් කරන්නට නැති නිසා පුත්‍රයා තම යහලුවෙකුට කියා ඇත්තේ, තනිකම මඟ හැරී යාමට කතා කිරීමට කවුරුන් හෝ සොයා දෙන ලෙසයි. ඒ අනුව, පුත්‍රයාගේ යහළුවා ඔහුට අන්තර්ජාලයෙන් ඇසුරු කරන්නට මිතුරියක් සොයා දී ඇත. ටික කලක් දෙදෙනා අතර සංවාද සිදු වී ඇති අතර පසුව එය ආදරයකට පෙරළී ඇත. මේ මෑතක දී, මගේ හිතවතාගේ පුතා ලංකාවට ඒමට නියමිතව පැවති අතර හිතවතාට පුතා විසින් ඔහුගේ මේ නව පෙම්වතියගේ පින්තූරයක් ද එවා ඇය ගැන වැඩිදුර විස්තර සොයා බලන ලෙස කියා ඇත්තේ, විවාහ වීම උදෙසා ය. ඉන්පසු, හිතවතා විසින් එම පින්තූරය අදාළ ප්‍රදේශයේ තම හිතවතෙකුට යවා ඇත්තේ වැඩිදුර විස්තර සොයා ගැනීමට ය. ඒ පුද්ගලයාගේ සොයා බැලීම් වලට අනුව, අද්භූතජනක සිදුවීම් පෙළක් නිරාවරණය විය. 

          හිතවතාගේ පුත්‍රයාගේ පෙම්වතිය ඊට කලින් තරුණයෙකු සමඟ හිතවත්ව සිට ඇති අතර පසුව එය නතර වී ඇත. ඒ ගැන උරණ වූ පෙම්වතා ඇය හා එක්ව පටිගත කරන ලද ලිංගික ජවනිකා පසුව නිල් සිනමා වෙබ් අඩවිවලට නිකුත් කර ඇත. ඒවා, එම නිසා සෑම තැනකම ප්‍රචාරය වී ඇති අතර ඇගේ පවුලේ සියලු දෙනාගේ සායම ගැල වී ගොස් ඇත. හිතවතාගේ ඉල්ලීම වූයේ, මේ ගැටලුවෙන් තම දරුවා බේරා ගන්නා ආකාරය පිළිබඳව යි.

             ඉන්පසුව, හිතවතාගේ පුත්‍රයා ලංකාවට පැමිණි අතර හෝටලයකට ගොස් පියා විසින් පුතාට තත්වය පැහැදිලි කරන ලද අතර අදාළ නිල් චිත්‍රපටි ජවනිකා ද පෙන්වා ඇත. සරලව කිවහොත්, නුතන පවුල් සදාචාරයට අනුව, පියාට තම පුත්‍රයාගේ පෙම්වතියගේ නිල් චිත්‍රපට ජවනිකා තම පුතාට පෙන්වීමට සිදු වීම දුෂ්කර අභ්‍යාසයකි .” 

Boomi.

              සිදුවීම සමථයකට පත් වී ටික දවසකින් හිතවතා නැවත මා හමුවීමට පැමිණ මෙසේ ඇසුවේ ය.

    ‘මේ සිද්ධිය යට තිබෙන ගැඹුරු මානවීය අර්ථය කුමක්ද?’ 

 

                කෆ්කාගේ කෙටිකතාවේ මිනිසෙකු එකවරම කෘමියකු බවට රූපාන්තරණය වීම විකට ජවනිකාවක් මිස අර්ථකතන ගැඹුරක් ඇති දෙයක් නොවේ යැයි පැවසූ පරිදිම, මා හිතවතාට පැවසුවේ, සමකාලීන පශ්චාත්-නූතන යුගයේ දී පියෙකුට තම පුතාගේ පෙම්වතියගේ නිල් සිනමා ජවනිකා තම පුතාට පෙන්වීමට සිදු වීම විකට ජවනිකාවකට එහා දෙයක් නොවන බවයි. සමාජය තුළ ජීවත්වන අපි බොහෝ දෙනා කිසිදු පරාවර්තනයකින් තොරව ධනවාදී සමාජ-ධර්ම පසුගිය දශකයක පමණ කාලයක සිට වැළඳ ගත්තෙමු. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, අපගේ ජීවිතයේ වඩාත්ම ආධ්‍යාත්මික යැයි සිතූ ‘පවුල් සබඳතා’ විකට ජවනිකා බවට පත් වීමයි. විනෝද වීම හැර අන් සියල්ල තහනම් වූ යුගයක දී අපගේ සුපිරි අහම ත්‍රාසජනක ලෙස සංත්‍රාසය පමණක් මූර්තිමත් කරයි. 

                    අප 21 වැනි සියවසේ ආරම්භක වර්ෂවල දී සාකච්ඡා කරන ලද්දේ, ‘Crying Game’ නම් චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට සම්මුඛ වූ ක්ෂතිමය අත්දැකීමයි. එනම්, විප්ලවවාදී දේශපාලනය කළ ක්‍රියාකාරිකයෙකුට අහම්බයකින් හමු වූ කලු ජාතික සුන්දර කාන්තාවයි. නමුත්, පසුව ඔහු ලිංගික සබඳතාවයකට ගමන් කරද්දී වැටහෙන්නේ, ඒ පෙම්වතිය වනාහි ස්ත්‍රී වෙස් මුහුණක් සහිත පිරිමියෙකු බවයි. ඒ අනුව, පරිපූර්ණ ලිංගික තෘප්තියකට බාධාව හෝ සීමාව එන්නේ පිටතිනි. ෆර්ගස් නම් IRA සංවිධානයේ ජාතික විමුක්ති අරගලකරුවාට ඩිල් නම් පෙම්වතියගේ පුරුෂ ලිංගය දුටු විට සියල්ල දියවී යයි.

               ශ්‍රී ලංකාවේ ද පවුල් වලට බාධාව පැමිණියේ බාහිර තැනකිනි. උදාහරණයක් ලෙස, 87-89 ජවිපෙ කැරැල්ල යුගයේ දී පවුල්වලට විනාශය පැමිණියේ, අරගලයේ බාහිර අවකාශය වූ සන්නද්ධ හමුදා ලෙසිනි. නමුත්, අප හිතවතාගේ ‘පවුල් අර්බුදයට’ අදාළ හේතු ඵල සම්බන්ධය උත්පාද වූයේ, පවුල් අභ්‍යන්තරයෙන්ම ය. ලංකාවේ සෑම පවුලක්ම පාහේ මේ යුගයේ දී උත්සාහ කරන්නේ, විනෝදයෙන් ජීවත් වීමට ය. මෙය හුදු ෆැන්ටසියක් යන මානය අප අත් විඳින්නේ, අපගේ හිතවතාට වූ නස්පැත්තිය වැනි අහම්බයක් හරහා ය. නමුත්, මෙම ෆැන්ටසිය තරණය කිරීමේ දී අපට සාම්ප්‍රදායික පවුල් ව්‍යාකරණය වෙනස් කිරීමට සිදු වෙයි. අප ෆැන්ටසිගත කරන ආකාරයට විනෝදය අවශ්‍ය නම්, ඒ සඳහා ගෙවීමට ඇති වන්දියක් ඇත. ඒ වන්දිය වන්නේ, පවතින පවුල් සදාචාරය අතහැර දැමීමයි. දැනට පවතින ‘පවුල් ආකෘතිය’ බිඳ දමන්නේ නැතිව 21 වැනි සියවසේ ”අන්තර්ජාල ධනවාදයේ අන්තර්ගතය” පවුලට උරා ගත නො හැකි ය. ඔබට අවශ්‍ය අන්‍යයන්ට විසිතුරු ලෙස පෙනෙන පවුලක් නම්, ඒ සඳහා ඔබට ගෙවීමට මිලක් ඇත. මේ මිල නො ගෙවා ඔබට නූතන පවුල ෆැන්ටසිකරණය කිරීමට නො හැකි ය.

                      21 වැනි සියවසේ විෂමලිංගික පුරුෂයාගේ ෆැන්ටසි මානය සමලිංගික හෝ සංක්‍රාන්ති ලිංගික වී ඇත. විෂමලිංගික පිරිමියාගේ අවිඥාණක ආශාව ව්‍යුහගත වී ඇත්තේ, ගැහැණු ඇඳුම් හැඳගත් පිරිමියෙකු වටා ය. එම ආශාව එහි අයිතිකරුවාටම ක්ෂතියක් වන්නේ එම නිසා ය. ඒ අනුව, අපට පවුලේ සාරධර්ම ද මේ නව ආකෘතියට අනුව යළි සකස් කර ගැනීමට සිදු වී ඇත.

                2009 වර්ෂයේ තිරගත වූ ‘පැනෝස් කුත්රාස්’ නම් ග්‍රීක සිනමා අධ්‍යක්ෂකවරයාගේ “Strella” (ස්ට්‍රෙලා) නම් චිත්‍රපටය විසින් අපට 21 වැනි සියවසේ ගෝලීය ධනවාදයට අනුයුක්ත වන නව පවුල් රටාව පිළිබඳව ඉඟියක් සපය යි. කතා සාරාංශය මෙසේ ය.

Strella

           “ වසර 14 ක සිර දඬුවමක් ලබා ඉයෝගෝස් නිවසට ඒමට පෙර ලිංගික කටගැස්මක් සඳහා බාල මට්ටමේ හෝටල් කාමරයක දී සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රියක් සමඟ ලිංගික සබඳතා පවත්වයි. ඉයෝගෝස් සිර ගෙදරට යාමට සිදු කළ වරද වූයේ, එවකට වයස 5 ක් වූ තම පුත්‍රයා සමඟ ලිංගික කර්තව්‍යයක් කිරීමට ගොස් හසු වූ තම බාල සොහොයුරා මරා දැමීම නිසා ය. සිරගෙදර සිටින මුළු කාලය තුළ තම පුත්‍රයා සමඟ ඔහුට තිබූ සියලුම සබඳතා අතහැරෙයි. සිර ගෙදරින් නිදහස් වූ පසුව ඉයෝගෝස් සොයන්නේ, තමන්ගේ අහිමි වූ පුතා වන ලියොනිදාස්ව ය.

               හෝටලයේ දී හමුවී ලිංගික සබඳතා පැවැත්වූ සංක්‍රාන්ති ලිංගික තරුණිය නැවත නැවත හමු වන ඉයෝගෝස් ඇය හා පෙමින් වෙලෙයි. එපමණක් නොව, ඇගේ සංක්‍රාන්ති ලිංගික කවය ද ඉයෝගෝස් සමඟ සමීප වෙයි. පසුව දැනගත් පරිදි, මෙම සංක්‍රාන්ති ලිංගික තරුණිය අන් කවරෙකු හෝ නොවන අතර ඉයෝගෝස්ගේම පුත්‍රයා ය. මේ ගැන දැනගත් වහාම, ඉයෝගෝස් ක්ෂතිමය තත්වයකට පත්වන අතර ඔවුන් අතර පවතින ලිංගික සබඳතා අත්හිටුවයි. නමුත්, ඔවුන් දෙදෙනා යළි පවුලක් ලෙස එක්සත් වන අතර පවුලේ දරුවා ලෙස පිරිමි ළමයෙකු හදා ගන්නට තීරණය කරයි. මේ දරුවා විසින් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට නව මානයක් හිමි කර දෙයි.” 

 

          අපගේ හිතවතාගේ කතාවේ පරිදිම ඉයෝගෝස්ට තම පෙම්වතිය ලෙස සංක්‍රාන්ති ලිංගිකයෙකු හමුවීමත්, ‘ඇය’ ඔහුගේ පුත්‍රයා වීමත් අහම්බයකි. ඉහත තත්වයන් දෙකම අවිඥාණක ෆැන්ටසියක් සාක්ෂාත් වීමක් නොවේ. එම නිසා, මෙම අවස්ථා දෙකටම මනෝවිශ්ලේෂණ අර්ථකතනයන් ගැළපෙන්නේ නැත. අවසාන වශයෙන් සිදු වී ඇත්තේ, ශරීරය සහ එහි නම අතර ඇති සම්බන්ධය පවා විසංයෝජනය වීමයි. එනම්, සංකේතය නැති තැනක ශරීර අතර වෙනස කියවීමට නො හැකි ය. මෙවන් තත්ව වලදී හට ගන්නා ක්ෂතිය මඟ හැරීමට හැකි වන්නේ, ආදරය මඟින් පමණි. ඒ අනුව, ආශාවේ රැඩිකල් මානය පිහිටන්නේ, ‘බාහිර බාධාව’ තුළ නොව ‘අභ්‍යන්තරික අගතිය’ තුළ ය. අපි අනෙකාගේ ශරීරය සමඟ ඇති භීතිය අනෙකාගේ ‘නමට’ පවරා එම භීතියෙන් ගැළවෙන්නෙමු. ඒ අනුව, අනෙකාගේ ශරීරය පිළිබඳ භක්තිය ඉදිරියේ පියා සහ පුත්‍රයා අතර ව්‍යාභිචාරය අතුරුදහන් වී එම තත්වය ඉතාම සාමාන්‍ය දෙයක් වෙයි. පවුලේ සතුට යනු, එම සටන් පාඨය යි. 21 වැනි සියවසේ නව-පවුල් ආකෘතිය මෙලෙස සටහන් කළ හැකි ය. ඉයෝගෝස් (පියා), ලියොනිදාස් (පුතා), සංක්‍රාන්තික ස්ත්‍රිය, හදාගන්නට ගත් පුතා, පිය-පුත්‍ර ව්‍යාභිචාරය සහ අවසන් වශයෙන් සමලිංගික විවාහය.

              21 වැනි සියවසේ පවුල් න්‍යාසය වෙනස් වන යථාර්ථය තුළ තවදුරටත් පවුල තුළ ඇති වේදනාවට ආඛ්‍යාන ගැඹුරක් නැත. මෙය, ”වේදනාව සිදුවන විපර්යාසය” හමුවේ සාමාන්‍ය තත්වයකි. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0703232113

Nuwan – 0715324110.

Mihiran – 0774950204

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.